Skip to content

පටුනට යන්න

ලෝකය සම්බන්ධයෙන් ප්‍රඥාවෙන් යුක්ත ව හැසිරීම

ලෝකය සම්බන්ධයෙන් ප්‍රඥාවෙන් යුක්ත ව හැසිරීම

ලෝකය සම්බන්ධයෙන් ප්‍රඥාවෙන් යුක්ත ව හැසිරීම

“පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරපල්ලා [හැසිරෙන්න NW].”—කොලොස්සි 4:5.

1. මුල් ක්‍රිස්තියානින්ට ගැටීමට සිදු වූයේ කුමන දේවල් සමඟ ද, තව ද කොලොස්සි සභාවේ සිටි අයට පාවුල් දුන් උපදෙස කුමක් ද?

රෝමානු ලෝකයේ නගරවල ජීවත් වූ මුල් ක්‍රිස්තියානිහු, පිළිම වන්දනාව, දුරාචාර වින්දනය සෙවීම, සහ මිථ්‍යා දෘෂ්ටික සිරිත් විරිත් සහ චාරිත්‍ර සමඟ නිරතුරු ව ම ගැටුණාහ. කුඩා ආසියාවේ බටහිර මධ්‍යයේ නුවරක් වූ කොලොස්සි නුවර ජීවත් වූ අය හට, මව් දේවතාවී වන්දනාව සහ දේශීය ප්‍රිජියන්වරුන්ගේ ආත්ම බන්ධන ක්‍රියාවන්, සහ ග්‍රීක පදිංචිකරුවන්ගේ මිථ්‍යා දර්ශනය සහ යුදෙව් ජනපදවල යුදෙව් ආගම සමඟ ගැටෙන්නට සිදු වූ බවට කිසිදු සැකයක් නැත. එවැනි “පිටත සිටින්නන්” කෙරෙහි “ප්‍රඥාවෙන් හැසිරෙන” මෙන් ප්‍රේරිත පාවුල් ක්‍රිස්තියානි සභාවට උපදෙස් දුන්නේ ය.—කොලොස්සි 4:5NW.

2. අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් යුතු ව හැසිරීමට අවශ්‍ය මන්ද?

2 අද දින, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ ඒ හා සමාන වැරදි පුරුදු, සහ ඊටත් වඩා දේවලට මුහුණ පාති. එමනිසා, ඔවුන් ද සැබෑ ක්‍රිස්තියානි සභාවෙන් පිටත සිටින්නන් සමඟ තම සම්බන්ධතාවල දී ප්‍රඥාවෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය ය. ආගමික මෙන් ම දේශපාලනික ආයතන මෙන් ම ජන මාධ්‍යයන් තුළ සිටින බොහෝ දෙනෙක් ඔවුන්ට විරුද්ධ ය. මේ අයගෙන් බොහෝ දෙනෙක්, ඍජු පහරවල් එල්ල කිරීමෙන් හෝ බොහෝ විට, ඇනුම් පද කීමෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ හොඳ නාමයට කැලැල් ඇති කර, ඔවුන්ට එරෙහි ව අගති සහගත හැඟීම් ඇවිස්සීමට යත්න දරති. මුල් ක්‍රිස්තියානින් උන්මත්තක හා භයානක “නිකායක්” වශයෙන් පවා අයුක්ති සහගත ලෙස සලකනු ලැබුවාක් මෙන්, අද දින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ බොහෝ විට අගති සහගත අදහස් හා වැරදි සහගත මත මගින් පීඩා ලබති.—ක්‍රියා 24:14NW; 1 පේතෘස් 4:4.

අගතියෙන් ගොඩ ඒම

3, 4. (අ) සැබෑ ක්‍රිස්තියානින් ව ලෝකය විසින් කිසි කලෙකත් ප්‍රේම කරනු නොලබන්නේ මන්ද, තව ද අප කිරීමට උත්සාහ කළ යුත්තේ කුමක් ද? (ආ) නාට්සි වධක සිර කඳවුරක රඳවා සිටි යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ගැන එක් කර්තෘවරියක් ලීවේ කුමක් ද?

3 ප්‍රේරිත යොහන් පවසන පරිදි, “දුෂ්ට තැනැත්තාගේ බලයේ රැඳී පවතින” ලෝකය මගින් ප්‍රේම කරනු ලැබීම සැබෑ ක්‍රිස්තියානිහු බලාපොරොත්තු නොවෙති. (1 යොහන් 5:19NW) ඒ කෙසේ වෙතත්, යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ නිර්මල නමස්කාරය වෙතට පුද්ගලයන් ව දිනාගැනීමට දැඩි ප්‍රයත්න දරන මෙන් බයිබලය ක්‍රිස්තියානින් ව දිරිගන්වයි. අප මෙය කරන්නේ ඍජු ලෙස සාක්ෂි දැරීම මගින් හා අපගේ හොඳ හැසිරීම මගින් ය. ප්‍රේරිත පේතෘස් ලීවේ මෙසේ ය: “නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථා කරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාග කිරීමේ දවසේ දී දෙවියන්වහන්සේට ගෞරව කරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වාපල්ලා.”—1 පේතෘස් 2:12.

4 ෆොගිව්—බට් ඩූ නොට් ෆොගෙට් නමැති තම පොතේ කර්තෘවරිය වන සිල්වියා සැල්වසන්, නාට්සි සිරකඳවුරක තමා සමඟ ළඟින් සිටි සාක්ෂිකාර ස්ත්‍රීන් ගැන මෙසේ පැවසුවා ය: “එම දෙදෙනා, එනම් කැතී සහ මාගරීටා, සහ වෙනත් බොහෝ අය, මට බොහෝ සෙයින් උදව් කළා, ඒ ඔවුන්ගේ ඇදහිල්ල මගින් පමණක් නොවේ, නමුත් ප්‍රායෝගික කාරණාවල දීත්. අපගේ වණ පිරිසිදු කිරීමට පළමුවෙන් ම අපට රෙදි කැබලි සපයා දුන්නේ ඔවුනුයි. කොටින් ම කියතොත්, අප සිටියේ අපේ සුභ සිද්ධිය පැතූ, තම ක්‍රියාවලින් තමන්ගේ මිත්‍රශීලී හැඟීම අපට පෙන්වූ මිනිසුන් අතරෙයි.” “පිටත සිටින්නන්ගෙන්” මොනතරම් කදිම සාක්ෂියක් ද!

5, 6. (අ) වත්මන් කාලයේ දී ක්‍රිස්තුස් වහන්සේ ඉටු කරමින් සිටින්නේ කිනම් වැඩය ද, තව ද අප අමතක නොකළ යුත්තේ කුමක් ද? (ආ) ලෝකයේ ජනයා කෙරෙහි අපගේ ආකල්පය කුමක් විය යුතු ද, එමෙන් ම ඒ මන්ද?

5 පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවන්ත අයුරින් හැසිරීම මගින් අගතිය බිඳ දැමීමට අපට බොහෝ දේවල් කළ හැක. අප ජීවත් වෙමින් සිටින්නේ, අපගේ පාලනය කරන රජු වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, ‘එඬේරෙකු විසින් එළුවන් කෙරෙන් බැටළුවන් වෙන් කරන්නාක්මෙන්’ ජාතීන් ව වෙන් කරන කාල පරිච්ඡේදයක බව ඇත්ත ය. (මතෙව් 25:32) එහෙත්, විනිශ්චයකාරයාණන් වන්නේ ක්‍රිස්තුස් වහන්සේ බව කිසි විටෙකත් අමතක නොකරන්න; “එළුවන්” කවුද “බැටළුවන්” කවුද කියා තීරණය කරන්නේ උන් වහන්සේ ය.—යොහන් 5:22.

6 යෙහෝවඃ වහන්සේගේ සංවිධානයේ කොටසක් නොවන අය කෙරෙහි අපගේ ආකල්පයට මෙය බලපෑ යුතු ය. ඔවුන් ලෞකික මිනිසුන් කියා අප ඔවුන් ගැන සිතනවා විය හැකි ය, නමුත් ඔවුන් වූ කලී, ‘අදහා ගන්නා සෑම දෙන ම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස, දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ප්‍රේම කළ’ මිනිස් වර්ගයාගේ ලෝකයේ කොටසක් ය. (යොහන් 3:16) මිනිසුන් වනාහි එළුවන් යයි උඩඟු ලෙස සිතනවාට වඩා ඔවුන් අනාගත බැටළුවන් යයි සිතීම වඩා යෙහෙකි. වරක් දැඩි ලෙස සත්‍යයට විරුද්ධ වූ අය දැන් කැප වූ සාක්ෂිකරුවන් ය. තව ද, මේ අයගෙන් බොහෝ දෙනෙක් ව ප්‍රථම වතාවට දිනා ගනු ලැබුවේ, ඔවුන් යම් ඍජු සාක්ෂි දැරීමකට ප්‍රතිචාර දක්වන්නට පෙර, යම් කාරුණික ක්‍රියාවන් හේතු කොට ගෙන ය. නිදසුනක් වශයෙන්, 18වන පිටුවේ ඇති පින්තූරය බලන්න.

