Skip to content

පටුනට යන්න

ඇදහිල්ල—ඔබේ දිවියට සැබෑ වෙනසක්

ඇදහිල්ල—ඔබේ දිවියට සැබෑ වෙනසක්

ඇදහිල්ල—ඔබේ දිවියට සැබෑ වෙනසක්

“යහපත් සාරධර්ම වර්ධනය කරගන්න දෙවිකෙනෙක්ම අවශ්‍ය නැහැ.” මෙලෙස තර්ක කළේ අඥෙයවාදී ස්ත්‍රියක්. දෙවි කෙනෙක් කෙරෙහි ඇදහිල්ල නොතිබුණත් තම දරුවන් තුළ උසස් සදාචාර ප්‍රමිති පැලපදියම් කර තිබෙන බවත්, දරුවනුත් ඔවුන්ගේ දරුවන්ව ඒ ආකාරයෙන්ම පුහුණු කර තිබෙන බවත් ඇය කියා සිටියාය.

දෙවි කෙරෙහි ඇදහිල්ලක් අවශ්‍ය නැති බව මින් අදහස් කෙරේද? මෙම ස්ත්‍රියට හැඟුණේ එලෙසයි කියා අපට පෙනී යයි. කෙසේවෙතත්, දෙවිකෙනෙක් ගැන විශ්වාස නොකරන සෑම කෙනෙක්ම නරකයි කියා මින් අදහස් කරන්නේද නැත. මන්ද ප්‍රේරිත පාවුල් පැවසූ ආකාරයට, “අන්‍යජාතීන්” දෙවිව හඳුනා නොගත්තත් ඔවුන් “ස්වභාවයෙන්ම ව්‍යවස්ථාවේ දේවල් කරන” නිසාය. (රෝම 2:15) අඥෙයවාදීන් ඇතුළු සියලුදෙනාම මෙලොවට බිහි වී ඇත්තේ හෘදය සාක්ෂියක් ඇතුවය. සහජයෙන්ම තමන්ට හරි හා වැරදි තේරීමට හැකියාව දී තිබෙන දෙවිව විශ්වාස නොකළත්, බොහෝදෙනෙක් ඔවුන්ගේ හෘදය සාක්ෂියේ මඟ පෙන්වීම අනුව ක්‍රියා කිරීමට උත්සාහ කරයි.

කෙසේ නමුත්, හෘදය සාක්ෂියේ මඟ පෙන්වීම මත පමණක්ම රඳාපවතිනවාට වඩා බයිබලය මත පදනම් වූ දෙවි කෙරෙහි ස්ථිර ඇදහිල්ලක් ඇත්නම්, එය යහපත කිරීම සඳහා වඩාත් ප්‍රබල බලපෑමක් බව පැවසිය යුතුයි. දෙවිගේ වචනය වන බයිබලය මත පදනම් වූ ඇදහිල්ලක් හෘදය සාක්ෂිය දැනුවත් කරන අතර, හරි වැරැද්ද අතර තේරීමක් කිරීම සඳහා හෘදය සාක්ෂියට වඩාත් තියුණු ලෙස ක්‍රියා කිරීමට උපකාරි වේ. (හෙබ්‍රෙව් 5:14) එපමණක්ද නොව, දැඩි පරීක්ෂණයන් යටතේදී පවා උසස් ප්‍රමිති රැකගැනීමට ඇදහිල්ල රුකුලක් වේ. උදාහරණයක් හැටියට, 20වන ශතවර්ෂය තුළදී බොහෝ රටවල් දූෂිත පාලන ක්‍රමවලට යටත් විය. මේ නිසා සාමාන්‍යයෙන් ගුණ යහපත්යයි සලකන පුද්ගලයන්ව පවා ඉතා දරුණු අපරාධ කිරීමට පොලඹවනු ලැබීය. නමුත් දෙවි කෙරෙහි සැබෑ ඇදහිල්ලක් දක්වන අය මරණය අභියසෙහි පවා තම ප්‍රතිපත්ති පාවා දුන්නේ නැත. ඊට අමතරව, බයිබලය මත පදනම් වූ ඇදහිල්ලකින් මිනිසුන්ගේ ජීවිත පවා වෙනස් කළ හැකිය. එය මං මුළා වූ අයට යම් බලාපොරොත්තුවක් දීමටත්, ජනයාට බරපතළ වැරදි කිරීමෙන් වැළකී සිටීමටත් උපකාරයක් වේ. උදාහරණ කිහිපයක් සලකා බලමු.

ඇදහිල්ල—පවුල් ජීවිතයට සැබෑ වෙනසක්

“වෙන කිසිම මාර්ගයකින් ඉටු කරන්න බැරි දෙයක් ඔබේ ඇදහිල්ලෙන් ඔබ ඉටු කර තිබෙනවා.” ජෝන් හා ටානියාගේ දරුවන් කාට භාර විය යුතුද යන්න සම්බන්ධ නඩු තීන්දුව ප්‍රකාශ කරන විට ඉංග්‍රීසි ජාතික විනිසුරුවෙක් එලෙස පැවසීය. ජෝන් හා ටානියා මුලින්ම අධිකාරීන්ගේ අවධානයට යොමු වූ විට, අවිවාහකව සිටි ඔවුන් දෙදෙනා එකට දිවි ගෙවමින්, නොයෙකුත් ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙමින් සිටියා. ජෝන් මත්ද්‍රව්‍යවලට හා සූදුවට ඇබ්බැහි වී සිටි අතර, ඔහු එම නරක පුරුදු දිගටම කරගෙන යෑම සඳහා අවශ්‍ය මුදල් සොයාගත්තේ අපරාධ කිරීමෙන්. ටානියාගේ මෙන්ම දරුවන්ගේ අවශ්‍යතාද ඔහු නොසලකා හැරියා. එසේ නම්, කුමක්ද මේ සිදු වී තිබූ “ප්‍රාතිහාර්යය”?

දවසක් ජෝන්ගේ අයියාගේ පුතා පාරාදීසය ගැන කතා කරමින් සිටියා. ඊට ඇහුම්කන් දී සිටි ජෝන්ගේ කුතුහලය ඇවිස්සුණ අතර ඔහු ළමයාගේ දෙමව්පියන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් වන ඔවුන් පාරාදීසය ගැන ඉගෙනගැනීමට ජෝන්ට බයිබලයෙන් උපකාර කළා. ක්‍රමක්‍රමයෙන් ජෝන්ද ටානියාද, තම ජීවිත වෙනස් කිරීමට මඟ පෑදූ බයිබලය මත පදනම් ඇදහිල්ලක් වර්ධනය කරගන්න පටන්ගත්තා. ඔවුහු නීත්‍යනුකූලව විවාහ වී තම නරක පුරුදුවලින් ගොඩ ආවා. ඔවුන්ගේ නිවස පරීක්ෂා කිරීමට පැමිණි අධිකාරීන් තමන්ට අදහාගත නොහැකි දර්ශනයක් දුටුවේය. එනම්, දරුවන්ව ඇති දැඩි කිරීමට සුදුසු වාතාවරණයක් යටතේ ප්‍රීතිමත් පවුලක් හා පිරිසිදු නිවහනක්. එසේ නම් විනිසුරු ගත් නිගමනය ඇත්තෙන්ම යෝග්‍යයි. ඔහුගේ අදහස වූයේ මෙම “ප්‍රාතිහාර්යයට” හේතුව ජෝන් සහ ටානියා අලුතින් වැලඳගත් ඇදහිල්ල බවයි.

