Skip to content

පටුනට යන්න

අද දින ක්‍රිස්තියානිහු සහ මිනිස් සමාජය

අද දින ක්‍රිස්තියානිහු සහ මිනිස් සමාජය

අද දින ක්‍රිස්තියානිහු සහ මිනිස් සමාජය

නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛර කරනු ලබන්නහුය.”—මතෙව් 24:9.

1. ක්‍රිස්තියානි ධර්මයේ කැපී පෙනෙන ලකුණක් වීමට තිබුණේ කුමක් ද?

ලෝකයෙන් වෙන් ව සිටීම, මුල් ක්‍රිස්තියානින්ගේ කැපී පෙනෙන ලකුණක් වූයේ ය. ස්වකීය පියාණන් වන යෙහෝවඃ දෙවියන් වහන්සේ හට කරන ලද යාච්ඤාවේ දී යේසුස් වහන්සේ සිය ගෝලයන් සම්බන්ධයෙන් මෙසේ පැවසූ සේක: “මම ඔවුන්ට ඔබගේ වචනය දුනිමි; මා ලෝකයාට අයිති නැති [ලෝකයෙන් කොටසක් නොවන NW] ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති නැති [ලෝකයෙන් කොටසක් නොවන NW] නිසා ලෝකයා ඔවුන්ට වෛර වුණෝය.” (යොහන් 17:14) පෝන්තියුස් පිලාත් ඉදිරියට කැඳවනු ලැබූ අවස්ථාවේ දී, යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක: “මාගේ රාජ්‍යය මේ ලෝකයේ කොටසක් නොවේ.” (යොහන් 18:36NW) මුල් ක්‍රිස්තියානින් විසින් ලෝකයෙන් වෙන් ව සිටීම, ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලි මගින් සහ ඉතිහාසඥයන් විසින් සනාථ කොට තිබේ.

2. (අ) කාලය ගත වීමත් සමඟ ම, යේසුස් වහන්සේගේ අනුගාමිකයන් සහ ලෝකය අතර ඇති සම්බන්ධතාවයේ යම් වෙනසක් වීමට තිබුණා ද? (ආ) යේසුස් වහන්සේගේ රාජ්‍යය, ජාතීන්ගේ හැරීමක් තුළින් පැමිණෙන්නට තිබුණි ද?

2 තම අනුගාමිකයන් හා ලෝකය සමඟ තිබෙන සම්බන්ධතාවයේ වෙනසක් සිදු වී මෙම ලෝකය ක්‍රිස්තියානි ධර්මය වෙතට හැරවීම මගින් සිය රාජ්‍යය පැමිණෙනු ඇති බවට යේසුස් වහන්සේ පසු ව හෙළි කළ සේක් ද? නැත. යේසුස් වහන්සේගේ මරණින් පසු ව උන් වහන්සේගේ අනුගාමිකයන් හට ලිවීමට ආනුභාවය ලැබු කිසි දෙයක එවන් ඇඟවීමක්වත් තිබුණේ නැත. (යාකොබ් 4:4 [පො.යු. 62ට ටික කලකට පෙර ලියන ලදි]; 1 යොහන් 2:15-17; 5:19 [පො.යු. 98 දී පමණ ලියන ලදි]) මීට පටහැනි ලෙස, යේසුස් වහන්සේගේ “පැමිණ සිටීම” හා ඉන් පසු ඇති වන රාජ්‍යය බලයෙන් යුක්ත ව “පැමිණීම,” “දේවල පිළිවෙළේ සමාප්තිය” සමඟ සම්බන්ධ කොට ඇති අතර, මෙය එහි “අවසානය” හෙවත් විනාශයෙන් උච්චාවස්ථාවට පත් වනු ඇත. (මතෙව් 24:3NW, මතෙ 24:14, 29, 30; දානියෙල් 2:44, 45; 7:13, 14) යේසුස් වහන්සේගේ ·රූ·සිʹයා හෙවත් පැමිණ සිටීම සම්බන්ධයෙන් උන් වහන්සේ විසින් දෙනු ලැබූ ලකුණ තුළ, උන් වහන්සේගේ සැබෑ අනුගාමිකයන් ගැන මෙසේ පැවසූ සේක: “එකල ඔව්හු නුඹලා පීඩා විඳීමට පාවාදී මරන්නෝය, නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නෝය.”—මතෙව් 24:9.

අද දින සැබෑ ක්‍රිස්තියානිහු

3, 4. (අ) කතෝලික විශ්වකෝෂයක්, මුල් ක්‍රිස්තියානින් ව විස්තර කරන්නේ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව හා මුල් ක්‍රිස්තියානින් ව විස්තර කෙරෙන්නේ කිනම් සමාන යෙදුම්වලින් ද?

