ජීවිතේ මැදිවිය පසු කරන කාන්තාවන්ගේ ගැටලුව
“මට ලොකු දුකක් දැනෙනවා. ඒත් මං දන්නේ නැහැ එහෙම වෙන්නේ ඇයි කියලා. මං අඬඅඬා හිතන්නේ මට පිස්සු හැදීගෙනවත් එනවද කියලා.”—50 හැවිරිදි රොන්ඩ්රො. *
“උදේ නැගිටලා ගේ දැක්කම මට හිතෙන්නේ කිසිම පිළිවෙළක් නැහැයි කියලා. බඩුවක් හොයාගන්නවත් බැහැ. ඉස්සර වගේ නෙමෙයි, දැන් වැඩක් පළක් කරගන්නත් හරි අමාරුයි. එහෙම වෙන්නේ ඇයි කියලා මං දන්නේ නැහැ.”—55 හැවිරිදි හන්ටා.
මේ අයට තියෙන්නේ රෝගයක් නෙමෙයි. ජීවිතේ මැදිවිය පසු කරන ඕනෑම කාන්තාවකට ඇති විය හැකි සාමාන්‍ය තත්වයක්. ඔසප් චක්‍රය නතර වෙද්දී එනම් කාන්තාවක් දරු සම්පත් ලැබීමේ හැකියාවෙන් සමුගනිද්දී එවැනි ලක්ෂණ ඇති වෙනවා. එම තත්වය පූර්ව ආර්තවහරණය කියාද හඳුන්වනවා. ඔබත් පසු වන්නේ ජීවිතේ එම කාලයට ළං වෙමින්ද? නැත්නම් ඒ කාලයේද? තත්වය කුමක් වුණත් ඔබත් ඔබේ පවුලේ අයත් මේ ගැන හොඳින් දැනුවත් වෙනවා නම් මේ කාලයේදී ඇති වෙන අපහසුතාවයන්ට සාර්ථකව මුහුණ දෙන්න ඔබට පුළුවන්.
පූර්ව ආර්තවහරණය
පූර්ව ආර්තවහරණය ලෙස හඳුන්වන්නේ ඔසප් චක්‍රය නතර වීමට පටන්ගැනීමේ සිට සම්පූර්ණයෙන්ම නතර වීම දක්වා වූ කාලයයි. *
බොහෝ කාන්තාවන්ට ඔසප් වීම නතර වීමේ ලක්ෂණ පටන්ගන්නේ අවුරුදු හතළිස් ගණන්වලදී. තවත් අයට හැට ගණන්වලදී. මේ අයගෙන් බොහෝදෙනෙක්ට ඔසප් වීම නතර වෙන්නේ ක්‍රමක්‍රමයෙන්. ඒකට හේතුව මේ කාලයේදී ශරීරයේ හෝමෝන අඩු වීමයි. ඒ නිසා ඔසප් වීම කඩින්කඩ සිදු වීම, නියමිත දිනට සිදු නොවීම හෝ අධික රුධිර වහනයක් සිදු වීම වැනි දේ ඇති විය හැකියි. ඒත් සමහරුන්ට එකපාරටම ඔසප් වීම නතර වෙනවා.
එක් පොතක සඳහන් වෙන්නේ මෙහෙමයි. “ඔසප් චක්‍රය නතර වීමේදී ඇති වෙන ලක්ෂණ එක් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට වෙනස්. හුඟක් අයට ඇති වෙන අපහසුතාවයක් තමයි ඇඟේ අධික දැවිල්ලක් ඇති වීම (ඇඟ පිච්චීගෙන යනවා වගේ දැනීම) සහ සමහර විට ඒ සමඟම ඇඟ සීතල වීම.” එම ලක්ෂණ නිසා නින්ද නොයෑම, ඇඟට තෙහෙට්ටුවක් දැනීම වැනි දේ ඇති විය හැකියි. එය කොතරම් කාලයක් තියෙනවාද? කලින් සඳහන් කළ පොතට අනුව “සමහර අයට මේ තත්වය අවුරුද්දක් දෙකක් වැනි කාලයක් පවතිනවා. තවත් අයට ඊට වඩා වැඩි කාලයක් පවතිනවා. ටිකදෙනෙක්ට මේ ලක්ෂණ දිගටම පවතිනවා කියාත් වාර්තා වෙනවා.” *—Menopause Guidebook.
