Skip to content

පටුනට යන්න

අතීතයෙන් සටහනක් | රාජ නියෝගය

දෙවියන්ගේ නාමයෙන් කළ තර්ජනයක්

දෙවියන්ගේ නාමයෙන් කළ තර්ජනයක්

“නුඹලා කීකරු නූණොත් . . . දෙවියන්ගේ නාමෙන් මා නුඹලාගේ ගම්මානවලට වැද, සටන් කර නුඹලාව කෙසේ හෝ කතෝලික පල්ලියේ සහ ස්පාඤ්ඤ රජ්ජුරුවන්ගේ අණසකට යටත් කරගන්නවා. නුඹලාගේ අඹු දරුවන්වත් වහල්කමට ගන්නවා. ගේ දොර වතුපිටි රාජ සන්තක කර, කරන්න පුළුවන් හැම නපුරක්ම නුඹලට කරනවා. . . . මේ අණට කීකරු නොවීමෙන් නුඹලා මරණයට පත් වුණොත් මැරෙන්නේ රජ්ජුරුවන්ගේවත් අපේවත් වරදක් නිසා නොව නුඹලාගේ වරදින් බව දැනගනිව්.”

එම රාජ නියෝගය ස්වදේශිකයන්ට ඇහෙන්න කියෙව්වේ ස්පාඤ්ඤ ආක්‍රමණිකයන්. ඒ 16වන සියවසේදි ඔවුන් ඇමරිකාව අල්ලාගැනීමට ගොඩ බැස්ස අවස්ථාවේදී. එය ඉතිහාසයේ නිකුත් කර ඇති කුරිරු මෙන්ම අසාධාරණ නියෝග අතරින් එකක්.

ඔවුන් එසේ පැවසුවේ ඇයි? එහි අරමුණ මොකක්ද?

කතෝලික ආගමට බලහත්කාරෙන් හරවාගැනීම

ක්‍රිස්තු වර්ෂ 1492දී කොලම්බස් ඇමරිකාව සොයාගත්තා. සොයාගත් අලුත් දේශයට ස්පාඤ්ඤය සහ පෘතුගාලය අයිතිවාසිකම් කියන්න පටන්ගත්තේ ඒ සමඟමයි. මේ ප්‍රශ්නය විසඳීමට ක්‍රිස්තුස්ව නියෝජනය කරනවා කියා ඔවුන් සැලකූ පාප්වරයාගේ සහාය පැතුවා. පාප්වරයා අලුත් දේශය එක කොන්දේසියක් මත රටවල් දෙක අතරේ බෙදා දුන්නා. එනම් ස්වදේශිකයන්ව කතෝලික ආගමට හරවා ගත යුතුයි යන කොන්දේසියයි.

දේශ අල්ලාගනිමින් ඉදිරියට යද්දී තමන් අත වරදක් නැහැ කියා පෙන්වීමට ස්පාඤ්ඤ රාජාණ්ඩුව උත්සාහ කළා. තමන්ට අවසර දුන්නේ දෙවියන්ව නියෝජනය කරන පාප්වරයා නිසා ස්වදේශිකයන්ව මරා දැමීමටත් වහල්භාවයට ගැනීමටත් ඔවුන් සතු දේ පැහැරගැනීමටත් අයිතිය තිබෙනවා කියා ඔවුන් තරයේ කියා සිටියා.

පාප්වරයාගේ අණ දැනුම් දීමට නියෝගයක් සැකසූ ස්පාඤ්ඤවරු පාප්වරයාගේ බලතල යොදාගෙන කතෝලික ආගමට හැරෙන්නත් තම රජුට යටත් වෙන්නත් ස්වදේශිකයන්ට බල කළා. ඔවුන් ඊට විරුද්ධ වුණොත් දෙවියන්ගේ නාමයෙන් යුද්ධ කරන්න පවා තමන්ට අයිතියක් තියෙනවා කියා ස්පාඤ්ඤවරු සිතුවා.

