Skip to content

පටුනට යන්න

බෙයර්-ෂෙබා—ජීවත්වීමට ළිඳක් අත්‍යවශ්‍ය වූ තැන

බෙයර්-ෂෙබා—ජීවත්වීමට ළිඳක් අත්‍යවශ්‍ය වූ තැන

පොරොන්දු දේශයෙන් දර්ශන

බෙයර්-ෂෙබා—ජීවත්වීමට ළිඳක් අත්‍යවශ්‍ය වූ තැන

“දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා.” එය බයිබල් පාඨකයන් හොඳින් දන්නා වාක්‍ය ඛණ්ඩයකි. එය උතුරු සීමාවේ දාන් පටන්, දකුණේ බෙයෙර්-ෂෙබා දක්වා මුළු ඉශ්‍රායෙලය ම විස්තර කරයි. සාලමොන්ගේ පාලනය තුළ පැවති සාමය මෙසේ මූර්තිමත් කරනු ලැබී ය: “සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යුදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැලයටද අත්තික්කා ගස යටද සුවසේ වාසය කළෝය.”—1 රාජාවලිය 4:25; විනිශ්චයකාරයන් 20:1.

එහෙත්, දාන් හා බෙයර්-ෂෙබා අතර වෙනස, ඒවා අතර තිබූ දුර ප්‍රමාණයට වඩා වැඩි විය. උදාහරණයක් වශයෙන්, දාන්ට අවශ්‍ය තරම් වැසි ලැබුණි; දකුණු පැත්තේ ඡායාරූපයේ දැකිය හැකි ලෙසින්, යොර්දාන් ගඟේ එක් මව් දියතුවක් සැකසීමට එම භූමි භාගයෙන් ජලය ගලා ගියේ ය. බෙයර්-ෂෙබා මෙතරම් වෙනස් වූයේ මන්දයත් එය පිහිටා තිබුණේ මුහුදු වෙරළ හා මළ මුහුදේ දකුණු අන්තය අතර වියළි ප්‍රදේශයක වූ බැවින් ය.

බෙයර්-ෂෙබා ප්‍රදේශයට වාර්ෂික ව ලැබුණේ අඟල් හයේ සිට අට දක්වා වූ වර්ෂාපතනයක් පමණකි. එය සිහියේ තබා ගනිමින්, ඉහත වූ ඡායාරූපයේ ඇති බෙයර්-ෂෙබා හි මිටි කන්ද, නැතහොත් ගොඩැල්ල සැලකිල්ලට ගන්න. * ඔබට දැකිය හැකි හරිත වර්ණය, බෙයර්-ෂෙබා හි කෙත්වතු කෙටි කලකට කොළ පැහැ ගැන්වෙන, ශීත ඍතුවේ සීමිත වර්ෂාපතනයෙන් පසු මෙම ඡායාරූපය ගන්නා ලද බව අඟවයි. අසල තැනිතලාවන් ධාන්‍ය භෝග සඳහා අනර්ඝ තත්ත්වයක තිබුණි—තවමත් එය එසේ ම ය.

මෙම ප්‍රදේශය වියළි ව තිබූ නිසා, බෙයර්-ෂෙබා පිළිබඳ බයිබල් වාර්තාවල ළිං හා ජල අයිතිය පිළිබඳ ව අවධාරණය කෙරේ. මෙම නගරය පිහිටා තිබුණේ ඈත දකුණෙන් කාන්තාර පාළුකරය හරහා ගමන් කළා වූ මාර්ග නැතහොත් තවලම් මාර්ග අසල ය. ඔබට සිතාගත හැකි ලෙසින්, මේ හරහා යන හෝ මෙහි නවතින මගීන්, තමන්ටත් තමන්ගේ සත්ත්වයන්ටත් ජලය ඕනෑ කරන තත්ත්වයක සිටිනු ඇත. දාන් හි මෙන්, ඒ ජලය පොළොවෙන් ගලා ආවේ නැතිමුත්, එය ළිංවලින් ලබා ගත හැකි ව තිබුණි. ඇත්ත වශයෙන් ම, බෙ’යර්ʹ නම් හෙබ්‍රෙව් වදන යොමු දැක්වූයේ භූගත ජල සැපයුම ලබා ගැනීමට හාරණ ලද වළකට හෝ හිලකට ය. බෙයර්-ෂෙබා යන්නෙන් අදහස් වන්නේ “ගිවිසුමේ ළිඳ” හෝ “හතේ ළිඳ” යන්න ය.

ආබ්‍රහම් හා ඔහුගේ පවුල දීර්ඝ කලකට බෙයර්-ෂෙබා හි හා ඒ අසල ජීවත් වූ අතර ළිංවල වැදගත්කම ඔවුහු දැන සිටියහ. සාරාගේ මෙහෙකාරිය වූ හාගර් පාළුකරයට පලා ගිය අවස්ථාවේ, ඇය ළිංවලින් හෝ ඒවා පාවිච්චි කළ—ඊළඟ පිටුවේ ඉහළ රූපයේ පෙනෙන ආකාරයට, සීනයි අර්ධද්වීපයේ ළිඳකින් ජලය අදින බෙඩුවින් ජාතික කාන්තාව වැනි—බෙඩුවින්වරුන්ගෙන් ජලය ලබා ගන්නට සැලසුම් කරන්නට ඇත. ආබ්‍රහම්ට පසු ව අනිසි හැසිරීමෙන් යුත් ඇයගේ පුත්‍රයා සමඟ හාගර් ව පිටත් කර හරින්නට සිදු වූ විට, ඔහු කාරුණික ව අවශ්‍ය තරම් ජලය ද ඇයට ලබා දුන්නේ ය. එය අවසන් වූ පසු කුමක් සිදු වී ද? “දෙවියන්වහන්සේ ඇගේ ඇස් ඇරෙවූසේක, එවිට ඈ වතුර ඇති ළිඳක් දැක එහි ගොස් භාජනයට වතුර පුරවාගෙන ළමයාට බොන්නට දුන්නාය.”—උත්පත්ති 21:19 පහත පින්තූරය බලන්න.

හාගර්ගේ ජල භාජනය පිරවීම සඳහා ආබ්‍රහම්ට ජලය ලැබුණේ කොතැනින් ද? ඇතැම් විට ඔහු හෑරූ ළිදෙන් විය හැක. තව ද ඔහු ඒ අසල ඒෂෙල් ගස් සිට විය. (උත්පත්ති 21:25-33) විද්‍යාඥයින් ආබ්‍රහම් විසින් ඒෂෙල් ගසක් තෝරා ගැනීමේ යෝග්‍ය භාවය දැන් දැක ඇති බව පැවසිය යුතු ය, ඊට හේතුව මෙම ප්‍රදේශයේ වියළි තත්ත්වයක් තිබිය දී ඊට සශ්‍රීක විය හැකි ලෙසින්, ජලය අඩු ප්‍රමාණයක් අහිමි වන කුඩා ශාකපත්‍ර මෙම ගසට තිබීම ය.

ආබ්‍රහම් විසින් ළිඳක් හෑරීම සඳහන් කරනු ලැබුවේ, ඔහු හා පිලිස්ති රජෙක් අතර වූ ආරවුලක් හේතුවෙනි. පොදුවේ ජලය හිඟකම නිසාත්, ළිඳක් හෑරීම සඳහා අවශ්‍ය වූ කම්කරු ශ්‍රමය නිසාත්, ළිඳක් වටිනා සම්පතක් විය. ඇත්ත වශයෙන් ම, ඒ කාලයේ අවසරය නොමැති ව ළිඳක් පාවිච්චි කිරීම දේපළ අයිතිය පැහැර ගැනීමක් විය.—ගණන් කථාව 20:17, 19 සසඳන්න.

ඔබ බෙයර්-ෂෙබාවේ කුඩා කඳුවැටිය බලන්නට ගියේ නම්, එහි ගිනිකොණ බෑවුමේ ගැඹුරු ළිඳක් ඔබට දකින්නට ලැබේ. තද ගල හා (පහත දැකිය හැකි ලෙසින්) ගල්වලින් සවිමත් කර ඇති එහි ඉහළ කොටස මුලින් ම හාරණ ලද කාලය කිසිවෙක් දන්නේ නැත. නවීන දින පුරාවිද්‍යාඥයන් අඩි සියයක් ගැඹුරට එය පිරිසිදු කළ ද ඔවුන්ට එහි පතුලට ළඟා විය නොහැකි විය. ඔවුන්ගෙන් කෙනෙක් මෙසේ නිරීක්ෂණය කළේ ය: “ආබ්‍රහම් හා අබිමෙලෙක් සිය ගිවිසුම ඇති කර ගත් ‘ගිවිසුමේ ළිඳ’ . . . මේ යයි නිගමනය කිරීමට පොලඹවන සුලු ය.”—බිබ්ලිකල් ආකියොලජි රිව්‍යූ.

පැහැදිලි ව ම බයිබල් කාලවල් තුළ බෙයර්-ෂෙබා විශාල දොරටුවක් ඇති ආරක්ෂිත නුවරක් බවට පත් වෙමින් ප්‍රමාණයෙන් වැඩි වර්ධනය විය. එහෙත් එහි පැවැත්මට හා සඵලත්වයට දායක වූ මූලික දෙයක් වූයේ එහි ගැඹුරු ළිඳෙන් ලැබුණු අත්‍යවශ්‍ය වූ ජලයයි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. බෙයර්-ෂෙබා හි ඇති කුඩා කන්දේ වඩාත් විශාල පරිමාණයේ දර්ශනයක් සඳහා 1993 කැලැන්ඩර් ඔෆ් ජෙහෝවාස් විට්නසස් (යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ 1993 දින දර්ශනය) බලන්න.

[24වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.