එංගලන්තයෙන් කිලෝමීටර් ගණනාවක් ඈතින් පිහිටි මෑත පෙරදිගෙහි වෙසෙන තරුණ කාන්තාවක් ඉතා කනගාටුදායක ඉරණමකට ගොදුරු වන්නයි සිටියේ. සෑම වසරකදීම තම විවාහ ජීවිතය දික්කසාදයෙන් කෙළවර කරන මිලියන ගණන් ජනයා හා සමානව කටයුතු කිරීමට ඇයද තීරණය කර තිබුණා. ඇයට දරුවෙක් සිටියත් ඇගේ පුරුෂයා ඇයට වඩා වයසින් සෑහෙන වැඩියි. මේ නිසා ඇගේ නෑදෑයන් ඇයට දික්කසාද වන්න කියා බල කළ අතර, ඒ වන විටත් ඇය ඒ සඳහා පියවර ගෙන තිබුණා. කෙසේවෙතත් ඇය යෙහෝවාගේ සාක්ෂිකාරියක සමඟ බයිබලය පාඩම් කරමින් සිටියා. සාක්ෂිකාරිය මෙම කාන්තාවගේ තීරණය ගැන දැනගත් විට, විවාහය ගැන බයිබලයේ කියන දේ ඇයට පැහැදිලි කර දුන්නා. උදාහරණයක් වශයෙන් විවාහය දෙවිගෙන් ලද දීමනාවක් වන බවත්, එය සැහැල්ලුවට ගණන් ගෙන නිකම්ම අත්හැරිය හැකි දෙයක් නොවන බවත් ඇය පැහැදිලි කර දුන්නා. (මතෙව් 19:4-6, 9) මෙම කාන්තාව මෙසේ කල්පනා කිරීමට පටන්ගත්තා. ‘මාව අඳුරන්නේ නැති කෙනෙක්, මගේ විවාහය බේරලා දෙන්න හදනවා. හැබැයි මම ළඟින්ම ආශ්‍රය කරන අය මගේ විවාහය නැති කරලා දාන්න කියනවා. මේක නම් හරිම පුදුම වැඩක්!’ ඇගේ අලුත් ඇදහිල්ල නිසා ඇගේ විවාහ ජීවිතය බේරාගත හැකි විය.

පවුල් ජීවිතයට පහර දෙන තවත් කනගාටුදායක දෙයක් වන්නේ ගබ්සාව නමැති අපරාධයයි. එක්සත් ජාතීන්ගේ වාර්තාවකට අනුව, සෑම වසරකටම අඩුම තරමින් නූපන් දරුවන් දශලක්ෂ 45ක් ගබ්සා කෙරේ. ඒ සෑම ගබ්සාවක්ම දරුණු අපරාධයකි. එවැනි අපරාධයකට දායක වීමට ගිය පිලිපීනයේ කාන්තාවක් බයිබල් දැනුම හේතුවෙන් එයින් වැළකී සිටීමට තීරණය කළා.

මෙම කාන්තාවට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා. බයිබලය අධ්‍යයනය කිරීම සඳහා සකස් කර ඇති දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? a යන විවරණිකාව ඇය ඔවුන්ගෙන් ලබාගෙන, බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඉන් මාස කිහිපයකට පසුව ඇය මෙසේ කළේ ඇයි කියා පැහැදිලි කළා. සාක්ෂිකරුවන් ඇයව බලන්න ආ මුල්ම අවස්ථාවේදී ඇය ගැබ්ගෙන සිටියත්, ඇය දරුවාව ගබ්සා කරන්න ඇගේ පුරුෂයා සමඟ තීරණය කර තිබුණා. එනමුත් විවරණිකාවේ 24වන පිටුවේ තිබෙන නූපන් දරුවාගේ පිංතූරයට ඇගේ සිත ඇදී ගියා. ‘දෙවි ජීවනයේ උල්පත’ වන නිසා ජීවිතය පරිශුද්ධයි යනුවෙන් එහි තිබෙන බයිබලය මත පදනම් විස්තරය කියවීමෙන් ඇගේ දරුවාව ගබ්සා නොකිරීමට ඇය තීරණය කළා. (ගීතාවලිය 36:9) දැන් ඇය ලස්සන, සෞඛ්‍ය සම්පන්න දරුවෙක් සිටින මවක්.

