Skip to content

පටුනට යන්න

යෙහෝවාගේ සංවිධානය අපිට අවශ්‍යයි

යෙහෝවාගේ සංවිධානය අපිට අවශ්‍යයි

යෙහෝවාගේ සංවිධානය අපිට අවශ්‍යයි

“මම දෙවිව විශ්වාස කරනවා; ඒ වුණාට සංවිධානාත්මක ආගම් විශ්වාස කරන්නේ නැහැ” කියා සමහර අය පවසනවා ඔබ අසා තිබෙනවාද? බොහෝ අවස්ථාවලදී මේ වගේ අදහස් පළ කරන්නේ, කාලයක් උද්‍යෝගයෙන් පල්ලි ගියත්, තමන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාලීමට අසමත් වී තිබෙන ආගම්වල කෙරෙන මුළාව ගැන කලකිරී සිටින අයයි. පොදුවේ ආගමික සංවිධාන ගැන කලකිරී සිටියත්, දෙවිට නමස්කාර කරන්න තමන්ට තවමත් වුවමනාවක් තිබෙන බව බොහෝදෙනෙක් එකහෙළා කියා සිටිනවා. කෙසේවෙතත්, ඔවුන් විශ්වාස කරන්නේ පල්ලියකට හෝ වෙනත් ආගමික සංවිධානයකට සම්බන්ධ වී දෙවිව නමස්කාර කරනවාට වඩා තමන් කැමති විදිහකට එසේ කිරීම වඩාත් හොඳ බවයි.

බයිබලය මේ ගැන පවසන්නේ කුමක්ද? ක්‍රිස්තියානීන් සංවිධානයක් සමඟ සම්බන්ධ වීම දෙවි බලාපොරොත්තු වෙනවාද?

සංවිධානය වීමෙන් මුල් ක්‍රිස්තියානීන් ප්‍රයෝජන ලැබුවා

පොදු යුගයේ 33දී යෙහෝවා සිය ශුද්ධාත්මය වැගුරුවේ “එකතැනක රැස්ව සිටි” පුරුෂයන්ගෙන් හා ස්ත්‍රීන්ගෙන් සමන්විත වූ කණ්ඩායමක් මතට මිසක්, හුදකලා වූ ඇදහිලිවන්තයන් ස්වල්පදෙනෙක් මතට නොවෙයි. එම කණ්ඩායම රැස්ව සිටියේ යෙරුසලෙම් නගරයේ තිබූ නිවසක උඩුමහලකයි. (ක්‍රියා 2:1) ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය වී තිබූ ක්‍රිස්තියානි සභාව පිහිටුවනු ලැබුවේ ඒ කාලයේදීයි. ඇත්තෙන්ම මෙය මුල් ගෝලයන්ට ආශීර්වාදයක් වූවා. ඒ ඇයි? එක් හේතුවක් නම් ඔවුන්ට කාලයාගේ ඇවෑමෙන් “ජනාවාස පොළොව පුරා” සිදු කෙරෙන දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම හා සම්බන්ධ වැදගත් පැවරුමක් දී තිබීමයි. (මතෙව් 24:14NW) මෙම දේශනා කිරීමේ වැඩය කරන ආකාරය ගැන සභාවේ සිටි නවක ඇදහිලිවන්තයන්ට අද්දැකීම් ලත් සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඉගෙනගත හැකි වුණා.

වැඩි කල් නොගොස් රාජ්‍යයේ පණිවිඩය යෙරුසලමේ සීමා ඉක්මවා ව්‍යාප්ත වුණා. ප්‍රේරිත පේතෘස් පො.යු. 62 සහ 64 අතර කාලපරිච්ඡේදයේදී ඔහුගේ ප්‍රථම ලිපිය ලිව්වේ, අද තිබෙන තුර්කියට අයත් “පොන්තස්හිද ගලාතියෙහිද කප්පදොකියෙහිද ආසියාවෙහිද බිතිනියෙහිද විසිරගොස් . . . [සිටියාවූ]” ක්‍රිස්තියානීන්ටයි. (1 පේතෘස් 1:1) පලස්තීනය, ලෙබනොන්, සිරියාව, කුප්‍රසය, ග්‍රීසිය, ක්‍රීතය හා ඉතාලිය යන රටවලද ඇදහිලිවන්තයන් සිටියා. පාවුල් පො.යු. 60-61දී කොලොස්සිවරුන්ට ලියද්දී ශුභාරංචිය “අහසින් යට මුළු මැවිල්ලෙහි ප්‍රකාශවුණේය [දේශනා කර තිබුණා, NW].”—කොලොස්සි 1:23.