මේ කාලයේදී කාන්තාවකගේ හෝමෝන නිපදවීම අඩු වැඩි වෙන නිසා මානසික අවපීඩනය සහ මනෝ ස්වභාවය වෙනස් වීම වැනි තත්වයන් ඇති විය හැකියි. මේ නිසා තමයි දුක්බර සිතුවිලි, යමකට අවධානය නිසි ලෙස දීමට නොහැකි වීම, අමතක වීම වැනි දේවල් සිදු වෙන්නේ. “එක කාන්තාවකට මේ හැම ලක්ෂණයක්ම ඇති වෙන්නේ බොහෝම කලාතුරකින්” කියා එක් පොතක සඳහන් වුණා. නමුත් සමහර කාන්තාවන්ට කිසි අපහසුතාවක් ඇති නොවෙන්නත් පුළුවන්.—The Menopause Book.
තත්වයට මුහුණ දෙන්නේ කොහොමද?
එදිනෙදා ජීවිතේ යම් වෙනස්කම් කරගැනීම ඒ සඳහා උදව් වෙනවා. උදාහරණයකට දුම්පානය නතර කිරීම අපහසුතා අඩු කරගන්න උදව්වක් වෙනවා. ඒ වගේම මත්පැන්, කැෆේන්, පැණිරස කෑම වැනි දේ අඩු කිරීමෙන් හෝ වැලකී සිටීමෙන් ඇඟේ දැවිල්ල ගතිය අඩු කරගන්න පුළුවන්. සමබර ආහාර වේලක් ගැනීමත් ඉතා වැදගත්.
ඔසප් නතර වන විට ඇති වෙන අපහසුතා අඩු කරගන්න ව්‍යායාම් කිරීමත් ඉතා වැදගත්. හොඳ නින්දකට, මානසික සුවයට, අස්ථි ශක්තිමත් කරගැනීමට සහ නිරෝගීකමට එය උදව් වෙනවා. *
හිතට දැනෙන දේ කියන්න
“තනියම දුක් විඳින්න ඕනේ නැහැ. ඔයාගේ තත්වය ගෙදර ඉන්න අයට කිව්ව නම් එයාලා ඔයාව තේරුම් ගනියි” කියා ඉහත සඳහන් කළ රොන්ඩ්රො පවසනවා. හිතට දැනෙන දේ ගෙදර අයට කිව්වොත් ඔවුන් ඔබව හොඳින් තේරුම්ගනියි, ඔබත් එක්ක ඉවසීමෙන් වැඩ කරයි. බයිබලයේ සඳහන් වෙන්නේ “ප්‍රේමයෙන් ක්‍රියා කරන පුද්ගලයා බොහෝ ඉවසිලිවන්තය, කරුණාවන්තය” කියලයි.—1 කොරින්ති 13:4.
“සියලු පීඩාවලදී අපව සනසන්නේ” දෙවියන්ය කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 කොරින්ති 1:4) ඒ නිසා හුඟක් අයට යාච්ඤා කිරීම සහනයක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම තමන්ට දරුවෙක් ලැබීමේ හැකියාව නැති වෙන එක ගැන දුක් වෙන කාන්තාවන්ටත් යාච්ඤා කිරීමෙන් සහනයක් ලබන්න පුළුවන්. මේ දේත් අමතක කරන්න එපා, මේ වගේ අපහසුතා ඇති වෙන්නේ ඔසප් වීම නතර වන කාලයේදී විතරයි. තමන්ගේ සෞඛ්‍ය හොඳින් රැකබලා ගැනීමෙන් කාන්තාවකට තමන්ගේ ඉදිරි කාලය සතුටින් සහ නිරෝගීව ගත කරන්න පුළුවන්.
^ par. 2 නම් වෙනස් කර ඇත.
^ par. 6 කාන්තාවකට එක දිගට මාස 12ක් ඔසප් වීමක් සිදු වන්නේ නැත්නම් ඇය ආර්තවහරණයට ලක් වූ කාන්තාවක් ලෙසට වෛද්‍යවරු හඳුන්වනවා.
^ par. 8 තයිරොයිඩ් රෝගය, ආසාදන සහ සමහර ඖෂධ නිසාත් ඇඟේ දැවිල්ලක් ඇති විය හැකියි. ඒ නිසා ඔබට තිබෙන්නේ ඔසප් නතර වීමේ ලක්ෂණද නැත්නම් ඉහත කී තත්වයක්ද කියා පරීක්ෂා කරගන්න.
^ par. 12 මේ තත්වයට හොඳින් මුහුණ දෙන්න සමහර වෛද්‍යවරුන් හෝමෝන, විවිධ ආහාර වර්ග සහ මානසික පීඩනය අවම කරන ඖෂධ වර්ග රෝගීන්ට ලබා දෙනවා. ගත යුතු ඖෂධ හෝ ප්‍රතිකාර ක්‍රම මොනවාද කියා පිබිදෙව් සඟරාව නිර්දේශ කරන්නේ නැහැ.