ක්‍රිස්තියානි ලෝකය මේ ලෝකයේ කොටසක් බවට පත් වූ ආකාරය
ක්‍රිස්තියානි ලෝකය මේ ලෝකයේ කොටසක් බවට පත් වූ ආකාරය
කල්යත් ම, මුල් ක්‍රිස්තියානි ධර්මය පටන්ගත්, රෝමානු අධිරාජ්‍යය බිඳවැටුණි. එම බිඳවැටීම මිථ්‍යා දෘෂ්ටියට එරෙහි ව ක්‍රිස්තියානි ධර්මයේ අවසාන ජයග්‍රහණ සඳහාත් කාලය සලකුණු කළ බව බොහෝ ඉතිහාසඥයෝ කියා සිටිති. මීට වෙනස් අදහසක් ප්‍රකාශ කරමින්, එංගලන්ත සභා බිෂොප් ඊ. ඩබ්. බාර්සන් ලීවේ මෙසේ ය: “සම්භාව්‍ය ශිෂ්ටාචාරයේ බිඳ වැටීමත් සමඟ ම, ක්‍රිස්තියානි ධර්මය එනම් ක්‍රිස්තුස් වන යේසුස් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඇදහිල්ල ලෙස කටයුතු කිරීම නැවතුණි; එය බිඳෙමින් තිබුණු ලෝකයක සමාජීය මැලියමක් බවටත් එය ප්‍රයෝජනයට ගත හැකි ආගමක් බවටත් පත් විය.”—ද රයිස් ඔෆ් ක්‍රිස්ටියැනිටි.
එම බිඳවැටීමට පෙර, පො.යු. දෙවන, තුන්වන, හා හතරවන ශතවර්ෂ තුළ, යේසුස් වහන්සේ ව අනුගමනය කරන බව කියා සිටි අය, තමන් ව ම රෝම ලෝකයෙන් වෙන් කර තබා ගත් බවට ඉතිහාස වාර්තා පෙන්වයි. එනමුත් යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ ප්‍රේරිතයන් පුරෝකථනය කර තිබූ ආකාරයට, ඉගැන්වීම්, හැසිරීම්, හා සංවිධාන වීම් සම්බන්ධයෙන්, ඇදහිල්ල අත්හැරයාමේ වර්ධනය ද ඉන් එළිදරව් වෙයි. (මතෙව් 13:36-43; ක්‍රියා 20:29, 30; 2 තෙසලෝනික 2:3-12; 2 තිමෝති 2:16-18; 2 පේතෘස් 2:1-3, 10-22) අවසානයේ දී, ග්‍රීක්-රෝමානු ලෝකය සමඟ මධ්‍යම ප්‍රතිපදාවකට පැමිණෙන්ට පටන් ගත් අතර ක්‍රිස්තියානින් යයි කියා සිටි ඇතැමෙක් (එහි ආගමික උත්සව, එහි මව්-දේවතාවියට නමස්කාරය හා ත්‍රිත්ව දේවත්වය වැනි) ලෝකයේ මිථ්‍යා දෘෂ්ටිය, එහි (අමරණීය ආත්මයක විශ්වාසය වැනි) දර්ශන, හා එහි (පූජක පන්තියකින් දැකිය හැකි ආකාරයේ) පරිපාලන සංවිධානය පිළිගැනීමට යෙදුණහ. මිථ්‍යා දෘෂ්ටික ජන සමූහයක් ආකර්ෂණය කළෙත්, පළමු කොට රෝම අධිරාජ්‍යවරුන් විසින් මුලිනුපුටා දැමීමට වෑයම් කරන ලද්දෙත්, ඉන් පසු ව ඔවුන් විසින් පිළිගනු ලැබ, අනතුරු ව ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකරලීමට උපයෝගි කරන ලද්දෙත්, මහා බලයක් බවට පත්වූයේත්, මෙම දූෂිත ක්‍රිස්තියානි ධර්මයයි.
