Skip to content

පටුනට යන්න

“කුඩා තැනැත්තා දහසක්” වී

“කුඩා තැනැත්තා දහසක්” වී

“කුඩා තැනැත්තා දහසක්” වී

“කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය.”—යෙසායා 60:22.

1, 2. (අ) අන්ධකාරය පොළොව වසාගෙන තිබෙන්නේ මන්ද? (ආ) යෙහෝවාගේ ආලෝකය ප්‍රගතිශීලී ලෙස ඔහුගේ සෙනඟ මත බබළා තිබෙන්නේ කෙසේද?

 “පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නුමුත් නුඹ කෙරෙහි [යෙහෝවා බබළන්නේය. ඔහුගේ] තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය.” (යෙසායා 60:2) වර්ෂ 1919 සිට පොළොවේ තත්වය මේ වචනවලින් හොඳින් පැහැදිලි වෙයි. ක්‍රිස්තියානි ලෝකය “ලෝකයේ ආලෝකය” වන යේසුස් ක්‍රිස්තුස්ගේ රාජකීය පැමිණ සිටීමේ ලකුණ ප්‍රතික්ෂේප කර තිබෙනවා. (යොහන් 8:12; මතෙව් 24:3) “මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනීන්[ගේ]” ප්‍රධානියා වන සාතන් “මහත් උදහසින්” සිටින නිසා 20වන සියවස මනුෂ්‍ය ඉතිහාසයේ කෲරතම සහ අතිවිනාශකාරිම යුගය වුණා. (එපීස 6:12; එළිදරව් 12:12) බොහෝ ජනයා ජීවත් වන්නේ ආත්මික අන්ධකාරයෙයි.

2 එහෙත් අදටත් ආලෝකය බබළමින් තිබෙනවා. තම සේවකයන් හෙවත් ස්වර්ගීය “[ස්ත්‍රියගේ, NW]” භූමික නියෝජිතයන් වන ආලේප ලත් ඉතිරි අය මත යෙහෝවා ‘බබළනු’ ඇත. (යෙසායා 60:1NW) විශේෂයෙන්ම 1919දී බබිලෝනීය වහල්භාවයෙන් මිදීමත් සමඟම මොවුන් දෙවිගේ තේජස විහිදුවාලමින් ‘තම ආලෝකය මිනිසුන් ඉදිරියේ බබළවා’ තිබෙනවා. (මතෙව් 5:16) වර්ෂ 1919 සිට 1931 දක්වා කාලය තුළදී, මොවුන් බබිලෝනීය සිතුවිලි නමැති බැඳුම්වලින් මිදීමත් සමඟම, රාජ්‍ය ආලෝකය වැඩි වැඩියෙන් බබළවීමට පටන්ගත්තා. ඔවුන් දසදහස් ගණනින් වැඩි වෙන්ට පටන්ගත්තේ යෙහෝවා තමාගේ මෙම පොරොන්දුව ඉටු කිරීමත් සමඟයි. ඒ ගැන කියවීමට තිබෙන්නේ, “මම සැබවින් නුඹලා සියල්ලන් රැස්කර, ඉතුරු ඉශ්‍රායෙල්වරුන් එකතුකර, බොශ්රාහි [ගාලක, NW] බැටළුවන්මෙන් ඔවුන් එක්කාසුකරන්නෙමි. ගොදුරු බිම මැද සතුන් රැළක් මෙන් මිනිසුන් රාශිය නිසා ඝෝෂාවක් වන්නේය” කියායි. (මීකා 2:12) වර්ෂ 1931දී ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන නාමය පිළිගැනීමත් සමඟ තම සෙනඟ මත යෙහෝවාගේ තේජස වඩාත් පැහැදිලි වෙන්ට පටන්ගත්තා.—යෙසායා 43:10, 12.

3. යෙහෝවාගේ ආලෝකය ආලේප ලත් අය මත පමණක් නොව අනිත් අය මතත් බබළන බව සාක්ෂාත් වූයේ කෙසේද?

3 යෙහෝවා බබළන්නේ ‘කුඩා රැළේ’ ඉතිරි අය මත පමණද? (ලූක් 12:32) නැහැ. වර්ෂ 1931 සැප්තැම්බර් 1වනදා මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාව තවත් කණ්ඩායමකට යොමු දැක්වීය. එසකියෙල් 9:1-10 දක්වා ඡේදවල සඳහන් තීන්ත කූඩුවක් අතැති මනුෂ්‍යයාගෙන් නියෝජනය කරන්නේ ආලේප ලත් ඉතිරි අය බව විචිත්‍රවත් විස්තරයක් මගින් පෙන්වනු ලැබුවා. ඒ “මනුෂ්‍යයා” ලකුණක් තබන්නේ කාගේ නළලේද? ඒ පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වීමේ අපේක්ෂාව ඇති ‘වෙනත් බැටළුවන්ගෙයි.’ (යොහන් 10:16; ගීතාවලිය 37:29) ප්‍රේරිත යොහන් දර්ශනයෙන් දුටු ‘සියලු ජාතීන්ගෙන් යුත් මහත් සමූහය’ කියන්නේ මේ ‘වෙනත් බැටළුවන්ගේ’ කණ්ඩායම බව 1935දී අවබෝධ කරගනු ලැබුවා. (එළිදරව් 7:9-14) වර්ෂ 1935 සිට මේ දක්වා මහත් සමූහය එක්රැස් කිරීම කෙරෙහි වැඩි අවධානයක් දී තිබෙනවා.

