Skip to content

පටුනට යන්න

මුල් ක්‍රිස්තියානිහු සහ ලෝකය

මුල් ක්‍රිස්තියානිහු සහ ලෝකය

මුල් ක්‍රිස්තියානිහු සහ ලෝකය

දැනට වසර දෙදහසකට පමණ පෙර, මැද පෙරදිගෙහි පුදුම සහගත සිද්ධියක් සිදු විය. දෙවියන් වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණෝ, සිය ස්වර්ගීය වාසස්ථානයෙන් මනුෂ්‍ය වර්ගයාගේ ලෝකයේ කෙටි කාලයකට වාසය කිරීමට එවනු ලැබූ සේක. මනුෂ්‍ය වර්ගයාගෙන් බහුතරයක් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද? ප්‍රේරිත යොහන් මෙසේ පිළිතුරු දෙයි: “උන්වහන්සේ [යේසුස් වහන්සේ] ලෝකයෙහි සිටිසේක, ලෝකයද උන්වහන්සේ කරණකොටගෙන සාදනලද්දේය, නුමුත් ලෝකයා උන්වහන්සේ ඇඳින ගත්තේ නැත. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට [ඉශ්‍රායෙලයට] ආසේක, ස්වකීයයෝ උන්වහන්සේ පිළි නොගත්තෝය.”—යොහන් 1:10, 11.

දේව පුත්‍රයා වන, යේසුස් වහන්සේ ව ලෝකය කිසිසේත් පිළිගත්තේ නැත. එසේ නොකළේ මන්ද? යේසුස් වහන්සේ මෙසේ වදාළ අවස්ථාවේ දී එක් හේතුවක් පැහැදිලි කළ සේක: “ඔවුන්ගේ ක්‍රියා නපුරු බවට මා විසින් සාක්ෂිදෙන බැවින් ඔව්හු [ලෝකයා NW] මට වෛරකරති.” (යොහන් 7:7) අවසානයේ, ඇතැම් යුදෙව් ආගමික නායකයන්, ඒදොමීය රජෙක්, හා රෝමානු දේශපාලනඥයෙක් විසින් නියෝජනය කරනු ලැබූ—මෙම ලෝකය ම යේසුස් වහන්සේ ව මරණයට පත් කළේ ය. (ලූක් 22:66–23:25; ක්‍රියා 3:14, 15; 4:24-28) යේසුස් වහන්සේගේ අනුගාමිකයන් ගැන කුමක් කිව හැකි ද? ඔවුන් ව පිළිගැනීමට ලෝකය වඩාත් සූදානමින් සිටිනු ඇද්ද? නැත. සිය මරණයට කෙටි කලකට පෙර යේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ අනතුරු ඇඟ වූ සේක: “නුඹලා ලෝකයට අයිති [ලෝකයේ කොටසක් ව සිටී NW] නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් [ලෝකයෙන් කොටසක් NW] නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති.”—යොහන් 15:19.

ප්‍රේරිතයන්ගේ කාලවල දී

යේසුස් වහන්සේගේ වදන් සැබෑ බවට තහවුරු විය. උන් වහන්සේගේ මරණයෙන් සති ස්වල්පයකට පසු, සිය ප්‍රේරිතයන් ව අත් අඩංගුවට ගෙන, තර්ජනය කරනු ලැබ, තලන ලදී. (ක්‍රියා 4:1-3; 5:17, 18, 40) ඉන් මද කලකට පසු, ජ්වලිතයෙන් ක්‍රියා කළ ස්තේපන් ව අල්ලා යුදෙව් මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනැවිත්, අනතුරුව ගල් ගසා මරණයට පත් කරනු ලැබී ය. (ක්‍රියා 6:8-12; 7:54, 57, 58) පසු ව, Iවන හෙරොද් අග්‍රිපා රජ විසින් ප්‍රේරිත යාකොබ් ව මරණයට පත් කරනු ලැබී ය. (ක්‍රියා 12:1, 2) පාවුල්ගේ මිෂනාරි ගමන්වල දී, පලස්තීනයෙන් පිටත ජනපදවල වාසය කළ යුදෙව්වන්ගේ පෙලඹීම යටතේ ඔහුට පීඩා පමුණුවනු ලැබී ය.—ක්‍රියා 13:50; 14:2, 19.