ජ්වලිතවත් ය, ආක්‍රමණශීලී නොවේ

7. පාප් විසින් කළ විවේචනය කුමක් ද, නමුත් අපට කුමන ප්‍රශ්නය ඇසිය හැකි ද?

7 දෙවෙනි ජුවාම් පාවුලු පාප්, පහත දෑ පැවසූ විට සාමාන්‍ය වශයෙන් නිකායන්, විශේෂයෙන් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව විවේචනයට ලක් කළේ ය: “ආක්‍රමණශීලී ජ්වලිතයකින් මෙන්, ගෙයින් ගෙට යමින්, හෝ පාරවල අයිනේ සිට යන එන අය නවත්වමින් නව ලබ්ධිකයන් ව සොයන ඇතැම්හු අපෝස්තලික සහ ධර්මදූත දැඩි උනන්දුවේ නිකායික බොරු මවා පෑමකි.” අප, “අපෝස්තලික සහ ධර්මදූත දැඩි උනන්දුවේ බොරු මවා පෑමක්” නම්, නියම එවැන්ජලිස්ත ජ්වලිතය සොයා ගැනීමට තිබෙන්නේ කොහේ ද කියා අසනු ලැබිය හැක. සහතික ව ම, ඒ කතෝලිකයන් අතරවත්, රෙපරමාදුවන් හෝ ඕතඩොක්ස් පල්ලිවල සාමාජිකයන් අතරවත් නොවේ.

8. අපගේ ගෙයින් ගෙට සාක්ෂි දැරීමේ සේවය අප විසින් කර ගෙන යා යුත්තේ කෙසේ ද, කිනම් ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් ද?

8 ඒ කෙසේ වුවද, අපගේ සාක්ෂි දැරීම ආක්‍රමණශීලී යයි කියවෙන ඕනෑ ම චෝදනාවක් බොරු කිරීම සඳහා අප ජනයා වෙත එළැඹෙන විට, සෑම විට ම අප කාරුණික, ගෞරවාන්විත සහ ආචාරශීලී විය යුතු ය. ශ්‍රාවක යාකොබ් ලීවේ මෙසේ ය: “නුඹලා අතරෙහි ප්‍රඥාවත්වූ තේරුම් ඇත්තාවූ තැනැත්තා කවුද? ඔහු යහපත් හැසිරීමෙන් තමාගේ ක්‍රියා ප්‍රඥාවේ මෘදුකම ඇතුව පෙන්වාවා.” (යාකොබ් 3:13) ප්‍රේරිත පාවුල්, ‘ඩබරකාරයන් නොවන’ ලෙස අපට අනුශාසනා කරයි. (තීතස් 3:2) නිදසුනක් වශයෙන්, අප විසින් සාක්ෂි දරනු ලබන පුද්ගලයාගේ විශ්වාසයන් කෙලින් ම හෙලා දකිනවා වෙනුවට, ඔහුගේ හෝ ඇගේ මතයන් ගැන අවංක උනන්දුවක් නොපෙන්වන්නේ මන්ද? ඉන් පසු, බයිබලයේ අඩංගු වී ඇති ශුභාරංචිය එම පුද්ගලයාට පවසන්න. ඒකාන්ත එළැඹීමක් අනුගමනය කිරීමෙන් හා වෙනත් ඇදහිලි සහිත මිනිසුන් හට නියමිත ගෞරවය දැක්වීමෙන්, සවන් දීම සඳහා වඩාත් හොඳ මානසික රාමුවක් ලබා ගැනීමට අප ඔවුන්ට උපකාර කරනු ඇති අතර, සමහර විට බයිබල් පණිවුඩයේ ඇති වටිනාකම ඔවුන් විසින් වටහා ගනු ඇත. ප්‍රතිඵලය විය හැක්කේ සමහරුන් දෙවියන් වහන්සේට ගෞරව “කිරීම” ය.—1 පේතෘස් 2:12.

9. (අ) කොලොස්සි 4:5 හි (ආ) කොලොස්සි 4:6 හි පාවුල් දුන් උපදෙස් අදාළ කර ගැනීමට අපට හැක්කේ කෙසේ ද?