ඇදහිල්ල—සමාජයෙන් කොන් කළ අයට සවියක්

ඉතියෝපියාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් පවත්වන ලද රැස්වීමකට ඒ තරම් හොඳින් ඇඳ පැළඳ නොසිටි මිනිස්සු දෙදෙනෙක් පැමිණියා. රැස්වීමෙන් පසුව, සාක්ෂිකරුවෙක් ගොස් ඔවුන් සමඟ මිත්‍රශීලී ලෙස කතා කළා. තමන්ට උදව්වක් කරන්න කියා ඔවුන් දෙදෙනා ඉල්ලා සිටියා. සාක්ෂිකාරයා ඔවුන්ට මුදලට වඩා වටිනා යමක් දුන්නා. “රනට වඩා අගේව තිබෙන” දෙවි කෙරෙහි ඇදහිල්ල වර්ධනය කරගන්න කියා ඔහු ඔවුන්ව දිරිගැන්වූවා. (1 පේතෘස් 1:7) එක්කෙනෙක් එම ආරාධනාව පිළිගෙන බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කිරීමට මඟ පෑදීය. ඇදහිල්ලෙන් වර්ධනය වෙද්දී, ඔහු දුම්පානය, අධික මත්පැන් පානය, දුරාචාරය සහ කාට් (ඇබ්බැහි කරවන ශක්තිජනකයක්) භාවිතය අත්හැරියා. ඔහු සිඟමනේ නොගොස් තම අවශ්‍යතා සපුරාගැනීමට ඉගෙනගත්තා. දැන් ඔහු පිරිසිදු මෙන්ම ඵලදායී ජීවිතයක් ගත කරයි.

ඉතාලියේ, අවුරුදු දහයක සිර දඬුවමක් විඳිමින් සිටි 47 හැවිරිදි මනුෂ්‍යයෙක්ව මනෝචිකිත්සක රෝහලක නවත්වගෙන තිබිණ. එම රෝහල පවත්වාගෙන ගියේ උසාවියේ අධීක්ෂණය යටතෙයි. සිරකරුවන්ට ආත්මික උපකාර ලබා දීම සඳහා සිරගෙවල්වලට ඇතුල් වීමට අවසර ලබා තිබූ යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඔහු සමඟ බයිබලය පාඩම් කළා. ඒ තැනැත්තා ඉක්මන් ප්‍රගතියක් ලැබුවා. ඇදහිල්ලෙන් ඔහුගේ ජීවිතය කොතරම් වෙනස් වූවාද කියනවා නම්, අනිත් සිරකරුවන් තමන්ගේ ගැටලුවලට උපදෙස් ලබාගැනීම සඳහා දැන් ඔහු වෙතට යයි. බයිබලය මත පදනම් වූ ඔහුගේ ඇදහිල්ල නිසා ඔහු අන්‍යයන්ගේ ගෞරවය, හොඳ නාමයක් සහ සිරගෙදර අධිකාරීන්ගේ විශ්වාසය දිනාගෙන තිබේ.

මෑත වසර තුළදී අප්‍රිකාවේ සිවිල් යුද්ධ ගැන පුවත්පත්වල වාර්තා වී තිබේ. ඉතාමත්ම තැතිගන්වනසුලු වන්නේ, තරුණ පිරිමි දරුවන්ව සෙබළුන් හැටියට පුහුණු කිරීම ගැන පළ වන ආරංචියි. මෙම දරුවන්ට මත්ද්‍රව්‍ය දී ඔවුන්ගේ සියලුම මානුෂික හැඟීම්, සිතුම් පැතුම් තුරන් කර දමනු ලැබේ. ඉන්පසුව ඔවුන්ගේ පවුලේ අයට විරුද්ධව අමානුෂික ක්‍රියා කිරීමට බල කිරීම තුළින් ඔවුන් බැඳී සිටින සටන්කාමී කණ්ඩායමට පමණක් පක්ෂපාතකම දැක්වීම සඳහා සකස් කරනු ලැබේ. මෙවැනි යෞවනයන්ගේ ජීවිත වෙනස් කිරීම සඳහා බයිබලය මත පදනම් වූ ඇදහිල්ලක් සෑහේද? අඩුම තරමින් අවස්ථා දෙකකදී එය එසේ විය.