මුල් ක්‍රිස්තියානින් මෙවන් විරුද්ධවාදිකම්වලට ප්‍රතිචාරය දැක්වූයේ කෙසේ ද? මුල් කාලයේ, ආගමික බලධාරීන් යේසුස් වහන්සේගේ නාමයෙන් දේශනා කිරීම ප්‍රේරිතයන්ට තහනම් කළ විට, එම ප්‍රේරිතයෝ මෙසේ පැවසූහ: “[පාලකයාණන් වශයෙන් NW] මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය.” (ක්‍රියා 4:19, 20; 5:29) විරුද්ධවාදිකම් පැන නැගි ඕනෑ ම අවස්ථාවක මෙය දිගට ම ඔවුනගේ ආකල්පය ව තිබුණි. එසේ නමුත්, “බලයලත් [රාජ්‍ය] මුලාදෑනීන්ට යටත්” වන්නැයි රෝමයේ වාසය කළ ක්‍රිස්තියානින්ට ප්‍රේරිත පාවුල් උපදෙස් දුන්නේ ය. “පුළුවන් නම්, නුඹලාගෙන් විය හැකි ප්‍රමාණයට, සියලු මනුෂ්‍යයන් සමග සමාදානයෙන් සිටපල්ලා” කියා ද ඔහු වැඩිදුරටත් ඔවුන්ට උපදෙස් දුන්නේ ය. (රෝම 12:18; 13:1) එබැවින්, මුල් ක්‍රිස්තියානින්ට සිය සමතුලිත භාවය රැකගැනීම දුෂ්කර කටයුත්තක් විය. ඔවුහු තමුන්ගේ ප්‍රධාන පාලකයාණන් හැටියට දෙවියන් වහන්සේට කීකරු වූහ. ඒ සමඟ ම, ඔවුහු දේශීය බලධාරීන්ට යටත් ව සිටි අතර ජනයා සමඟ සාමකාමී ව වාසය කරන්නට වෑයම් කළහ.

රෝමානු ලෝකයේ ක්‍රිස්තියානිහු

එදා රෝමානු අධිරාජ්‍යයේ පාලනය යටතේ පැවති පළමු ශතවර්ෂයට අයත් ලෝකයේ, ක්‍රිස්තියානිහු රෝමානු යුද්ධ හමුදාව විසින් පවත්වාගෙන ගිය පැක්ස් රෝමානා, නොහොත් රෝම සාමයෙන් නිසැක ව ම ප්‍රයෝජන ලැබූහ. නීති රීති රැකෙන පරිද්දෙන් පවත්වාගෙන ගිය ස්ථාවර පාලනය, හොඳ පාරවල්, සාපේක්ෂී වශයෙන් ආරක්ෂා සහිත මුහුදු ගමන් යනාදී සියල්ල ක්‍රිස්තියානි ධර්මයේ ව්‍යාප්තියට හිතකර වාතාවරණයක් ඇති කළේ ය. මුල් ක්‍රිස්තියානිහු සමාජය වෙත තමන්ගේ ණයගැති භාවය පැහැදිලි ව පිළිගෙන, “කායිසර්ගේ දේ කායිසර්ට” ගෙවීමට වූ යේසුස් වහන්සේගේ විධානයට කීකරු වූහ. (මාර්ක් 12:17) රෝමානු අධිරාජ්‍ය ඇන්ටෝනිනස් පයස් (පො. යු. 138-161) වෙත ලියමින්, ක්‍රිස්තියානින් “අන් සියල්ලන්ට ම වඩා කැමැත්තෙන්” සිය බදු ගෙවූ බව ජස්ටින් මාටර් කියා සිටියේ ය. (ෆස්ට් අපොලජි, 17වන පරිච්ඡේදය) පොදු යුගයේ 197 දී, ක්‍රිස්තියානින් තම බදු ගෙවීමේ යුතුකම නොපිරිහෙළා ඉටු කිරීම හේතුවෙන් රෝමානු අයබදු එකතු කරන්නන් “ක්‍රිස්තියානින් වෙත කෘතඥ පූර්වක විය යුතු” බව ටර්ටූලියන් රෝමානු පාලකයන්ට පැවසී ය. (අපොලජි, 42වන පරිච්ඡේදය) බලය ලත් මුලාදෑනීන්ට තමන් යටත් විය යුතු බවට වූ පාවුල්ගේ උපදේශයට ඔවුන් යටත් වුණු තවත් එක් ක්‍රමයක් මෙය විය.

