“මහා විනාශයක සිහිවටනයක්”
ජපානයේ හිරෝෂිමා නගරය මැදින් ගලාගෙන යන මොටොයාසූ ගඟට නැඟෙනහිරින් අදටත් 1945දී නටබුන් වූ ගොඩනැඟිල්ලක් දකින්න තියෙනවා. අද වෙන තුරු ඒ ගොඩනැඟිල්ල අලුත්වැඩියා නොකළේ ඇයි?
1915දී හදපු තට්ටු තුනකින් යුත් ඒ ගොඩනැඟිල්ල ප්රදර්ශනාගාරයක් හැටියට භාවිත කළා. ඒත් 1945 අගෝස්තු 6වෙනිදා උදේ 8.15ට පතිත වූ පළවෙනි පරමාණු බෝම්බයෙන් මුළු ප්‍රදේශයම සුනුවිසුනු වෙද්දී ඉතුරු වුණේ ඒ ගොඩනැඟිල්ලේ නටබුන් විතරයි. අඩි 1,800ක් තරම් උසින් දැමූ පරමාණු බෝම්බය වැටුණේ ඒ ගොඩනැඟිල්ල අසලිනුයි. එහි සිටි සෑම කෙනෙකුගේම ජීවිත ක්ෂණයකින් නැති වුණා. එදා සිදු වුණු ඒ ව්‍යසනකාරී සිදු වීමට මේ ගොඩනැඟිල්ලේ නටබුන් අදටත් සාක්ෂියක්.
එය “මිනිසුන් සෑදූ දරුණුතම අවිය නිසා ඇති වුණු මහා විනාශයක සිහිවටනයක්” කියා යුනෙස්කෝ * ආයතනය පවසනවා. යුනෙස්කෝ ආයතනය මගින් 1996දී ඒ ගොඩනැඟිල්ල ලෝක උරුමයක් ලෙස නම් කළා.
සාමය මොන තරම් අවශ්‍යද කියලා එවැනි ගොඩනැඟිලිවලින් මතක් කර දුන්නත් යුද්ධවල අවසානයක් නැහැ. ජාති, ආගම්, කුලමල භේද හා තණ්හාව නිසා ඇති වෙන යුද්ධවලට අවසානයක් තියෙයිද?
දෙවියන් දීලා තියෙන පොරොන්දුවක් ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු [දෙවියන්] නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.” (ගීතාවලිය 46:9) ඒ වගේම දෙවියන් මිනිස් ආණ්ඩු වෙනුවට දේවරාජ්‍යයක් පිහිටුවනවා. ඔහු පිහිටුවන ඒ රාජ්‍යයේ “රජවරුන්ගේ රජු” වෙන්නේ යේසුස් ක්‍රිස්තුස්.—එළිදරව් 11:15; 19:16.
දේවරාජ්‍යය පොළොව පාලනය කරන කාලයේ “පෙර කාලවලදී සිදු වූ දේවල් නැවත කිසි දිනක මතකයට නැඟෙන්නේ නැත.” (යෙසායා 65:17) ඒ නිසා යුද්ධවල තියෙන නිෂ්ඵලකම මතක් කර දෙන කිසි සිහිවටනයක් අවශ්‍ය වෙන්නේ නැහැ.
^ 4 ඡේ. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය.