Skip to content

පටුනට යන්න

තහනම යටතේ බයිබල් පොත් පත් මුද්‍රණය කිරීම

තහනම යටතේ බයිබල් පොත් පත් මුද්‍රණය කිරීම

තහනම යටතේ බයිබල් පොත් පත් මුද්‍රණය කිරීම

මැල්කම් ජී. වේල් පැවසූ පරිදි

“චිල්ඩ්රන් නැමැති පොත මුද්‍රණය කරන්න.” ඕස්ට්‍රේලියාවේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාල අවේක්ෂක මට මෙම පුදුම කරවන විධානය කළේ දෙවන ලෝක යුද්ධය සමයේ දී ය, එනම් 1941 අගෝස්තු මස 10වන දින එක්සත් ජනපදයේ, මිසෝරි නගරයේ, සෙන්ට් ලුවිස් හි පවත්වන ලද සමුළුවෙහි එම පොත නිකුත් කිරීමෙන් මද කලකට පසු ව ය. මෙම විධානය පුදුම කරවන්නක් වූයේ මන්ද?

සැබවින් ම අපගේ දේශනා සේවය 1941 ජනවාරි මාසයේ තහනම් කරන ලද බැවින්, සීමිත ආකාරයකින් පවා දිගට ම මුද්‍රණය කිරීම ඉතා දුෂ්කර කාර්ය භාරයක් වනු ඇත. මීට අමතර ව, චිල්ඩ්රන් වර්ණ චිත්‍රවලින් යුත් පිටු 384කින් සමන්විත පොතක් විය. අපගේ මුද්‍රණ යන්ත්‍ර නවීකරණය කළ යුතු විය. කඩදාසි හිඟ ව තිබුණි. එමෙන් ම බැඳි පොත් හදන්නට පුද්ගලයන් හට ද පුහුණුවක් නොතිබුණි.

තහනම යටතේ අප සාර්ථක ව මුද්‍රණ කටයුතු කළ ආකාරය විස්තර කරන්නට පෙර, ඕස්ට්‍රේලියා ශාඛා කාර්යාලයේ මුද්‍රණ කටයුතු භාර අවේක්ෂක හැටියට මා එම සේවයට සම්බන්ධ වූ ආකාරය මම ඔබට පවසන්නම්.

මුල් පසුබිම

වික්ටෝරියා හි, බැලරැට් නම් සමෘද්ධිමත් නගරයේ මගේ පියාට මුද්‍රණ ව්‍යාපාරයක් තිබූ අතර මා ඉපදුණේ ද වර්ෂ 1914 එම නගරයේ දී ම ය. එනිසා තාත්තාගේ මුද්‍රණාලයේ වැඩ කරමින් මම මුද්‍රණ ශිල්පය ඉගෙන ගත්තා. මම එංගලන්ත සභා පල්ලියේ ගායක කණ්ඩායමේ ගී ගයමින් ද, පල්ලියේ සීනුව නාද කරමින් ද එම පල්ලියේ කටයුතුවලට ද සම්බන්ධ වී සිටියා. මට ඉරිදා පාසලේ ඉගැන්වීමේ වරප්‍රසාදය පවා ලැබුණත්, මට ඒ ගැන යම් අපහසුවක් දැනුණා.

මෙයට හේතුව වූයේ පල්ලියේ ඇතැම් ඉගැන්වීම් ගැන මට බරපතළ ප්‍රශ්න තිබීමයි. ත්‍රිත්වය, නිරා ගින්න, හා මනුෂ්‍ය ආත්මයේ අමරණීයත්වය මේවාට අයත් වූ අතර කිසිවෙක් සතුටුදායක පිළිතුරු මට ලබා දුන්නේ නැහැ. විටින් විට අපගේ දේවගැතියා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් යයි හඳුන්වන ලද කුඩා ආගමික කණ්ඩායමක් ගැන කෝපයෙන් කථා කිරීම ද මට ප්‍රහේලිකාවක් වුණා. මෙවන් නොවැදගත් කණ්ඩායමක් මිනිසුන් 40,000කින් යුත් නගරයක මෙතරම් සැලකිල්ලට යොමු වන්නේ මන්ද යන්නත් මම කල්පනා කරන්නට පටන් ගත්තා.

එක් ඉරුදිනක, පල්ලියේ සන්ධ්‍යා දේව මෙහෙයෙන් පසු මම පල්ලියෙන් පිටත සිටගෙන සිටි අවස්ථාවේ දී අසල මෙතෝදිස්ත පල්ලියේ ගැහැණු ළමුන් කණ්ඩායමක් මා පසුකර ගමන් කරන්නට වූ අතර මම ඔවුන්ගෙන් කෙනෙක් සමඟ මිතුරුකමක් ඇති කර ගත්තා. ඇගේ නම ලූසී ය. අන්තිමේ දී, ඇගේ මව්පියන් හමු වීමට ඇය තමාගේ නිවසට මට ආරාධනා කළා. ඇගේ මව වන වේරා ක්ලෝගන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් බව මා දැනගත් විට, මා පුදුම වූ තරම සිතා බලන්න. අප උනන්දුමය සාකච්ඡාවන් කීපයක් පැවැත් වූ අතර ඇය පැවසූ දේවල් සාධාරණයි කියා පෙනුණා.

ඉන් මද කලකට පසු, ලූසීත් මාත් විවාහ වූ අතර 1939වන විට අප වික්ටෝරියා හි අග නගරය වන, මෙල්බර්න් හි වාසය කළා. ලූසී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වූව ද, මම තවමත් තීරණයක් ගෙන තිබුණේ නැහැ. කොහොම වුණත්, එම වසරේ සැප්තැම්බර් මාසයේ IIවන ලෝක යුද්ධය පටන් ගත් විට, ශුද්ධ ලියවිල්ලෙන් මා ඉගෙන ගෙන තිබූ දේ ගැන මම දැඩි ලෙස කල්පනා කරන්නට පටන් ගත්තා. වර්ෂ 1941 ජනවාරි මාසයේ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කරනු ලැබීම, එය තීරණයක් ගැනීමට මට සැබවින් ම මහෝපකාරී වුණා. මම මගේ ජීවිතය යෙහෝවඃ දෙවියන් වහන්සේට කැප කර වැඩි කලක් යන්නට මත්තෙන් බව්තීස්මය ලැබුවා.

අපගේ ජීවිතවල කැපී පෙනෙන වෙනස්කම්

ඒ කාලය වන විට, අපි මෙල්බර්න් හි පහසුකම් බොහොමයක් සහිත නවාතැනක් කුලියට ගෙන තිබුණා. කෙසේ නමුත්, වැඩි කලක් යන්නට මත්තෙන්, වෙනත් සාක්ෂිකරුවන් කීපදෙනෙක් වාසය කරන නිවසක පදිංචියට එන ලෙස අපට ආරාධනා කරනු ලැබුවා. මෙහිදී අප, අපගේ නිදන කාමරයේ ගෘහ භාණ්ඩ හැරුණු කොට අන් සියලු ගෘහ භාණ්ඩ විකුණා, පුරෝගාමි නිවස යයි හඳුන්වනු ලබන එම ගෘහයේ පදිංචියට ගියා. මම මුද්‍රණ ශිල්පියෙක් හැටියට දිගට ම සේවය කළ අතර, මෙසේ මට එම නිවස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වියදම් පියවීමට දායක වුණා. අන් ස්වාමිපුරුෂයන් කළේ ද එයමයි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ භාර්යාවන්ට පුර්ණ-කාලීන ව දේශනා සේවයේ නිරත වන්නට හැකියාව ලැබුණ අතර පුරුෂයන් වූ අපි සන්ධ්‍යාවන්හිත් සති අන්තවලදීත් එවැන්ජලිස්ත මෙහෙයෙහි හා ක්‍රිස්තියානි රැස්වීම්වල දී ඔවුන් හා එක් වුණා.