ලෝකය විසින් යටත් කරනු ලැබීම
“ක්‍රිස්තියානි ධර්මය” හා ලෝකය අතර මෙම නව සම්බන්ධතාවේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති විය හැකි අනතුරු, පල්ලියේ ඉතිහාසඥ ඔගස්ටස් නියැන්ඩර් විසින් පෙන්වා දෙන ලදි. ලෝකයෙන් වූ තමන්ගේ වෙන්වීම ක්‍රිස්තියානින් පාවා දුන්නේ නම්, “එහි ප්‍රතිඵලය වනු ඇත්තේ ලෝකය සමඟ පල්ලියේ පටලැවිල්ලකි . . . මෙමගින් පල්ලියට ඇගේ නිර්මල බව අහිමිවන අතර, ඇය ජය අත්කර ගනු ඇති බවක් දිස්වුණත්, ඇත්තට ම ඇය ම පරාජයට ලක්වීම සිදුවනු ඇත” යයි ඔහු ලීවේ ය.—ජෙනරල් හිස්ටරි ඔෆ් ද ක්‍රිස්ටියන් රිලිජන් ඇන්ඩ් චර්ච්, 2වන කාණ්ඩය, 161 පිටුව.
සිදු වූයේ මෙයයි. හතරවන ශතවර්ෂයේ මුල් භාගයේ දී, රෝමානු අධිරාජ්‍ය කොන්ස්ටන්ටයින් කොටස්වලට කැඩී යමින් තිබූ තමාගේ අධිරාජ්‍ය ඒකාබද්ධ කිරීමට තමාගේ දවසේ පැවති “ක්‍රිස්තියානි” ධර්මය පාවිච්චි කිරීමට වෑයම් කළේ ය. මෙය ඉටු කර ගැනීම පිණිස, ක්‍රිස්තියානින් යයි කියා සිටි අයට ඔහු ආගමික නිදහස දානය කළ අතර, මිථ්‍යා දෘෂ්ටික පූජකත්වයේ ඇතැම් වරප්‍රසාද ඔවුනගේ දේවගැති පන්තියට ලබා දුන්නේ ය. ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ පවසයි: “කොන්ස්ටන්ටයින් පල්ලිය සිය ලෝකයෙන් වෙන් ව සිටීමේ ප්‍රතිපත්තියෙන් ඉවතට ගෙන සමාජ වගකීම් පිළිගන්නා තත්ත්වයට ගෙන එමින්, පල්ලියේ බැතිමතුන්වීම සඳහා මිථ්‍යා දෘෂ්ටික සමාජයට උපකාර කළේ ය.”
රාජ්‍ය ආගම
කොන්ස්ටන්ටයින්ගෙන් පසු, ජූලියන් අධිරාජ්‍යයා (පො.යු. 361-363) ක්‍රිස්තියානි ධර්මයට විරුද්ධ වීමටත් මිථ්‍යා දෘෂ්ටිය යළි පිහිටුවීමටත් වෑයමක් දැරී ය. එහෙත් ඔහු අසමත් වූයෙන්, අවුරුදු 20කට පමණ පසු ව, Iවන තියොඩොසියස් අධිරාජ්‍යයා විසින් මිථ්‍යා දෘෂ්ටිය තහනම් කරන ලද අතර ත්‍රිත්වවාදී “ක්‍රිස්තියානි ධර්මය” රෝමානු අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම වශයෙන් පනවන ලද්දේ ය. මහත් නිවැරදි භාවයකින් යුක්ත ව, ප්‍රංශ ජාතික ඉතිහාසඥ ඕන්රේ මරූ ලීවේ මෙසේ ය. “තියොඩෝසියස්ගේ පාලනය අවසාන වන විට, ක්‍රිස්තියානි ධර්මය, නැතහොත් වඩාත් නිවැරදි ව කියනවා නම්, ඕතොඩොක්ස් කතෝලික ධර්මය මුළු රෝමානු ලෝකයේ ම නිල ආගම බවට පත් විය.” ඕතොඩොක්ස් කතෝලික ධර්මය සැබෑ ක්‍රිස්තියානි ධර්මය අනුයුක්ත කර තිබූ අතර “ලෝකයේ කොටසක්” වී තිබුණි. මෙම රාජ්‍ය ආගම, ‘නුඹලා ලෝකයාගෙන් කොටසක් නොවන්නේ’ යයි යේසුස් වහන්සේ ම මුල් අනුගාමිකයන්ට පවසා තිබූ, ඔවුන්ගේ ධර්මයෙන් අතිශයින් වෙනස් විය.—යොහන් 15:19.