4.යෙසායා 60:3 “රජවරුන්” සහ “ජාතීන්” ලෙස යොමු දක්වන්නේ කාටද?

4 මේ එක්රැස් කිරීමේ වැඩය ගැන යෙසායාගේ පොතේ ඇඟවීමක් කරන්නේ මේ ආකාරයටයි. “ජාතීන් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත.” (යෙසායා 60:3) මෙහි “රජවරුන්” කියන්නේ කාටද? සාක්ෂිදැරීමේ වැඩයේ මූලිකත්වය ගෙන සිටින යේසුස් ක්‍රිස්තුස් සමඟ ස්වර්ගීය රාජ්‍යයේ හවුල් උරුමක්කාරයන් වන 1,44,000දෙනාගේ ඉතිරි අයටයි. (රෝම 8:17; එළිදරව් 12:16ආ; 14:1) ආලේප ලත් අයගේ ඉතිරි කිහිපදෙනාට වඩා යෙහෝවාගෙන් උපදෙස් ලබාගැනීමට පැමිණ සිටින භූමික අපේක්ෂාව ඇති ‘ජාතීන්ගේ’ ගණන වැඩියි. මෙම උපදෙස් ලබාගැනීමට ඔවුන් අනිත් අයටත් ආරාධනා කරයි.—යෙසායා 2:3.

යෙහෝවාගේ ජ්වලිත සේවකයෝ

5. (අ) යෙහෝවාගේ සෙනඟගේ ජ්වලිතය හීන වී ගොස් නැති බව පෙන්වන සාක්ෂි මොනවාද? (ආ) වර්ෂ 1999දී විශිෂ්ට වර්ධනයක් දක්නට තිබෙන රටවල් මොනවාද? (17 සිට 20 දක්වා පිටුවල ඇති සටහන බලන්න.)

5 විසිවන සියවස පුරා යෙහෝවාගේ වර්තමාන සාක්ෂිකරුවන් පෙන්වූ ජ්වලිතය මොනතරම්ද! පීඩනය එන්න එන්නම වැඩි වුණත්, වර්ෂ 2000 වන තුරුත් ඔවුන්ගේ ජ්වලිතය හීන වූයේ නැහැ. ඔවුන් ඒ දක්වා “සියලු ජාතීන්ට අයත් මනුෂ්‍යයන් ගෝලයන් කරන්න” යන යේසුස්ගේ ආඥාව ඔවුන් බැරෑරුම් ලෙස සැලකිල්ලට ගෙන තිබුණා. (මතෙව් 28:19, 20NW) විසිවන සියවසේ අවසාන සේවා වසරේදී ශුභාරංචිය පතුරුවන ක්‍රියාශීලී ප්‍රචාරකයන්ගේ ගණන නව ඉහළම සංඛ්‍යාවක් වන 59,12,492 දක්වා වැඩි වුණා. ඔවුන් දෙවි ගැන සහ ඔහුගේ අරමුණු ගැන අන්‍යයන් සමඟ කතා කිරීම සඳහා 1,14,45,66,849ක් තරම් විශිෂ්ට පැය ගණනක් ගත කර තිබෙනවා. ඔවුන් උනන්දුව දක්වන්නන් සමඟ නැවත බැලීම් 42,00,47,796ක් කර තිබෙනවා. නොමිලේ නිවාස බයිබල් පාඩම් 44,33,884ක් පවත්වා තිබෙනවා. ජ්වලිතවත් සේවය ගැන මොනතරම් මවිතකර වාර්තාවක්ද!

6. පුරෝගාමීන් වෙනුවෙන් සිදු කළ අලුත් විධිවිධානය කුමක්ද? ප්‍රතිචාරය කුමක් වූවාද?