එපමණක් නොව, තමුන්ගේ ක්‍රිස්තියානි ප්‍රතිපත්තිවලට ඉඩ හරින ප්‍රමාණයට, මුල් ක්‍රිස්තියානිහු සිය අසල් වැසියන් සමඟ සාමකාමී ව ජීවත් වන්නට වෑයම් කළහ. එහෙත් මෙය පහසු නොවී ය. ඔවුන් අවට පැවති ලෝකය ඉතා දුරාචාර ව තිබූ අතර අලුතෙන් එක් කරන ලද අධිරාජ්‍ය නමස්කාර කිරීම ද සහිත ව, ග්‍රීක්-රෝම පිළිම නමස්කාරයට නැඹුරු වී තිබිණ. මිථ්‍යා දෘෂ්ටික රෝමානු ආගම මූලික ව ම රාජ්‍ය ආගම වූ බැවින්, එය පිළිපැදීම කෙසේ හෝ ප්‍රතික්ෂේප කිරීම රාජ්‍යයට කරන සතුරුකමක් ලෙස සැලකිය හැකි විය. මෙනිසා ක්‍රිස්තියානින්ට මෙය බලපෑවේ කෙසේ ද?

ඔක්ස්ෆර්ඩ් මහාචාර්ය ඊ. ජී. හාර්ඩි ලීවේ මෙසේ ය: “පිළිම නමස්කාරය හා සම්බන්ධ වීම නිසා, යුතුකම් නොපිරිහෙළා ඉටුකරන ක්‍රිස්තියානියෙකුට කළ නොහැකි වූ බොහෝ දේවල් ටර්ටූලියන් විස්තර කරයි: උදා. ගිවිසුම් අත්සන් තබන විට දිවුරීම; උත්සව ආදි කාලයේ දී දොරකඩ අසල ආලෝකවත් කිරීම; සියලු ආකාර මිථ්‍යා දෘෂ්ටික ආගමික උත්සව; ක්‍රීඩාංගනවල ක්‍රීඩා මෙන් ම සර්කස්; මිථ්‍යා දෘෂ්ටික සම්භාව්‍ය සාහිත්‍ය ඉගැන්වීමේ වෘත්තිය; හමුදා සේවය; රජයේ තනතුරු දැරීම.”—ක්‍රිස්ටියැනිටි ඇන්ඩ් ද රෝමන් ගවර්න්මන්ට්.