ලයිබීරියාවේ ඇලෙක්ස්, කතෝලික පල්ලියේ අල්තාර කොලුවෙකු හැටියට සේවය කළා. නමුත් වයස අවුරුදු 13දී ඔහු සටන්කාමී කණ්ඩායමකට බැඳුණු අතර, දරුණු ළමා සෙබළෙක් බවට පත් වූවා. සටනේදී අවශ්‍ය නිර්භීතකම ලබාගැනීම සඳහා ඔහු භූතවාදයට හැරුණා. තම ආශ්‍රිතයන් හුඟදෙනෙක් මියයනවා දුටුවත් ඔහු බේරුණා. වර්ෂ 1997දී ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා. ඔහුව කොන් කරනවා වෙනුවට, ඔවුන් සැහැසියාව ගැන බයිබලය පවසන දේ ඔහුට ඉගෙනගන්න උපකාර කළෝය. ඇලෙක්ස් හමුදාවෙන් අස් වුණා. ඔහුගේ ඇදහිල්ල වර්ධනය වූ විගස, “නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා” යන බයිබල් ආඥාව ඔහු පිළිපදින්න පටන්ගත්තා.—1 පේතෘස් 3:11.

ඒ අතරතුර කලින් ළමා සෙබළෙක්ව සිටි සැම්සන්, ඇලෙක්ස් දැන් ජීවත් වන ගමට පැමිණියා. ඔහු කුඩා කාලයේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ සිටියත්, 1993දී හමුදාවට බැඳුණා. එහිදී ඔහු මත්ද්‍රව්‍ය, භූතවාදය හා දුරාචාරය වැනි දේවලට නැඹුරු වුණා. වර්ෂ 1997දී හමුදා සේවයෙන් ඔහුව නිදහස් කළා. විශේෂ ආරක්ෂක බලකායකට බැඳීමේ අරමුණින් ඔහු මොන්රොවිය බලා ගමන් කරද්දී, මිත්‍රයෙක් ඔහුට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න කියා උනන්දු කළා. එය පිළිගත් ඔහු තුළ බයිබලය මත පදනම් ඇදහිල්ලක් වර්ධනය විය. මෙයින් ඔහුගේ සටන්කාමී ක්‍රියාකලාපය අත්හැරීමට අවශ්‍ය ධෛර්යය උපදවාගැනීමට හැකි වුණා. දැන් ඇලෙක්ස් හා සැම්සන් යන දෙදෙනාම සදාචාරමය වශයෙන් නිර්මල, සාමකාමී ජීවිත ගත කරයි. තිරිසන් ගතිපැවතුම් ඇති මෙවැනි ජීවිතවල වෙනස්කම් සිදු කිරීමට බලය ඇත්තේ බයිබලය මත පදනම් ඇදහිල්ලට මිස වෙන කුමකටද?

නිසි ඇදහිල්ල

බයිබලය මත පදනම් අව්‍යාජ ඇදහිල්ලෙහි බලය පෙන්වීම සඳහා මෙහි දක්වා ඇත්තේ ආදර්ශ ගණනාවකින් අතළොස්සක් පමණි. දෙවි කෙරෙහි විශ්වාසයක් තිබෙන බව කියා සිටින සෑම කෙනෙක්ම ඔහුගේ උසස් ප්‍රමිති රකින්නේ නැති බව ඇත්තයි. ඇත්තෙන්ම සමහර අදේවවාදීන් නාමමාත්‍ර ක්‍රිස්තියානීන්ට වඩා යහපත් ජීවිත ගත කරනවා විය හැකියි. මෙයට හේතුව වන්නේ, බයිබලය මත පදනම් ඇදහිල්ලට නිකම්ම දෙවිව විශ්වාස කරන බව කීමට වඩා වැඩි යමක් අයත් වීමයි.