6 පසුගිය ජනවාරියේදී, පුරෝගාමීන්ගේ පැය අවශ්‍යතාවේ වෙනසක් ගැන පාලක මණ්ඩලය දැනුම් දුන්නා. ස්ථාවර හෝ උපකාරික පුරෝගාමී සේවයේ යෙදෙන්ට තිබූ තම සිහිනය සැබෑ කරගැනීමට බොහෝදෙනෙක් මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. උදාහරණයක් හැටියට, 1999 දින දර්ශනයේ මුල් මාස හතර තුළ ඊට පෙර අවුරුද්දේ එම කාලපරිච්ඡේදයේදී ලද ස්ථාවර පුරෝගාමී අයැදුම් පත් මෙන් හතර ගුණයක් නෙදර්ලන්තයේ ශාඛා කාර්යාලයට ලැබුණා. ඝානාව වාර්තා කරන්නේ “නව පුරෝගාමී පැය ඉලක්කය ක්‍රියාත්මක වෙන්ට පටන්ගත් දා සිට අපගේ ස්ථාවර පුරෝගාමීන්ගේ සංඛ්‍යාව ස්ථාවර නැඟීමක් අද්දකිනවා” කියායි. වර්ෂ 1999 සේවා වර්ෂය තුළ ලෝක ව්‍යාප්ත පුරෝගාමීන්ගේ සංඛ්‍යාව 7,38,343 දක්වා වැඩි වුණා. එය ‘යහපත් ක්‍රියාවලට ජ්වලිත වීම’ සම්බන්ධයෙන් කොතරම් අගනා නිරූපණයක්ද!—තීතස් 2:14.

7. යෙහෝවා තම සේවකයන්ගේ ජ්වලිත ක්‍රියාකාරකම්වලට ආශීර්වාද කර තිබෙන්නේ කෙසේද?

7 යෙහෝවා මේ ජ්වලිත ක්‍රියාවලට ආශීර්වාද කර තිබෙනවාද? ඔව්. යෙසායා තුළින් ඔහු පවසන්නේ “නුඹේ ඇස් ඔසවා වටකර බලන්න. ඔවුන් සියල්ලෝම රැස්වී නුඹ ළඟට එති. නුඹේ පුත්‍රයන් දුර සිට එනවා ඇත, නුඹේ දූවරුන්ද උකුළේ වඩාගන එන්ට යෙදෙනවා ඇත” කියායි. (යෙසායා 60:4) එක්රැස් කළ ආලේප ලත් “පුත්‍රයන්” සහ “දූවරුන්” තවමත් දෙවිට ජ්වලිත ලෙස සේවය කරමින් සිටියි. එමෙන්ම දැන් රටවල් සහ දූපත් 234ක යේසුස්ගේ වෙනත් බැටළුවන් යෙහෝවාගේ ආලේප ලත් “පුත්‍රයන්” සහ “දූවරුන්” අතරට එක්රැස් වෙමින් සිටියි.

“සියලු යහපත් ක්‍රියා”

8. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ක්‍රියාශීලීව යෙදී සිටින්නේ කුමන ‘යහපත් ක්‍රියාවලද?’

8 රාජ්‍යය මේ ශුභාරංචිය දේශනා කිරීමෙත්, උනන්දුව දක්වන අයට ගෝලයන් බවට පත්වීමට උපකාර කිරීමෙත් වගකීම ක්‍රිස්තියානීන්ට තිබුණත් ඔවුන් “සියලු යහපත් ක්‍රියාවලට සන්නද්ධව” සිටියි. (2 තිමෝති 3:16NW) මෙසේ ඔවුන් තමන්ගේ පවුල් ආදරයෙන් රැකබලා ගන්න අතර, ආගන්තුක සත්කාරය පෙන්වමින්, රෝගීන් බැහැදැකීමට යයි. (1 තිමෝති 5:8; හෙබ්‍රෙව් 13:16) ස්වේච්ඡා සේවකයන් රාජ්‍ය ශාලා ඉදි කිරීම වැනි ව්‍යාපෘතීන්වල යෙදී සිටින අතර, එම වැඩය මගින්ද සාක්ෂියක් ගෙන දෙයි. ටෝගෝහි එක් ශාලාවක් ඉදි කර අවසන් වූ පසු එම ප්‍රදේශයේ පුබුදුවේ පල්ලි සාමාජිකයන්ට ප්‍රශ්නයක් මතු වුණා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් ඔවුන්ගේ ගොඩනැඟිලි සෑදීමට ඔවුන්ගේම සාමාජිකයන්ව පාවිච්චි කළද, එවැනි වැඩක් සඳහා තමන්ට මිනිසුන් කුලියට ගැනීමට සිදු වන්නේ ඇයිදැයි දැනගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා! ඉහළ තත්වයේ රාජ්‍ය ශාලා ඉදි කිරීම වටපිටාව තුළ කොතරම් හොඳ බලපෑමක් ඇති කර තිබෙනවාද කිවහොත් ශාලා ඉදි කිරීමට යන ප්‍රදේශවල තම නිවෙස් ගොඩනඟන්ට හෝ කුලියට ගැනීමට සමහර මිනිසුන් උත්සාහ කරන බව ටෝගෝහි වාර්තාවේ සඳහන් වෙයි.