ඉන් වැඩි කලක් යන්නට මත්තෙන්, සිඩ්නි නගරයට එන ලෙස මගේ භාර්යාවට සහ මට වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයෙන් ලිපියක් ලැබුණා. අපි අපගේ නිදන කාමර ගෘහ භාණ්ඩ විකුණා අපට තිබූ ණය ස්වල්පයක් ගෙවා දැමූ නමුත් සිඩ්නි නගරයට යාම සඳහා දුම්රිය ගාස්තු සොයා ගැනීමට අපට සිදු වුණේ ලූසීගේ විවාහ ගිවිසුම් මුද්ද විකිණීමෙනි!

යුද්ධ කාලයේ තහංචි හා මෑතක පනවන ලද තහනම නිසා, බයිබල් හෝ බයිබල් ප්‍රකාශන පිටරටවලින් ගෙනෙන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ හේතුව නිසා, ආත්මික ආහාර නොකඩවා සැපයීම පිණිස රහසිගත ව මුද්‍රණාලයක් තැනීමට ඕස්ට්‍රේලියා ශාඛා කාර්යාලය තීරණය කළ අතර එම වැඩකටයුතු අවේක්ෂණය කිරීමට මා ව කැඳවනු ලැබුවා. මෙහිදී ඕස්ට්‍රේලියානු ශාඛා මුද්‍රණාලයේ වසර 60ක් පමණ සේවය කළ, ස්කොට්ලන්ත ජාතිකයෙක් වන ජෝජ් ගිබ් සමඟ එකට වැඩ කිරීමේ වරප්‍රසාදය මට හිමි වුණා. * “චිල්ඩ්රන් නැමැති පොත මුද්‍රණය කරන්න” යන විධානය මා ලැබුවේ එවිටයි.

මුද්‍රණ යන්ත්‍ර නැවත අයිති කර ගැනීම

පසු වුණා වූ එකී යුද්ධ කාල පරිච්ඡේදයේ දී අපගේ අත්දැකීම් ත්‍රාසජනක මෙන් ම ලොමු දැහැගන්වන ඒවා වුණා. උදාහරණයක් වශයෙන්, අපගේ මුද්‍රණ කටයුතු කරගෙන යාම සඳහා අපට යන්ත්‍ර අවශ්‍ය වුණා. යුද්ධයට පෙර වසරවල සීමිත මුද්‍රණයක් කිරීම සඳහා මීට කලින් අප විසින් පාවිච්චි කරන ලද යන්ත්‍ර රජයේ බලධාරීන් විසින් අත් කරගෙන තිබූ අතර මේ අවස්ථාවේ දී සමිතියේ කුඩා මුද්‍රණාලය අගුල් දමා මුරකාවල් යොදා තිබුණා. රහසිගත මුද්‍රණය සඳහා සුදුසු ස්ථානයකට අපට එම යන්ත්‍ර ගෙන යා හැකි ව තිබුණේ කෙසේ ද?

වැඩ මුර අනුව සේවය කළ අවි ගත් මුරකරුවෝ, දවසේ පැය 24 පුරා ම සමිතියේ එම ඉඩම මුර කළා. කෙසේ නමුත්, පසුපස බිත්තිවලින් එකක් මුහුණ ලා තිබුණේ මද වශයෙන් පාවිච්චි කරනු ලැබූ දුම්රිය මාර්ගයකට ය. එනිසා රාත්‍රියේ, එසකියෙල් 12:5-7 හි සිහිගන්වන ක්‍රමය යොදා ගනිමින්, ගඩොල් කීපයක් ගලවා ධෛර්ය සම්පන්න බෙතෙල් සේවකයෝ කීපදෙනෙක් බිත්තියෙන් ඇතුල් වුණා. ඇතුල් වීමෙන් පසු, සොයා ගැනීම වැළැක්වීමට ඔවුහු ගලවන ලද ගඩොල් යළි බිත්තියේ සවි කළා. සති දෙකක පමණ කාලයක් පුරා මෙම රාත්‍රී ආක්‍රමණයන් කිරීමෙන්, ඔවුහු කුඩා මුද්‍රණ යන්ත්‍රයක්, ලයිනොටයිප් යන්ත්‍රයක් සහ තවත් යන්ත්‍ර කීපයකුත් ප්‍රවේසමින් කොටස්වලට ගැලවූවා. අනතුරුව ඔවුහු කලබලයකින් තොර ව සේවයේ යෙදී සිටි මුරකරුවන් ඉදිරියෙන් පවා එම කොටස් ඉවතට ගෙනාවා!