9 ප්‍රේරිත පාවුල් මෙසේ උපදෙස් දුන්නේ ය: “නුඹලා ප්‍රස්ථාව අල්ලා ගනිමින් [ප්‍රස්තාවෙන් පූර්ණ කාලය මිල දී ගනිමින් NW], පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරපල්ලා [හැසිරෙන්න NW]” (කොලොස්සි 4:5) මුලින් සඳහන් කළ මෙම යෙදුම ගැන පැහැදිලි කරමින්, ජේ. බී. ලයිට්ෆුට් ලීවේ මෙසේ ය: “දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වැඩිදුරටත් වර්ධනය කළ හැකි වන පිණිස පැවසීමේ හා කිරීමේ කිසිදු ප්‍රස්තාවක් ඔබගෙන් ගිලිහී යාමට ඉඩ නොහරින්න.” (ඇද අකුරු අපගේ ය.) එසේ ය, අප නිසි කාලයට ඔබිනා වචන සහ ක්‍රියාවලින් සෑම විට ම සූදානම් විය යුතු ය. නැවත බැහැදැකීම් කිරීම සඳහා දවසේ සුදුසු වේලාවන් තෝරා ගැනීම ද එවන් ප්‍රඥාවට අයත් දෙයක් වෙයි. අපගේ පණිවුඩය ප්‍රතික්ෂේප කරනු ලැබේ නම්, ඒ ජනයා එය අගය නොකරන නිසා ද, නැත්නම්, පෙනෙන හැටියට නුසුදුසු වේලාවක දී අප ඔවුන්ට කථා කරන්නට ගිය නිසා ද? පාවුල් මෙසේ ද ලීවේ ය: “නුඹලා එකිනෙකාට උත්තරදිය යුතු කෙසේදැයි දැන ගන්නා පිණිස, නුඹලාගේ කථාව නිතරම ලුණෙන් රසවත්ව, අනුග්‍රහයෙන් යුක්තව තිබේවා.” (කොලොස්සි 4:6) කලින් සිතා බැලීම හා අසල් වාසීන් සඳහා වූ සැබෑ ප්‍රේමය මීට අයත් වෙයි. අපි සෑම විට ම රාජ්‍යය පණිවුඩය අනුග්‍රහයෙන් යුක්ත ව ඉදිරිපත් කරමු.

ගෞරවාන්විත ව හා “සෑම යහපත් ක්‍රියාවකට ම සූදානම් ව”

10. (අ) ක්‍රීතයේ ජීවත් වෙමින් සිටි ක්‍රිස්තියානින් හට ප්‍රේරිත පාවුල් දුන් උපදෙස කුමක් ද? (ආ) පාවුල්ගේ උපදෙස අනුගමනය කිරීමේ ලා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ආදර්ශවත් වී ඇත්තේ කෙසේ ද?

10 අපට බයිබල් ප්‍රතිපත්ති පාවා දිය නොහැක. අනෙක් අතට, අප, ක්‍රිස්තියානි අඛණ්ඩතාවයට සම්බන්ධ නොවන ප්‍රශ්න අනවශ්‍ය ලෙස පටලවා නොගත යුතු ය. ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේ ය: “අධිපතීන්ටත් බලය ඇත්තන්ටත් යටත්වෙන්ටද, කීකරුවෙන්ටද, සියලු යහපත් වැඩවලට සූදානම්ව සිටින්ටද, කිසිවෙකු ගැන අගුණ නොකියන්ටද, ඩබරකාරයන් නොවී ඉවසිලිවන්තව [සාධාරණ ව NW] සිට, සියලු මනුෂ්‍යයන් ගැන සියලු ආකාර මොළොක්ගුණය පෙන්වන්ටද ඔවුනට [ක්‍රීතයෙහි සිටි ක්‍රිස්තියානින්] සිහිකරවාපන්න.” (තීතස් 3:1, 2) බයිබල් විශාරද ඊ. එෆ්. ස්කොට් මෙම පාඨය ගැන ලීවේ මෙසේ ය: “ක්‍රිස්තියානිවරුන් අධිකාරීන්ට කීකරු විය යුතුවා පමණක් නොව, නමුත් ඔවුන් ඕනෑ ම යහපත් වැඩකට ම සූදානම් විය යුතු ය. මින් අදහස් කරන්නේ, අවස්ථාව උදාවන විට, මහජන සුභ සාධනය වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පෙරමුණ ගැනීමේ දී ක්‍රිස්තියානින් ඉදිරියෙන් සිටිය යුතු බව ය. සියලු යහපත් පුරවැසියන් තම අසල් වාසීන්ට උපකාර කිරීමට ආශා කරන අවස්ථාවන්, එනම් ගිනි, වසංගතය, හෝ නානාප්‍රකාර ව්‍යසනයන් පවතින අවස්ථාවන්හි තිබෙනු ඇත.” ලෝකය පුරා, ව්‍යසනවලින් පහර දෙනු ලැබ ඇති අවස්ථා බොහොමයක් තිබී ඇති අතර, සහනාධාර කටයුතු කිරීමෙහිලා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ඉදිරියෙන් සිට ඇත. ඔවුන් තම සහෝදරයන්ට පමණක් නොව නමුත් පිටත සිටින්නන්ට ද උපකාර කොට ඇත.