9. විපත් සිදු වූ විට යෙහෝවාගේ සාක්ෂිකරුවන් ප්‍රතිචාරය දක්වා තිබෙන්නේ කෙසේද?

9 සමහර අවස්ථාවලදී තවත් ආකාරයක යහපත් ක්‍රියාවල නිරත වීමට සිදු වේ. පසුගිය සේවා වර්ෂයේදී බොහෝ ප්‍රදේශ විපත්වලින් පහර ලැබුවා. බොහෝ අවස්ථාවලදී සහනාධාර සැපයීම සඳහා මුලින්ම පැමිණියේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්. උදාහරණයක් හැටියට, හොන්ඩුරාස්හි වැඩි කොටසක් මිච් නමැති චණ්ඩ මාරුතයෙන් පහර ලැබුවේය. ඒ සමඟම ශාඛා කාර්යාලය සහනාධාර කටයුතු සංවිධානය කිරීම සඳහා හදිසි කමිටු පිහිටෙව්වා. හොන්ඩුරාස්හි මෙන්ම වෙනත් රටවල සිටින සාක්ෂිකරුවන් ඇඳුම් පැළඳුම්, කෑම බීම, බේත් හේත් සහ අනිකුත් මූලික අවශ්‍යතා පරිත්‍යාග කළා. ප්‍රාදේශීය ඉදි කිරීමේ කමිටු නිවාස නැවත ඉදි කිරීම සඳහා තම හැකියාවන් යෙදෙව්වා. විපත්තියේ ගොදුරු බවට පත්ව සිටි අපේ සහෝදරයන්ට වැඩි කල් නොගොස් තම තමන්ගේ සාමාන්‍ය දින චර්යාවට නැවත ඒමට උපකාර ලැබුණා. ඉක්වදෝරයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්, දරුණු ජලගැල්මකින් බොහෝ නිවාස විනාශ වී ගිය සහෝදරයන්ගේ උපකාරයට පැමිණියා. සංවිධානාත්මක ලෙස කටයුතු කරමින් දක්ෂ ලෙස වැඩ කළ ආකාරය නිරීක්ෂණය කළ ආණ්ඩු නිලධාරියෙක් කියා සිටියේ, “මේ අය මාත් එක්ක වැඩ කරනවා නම් මට මාළිගා හදන්න පුළුවන්! ඔයගොල්ලන් වගේ අය ලෝකය පුරාම ඉන්ට ඕනෙ” කියායි. එවැනි යහපත් ක්‍රියා යෙහෝවා දෙවිට ප්‍රශංසාව ගෙනෙන අතර ‘සෑමදේටම ප්‍රයෝජනවත් වන [අපේ] දේවභක්තිය’ නිරූපණය කරනවා.—1 තිමෝති 4:8NW.

ඔවුහු ‘වලාකුළක් මෙන් ඉගිලී එති’

10. ආලේප ලත් අයගේ සංඛ්‍යාව අඩු වීගෙන ගියත් යෙහෝවාගේ නාමය වෙන කවරදාකටත් වඩා ප්‍රකාශ වී තිබෙන්නේ කෙසේද?

10 යෙහෝවා දැන් මෙසේ අසයි. “වළාකුළක් මෙන්ද පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්ද අර ඉගිලී එන අය කවුරුද? සැබවින් ද්වීපයෝද පළමුකොට තර්ෂිෂ්හි නැව්ද මා ගැන බලා සිටින්නෝය. බලාසිටින්නේ දුරින් නුඹේ පුත්‍රයන් . . . ගෙනෙන පිණිසය . . . විදේශීහූ නුඹේ පවුරු ගොඩනගන්නෝය, ඔවුන්ගේ රජවරුද නුඹට සේවය කරන්නෝය.” (යෙසායා 60:8-10) යෙහෝවාගේ ‘බැබළීමට’ මුලින්ම ප්‍රතිචාරය දැක්වූයේ ඔහුගේ “පුත්‍රයන්” වන ආලේප ලත් ක්‍රිස්තියානීන්ය. ඊළඟට පැමිණියේ ‘විදේශිකයන්.’ එනම් තම ආලේප ලත් සහෝදරයන්ට පක්ෂපාතව ඇප උපස්ථාන කරමින් ශුභාරංචිය දේශනා කිරීමේ මූලිකත්වය ගන්නාවූ ඔවුන්ව අනුගමනය කරන මහත් සමූහයයි. මෙසේ, ආලේප ලත් අයගේ සංඛ්‍යාව අඩු වීගෙන ගියත් වෙන කවරදාකටත් වඩා යෙහෝවාගේ නාමය පොළොව පුරා පැතිරෙමින් තිබෙනවා.

