දස දෙසින්
අප්‍රිකාව
යුනිසෙෆ් ආයතනයේ වාර්තාවකට අනුව, සහරා කාන්තාරයට දකුණින් තියෙන රටවල “වයස අවුරුදු පහට අඩු ළමුන්ගෙන් උප්පැන්න සහතිකයක් තියෙන්නේ සියයට 38කට පමණයි.” ඒත් එහි සමහර රටවල “දරුවන්ට සෞඛ්‍ය හා අධ්‍යාපන පහසුකම් ලබාගැනීමටත්, අනාථ වූ දරුවන්ට තම දෙමාපියන්ගේ උරුමය ලබාගැනීමටත් උපත ලියාපදිංචි කර තිබීම අත්‍යවශ්‍යයි” කියා එම ආයතනයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂකවරියක් වන එල්කා විෂ් පවසයි.
ඉතාලිය
සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 12ත් 17ත් අතර අයගෙන් සියයට 72ක් අන්තර්ජාල චණ්ඩීන්ගේ හිරිහැරවලට බයයි කියා හෙළි වුණා. එය මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙයි (සියයට 55ක්), වැඩිහිටියෙකු අතින් ලිංගික අතවරයට ලක් වෙයි (සියයට 44ක්) හෝ ලිංගිකව බෝ වෙන රෝගයක් වැළදෙයි (සියයට 24ක්) කියා ඔවුන්ට ඇති බියට වඩා ඉහළ ප්‍රතිශතයක් ගත්තා.
ජපානය
වාර්තාවකට අනුව රැකියාවේ උසස් වීම් ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවක් තරුණයන් අතර තියෙනවා. එයින් සියයට 40ක් ආයතනයේ සිදු වන වංක ක්‍රියා ගැන හා සාධාරණ ප්‍රතිපත්ති නැති වීම ගැන ඉන්නේ අසතුටින්. බොහෝ අයට හැඟෙන්නේ ආයතනයේ උසස් නිලධාරීන් සමඟ අදහස් බෙදාගන්නවත් නොහැකි බවයි. වැඩිහිටි අය දිගටම තම රැකියාවේ රැඳී සිටින්න කැමති වුණත් තරුණ අයගෙන් සියයට 60ක්ම රැකියාවේ රැඳී සිටින්නේ වෙනත් හොඳ රැකියාවක් ලැබෙන තුරු පමණයි.—The Japan Times.
බ්‍රසීලය
1980 සිට 2010 දක්වා සිදු වූ මරණවලින් 8,00,000ක් පමණ සිදු වුණේ වෙඩි තැබීම් නිසයි. මිය ගිය 4,50,000කට වඩා වැඩිදෙනෙක් අවුරුදු 15ත් 29ත් අතර අයයි. මෑතකදී කළ අධ්‍යයනයකින් හෙළි වුණේ ඝාතන බොහොමයකට හේතුව පවුලේ අය අතර හෝ අසල්වැසියන් සමඟ සිදු වූ ආරවුල්, ඊර්ෂ්‍යාව හෝ රියදුරන් අතර ඇති වූ බහින් බස් වීම් වැනි දේවල් බවයි.