කලකට පසු අප වෙනත් මාධ්‍යයන්ගෙන් අමතර යන්ත්‍ර ලබා ගත් අතර ඉක්මනින් ම සිඩ්නි නගරයේ විවිධ තැන්වල රහසිගත මුද්‍රණ කටයුතු පූර්ණ වේගයෙන් සිදු වෙමින් තිබුණා. මෙසේ අපට මුද්‍රණය කර බඳින්නට පුළුවන් වුණේ චිල්ඩ්රන් නමැති පොත පමණක් නොව, ද න වර්ල්ඩ්, “සත්‍යය ඔබ නිදහස් කෙරේ,” හා ද කිංඩම් ඉස් ඇට් හෑන්ඩ් යන පූර්ණ-ප්‍රමාණයේ පොත් මෙන් ම වර්ෂ 1942, 1943, 1944, හා 1945 සඳහා වූ යියර්බුක් ඔෆ් ජෙහෝවා’ස් විට්නසස් යන පොතුත් ය. මීට අමතර ව, යුද්ධය පැවති එම වසරවල තහනම තුළ, ඕස්ට්‍රේලියාව පුරා ජීවත් ව සිටි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට එක ම මුරටැඹ සඟරාවක්වත් අහිමි වූයේ නැහැ. යෙහෝවඃ වහන්සේගේ අත කෙටි වී නැති බව ඉතා පුද්ගලික ආකාරයකට මෙය අපට තහවුරු කළා.—යෙසායා 59:1.

අනපේක්ෂිත බැහැදැකීම් සමඟ ක්‍රියා කිරීම

යුද්ධ කාලයේ පැවති දැඩි ප්‍රවෘත්ති සීමා කිරීම් තුළ, වාණිජ්‍ය මුද්‍රණාල නිතර අනපේක්ෂිත ලෙසින් රජයේ නිලධාරීන් විසින් පරීක්ෂා කරන ලද අතර ඔවුන් එහිදී මුද්‍රණය වෙමින් පැවති දේවල් ද පරීක්ෂා කළා. එනිසා අප්‍රසිද්ධියේ ගෙන ගිය මුද්‍රණාලයක, අමුත්තන් පිළිගන්නා තැනැත්තාට පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි බොත්තමක් සහිත අනතුරු ඇඟවීමේ උපක්‍රමයක් ද තිබුණා. ඇය නොහඳුනන හෝ පරීක්ෂකයෙක් යයි සැක කරනු ලැබූ යමෙක් තරප්පු පෙළ දිගේ ඉහළට පැමිණියේ නම්, ඇය බොත්තම තද කරනවා.

බොත්තම තද කරනු ලැබූ විට, සෑම අතින් ම සහෝදරයන් ජනෙල්වලින් පලා යනු දැකීම අමතක නොවන සිද්ධියක්! සේවකයන් හැටියට ලියා පදිංචි කරන ලද කම්කරුවන් මුරටැඹ සඟරාවල හෝ මුද්‍රණය වෙමින් තිබුණු වෙනත් ඕනෑ ම බයිබල් ප්‍රකාශනයක මුද්‍රිත පිටු වහා වැසීමට එහි රැඳී සිටියා. මෙය කිරීම සඳහා, වාණිජ්‍ය ගැණුම්කරුවන් සඳහා සකසනු ලබන වෙනත් ප්‍රකාශනවල ප්‍රමාණයේ ම මුද්‍රිත පිටු ඔවුන් පාවිච්චි කරනු ලැබුවා.