11, 12. (අ) ක්‍රිස්තියානින් අධිකාරීන් වෙත ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? (ආ) රාජ්‍යය ශාලා ඉදිකිරීම සම්බන්ධයෙන් ගත් කල, අධිකාරීන්ට යටත්වීම යන්නට කුමක් ඇතුළත් වේ ද?

11 පාවුල් විසින් තීතස් වෙත ලියන ලද ලිපියේ එම ඡේදයෙහි ම, අධිකාරීන් වෙත ගෞරවනීය ආකල්පයක් තබා ගත යුතු බව ද අවධාරණය කරයි. මධ්‍යස්ථ භාවය පිළිබඳ ව තම ස්ථාවරත්වය නිසා විනිශ්චයකාරවරුන් ඉදිරිපිට පෙනී සිටින ක්‍රිස්තියානි යෞවනයන්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් යුතු ව හැසිරීමට විශේෂයෙන් මතක තබා ගත යුතු ය. තම පෙනුම, තම හැසිරීමේ ලීලාව, සහ එවන් අධිකාරීන්ට කථා කරන ආකාරය මගින් යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ කීර්ති නාමය දියුණු කිරීමට හෝ පලුදු කිරීමට ඔවුනට බොහෝ දේ කළ හැකි ය. ඔවුන්, ‘ගෞරව ලබන්ට සුදුසු අයට, එවන් ගෞරවය දිය’ යුතු අතර, ගැඹුරු ගෞරවයකින් යුතු ව තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු ය.—රෝම 13:1-7; 1 පේතෘස් 2:17; 3:15.

12 ප්‍රාදේශීය රජයේ නිලධාරීන් ද මෙම “අධිකාරීන්ට” ඇතුළත් වෙයි. දැන් එන්ට එන්ට ම වඩ වඩාත් රාජ්‍යය ශාලා ඉදි කෙරෙමින් තිබෙන හෙයින්, ප්‍රාදේශීය අධිකාරීන් සමඟ කටයුතු කිරීම අනිවාර්ය දෙයක් වී තිබේ. බොහෝ විට, වැඩිමහල්ලෝ අගතියට මුහුණ දෙති. එහෙත්, සභා නියෝජිතයන් අධිකාරීන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පිහිටුවා ගෙන, නගර සැලසුම් කොමිසන් සභාව සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන විට, මෙම අගතිය බිඳ දැමීමට හැකි බවට සොයා ගෙන තිබේ. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සහ ඔවුන්ගේ පණිවුඩය ගැන කලින් මඳ වශයෙන් දැනගෙන සිටි හෝ කිසිවක් දැන නොසිටි ජනයා වෙත බොහෝ විට කදිම සාක්ෂියක් දෙනු ලැබේ.

‘හැකි නම්, සියල්ලන් සමඟ සමාදානයෙන් සිටින්න’

13, 14. රෝමයේ විසූ ක්‍රිස්තියානින්ට පාවුල් දුන් උපදෙස කුමක් ද, තව ද පිටත සිටින්නන් සමඟ අපගේ සබඳතාවල දී, එය අදාළ කිරීමට අපට හැක්කේ කෙසේ ද?

13 පාවුල්, මිථ්‍යා දෘෂ්ටික රෝමයේ ජීවත් වෙමින් සිටි ක්‍රිස්තියානින් හට පහත සඳහන් උපදෙස් දුන්නේ ය: “කිසිවකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියෙහි උසස් යයි සම්මත දේ කිරීමට සිතට ගන්න. ඔබට හැකි පමණින් හැම දෙනා සමඟ සාමකාමී ව සිටීමට උත්සාහ කරන්න. මිත්‍රවරුනි, පළි ගැනීමෙන් තොර ව, දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද: “ ‘පළිගැනීම මා සතු ය, මම විපාක දෙමි’යි ස්වාමීන් වහන්සේ පවසන සේකැ”යි ශුද්ධලියවිල්ලෙහි ලියා ඇත. මෙසේ ද ලියා ඇත: “ඔබේ සතුරාට බඩගිනි නම්, කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න. එවිට ඔහු හිස ගිනිගත් තැනැත්තකු මෙන් ලජ්ජාවෙන් දැවෙනු ඇත.” නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.”—රෝම 12:17-21, නව අනුවාදය.

