බයිබලයෙන් පිළිතුරක්
යක්ෂයා
යක්ෂයා සැබෑ පුද්ගලයෙක්ද?
‘මුළු පොළොවම නොමඟ යවන්නේ යක්ෂයා කියාද සාතන් කියාද හඳුන්වන මුල් සර්පයාය.’—එළිදරව් 12:9.
මිනිස්සු කියන්නේ මෙහෙමයි.
යක්ෂයා (සාතන්) කියලා කෙනෙක් නෑ. යක්ෂයා කියන්නේ අපි තුළ තියෙන දුෂ්ට සිතුවිලි නැත්නම් නපුරු ස්වභාවය.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
යක්ෂයා සැබෑ පුද්ගලයෙක්. ඔහු දෙවිට විරුද්ධව කැරලි ගැසූ දේවදූතයෙක්. ඔහුව හඳුන්වන්නේ “මේ ලෝකයේ අධිපතියා” ලෙසයි. (යොහන් 12:31) සාතන් “මුළා කරවනසුලු ආශ්චර්යයන්” කරමින් මිනිසුන්ව ‘නොමඟ යවනවා.’—2 තෙසලෝනික 2:9, 10.
යක්ෂයා සහ දෙවියන් අතර සංවාදයක් ඇති වුණා කියලා බයිබලේ වාර්තා වෙනවා. යක්ෂයා කියන්නේ කෙනෙක් තුළ තියෙන නරක ස්වභාවය නම් දෙවියන් කතා කළේ තමන්ගේ නරක ස්වභාවයත් එක්කද? ඒක කොහෙත්ම වෙන්න බැහැ. මොකද දෙවියන් පරිශුද්ධ, කිසි දුෂ්ටකමක් නැති කෙනෙක්. (ද්විතීය කතාව 32:4; යෝබ් 2:1-6) ඒ අනුව යක්ෂයා කියන්නේ සිත්වල තියෙන නපුරු සිතුවිල්ලක් නොව සැබෑ පුද්ගලයෙක් බව පැහැදිලියි.
මේ තොරතුරු ඔබට වැදගත්.
සාතන්ට ඕනේ තමන් සැබෑ පුද්ගලයෙක් නෙමෙයි කියලා මිනිසුන් සිතනවාටයි. දරුණු අපරාධකරුවෙක් අපරාධයට වග කිව යුත්තා තමන් බව සඟවමින් දිගටම අපරාධ කරනවා වගේ යක්ෂයාත් තම ඇත්ත ස්වභාවය වසං කරනවා. යක්ෂයාගෙන් ආරක්ෂා වෙන්න නම් ඔහු සැබෑ පුද්ගලයෙක් කියලා මුලින්ම තේරුම්ගන්න ඕනේ.
යක්ෂයා කොහෙද ඉන්නේ?
‘පොළොවට දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වේ. මන්ද යක්ෂයා මහත් කෝපයෙන් ඔබ වෙතට බැස ඇවිත් සිටියි.’—එළිදරව් 12:12.
මිනිස්සු කියන්නේ මෙහෙමයි.
යක්ෂයා ඉන්නේ අපායේ. නරක මිනිසුන් තුළ යක්ෂයා ඉන්නවා කියලා කියන අයත් ඉන්නවා.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
දෙවියන්ව සහ දේවදූතයන්ව අපිට පේන්නෙ නෑ. සාතන්ව පේන්නෙත් නෑ. මුල් කාලයේදී දෙවියන් සහ දේවදූතයන් ඉන්න තැනට යන්න එන්න සාතන්ට දෙවියන් ඉඩහැරලා තිබුණා. (යෝබ් 1:6) දැන් සාතන්ව පොළොවට හෙළා තිබෙන අතර ඔහුගේ ක්‍රියාකාරකම් සීමා වෙලා තියෙන්නේ පොළොවට විතරයි.—එළිදරව් 12:12.
මෙයින් අදහස් කරනවාද සාතන්ගේ ක්‍රියාකාරකම් පොළොවේ එක තැනකට පමණක් සීමා වෙලා කියලා? නැහැ. එහෙමනම් පර්ගමම් කියන පුරාණ නුවර “සාතන්ගේ වාසස්ථානය” හැටියට බයිබලේ හඳුන්වා තියෙන්නේ ඇයි? (එළිදරව් 2:13) ඒකට හේතුව ඒ නුවරේ යක්ෂයාගේ නමස්කාරයට සම්බන්ධ ක්‍රියා බොහොමයක් සිදු වූ නිසයි. සාතන්ට මේ පොළොවේ නිශ්චිත වාසස්ථානයක් නෑ. ‘ලොව පුරා ඇති සියලුම රාජ්‍යයන්’ ඔහුගේ කියලා බයිබලේ සඳහන් වෙනවා.—ලූක් 4:5, 6.
මිනිසුන්ට කරදර කරන්න හෝ තම ග්‍රහණයට හසු කරගන්න යක්ෂයාට පුළුවන්ද?
‘මේ මුළු ලෝකයම දුෂ්ටයාගේ බලපෑමට යටත්ව තිබෙනවා.’—1 යොහන් 5:19.
බයිබලයේ කියන්නේ මෙහෙමයි.
යක්ෂයා මිනිසුන් හුඟදෙනෙක්ව නොමඟ යවලයි තියෙන්නේ. (2 කොරින්ති 11:14) ඒ නිසා ඔවුන් ඉන්නෙ යක්ෂයාගේ ග්‍රහණයේ. මේ සමාජය මේ තරම් දුෂ්ට තත්වයට පත්වෙලා තියෙන්නෙ ඒ නිසයි.
මිනිසුන් සාතන්ගේ සහ භූතයන්ගේ කුරිරු බලපෑමට හසු වෙලා දුක් විඳපු ආකාරය ගැන බයිබලේ වාර්තා වෙනවා.—මතෙව් 12:22; 17:15-18; මාක් 5:2-5.
ඔබට කළ හැකි දේ.
සාතන් “කොතරම් කපටි අන්දමින් ක්‍රියා කරනවාද කියා” ඔබ හොඳින් දන්නවා නම් ඔබට ඔහුගේ ග්රහණයෙන් මිදෙන්න පුළුවන්. (2 කොරින්ති 2:11) භය වෙන්න ඕනෙ නෑ. බයිබලය කියවනවා නම් ඔහු යොදන උපායන් මොනවද කියලා දැනගෙන ඔහුට හසු නොවී ඉන්න ඔබට පුළුවන්.
ඒ විතරක් නෙමෙයි මායා බන්ධන ක්‍රියා ඇතුළත් පොත්පත්, වීඩියෝ, සංගීතය සහ පරිගණක වැඩසටහන් වගේම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි භූතයන්ට සම්බන්ධ සෑම දේකින්ම වළකින්න.—ක්‍රියා 19:19.
“යක්ෂයාට විරුද්ධ වන්න. එවිට ඔහු ඔබ වෙතින් පලා යයි” කියලා බයිබලයේ සහතික කර තියෙනවා. (යාකොබ් 4:7) බයිබලේ තියෙන නැණවත් උපදෙස් ඔබ පිළිපදිනවා නම් යක්ෂයාගේ කපටි උපායන්වලින් ආරක්ෂා වෙන්න ඔබට පුළුවන්.—එෆීස 6:11-18.