මුල් පිටුවෙන්
දරුවන්ව හික්මවන්න ඕනද?
එක කාලයක් දරුවෝ වැඩ කළේ දෙමව්පියන් කියන විදිහට. ඒත් දැන් දෙමව්පියන්ට වෙලා තියෙන්නේ දරුවෝ කියන විදිහට වැඩ කරන්නයි. දශක කිහිපයකට කලින් පවුල්වල තිබුණු තත්වේ නෙමෙයි දැන් පවුල්වල තියෙන්නේ. පහත දැක්වෙන සිදුවීම් කිහිපය බලන්න.
-
අවුරුදු 4ක දරුවෙක් අම්මත් එක්ක බඩු ගන්න කඩේකට ගිය වෙලාවේ සෙල්ලම් බඩුවක් අතට ගන්නවා. “ඔයාට ඇති තරම් සෙල්ලම් බඩු තියෙනවා නේද? ඕක ඕන නෑනේ” කියලා අම්මා කිව්වත් “මට ඒක ඕනෙමයි” කියලා දරුවා කියනවා. ඒක අරන් නොදුන්නොත් වෙනදා වගේ අදත් ළමයා මෙතන දෙවනත් කරයි කියන බයට අම්මා ඒක අරන් දෙනවා.
-
තාත්තා වැඩිහිටි කෙනෙක් එක්ක කතා කරකර ඉද්දී අවුරුදු 5ක පුංචි දුවක් මෙහෙම කියනවා. “දැන් ඇති. අපි ගෙදර යමු.” තාත්තා කතාව නතර කරලා දරුවා ළඟට පහත් වෙලා ආදරෙන් මෙහෙම අහනවා. “තව විනාඩි දෙකක් ඉන්න පුළුවන්ද දුවේ?”
-
අවුරුදු 12ක් වයස ජේම්ස් ආයිත් සැරයක් ගුරුවරයාට එකට එක කිව්වා කියලා ඉස්කෝලෙන් දෙමව්පියන්ට දැනුම් දෙනවා. ඒ වෙලාවේ තාත්තා ජේම්ස්ගේ පැත්ත අරන් එයාට මෙහෙම කියනවා. “ටීචර්ට හැම තිස්සෙම පේන්නේ ඔයාගේ වැරදි නේද? මං මේක අතඅරින්නේ නැහැ.”
ඒවා ඇත්ත සිදුවීම් නොවුණත් ඒ වගේ දේවල් අද සමාජයේ සිද්ධ වෙනවා. ඒවායින් පේන්නේ දෙමව්පියෝ දරුවන්ගේ මුරණ්ඩුකම් ඉවසනවා, කැමති දේවල් කරන්න ඉඩහරිනවා, දරුවන් වැරදි කළාම නිවැරදි කරනවා වෙනුවට දරුවන්ගේ පැත්ත ගන්නවා කියලයි. එක පොතකත් මෙහෙම කියනවා. ‘දැන් දැන් දෙමව්පියෝ දරුවන්ගේ කැමැත්තට ඉඩ දෙනවා. කාලයකට කලින් නම් දරුවෝ දැනගෙන හිටියා එයාලා ඉන්නේ දෙමව්පියන්ගේ යටතේ කියලා. ඒත් දැන් දෙමව්පියෝ දරුවන්ට යටත් වෙලා.’—The Narcissism Epidemic.
කොහොම වුණත් හුඟක් දෙමව්පියෝ දරුවන්ට හොඳ සාරධර්ම උගන්වන්න ලොකු උත්සාහයක් දරනවා. ඒ අය දරුවන්ට ආදර්ශයක් වෙනවා වගේම හික්මවන්න ඕන වෙලාවට දරුවන්ව හික්මවනවා. ඒත් ඔවුන් කරන්නේ සමාජය පොදුවේ පිළිගන්න දේට වඩා වෙනස් දෙයක් නිසා ඒක ලේසි නැහැ.
සමාජය මේ තත්වෙට පත් වුණේ කොහොමද?
දෙමව්පියන්ගේ බලය අඩු වෙලා
දරුවන්ට ඕන විදිහට දෙමව්පියන් වැඩ කරන්න පටන්ගත්තේ 1960 ගණන්වල ඉඳලයි කියලා සමහර අය කියනවා. එහෙම වුණේ ප්‍රවීණයන් කියන අය දෙමව්පියන්ට දුන්න වැරදි උපදෙස් නිසයි. ඔවුන් කිව්වේ ‘දරුවාව පාලනය කරන්න එපා, යාළුවෙක් වෙන්න,’ ‘හික්මවනවාට වඩා ප්‍රශංසා කරන්න,’ ‘වැරදි නිවැරදි කරනවා වෙනුවට එයා කරපු හොඳ දේවල් ගැන විතරක් හොයන්න’ කියලයි. දරුවන්ව නිවැරදි කරන්න ගියොත් ඒ අයගේ පුංචි හිත් රිදිලා ලොකු වුණාට පස්සේ ඒ අය දෙමව්පියන්ට වෛර බඳියි කියලා ඔවුන් හිතුවා. දරුවාව අගය කරනවා වගේම නිවැරදි කරන එකත් අවශ්‍යයි කියලා ඔවුන් තේරුම්ගත්තේ නැහැ.