3 තම සාමාජිකයන්ට වෛර කරනු ලැබීම සහ පීඩා කරනු ලැබීම සමඟින්, ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට ඇදහිලිවන්ත ව සිටීම හා මේ ලෝකයෙන් වෙන් වී සිටීම සම්බන්ධයෙන් තමන්ට ම කීර්ති නාමයක් දිනා ගෙන සිටින අද දින ආගමික කණ්ඩායම කුමක් ද? හොඳයි, මුල් ක්‍රිස්තියානින්ගේ ඓතිහාසික විස්තර කිරීම්වල සෑම අංගයකට ම නෑකම් කියන්නේ කිනම් ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සංවිධානය ද? මේ සම්බන්ධ ව, කැතොලික් එන්සයික්ලොපීඩියා මෙසේ ප්‍රකාශ කරයි: “ප්‍රාථමික ක්‍රිස්තියානි සමාජය, යුදෙව්වන් අතර ම සිටි හුදෙක් තවත් නිකායක් ලෙස සලකනු ලැබූ නමුත්, එහි දේව ධර්මීය ඉගැන්වීම්වල අද්විතීය බවක් ඔප්පු කළ අතර, ‘මුළු යුදෙයාවෙත් සමාරියෙත් එමෙන් ම පොළොවේ සීමාවන් දක්වා ද’ ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස සේවය කළා වූ එහි සාමාජිකයෝ ජ්වලිතකම දැක්වීමේ දී අද්විතීය බවක් පෙන්වූහ. (ක්‍රියා 1.8).”—වෙළුම 3, පිටුව 694.

4 “හුදෙක් තවත් නිකායක් ලෙස සලකනු ලැබූ,” “එහි ඉගැන්වීම්වල . . . අද්විතීය බවක්,” “සාක්ෂිකරුවන් ලෙස . . . ජ්වලිතකම” යන යෙදුම් කල්පනාවට ගන්න. එම විශ්වකෝෂය ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන විස්තර කරන දේ දැන් නිරීක්ෂණය කරන්න: “නිකායකි . . . ඉතා සුළු වසර කිහිපයක් ඇතුළත ලෝකයේ අවසානය පැමිණෙනු ඇතැයි සාක්ෂිකරුවෝ ගැඹුරින් ඒත්තු ගෙන සිටිති. ඔවුන්ගේ බලවත් උත්සාහවන්ත ජ්වලිතකමට පිටුපසින් තිබෙන ප්‍රබලතම පෙලඹීමේ බලය වී තිබෙන්නේ මෙම ජීවමාන විශ්වාසය බව පෙනෙන්ට තිබේ. . . . මෙම නිකායට අයත් එක් එක් සාමාජිකයාගේ මූලික ම බැඳීම නම්, පැමිණෙමින් තිබෙන යෙහෝවඃ වහන්සේගේ රාජ්‍යය ප්‍රචාරය කිරීම මගින් උන් වහන්සේට සාක්ෂි දැරීම ය. . . . බයිබලය තමන්ගේ ඇදහිල්ලේ සහ හැසිරීමේ ව්‍යවස්ථාවේ එක ම ප්‍රභවය ලෙස ඔවුහු සලකති. . . . සැබෑ සාක්ෂිකරුවෙකු වීමට නම්, යමෙක් එක් ක්‍රමයකින් හෝ තවත් ක්‍රමයකින් බලපෑමෙන් යුක්ත ලෙස දේශනා කළ යුතු ය.”—වෙළුම 7, පිටු 864-5.

5. (අ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් අද්විතීය වන්නේ කිනම් ආකාරයන්ගෙන් ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඇදහිලි ශුද්ධ ලියවිලිවලට එකඟ බව පෙන්වන උදාහරණ දෙන්න.

