ශබ්දකෝෂයක් හදන්න ගිය කාලයක්
එක දවසක් ඉතාලි ජාතික දේශ ගවේෂකයෙක් පුරාණ පර්සියානු නගරයක් වන පර්සෙපොලිසයේ නටඹුන් නරඹමින් සිටියා. ඒ අතරේ ඔහු අමුතුම විදිහේ අක්ෂර වගයක් දැක්කා. ඒ 1621දීයි. පසුව එක්දාස් අටසිය ගණන්වල ඉරාකයේ කැනීම් කරන විට සොයාගත් මැටි පුවරුවල හා ඉපැරණි රජමාලිගා බිත්තිවල දකින්න තිබුණෙත් ඒ හා සමාන අක්ෂරමයි. මේ අමුතු අක්ෂරවලින් ලියවී තිබුණේ මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ පාලකයන් වූ දෙවෙනි සර්ගොන්, හම්මුරාබි සහ දෙවෙනි නෙබුකද්නෙෂර් කතා කළ භාෂායි. ඒ අකුරු ත්‍රිකෝණාකාර හැඩයෙන් යුක්ත වූ අතර ඒවා ක්යුනීෆෝර්ම් ලෙස හඳුන්වනවා.
මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ වගතුග තේරුම්ගැනීමට මේ පුරාණ අක්ෂර තේරුම්ගැනීම අත්‍යවශ්‍ය වුණා. නමුත් ඒ සඳහා හොඳ ශබ්දකෝෂයක් අවශ්‍ය බව විද්වතුන් තේරුම්ගත්තා. ඒ නිසා ඔවුන් කළේ ඇසිරියානුවන් සහ බැබිලෝනිවරුන් කතා කළ භාෂාවලට කිට්ටු භාෂාවක් වන අක්කාඩියන් කියන භාෂාවෙන් ශබ්දකෝෂයක් සකස් කරන්න තීරණය කිරීමයි.
මේ බැරෑරුම් කටයුත්ත භාරගත්තේ ඇමරිකාවේ චිකාගෝ විශ්වවිද්‍යාලයයි. ඔවුන් එය වර්ෂ 1921දී ආරම්භ කළ අතර අවුරුදු 90කට පසු එනම් 2011දී අවසන් කළා. ඔවුන්ගේ
කැපවීමේ ප්‍රතිඵලය වුණේ පිටු 9700කින් සමන්විත කාණ්ඩ 26කින් යුත් ඇසිරියානු ශබ්දකෝෂයයි. ක්‍රිස්තු පූර්ව 2500 සිට ක්‍රිස්තු වර්ෂ 100 දක්වා කාලය තුළ ඉරානය, ඉරාකය, සිරියාව සහ තුර්කිය යන රටවල කතා කළ භාෂා ගැනත් එමගින් අවබෝධයක් ලැබෙනවා.කාණ්ඩ 26යේ ඇසිරියානු ශබ්දකෝෂයේ පිටු ගණන 9700යි!
මේ ශබ්දකෝෂය මෙතරම් විශාල ඇයි? එය සකස් කරන්න එතරම් කාලයක් ගත වුණේ ඇයි? එය පාවිච්චි කරන්න කැමැත්තෙන් ඉන්නේ කවුද?
එහි අඩංගු දේවල්
විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂක මෙවැනි දෙයක් පැවසුවා. “මේ ශබ්දකෝෂය නිකම්ම වචන ලැයිස්තුවක් තියෙන පොතක් නෙමෙයි. ඒ වෙනුවට හැම වචනයක්ම ආවේ කොහෙන්ද වගේම ඒ වචන මිනිස්සු පාවිච්චි කළේ කොහොමද කියලත් විස්තර කරනවා. මේක හරියට මෙසපොතේමියාවේ ඉතිහාසය, ජනයා, සමාජය, සාහිත්‍යය, නීතිය හා ආගම ගැන ලියවුණු විශ්වකෝෂයක් වගේ. මෙසපොතේමියානු ශිෂ්ටාචාරයේ ලිඛිත වාර්තා ගවේෂණය කරන ඕනෙම විශාරදයෙකුට මේක නැතුවම බැරි පොතක්.”