ප්‍රංශ ජාතික ඉතිහාසඥ හා දර්ශනවාදී ලුවී රූජ්යා ලීවේ මෙසේ ය: “ක්‍රිස්තියානි ධර්මය පැතිර යත් ම, එය හඳුනා ගත නොහැකි තරමට ම අමුතු වෙනස්වීම්වලට භාජනය විය. . . . පුණ්‍යාධාර මත පවත්වාගෙන ගිය දිළිඳුන්ගේ මුල් සභාව, පවතින ලෞකික බලධාරීන් කෙරෙහි බලය පවත්වන්නට අසමත් වූ විට ඒවා සමඟ නොවැළැක්විය හැකි ලෙසින් එකඟත්වයට පත් වූත් ජයග්‍රහණය කරන්නා වූත් සභාවක් බවට පත් විය.”
පොදු යුගයේ පස්වන ශතවර්ෂයේ මුල් භාගයේ දී, රෝමානු කතෝලික “සාන්තුවර” ඔගස්ටින්, තමාගේ ප්‍රධාන කෘත්‍යය වන ද සිටි ඔෆ් ගෝඩ් නම් පොත ලීවේ ය. එහි ඔහු නගර දෙකක්, එනම් “දෙවියන් වහන්සේගේ නගරය හා ලෝකයේ නගරය” ගැන විස්තර කළේ ය. මෙම කෘත්‍යය කතෝලිකයන් හා ලෝකය අතර වෙනස වඩා තියුණු කොට දැක්වී ද? සැබවින් ම නැත. “භූමික හා ස්වර්ගික යන නගර දෙක, එකිනෙකට සම්බන්ධ ව පවතින බව ඔගස්ටින් නොවළහා පිළිගත්තේ ය” යයි මහාචාර්ය ලට්‍යූරෙට් පවසයි. “[කතෝලික] සභාවේ පිහිටුවීමත් සමඟ දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඒ වන විටත් ලෝකයේ ආරම්භ වී ඇති” බව ඔගස්ටින් ඉගැන්වී ය. (ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා, මැක්‍රෝපීඩියා, 4වන කාණ්ඩය, 506වන පිටුව) මෙසේ, ඔගස්ටින්ගේ මුල් අරමුණු කුමක් වුව ද, ඔහුගේ කල්පිතයන්ගෙන් ලද බලපෑමේ හේතුවක් වශයෙන් කතෝලික සභාව ලෝකයේ දේශපාලන කටයුතුවල වඩාත් ගැඹුරින් නිරත විය.
බෙදුණු අධිරාජ්‍යයක්
පොදු යුගයේ 395 දී, තියොඩෝසියස් මිය ගිය විට, රෝමානු අධිරාජ්‍යය නිල වශයෙන් කොටස් දෙකකට බෙදණු ලැබී ය. පෙරදිග, නොහොන් බයිසන්ටයින්, අධිරාජ්‍යයේ අගනුවර කොන්ස්ටැන්ටිනෝපලය (කලින් බයිසන්ටියම්, දැන් ඉස්තාන්බුල්) වූ අතර බටහිර අධිරාජ්‍යයේ අගනුවර (පො.යු. 402න් පසු) ඉතාලියේ, රවේනා විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තියානි ලෝකය දේශපාලනමය වශයෙන් හා ආගමික වශයෙන් බෙදී ගියේ ය. පල්ලිය හා ආණ්ඩුව අතර සම්බන්ධතාවය ගත් කල, පෙරදිග අධිරාජ්‍යයේ පල්ලිය (මහා කොන්ස්ටන්ටයින්ගේ සමකාලිකයෙක් වූ) සිසෙරියාවේ එවුසේබියස්ගේ කල්පිතය අනුගමනය කළේ ය. ලෝකයෙන් වෙන් ව සිටීමේ ක්‍රිස්තියානි