5 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඉගැන්වීම් අද්විතීය වන්නේ කිනම් පැතිවලින් ද? කැතොලික් එන්සයික්ලොපීඩියා කිහිපයක් සඳහන් කරයි: “ඔවුහු [යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ] ත්‍රිත්වය මිථ්‍යා ලබ්ධික පිළිම වන්දනාවක් ලෙස හෙළා දකිති . . . ඔවුන් යේසුස් වහන්සේ ව සලකන්නේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨතම තැනැත්තා, එනම් කිසිවෙකුට නොව නමුත් යෙහෝවඃ වහන්සේට පමණක් පහත් වූ ‘දෙවි කෙනෙක්’ ලෙසට ය (ඔවුහු යොහන් 1.1 පරිවර්තනය කරන්නේ එලෙස ය.) . . . මිනිසෙකු සේ මිය ගිය උන් වහන්සේ අමරණීය ආත්ම පුත්‍රයෙකු ලෙස නැගිටවනු ලැබූ සේක. පොළොව මත සදාකල් ජීවත්වීමේ අයිතිය මිනිස් වර්ගයාට යළි ලබා දීම සඳහා උන් වහන්සේ ගෙවූ මිලය වූයේ උන් වහන්සේගේ වධ විඳීම හා මරණයයි. ඇත්ත වශයෙන් ම, සැබෑ සාක්ෂිකරුවන්ගේ ‘මහත් සමූහය’ (එළි 7.9) භූමික පාරාදීසයක් ගැන බලාපොරොත්තු වෙති; ක්‍රිස්තුස් වහන්සේ සමඟ ස්වර්ගික තේජස භුක්ති විඳී, මේ වරම ඇදහිලිවන්තයන් 1,44,000කට පමණි. (එළි 7.4; 14.1, 4) දුෂ්ටයන් සම්පූර්ණ විනාශයට යටත් වෙනවා ඇත. . . . වතුරේ ගිල්වීම මගින් සාක්ෂිකරුවන් විසින් කෙරෙන බව්තීස්මය . . . යෙහෝවඃ දෙවියන් වහන්සේට සේවය කිරීම සඳහා කරන තම කැප වීමේ බාහිර සංකේතයක් ය. . . . යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ රුධිර ප්‍රවේශනයන් ප්‍රතික්ෂේප කිරීම මගින් ප්‍රසිද්ධියට පත් වී සිටිති. . . . විවාහය සහ ලිංගික කාරණා පිළිබඳ ව ඔවුන්ගේ සදාචාරය සෑහෙන දැඩි ය.” යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මේ අංගයන්හි දී අද්විතීය වෙනවා විය හැක, නමුත් මෙම සියලු කරුණු සම්බන්ධ ඔවුන්ගේ ස්ථාවරය ස්ථිර ලෙස පදනම් වී ඇත්තේ බයිබලය මතයි.—ගීතාවලිය 37:29; මතෙව් 3:16; 6:10; ක්‍රියා 15:28, 29; රෝම 6:23; 1 කොරින්ති 6:9, 10; 8:6; එළිදරව් 1:5.

6. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් පවත්වා ගෙන ඇත්තේ කිනම් ස්ථාවරය ද? මන්ද?

6 මෙම රෝමානු කතෝලික ග්‍රන්ථය, 1965 දී (පෙනෙන ලෙස මෙම ලිපිය ලියනු ලැබූ වසර) “තමන් ජීවත් වන සමාජයට තමන් අයත් බව තවමත් සාක්ෂිකරුවන් සැලකුවේ නැත” යයි එකතු කළේ ය. කල්යත් ම යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගණනින් වැඩි වී, “නිකායකට වෙනස් ව පල්ලියක ගති ලක්ෂණ එන්ට එන්ට ම ඇති කර ගෙන” මේ ලෝකයේ කොටසක් බවට පත් වනු ඇතැයි කියා මෙම කර්තෘවරයා විසින් කල්පනා කළ බවක් පෙනෙන්ට තිබේ. එහෙත් එසේ සිදු වූ බවක් පෙනෙන්ට නොමැත. අද දින, 1965 දී සිටි බොහෝ සාක්ෂිකරුවන්ට වඩා හතර ගුණයකින් යුත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, මෙම ලෝකය සම්බන්ධ ව තම ස්ථාවරය නිරතුරු ව ම පවත්වා ගෙන සිටිත්. යේසුස් වහන්සේ ‘මේ ලෝකයේ කොටසක් නොවුණාක්’ මෙන් ‘ඔවුහු ද මේ ලෝකයේ කොටසක් නොවෙති.’—යොහන් 17:16.

වෙන් ව නමුත් එදිරිවාදී නොවී

7, 8. මුල් ක්‍රිස්තියානින් සම්බන්ධයෙන් සැබෑ වූවාක් මෙන්, අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් ද සැබෑ වන්නේ කුමක් ද?

7 ජස්ටින් මාටර් නමැති දෙවෙනි සියවසේ විසූ අපොලොජිස්තවරයා විසින් මුල් ක්‍රිස්තියානින්ගේ ස්ථාවරයට පක්ෂ ව ලියූ දේ ගෙන හැර දක්වමින්, රොබට් එම්. ග්‍රාන්ට් නැමැත්තා තම අර්ලි ක්‍රිස්ටියැනිටි ඇන්ඩ් සොසයටි නම් පොතේ ලීවේ මෙසේ ය: “ක්‍රිස්තියානින් විප්ලවකාරීන් ව සිටියා නම්, තමන්ගේ ඉලක්කය ඉටු කර ගැනීම සඳහා ඔවුන් සැඟවී සිටිනවා ඇත. . . . සාමය සහ හොඳ ක්‍රමවත් බව රැකීම සම්බන්ධයෙන් ඔවුහු අධිරාජ්‍යයාගේ හොඳ ම මිත්‍රයන් වෙති.” ඒ හා සමාන ව, අද දින සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වනාහි සාමයට ලැදි පිළිවෙළකින් යුත් පුරවැසියන් බවට ලොව පුරා ප්‍රසිද්ධ වී තිබේ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් කිසිදු දෙයක් ගැන බිය වීමට කරුණක් නැතැයි ඕනෑ ම ආකාරයක ආණ්ඩුවක් දනී.

