Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | සාර්ථකත්වය කියන්නේ මොකක්ද?

සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද?

සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ කොහොමද?

සාර්ථකත්වය කියන්නේ වාසනාවන්ත පුද්ගලයන්ට සහ තමන්ගේ සිහින සැබෑ කරගන්න වෙර දරන අයට විතරක් ලැබෙන දෙයක් කියලා ඔබ අහලා ඇති. ඒත් ඒ වගේ අදහසක් බයිබලයේ සඳහන් වෙලා නැහැ.

ඇත්ත කතාව නම් ඕනෑම කෙනෙක්ට සාර්ථක වෙන්න පුළුවන් කියන එකයි. හැබැයි ඒකට වෑයම් කරන්න ඕනේ. ඒ ගැන බයිබලයේ තියෙන උපදෙස් කිහිපයක් බලමු.

  • බයිබලයේ කියන්නේ මෙහෙමයි

    “රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ඔහු එයින් සෑහීමට පත් නොවෙයි. ධනයට ඇලුම් වන්නාද තමා කොපමණ ආදායමක් ලැබුවත් එයින් සෑහීමට පත් නොවෙයි.”—දේශනාකාරයා 5:10.

    ඉන් අදහස් කරන දේ: සල්ලි ගොඩක් ලැබුණාම අපේ ජීවිතය තෘප්තිමත් වෙනවා කියලා ස්ථිරයෙන්ම කියන්න බැහැ. ජීන් ටුවෙන්ජි කියන වෛද්‍යවරිය මෙහෙම කියලා තියෙනවා. “අනිත් අය සමඟ තියෙන බැඳීම් අගය කරන අයට වඩා මුදල්වලට මුල් තැන දෙන අය බොහෝවිට ඉන්නේ කනස්සල්ලෙන් හා පීඩනයෙන්. අපේ මූලික අවශ්‍යතා ඉටු කරගන්න මුදල් තිබුණොත් අපි එයින් තෘප්තියක් ලබනවා. ඒත් වැඩිපුර සල්ලි තිබුණොත් වැඩි තෘප්තියක් ලැබෙනවා කියන කතාවේ ඇත්තක් නැහැ කියලා සමීක්ෂණවලින් හොයාගෙන තියෙනවා.”—Generation Me.

    ඔබට කළ හැකි දේ: වස්තුව සහ ධනයට වඩා ඔබේ ජීවිතයට ප්‍රයෝජනවත් වෙන දෙයක් වෙනුවෙන් මහන්සි වෙන්න. යේසුස් කිව්වෙත් “විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න. මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ” කියලයි.—ලූක් 12:15.

  • බයිබලයේ කියන්නේ මෙහෙමයි

    “විනාශයට මුල උඩඟුකමය. වැටීමට හේතුව අහංකාර සිතකි.” —හිතෝපදේශ 16:18.

    ඉන් අදහස් කරන දේ: තමන්ගේ අරමුණ කොහොමහරි ඉටු කරගන්න උත්සාහ කිරීම හා අහංකාරකම සාර්ථකත්වයට දායක වෙන්නේ නැහැ. එක් පොතකට අනුව ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාර්ථක වෙලා තියෙන්නේ “නිහතමානී, වැඩි ප්‍රසිද්ධියට කැමති නැති ප්‍රධානීන් සිටින ආයතනයි. සමීක්ෂණයට ගත් ව්‍යාපාර අතරින් තුනෙන් දෙකකම හිටියේ තමන් ගැන මහ ඉහළින් හිතුව ආයතන ප්‍රධානීන්. ඔවුන්ගේ ඒ ගතිගුණ ආයතනවල අසාර්ථකත්වයට හේතු වුණා.” (Good to Great) තමන් ගැන ඉහළින් සිතීම අසාර්ථකත්වයට මිස සාර්ථකත්වයට දායක නොවන බව ඉන් පැහැදිලියි.

    ඔබට කළ හැකි දේ: අහංකාර නොවී නිහතමානී වෙන්න. බයිබලයේ සඳහන් වෙන්නෙත් “කෙනෙක් තමා ඉතා වැදගත් කෙනෙක් කියා සිතනවා නම් ඔහු රවටාගන්නේ තමාවමය. මන්ද ඔහු තුළ කිසිවක් නැත” කියලයි.—ගලාති 6:3.

  • බයිබලයේ කියන්නේ මෙහෙමයි

    “මිනිසෙකු තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ . . . සතුටින් සිටීම තරම් සෑහීම ගෙන දෙන දෙයක් මා දැක නැත.”—දේශනාකාරයා 2:24.