ප්‍රතිපත්තිය නොසලකා හරිමින්, අධිරාජ්‍යයා හා අධිරාජ්‍යය ක්‍රිස්තියානි වූයේ නම්, අධිරාජ්‍යයා පොළොව මත සිටින දෙවියන් වහන්සේගේ නියෝජිතයා ලෙසින් ක්‍රියා කරමින්, පල්ලියත් ආණ්ඩුවත් එක ම ක්‍රිස්තියානි සමාජයක් වන බව එවුසේබියස් තර්ක කළේ ය. පල්ලිය හා ආණ්ඩුව අතර වූ මෙම සම්බන්ධතාව ඉතා පුළුල් පරිමාණයකට ශතවර්ෂ ගණනාවක් පුරා පෙරදිග ඕතොඩොක්ස් පල්ලිය විසින් අනුගමනය කරනු ලැබ ඇත. දි ඕතොඩොක්ස් චර්ච් නම් සිය පොතේ, ඕතොඩොක්ස් බිෂොප්වර ටිමති වෝර් එහි ප්‍රතිඵලය පෙන්වී ය: “පසුගිය ශතවර්ෂ දහය පුරා ඕතොඩොක් ඉගැන්වීමේ විනාශයට හේතු වී ඇත්තේ ජාතිවාදයයි.”බටහිරෙහි සිටි අන්තිම රෝමානු අධිරාජ්‍යයා ව පො.යු. 476 දී ආක්‍රමණකාරී ජර්මානු ගෝත්‍ර විසින් එම ධුරයෙන් පහකරනු ලැබී ය. මෙය බටහිර රෝමානු අධිරාජ්‍යයේ අවසානය සලකුණු කළේ ය. ඇති වූ දේශපාලන රික්තය පිළිබඳ ව ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා මෙසේ පවසයි: “අලුත් බලවේගයක්, එනම් රෝමානු පල්ලිය, රෝමයේ බිෂොප්තැනගේ පල්ලිය පිහිටුවනු ලැබිණි. නැති වී ගිය රෝමානු අධිරාජ්‍යයේ අනුප්‍රාප්තිකයා තමා බව මෙම පල්ලිය විශ්වාස කළේ ය.” මෙම විශ්වකෝෂය වැඩිදුරටත් මෙසේ ද පවසයි: “රෝමානු පාප්වරු . . . පල්ලි-රාජ්‍යයේ සීමාවන්ට ඔබ්බෙන් පල්ලියේ ආණ්ඩුවේ ලෞකික අයිතිවාසිකම් වැඩි කළ අතර, ක්‍රිස්තුස් වහන්සේ විසින් පාප්ට පල්ලිය කෙරෙහි ආත්මික බලය පමණක් නොව ලෝකයේ රාජ්‍යයන් කෙරෙහි ලෞකික බලයත් දුන් බව පවසමින්, කඩු දෙකේ කල්පිතය යයි හඳුන්වනු ලබන දෙය වැඩි වර්ධනය කළහ.”
ජාතික රෙපරමාදු පල්ලි
මධ්‍ය කාලය පුරා, ඕතොඩොක්ස් හා රෝමානු කතෝලික ආගම් දිගට ම දේශපාලනයේ, ලෝකයේ කුමන්ත්‍රණවල, හා යුද්ධවල දැඩි ලෙස නියැලී සිටියේ ය. දහසයවන ශතවර්ෂයේ සිදු වූ රෙපරමාදු ප්‍රතිසංස්කරණය, ලෝකයෙන් වෙන් වූ සැබෑ ක්‍රිස්තියානි ධර්මය වෙත නැවත හැරී යාමකට තුඩු දුණි ද?
නැත. ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා ග්‍රන්ථයේ අපට මෙසේ කියවන්නට තිබේ: “ලුතරන්, කැල්වීනියානු, හා එංගලන්ත සභා සම්ප්‍රදායන්ට අයත් රෙපරමාදු ප්‍රතිසංස්කාරකයන් . . . ඔගස්ටීන්ගේ මතයන්ට ස්ථිර ව බැඳී සිටි අතර ඔහුගේ ධර්ම ඉගැන්වීම්වලට නිශ්චිත බැඳියාවක් ඔවුන්ට දැනුණි. . . . 16වන ශතවර්ෂයට අයත් යුරෝපයේ මූලික රෙපරමාදු සම්ප්‍රදායන් තුනෙන් සැමෙකක් ම . . . සැක්සනි හි [මධ්‍යම ජර්මනියේ], ස්විට්සර්ලන්තයේ, හා එංගලන්තයේ ලෞකික බලධාරීන්ගෙන් අනුග්‍රහය ලද අතර මධ්‍ය කාලීන පල්ලිය රාජ්‍යය සමඟ තිබූ එම අන්‍යෝන්‍ය තත්ත්වයේ ම රැඳී සිටියේ ය.”