එවන් පරීක්ෂාවක දී, පරීක්ෂකයන් දෙදෙනෙක් විකට කථා පොත් සඳහා මුද්‍රණය කරන ලදුව, තවමත් විශාල ප්‍රමාණයේ කොළ වශයෙන් තිබූ විකට පිටු ගොඩක් මත ඉඳ ගත්ත ද, ඒ යට තිබුණේ පෙර දින රාත්‍රියේ මුද්‍රණය කරන ලද මුරටැඹ සඟරාවේ පිටුයි. නගරයේ වෙනත් කොටසක තිබූ මුද්‍රණාලයක, දිවා කාලයේ අපි වාණිජ්‍ය මුද්‍රණ කටයුතු කරගෙන ගිය අතර රාත්‍රියේ හා සති අන්තවල වොච්ටවර් සමිතියේ ප්‍රකාශන මුද්‍රණය කළා.

අපගේ කඩදාසි අවශ්‍යතාව සපුරාලීම

මුද්‍රණය සඳහා කඩදාසි ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වුණා. කෙසේ නමුත්, යුද්ධය තුළ අඩු කරන ලද ව්‍යාපාර කටයුතු නිසා තමන්ට වෙන් කරන ලද මුළු කඩදාසි ප්‍රමාණය ම අවශ්‍ය නොවූ මුද්‍රණාල, තමන්ගේ අතිරික්තය විකිණීමට කැමති වූවා, එහෙත් එසේ ලබා ගත හැකි වූයේ නිතර ම අධික මිල ගණන්වලටයි. කෙසේ නමුත්, එක් අවස්ථාවක, අපට වෙනත් තැනකින් කඩදාසි ලැබුණා.

ඕස්ට්‍රේලියාවට පැමිණෙමින් තිබූ බඩු නැවක දුඹුරු කඩදාසි විශාල තොගයක් තිබූ නමුත් එම නැවට මුහුදේ දී හානි සිදු වී තිබූ අතර එම කඩදාසිවලින් විශාල ප්‍රමාණයක් ජලයෙන් තෙමී තිබුණා. ඒ මුළු තොගය ම වෙන්දේසි කිරීමට ඉදිරිපත් කරනු ලැබූ අතර එය ලබා ගැනීමට ඉදිරිපත් වූයේ අප පමණක් වීම අපගේ පුදුමයට හේතු වුණා. මෙනිසා එම තොගය ඉතා අඩු මිලකට අපට ලබා ගත හැකි වුණා. අපි එම කඩදාසි අව්වේ වේලාගත් අතර එසේ ඉන් වැඩි ප්‍රමාණයක් පාවිච්චියට ගත හැකි ලෙසින් අපට සකසා ගත හැකි වුණා. ඉන් අනතුරුව අපගේ මුද්‍රණාලයට සුදුසු තත්ත්වයට අපි ඒවා කපා ගත්තා.

අපි එම දුඹුරු කඩදාසි පාවිච්චි කරන්නට යන්නේ කෙසේ ද? විකට කථා කියවන්නන් තමන්ගේ විකට කථා, වර්ණයක් සහිත පිටුවල කියවන්නට කැමති වනු ඇති බව නිවැරදි ආකාරයකට අප නිශ්චය කළා. එසේ විකට කථා මුද්‍රණය සඳහා අපට වෙන් කර දී තිබූ සුදු කඩදාසි අප මුරටැඹ හා සමිතියේ වෙනත් ප්‍රකාශන මුද්‍රණය කිරීමට පාවිච්චි කළා.

