මේ ඔබේ පවුලටයි | දෙමව්පියන්ට
මරණය ගැන දරුවා ප්‍රශ්න ඇහුවොත්?
ප්‍රශ්නය
අවුරුදු 6ක් වයස දරුවා ඔබෙන් මෙහෙම ඇහුවා කියලා හිතන්න. “තාත්තේ ඔයාත් කවදා හරි මැරෙයිද?” ඔබ පුදුමයෙන් මෙහෙම හිතයි. ‘මං ඒකට උත්තර දුන්නොත් දරුවාට ඒක තේරුම්ගන්න පුළුවන් වෙයිද? මරණය කියන්නේ මොකක්ද කියලා මං දරුවාට කියලා දෙන්නේ කොහොමද?’
දැනගන්න ඕන දේ
දරුවොත් මරණය ගැන ටිකක් හරි දන්නවා. ඒ නිසා ඒක කතා කරන්න හොඳ නැති විෂයක් කියලා හිතන්න එපා. දරුවන් ඒ ගැන අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න. එහෙම කරනවා නම් පවුලේ කෙනෙක්, හිතවතෙක් මැරුණොත් ඒ තත්වෙට මුහුණ දෙන්න දරුවන්ට ලේසි වෙයි.
මරණය ගැන කතා කරන එකෙන් ඔබ කරන්නේ දරුවාගේ හිතේ අනවශ්‍ය බයක් ඇති වෙන එක වළක්වන එකයි. ඒත් දරුවන්ට මරණය ගැන තියෙන සමහර වැරදි අදහස් නිවැරදි කරන්න ඕනේ. විද්වතුන් කියන්නේ අවුරුදු 6ට අඩු හුඟක් දරුවන් මරණයේ සැබෑ තත්වය දන්නේ නැහැ කියලයි. උදාහරණයකට සෙල්ලම් කරද්දී මැරුණා කියලා රඟපාන දරුවා ඊළඟ මොහොතේ නැඟිටලා එනවා ඔබ දැකලා ඇති. ඒත් ඇත්තටම මැරුණාම එහෙම වෙන්නේ නැහැ කියලා දරුවන්ට කියලා දෙන්න ඕන.
දරුවන් ලොකු වෙද්දී මරණය මොන තරම් දරුණු දෙයක්ද කියලා තේරුම්ගන්නවා. ඒ නිසා ඒ ගැන ප්‍රශ්න අහන්න, ඒ ගැන හිතන්න ඔවුන් පෙලඹෙනවා. සමහර වෙලාවට තමන් ආදරේ කරන කෙනෙක් මැරුණොත් දරුවන්ට බයක් දැනෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන දරුවන් එක්ක විවෘතව කතා කරන එක ගොඩක් වැදගත්. මානසික සෞඛ්‍ය පිළිබඳ විශේෂඥවරියක්ද මෙහෙම කිව්වා. “මරණය ගැන දැනගන්න දරුවාට ඕන වුණත් ගෙදර අය ඒ ගැන කතා කරන්න කැමති නැහැ කියලා තේරුණොත් ඒක දරුවාගේ මනසට බරක් වෙයි.”
කියන්න ඕන දේ ගැන ඕනවට වඩා කරදර වෙන්න එපා. එක් අධ්‍යයනයකින් පෙනී ගියේ දරුවන් කැමති “ඇත්ත තත්වය පැහැදිලිව, කාරුණිකව කියනවාටයි.” සාමාන්‍යයෙන් දරුවෙක් ප්‍රශ්නයක් අහන්නේ එයාට උත්තරයක් ඕන නිසයි.
මොනවද කරන්න පුළුවන්?
අවස්ථාවක් ලැබුණාම කතා කරන්න. ගෙදර සුරතල් සතෙක් මැරුණොත් දරුවා එක්ක මරණය ගැන කතා කරන්න ඒක අවස්ථාවක් කරගන්න. මේ වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. “මැරුණු සතාට වේදනාවක් දැනෙනවාද? ඌට බඩගින්නක් සීතලක් දැනෙනවාද? සතෙක් හරි මනුස්සයෙක් හරි මැරිලා කියලා ඔයා දැනගන්නෙ කොහොමද?”—දේශනාකාරයා 3:1, 7 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.
ඇත්ත හංගන්න එපා. හිතවත් කෙනෙක් මැරුණාම “එයා දුර ගමනක් ගිහිං” වගේ දේවල් කියන්න එපා. එහෙම කිව්වොත් මැරුණු කෙනා ආයෙත් ගෙදර එයි කියලා දරුවා හිතයි. ඒ නිසා එයාට තේරෙන විදිහට ඇත්ත කියන්න. උදාහරණයකට මෙහෙම කියන්න පුළුවන්. “මතකද ආච්චි මැරුණු වෙලාවේ එයාගේ ඇඟ සම්පූර්ණයෙන්ම වැඩ කරන්නෙ නැතුව ගියා. අපිට දැන් ආච්චි එක්ක කතා කරන්න බැරි වුණත් එයාව කවදාවත් අපිට අමතක වෙන්නේ නැහැ.”—එෆීස 4:25 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.
මරණය බෝ වෙන ලෙඩක් කියලා හිතලා එයත් මැරෙයි කියලා දරුවාට හිතෙයි. ඒත් එහෙම වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරන්න
දරුවාව සනසවන්න. ආදරය කරන කෙනෙක් මැරුණාම දරුවා කරපු කියපු දෙයක් නිසයි ඒ කෙනා මැරුණේ කියලා දරුවාට හිතෙන්න පුළුවන්. ඔයා නිසා නෙමෙයි එයා මැරුණේ කියලා නිකම්ම කියනවා වෙනුවට මෙහෙම අහන්න. “ඇයි ඔයා එහෙම හිතන්නේ?” දරුවා කියන දේවල්වලට හොඳින් ඇහුම්කන් දෙන්න. සමහර වෙලාවට මරණය බෝ වෙන ලෙඩක් කියලා හිතලා එයත් මැරෙයි කියලා දරුවාට හිතෙයි. ඒත් එහෙම වෙන්නේ නැහැ කියලා පැහැදිලි කරන්න.
හිතේ තියෙන දේ දැනගන්න. ඔබේ පවුලේ මිය ගිය අය ගැන දරුවාත් එක්ක කතා කරන්න. උදාහරණයකට නැන්දා , මාමා , සීයා වගේ අයගේ හොඳ මතකයන් ගැන දරුවා එක්ක කතා කරන්න. එහෙම කරද්දී මිය ගිය අය ගැන කතා කරන එක වැරදි නැහැ කියලා දරුවා තේරුම්ගනියි. ඒත් දරුවාට ඒ ගැන කතා කරන්න බල කරන්න එපා. එයාට මරණය ගැන කතා කරන්න හිතෙන වෙලාවක් එනකම් ඉවසන්න.—හිතෝපදේශ 20:5 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.
බයිබලයේ මරණය ගැන කියලා තියෙන දේ දරුවාට තේරුම්ගන්න ‘උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු’ කියන පොතේ 34වෙනි සහ 35වෙනි පරිච්ඡේද උදව් වෙයි. ප්‍රකාශන > පොත් සහ සඟරා යටතේ බලන්න