8 එක් උතුරු අමෙරිකානු කර්තෘවරයෙක් ලීවේ මෙසේ ය: “යමෙක්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වනාහි යම් දේශපාලනික ආධිපත්‍යයකට යම් ආකාරයක තර්ජනයක් යයි විශ්වාස කරනවා නම් අගති සහිත මෙන් ම ඉතා අවුල් සහගත මෙන් ම විකෘති වූ කල්පනාවක් එම තැනැත්තාට තිබිය යුතුයි; ඔවුන් වනාහි කැරලිකාර නොවන සාමයට ලැදි ආගමික කණ්ඩායමක් බඳු ය.” ලොබ්ජෙක්සියොන් ඩ’ කොන්සියාන්ස් (හෘදය සාක්ෂියට අනුව විරෝධය පළ කිරීම) නමැති තම පොතේ ජොන්-පියේර් කට්ලේන් මෙසේ ලියයි: “සාක්ෂිකරුවෝ අධිකාරීන්ට ඉතා හොඳින් යටත් වන අතර, සාමාන්‍යයෙන් නීතිවලට කීකරු වෙති; ඔවුහු බදු ගෙවති, ආණ්ඩු ගැන ප්‍රශ්න කිරීමට, වෙනස් කිරීමට, හෝ විනාශ කිරීමට නොසොයති. මන්දයත් මේ ලෝකයේ කටයුතු ගැන ඔවුන්ගේ සැලකිල්ලක් නැති බැවින් ය.” දෙවියන් වහන්සේට මුළුමනින් ම කැප කොට ඇති තම ජීවිත ආණ්ඩු විසින් ඉල්ලා සිටින්නේ නම් පමණක්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කීකරු වීම ප්‍රතික්ෂේප කරන බව කට්ලේන් තවදුරටත් පවසයි. මේ මගින්, ඔවුහු මුල් ක්‍රිස්තියානින් ව සමීප ලෙස සාදෘශ්‍ය කරති.—මාර්ක් 12:17; ක්‍රියා 5:29.

පාලක පන්ති විසින් වැරදි ලෙස තේරුම් ගනු ලැබ

9. ලෝකයෙන් වෙන් වී සිටීම සම්බන්ධ ව, මුල් ක්‍රිස්තියානින් හා නූතන කාල කතෝලිකයන් අතර තිබෙන එක් කැපී පෙනෙන වෙනසක් කුමක් ද?

9 රෝම අධිරාජ්‍යයන් බොහෝ දෙනෙක් මුල් ක්‍රිස්තියානින් ව වැරදි ලෙස තේරුම් ගෙන ඔවුන්ට පීඩා කළෝ ය. සමහරුන් විසින් සිතන හැටියට පො.යු. දෙවන සියවසට දාතම කරනු ලැබූ දි එපිස්ල් ටු ඩීයොග්නෙටුස් ඊට හේතු ව පෙන්වමින් මෙසේ ප්‍රකාශ කරයි: “ක්‍රිස්තියානිහු ලෝකයේ වාසය කරති, නමුත් ලෝකයේ කොටසක් නොවේ.” අනෙක් අතට, දෙවෙනි වතිකානු කවුන්සලය, සභාව පිළිබඳ එහි අගතිගාමී ව්‍යවස්ථා මාලාවේ සඳහන් කර තිබුණේ, කතෝලිකයන්, “ලෞකික කාරණා කටයුතුවල නියැලීම මගින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය” සෙවිය යුතු බවත්, “ලෝකය විශුද්ධ කිරීම සඳහා ක්‍රියා කිරීම එතුළින් ම කළ යුතු” බවත් ය.

10. (අ) පාලක පන්ති විසින් මුල් ක්‍රිස්තියානින් දෙස බලනු ලැබුවේ කෙසේ ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව බොහෝ විට දකිනු ලැබන්නේ කෙසේ ද, තව ද ඔවුන්ගේ ප්‍රතික්‍රියාව කුමක් ද?

10 රෝම අධිරාජ්‍යයන් මුල් ක්‍රිස්තියානින් ව “යම් දුරකට නිග්‍රහයට භාජනය වන උද්‍යෝගිමත් අය” ලෙස සැලකූ බව ඉතිහාසඥ ඊ. ජී. හාඩි සඳහන් කරයි. “ඔවුන් ව ඉතා අමුතු ආකාරයක ප්‍රාචීන නිකායක් වශයෙන් සංස්කෘතික ග්‍රීක්වරුන් හා රෝම නිලධාරීන් විසින් නිග්‍රහාත්මක අයුරින් දකිනු ලැබීම” ගැන ප්‍රංශ ජාතික ඉතිහාසඥ ඒට්යෙන් ට්‍රොක්මෙ කථා කරයි. බිතානියාවේ රෝම ආණ්ඩුකාර කනිෂ්ඨ ප්ලිනි සහ ට්‍රාජන් අධිරාජ්‍යයා අතර හුවමාරු වූ ලිපිවලින් පෙන්වන්නේ, පාලක පන්ති, ක්‍රිස්තියානි ධර්මයේ සැබෑ ස්වභාවය ගැන සාමාන්‍යයෙන් නොදැන සිටි බව ය. ඒ හා සමාන ව, අද දින, පාලක පන්ති විසින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව බොහෝ විට වරදවා තේරුම් ගනු ලබන අතර, නීච කොට පවා ද සලකනු ලැබේ. කෙසේ වුවද, මේ නිසා සාක්ෂිකරුවන් පුදුමයට පත්වන්නේවත් කැළඹෙන්නේවත් නැත.—ක්‍රියා 4:13; 1 පේතෘස් 4:12, 13.