එසේ ය, ක්‍රිස්තියානි ඇදහිල්ල පාවා නොදී රෝමානු ලෝකයේ ජීවත්වීම දුෂ්කර ව තිබුණි. ප්‍රංශ ජාතික කතෝලික කර්තෘ ඒ. ආමන් මෙසේ ලියයි: “දෙවියෙකු හා ගැටීමකින් තොර ව යමක් කිරීම අසීරු කාර්යයක් විය. ක්‍රිස්තියානියෙකුගේ තත්ත්වය දින පතා ඔහුට ම ගැටලුවක් විය; ඔහු ජීවත් වූයේ සමාජය සමඟ වැඩි සම්බන්ධතාවයක් නොපවතින ආකාරයට ය . . . ඔහු නිවසේ දී, වීදියේ දී, වෙළෙඳ පොළේ දී පුන පුනා ඇති වන ගැටලුවලට මුහුණ දුන්නේ ය . . . වීදියේ දී, රෝමානු පුරවැසියෙක් ව සිටියත් නැතත්, ක්‍රිස්තියානියෙක් දේවස්ථානයක් හෝ පිළිමයක් පසු කර යන විට තමාගේ හිස් ආවරණය ගලවා යා යුතු ව තිබුණි. සැකයක් ඇති නොකර ඔහුට එසේ කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේ ද, තව ද මෙයට පක්ෂ ව ක්‍රියා කිරීමක් සිදු නොකර ඔහුට ඊට යටත් ව සිටිය හැක්කේ කෙසේ ද? ඔහු ව්‍යාපාරිකයෙකු ව සිට මුදල් ණයට ගැනීමේ අවශ්‍යතාවය ඇති ව සිටියේ නම්, දෙවිවරුන්ගේ නාමයෙන් මුදල් ණයට දෙන තැනැත්තා ඉදිරියේ ඔහුට දිවුරන්නට සිදු විය. . . . ඔහු ප්‍රසිද්ධ නිලතල පිළිගත්තේ නම්, යාගයක් ඔප්පු කිරීම ඔහුගෙන් අපේක්ෂා කෙරුණි. හේවාකමට බඳවා ගනු ලැබුවේ නම්, ඔහුට දිවුරුම ගැනීමෙන් හා හමුදා සේවාවේ පිළිවෙත්වල හවුල්වීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේ ද?”—ලා වී කූටිඩියෙං ඩේ ප්‍රෙමියේ ක්‍රෙටියෙන් (95-197) (මුල් ක්‍රිස්තියානින් අතර දෛනික ජීවිතය, පො. යු. 95-197)

යහපත් පුරවැසියන්, එහෙත් අපකීර්තියට පත් වූ

පොදු යුගයේ 60 හෝ 61 දී පමණ, එනම් නීරෝ අධිරාජ්‍යයාගේ නඩු විභාගය බලාපොරොත්තුවෙන් පාවුල් රෝමයේ සිටි කාලයේ, මුල් ක්‍රිස්තියානින් ගැන මුල් පෙළේ යුදෙව්වන් කියා සිටියේ, “මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථා කරන බව අපි දනිමුව” යනුවෙනි. (ක්‍රියා 28:22) ක්‍රිස්තියානින්ට විරුද්ධ ව කථා කරන ලද බව ඓතිහාසික වාර්තාවලින් හුවා දැක්වේ—එහෙත් එසේ කරනු ලැබුවේ අයුක්ති සහගත ආකාරයකට ය. ද රයිස් ඔෆ් ක්‍රිස්ටියැනිටි නම් සිය පොතේ ඊ. ඩබ්. බාර්න්ස් මෙසේ පවසයි: “බලතලයන් සේ පිළිගත හැකි එහි මුල් ලියවිලිවල ක්‍රිස්තියානි ව්‍යාපාරය ඉඳුරාම සදාචාරමය හා නීති ගරුක එකක් හැටියට ඉදිරිපත් කෙරේ. එහි සාමාජිකයෝ යහපත් පුරවැසියන් හා පක්ෂපාත යටත් වැසියන් වන්නට ආශා කළහ. ඔවුහු මිථ්‍යා දෘෂ්ටියට අයත් පිරිහීම්වලින් හා දුශ්චරිතයෙන් වැළකී සිටියහ. පුද්ගලික ජීවිතයේ දී ඔවුහු සාමකාමී අසල් වැසියන් හා විශ්වාසදායක මිත්‍රයන් වන්නට වෑයම් කළහ. සන්සුන් ව, පමණ දැන ක්‍රියා කිරීමට, කඩිසර හා පිරිසිදු ව ජීවත් වන්නට ඔවුනට උගන්වනු ලැබී ය. පවතින දූෂිත හා කාමුක හැසිරීම් මධ්‍යයේ පවා, ඔවුන්ගේ ප්‍රතිපත්තිවලට ඔවුන් පක්ෂපාතී ව සිටියේ නම්, ඔවුහු අවංක හා විශ්වාසදායක ව සිටියහ. ඔවුන්ගේ ලිංගික ප්‍රමිති ද ඉතා උසස් මට්ටමක තිබුණි; විවාහ බන්ධනයට ගරු කරනු ලැබූ අතර පවුල් ජීවිතය ද නිර්මල ව පැවතුනි. මෙවන් සදාචාර පැවැත්මක් තිබුණු හෙයින් ඔවුන් කරදරකාරී පුරවැසියන් විය නොහැකි යයි කෙනෙක් කල්පනා කරන්නට පුළුවන. එහෙත් දීර්ඝ කලකට ඔවුන් ව නින්දාවට, අපකීර්තියට හා පිළිකුලට ලක් කරනු ලැබී ය.”

ඉපැරණි ලෝකය යේසුස් වහන්සේ ව තේරුම් නොගත් ආකාරයට ම, එය ක්‍රිස්තියානින්වත් තේරුම් නොගත් අතර එම හේතුවෙන් ඔවුන් ව ද්වේෂ කළේ ය. ඔවුන් අධිරාජ්‍යයා හා මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුහු අදේව වාදීන් ලෙසට චෝදනා ලැබූහ. මහා විපත්තියක් සිදු වූයේ නම්, දෙවිවරුන් ව කෝප කළේ යයි ඔවුන්ට දොස් පවරනු ලැබී ය. ඔවුන් දුරාචාර ක්‍රීඩාවලට හෝ රුධිරය වගුරුවන කඩු සරඹවලට සහභාගි නොවූ නිසා, ඔවුන් ව සමාජ විරෝධී ‘මනුෂ්‍ය ජාතියට වෛර කරන්නන්’ හැටියට පවා සලකනු ලැබී ය. ක්‍රිස්තියානි “නිකාය” විසින් පවුල් වෙන් කරන ලද බවත්, එනිසා එය සමාජයේ ස්ථායිතාවට අන්තරායක් බවත් ඔවුන්ගේ සතුරන් කියා සිටියහ. තමන්ගේ භාර්යාවන් ක්‍රිස්තියානින් වෙනවාට වඩා ඔවුන් දුරාචාරයේ නියැලීමට මිථ්‍යා දෘෂ්ටික ස්වාමිපුරුෂයන් වැඩි කැමැත්තක් දැක්වීම ගැන ටර්ටූලියන් කථා කළේ ය.

එවකට පුළුල් ව පැතිරුණු ගබ්සාවට ක්‍රිස්තියානින් විරුද්ධ ව සිටි නිසා, ඔවුන් ව විවේචනයට ලක් කරනු ලැබී ය. එහෙත්, ඔවුන්ගේ සතුරෝ ඔවුන්ගේ ම දරුවන් මැරුවේ යයි ඔවුන්ට චෝදනා කළහ. ඔවුන්ගේ රැස්වීම්වල දී පූජා කරන ලද දරුවන්ගේ රුධිරය ඔවුන් පානය කළේ යයි ඔවුන් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබී ය. ඒ සමඟ ම, රුධිරය අඩංගු ලිංගුස් අනුභව කිරීම ඔවුන්ගේ හෘදය සාක්ෂියට විරුද්ධ බව දැන, ඔවුන්ගේ සතුරෝ එසේ කරන ලෙස ඔවුන්ට බල කිරීමට වෑයම් කළහ. මෙසේ මෙම විරුද්ධ වාදීන් ඔවුන්ගේ ම චෝදනාවට පටහැනි ව ක්‍රියා කළහ.—ටර්ටූලියන්, අපොලජි, 9වන පරිච්ඡේදය.

අලුත් නිකායක් හැටියට නීච කොට සැලකීම

ඉතිහාසඥ කෙනත් ස්කොට් ලට්‍යූරෙට් ලීවේ මෙසේ ය: “ක්‍රිස්තියානි ධර්මයේ මෑත කාලීන පටන් ගැන්ම නිසා තවත් චෝදනා මාලාවක් මගින් එය සමච්චලයට භාජනය කරන ලද අතර, එය එහි විරුද්ධ වාදීන්ගේ (යුදෙව් ආගමේ හා ග්‍රීක-රෝම මිථ්‍යා ආගම්වල) පෞරාණිකත්වය සමඟ සසඳන කල අසමාන බවට දක්වනු ලැබී ය.” (අ හිස්ටරි ඔෆ් දි එක්ස්පෑන්ෂන් ඔෆ් ක්‍රිස්ටියැනිටි, 1වන කාණ්ඩය, 131වන පිටුව) පොදු යුගයේ දෙවන ශතවර්ෂයේ මුල් භාගයේ දී, රෝමානු ඉතිහාසඥ සූටෝනියස්, ක්‍රිස්තියානි ධර්මය “අලුත් හා දඟකාර මිථ්‍යා ඇදහීමක්” ලෙස හැඳින්වී ය. ක්‍රිස්තියානි යන නාමය ම පිළිකුල් කරන ලද බව හා ක්‍රිස්තියානින් අප්‍රසන්න නිකායක් ව සිටි බව ටර්ටූලියන් සහතික කළේ ය. රෝමානු අධිරාජ්‍යයේ නිලධාරීන් දෙවන ශතවර්ෂයේ විසූ ක්‍රිස්තියානින් දෙස බැලූ ආකාරය පිළිබඳ ව කථා කරමින්, රොබර්ට් එම්. ග්‍රාන්ට් ලීවේ මෙසේ ය: “මූලික දෘෂ්ටිය වූයේ ක්‍රිස්තියානි ධර්මය හුදෙක් නුවමනා, ඇතැම් විට හානිදායක ආගමක් ව තිබූ බව ය.”—අර්ලි ක්‍රිස්ටියැනිටි ඇන්ඩ් සොසයටි.

බලහත්කාරයෙන් තම ආගමට හරවා ගැනීම පිළිබඳ ව චෝදනා ලැබීම

ලා ප්‍රෙමීයේ ස්යාකිස් ඩෙ ලෙග්ලෙස් නම් සිය පොතේ, සෝබෝන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජාන් බර්නාඩි ලීවේ මෙසේ ය: “[ක්‍රිස්තියානින්] පිටත් ව ගොස් සෑම තැනක ම හා සෑම කෙනෙකුට ම කථා කළ යුතු ව තිබුණි. මහාමාර්ගයේත්, නගරවලත්, මහජන චතුරස්‍රයේත්, නිවාසවලත් ඔවුන් කථා කළ යුතු විය. පිළිගනු ලැබුවත්, නැතත්. දිළින්ඳන්ටත් වස්තුවෙන් බර වී සිටි ධනවතුන්ටත්. කුඩා අයටත්, රෝමානු දිසාවන්හි ආණ්ඩුකාරයන්ටත් . . . ඔවුන්ට මාර්ග ඔස්සේ යමින්, නැව් යාත්‍රා කිරීමෙන් පොළොවේ සීමාව දක්වා යන්නට සිදු විය.”

ඔවුහු මෙය කළෝ ද? දැනට ඇති සාක්ෂි අනුව ඔවුහු එසේ කළෝ ය. මුල් ක්‍රිස්තියානින් “තම ආගමට හරවා ගැනීමේ උත්සුක ස්වභාවයක්” දැක්වූ නිසා තමන්ට එරෙහි ව ගොඩනැගුන පොදු ජන මතයක් තිබූ බව මහාචාර්ය ලෙයොන් ඕමෝ ප්‍රකාශ කළේ ය. තම ආගමට හරවා ගැනීමේ සිය ජ්වලිතය යුදෙව්වන්ගෙන් ගිලිහී ගියේ යයි මහාචාර්ය ලට්‍යූරෙට් පවසයි. “අනෙක් අතට, ක්‍රිස්තියානින් ප්‍රබල ලෙස මිෂනාරිවරුන් වූ අතර එබැවින් නුරුස්නා ගතියක් ඇති කළහ.”

පොදු යුගයේ දෙවන ශතවර්ෂයේ දී, රෝමානු දර්ශන වාදී සෙල්සස්, ක්‍රිස්තියානින්ගේ දේශනා කිරීමේ ක්‍රම විවේචනය කළේ ය. ක්‍රිස්තියානි ධර්මය, නූගත් අය සඳහා බවත්, එය ‘ඒත්තු ගැන්විය හැකි වූයේ මෝඩ අයට, වහලුන්ට, කාන්තාවන්ට, හා කුඩා දරුවන්ට පමණක් බවත්’ ඔහු පැවසී ය. “පහසුවෙන් මෙල්ල කළ හැකි අයට” ආගම කවන බව කියාත්, “බුද්ධිමත් කල්පනා කිරීමකින් තොර ව එය විශ්වාස කිරීමට” සලස්වන බව කියාත්, ඔහු ක්‍රිස්තියානින්ට විරුද්ධ ව චෝදනා ගෙනාවේ ය. ඔවුන් තම අලුත් ගෝලයන්ට “ප්‍රශ්න අසන්න එපා; නිකම් ම විශ්වාස කරන්න” යනුවෙන් පවසන බව ඔහු තරයේ කියා සිටියේ ය. එහෙත් ඔරිගන්ට අනුව, “යේසුස් වහන්සේගේ ආගම පිළිගැනීමට උන් වහන්සේගේ ධර්මයෙන් මඟ පෙන්වනු ලැබුවේ, නූගත් හා පහත් මට්ටමේ අය පමණක් නොවන” බව සෙල්සස් ම පිළිගත්තේ ය.

ආගමික සමගි සන්ධාන නැත

එක ම සැබෑ දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍යය තමන් සතු ව තිබූ බව මුල් ක්‍රිස්තියානින් කියා සිටි නිසා ඔවුන් වැඩිදුරටත් විවේචනය කරනු ලැබී ය. ආගමික සමගි සන්ධාන හෙවත් වෙනත් ආගම් ධර්ම සමඟ සහයෝගී ව කටයුතු කිරීම හෝ අන්තර් ඇදහිලි නමස්කාරය හෝ ඔවුන් විසින් පිළිගනු ලැබුවේ නැත. ලට්‍යූරෙට් ලීවේ මෙසේ ය: “ඒ කාලයේ පැවති වෙනත් ඇදහිලි මෙන් නොව, ඔවුහු [ක්‍රිස්තියානිහු] වෙනත් ආගම්වලට විරුද්ධ වූහ. . . . වෙනත් ආගමික ලබ්ධීන් තුළ දැකිය හැකි ව තිබූ පුළුල් ව පැතුරුණු අගති රහිත ඉඩ දීමේ ස්වභාවයට පටහැනි ව, තමන්ට පරම සත්‍යය තිබූ බව ඔවුහු ප්‍රකාශ කළහ.”

පොදු යුගයේ 202 දී, ක්‍රිස්තියානින් තම ආගමට මිනිසුන් හරවා ගැනීම තහනම් කරන නියෝගයක් සෙප්ටීමීයස් සෙවෙරස් අධිරාජ්‍යයා නිකුත් කළේ ය. කෙසේ වෙතත්, මෙය සිය ඇදහිල්ල ගැන සාක්ෂි දැරීමෙන් ඔවුන් ව නැවැත්වූයේ නැත. ලට්‍යූරෙට් ඵල විපාකය විස්තර කරන්නේ මෙසේ ය: “එවකට පැවති මිථ්‍යා දෘෂ්ටිකත්වය සමඟත්, එවකට පැවති සමාජ සිරිත් හා සදාචාරමය පුරුදු සමඟත් මධ්‍යම ප්‍රතිපදාවකට එළඹීමට මුල් ක්‍රිස්තියානි ධර්මය ප්‍රතික්ෂේප කළ නිසා, [මුල් ක්‍රිස්තියානි ධර්මය] සමාජයට එරෙහි ව කළා වූ සැකැස්මක් හා සංවිධානයක් වර්ධනය කර ගත්තේ ය. මෙසේ සමාජයෙන් වෙන් වී ඊට එකතු වීම පිණිස එම භක්තිකයන් දැරුවා වූ දැඩි පරිශ්‍රමය, පීඩාවන්ට එරෙහි ව සිටීමට ශක්තියේ ප්‍රභවයක් වූ අතර, වෙනත් අය ව හරවා ගැනීමේ ජ්වලිතකමක් ඇති කරලනු වස් ඔවුන් තුළ ආත්ම විශ්වාසය ගොඩනැගුණි.”