11. (අ) තවමත් ක්‍රියාත්මක වන්නේ කුමක්ද? වර්ෂ 1999දී ඇති වූයේ කිනම් ප්‍රතිඵලද? (ආ) වර්ෂ 1999දී බව්තීස්ම වූ සංඛ්‍යාව සම්බන්ධයෙන් විශිෂ්ට වාර්තාවක් දක්නට තිබුණේ කුමන රටවලද? (17 සිට 20 දක්වා පිටුවල ඇති සටහන බලන්න.)

11 ප්‍රතිඵලයක් හැටියට, “පරෙවියන් උන්ගේ කවුළුවලට ඉගිලෙන්නාක්මෙන්” දශලක්ෂ ගණන්දෙනා ක්‍රිස්තියානි සභාවේ සරණය සොයමින් එක්රොක් වෙමින් සිටියි. සෑම අවුරුද්දකම සියදහස් ගණනින් එකතු වුණත්, තව බොහෝදෙනෙකු සඳහා තවමත් කවුළු ඇරී තිබෙනවා. යෙසායා කියන්නේ “ජාතීන්ගේ වස්තු නුඹ ළඟට ගෙනෙන පිණිසද ඔවුන්ගේ රජුන් පෙරටුව එන පිණිසද නුඹේ දොරටු රෑ දාවල් නොවසා නිතරම ඇරී තිබේ” කියායි. (යෙසායා 60:11) යෙහෝවාට තමන්ගේ කැපවීමේ සංකේතයක් හැටියට පසුගිය අවුරුද්දේදී 3,23,439 දෙනෙක් බව්තීස්ම වූවත් ඔහු තවමත් දොරටු වසා දමා නැහැ. “සියලු ජාතීන් ආශාවෙන දේ” වන මහත් සමූහයේ සාමාජිකයන් වැළ නොකැඩී පැමිණෙමින් සිටියි. (හග්ගයි 2:7) අන්ධකාරය අත්හැර දමා එන්ට කැමති වන කිසිවෙකුව ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. (යොහන් 12:46) එවැනි කිසිවෙක් ආලෝකයට ඇති අගය කිසිදා ප්‍රතික්ෂේප නොකරත්වා!

විරෝධතා ඉදිරියේ නිර්භයව

12. අන්ධකාරයට ඇලුම් කරන අය ආලෝකය නිවා දැමීමට උත්සාහ කළේ කෙසේද?

12 අන්ධකාරයට ඇලුම් වන සියලුදෙනාම යෙහෝවාගේ ආලෝකයට වෛර කරයි. (යොහන් 3:19) සමහරුන් ඒ ආලෝකය නිවා දමන්ට පවා උත්සාහ කරයි. ඒ ගැන කලබල විය යුතු නැහැ. “සියලු මනුෂ්‍යයන් ආලෝකකරන්නාවූ ආලෝකය සත්‍යවූ ආලෝකය” වන යේසුස්ව පවා සමච්චලයට ලක් කර, විරුද්ධවාදීකම් පා අන්තිමේදී ඔහුගේම රටවැසියන් විසින් මරා දමනු ලැබුවා. (යොහන් 1:9) විසිවන සියවස පුරා යෙහෝවාගේ ආලෝකය විශ්වාසවන්ත ලෙස විහිදුවාලද්දී යෙහෝවාගේ සාක්ෂිකරුවන්වද සමච්චලයට ලක් කර, සිරගත කර, තහනම් කර, මරණයට පවා පත් කර තිබෙනවා. මෑත අවුරුදුවල දෙවිගේ ආලෝකය විහිදුවන අය ගැන බොරු ප්‍රචාරය කිරීමට විරුද්ධවාදීන් විසින් ජන මාධ්‍යයේ සහය පතා තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන් භයානක සෙනඟක් නිසා ඔවුන්ව නැවැත්වීමට හෝ තහනම් කිරීමට සමහරුන් ජනයාව උසිගන්වා තිබෙනවා. එවැනි විරුද්ධවාදීන් ජයගෙන තිබෙනවාද?

13. අපගේ වැඩය සම්බන්ධයෙන් ජන මාධ්‍යයට උපායශීලීව තොරතුරු ඉදිරිපත් කිරීමෙන් ඇති වී තිබෙන ප්‍රතිඵලය කුමක්ද?