“සියලු තැන්හි විරුද්ධ ව කථා” කෙරේ

11. (අ) මුල් ක්‍රිස්තියානින් පිළිබඳ ව පවසනු ලැබුවේ කුමන දේවල් ද, එමෙන් ම, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධ ව පවසා ඇත්තේ කුමක් ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දේශපාලනයේ හවුල් නොවෙන්නේ මන්ද?

11 මුල් ක්‍රිස්තියානින් ගැන මෙසේ පවසනු ලැබිණි: “මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාකරන බව අපි දනිමුව.” (ක්‍රියා 28:22) ක්‍රිස්තියානි ධර්මයේ සිත් ගත්තේ මිනිස් සමාජයේ වැදගැම්මකට නැති අය සඳහා පමණක් බව පො.යු. දෙවෙනි සියවසේ දී මිථ්‍යා ලබ්ධික සෙල්සස් කියා සිටියේ ය. ඒ හා සමාන ව, “ඔවුන්ගෙන් වැඩි පිරිසක් පැමිණ තිබෙන්නේ අපගේ සමාජයේ නැතිබැරි අයගෙන්” බව අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සම්බන්ධ ව පවසා තිබේ. පල්ලි ඉතිහාසඥ ඔගස්ටස් නියැන්ඩර් වාර්තා කළ පරිදි, “ක්‍රිස්තියානින් ව නියෝජනය කරනු ලැබුවේ ලෝකයේ මිය ගිය, ජීවිතයේ සියලු කාරණාවල දී නිෂ්ප්‍රයෝජන අය ලෙස ය. . . . සියල්ලන් ඔවුන් හා සමාන වූවා නම්, ජීවිතයේ කාරණා කටයුතු කුමන තත්ත්වයකට පත් වනු ඇතිදැයි අසන ලදි.” යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දේශපාලනයේ නියැලීමෙන් වැළකී සිටින නිසා, ඔවුන්ට බොහෝ විට චෝදනා කරනු ලබන්නේ, මිනිස් සමාජය නමැති ගසේ බොල් අතු හැටියට ය. එහෙත්, දේශපාලනයේ ක්‍රියාශීලී වී, ඒ අතර ම මිනිස් වර්ගයාගේ එක ම බලාපොරොත්තුව ලෙස දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ නියෝජිතයන් වීමට ඔවුන්ට හැක්කේ කෙසේ ද? යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ප්‍රේරිත පාවුල්ගේ වදන් හෘදයට ගනිති: “ක්‍රිස්තුස් ජේසූන් වහන්සේගේ විශ්වාසී හේවායෙකු සේ දුක් විඳීමට පංගුකාරයෙක් වන්න. ඕනෑ ම හේවායෙක් ජන සමාජයේ කටයුතුවල පැටලෙන්නේ නැති ව, තමා බඳවාගත් තැනැත්තා සතුටු කරන්නට බලයි.”—2 තිමෝති 2:3, 4, නව අනුවාදය.

12. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් මුල් ක්‍රිස්තියානින් ව සාදෘශ්‍ය කරන්නේ, වෙන් ව සිටීමේ කුමන වැදගත් අංගය තුළින් ද?

12 අ හිස්ට්‍රි ඔෆ් ක්‍රිස්ටියැනිටි නමැති තම පොතේ, මහාචාර්ය කේ. එස්. ලට්‍යූරෙට් මෙසේ ලියයි: “මුල් ක්‍රිස්තියානින් ග්‍රීක-රෝම ලෝකය සමඟ විරුද්ධ වූ කාරණාවලින් එකක් වූයේ යුද්ධයට සහභාගි වීම ය. අපගේ කාලය දක්වා පැවත තිබෙන, පළමු සියවස් තුන ඇතුළත ලියන ලද කිසිදු ක්‍රිස්තියානි ලියවිල්ලක් ක්‍රිස්තියානින්ට යුද්ධයේ හවුල්වීමට අවසර දී නැත.” ද හිස්ට්‍රි ඔෆ් ද ඩික්ලයින් ඇන්ඩ් ෆෝල් ඔෆ් ද රෝමන් එම්පයර් නම් තම ග්‍රන්ථයේ එඩ්වර්ඩ් ගිබන් මෙසේ සඳහන් කරයි: “ක්‍රිස්තියානිවරුන්, වඩාත් පරිශුද්ධ යුතුකම් අත්හරින්නේ නැති ව, සොල්දාදුවන්ගේ, මහේස්ත්‍රාත්වරුන්ගේ, හෝ කුමාරවරුන්ගේ තනතුරු භාර ගැනීම සිදු විය නොහැක්කක් විණි.” යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ද ඒ හා සමාන ව, ස්ථිර මධ්‍යස්ථ භාවයක් රකින අතර, යෙසායා 2:2-4 සහ මතෙව් 26:52 හි සංක්ෂිප්ත කර ඇති බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කරති.

13. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වෙත එල්ල වෙන චෝදනාව කුමක් ද, නමුත් සැබෑ කරුණුවලින් පෙන්වන්නේ කුමක් ද?

13 පවුල් කඩා දැමීම සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තම සතුරන්ගෙන් චෝදනා ලබත්. පවුලක එක් සාමාජිකයෙක් හෝ ඊට වඩා වැඩි දෙනෙක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත් වන විට, බෙදෙන පවුල් සම්බන්ධ ව වාර්තා තිබෙන බව ඇත්ත ය. මෙය සිදු වනු ඇතැයි යේසුස් වහන්සේ පුරෝකථනය කළ සේක. (ලූක් 12:51-53) කෙසේ වුවද, මේ හේතුව නිසා ම බිඳෙන විවාහයන් විශේෂ බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. උදාහරණයක් වශයෙන්, ප්‍රංශයේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් අතර, විවාහක යුවළයන් 3න් 1කට, සාක්ෂිකරුවෙක් නොවන විවාහක සහකරුවෙකු ඇතුළත් වෙයි. එහෙත්, මෙම මිශ්‍ර විවාහ අතර ඇති වන දික්කසාද අනුපාතය ජාතික මට්ටමේ සාමාන්‍ය අනුපාතයට වඩා ඉහළ නොවේ. මන්ද? ප්‍රේරිතවරුන් වන පාවුල්, සහ පේතෘස් නොඇදහිලිකාරයන් සමඟ විවාහ වී සිටින ක්‍රිස්තියානින්ට ප්‍රඥාවන්ත දේවානුභාවය ලත් උපදෙස් දුන් අතර, ඔවුන්ගේ වදන් අනුගමනය කිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ බලවත් ප්‍රයත්නයක් දරති. (1 කොරින්ති 7:12-16; 1 පේතෘස් 3:1-4) මිශ්‍ර විවාහයක් කඩා කප්පල් වෙයි නම්, සෑම විට ම මේ සඳහා මූලික පියවර ගැනෙන්නේ සාක්ෂිකාර නොවන සහකරු විසින් ය. අනෙක් අතට, විවාහක සහකරුවන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත්වීම නිසාත් තම ජීවිතවල බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීමට පටන් ගත් නිසාත් විවාහ දහස් ගණනක් බේරී තිබේ.

ක්‍රිස්තියානින් ය, ත්‍රිත්ව වාදීහු නොවෙති

14. මුල් ක්‍රිස්තියානින්ට එරෙහි ව ගෙනෙන ලද චෝදනාව කුමක් වී ද, එමෙන් ම මෙය ව්‍යාජෝක්තියක් වන්නේ මන්ද?

14 රෝම අධිරාජ්‍යය තුළ, මුල් ක්‍රිස්තියානින්ට එරෙහි ව ගෙනෙනු ලැබූ චෝදනාවලින් එකක් වූ, ඔවුන් අදේව වාදීන් යයි කියා සිටීම ව්‍යාජෝක්තියකි [මුළා කරවන කියමනකි]. ආචාර්ය ඔගස්ටස් නියැන්ඩර් මෙසේ ලියයි: “දෙවිවරුන් ප්‍රතික්ෂේප කරන්නෝ, අදේව වාදියෝ යන යෙදුම්, . . . ජනයා අතර ක්‍රිස්තියානින්ට යොදනු ලැබූ පොදු නාමය විය.” “දෙවිවරුන් නොව මනුෂ්‍යයන්ගේ හස්තකර්මාන්ත වූ ලී සහ ගල්” වලට වැන්දාවූ මිථ්‍යා දෘෂ්ටිකයන් විසින්, බහු දෙවිවරුන්ට නොව, නමුත් ජීවමාන මැවුම්කරුවාණන්ට නමස්කාර කළ ක්‍රිස්තියානින්ට මෙසේ නම් පටබැඳීම කොතරම් අරුම පුදුම දෙයක් ද!—යෙසායා 37:19.

15, 16. (අ) ඇතැම් ආගමිකයන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන පවසා ඇත්තේ කුමක් ද, නමුත් මින් කුමන ප්‍රශ්න පැන නැගී ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සැබෑ ක්‍රිස්තියානින් බව පෙන්වන්නේ කුමකින් ද?