එනිසා, ඓතිහාසික වාර්තාව පැහැදිලි ය. පුළුල් ව ගත් කල, මුල් ක්‍රිස්තියානින් යහපත් පුරවැසියන් වීමටත්, සියල්ලන් සමඟ සාමකාමී ව වාසය කරන්නටත් වෑයම් කළ අතරතුර, ඔවුන් “ලෝකයේ කොටසක්” වීම ප්‍රතික්ෂේප කළහ. (යොහන් 15:19NW) ඔවුහු බලය ලත් මුලාදෑනීන්ට ගෞරව කළහ. එහෙත් කායිසර් ඔවුන්ගේ දේශනා කිරීම තහනම් කළ විට, ඔවුන්ට දිගට ම දේශනා කිරීම හැර වෙන විකල්පයක් නොවී ය. ඔවුහු පොදු ජනයා සමඟ සාමකාමී ව වාසය කරන්නට වෑයම් කළත්, සදාචාර ප්‍රමිති හා මිථ්‍යා දෘෂ්ටික පිළිම නමස්කාරය සමඟ මධ්‍යම ප්‍රතිපදාවකට ඒම ප්‍රතික්ෂේප කළහ. මේ සියල්ල ඔවුන්ට පැමිණෙනු ඇතැයි ක්‍රිස්තුස් වහන්සේ පුරෝකථනය කර තිබූ ආකාරයට, ඔවුන් ව නීච කොට සලකා, අපකීර්තියට ලක්කර, පිළිකුල් කර, පීඩාවන්ට පත්කරනු ලැබී ය.—යොහන් 16:33.

ඔවුන් ලෝකයෙන් වෙන් ව සිටීම එයාකාරයෙන් දිගට ම සිදු වී ද? නොඑසේ නම්, කාලයාගේ ඇවෑමෙන් ක්‍රිස්තියානි ධර්මය පිළිපදින බවට කියා සිටි අය මේ සම්බන්ධ ව තමන්ගේ ආකල්පය වෙනස් කළෝ ද?

[4වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ක්‍රිස්තියානියෙකුගේ තත්ත්වය දින පතා ඔහුට ම ගැටලුවක් විය; ඔහු ජීවත් වූයේ සමාජය සමඟ වැඩි සම්බන්ධතාවයක් නොපවතින ආකාරයට ය”

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“ක්‍රිස්තියානි ධර්මයේ මෑත කාලීන පටන් ගැන්ම නිසා එය සමච්චලයට [භාජනය කරනු ලැබූ] අතර . . . එහි විරුද්ධ වාදීන්ගේ පෞරාණිකත්වය සමඟ සසඳන කල අසමාන බවට දක්වනු ලැබී ය”

[3වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානි රෝමානු අධිරාජ්‍යයාට හා මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්ට නමස්කාර කිරීම ප්‍රතික්ෂේප කළ නිසා, ඔවුහු අදේව වාදීන් ලෙසට චෝදනා ලැබූහ

[හිමිකම් විස්තර]

Museo della Civilta Romana, Roma

[7වන පිටුවේ පින්තූරය]

පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානිහු රාජ්‍ය පණිවුඩයේ ජ්වලිත දේශනාකරුවන් හැටියට නම් දරා සිටියහ

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Cover: Alinari/​Art Resource, N.Y.