මේ ශබ්දකෝෂය නිපදවන්න දායක වුණ අය මෙහෙම දෙයක් කිව්වා. “වචනයක නියම අර්ථය දෙන්න ඒ වචනය පාවිච්චි වෙන්නේ මොන වගේ තැන්වලදීද කියලත් හොයලා බැලුවා. ඊට පස්සේ ඒ තොරතුරු ඒ වචනය තියෙන තැනට ඇතුළත් කළා. ඒ අනුව ඒ ඒ වචනයට තියෙන විවිධ අර්ථ තේරුම්ගන්න අපිට පුළුවන් වුණා.”
ඒ සඳහා පසුගිය වසර දෙසීයක පමණ කාලයේදී සොයාගත් ක්යුනීෆෝර්ම් අක්ෂර ඇතුළත් මැටි පුවරු ලක්ෂ ගණනක් අධ්‍යයනය කරන්න ඔවුන්ට සිද්ධ වුණා. ඒ පුවරුවල සාහිත්‍යය, වෙළඳාම, ගණිතය, තාරකා විද්‍යාව, මන්තර ගුරුකම්, නීතිය, විවිධ රැකියා, ආගම දහම සහ තව බොහෝ දේවල් ගැන සඳහන් වුණා. එවකට ජාත්‍යන්තර භාෂාවක් ලෙස පැවතුණ අක්කාඩියානු භාෂාවෙන් ලියවුණු දේවලින් ඉහත කී විවිධ ක්ෂේත්රයන් ගැන පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකි වී තිබෙනවා.
මේ තොරතුරුවලින් අපිට පැහැදිලි වන්නේ මෙය අහසින් කඩා වැටුණු ශිෂ්ටාචාරයක් නොවන බවයි. ඒ ගැන ශබ්දකෝෂයේ වැඩවලට හවුල් වුණු මහාචාර්යවරයෙක් වන මැතිව් ස්ටොල්පර් පැවසුවේ මෙසේයි. “භය, කේන්තිය, ආදරය ප්‍රකාශ කිරීම වගේ අපි කාටත් පොදු හැඟීම් එයාලටත් තිබිලා තියෙනවා. රජවරු එයාලගේ ලියවිලිවල තමන්ගේ ශ්‍රේෂ්ඨත්වය ගැන පුරාජේරු දොඩවද්දී සාමාන්‍ය ජනයා නම් කියන්නේ ඒ රජවරු කියන තරම්ම ශ්‍රේෂ්ඨ නැහැ කියලයි.” වැන්දඹුවන්ට ලැබෙන්න තියෙන උරුමය, ගොවිබිම්වලට වතුර සැපයීම සහ බූරුවෙක්ව කුලියට දීම වගේ දේවල්වලදී ඔවුන් කටයුතු කර ඇති ආකාරය ගැන අවුරුදු 3500කට කලින් ලියවුණු නීතික ලියවිලි වර්තමාන ඉරාකයේ නියුසි ප්‍රදේශයෙන් සොයාගෙන තියෙනවා.
ඉවරයි කියන්න පුළුවන්ද?
ශබ්දකෝෂයේ වැඩවලට ලොව පුරා සිටින ඇසිරියානු භාෂාව හා ඉතිහාසය හදාරන විශාරදයන් බොහෝදෙනෙක් දායක වුණා. විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය අවුරුදු ගණනාවක් පුරා එක් එක් වචනය සහ එහි භාවිතය ගැන තොරතුරු සඳහන් කළ කාඩ්පත් ලක්ෂ 20ක් පමණ සකස් කර ඒවා ගොනු කළා. මෙම ශබ්දකෝෂයේ මුල් කාණ්ඩය 1956දී මුද්‍රණය කළ අතර එතැන් සිට තවත් කාණ්ඩ 25ක් ප්‍රකාශයට පත් කළා. මේ කාණ්ඩ සියල්ලම ඩොලර් 2,000කට (රුපියල් ලක්ෂ දෙකහමාරකට) පමණ මිලදී ගන්න පුළුවන්. නමුත් දැන් එය ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයෙන් බලන්න පුළුවන්.
මේ දැවැන්ත කාර්යය සම්පූර්ණ කරන්න අවුරුදු 90ක්ම ගත වුණත් ඒ ගැන එක් ලිපියක මෙසේ සඳහන් වුණා. “සමහර වචනවල තේරුම තවමත් හොයාගෙන නැහැ. ඒ වගේම කැනීම්වලින් තව තවත් සොයාගැනීම් කෙරෙන නිසා වැඩේ මෙතනින් ඉවරයි කියලා තාම කියන්න බැහැ.”