ස්ත්‍රීන්ගේ වැදගත් කාර්ය භාරය

යුද්ධය පැවති කාලය තුළ, ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්තියානි ස්ත්‍රීන් බොහෝ දෙනෙක් පොත් බැඳීමේ ක්‍රියාවලිය ඉගෙන ගත්තා. උෂ්ණාධික එක් ග්‍රීෂ්ම දවාලක, ඔවුන්ගෙන් කීපදෙනෙක් සිඩ්නි නගරය අවට පිහිටි ප්‍රදේශයක අප කුලියට ගෙන තිබූ කුඩා ගරාජයක තනි ව වැඩ කරමින් සිටියා. ආරක්ෂක හේතු උදෙසා ඔවුන් සියලු ම ජනේල හා දොරවල් වසා තැබුවා. ග්ලූ මැලියම තිබූ භාජනවලින් රත් වූ, ගන්ධවත් දුමක් නිකුත් කළ අතර උණුසුම ද දරා ගත නොහැකි තත්ත්වයක තිබුණා. එනිසා ඔවුහු තමන්ගේ ඇඳුම් ගලවා යට ඇඳුමෙන් වැඩ කළා.

හදිසියේ ම, දොරට තට්ටු කරන හඬක් ඇසිණි. ඒ කවුදැයි ක්‍රිස්තියානි සහෝදරියක් විමසූ විට, පිළිතුරු දුන්නේ රජයේ කම්කරු නිලධාරියෙකි. ඔහු පැමිණ සිටියේ, ශ්‍රමය අවශ්‍ය ව තිබූ ඕනෑ ම ස්ථානයකට පුද්ගලයන් ව යැවීමට යුද්ධ කාලයේ බලය තිබූ දෙපාර්තමේන්තුවෙන් ය. උණුසුම නිසා තමන් යට ඇඳුමෙන් යුක්ත ව වැඩ කරන බවත්, එනිසා වහා ම ඔහුට ඇතුල්වීමට ඉඩ දිය නොහැකි බවත් එම සහෝදරියත් හඬ නගා පිළිතුරු දුන්නා.

එම නිලධාරියා මොහොතකට නිහඬ ව සිටියා; අනතුරුව තමාට ප්‍රදේශයේ තවත් තැනකට යන්න තිබෙන බව ඔහු හඬ නගා කීය. තමාගේ පරීක්ෂාව කිරීමට තමා ඊළඟ දවසේ යළි පැමිණෙන බව ඔහු කීවා. මෙම ක්‍රිස්තියානි ස්ත්‍රීන් දුරකථනයෙන් ඒ බව වහා ම අපට දැන් වූ අතර ඒ රාත්‍රියේ ම අපි ට්‍රක් රථයක් එහි යවා එම බැඳුම් හලේ තිබූ සියල්ල එකතු කර ඒවා වෙනත් ස්ථානයකට ගෙන ගියා.

අපගේ රහසිගත මුද්‍රණ කටයුතුවල නියැලි වැඩි දෙනෙකුට මුද්‍රණ කර්මාන්තයේ පූර්ව අත්දැකීම් කිසිත් නොතිබුණි. එනිසා කරන ලද ඕනෑ ම වැඩකට අවශ්‍ය උපකාරය හා මඟ පෙන්වීම ලැබුණේ යෙහෝවඃ වහන්සේගේ ආත්මයෙන් බවට නිසැකකමක් මට ඇති වුණා. මේ සියල්ලේ ම කොටස්කරුවන් වීමට ලැබීම මටත්, පොත් බඳින ස්ථානයේ වැඩ කළා වූ මගේ භාර්යාව වන ලූසීටත් මහත් වරප්‍රසාදයක් වුණා.