සංවිධානයක් සමඟ ඇසුරු කිරීමෙන් ලැබෙන දෙවන ප්‍රයෝජනය වූයේ, ක්‍රිස්තියානීන්ට අන්‍යොන්‍ය දිරිගැන්වීමක් ලැබිය හැකිවීමයි. සභාව සමඟ ඇසුරු කිරීමෙන් සිත් පුබුදුවාලන අනුශාසනාවලට සවන් දීමටත්, එකට එකතු වී ශුද්ධ ලියවිලි අධ්‍යයනය කිරීමටත්, ඇදහිල්ල ශක්තිමත් කරන අද්දැකීම් බෙදාගැනීමටත් සෙසු ඇදහිලිවන්තයන් සමඟ යාච්ඤාවලට හවුල් වීමටත් අවස්ථාව උදා වුණා.(1 කොරින්ති 14වන පරිච්ඡේදය) එමෙන්ම මේරූ පුරුෂයන්ට ‘දෙවිගේ රැළ බලාගන්න’ හැකි වුණා.—1 පේතෘස් 5:2.

සභාවේ සාමාජිකයන් හැටියට ක්‍රිස්තියානීන් එකිනෙකාව දැනහඳුනා ගනිමින් එකිනෙකා කෙරෙහි ප්‍රේමය වර්ධනය කරගන්නත් පටන්ගත්තා. සභාව සමඟ ඇසුරු කිරීම පීඩාකාරි බරක් ලෙස ඔවුන්ට හැඟුණේ නැහැ; ඒ වෙනුවට සභාව සමඟ ඇසුරු කිරීමෙන් ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනඟාගනිමින් ශක්තිමත් කරගත්තා.—ක්‍රියා 2:42; 14:27; 1 කොරින්ති 14:26; කොලොස්සි 4:15, 16.

ලෝක ව්‍යාප්ත එක්සත් සභාවක් නැතහොත් සංවිධානයක් අවශ්‍ය වීමට තවත් හේතුවක් වූයේ, එය එක්සත්කම වඩවාලීමට ඉවහල් වීමයි. “එකඟත්වයකින් යුතුව කතා කරන්න” ක්‍රිස්තියානීන් ඉගෙනගත්තා. (1 කොරින්ති 1:10NW) මෙය අත්‍යවශ්‍ය දෙයක් වුණා. සභාව සකස් වී තිබුණේ විවිධ අධ්‍යාපනික හා සමාජීය පසුබිම්වලින් යුත් අයගෙනුයි. ඔවුන් විවිධ භාෂා කතා කළ අතර, එකිනෙකට වෙනස් පෞද්ගලිකත්වයන් තිබුණු බවට සැකයක් නැහැ. (ක්‍රියා 2:1-11) ඇතැම්විට එකඟ නොවීම් හටගත් අවස්ථා තිබුණා. කෙසේවෙතත්, එවන් එකඟ නොවීම් සභාව ඇතුළත විසඳාගැනීමට ක්‍රිස්තියානීන්ට උපකාර ලැබුණා.—ක්‍රියා 15:1, 2; පිලිප්පි 4:2, 3.

ප්‍රාදේශීය වැඩිමහල්ලන්ට විසඳාගත නොහැකි වූ බරපතළ ප්‍රශ්න පාවුල් වැනි මේරූ සංචාරක අවේක්ෂකයන්ට යොමු කළා. ඉගැන්වීම් හා සම්බන්ධ අතිවැදගත් කාරණා යොමු කළේ යෙරුසලමෙහි පිහිටි පාලක මණ්ඩලයක් වෙතටයි. පාලක මණ්ඩලය මුලින්ම සකස් වී තිබුණේ යේසුස් ක්‍රිස්තුස්ගේ ප්‍රේරිතයන්ගෙන් වුණත්, පසුව යෙරුසලමේ සභාවේ වැඩිහිටි පුරුෂයන්වද එයට ඇතුළත් කරගත්තා. දේවසේවය සංවිධානය කිරීමටත් සේවා වරප්‍රසාදවලට පුරුෂයන්ව පත් කිරීමටත් ඉගැන්වීම් හා සම්බන්ධ කාරණා පිළිබඳ තීරණ ගැනීමටත් පාලක මණ්ඩලයට හා එහි නියෝජිතයන්ට දෙවි දී තිබෙන බලතල සෑම සභාවක්ම පිළිගත්තා. මත භේදයට තුඩු දුන් යම් කාරණයක් පාලක මණ්ඩලය නිරාකරණය කළ පසු, සභාවන් එම තීරණය පිළිගෙන, එයින් ලැබූ ‘දිරිගැන්වීම ගැන ප්‍රීති වුණා, [NW].’—ක්‍රියා 15:1, 2, 28, 30, 31.