වැඩි කල් යන්න කලින් ප්‍රවීණයන් දරුවන්ගේ ආත්ම ගරුත්වය ගැනත් වැඩි වැඩියෙන් කතා කරන්න පටන්ගත්තා. ඔවුන් ඒ ගැන කතා කළේ හරියට මෙච්චර කල් දෙමව්පියෝ නොදැන හිටපු දෙයක් ඔවුන් හොයාගත්තා වගෙයි. දරුවන් තුළ හොඳ හැඟීමක් ඇති කරන එක අවශ්‍ය වුණත් ප්‍රවීණයන් ඒකෙ අන්තයටම ගියා. ඒ අය දෙමව්පියන්ට උපදෙස් දුන්නේ ‘නැහැ, නරකයි කියන වචන පාවිච්චි කරනවා වෙනුවට ඕගොල්ලන් ගොඩක් වටිනවා, ඔයා කැමති තීරණයක් ඔයාට ගන්න පුළුවන්’ වගේ දේවල් දරුවන්ට කියන්න කියලයි. ඒක හරියට හොඳ කෙනෙක් වෙනවාට වඩා තමන් හොඳ කෙනෙක් කියලා හිතාගෙන හිටියම ඇති කියලා කියනවා වගෙයි.
ඒ වගේ උපදෙස්වලින් තමන් කැමති දෙයක් කරන්න අයිතියක් තියෙනවා කියන හැඟීම දරුවන් තුළ ඇති කළා. ඒකෙන් වුණේ දරුවන්ට එදිනෙදා ජීවිතයේ ඇති වෙන තත්වයන්ට මුහුණ දෙන්න බැරුව ගිය එකයි. උදාහරණයකට එක පොතක මෙහෙම සඳහන් වෙනවා. ‘කවුරු හරි වැරැද්දක් පෙන්නුවොත්, යම් දෙයක් අසාර්ථක වුණොත් ඒක දරාගන්න දරුවන්ට බැහැ.’ (Generation Me) ඒ පොතේම ඒ අදහස තාත්තා කෙනෙක් මෙහෙම විස්තර කරලා තිබුණා. “කාර්යාලවල ඉන්න අය
අපේ ආත්ම ගෞරවය ගැන හිතන්නෙ නෑ. වාර්තාවක් හදලා දෙන්න කිව්වම ඒක වැරදුණොත් ‘ඒකට කමක් නෑ. ඔයා වාර්තාව හදලා තියෙන කොළේ පාට නම් ලස්සනයි’ කියලා ඔයාව සනසන්නේ නෑ. ඒ නිසා දරුවන්ව හරියට පුහුණු කළේ නැත්නම් ඒකෙන් වෙන්නේ ලොකු හානියක්.”කලින් කලට වෙනස් වෙන අදහස්
පහුගිය දශක කිහිපය තුළ දරුවන්ව හික්මවන ක්‍රම වෙනස් වෙලා. ඒ ගැන එක උපදේශකයෙක් කිව්වේ “සමාජය වෙනස් වෙද්දී දරුවන්ව හික්මවන විදිහත් වෙනස් වෙනවා” කියලයි. * සමහර අය ‘විවිධ දේවල් උගන්වන මිනිසුන්ට හසු වී සුළඟට ඒ මේ අත ගසාගෙන යන මුහුදේ රළ’ වගේ වෙනවා කියලා බයිබලයේ කියනවා. (එෆීස 4:14) දෙමාපියන්ටත් ඒ දේ වෙන්න පුළුවන්.
දරුවන්ව හික්මවන්න අවශ්‍ය නැහැ කියලා හිතන නිසා ඒකෙන් වෙලා තියෙන්නේ ලොකු හානියක්. පවුලේ දෙමව්පියන්ට තියෙන තැන නැති වෙලා. ඒ විතරක් නෙමෙයි ජීවිතේ හරි තීරණ ගන්නත් විශ්වාසයෙන් දෙයක් කරන්නත් අවශ්‍ය මඟ පෙන්වීම් දරුවන්ට ලැබිලත් නැහැ.
දරුවන්ව හික්මවන්න මීට වඩා හොඳ ක්‍රමයක් තියෙනවාද?
^ 15 ඡේ. Secrets of Discipline: 12 Keys for Raising Responsible Children නම් පොත ඇසුරෙන්.