සැබෑ ක්‍රිස්තියානි ධර්මයට හැරී ඒමක් සිදු කරනු වෙනුවට, ප්‍රතිසංස්කරණය ඉච්චාවෙන් දේශපාලන රාජ්‍යයන්හි අනුග්‍රහය සෙව්වා වූ ද සිය යුද්ධයන්හි ඔවුන්ට ක්‍රියාශීලී අනුබලය ලබා දුන්නා වූ ද ජාතික නැතහොත් ප්‍රාදේශීය පල්ලි ගණනාවක් බිහි කර ඇත. ඇත්ත වශයෙන් ම, කතෝලික මෙන් ම රෙපරමාදු පල්ලි ආගමික යුද්ධයන් උද්ගත වීමට දායක වී ඇත. ඇන් හිස්ටෝරියන්’ස් ඇප්‍රෝච් ටු රිලිජන් නම් සිය පොතේ, එවන් යුද්ධ සම්බන්ධයෙන් ආර්නල්ඩ් ටොයින්බි ලීවේ මෙසේ ය: “ඔවුහු අවි බලයෙන් එකිනෙකා යටපත් කිරීමේ කෲර ක්‍රියාවේ කොටසක් වශයෙන් ප්‍රංශයේ, නෙදර්ලන්තයේ, ජර්මනියේ, හා අයර්ලන්තයේ කතෝලිකයන් හා රෙපරමාදු භක්තිකයනුත් එංගලන්තයේ හා ස්කොට්ලන්තයේ රෙපරමාදු ආගමේ විරුද්ධවාදී නිකායන්ට අයත් සාමාජිකයනුත් ප්‍රදර්ශනය කළහ.” අයර්ලන්තය හා පැරණි යුගෝස්ලාවියාව වෙන් කරන්නා වූ වත්මන් දින යුද්ධ රෝමානු කතෝලික, ඕතොඩොක්ස්, හා රෙපරමාදු පල්ලි තවදුරටත් මේ ලෝකයේ කටයුතුවල දැඩි ලෙස නියැලී සිටින බව පෙන්වයි.
මේ සියල්ලකින් ම අදහස් කරන්නේ ලෝකයෙන් වෙන් වූ සැබෑ ක්‍රිස්තියානි ධර්මය තවදුරටත් මේ ලෝකයේ නොපවතින බව ද? මීළඟ ලිපිය එම පැනයට පිළිතුරු දෙනු ඇත.
[10, 11වන පිටුවේ කොටුව⁄පින්තූරය]
“ක්‍රිස්තියානි ධර්මය” රාජ්‍ය ආගමක් වූ ආකාරය
ක්‍රිස්තියානි ධර්මය කිසිලෙසකින්වත් මේ ලෝකයේ කොටසක් විය යුතු යයි අදහස් කරනු ලැබුවේ නැත. (මතෙව් 24:3, 9; යොහන් 17:16) එහෙත්, පො.යු. හතරවන ශතවර්ෂයේ දී, “ක්‍රිස්තියානි ධර්මය” රෝමානු අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත් වූ බව ඉතිහාසමය පොත් අපට ගෙනහැර දක්වයි. මෙය සිදු වූයේ කෙසේ ද?
නීරෝගෙන් (පො.යු. 54-68) පටන්ගෙන පො.යු. තුන්වන ශතවර්ෂයේ සෑහෙන කලක් දක්වා සියලු රෝමානු අධිරාජ්‍යවරුන් ඍජු ව ක්‍රිස්තියානින්ට පීඩා කළහ, නැතහොත් ඔවුන්ට පීඩා කිරීමට ඉඩ හැරියහ. ඔවුන් සඳහා සහනයේ ප්‍රකාශයක් නිකුත් කළ පළමුවන රෝමානු අධිරාජ්‍යයා වූයේ ගැලීනස් (පො.යු. 253-268) ය. එවිට පවා, ක්‍රිස්තියානි ධර්මය අධිරාජ්‍යය පුරා තහනම් කරන ලද ආගමක් ව තිබුණි. ගැලීනස්ගේ මිය යාමෙන් පසු යළිත් පීඩා පමුණුවනු ලැබූ අතර ඩයෝක්ලීෂන් (පො.යු. 284-305) සහ ඉක්බිති ව ම පැමිණි ඔහුගේ අනුප්‍රාප්තිකයන් යටතේ, එය වඩාත් උග්‍ර තත්ත්වයකට පත් විය.
