Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | ජීවයේ උපත

පිළිතුරු දැනගත යුතු වැදගත් ප්‍රශ්න දෙකක්

පිළිතුරු දැනගත යුතු වැදගත් ප්‍රශ්න දෙකක්

1 ජීවය බිහි වුණේ කොහොමද?

සමහරු කියන්නේ මෙහෙමයි. අජීවී දෙයකින් ජීවය ඉබේම හටගත්තා.

ඒත් සමහරු ඒ පිළිතුර පිළිගන්න කැමති නැත්තේ ඇයි? සෛලයක ව්‍යුහය හා සෛලයක් ඇති වෙන්න හේතු වෙන රසායනික ක්‍රියාවලිය වගේ ගොඩක් දේවල් ගැන විස්තර ඉස්සරට වඩා දැන් විද්‍යාඥයන් දන්නවා. අජීවී දෙයක් හා ඉතාම සරල ජීවී සෛලයක් අතර ලොකු පරතරයක් තියෙනවා කියලත් ඔවුන් දන්නවා. ඒ නිසා ජීවී සෛලයක් බිහි වුණේ කොහොමද කියන එක ඔවුන්ට තවමත් ප්‍රශ්නයක්.

අවුරුදු බිලියන ගාණකට කලින් පොළොවේ තත්වය ගැන විද්‍යාඥයන් ඉදිරිපත් කරලා තියෙන්නේ උපකල්පන විතරයි. ජීවයේ ආරම්භය ගැනත් ඒ අයට විවිධ මත තියෙනවා. උදාහරණයකට ජීවය ආරම්භ වුණේ ගිනි කන්දක් ඇතුළේ නැත්නම් මුහුදු පතුලේ කියලා ඔවුන් හිතනවා. තවත් අය හිතන්නේ ජීවය බිහි වෙන්න අවශ්‍ය සංඝටක විශ්වයේ කොහේ හරි තැනක ඇති වෙලා උල්කාපාත හරහා පොළොවට ආවා කියලයි. ඒත් ජීවය බිහි වුණේ කොහොමද කියන ප්‍රශ්නෙට ඒ එකකින්වත් උත්තරයක් ලැබෙන්නේ නැහැ.

ජාන හා DNA වගේ දේවල් බවට පත් වුණ අණු ඈත අතීතයේදී තිබුණා කියලා විද්‍යාඥයන් අනුමාන කරනවා. ඒ අණු අජීවී දෙයකින් ඉබේම ඇති වුණා කියලත් ඒවාට ස්වයංක්‍රීයව තමන්ගෙම පිටපතක් හදාගන්න හැකියාව තියෙනවා කියලත් ඔවුන් හිතනවා. ඒත් ඒ වගේ අණු තිබුණා කියන්න විද්‍යාවෙන් කිසිම සාක්ෂියක් ලැබිලා නැහැ. මේ වෙනකම් විද්‍යාඥයන්ට ඒ වගේ අණුවක් විද්‍යාගාරවල නිපදවන්න හැකියාවක් ලැබිලත් නැහැ.

සෛලයක් තොරතුරු ගබඩා කරන විදිහ හා බෙදාහරින විදිහ පුදුමාකාරයි. සෛලයක තොරතුරු පිටපත් කරන්නෙත් අවශ්‍ය උපදෙස් ලබාදෙන්නෙත් ක්‍රියාකාරිත්වය පාලනය කරන්නෙත් ඒකෙ තියෙන ජානමය තොරතුරුවලට අනුවයි. සමහර විද්‍යාඥයන් මේ ජානමය තොරතුරු පරිගණකයක සොෆ්ට්වෙයාවලට සමාන කරනවා. සොෆ්ට්වෙයාවලට තොරතුරු ඇතුල් කරන්න නම් කෙනෙක් ඉන්න ඕන. ඒත් ජානවලට තොරතුරු ඇතුල් කළේ කවුද කියලා ඔවුන් දන්නේ නැහැ.

සෛලයක ක්‍රියාකාරිත්වයට ප්‍රෝටීන අණු අත්‍යවශ්‍යයි. ප්‍රෝටීන අණුවක ඇමයිනෝ අම්ල සිය ගණනක් තියෙනවා. ඒවා එතිලා තියෙන්නේ විශේෂිත රටාවකටයි. ඒ වගේම ප්‍රෝටීන අණුවක් ක්‍රියා කරන්න නම් ඒක විශේෂිත ත්‍රිමාන හැඩයකට සකස් වෙලා තියෙන්නත් ඕනේ. එහෙම බලද්දී සංකීර්ණ එක ප්‍රෝටීන අණුවක්වත් ඉබේම ඇති වුණා කියලා කොහොමටවත් හිතන්න බැහැ කියලා සමහර විද්‍යාඥයන් කියනවා. “එක සෛලයක් ක්‍රියා කරන්න ඒ වගේ විවිධ ප්‍රෝටීන අණු දහස් ගණනක් ඕනේ. ඒත් එක ප්‍රෝටීන අණුවක්වත් ඉබේම ඇති වෙන්න බැහැ” කියලා භෞතික විද්‍යාඥයෙක් වන පෝල් ඩේවිස් කිව්වා.

