Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ

පාලක මණ්ඩලයේ අලුත් සාමාජිකයෝ

එක්දහස් නවසිය අනූනවයේ ඔක්තෝබර් දෙවන සෙනසුරාදා පැවැත්වූ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් පෙන්සිල්වේනියාහි වාර්ෂික රැස්වීම අවසන් වූයේ අනපේක්ෂිත නිවේදනයකින්. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයට අලුත් සාමාජිකයන් හතරදෙනෙකුව පත් කර තිබෙන බව පැමිණ සිටි සහ දූරකථන මගින් සම්බන්ධ වී සිටි 10,594දෙනාට අසන්ට ලැබුණු විට ඔවුන් අතිශයින් ප්‍රීති ප්‍රමෝධයට පත් වුණා. අලුත් සාමාජිකයන් සියලුදෙනාම ආලේප ලත් ක්‍රිස්තියානීන්ය. සැමුවෙල් එෆ්. හ’ඩ්, එම්. ස්ටීවන් ලෙට්, ගයි එච්. පිය’ස් සහ ඩේවිඩ් එච්. ස්ප්ලේන් මේ අයගේ නම්ය.

• සැමුවෙල් හ’ඩ් 1958දී පුරෝගාමී සේවය ඇරඹුවා. වර්ෂ 1965 සිට 1997 දක්වා ඔහු චාරිකා සහ සංචාරක වැඩවල යෙදුණා. ඉන්පසු ඔහුත් ඔහුගේ බිරිඳ වන ග්ලෝරියාත් එක්සත් ජනපදයේ බෙතෙල් පවුලේ සාමාජිකයන් බවට පත් වුණා. සහෝදර හ’ඩ් එහි සේවා අංශයේ සේවය කළා. ඔහු සේවා කමිටුවේ සහායකයෙක් ලෙසද සේවය කළා.

• ස්ටීවන් ලෙට් පුරෝගාමී සේවය ඇරඹුවේ 1966 දෙසැම්බර් මාසයේදීයි. ඉන්පසු 1967 සිට 1971 දක්වා ඔහු එක්සත් ජනපදයේ බෙතෙල්හි සේවය කළා. වර්ෂ 1971 ඔක්තෝබර් මාසයේදී සූසන් සමඟ අතිනත ගත් ඔහු විශේෂ පුරෝගාමී සේවයට ඇතුල් වුණා. වර්ෂ 1979 සිට 1998 දක්වා ඔහු චාරිකා අවේක්ෂකයෙකු ලෙස සේවය කළා. වර්ෂ 1998 අප්‍රියෙල් මාසයේ සිට ඔහුත් ඔහුගේ බිරිඳ වන සූසනුත් එක්සත් ජනපද බෙතෙල් පවුලේ සාමාජිකයන් බවට පත්ව සිටිනවා. එහි සේවා අංශයේ සේවය කර ඇති ඔහු ඉගැන්වීමේ කමිටුවේ සහායකයෙක් හැටියටද සේවය කළා.

• ගයි පිය’ස් පවුල්කාරයෙක්. ඔහු 1982 අප්‍රියෙල් මාසයේදී තම බිරිඳ සමඟ පුරෝගාමී සේවය ඇරඹුවා. වර්ෂ 1986 සිට 1997 දක්වා ඔහු චාරිකා අවේක්ෂකයෙක් ලෙස සේවය කළ අතර 1997 සිට ඔහු සහ ඔහුගේ බිරිඳ වන පෙනී බෘක්ලින් බෙතෙල් පවුලේ සාමාජිකයන් බවට පත් වුණා. සහෝදර පිය’ස් කාර්ය මණ්ඩල කමිටුවේ සහායකයෙක් ලෙස සේවය කළා.

• ඩේවිඩ් ස්ප්ලේන් පුරෝගාමී සේවය ඇරඹුවේ 1963 සැප්තැම්බර් මාසයේදීයි. ඔහු ගිලියද්හි 42වන පංතියෙන් පිට වූ උපාධිධාරියෙක්. ඔහු මිෂනාරිවරයෙක් ලෙස අප්‍රිකාවේ සෙනගාල්හි සේවය කළ අතර, ඉන්පසු අවුරුදු 19ක කාලයක් පුරා කැනඩාවේ චාරිකා සේවයේ යෙදී තිබෙනවා. ඔහු සහ ඔහුගේ බිරිඳ වන ලින්ඩා 1990 සිට එක්සත් ජනපදයේ බෙතෙල්හි සේවය කර තිබෙනවා. එහිදී සහෝදර ස්ප්ලේන් සේවා සහ ලේඛන අංශවල වැඩ කර තිබෙනවා. වර්ෂ 1998 සිට ඔහු ලේඛන කමිටුවේ සහායකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

ඒ අලුත් සාමාජිකයන් හතරදෙනාට අමතරව පාලක මණ්ඩලය සෑදී ඇත්තේ, සී. ඩබ්ලිව්. බාබ’, ජේ. ඊ. බාර්, එම්. ජී. හෙන්ෂල්, ජී. ලොෂ්, ටී. ජැරැස්, කේ. එෆ්. ක්ලයින්, ඒ. ඩී. ෂ්‍රෝඩර්, එල්. ඒ. ස්විඟල් සහ ඩී. සිඩ්ලික් යන අයගෙන්. ලොව වටා සිටින යෙහෝවාගේ සෙනඟගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීමෙහි සහ ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා සැපයීමෙහි ඔවුන් දිගටම වෙහෙස මහන්සි වෙමින් සිටිනවා. සියලුදෙනාගේම ප්‍රාර්ථනාව නම් දැනටමත් පුළුල් කර ඇති මෙම පාලක මණ්ඩලයට යෙහෝවා දිගටම ආශීර්වාද කරමින් ශක්තිය ලබා දෙයි යන්නයි.