14 පිටත සිටින්නන් සමඟ අපගේ සබඳතාවල දී, සැබෑ ක්‍රිස්තියානින් වශයෙන් අපි අනිවාර්යෙන් ම විරුද්ධ වාදීන්ට මුහුණ දෙන්නෙමු. ඉහත පාඨයේ දී, පාවුල් පෙන්වන්නේ, ප්‍රඥාවේ මාර්ගය නම්, විරුද්ධවාදිකම් කාරුණික ක්‍රියා මගින් ජය ගැනීමට උත්සාහ දැරීම බවයි. ගිනි අඟුරු මෙන්, මෙම කාරුණික ක්‍රියා මගින් සතුරුවාදිකම දියවී ගොස්, යෙහෝවඃ වහන්සේගේ ජනයා කෙරෙහි විරුද්ධවාදියාව වඩාත් කාරුණික ආකල්පයකට දිනාගන්නේ, සමහරවිට ශුභාරංචිය පිළිබඳ ඔහුගේ උනන්දුව පවා පුබුදුවාලමින් ය. මෙය සිදු වන විට, නපුර යහපතින් පරාජය කෙරේ.

15. පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් යුක්ත ව හැසිරීම ගැන ක්‍රිස්තියානින් විශේෂයෙන් ප්‍රවේසම් විය යුත්තේ කුමන අවස්ථාවල දී ද?

15 පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් යුතු ව හැසිරීම, එක් විවාහක කලත්‍රයෙකු තවමත් සත්‍යය පිළිගෙන නොමැති නිවෙස් තුළ දී විශේෂයෙන් ම වැදගත් ය. බයිබල් ප්‍රතිපත්ති පිළිපැදීම, වඩාත් හොඳ ස්වාමිපුරුෂයන් වඩාත් හොඳ භාර්යාවන්, වඩාත් හොඳ පියවරුන්, වඩාත් හොඳ මව්වරුන්, සහ වඩාත් කීකරු සහ පාසලේ දී වෙහෙස මහන්සි වී ඉගෙන ගන්නා දරුවන් වීමට සලස්වයි. බයිබල් ප්‍රතිපත්ති මගින් ඇදහිලිවන්ත තැනැත්තා කෙරෙහි ඇති වී තිබෙන යහපත් බලපෑම දැකීමට නොඇදහිලිකාර තැනැත්තාට හැකි විය යුතු ය. මෙසේ, ‘වචනය නැතුව’ පවුලේ කැප වූ සාමාජිකයන්ගේ ‘හැසිරීම කරණ කොට ගෙන’ සමහරුන් ව දිනාගත හැක.—1 පේතෘස් 3:1, 2.

‘සියල්ලන් උදෙසා යහපත කිරීම’

16, 17. (අ) දෙවියන් වහන්සේ බොහෝ සෙයින් සතුටු වන්නේ කිනම් පූජාවන් සමඟ ද? (ආ) අපගේ සහෝදරයන් සඳහාත් පිටත සිටින්නන් සඳහාත් අප “යහපත කළ” යුත්තේ කෙසේ ද?

16 අපගේ අසල් වැසියා උදෙසා අපට කළ හැකි ශ්‍රේෂ්ඨතම යහපත් ක්‍රියාව නම්, ඔහු වෙත ජීවනයේ පණිවුඩය ගෙන ගොස්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළින් යෙහෝවඃ වහන්සේ හා සමගි වීම පිළිබඳ ව ඔහුට ඉගැන්වීමයි. (රෝම 5:8-11) එමනිසා, ප්‍රේරිත පාවුල් අපට මෙසේ පවසයි: “දෙවියන්වහන්සේගේ නාමයට ස්තුතිකරන තොල්වල ඵල වන ප්‍රශංසාව නමැති පූජාව උන්වහන්සේම [ක්‍රිස්තුස් වහන්සේ] කරණකොටගෙන නිතරම දෙවියන්වහන්සේට ඔප්පුකරමු.” (හෙබ්‍රෙව් 13:15) පාවුල් තවදුරටත් මෙසේ කියයි: “නුමුත් යහපත්කම් කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතක නැති නොකරල්ලා. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්නවනසේක.” (හෙබ්‍රෙව් 13:16) අපගේ ප්‍රසිද්ධ සාක්ෂිදැරීමට අමතර ව, “යහපත්කම් කිරීම” අප විසින් අමතක නොකළ යුතු ය. එය, දෙවියන් වහන්සේ බොහෝ සෙයින් සතුටු වන පූජාවන්හි අතිවැදගත් කොටසක් සකස් කරයි.