13 නැහැ. සුදුසු අවස්ථාවලදී කාරණා පැහැදිලි කිරීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන් ජන මාධ්‍යය ප්‍රයෝජනයට ගෙන තිබෙනවා. ප්‍රතිඵලයක් ලෙස, යෙහෝවාගේ නාමය පුවත්පත්, සඟරා, ගුවන්විදුලිය සහ රූපවාහිනිය මගින් දස දෙස ප්‍රචාරය වී තිබෙනවා. එමගින් දේශනා වැඩය මත හිතකර බලපෑමක් ඇති කර තිබෙනවා. ඩෙන්මාර්කයේ ජාතික රූපවාහිනියේ එක් වැඩසටහනක විෂය වූ “ඩෙන්මාර්ක් ජාතිකයන්ගේ ඇදහිල්ල පිරිහෙමින් තිබෙන්නේ ඇයි?” යන්න එක් උදාහරණයක්. අනිකුත් ආගම් සමඟ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ද සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුණා. වැඩසටහන නැරඹූ එක් ස්ත්‍රියක් පසුව කියා සිටියේ, “දෙවි ඉන්නේ කාත් එක්කද කියල මට හොඳටම පැහැදිලියි” කියායි. ඇය පාඩමක් පටන්ගත්තා.

14. විරුද්ධවාදීන්ගේ ඉමහත් ශෝකයට හේතු වෙමින් ඉක්මනින්ම ඔවුන්ට පිළිගන්ට සිදු වන්නේ කුමක්ද?

14 මේ ලෝකයේ සිටින බොහෝදෙනෙක් තමන්ට විරුද්ධ වන බව යෙහෝවාගේ සාක්ෂිකරුවන් දනියි. (යොහන් 17:14) ඒ වුණත් ඔවුන් යෙසායාගේ අනාවැකියෙන් ශක්තිමත් වී තිබෙනවා. එහි පවසන්නේ “නුඹට පීඩාකළ අයගේ පුත්‍රයන්ද නැමි නැමී නුඹ වෙතට එනවා ඇත; නුඹව සුළුකළ සියල්ලන්ද නුඹේ පාමුල වැඳවැටෙනවා ඇත; ඔවුන් නුඹට: [යෙහෝවාගේ] නුවරය කියාත් ඉශ්‍රායෙල්ගේ ශුද්ධ [තැනැත්තාගේ] සියොන්ය කියාත් කියනවා ඇත” කියායි. (යෙසායා 60:14) විරුද්ධවාදීන්ගේ ඉමහත් ශෝකයට හේතු වෙමින්, ඔවුන් සටන් කරමින් සිටින්නේ දෙවිට විරුද්ධව කියා පිළිගන්ට වැඩි කලක් ගත වන්නේ නැහැ. එවැනි යුද්ධයක් දිනන්ට හැක්කේ කාටද?

15. යෙහෝවාගේ සාක්ෂිකරුවන් “ජාතීන්ගේ කිරි උරා [බොන්නේ]” කොහොමද? මෙය ඔවුන්ගේ ඉගැන්වීමට සහ එවැන්ජලිස්ත සේවයට බලපා තිබෙන්නේ කෙසේද?

15 යෙහෝවා තවදුරටත් පොරොන්දු වෙන්නේ, “මම නුඹ සදාකාල උතුම්කමක්ද පරම්පරාවෙන් පරම්පරාවට [සදාකාලයටම, NW] ප්‍රීතියක්ද කරන්නෙමි. නුඹ ජාතීන්ගේ කිරි උරා බොන්නෙහිය, රජුන්ගේ තන උරන්නෙහිය. [යෙහෝවා] වන මම නුඹේ ගැළවුම්කාරයා බවත් නුඹේ මිදුම්කාරයා යාකොබ්ගේ [බලවන්තයා] බවත් නුඹ දැනගන්නවා ඇත” කියායි. (යෙසායා 60:15, 16) නිසැකවම තමන්ගේ සෙනඟගේ ගැළවුම්කාරයා යෙහෝවාමයි. දෙවි මත රඳා සිටිනවා නම් “සදාකාලයටම” ඔවුන් ජීවත් වනු ඇත. එමෙන්ම නිර්මල නමස්කාරයේ වැඩි දියුණුව සඳහා යොදාගත හැකි සෑම සම්පතක්ම භාවිත කරමින් ඔවුන් “ජාතීන්ගේ කිරි උරා [බොයි]”. උදාහරණයක් ලෙස, පරිගණක සහ සන්නිවේදන තාක්ෂණය ඥානවන්තව භාවිත කිරීමෙන් මුරටැඹ භාෂා 121කින් සහ පිබිදෙව්! භාෂා 62කින් සමගාමීව ප්‍රකාශයට පත් කරන්ට අවස්ථාව උදා කර තිබෙනවා. නව ලෝක පරිවර්තනය අලුත් භාෂාවලට පරිවර්තනය කිරීමට උපකාර කිරීම සඳහා නිශ්චිත පරිගණක මෘදුකාංග වැඩසටහනක් නිර්මාණය කර ඇති අතර එවන් පරිවර්තන අපිට මහත් සතුටක් ගෙන දෙයි. වර්ෂ 1999දී ක්‍රිස්තියානි ග්‍රීක් ලියවිල්ලේ ක්‍රොඒෂියානු අනුවාදය මුදාහළ විට දහස් ගණනක් සතුටු කඳුළු වැගිරෙව්වා. එක් මහලු සහෝදරයෙක් කියා සිටියේ “මං මේ බයිබලය එනකං අවුරුදු ගානක් තිස්සේ බලං හිටියා. මට දැන් නිවිහැනහිල්ලේ මැරෙන්න පුළුවං!” කියායි. නව ලෝක පරිවර්තනයේ පිටපත් දශලක්ෂ සිය ගණනක් සම්පූර්ණයෙන්ම හෝ කොටස් වශයෙන් භාෂා 34කින් බෙදාහැර තිබෙනවා.

