නිර්මාණයක්ද?
අලවන්නත් පහසුයි ගලවන්නත් පහසුයි
මකුළුවා කිවූ සැණින් අපට මතක් වෙන්නෙ ඌ වියන දැලයි. ඇමරිකාවේ නිවාස ආශ්‍රිතව වෙසෙන මකුළුවෙකු (Parasteatoda tepidariorum) වියන දැලට විශේෂ හැකියාවක් තියෙනවා. එනම් බිත්තියට තදින් ඇලී තිබෙන්නත් ගොදුරක් ආ විට ඉක්මනින් ගැලවී ගොදුර වටා එතෙන්නත් එයට හැකියි. කොහොමද මකුළුවා ඒ වගේ දෙයක් කරන්නේ?
මේ ගැන සිතන්න: උන්ගේ ඇඟෙන් ශ්‍රාවය වන ඇලෙනසුලු ද්‍රව්‍යයක් මගින් සිල්ක් ගතියකින් යුත් කෙඳි වර්ගයක් නිපදවනවා. දැලේ එක් කෙළවරක තියෙන සිල්ක් කෙඳි ඌ බිත්තියේ හෝ සිවිලිමේ රඳවන්නේ ගොදුරක් උසුලා දරාගැනීමට හැකි තරම් ශක්තිමත්වයි. ඒ නිසා කෘමියෙක් වේගයෙන් පියඹා ඇවිත් දැලේ වැදුණත් දැල නොකැඩී කෘමියාව ගොදුරු කරගෙන රඳවා තබාගන්න ඊට හැකියි. නමුත් දැලේ අනික් කෙළවර මකුළුවා බිත්තියේ හෝ පොළොවේ රඳවන්නේ ලෙහෙසියෙන් ගැලවී යා හැකි කෙඳි කිහිපයකින් පමණයි. ගොදුරක් ඒ කෙඳිවල වැදුණොත් ක්ෂණිකව ඒ කෙඳි ගැලවී ගොදුර වටා එතෙනවා කියා ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තිබෙනවා.
එම විශ්වවිද්‍යාලයෙන් නිකුත් කළ වාර්තාවකට අනුව මේ සොයාගැනීම කළ පර්යේෂකයන් උත්සාහ කරන්නේ “මකුළුවා දැල නිර්මාණය කිරීමට යොදාගන්න උපක්‍රමය අනුකරණය කිරීමට හැකි මැලියම් වර්ගයක් නිපදවීමටයි.” එම මැලියම් වර්ගය යොදාගෙන බිඳුණු අස්ථි සකස් කිරීමට සහ තුවාල ආවරණය කිරීමට දමන ප්ලාස්ටර් නිපදවීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වෙනවා.
ඔබේ නිගමනය කුමක්ද? මකුළුවාට ඒ හැකියාව ලැබුණේ අහම්බෙන්ද? නැත්නම් එය නිර්මාණයක්ද?