මුල් පිටුවෙන් | පවුලේ සමඟිය රැකගන්න
පවුලේ සමඟිය රැකගන්නේ කොහොමද?
පවුලේ අයත් එක්ක සමඟියෙන් ඉන්න බයිබලයේ තියෙන මඟ පෙන්වීම් උදව් වෙයි කියලා ඔයා හිතනවාද? බයිබලයේ සඳහන් වෙන අදහස් කීපයක් හා අපිත් එක්ක කතා කරපු අයගේ අදහස් කීපයක් සන්සන්දනය කරලා බලන්න. ඔයාගේ පවුලේ ආරවුල් ඇති වෙන එක වළක්වගන්න, පවුලේ සමඟිය රැකගන්න හා බැඳීම් ශක්තිමත් කරගන්න ඒ තොරතුරු ඔයාටත් උදව් වෙයි.
සමඟිය රැකගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති
අනිත් අයගේ හොඳ දකින්න.
“කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න. ඔබේම කාරණා ගැන පමණක් සිතමින් සිටිනවා වෙනුවට එකිනෙකා කෙරෙහිත් පෞද්ගලික සැලකිල්ල දක්වන්න.”—ෆිලිප්පි 2:3, 4.
“තමන්ගේ හැඟීම්වලට වඩා සැමියාගේ හරි බිරිඳගේ හරි හැඟීම් ගැන හිතන එක වටිනවා කියලා අපි තේරුම් අරන් තියෙනවා.”—සී. පී., විවාහ වෙලා අවුරුදු 19යි.
විවෘත මනසකින් ඇහුම්කන් දෙන්න.
“ආරවුල්වලට පැටලෙන අය නොවීමටත් සාධාරණව කටයුතු කිරීමටත් සියලුදෙනා සමඟ නිතරම මෘදුකමින් කටයුතු කිරීමටත් ඔවුන්ට සිහිගන්වන්න.”—තීතස් 3:2.
“අනිත් කෙනා කියන දේට එකඟ වෙන්න බැරි වුණත් ඔයාගෙම මතයේ ඉන්නේ නැතුව එයාට හොඳින් ඇහුම්කන් දෙන්න. ගහගන්න වගේ කතා කරන්න එපා. ආරවුල් ඇති වෙන එක වළක්වගන්න පුළුවන් වෙන්නේ එතකොටයි.”—පී. පී., විවාහ වෙලා අවුරුදු 20යි.
ඉවසීමෙන් වැඩ කරන මෘදු කෙනෙක් වෙන්න.
“ඉවසීමෙන් හමුදාපතියෙකුගේ සිත පවා දිනාගත හැක. මෘදු වූ වදන්වලින් ඇටකටු පවා බිඳිය හැක.”—හිතෝපදේශ 25:15.
“ඕනම පවුලක ප්‍රශ්න ඇති වෙනවා. අපි වැඩ කරන විදිහ අනුව තමයි ඒ ප්‍රශ්නේ විසඳෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. අපි ඉවසීමෙන් වැඩ කරනවා නම් ප්‍රශ්න විසඳගන්න ලේසියි.”—ජී. ඒ., විවාහ වෙලා අවුරුදු 27යි.
කවදාවත් ගහන්න බනින්න එපා.
“උදහස, කෝපය, අයහපත් ක්‍රියා, නින්දාසහගත කතා යනාදි සියලු දේවල් ඔබෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර දැමිය යුතුයි. ඔබේ මුවින් කිසි අසභ්‍ය කථාවක් පිට නොවිය යුතුයි.”—කොලොස්සි 3:8.
“මගේ මහත්තයාට තියෙන්නේ පුදුම ඉවසීමක්. ප්‍රශ්නයක් ආවම එයා කලබල වෙන්නේ නැහැ. ඒ නිසා කවදාවත් මට කේන්තියෙන් කෑගහලා නැහැ.”—බී. ඩී., විවාහ වෙලා අවුරුදු 20යි.
ඉක්මනින් සමාව දීලා ප්‍රශ්න විසඳගන්න.
“අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න.”—කොලොස්සි 3:13.
“ප්‍රශ්නයක් ඇති වුණාම කේන්තිය පාලනය කරගන්න ලේසි නැහැ. ඒ වෙලාවට අනිත් කෙනාගේ හිත රිදෙන දෙයක් කියන්න හරි කරන්න හරි හිතෙනවා. හැබැයි හොඳම දේ එහෙම නොකර සමාව දෙන එක. ඒක තමයි සාර්ථක විවාහයකට රහස.”—ඒ. බී., විවාහ වෙලා අවුරුදු 34යි.
බෙදා හදා ගන්න පුරුදු වෙන්න.
“දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි. . . . ඔබ මනින මිම්මෙන්ම ඔබටත් මැන දෙනු ලැබෙයි.”—ලූක් 6:38.
“මං ආස මොනවටද කියලා මගේ මහත්තයා හොඳට දන්නවා. මං හිතන්නේවත් නැති වෙලාවලදී එයා මට තෑගි ගෙනත් දෙනවා. මමත් එයාව සතුටු කරන්න පුළුවන් විදි ගැන නිතරම හිතනවා. ඒ හින්දා අපි දෙන්නම ඉන්නේ සතුටින්.”—එච්. කේ., විවාහ වෙලා අවුරුදු 44යි.
උත්සාහය අත්හරින්න එපා.
අපි බැලුවේ, බයිබලයේ තියෙන මඟ පෙන්වීම් අදාළ කරගෙන සමඟියෙන් පවුල් ජීවිත ගත කරන මිලියන ගණනක් අය අතරින් කීපදෙනෙක්ගේ අදහස් විතරයි. * ඒ අයගේ පවුල්වල වුණත් සමඟිය ගැන වැඩිය හිතන්නේ නැති සාමාජිකයන් ඉන්නවා. ඒත් ඒ අය සමඟියෙන් ඉන්න ගන්න උත්සාහය කවදාවත් අත්හරින්නේ නැහැ. මොකද එයාලා බයිබලයේ තියෙන මේ දේ විශ්වාස කරනවා. “සමාදානයට ප්‍රිය කරන තැනැත්තාගේ සිත ප්‍රීතියෙන් පිනා යයි.”—හිතෝපදේශ 12:20.
^ 24 ඡේ. ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන්න උදව් වෙන දේවල් ගැන දැනගන්න යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කළ ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතේ 14වෙනි පරිච්ඡේදය බලන්න. මෙය www.pr418.com/si වෙබ් අඩවියෙත් තියෙනවා. බයිබල් ඉගැන්වීම් > පවුලේ අයට උපකාර යටතේ බලන්න.