Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන් | දරුවන්ව හික්මවන්න ඕනද?

සාර්ථක ක්‍රමයක්

සාර්ථක ක්‍රමයක්

දෙමව්පියන් හැටියට දරුවන්ව හදා වඩා ගන්න එක ලොකු වගකීමක්. ඒ වගකීම හරියට ඉටු කරන්න නම් දරුවන්ට අවශ්‍ය හික්මවීම් දෙන්න වෙනවා. මොකද (1) හික්මවීම් දුන්නේ නැත්නම් දරුවන් මුරණ්ඩු වෙන නිසා දෙමව්පියන්ට ඔවුන්ව හදාගන්න ලොකු වෙහෙසක් දරන්න සිදු වෙනවා. (2) එක වෙලාවකට හික්මවලා අනිත් වෙලාවට හික්මවන්නේ නැත්නම් දරුවන්ට හරි වැරැද්ද තෝරගන්න බැරි වෙනවා.

ඒත් ආදරෙන් හරි විදිහට හික්මවනවා නම් දරුවාට හරි වැරැද්ද තේරුම්ගන්නත් හොඳ ගුණාංග වර්ධනය කරගන්නත් පුළුවන්. ඒ වගේම දරුවා ලොකු වුණාම වගකීමෙන් වැඩ කරන වැඩිහිටියෙක් වෙයි. ඒත් හික්මවන විදිහ ගැන හොඳ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

බයිබල් ප්‍රතිපත්තිවලින් උදව්වක්

මේ සඟරාවේ ප්‍රකාශකයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය “ඉගැන්වීමටත් අවවාද කිරීමටත් කාරණා නිවැරදි කිරීමටත් ධර්මිෂ්ඨකමින් හික්මවීම් ලබා දීමටත් ප්‍රයෝජනවත්” පොතක් කියලා විශ්වාස කරනවා. (2 තිමෝති 3:16) ඒකෙ තියෙන වටිනා ප්‍රතිපත්ති හැම පවුලකටම අදාළ කරගන්න පුළුවන්. උදාහරණ කිහිපයක් බලන්න.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “මෝඩකම දරුවෙකුගේ සිතෙහි පැළපදියම් වී ඇත.”—හිතෝපදේශ 22:15.

දරුවන් කොච්චර දක්ෂ විදිහට වැඩ කළත් ඒගොල්ලො මෝඩකම් කරනවා. දෙමව්පියන් ඒක තේරුම්ගන්නවා නම් දරුවන්ව හික්මවන්න මැළි වෙන්නේ නැහැ.—හිතෝපදේශ 13:24.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දරුවෙකුට හික්මවීම අවශ්‍ය වූ විට එය දීමෙන් නොවළකින්න.”—හිතෝපදේශ 23:13.

ඔබ හරි විදිහට හික්මවනවා නම් දරුවාට හානියක් වෙයි කියලවත් ලොකු වුණාම දරුවා ඔබට වෛර කරයි කියලවත් හිතලා බය වෙන්න ඕන නැහැ. ඔබ ඒ දේ කරන්නේ ආදරෙන් නම් දරුවා ඒක පිළිගනියි. ඒ වගේම වැඩිහිටියෙක් වුණාමත් ලැබෙන මඟ පෙන්වීම් පිළිගන්න ඔහුට ලේසි වෙයි.—හෙබ්‍රෙව් 12:11.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

වරදක් කළාම දරුවාගේ පැත්ත අරන් එයාව බේරගන්න හදන්න එපා. වරදේ ප්‍රතිඵල විඳින්න එයාටම ඉඩ හරින්න. ඒ විතරක් නෙමෙයි ගුරුවරයෙක් හරි වැඩිහිටියෙක් හරි දරුවාගේ වරදක් ගැන කිව්වොත් ඒ කෙනාව හතුරෙක් හැටියට සලකනවා වෙනුවට දරුවාව නිවැරදි කරන්න. එහෙම කරනවා නම් ඔබට වගේම අනිත් වැඩිහිටියන්ටත් කීකරු වෙන්න දරුවා ඉගෙනගනියි.—කොලොස්සි 3:20.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “දරුවෙකුට හිතුමතේට ක්‍රියා කරන්න ඉඩහැරියොත් ඔහු තම මවව ලැජ්ජාවට පත් කරයි.”—හිතෝපදේශ 29:15.

ප්‍රේමණීය වෙන්න, වචනේ වෙනස් කරන්න එපා, සාධාරණ වෙන්න

දරුවන්ට ඕනෑවට වඩා තදින් ඉන්නවත් ඕනෑවට වඩා බුරුලක් දෙන්නවත් හොඳ නැහැ. පොතක මෙහෙම සඳහන් වෙනවා. “දරුවන්ට ඕනෑවට වඩා බුරුලක් දුන්නොත් තමන් ඉන්නේ දෙමව්පියන්ගේ පාලනය යටතේ කියලා ඔවුන් තේරුම්ගන්න එකක් නැහැ.” (The Price of Privilege) එහෙම වුණොත් තමාට හැම තීරණයක්ම ගන්න අයිතිය තියෙනවා කියලා හිතලා වැරදි තීරණ ගන්න දරුවා පෙලඹෙයි. ඒක දරුවාට වගේම දෙමව්පියන්ටත් බලපානවා.—හිතෝපදේශ 17:25; 29:21.

බයිබලයේ කියන්නේ මෙහෙමයි. “මිනිසෙක් තම බිරිඳට ඇලුම් වන්නේය. ඔවුහු දෙදෙනා එක් කෙනෙකු මෙන් වන්නෝය.”—මතෙව් 19:5.

දරුවා ඔබේ ජීවිතේට එකතු වෙන්නේ ඔබ විවාහ වුණාට පස්සෙයි. දරුවන් පවුලෙන් කවදා හරි වෙන් වෙලා ගියත් ඔබ දෙදෙනා හැමදාම එකට ඉන්න ඕනේ. (මතෙව් 19:5, 6) ඒ නිසා ඔබ මුල් තැන දෙන්න ඕන ඔබේ බිරිඳට හෝ සැමියාටයි. දරුවාට මුල් තැන දුන්නොත් “මම තමයි පවුලේ වැදගත්ම කෙනා” කියලා දරුවාට හිතෙයි. (රෝම 12:3) ඒ වගේම ඔබ දෙදෙනා අතර තියෙන බැඳීමත් දුර්වල වෙයි.

දෙමව්පියන්ට මඟ පෙන්වීමක්

දෙමාපියන් හැටියට ඔබේ වගකීම ඉටු කරන්න, දරුවන්ව මේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව පුහුණු කරන්න.

ප්‍රේමණීය වෙන්න. “ඔබේ දරුවන් තුළ කෝපයක් ඇති නොකරන්න. මන්ද එසේ කිරීමෙන් ඔවුන් තුළ කලකිරීමක් ඇති වේ.”—කොලොස්සි 3:21.

වචනේ වෙනස් කරන්න එපා. “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.”—මතෙව් 5:37.

සාධාරණ වෙන්න. ‘සුදුසු ප්‍රමාණයට අවශ්‍ය හික්මවීම දෙන්න.’—යෙරෙමියා 30:11. *

^ 21 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා jw.org/si වෙබ් අඩවියේ බයිබල් ඉගැන්වීම් > විවාහක යුවළට සහ දෙමාපියන්ට යටතේ “සාර්ථක ලෙස දරුවන් පුහුණු කිරීම” යන ලිපිය බලන්න.