Skip to content

පටුනට යන්න

 මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට

යොවුන් දරුවා එයාටම හානි කරගන්නවා නම්

යොවුන් දරුවා එයාටම හානි කරගන්නවා නම්

ප්‍රශ්නය

දුව එයාගෙ ඇඟ කපාගෙන කියලා ඔබ දැනගන්නවා. ‘ඇයි දුව එහෙම කරගන්නෙ?’ ‘එයා දිවි නහගන්නවත් හදනවද?’

හුඟක් වෙලාවට එයාටම හානි කරගන්නෙ * දිවි නහගන්න හිතාගෙන නෙමෙයි. එහෙම කරන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් තියෙන නිසයි. ඒ වගේ දරුවෙක්ට උදව් ඕනෙ. කොහොමද උදව් කරන්නෙ? ඔක්කොටම කලින් දුව ඒ විදිහට හැසිරෙන්නෙ ඇයි කියලා දැනගමු. *

ඇයි එහෙම වෙන්නේ?

ඒක විලාසිතාවක්ද? සමහර යෞවන දරුවන් ඒ දේ කරන්නෙ අනිත් අයත් එහෙම කරනවා කියලා අහන දකින නිසයි. හැබැයි හැමෝම කරන්නෙ ඒ නිසා නෙමෙයි කියලා 20 හැවිරිදි සෙල්යා කියන දෙයින් පැහැදිලියි. * ‘මං මගෙ ඇඟ කපාගන්නවා කියලා කවුරුත් දැනගන්නවට කැමති වුණේ නෑ. කාටවත් පේන්නැති විදිහට ඒ කැළැල් මං වහගත්තා.’ මේ ලිපියේ කතා කරන්නෙ සෙල්යා වගේ කාටත් හොරෙන් ඇඟ කපාගන්න අය ගැනයි. ඒ ගැන අනිත් අය දැනගන්නවටත් එයාලා ලැජ්ජයි.

අවධානය ඇදගන්නද? සමහර අය නම් අනිත් අයගේ අවධානය ඇදගන්න එහෙම කරනවා ඇති. ඒත් මේ ලිපියේ අපි කතා කරන්නෙ කාටත් හොරා මේ දේ කරන අය ගැන. මේ අය තමන්ගෙ කැපුම් තුවාල පෙන්නලා අනිත් අයගේ අවධානය ඇදගන්න හදන්නෑ. ඒත් කලින් මේ පුරුද්ද තිබ්බ ගැහැනු ළමයෙක් කිව්වේ ‘ඒ කාලෙ මගේ කැපුම් තුවාල කවුරු හරි දැක්ක නම් එදාම මගෙ ප්‍රශ්න ගැන කතා කරන්න අවස්ථාවක් තිබුණා’ කියලයි.

ඇයි එහෙනං ඇඟ කපාගන්නෙ? ඒකට හේතු ගොඩක් තියෙන්න පුළුවන්. ඇත්තටම එහෙම කරන්නෙ හිතේ වේදනාව වචනෙන් කියාගන්න බැරි අයයි. තම පොතේ ස්ටීවන් ලෙවන්ක්‍රොන් කියන මානසික සෞඛ්‍ය විශේෂඥයා තමන්ටම තුවාල කරගන්න අයව හැඳින්නුවේ “ඇඟ කපාගත්තාම ඇති වෙන වේදනාවෙන් හිතේ වේදනාව යටපත් කරගන්න හදන අය විදිහටයි.”—Cutting.

සාමාන්‍යයෙන් ඇඟ කපාගන්නෙ හිතේ වේදනාව වචනෙන් කියාගන්න බැරි අයයි

ඔබේ වරදක් නිසා කියලා හිතෙනවද? දරුවා ඒ වගේ හැසිරෙන්නෙ ‘මගේ වරදින්’ කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒ ගැන ළත වෙවී ඉන්නවා වෙනුවට දරුවා ඉන්න තත්වෙන් ගොඩගන්න කරන්න පුළුවන් දේවල් ගැන හිතන්න.