ඔව්, යෙහෝවා මුල් සියවසේදී සංවිධානයක් යොදාගත්තා. එහෙත් අදදින ගැන කුමක් කිව හැකිද?

අද අපිට සංවිධානයක් අවශ්‍යයි

අදදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් මුල් සියවසේ සිටි ක්‍රිස්තියානීන් මෙන් රාජ්‍ය ශුභාරංචිය දේශනා කිරීමට වූ බලපැවරුම බැරෑරුම් දෙයක් ලෙස සලකනවා. ඔවුන් මේ වැඩය කරගෙන යන එක් ආකාරයක් නම්, බයිබල් සහ බයිබල් අධ්‍යයන ආධාරක පොත් පත් බෙදාහැරීමයි. ඒ සඳහා සංවිධානයක් අවශ්‍යයි.

ක්‍රිස්තියානි ප්‍රකාශන පරෙස්සමින් සකස් කර, නිරවද්‍යතාව පරීක්ෂා කර මුද්‍රණය කිරීමෙන් පසුව සභාවලට සැපයිය යුතුයි. ඉන් අනතුරුව, සභාවල සිටින සහෝදර සහෝදරියන් ඒවා කියවන්න කැමති අය ළඟට ඒවා සිය කැමැත්තෙන්ම රැගෙන යා යුතුයි. දශලක්ෂ ගණන්දෙනා වෙත රාජ්‍යය පණිවිඩය ළඟා වී තිබෙන්නේ මේ විදිහටයි. තම බලප්‍රදේශයේ කිසිම ප්‍රදේශයක් අත් නොහැරීමටද කිසිම ප්‍රදේශයක් අනවශ්‍ය ලෙස ආවරණය නොකිරීමටද වගබලා ගනිමින් තමන්ගේ දේශනා කිරීමේ වැඩය විධිමත් ආකාරයකට කරගෙන යෑමට ශුභාරංචිය ප්‍රචාරය කරන්නන් වෑයම් කරනවා. මේ හැම දෙයකටම සංවිධානය වීම අවශ්‍යයි.

‘දෙවි තරාතිරම් නොබලන’ නිසා බයිබල් හා බයිබල් ප්‍රකාශන පරිවර්තනය කළ යුතුයි. (ක්‍රියා 10:34) මේ සඟරාව දැන් භාෂා 132කින් මුද්‍රණය කරන අතර, එහි සහයක සඟරාව වන පිබිදෙව්! සඟරාව භාෂා 83කින් ප්‍රකාශයට පත් කරනු ලබනවා. මේ සඳහා ලොව පුරා විසිර සිටින හොඳින් සංවිධානය වූ පරිවර්තන කණ්ඩායම් අවශ්‍යයි.

සභා සාමාජිකයන් ක්‍රිස්තියානි රැස්වීම් හා එක්රැස්වීම්වලට පැමිණීමෙන් දිරිගැන්වීමක් ලබනවා. මෙම රැස්වීම්වලදී ඔවුන් උනන්දුව පුබුදුවාලන බයිබල් කතාවලට සවන් දෙනවා. එකට එකතු වී ශුද්ධ ලියවිලි අධ්‍යයනය කරනවා. ගොඩනංවනසුලු අද්දැකීම් බෙදාගන්නවා. සෙසු නමස්කාරකයන් සමඟ යාච්ඤාවලට හවුල් වෙනවා. ඒ වගේම, මුල් සියවසේ සිටි ඔවුන්ගේ සහෝදරයන් මෙන් ඔවුන්ද ප්‍රේමනීය සංචාරක අවේක්ෂකයන්ගේ බැහැදැකීම්වලින් තමන්ගේ ඇදහිල්ල ශක්තිමත් වීම ගැන සතුටු වෙනවා. මෙසේ අද සිටින ක්‍රිස්තියානීන් ‘එක එඬේරෙක් යටතේ එක රැළක්’ ලෙස සංවිධානය වී සිටිනවා.—යොහන් 10:16.

යෙහෝවාගේ සාක්ෂිකරුවන්වත් මුල් ක්‍රිස්තියානීන්වත් පරිපූර්ණ අය නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙත් ඔවුන් එකට එකමුතුව වැඩ කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට, රාජ්‍ය දේශනා කිරීමේ වැඩය ලොව පුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා.—ක්‍රියා 15:36-40; එපීස 4:13.

[31වන පිටුවේ පින්තූරය]

අදදින ක්‍රිස්තියානීන් ‘එක එඬේරෙක් යටතේ එක රැළක්ව’ සිටී