වෙනස්වන මොහොත එළඹියේ Iවන කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා හතරවන ශතවර්ෂයේ මුල් භාගයේ දී ක්‍රිස්තියානි ධර්මයට හැරීමත් සමඟ ය. මෙම “හැරීම” සම්බන්ධයෙන් ප්‍රංශ කෘතියක් වන ටේයෝ—නූවෙල් ආන්සීක්ලෝපේඩී කටෝලීක් (තියෝ—නව කතෝලික විශ්වකෝෂය) මෙසේ පවසයි: “කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි අධිරාජ්‍යවරයෙකු බව කියා සිටියේ ය. ඇත්ත වශයෙන් ම, ඔහු ව බව්තීස්ම කරනු ලැබුවේ ඔහුගේ මරණ ඇඳේ දී ය.” කෙසේ වෙතත්, පො.යු. 313 දී, කොන්ස්ටන්ටයින් හා ඔහු සමඟ සම අධිරාජ්‍යයා වූ ලයිසීනියස්, ක්‍රිස්තියානින්ටත් මිථ්‍යා දෘෂ්ටිකයන්ටත් ආගමික නිදහස දානය කරන ආඥාවක් නිකුත් කළෝ ය.” න කැතොලික් එන්සයික්ලෝපීඩියා මෙසේ පවසයි: “කොන්ස්ටන්ටයින් විසින් ක්‍රිස්තියානින්ට නමස්කාරය සඳහා නිදහස ලබා දීම, මිථ්‍යා දෘෂ්ටිය අත්හැර රිලිජියෝ ලිකිටා [නීත්‍යානුකූල ආගමක්] හැටියට නිල වශයෙන් ක්‍රිස්තියානි ධර්මය පිළිගන්නා ලද බව ඇඟ වූ අතර මෙය විප්ලවකාරී ක්‍රියාවක් විය.”
කෙසේ වෙතත්, “ඔහු [කොන්ස්ටන්ටයින්] ක්‍රිස්තියානි ධර්මය අධිරාජ්‍යයේ ආගම බවට පත් කළේ නැත” යයි ද න එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා පවසයි. ප්‍රංශ ජාතික ඉතිහාසඥ හා ඉන්ස්ටිටියුට් ඔෆ් ෆ්‍රාන්ස් හි සාමාජික ජාන්-රේමි පලාන්ක් මෙසේ ලියයි: “රෝමානු රාජ්‍ය . . . කෙසේ නමුත්, නිල වශයෙන් දිගට ම මිථ්‍යා දෘෂ්ටික ව පැවතුනි. තව ද කොන්ස්ටන්ටයින්, ක්‍රිස්තුස් වහන්සේගේ ආගමට පාක්ෂික ව සිටි කලත්, එම තත්ත්වය නිමාවට පත් කළේ නැත.” ද ලෙගසි ඔෆ් රෝම් නම් කෘතියේ, මහාචාර්ය අර්නස්ට් බාර්කර් මෙසේ පැවසී ය: “[කොන්ස්ටන්ටයින්ගේ ජයග්‍රහණයේ] ප්‍රතිඵලයක් වශයෙන් ක්‍රිස්තියානි ධර්මය රාජ්‍ය ආගම හැටියට වහා ම පිහිටුවනු ලැබුවේ නැත. අධිරාජ්‍යයේ පොදු නමස්කාරයන්ගෙන් එකක් හැටියට ක්‍රිස්තියානි ධර්මය පිළිගැනීමෙන් කොන්ස්ටන්ටයින් සෑහීමට පත් විය. ඊළඟ වසර හැත්තෑව පුරා ම පැරණි මිථ්‍යා දෘෂ්ටික පිළිවෙත් නිල වශයෙන් රෝමයේ සිදු කරනු ලැබී ය.”
එනිසා මේ අවස්ථාවේ දී “ක්‍රිස්තියානි ධර්මය” රෝමානු අධිරාජ්‍යයේ නීත්‍යානුකූල ආගමක් ව තිබුණි. එය පූර්ණ අර්ථයෙන් ම, නිල රාජ්‍ය ආගම බවට පත් වූයේ කවදා ද? න කැතොලික් එන්සයික්ලෝපීඩියා ග්‍රන්ථයේ අපට මෙසේ කියවීමට තිබේ: “[කොන්ස්ටන්ටයින්ගේ] ප්‍රතිපත්තිය ජූලියන් [පො.යු. 361-363] හැරුණු කොට කොන්ස්ටන්ටයින්ගේ අනුප්‍රාප්තිකයින් විසින් දිගට ම පවත්වාගෙන යනු ලැබී ය. ජූලියන්ගේ මරණයත් සමඟ ඔහු ක්‍රිස්තියානි ධර්මයට ගෙනා පීඩා හදිසියේ ම අවසන් විය. අවසානයේ, 4වන ශතවර්ෂයේ අවසාන අඩ භාගයේ, මහා තියොඩෝසියස් [පො.යු. 379-395] ක්‍රිස්තියානි ධර්මය අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් කළ අතර පොදු මිථ්‍යා දෘෂ්ටික නමස්කාරයන් යටපත් කළේ ය.”