එම අසීරු කාලය තුළ අපගේ වැඩ පරිපාලනය කරනු ලැබුවේ කෙසේ ද? සිඩ්නි නගරයෙන් පිටත සැතපුම් 60ක් පමණ දුරින් පිහිටි ගමක වාසය කිරීම ඉල්ලා සිටින සීමා නියෝගයක් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ බලන ශාඛා අවේක්ෂකට රජයෙන් ලැබී තිබුණා. එම නියෝගය, ඔහු එම ගම මධ්‍යයේ සිට සැතපුම් පහකට වඩා දුරක් යාම තහනම් කළා. මෝටර් රථයකට මසකට ගැලුමක් දක්වා පැට්රල් සීමා කරනු ලැබුවා. එහෙත් සහෝදරයෝ ගෑස් නිපදවන්නා යනුවෙන් හඳුන්වනු ලැබූ නිපුණ ඒකකයක් නිපදවූවා—මෙය මෝටර් රථය පිටුපස සවි කරන ලද, ටොන් භාගයක් පමණ බරැති සිලින්ඩරාකාර තුනී තහඩු භාජනයක් විය. කාබන්මොනොක්සයිඩ් ඉන්ධන ලෙස නිපදවමින්, මේ තුළ ගල්අඟුරු දහනය කරනු ලැබී ය. මෙමගින් ඉන්ධන හැටියට කාබන්මොනොක්සයිඩ් නිපදවන ලදි. සතියක් පාසා කීපවතාවක්, වගකීම් දරන වෙනත් සහෝදරයන් හා මා එම අවේක්ෂකයා ව පිටුවහල් කර සිටි නගරය අසල වියළි ගිය ගංගාවක පටු ද්‍රෝණියක ඔහු ව හමු වීමට මේ අනුසාරයෙන් එහි ගමන් කළා. මෙසේ ගෑස් නිපදවන උපකරණය අලුයම් කාලයේ යළි පණ ගන්වා සිඩ්නි නගරය වෙත හැරී ඒමට පෙරාතුව අපට කාරණා බොහොමයක් සාකච්ඡා කර ගත හැකි වුණා.

අන්තිමේ දී, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කෙරෙහි පනවා තිබූ තහනම ඕස්ට්‍රේලියාවේ මහාධිකරණය ඉදිරියට පමුණුවනු ලැබුවා. එහි විනිශ්චයකරුවා එම තහනම “අත්තනෝමතික, හිතුවක්කාර, හා පීඩාකාරී” යයි ප්‍රකාශ කරමින්, සියලු රාජද්‍රෝහි ක්‍රියාවන්ගෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සහමුලින් ම නිදහස් කළා. අපගේ නීත්‍යානුකූල රාජ්‍යය වැඩකටයුතු අපට එළිපිට ම කරගෙන යාමට පුළුවන් වන ආකාරයට මුළු මහාධිකරණය ම මෙම තීරණයට අනුග්‍රහ දැක්වූවා.

අමතර පැවරුම් හා ආශීර්වාදයන්

යුද්ධයෙන් පසු, රහස් මුද්‍රණ කටයුතුවල නියැලී සිටි බොහෝ දෙනෙක් පුරෝගාමි සේවයට ඇතුල් වුණා. ඔවුන්ගෙන් සමහරෙක් පසු කාලයේ දී න්‍යූ යෝක්, ගිලියඩ් හි පිහිටි වොච්ටවර් බයිබල් පාසලට ගියා. ලූසීටත් මටත් එම ඉලක්කය ම සිතේ තිබුණත්, මේ අතර අපට දුවෙක් ලැබුණෙන්, එවිට මා යළි මුද්‍රණ ව්‍යාපාරයේ නියැලෙන්නට තීරණය කළා. රාජ්‍යය කටයුතු පළමු තැනට තබන්නට යෙහෝවඃ වහන්සේ අපට උපකාර කරන්නැයි අප යාච්ඤා කළ අතර උන් වහන්සේ එසේ කර ඇත. ඉන් අනතුරුව මා මතු සඳහන් කළ ආකාරයට තවත් සේවා පැවරුමක නිරත වුණා.

න්‍යූ යෝක් බෲක්ලින් හි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් හැටියට දැන් සේවය කරන, ලොයිඩ් බැරිගෙන් මට දුරකථන ඇමතුමක් ලැබුණා. ඒ කාලයේ ඔහු සිඩ්නි නගරයේ සංචාරක අවේක්ෂකයෙක්. ඊළඟ සමුළුව පවත්වන දිනය මා දන්නවාදැයි ඔහු ඒ අවස්ථාවේ දී මගෙන් ඇසුවා. මා දන්නවා යයි පිළිතුරු දුන් විට, “අපි කැමතියි ඔබ ආහාර සැපයුම් අංශය භාර ගන්නවා නම්” කියා ඔහු කිව්වා.