15 අද දින ක්‍රිස්තියානි ලෝකයේ ඇතැම් අධිකාරීන් විසින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ක්‍රිස්තියානින් නොවේ යයි කියා සිටීම ද ඒ හා සමාන ව්‍යාජෝක්තියකි. මන්ද? සාක්ෂිකරුවන් ත්‍රිත්වය ප්‍රතික්ෂේප කිරීම නිසා ය. ක්‍රිස්තියානි ලෝකයේ අගති සහගත අර්ථ දැක්වීමට අනුව, “ක්‍රිස්තියානින් යනු ක්‍රිස්තුස් වහන්සේ දෙවියන් වහන්සේ යයි පිළිගන්නා අය” ය. මීට පරස්පර ලෙස, “ක්‍රිස්තියානිවරයා” යන නාම පදය, “යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව අදහන සහ උන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කරන පුද්ගලයා” වශයෙන් ද “ක්‍රිස්තියානි ධර්මය” යනු “යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීම් මත සහ උන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා බවට වූ විශ්වාසය මත පදනම් වූ ආගමක්” ලෙස ද මෑත කාලීන ශබ්දකෝෂයක් පැහැදිලි කරයි. මෙම අර්ථ දැක්වීමට වඩාත් ළඟින් ගැලපෙන්නේ කිනම් කණ්ඩායම ද?

16 යේසුස් වහන්සේ කවුද කියා උන් වහන්සේ විසින් ම දෙනු ලබන සාක්ෂිය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ පිළිගනිති. උන් වහන්සේ සඳහන් කළේ, “මම දෙවියන්වහන්සේගේ පුත්‍රයෙමි” මිස, “මම පුත්‍ර දෙවියන් වහන්සේ” කියා නොවේ. (යොහන් 10:36; සසඳන්න යොහන් 20:31) ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ ව ප්‍රේරිත පාවුල් දේවානුභාවයෙන් ලියන ලද ප්‍රකාශනය ඔවුහු පිළිගනිති: “උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැයි” නොසිතු සේක. * (පිලිප්පි 2:6, නව අනුවාදය) ද පැගනිසම් ඉන් අවර් ක්‍රිස්ටියැනිටි නමැති පොත මෙසේ පවසයි: “යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එවැනි අද්භූත යමක් [ත්‍රිත්වය හා සමාන] කිසි විටෙකත් සඳහන් කළේ නැත. තව ද ‘ත්‍රිත්වය’ යන වචනය අලුත් ගිවිසුමේ කොතැනකවත් සඳහන් වන්නේ නැත. මෙම අදහස පල්ලිය තුළට ඈඳා ගත්තේ අපගේ ස්වාමින් වහන්සේගේ මරණින් වසර තුන් සියයකට පසු ව ය; එමෙන් ම මෙම සංකල්පයේ මූලාරම්භය සම්පූර්ණයෙන් ම මිථ්‍යා ලබ්ධික ය.” යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ බයිබල් ඉගැන්වීම පිළිගනිති. ඔවුහු ක්‍රිස්තියානිහු ය, ත්‍රිත්ව වාදීහු නොවෙති.

ආගමික සමගි සන්ධානයක් නැත

17. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ආගමික සමගි සන්ධාන, හෝ අන්තර් ඇදහිලි ව්‍යාපාර සමඟ සහයෝගයෙන් ක්‍රියා නොකරන්නේ මන්ද?

17 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට එරෙහි ව නැඟෙන තවත් චෝදනා දෙකක් නම්, ඔවුන් ආගමික සමගි සන්ධාන ව්‍යාපාරවලට හවුල්වීම ප්‍රතික්ෂේප කිරීම සහ ඔවුන් “අති ආක්‍රමණශීලී අන්දමින් තම ආගමට උදවිය හරවා ගැනීම” යනුවෙන් හඳුන්වනු ලබන දෙය තුළ නියැලීම ය. මෙම චෝදනාවන් දෙක ම මුල් ක්‍රිස්තියානින්ට ද එල්ල කරනු ලැබිණි. කතෝලික, ඕතඩොක්ස්, සහ රෙපරමාදු අංගයන්ගෙන් සමන්විත ක්‍රිස්තියානි ලෝකය, මේ ලෝකයේ කොටසක් බවට කිසිදු සැකයක් නැත. යේසුස් වහන්සේ මෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, “මේ ලෝකයේ කොටසක් නොවේ.” (යොහන් 17:14NW) ක්‍රිස්තියානි නොවන හැසිරීම හා විශ්වාසයන්ට අනුබල දෙන ආගමික සංවිධානවල අන්තර් ඇදහිලි ව්‍යාපාරය තුළින් මිත්‍ර සම්බන්ධකම් පවත්වන්නට ඔවුන්ට හැක්කේ කෙසේ ද?

18. (අ) තමන් පමණක් සැබෑ ආගම පිළිපදින බවට කියා සිටීම සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව විවේචනය කළ නොහැක්කේ මන්ද? (ආ) තමන්ට සැබෑ ආගම තිබෙනවා යයි විශ්වාස කරන අතරේ දී, රෝමානු කතෝලිකයන්ට අහිමි ව තිබෙන්නේ කුමක් ද?