 ඔබට කළ හැකි දේ

දරුවට තියෙන ප්‍රශ්නෙ මොකක්ද කියලා දැනගන්න උත්සාහ කරන්න. ඒ සඳහා මේ යෝජනා ඔබට උදව් වෙයි.

සනසවන්න. ඇඟ කපාගන්න පුරුද්ද ගැන දරුවා ඇවිත් ඔබට කිව්වොත් භය වෙලා කලබල වෙන්නැතුව සන්සුන්ව දරුවාව සැනසෙන විදිහට කතා කරන්න.—1 තෙසලෝනික 5:14 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

තවත් මානසිකව වැටෙන විදිහට ප්‍රශ්න අහන්න එපා. ඔබට මෙහෙම අහන්න පුළුවන්. ‘ඔයාට ඔයා ගැනම කලකිරීමක් ඇති වෙනවා කියලා මං දන්නවා. දුව මෙච්චර දුක් වෙන්නෙ මොකක් හින්දද?’ ‘මේ වගේ වෙලාවට මට මොනවද කරන්න පුළුවන් දුවේ?’ ‘මගෙ දූට කිට්ටු වෙන්න මං තව මොනවද කරන්න ඕනෙ?’ ඊටපස්සේ බාධා නොකර දරුවා කියන දේට හොඳින් ඇහුම්කන් දෙන්න.—යාකොබ් 1:19 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

හොඳ ගතිගුණ දකින්න උදව් කරන්න. තමන්ව කපාගන්න හුඟදෙනෙක් දකින්නෙ තමන්ගේ අඩුපාඩු, නරක පැති විතරයි. ඉතිං දෙමව්පියන් විදිහට ඔබට පුළුවන් දරුවගෙ හොඳ ගතිගුණ හඳුනාගන්න උදව් කරන්න. එයා ගාව තියෙන හොඳ ගතිගුණ අඩු තරමින් තුනක්වත් කොළයක ලියන්න කියලා එයාට කියන්න පුළුවන්. ‘මං එහෙම ලිව්වම මට තේරුණා මටත් හොඳ ගතිගුණ තියෙනවා කියලා.” එහෙම කිව්වෙ බ්‍රියෑනා කියන තරුණියයි. *

යෙහෝවා දෙවියන්ට යාච්ඤා කරන්න දරුවට දිරිගන්වන්න. “ඔහු ඔබ ගැන සැලකිලිමත් වන නිසා ඔබේ කනස්සල්ලට හේතු වන සෑම බරක්ම ඔහු පිට තබන්න” කියලා බයිබලේ සඳහන් වෙනවා. (1 පේතෘස් 5:7) “මගේ හිතේ තියෙන හැම දෙයක්ම යෙහෝවා දෙවියන්ට කියන්න මං ගොඩක් උත්සාහ කරනවා. මගේ ඇඟ කපාගන්න එන පෙලඹීම නවත්වගන්න ඒකෙන් මට ලොකු ශක්තියක් ලැබුණා.” ඒ 17 හැවිරිදි ලොරෙනාගේ අද්දැකීම.—1 තෙසලෝනික 5:17 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

^ par. 5 තමන්ටම හානි කරගන්න අය තමන්ගේ ඇඟ කපාගැනීම, තුවාල කරගැනීම, රිදවාගැනීම හෝ වෙනත් ක්‍රමයක් ඊට යොදාගන්නවා.

^ par. 5 මේ ලිපියේ ගැහැනු දරුවන්ට යොමු දැක්වුවත් මේ තොරතුරු පිරිමි දරුවන්ටත් අදාළයි.

^ par. 7 නම් වෙනස් කර ඇත.

^ par. 15 තමාව කපාගන්න එක හුඟක් වෙලාවට මානසික අවපීඩනය හෝ වෙනත් ලෙඩක රෝග ලක්ෂණයක්. සමහරවිට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය විය හැකියි. පිබිදෙව්! සඟරාව ප්‍රතිකාර ක්‍රම යෝජනා නොකළත් ලබාගන්න ප්‍රතිකාර ක්‍රම බයිබල් ප්‍රතිපත්තිවලට විරුද්ධ ඒවා නොවිය යුතුයි.