Skip to content

පටුනට යන්න

අනාගතය අභිරහසක් නොවේ!

අනාගතය අභිරහසක් නොවේ!

අනාගතය අභිරහසක් නොවේ!

අනාගතය. මෙය බොහෝදෙනෙකුගේ දැඩි උනන්දුවට ලක් වන විෂයකි. ඒ සඳහා සැලසුම් කිරීමට හා මුදල් ආයෝජනය කිරීමට ඔවුන් කැමැත්තක් දක්වන අතර, ඒ පිළිබඳව සුරක්ෂිත හැඟීමක් අත් කරගැනීමටත් ඔවුන් උත්සුක වෙනවා. නමුත් හෙට දවස ගැන නිශ්චිතව දැනගැනීමට අපට විශ්වාසවන්ත ක්‍රමයක් තිබෙනවාද?

අනාගතය දැනගැනීමට තිබෙන ආශාව නිසා මිනිසා නොයෙක් දේවල් අත්හදා බලා තිබෙනවා. අනාගතය පිළිබඳව හදාරන සමාජ විද්‍යාඥයන් වර්තමාන තත්වයන් අධ්‍යයනය කරමින් අනාවැකි පළ කරනවා. ආර්ථික විද්‍යාඥයන්ද ඔවුන්ගේ ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඒ හා සමානව අදහස් ප්‍රකාශ කරනවා. හඳහන් බැලීම, පේන කීම හා ගුප්ත දේවල් කිරීමෙන් අනාගතය පිළිබඳ හදාරන ජ්‍යොතිශාස්ත්‍රඥයන්ද විශාල සෙනඟක් ඇදගැනීමට සමත් වී තිබෙනවා. නිදසුනකට, නොස්ත්‍රදාමස් නමැති ප්‍රංශ ජාතික ජ්‍යොතිශාස්ත්‍රඥයා දැන් මිය ගොස් සියවස් ගණනාවක් ගත වී ඇතත් ඔහුගේ අනාවැකි තවමත් ජනයා අතර ප්‍රසිද්ධත්වයක් උසුලනවා.

කනගාටුදායක ලෙස, අනාගතවක්තෘවරුන්යයි කියාපාන මේ සෑම පුද්ගලයෙක්ම ජනයාගේ බලාපොරොත්තු සුන් කර තිබෙනවා. මෙයින් ඔවුන් විශ්වසනීය නොවන බව ඔප්පු වී තිබෙනවා. ඒ ඇයි? ඔවුන් යෙහෝවා දෙවි හා ඔහුගේ වචනය වන බයිබලය නොසලකා හරින නිසයි. පහත සඳහන් වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට ඔවුන් අසමත් වන්නේ එනිසයි. ‘බයිබලයෙහි පුරෝකථනය කර තිබෙන දේවල් ඇත්තෙන්ම ඉටු වන බව මට දැනගත හැක්කේ කෙසේද? මිනිසා සඳහා දෙවි අරමුණු කරන දේ හා මේ අනාවැකි අතර තිබෙන සම්බන්ධය කුමක්ද? මටත් මගේ පවුලේ අයටත් මේ අනාවැකිවලින් ප්‍රයෝජන ලබාගත හැක්කේ කෙසේද? බයිබලය මෙම ප්‍රශ්නවලට පිළිතුරු සපයයි.

බයිබල් අනාවැකි වෙනත් අනාවැකිවලට වඩා බෙහෙවින් උසස් වන බව ඔප්පු කරන වෙනත් කාරණාද තිබේ. ජ්‍යොතිශාස්ත්‍රය හා බැඳි අනාවැකිවලට වඩා එය වෙනස්. එය නිදහස් කැමැත්තට ඉඩ දෙන බැවින් කිසිම කෙනෙකුව දෛවයට යටත් නොකරයි. (ද්විතීය කථාව 30:19) නොස්ත්‍රදාමස් වැනි පුද්ගලයන්ගේ අනාවැකිවල කිසිම සදාචාරමය ප්‍රතිපත්තියක් ඇතුළත් නොවන අතර, එම අඩුව පිරවීම සඳහා ඔවුන් කුතුහලය උපදවන ගුප්ත මෙන්ම අභිරහස් දේවල් යොදාගන්නවා. ඊට හාත්පසින්ම වෙනස්ව, බයිබල් අනාවැකිවලට සදාචාරමය වශයෙන් ස්ථිර පදනමක් තිබෙනවා. දෙවි තමා අරමුණු කරන දේ කරන්නේ ඇයි කියා එය පැහැදිලි කර දෙයි. (2 ලේකම් 36:15) එමෙන්ම, යෙහෝවාට “බොරු කීමට නොහැකි” බැවින් ඔහුගේ අනාවැකි කිසි කලක නොවරදියි. (තීතස් 1:1NW) එමනිසා දෙවිගේ වචනයේ මඟ පෙන්වීම අනුව ජීවත් වන ජනයා ඥනාලෝකයෙන් සපිරි අර්ථවත් මෙන්ම ප්‍රීතිමත් ජීවිත ගත කරයි. ඔවුන් නිෂ්ඵල කාර්යයන් සඳහා තමන්ගේ වටිනා කාලය හා සම්පත් වැය කරන්නේ නැහැ.—ගීතාවලිය 25:12, 13.

මෙම කරුණු මෙන්ම තවත් කරුණු රැසක් වර්ෂ 1999/2000දී යෙහෝවාගේ සාක්ෂිකරුවන් විසින් ලොව වටා පැවැත්වූ “දෙවිගේ අනාවැකිමය වදන්” නමැති දිස්ත්‍රික් සමුළුවේදී සාකච්ඡා කෙරුණා. දෙවිගේ වචනය අධ්‍යයනය කරමින් එය තම ජීවිතයට අදාළ කරගන්නා ජනයා සතු අනර්ඝ ආත්මික උරුමය වෙතට පැමිණ සිටි සියලුදෙනාගේම අවධානය යොමු කළා. එසේ කළේ කතා, සම්මුඛ සාකච්ඡා, නිරූපණ හා බයිබලය මත පදනම් නාට්‍යයක් මාර්ගයෙනි. එම සමුළුවේදී ඉදිරිපත් කළ හද කලතන විශේෂාංග කිහිපයක් අපි ඊළඟ ලිපියේ සලකා බලමු.