“සාධාරණ හේතුවක් නිසා ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළාට කමක් නැහැ කියා මතයක් තිබුණා. ඒ නිසා තමන් කළ දේ සාධාරණයි කියලා ඔප්පු කරන්න ස්පාඤ්ඤ ජාතිකයන් හේතු මැව්වා.”—ජේසු නිකායේ මහාචාර්යවරයෙක් වන ෆ්‍රැන්සිස් සලිවාන්

ම්ලේච්ඡයි, අසාධාරණයි, දේව අපහාසයක්

ස්පාඤ්ඤ රජු එවැනි නියෝගයක් නිකුත් කළේ අන් දේශ අත් පත් කරගැනීමත් එහි වැසියන්ව ඝාතනය කිරීමත් වැරදි නැහැයි කියා පෙන්වීමටයි. නැතහොත් තම හෘදය සාක්ෂිය යම් තරමකට හෝ නිදොස් කරගැනීමටයි. නමුත් කළ දෙයෙහි කිසි හරයක් තිබුණේ නැහැ. මොකද සමහර ආක්‍රමණිකයන් නියෝගය කියෙව්වේ නැවෙන් ගොඩ බසින්නත් කලින්. එය කියෙව්වෙත් ස්වදේශිකයන්ට නොතේරෙන ස්පාඤ්ඤ භාෂාවෙන්. සමහර අවස්ථාවල බියෙන් පලා ගිය වැසියන්ගේ පාළු පැල්පත් ඉදිරියට ගිහින්ද එය කියවා තිබෙනවා.

බලෙන් කතෝලික ආගමට හැරවීමට දැරූ වෑයම නිසා දේශය ලෙයින් නැහැවුණා. උදාහරණයකට 1550දී චිලී රටේ සිදු වූ සටනකදී ගෝත්‍රිකයන් 2,000ක් පමණ ඝාතනය කළා. දිවි ගලවාගත් අය ගැන පැඩ්රෝ ද වල්දිව්‍ය නමැති ආක්‍රමණිකයා රජුට පැවසුවේ “රාජ නියෝගයට යටත් වෙන්න කියලා කීප සැරයක් දැනුම් දුන්නා. ඒ අණ නොතැකූ ගෝත්‍රිකයන් 200කගේ නාස් සහ අත් කපලා දැම්මා” කියායි. *

එම නියෝගය කලින් දැනුම් දුන් නිසා තමන් කළ දෙයෙහි වරදක් නැහැ කියා ආක්‍රමණිකයන් සිතුවා. කොහොමවුණත් ඔවුන් බලාපොරොත්තු වූ විදිහට කතෝලික ආගම ප්‍රචලිත වුණේ නැහැ. ඉන් සිදු වූ හානිය ගැන 16වන සියවසේ සිටි ප්‍රසිද්ධ පූජකයෙක් සහ සිද්ධීන් ඇසින් දුටු සාක්ෂිකරුවෙක් වූ බාර්ටොලොමේ ද ලාස් කාසාස් මෙසේ පැවසුවා. “මේ නියෝගය ම්ලේච්ඡ, අසාධාරණ එකක්. ඒ වගේ කෲර නියෝගයක් දෙන්න මනුස්සයෙකුට පුළුවන්ද කියලා හිතාගන්නවත් බැහැ. ඒකෙන් දෙවියන්ටත් සිදු වුණේ ලොකු අපහාසයක්. කතෝලික ආගමට වුණ නින්දාව මෙතැකයි කියන්න බැරි තරම්.” ඇමරිකාවේ වෙසෙන ස්වදේශීය ජනයාව කෲර ලෙස ඝාතනය කළ නිසා ක්‍රිස්තියානි ධර්මය ගැන කිසිම පැහැදීමක් ස්වදේශිකයන්ට ඇති වුණේ නැහැ කියා වාර්තාකරුවෙක් වූ ගොන්සාලෝ ෆෙර්නාන්ඩෙස් ද ඕවීයේඩෝ දුක් වුණා.

ආණ්ඩු සහ ආගම් එකතු වී දෙවියන්ගේ නාමයෙන් කරන ම්ලේච්ඡ ක්‍රියාවලට දෙවියන් වග කිව යුතුද? නැහැ. දෙවියන් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ මෙලෙසයි. “සැබෑ දෙවි කවදා හෝ දුෂ්ට ලෙස ක්‍රියා කරයිද? සියලු බලැති දෙවි අයුක්තියක් කරයි කියා සිතිය හැකිද? එවැනි සිතුවිල්ලක්වත් ඔහුගේ සිතට පහළ වන්නේ නැත.”—යෝබ් 34:10.

^ 12 ඡේ. එම නියෝගය 1573දී අවලංගු කරන ලදි.