17 ස්වභාවයෙන් ම, චිත්ත වේගීය, ආත්මික, ශාරීරික, හෝ ද්‍රව්‍යමය වශයෙන් අවශ්‍යතා ඇති ව සිටින අපගේ ආත්මික සහෝදරයන්ට අපි යහපත කරන්නෙමු. පාවුල් මෙසේ ලියන විට, මෙය ඇඟවූයේ ය: “එබැවින්, අපට ප්‍රස්තා ඇති හැටියට සියල්ලන්ටම, ප්‍රධානකොට ඇදහිල්ලේ පවුලට අයිතිවූවන්ට, යහපත්කම්කරමු.” (ගලාති 6:10; යාකොබ් 2:15, 16) කෙසේ වෙතත්, අප මෙම වදන්, එනම් “සියල්ලන්ටම . . . යහපත්කම්කරමු” යන්න අමතක නොකළ යුතු ය. නෑයෙකුට හෝ අසල් වැසියෙකුට හෝ හවුලේ වැඩ කරන කෙනෙකුට දක්වන කාරුණික ක්‍රියාවකින් අපට එරෙහි ව පවතින අගතීන් බිඳ දැමීමට බොහෝ දේ කළ හැකි අතර, පුද්ගලයාගේ හෘදය සත්‍යය වෙතට විවෘත කළ හැකි ය.

18. (අ) කුමන අන්තරායන්ගෙන් අප වැළකී සිටිය යුතු ද? (ආ) අපගේ ක්‍රිස්තියානි යහපත්කම අපගේ ප්‍රසිද්ධ සාක්ෂි දැරීමේ වැඩයට අනුබලයක් ලෙස යොදා ගත හැක්කේ කෙසේ ද?

18 මෙය කිරීමට, පිටත සිටින අයගෙන් සමීප මිතුරන් ඇති කර ගැනීමට අපට අවශ්‍ය නැත. එවැනි ආශ්‍රයන් භයානක විය හැකි ය. (1 කොරින්ති 15:33) ඇරත් ලෝකයේ මිතුරන් වීමට කිසිදු අභිප්‍රායක් නැත. (යාකොබ් 4:4) එහෙත් අපගේ ක්‍රිස්තියානි යහපත්කමෙන් අපගේ දේශනා සේවයට අනුබල ලැබිය හැකි ය. ඇතැම් රටවල, ජනයා හට ඔවුන්ගේ නිවෙස්වල දී කථා කිරීම එන්ට එන්ට ම අසීරු දෙයක් බවට පත්වෙමින් තිබේ. නවාතැන් සහිත ඇතැම් ගොඩනැගිලි, ඒවායේ පදිංචි වී සිටින්නන් ව අප විසින් හමුවීම වළක්වන උපක්‍රම මගින් ආරක්ෂා කොට තිබේ. දියුණු රටවල, දුරකථන සේවය දේශනා කිරීම සඳහා මඟක් විවෘත කරයි. බොහෝ රටවල වීදි සාක්ෂි දැරීම කළ හැක. එහෙත්, සියලු රටවල දී, ප්‍රසන්න වීමෙන්, ආචාරශීලී වීමෙන්, කාරුණික වීමෙන්, සහ උපකාරවත් වීමෙන් අගති සහගත හැඟීම් බිඳ දමා කදිම සාක්ෂියක් දීමට අවස්ථා උදා කර දෙයි.

විරුද්ධ වාදීන් ව නිශ්ශබ්ද කිරීම

19. (අ) අප මිනිසුන් සතුටු කරන්නට යත්න දරන්නේ නැති නිසා, අපට කුමක් අපේක්ෂා කළ හැකි ද? (ආ) දානියෙල්ගේ ආදර්ශය අනුගමනය කිරීමට සහ පේතෘස්ගේ උපදෙස අදාළ කර ගැනීමට අප දැඩි ප්‍රයත්නයක් දැරිය යුත්තේ මන්ද?

19 යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වනාහි මිනිසුන් ව සතුටු කරන්නන්වත්, මිනිසුන්ට භය වෙන අයවත් නොවේ. (හිතෝපදේශ 29:25; එපීස 6:6) ආදර්ශවත් බදු ගෙවන්නන් හා හොඳ පුරවැසියන් වීමට ඔවුන් කොතරම් ප්‍රයත්න දැරුවත්, විරුද්ධ වාදීන් ද්වේෂ සහගත බොරු ප්‍රචාරය කර, ඔවුන් ගැන අවඥා සහගත ලෙස කථා කරන බව ඔවුහු සම්පූර්ණයෙන් වටහා ගනිති. (1 පේතෘස් 3:16) මේ බව දන්නා ඔවුහු, “දානියෙල්ගේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව ගැන ඔහුට විරුත්ටධව කාරණයක් අල්ලාගත්තොත් මිස නැත්නම් ඔහුට විරුත්ටධව කාරණයක් අපට සම්බනොවන්නේයයි” තම සතුරන් විසින් පවසනු ලැබූ දානියෙල් ව අනුකරණය කිරීමට ඔවුහු වෑයම් කරති. (දානියෙල් 6:5) මනුෂ්‍යන් සතුටු කිරීම සඳහා අපි කිසිවිටෙකත් බයිබල් ප්‍රතිපත්ති පාවා නොදෙන්නෙමු. අනෙක් අතට, අප ප්‍රාණ පරිත්‍යාග කිරීමට සොයන්නේ ද නැත. අපි සාමකාමී ව ජීවත්වීමට උත්සාහ කරන අතර, ප්‍රේරිතමය උපදෙසට අවනත වන්නෙමු: “මෙසේ නුඹලා යහපත කිරීමෙන් අනුවණ මනුෂ්‍යයන්ගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන්වහන්සේගේ කැමැත්තය.”—1 පේතෘස් 2:15.