මෙහිදී මා මොහොතකට පුදුමයට පත් වුණා. මම මඳක් දුර්වල ආකාරයකට “මගේ ජීවිතයේ කිසි දවසක මා එවැන්නක් කර නැහැ” කියා කිව්වා.

“සහෝදරයා, දැන් ඔබ ඉගෙන ගන්නට සුදුසු කාලයයි!” කියා ඔහු මඳක් දඟකාර ළමයෙක් ලෙසින් පිළිතුරු දුන්නා. මා ඉගෙන ගත් අතර එවක් පටන් වසර 40කට වැඩි කාලයක් පුරා විශාල සමුළුවල පවා, මට දිගට ම ආහාර සේවාව අවේක්ෂණය කිරීමේ වරප්‍රසාදය ලැබී තිබෙනවා.

ගත වූ කාලය තුළ, අපගේ වාණිජ්‍ය මුද්‍රණ සමාගම ව්‍යාප්ත වූ අතර මෙනිසා විදේශීය ව්‍යාපාර ගමන් කීපයක මට නිරත වන්නට සිදු වුණා. එක්සත් ජනපදයේ න්‍යූ යෝක් නගරයේ හා වෙනත් තැන්වල පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවලට සහභාගි විය හැකි පරිදි, මම මෙම ගමන් සකසා ගත්තා. සමුළුවේ විවිධ අංශ, විශේෂයෙන් ම ආහාර සේවාව භාර අවේක්ෂකයන් සමඟ කාලය වැය කරන්නට මෙය මට ප්‍රස්තාව ලබා දුන්නා. මෙසේ, ඕස්ට්‍රේලියාවට හැරී යාමෙන් පසු, මට අපගේ සමුළුවල වඩා හොඳින් සේවය කිරීමට හැකියාව ලැබුණා.

අප මහලු වියට යාමත් සමඟ, අප මදක් පමා වී ඉපදුණේ නම් අපට වැඩි යමක් ඉෂ්ට කර ගන්නට පුළුවන් වනු ඇද්දැයි ලූසීත් මාත් ඇතැම් අවස්ථාවන්හි කල්පනා කරනවා. අනෙක් අතට, පිළිවෙළින් 1916 හා 1914 උපත ලද අපි, බයිබල් අනාවැකි අපගේ ඇස් හමුවේ ඉටු වනු දැකීමට ලැබීම පුදුම සහගත වරප්‍රසාදයක් හැටියට සලකනවා. තව ද බොහෝ දෙනෙකු සමඟ පාඩම් පැවැත්වීමෙන් ද, සත්‍යය ඉගෙන ගැනීමට ඔවුන්ට උපකාර කිරීමෙන් හා ඔවුන් දැන් බව්තීස්ම ලත් දේව සේවකයන් හැටියට සේවය කරනු දැකීමෙන් ද අපට තිබූ ආශීර්වාදයන් සඳහා අප යෙහෝවඃ වහන්සේට ස්තුති කරනවා. අප යාච්ඤා කර ඉල්ලා සිටින්නේ උන් වහන්සේ ව සදාකාලයට ම විශ්වයේ පරමාධිපති පාලකයාණන් හැටියට ම පිළිගනිමින්, සදහට ම උන් වහන්සේට දිගට ම සේවය කිරීමට අපට ප්‍රස්තාව ලැබෙන හැටියටයි.

[පාදසටහන්වල]

^ 14 ඡේ. වර්ෂ 1978 සැප්තැම්බර් 15, ද වොච්ටවර් 24-7 පිටු බලන්න.

[29වන පිටුවේ පින්තූර]

ස්ට්‍රැත්ෆීල්ඩ් බෙතෙල් හි ඇති මුද්‍රණාලය 1929-73

පසුපස බිත්තිය තුළින් ගන්නා ලද මුද්‍රණ යන්ත්‍රයක් අසල සිටගෙන සිටින ජෝජ් ගිබ්