ප්‍රේරිත පාවුල් ඇදහිල්ල විස්තර කළේ, බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකය හා නොදක්නා දේවල් ගැන ඔප්පුව’ වශයෙනි. (හෙබ්‍රෙව් 11:1) එබැවින් ඇදහිල්ල යනු නොදකින දේවල් ගැන තිබෙන ස්ථිර විශ්වාසයකි. එය ගොඩනඟා ඇත්තේ බිඳහෙළිය නොහැකි සාක්ෂි මතය. මෙයට ප්‍රධාන වශයෙන්ම ඇතුළත් වන්නේ, දෙවි පවතින බව, ඔහු අපි ගැන සැලකිල්ලක් දක්වන බව හා තමාගේ කැමැත්ත කරන අයට ඔහු ආශීර්වාද කරන බවට අබ මල් රේණුවක තරම්වත් සැකයක් නොතිබීමයි. ප්‍රේරිත පාවුල්ද ඒ සම්බන්ධයෙන් මෙලෙස පැවසීය: ‘දෙවි වෙතට ළඟාවෙන්නා විසින් ඔහු විද්‍යමාන [පවතින, NW] බවත්, ඔහු සොයන්නන්ට විපාක දෙන බවත් විශ්වාස කරන්ට ඕනෑය.’—හෙබ්‍රෙව් 11:6.

ජෝන්, ටානියා හා මෙම ලිපියේ සඳහන් අනික් අයගේ ජීවිත වෙනස් කළේ මෙවැනි ඇදහිල්ලක්. තීරණ ගැනීමේදී මඟ පෙන්වීම ලබාගැනීම සඳහා දෙවිගේ වචනය වන බයිබලය වෙතට පූර්ණ නිසැකකමින් එළඹීමට ඔවුන්ට මෙයින් පෙලඹීමක් ඇති විය. පහසු මෙන්ම වැරදි ක්‍රියා මාර්ගයක් නොගෙන තාවකාලිකව යම් පරිත්‍යාගයන් කිරීමට ඔවුන්ට එය උපකාරවත් විය. මෙම සෑම අද්දැකීමක්ම වෙනස් වුවත් ඒවාට මුල් වූයේ එකම දෙයයි. යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් ඔවුන් සමඟ බයිබලය පාඩම කළ නිසා ඔවුන් බයිබලයේ පවසන මෙම වදන්වල සත්‍යතාව අද්දුටුවා: ‘දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය.’ (හෙබ්‍රෙව් 4:12) දෙවිගේ වචනයේ බලය, මේ සෑම කෙනෙකුටම තමන්ගේ ජීවිත යහමඟට යොමු කළ ශක්තිමත් ඇදහිල්ලක් ගොඩනැඟීමට උපකාරවත් විය.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් රටවල් හා දූපත් 230කට වඩා වැඩි ගණනක ක්‍රියාශීලී ලෙස සේවය කරමින් සිටියි. ඔබටත් බයිබලය අධ්‍යයනය කරන්න කියා ඔවුන් ආරාධනා කරයි. ඒ මන්ද? බයිබලය මත පදනම් වූ ඇදහිල්ලක් ඔබගේ ජීවිතයට යහපත් බලපෑමක් කරන්න පුළුවන් කියා ඔවුන්ට පූර්ණ නිසැකකමක් තිබෙන නිසයි.

[පාදසටහන]

a Watchtower Bible and Tract Society of New York, Inc. මගින් ප්‍රකාශිතයි.

[3වන පිටුවේ පින්තූර]

බයිබලය මත පදනම් ඇදහිල්ල නිසා ජනයා යහමඟට යොමු වෙයි

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

ෂිමෝන් බූඩ්නි විසින් 1572දී රචිත Biblia nieświeska යන්නෙහි ග්‍රන්ථනාම පිටුව