උසස් සදාචාර ප්‍රමිතීන්

16, 17. (අ) දුෂ්කර වුණත්, යෙහෝවාගේ උසස් ප්‍රමිති පැවැත්වීම වැදගත් වන්නේ මන්ද? (ආ) යෞවනයන්ට ලෝකයෙන් දූෂ්‍ය වීමෙන් වැළකී සිටිය හැකි බව පෙන්වන්නේ කුමන අද්දැකීම්ද?

16 යේසුස් කිව්වේ “නපුරුකම් කරන සෑමදෙනම ආලෝකයට වෛර [කරයි]” කියායි. (යොහන් 3:20) අනිත් අතට, ආලෝකයේ සිටින අය යෙහෝවාගේ උසස් ප්‍රමිතීන්ට ප්‍රේම කරයි. යෙහෝවා යෙසායා තුළින් කිව්වේ, “නුඹේ සෙනග සියල්ලෝම ධර්මිෂ්ඨව” සිටිනවා කියායි. (යෙසායා 60:21අ) ලිංගික දුරාචාරය, බොරුව, කෑදරකම සහ උඩඟුකම රජයන ලෝකයක ධර්මිෂ්ඨ ප්‍රමිති පවත්වාගෙන යෑම අභියෝගයක් විය හැකියි. උදාහරණයකට සමහර රටවල ආර්ථිකය වේගයෙන් ඉහළ නඟින අතර ධනය ලුහුබැඳීමට පූර්ණ අවධානයක් යොමු කිරීම අපහසු දෙයක් නොවෙයි. කෙසේවෙතත්, පාවුල් අනතුරු ඇඟවූයේ “ධනවත්වන්ට ආශා [අධිෂ්ඨාන කර, NW] ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙත් විනාශයෙත් ගිල්වන්නාවූ, අඥානවූ, අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලද වැටෙන්නෝය” කියායි. (1 තිමෝති 6:9) වඩා වැදගත් දේවල් වන ක්‍රිස්තියානි ආශ්‍රය, පරිශුද්ධ සේවය, සදාචාර ප්‍රතිපත්ති සහ පවුලේ වගකීම් කැප කරන තරමටම යමෙක් ව්‍යාපාර කටයුතුවල අන්තයටම නියැලෙනවා නම් එය මොනතරම් ඛේදනීය දෙයක්ද!

17 සම වයසේ යෞවනයන් බොහෝදෙනෙක් මත්ද්‍රව්‍ය සහ ලිංගික දුරාචාරයේ නියැලෙන නිසා ධර්මිෂ්ඨ ප්‍රමිති පැවැත්වීම විශේෂයෙන්ම ඔවුන්ට දුෂ්කර දෙයක් විය හැකියි. සුරිනාම්හි 14වියැති ගැහැනු ළමයෙකු වෙත පාසැලේ ඉගෙනුම ලබන කඩවසම් පිරිමි ළමයෙක් පැමිණ ලිංගික සම්බන්ධකමක් පවත්වන්න ආරාධනා කළා. ඇය ආරාධනාව ප්‍රතික්ෂේප කළා. විවාහයෙන් පිටත එවැනි දෙයක් බයිබලය තහනම් කරන බව ඇය පැහැදිලි කළා. පාසැලේ අනිත් ළමයින් ඇයට සමච්චල් කළ අතර, ඇයව පීඩනයට ලක් කරමින් ඇගේ මනස වෙනස් කරන්ට උත්සාහ කළා. හැමදෙනාම බලා සිටින්නේ ඒ පිරිමි ළමයත් එක්ක නිදාගන්ටයි කියා ඔවුන් කිව්වා. එහෙත් මේ තරුණියගේ ස්ථාවරය සැලුණේ නැහැ. සති කිහිපයකට පසුව, පිරිමි ළමයාව රෝග නිශ්චයකට ලක් කළ විට ඔහුට HIV පොසිටිව් තිබෙන බව සොයාගත්තා. පසුව ඔහු හොඳටම අසනීප වුණා. ‘වේශ්‍යාකමින් වැළකී සිටින්ට’ දී තිබෙන යෙහෝවාගේ ආඥාවට කීකරු වීම ගැන ඒ ගැහැනු ළමයා සතුටු වුණා. (ක්‍රියා 15:28, 29) හරි දේ සඳහා නොසැලී සිටින ඔවුන්ගේ යෞවනයන් සම්බන්ධයෙන් යෙහෝවාගේ සාක්ෂිකරුවන් මහත් සේ ආඩම්බර වෙයි. ඔවුන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඇදහිල්ල යෙහෝවා දෙවිගේ නාමය ‘ගෞරවයට’ පත් කරයි.—යෙසායා 60:21ආ.