18 මුල් ක්‍රිස්තියානින් කළාක් මෙන්, තමන් පමණක් එක ම සැබෑ ආගම පිළිපදින බවට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විශ්වාස කිරීම ගැන යුක්ති සහගත ලෙස ඔවුන් ව විවේචනය කිරීමට හැක්කේ කාට ද? ආගමික සමගි සන්ධාන ව්‍යාපාර සමඟ සහයෝගයෙන් වැඩ කරනවා යයි කුහක ලෙස කියා සිටින අතරේ දී, කතෝලික සභාව මෙසේ ප්‍රකාශ කරයි: “අපගේ ස්වාමි වූ ජේසුන් වහන්සේ ‘ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා’ යනුවෙන් තම අපෝස්තුළුවරුන්ට පැවසූ විට, උන් වහන්සේ විසින් සියලු මිනිසුන් අතර එය ව්‍යාප්ත කිරීමේ වගකීම පවරනු ලැබූ කතෝලික හා අපෝස්තලික සභාව තුළ එක ම සැබෑ ආගම නිරතුරු ව ම පවතින බව අපි විශ්වාස කරමු.” (දෙවන වතිකානු කවුන්සලයේ, “ආගමික නිදහස ප්‍රකාශ කිරීම”) එනමුත්, පෙනෙන හැටියට, එවැනි විශ්වාසයක්, ගෝලයන් සෑදීමට පිටත් ව යාම සඳහා කතෝලිකයන් තුළ ‘බලවත් උත්සාහවන්ත ජ්වලිතකමක්’ කාවද්දවන්නේ නැත.

19. (අ) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කිරීමට අධිෂ්ඨාන කර ගෙන සිටින්නේ කුමක් ද, තව ද කුමන චේතනාව ඇති ව ද? (ආ) ඊළඟ ලිපියේ පරීක්ෂා කෙරෙනු ඇත්තේ කුමක් ද?

19 එවැනි ජ්වලිතකමක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට තිබේ. ඔවුන් විසින් සාක්ෂි දැරීම දෙවියන් වහන්සේට වුවමනා කරන තාක්කල්, එසේ කිරීමට ඔවුහු අධිෂ්ඨාන කර ගෙන සිටිති. (මතෙව් 24:14) ඔවුන්ගේ සාක්ෂි දැරීම ජ්වලිතවත් ය, නමුත් ආක්‍රමණශීලී නොවේ. එයට පොලඹවනු ලැබ ඇත්තේ අසල් වාසීන් සඳහා වූ ප්‍රේමය මගින් මිස, මිනිස් වර්ගයා ගැන වෛරයකින් නොවේ. මිනිස් වර්ගයාගෙන් හැකි තරම් ප්‍රමාණයක් ගලවනු ලබන බවට ඔවුහු බලාපොරොත්තු වෙති. (1 තිමෝති 4:16) මුල් ක්‍රිස්තියානින් මෙන්, ‘සියලු මනුෂ්‍යයන් සමඟ සමාදානයෙන් සිටීමට’ ඔවුහු බලවත් ප්‍රයත්නයක් දරති. (රෝම 12:18) ඔවුන් මෙය කරන ආකාරය ඊළඟ ලිපිය තුළ සාකච්ඡා කෙරෙනු ඇත.

[පාදසටහන්වල]

^ 16 ඡේ. ත්‍රිත්ව මූල ධර්මය සම්බන්ධ ව මෙම කොටස ගැන සාකච්ඡාවක් සඳහා 1971 ජූනි 15දා ද වොච්ටවර් හි පිටු 355-6 බලන්න.

පුනරීක්ෂණයක් ලෙසට

මුල් ක්‍රිස්තියානින්ගේ මූලික ලක්ෂණ කුමක් වී ද, තව ද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඔවුන් ව සාදෘශ්‍ය කරන්නේ කෙසේ ද?

යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් තමුන් යහපත් පුරවැසියන් බව පෙන්වන්නේ කිනම් පැතිවලින් ද?

පාලක පන්ති මුල් ක්‍රිස්තියානින් දෙස බැලුවේ කෙසේ ද, තව ද අද දින යම් වෙනසක් තිබේ ද?

සාක්ෂිකරුවන්ට සත්‍යය තිබෙන බවට වූ ස්ථිර විශ්වාසය ඔවුන් ව කුමක් කිරීමට පොලඹවයි ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[12වන පිටුවේ පින්තූරය]

යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, ඔවුන් විසින් සාක්ෂි දැරීමට දෙවියන් වහන්සේට වුවමනා කරන තාක්කල්, එසේ කිරීමට ඔවුහු අධිෂ්ඨාන කරගෙන සිටිති

[17වන පිටුවේ පින්තූරය]

පිලාත් මෙසේ පැවසුවේ ය: “මෙන්න, ඒ මනුෂ්‍යයා!”—ලෝකයේ කොටසක් නොවූ තැනැත්තා—යොහන් 19:5

[හිමිකම් විස්තර]

“Ecce Homo” by A. Ciseri: Florence, Galleria d’Arte Moderna/ Alinari/Art Resource, N.Y.