    ඉන් අදහස් කරන දේ: ඕනෑම දෙයක් කැපවීමෙන් සහ අවංකව කරනවා නම් කරන දෙයින් වැඩි තෘප්තියක් ලබාගන්න පුළුවන්. වෛද්‍යවරියක් වන මැඩ්ලින් ලෙවින්ගේ පොතක මෙහෙම සඳහන් වෙනවා. “යම් දෙයක් සාර්ථක වෙන්න නම් ඒ වැඩය අපි හොඳින් කරන්න ඕනේ. අපි වැඩක් හොඳින් කරන්න නම් ඒ සඳහා දිගටම උත්සාහ කරන්න ඕනේ.” (Teach Your Children Well) ඒ නිසා අභියෝගවලට මුහුණ දීමේ හැකියාවත් අපිට තියෙන්න ඕනේ.

    ඔබට කළ හැකි දේ: වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න. අභියෝගවලට මුහුණ දෙද්දී අධෛර්යය වෙන්න එපා. ඔබට දරුවන් ඉන්නවා නම් (ඔවුන්ගේ වයස සහ හැකියාව අනුව) ඔවුන්ගේ පුංචි පුංචි ගැටලු ඔවුන්ටම විසඳගන්න ඉඩ දෙන්න. හැම ගැටලුවක්ම විසඳන්න ඔබ ඉක්මන් වෙන්න එපා. දරුවන් අභියෝගවලට මුහුණ දෙන්න ඉගෙනගනිද්දී එයින් ඔවුන් තෘප්තියක් ලබයි. හොඳ වැඩිහිටියෙක් වෙන්නත් ඒක පුහුණුවක්.

  • බයිබලයේ කියන්නේ මෙහෙමයි

    “මළ සිංහයෙකුට වඩා පණපිටින් සිටින බල්ලෙකු හොඳය.”—දේශනාකාරයා 9:4.

    ඉන් අදහස් කරන දේ: රැකියාව ඔබේ ජීවිතයේ කොටසක් මිස ජීවිතය කරගන්න එපා. රැකියාවෙන් ඉහළටම ගියත් ඔබ ලෙඩෙක් වෙනවා නම් හෝ පවුලේ අයගෙන් ඔබට ලැබෙන්න ඕන ගෞරවය නැති වෙනවා නම් ඔබ සාර්ථක කෙනෙක් කියලා කියන්න පුළුවන්ද? ඇත්තටම සාර්ථක කෙනෙක් කියලා කියන්නේ, තමන්ගේ රැකියාවේ සහ පවුලේ කටයුතු සමබරව කරන, තම සෞඛ්‍යය ගැන සැලකිලිමත් කෙනෙක්ටයි.

    ඔබට කළ හැකි දේ: ඔබ ගැන සැලකිලිමත් වෙන්න. ප්‍රමාණවත් විවේකයක් ගන්න. තමන්ගේ සෞඛ්‍යය, පවුල සහ මිත්‍රත්වයන් වැනි වටිනා දේවල් රැකියාව වෙනුවෙන් කැප කරන කෙනෙක් සාර්ථක කෙනෙක් නෙමෙයි කියලා මතක තියාගන්න.

  • බයිබලයේ කියන්නේ මෙහෙමයි

    “නිරතුරුවම දෙවිගේ මඟ පෙන්වීම් ලබාගන්න මහත් ආශාවකින් සිටින අය සන්තෝෂවත්.”—මතෙව් 5:3.

    ඉන් අදහස් කරන දේ: බයිබලය අධ්‍යයනය කිරීම සහ එහි තියෙන උපදෙස් අදාළ කරගැනීම සාර්ථක කෙනෙක් වෙන්න අත්‍යවශ්‍ය දේවල් දෙකක්. ඒ බව ලොව පුරා ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අද්දැකලා තියෙනවා. දෙවිගේ මඟ පෙන්වීම්වලට ජීවිතේ මුල් තැන දෙනවා නම් එදිනෙදා අවශ්‍යතා ගැන කනස්සලු වෙන එක අඩු කරගන්න පුළුවන් කියලා ඔවුන් තේරුම් අරන් තියෙනවා.—මතෙව් 6:31-33.

    ඔබට කළ හැකි දේ: සාර්ථක පුද්ගලයෙක් වෙන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙන විදිහ දැනගන්න. වැඩි විස්තර දැනගන්න ඔයාලගෙ ප්‍රදේශයේ ඉන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව හමුවෙන්න. නැත්නම් අපේ වෙබ් අඩවියෙන් (www.pr418.com/si) තොරතුරු සොයා බලන්න.