යෙහෝවා වර්ධනය දී තිබේ

18. (අ) යෙහෝවා තම සෙනඟ වෙනුවෙන් කර තිබෙන මහත් දේවල් මොනවාද? (ආ) වර්ධනය දිගටම සිදු වන බවට තිබෙන සාක්ෂි මොනවාද? ආලෝකයේ පවතින අයට තිබෙන මවිතකර බලාපොරොත්තු මොනවාද?

18 ඔව්, යෙහෝවා තම සෙනඟට ආශීර්වාද කර, මඟ පෙන්වා, ශක්තිමත් කර ඔවුන් මත ආලෝකය හෙළා තිබෙනවා. විසිවන සියවස තුළදී, ඔවුන් යෙසායාගේ වචනවල ඉටුවීම දැක තිබෙනවා. එහි කියන්නේ, “කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. [යෙහෝවා වූ] මම ඒකේ නියම කලට ඒක ඉක්මන් කරන්නෙමි” කියායි. (යෙසායා 60:22) වර්ෂ 1919දී අතළොස්සකින් ආරම්භ වූ “කුඩා තැනැත්තා” ‘දහසකට’ වඩා බොහෝ වැඩි වී තිබෙනවා. එම වර්ධනයේ නිමාව තවම සිදු වී නැහැ. පසුගිය අවුරුද්දේදී 1,40,88,751 දෙනෙක් යේසුස්ගේ මරණය සිහි කිරීමට පැමිණියා. මොවුන්ගෙන් බොහෝදෙනෙක් ක්‍රියාශීලී සාක්ෂිකරුවන් නෙවෙයි. ඔවුන් ඒ වැදගත් සිහි කිරීමට පැමිණීම ගැන අපි සතුටු වන අතර, දිගටම ආලෝකය වෙත ගමන් කරන්ට කියා ඔවුන්ට ආරාධනා කරනවා. යෙහෝවා තවමත් තම සෙනඟ මත දීප්තිමත්ව බබළමින් සිටියි. ඔහුගේ සංවිධානයේ දොරටුව තවමත් ඇර තිබෙනවා. යෙහෝවාගේ ආලෝකය තුළ සිටීම සියලුදෙනාගේම අධිෂ්ඨානය වේවා! එය අපට දැන් පවා මොනතරම් ආශීර්වාද ගෙන දෙනවාද! අනාගතයේදී මුළු මැවිල්ල යෙහෝවාට ප්‍රශංසා කරද්දී සහ ඔහුගේ තේජසේ දීප්තියෙන් බබළද්දී එය මොනතරම් ප්‍රීතියක් ගෙනෙන්ට යනවාද!—එළිදරව් 5:13, 14.

ඔබට පැහැදිලි කළ හැකිද?

• මේ අන්තිම දවස්වලදී යෙහෝවාගේ තේජස විහිදුවා ඇත්තේ කවුද?

• යෙහෝවාගේ සෙනඟගේ ජ්වලිතය හීනව ගොස් නැති බව අඟවන්නේ කුමක්ද?

• යෙහෝවාගේ සාක්ෂිකරුවන් කාර්ය බහුලව සිටින්නේ කුමන යහපත් ක්‍රියාවලද?

• දරුණු විරුද්ධවාදීකම් මැද වුණත් අප විශ්වාසයෙන් සිටින්නේ කුමක් ගැනද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[17-20වන පිටුවේ වගුව]

යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ 1999 සේවා වසරේ ලෝක ව්‍යාප්ත වාර්තාව

[15වන පිටුවේ පින්තූර]

සෙනඟ තවමත් යෙහෝවාගේ සංවිධානය වෙත එක්රැස් වෙයි

[16වන පිටුවේ පින්තූරය]

යෙහෝවා තමන්ගේ ආලෝකයට ඇලුම් කරන අයට ඇතුල් වීමට සම්පූර්ණයෙන්ම දොර ඇර තිබීම ගැන අපි සතුටු වනවා