මුල් පිටුවෙන්
සල්ලිවලට ගන්න බැරි දේවල් තුනක්
සල්ලි තියෙනවා නම් මොනවද ගන්න බැරි, එහෙම තමයි හුඟක් අය හිතන්නේ. රැකියාව දිගටම තියෙයිද කියලවත් ඉන්න ගෙදර දිගටම ඉන්න ලැබෙයිද කියලවත් විශ්වාසයක් නැති වුණත් අතේ තියෙන සල්ලි වියදම් කරලා බඩු ගන්න නම් මිනිසුන්ට තියෙන්නේ පුදුම ආශාවක්.
ඒ වගේ අය ඇත්තටම දැන්වීම්වලට රැවටිලයි ඉන්නේ. ජීවිතය සතුටෙන් ගත කරන්න නම් නවීන යානවාහන, ලොකු ගෙවල් එහෙම තියෙන්න ඕනේ කියලා දැන්වීම්වල පළ වෙනවා. ඒවායේ කියන්නේ සල්ලි නැතත් ප්‍රශ්නයක් නැහැ, ‘අද බඩුව ගන්න, හෙට මුදල් ගෙවන්න’ කියලයි. අද හුඟදෙනෙක් ණය වෙලා හිටියත් ලෝකෙට පෙන්වන්නේ තමන් සල්ලිකාරයෝ කියලයි.
‘ගෙවන ක්‍රමයට අලුත් අලුත් බඩු ගද්දී සතුටක් දැනෙනවා. මුලදී පහසුයි ලේසියි කියලත් හිතෙනවා. පස්සේ තමයි අමාරුව දැනෙන්නේ. අන්තිමේදි තමන් ණයකාරයෝ කියලා තේරුම්ගන්න කොට ඉතුරු වෙන්නේ කලකිරීම විතරයි.’—The Narcissism Epidemic නම් පොත ඇසුරෙන්.
“තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමේ” ආසාව ඇත්තෙන්ම නිෂ්ඵල දෙයක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. (1 යොහන් 2:16) අපි ඕනෑවට වඩා බඩු මිල දී ගන්න වෑයම් කළොත් ජීවිතේ වැදගත් දේවල් අහිමි වෙනවා. ඒ මොනවද කියලා අපි බලමු.
1. පවුලේ බැඳීම
ඇමරිකාවේ ජීවත් වෙන බ්‍රියෑන් * නැමැති යෞවනියට හැඟුණේ තම පියා රැකියාවට ඕනෑවට වඩා කාලයක් වැය කරනවා කියලයි. ඇය මෙහෙම කියනවා. “අපිට හැමදේම ඕනෑවටත් වැඩිය තිබුණා. ඒත් තාත්තාගෙ රස්සාව නිසා තාත්තා ගෙදර හිටියේ කලාතුරකින්. මට හිතෙන්නේ තාත්තා පවුලේ අය ගැනත් ටිකක් හිතලා බැලුවා නම් මීට වඩා හොඳයි කියලයි.”
ටිකක් හිතන්න. බ්රියෑන්ගේ පියාට පසු කාලයක මොන වගේ සිත්තැවුල්වලට මුහුණ දෙන්න වෙයිද? ඕනෑවට වඩා රස්සාවට මුල් තැන දීම නිසා තාත්තයි දුවයි අතර තියෙන බැඳීමට ඒක මොන විදිහට බලපායිද? සල්ලිවලට වඩා ඔහුගෙන් පවුලේ අයට අවශ්‍ය කරන්නේ මොනවාද?
බයිබලයේ කියන දේ සලකා බලන්න.
‘සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාවය. සමහරුන් ඒ ආශාව පසුපස හඹා ගොස් ඇති නිසා බොහෝ වේදනා අද්දැකීමට සිදු වී ඇත.’—1 තිමෝති 6:10.
“වෛරයෙන් යුතුව ගව මස් කනවාට වඩා ප්‍රේමය ඇතුව එළවළු ටිකක් කෑම හොඳය.”—හිතෝපදේශ 15:17.
නිගමනය. සල්ලිවලට බැහැ පවුල් බැඳීම් ශක්තිමත් කරන්න. පවුලේ අය අතර බැඳීම් ශක්තිමත් වෙන්නේ ඒ අයත් එක්ක කාලය ගත කිරීමෙන් සහ ඔවුන්ට අවශ්‍ය සෙනෙහස ලබා දීමෙනුයි.—කොලොස්සි 3:18-21.