නිගමනය. දශක ගණනාවක් පුරා විද්‍යාවේ හැම ක්ෂේත්‍රයකම කළ පර්යේෂණවලින් පෙනී යන්නේ අජීවි දෙයකින් ජීවයක් ඇති වෙන්න බැහැ කියලයි.

2 සංකීර්ණ ජීවීන් ඇති වුණේ කොහොමද?

සමහරු කියන්නේ මෙහෙමයි. මුල්ම ක්ෂුද්‍ර ජීවියා ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වෙලා මිනිස්සු ඇතුළු වෙනත් ජීවීන් ඇති වුණා. එහෙම වුණේ ස්වාභාවික වර්ණයේ හා විකෘති වීමේ ප්‍රතිඵලයක් විදිහටයි.

ඒත් සමහරු ඒ පිළිතුර පිළිගන්න කැමති නැත්තේ ඇයි? සමහර සෛල ගොඩක් සංකීර්ණයි. සරල සෛලයක් සංකීර්ණ සෛලයක් දක්වා පරිණාමය වුණේ කොහොමද කියන එක “පරිණාමයේ දෙවෙනි අභිරහස” කියලා එක වාර්තාවක සඳහන් වෙනවා.

හැම සෛලයකම ප්‍රෝටීන අණුවලින් හැදුණු සංකීර්ණ අණුක යන්ත්‍ර (molecular machines) තියෙනවා. සෛලයක් තුළ සිදු වන සංකීර්ණ ක්‍රියාවලියට දායක වෙන්නේ ඒ අණුක යන්ත්‍රයි කියලා විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා. ඒවා මගින් පෝෂ්‍ය කොටස් ශක්තිය බවට පරිවර්තනය කිරීම, සෛල අලුත්වැඩියා කිරීම හා සෛල තුළ පණිවිඩ ගෙන යෑම වගේ දේවල් සිදු කරනවා. ඒ වගේ සංකීර්ණ අණුක යන්ත්‍රයක් ස්වාභාවික වරණයෙන් හෝ විකෘති වීමෙන් බිහි වුණා කියන එක ගොඩක් අයට පිළිගන්න අමාරුයි.

සතුන් හා මිනිසුන් ඇති වෙන්නේ යුක්තානුවකින්. යුක්තානුව කලලයක් බවට පත් වෙනවා. ඊටපස්සේ කලලයේ සෛල දිගින් දිගටම බෙදෙනවා. ඒ සෛල අයිති වෙන්න ඕනෙ මොන අවයවයටද කියලත් ඒවාවලින් වෙන්න ඕන කාර්යය මොකක්ද කියලත් ඒ සෛල දන්නවා. ඒත් ඒ එක් එක් සෛල අයිති වෙන්න ඕනෙ මොන අවයවයටද කියලා ඒවා හරියටම දන්නේ කොහොමද කියලා පරිණාමවාදීන්ට විස්තර කරන්න බැහැ.

එක සත්ව විශේෂයකින් තවත් සත්ව විශේෂයක් ඇති වෙන්න නම් සෛලවල තියෙන අණුවල ඉඳන්ම වෙනසක් වෙන්න ඕන කියලා විද්‍යාඥයන් දැන් සොයාගෙන තියෙනවා. සරලම සෛලය ඇති වුණේ පරිණාමයෙන් කියලා ඔප්පු කරන්න විද්‍යාඥයන්ට බැරි නම් සත්ව විශේෂ ඇති වුණේ විකෘතිවලින් හා ස්වාභාවික වරණයෙන් කියලා ඔවුන් කියන එක තර්කානුකූලද? සතුන් ගැන කළ පර්යේෂණවලින් පෙනී යන්නේ “හිතාගන්නවත් බැරි පුදුමාකාර සංකීර්ණකමක් උන්ගේ සැකැස්මේ තියෙනවා කියලයි. ඒත් ඒ වගේ දෙයක් බුද්ධිමත් කෙනෙක්ගේ මැදිහත් වීමක් නැතුව ඉබේම ඇති වුණා කියලා ඔප්පු කරන්න පුළුවන් කිසිම දෙයක් තාම හොයාගෙන නැහැ” කියලා ජීව විද්‍යාඥයෙක් වන මයිකල් බීහී කියනවා.

මිනිසුන්ට සිහිකල්පනාව ඇතුව වැඩ කරන්න, තර්කානුකූලව හිතන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි පරිත්‍යාගශීලී වෙන්න, පරාර්ථකාමී වෙන්න හා හරි වැරැද්ද අතර වෙනස හඳුනාගන්නත් පුළුවන්. මිනිසුන්ට විතරක් මේ වගේ වටිනා ගුණාංග තියෙන්නේ ඇයි කියලා ජීවීන් පරිණාමය වුණා කියලා කියන අයට පැහැදිලි කරන්න බැහැ.

නිගමනය. ජීවීන් ඇති වුණේ පරිණාමයෙන් කියලා හුඟදෙනෙක් විශ්වාස කරනවා. ඒත් ජීවය බිහි වුණු විදිහ හා සංකීර්ණ ජීවීන් ඇති වුණු විදිහ ගැන පරිණාමවාදීන් කරන පැහැදිලි කිරීම් ගැන අනිත් අය සෑහීමට පත් වෙන්නේ නැහැ.