මෙය සනාථ කරමින් හා මෙම නව රාජ්‍ය ආගම කුමක් ව තිබුණේ දැයි එළිදරව් කරමින් බයිබල් විශාරද හා ඉතිහාසඥ එෆ්. ජේ. ෆෝක්ස් ජැක්සන් ලීවේ මෙසේ ය: “කොන්ස්ටන්ටයින් යටතේ ක්‍රිස්තියානි ධර්මය හා රෝමානු අධිරාජ්‍යය මිතුරන් මෙන් එකට සම්බන්ධ විය. තියොඩොසියස් යටතේ ඒවා එක්සත් කරන ලදි. . . . එවක් පටන් කතෝලික යන නාම මාත්‍රය සමාන ගරුත්වයෙන් යුක්ත ව පියාණන්, පුත්‍රයාණන් හා ශුද්ධාත්මයාණන්ට නමස්කාර කළ අය සඳහා වෙන් කළ යුතු විය. මෙම අධිරාජ්‍යයාගේ සමස්ත ආගමික ප්‍රතිපත්තිය ම මෙය ඉටු කර ගන්නා ආකාරයකට ක්‍රියාත්මක කිරීමට අරමුණු කරන ලද අතර කතෝලික ඇදහිල්ල රෝමවරුන්ගේ එක ම නීතික ආගම වීම එහි විපාකය විය.”
ජාන්-රේමි පලාන්ක් ලීවේ මෙසේ ය: “මිථ්‍යා දෘෂ්ටිය සමඟ සටන් කරන අතර, තියොඩොසියස්, ඕතොඩොක්ස් [කතෝලික] සභාවට අනුග්‍රහ දක්වන්නට පටන් ගත්තේ ය; පො.යු. 380 දී ඔහු කළ ආඥාව ඩැමසස් පාප් හා ඇලෙක්සැන්ඩ්‍රියාවේ [ත්‍රිත්වවාදී] බිෂොප්තැන කෙරෙහි තමුන්ගේ ඇදහිල්ල පළ කරන ලෙස සිය පුරවැසියන්ට නියෝග කළ අතර, ඊට විරුද්ධ වූ අයට නමස්කාරයේ නිදහස අහිමි කළේ ය. කොන්ස්ටැන්ටිනෝපලයේ මහා කවුන්සලය (381) සියලු දුර්ලබ්ධීන් සදොස් බව යළි ප්‍රකාශ කළ අතර කිසිදු බිෂොප්වරයෙක් ඒවාට අනුග්‍රහ නොදක්වන බවට එම අධිරාජ්‍යයා වගබලා ගත්තේ ය. නයිසීය [ත්‍රිත්වවාදී] ක්‍රිස්තියානි ධර්මය සම්පූර්ණ ලෙස හා සැබවින් ම රාජ්‍ය ආගම බවට පත් විය . . . පල්ලික්‍රමය ඉතා සමීප ව ආණ්ඩුව සමඟ එක්සත් වූ අතර එහි සම්පූර්ණ අනුග්‍රහය භුක්ති වින්දේ ය.”
මෙසේ, රෝමානු අධිරාජ්‍යයේ රාජ්‍ය ආගම බවට පත් වූයේ ප්‍රේරිතවරුන්ගේ දවසේ තිබී දූෂණයට ලක් නොවූ ක්‍රිස්තියානි ධර්මය නොවේ ය. අද මෙන් එදත් සැබවින් ම මේ ලෝකයේ කොටසක් වී ඇත්තේ, Iවන තියොඩොසියස් අධිරාජ්‍යයා විසින් බලහත්කාරයෙන් පනවන ලදු ව, තිබූ රෝමානු කතෝලික සභාව විසින් පිළිපදින ලද හතරවන ශතවර්ෂයේ ත්‍රිත්වවාදී කතෝලික ධර්මය ය.
[හිමිකම් විස්තර]
Iවන තියොඩොසියස් අධිරාජ්‍යයා: Real Acacemia de la Historia, Madrid (Foto Oronoz)
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Scala/Art Resource, N.Y.