2. නියම රැකවරණය
“අම්මා නිතරම කිව්වේ බඳිනවා නම් සල්ලිකාරයෙක්ව බඳින්න, ඒ වගේම රස්සාවක් කරන්න පුළුවන් විදිහේ දෙයක් ඔයත් ඉගෙනගන්න කියලයි. එහෙම කළොත් ඔයාගේ මහත්තයාගෙන් සල්ලි ලැබුණේ නැතත් ඔයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අම්මා හැම තිස්සේම හිතුවේ ඊළඟට එයාට සල්ලි ලැබෙන්නේ කොහෙන්ද කියලයි.” එහෙම කිව්වේ 17 හැවිරිදි සේරා.
ටිකක් හිතන්න. අනාගතය සැලසුම් කරද්දී ඔයා සැලකිලිමත් වෙන්නේ මොන වගේ කාරණා ගැනද? සැලකිලිමත් වෙන ඒ කාරණා ගැන අනවශ්‍ය විදිහට ළත වෙනවාද? සේරාගේ මවට මුදල් ගැන හරි ආකල්පයක් තිබුණා නම් ඇය දුවට කියන්නේ මොන වගේ දෙයක්ද?
බයිබලයේ කියන දේ සලකා බලන්න.
“තවදුරටත් මෙලොවෙහි වස්තු රැස් කර නොගන්න. මන්ද කාවෝ සහ මලකඩ නිසා ඒවා නාස්ති වී යයි. සොරුන් ඇවිත් ඒවා සොරාගනියි.”—මතෙව් 6:19.
“හෙට දිනේදී ඔබට කුමක් සිදු වේවිද කියා ඔබ දන්නේ නැත.”—යාකොබ් 4:14.
නිගමනය. සල්ලි තිබුණා කියලා අනාගතය සුරක්ෂිත වෙන්නේ නැහැ. අද සල්ලි තිබුණත් හෙට ඒවා නැති වෙන්න පුළුවන්. ඒ වගේම සල්ලි තිබුණා කියලා ලෙඩ, දුක සහ මරණය වළක්වගන්න බැහැ. (දේශනාකාරයා 7:12) බයිබලයේ සඳහන් වන විදිහට නියම රැකවරණය ලැබෙන්නේ දෙවියන් ගැනත් ඔහු මනුෂ්‍යයන් වෙනුවෙන් ඉටු කරන්න බලාපොරොත්තු වන දේවල් ගැනත් දැනගැනීමෙනුයි.—යොහන් 17:3.
3. හිතේ සතුට
“අපේ අම්මලා අපිට ඉගැන්නුවේ සරල විදිහට ජීවත් වෙන්න. අක්කයි මායි ළමා කාලය ගෙව්වේ හරිම සතුටෙන්. අපිට තිබ්බේ අවශ්‍ය දේවල් විතරයි. ඒත් අපි සතුටෙන් හිටියා.” එහෙම කිව්වේ 24 හැවිරිදි ටානියා.
ටිකක් හිතන්න. මූලික අවශ්‍යතා ලැබෙනවා නම් ඒවායින් සතුටු වෙන්න බැරි ඇයි? මුදල් සම්බන්ධයෙන් තිබිය යුතු ආකල්පය ගැන ඔබ පවුලේ අයට තියන්නේ මොන වගේ ආදර්ශයක්ද?
බයිබලයේ කියන දේ සලකා බලන්න.
“කෑම බීම, ඇඳුම්පැළඳුම් සහ ඉඳුම්හිටුම් ඇත්නම් අපි ඒ දේවලින් සෑහීමට පත් වෙමු.”—1 තිමෝති 6:8.
“නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.
නිගමනය. සල්ලිම නෙමෙයි ජීවිතේ කියන්නේ. බයිබලයෙත් කියනවා “කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ” කියලා. (ලූක් 12:15) පහත සඳහන් මේ වගේ ප්‍රශ්නවලට උත්තර ලබාගැනීමෙන් තමයි ජීවිතේ නියම සතුට ලැබෙන්නේ.
අපේ ජීවිතේ අරමුණ මොකක්ද?
අනාගතේ ගැන තියෙන බලාපොරොත්තුව මොකක්ද?
දෙවියන් ගැන දැනුම ලබාගැනීමට අපිට තියෙන අවශ්‍යතාවය සපුරාගන්නේ කොහොමද?
මේ ප්‍රශ්නවලට උත්තර දැනගන්න මේ සඟරාවේ ප්‍රකාශකයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමු වෙන්න. එහෙමත් නැත්නම් jw.org/si වෙබ් අඩවියට පිවිසෙන්න.
^ par. 8 නම් වෙනස් කර ඇත.