20. (අ) අප ඒත්තු ගෙන සිටින්නේ කුමක් ගැන ද, එමෙන් ම යේසුස් වහන්සේ දුන් දිරිගැන්වීම කුමක් ද? (ආ) පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් හැසිරීමට අපට හැක්කේ කෙසේ ද?

20 ලෝකයෙන් වෙන් ව සිටීම පිළිබඳ අපගේ ස්ථාවරත්වය මුළුමනින් ම බයිබලයට එකඟ බව අපි ඒත්තු ගෙන ඇත්තෙමු. පළමු සියවසේ ක්‍රිස්තියානින්ගේ ඉතිහාසය මගින් එයට අනුබල ලැබේ. යේසුස් වහන්සේගේ වචන මගින් අපි ධෛර්ය ලබමු: “ලෝකයෙහි පීඩා තිබේ. නුමුත් ධෛර්ය්‍යවත් වෙයල්ලා; මම ලෝකයෙන් ජයගතිමි.” (යොහන් 16:33) අපි භය නොවෙමු. “තවද නුඹලා යහපත් දෙය ගැන ජ්වලිතව සිටිහු නම්, නුඹලාට අනතුරු කරන්නේ කවුද? එහෙත් නුඹලා ධර්මමිෂ්ඨකම නිසා දුක්විඳින නුමුත් ආශීර්වාදලද්දහුය [සන්තෝෂ ලද්දෝ ය NW]. ඔවුන්ගේ භයගැන්වීමට භයවෙන්ටවත් කැලඹෙන්ටවත් එපා. නුමුත් නුඹලාගේ සිත්වලින් [හෘදවලින් NW] ස්වාමීන්වහන්සේ කොට ක්‍රිස්තුස්වහන්සේට ගෞරවකරපල්ලා. නුඹලා තුළ ඇත්තාවූ බලාපොරොත්තුව ගැන නුඹලාගෙන් අසන සියල්ලන්ට උත්තර දෙන්ට නිතර සෑදී සිටපල්ලා, නුමුත් මෘදුකමින්ද යටහත්කමින්ද එසේ කළ යුතුය.” (1 පේතෘස් 3:13-15) මේ අයුරින්, ක්‍රියා කරන අතරේ දී, අපි පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් යුතු ව හැසිරෙමින් සිටිමු.

පුනරීක්ෂණයක් ලෙසට

පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් යුතු ව හැසිරීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට අවශ්‍ය වන්නේ මන්ද?

ලෝකය විසින් ප්‍රේම කරනු ලැබීමට සැබෑ ක්‍රිස්තියානින්ට කිසි විටෙකත් බලාපොරොත්තු විය නොහැක්කේ මන්ද, නමුත් කුමක් කිරීමට ඔවුන් උත්සාහ කළ යුතු ද?

මේ ලෝකයේ ජනයා කෙරෙහි අපගේ ආකල්පය කුමක් විය යුතු ද, එමෙන් ම ඒ මන්ද?

අපගේ සහෝදරයන්ට පමණක් නොව, පිටත සිටින්නන්ටත් අප “යහපත කළ” යුත්තේ මන්ද?

පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් හැසිරීම අපගේ ප්‍රසිද්ධ සාක්ෂි දැරීමේ වැඩයට උපකාරවත් විය හැක්කේ කෙසේ ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[18වන පිටුවේ පින්තූරය]

වමේ: ජල ගැලීමකින් පසු තම අසල් වාසීන්ට උපකාර කරන ප්‍රංශයේ සිටින සැබෑ ක්‍රිස්තියානින්

[20වන පිටුවේ පින්තූරය]

කරුණාවන්තකමේ ක්‍රිස්තියානි ක්‍රියා මගින් අගතිය බිඳ දැමීමට බොහෝ දේ කළ හැක

[23වන පිටුවේ පින්තූරය]

ක්‍රිස්තියානිහු “සෑම ආකාරයක ම යහපත් වැඩකට” සූදානම් ව සිටිය යුතු ය