Skip to content

පටුනට යන්න

“අවදිව සිටින්න”

“අවදිව සිටින්න”

“අවදිව සිටින්න”

එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ [එන්නේදැයි] නුඹලා දන්නේ නැත.”—මතෙව් 24:42.

1. යෙහෝවාගේ දිගු කාලීන සේවකයන් වසර ගණනාවක ඔවුන්ගේ කැප වූ සේවය දකින්නේ කොහොමද? උදාහරණයක් දෙන්න.

 යෙහෝවාගේ දිගු කාලීන සේවකයන් බොහෝදෙනෙක් සත්‍යය වැලඳගත්තේ ඔවුන්ගේ බාල අවදියේදීය. එම උනන්දුමත් බයිබල් ශිෂ්‍යයන් තමන්වම නොසලකා හැර ඔවුන්ගේ ජීවිත යෙහෝවාට කැප කර තිබෙන්නේ ඉතා වටිනා මුතුවක් සොයාගත් විට, එය මිල දී ගැනීමට තමා සන්තක සියල්ල විකිණූ වෙළෙන්දා හා සමානවයි. (මතෙව් 13:45, 46; මාර්ක් 8:34) පොළොව සම්බන්ධයෙන් දෙවිගේ අරමුණු ඉටුවීම දෙස සමහරවිට ඔවුන් සිතුවාට වඩා වැඩි කාලයක් පුරා බලා සිටීමට සිදුවීම ගැන ඔවුන්ට හැඟෙන්නේ කෙසේද? ඒ ගැන කිසිම කනගාටුවක් ඔවුන්ට නැහැ! ඔවුන් දරන්නේත් සහෝදර ඒ. එච්. මැක්මිලන්ගේ අදහසමයි. අවුරුදු 60ක පමණ කාලයක් පුරා දෙවිට කැප වී සේවය කිරීමෙන් පසු ඔහු මෙසේ කීවා. “වෙන කිසිමදාකටත් වඩා වැඩියෙන් ඇදහිල්ල වෙනුවෙන් විඳදරා ගැනීමට මම අධිෂ්ඨාන කරගෙනයි ඉන්නේ. ඒ ඇදහිල්ල නොතිබුණා නම් ජීවිතෙන් කිසිම ඵලක් නැහැ. කිසිම භයක් නැතුව අනාගතයට මුහුණ දෙන්ට ඒක මට තවමත් උදව් කරනවා.”

2. (අ) යේසුස් තම අනුගාමිකයන්ට දුන් කාලෝචිත උපදෙස මොකක්ද? (ආ) මේ ලිපියේදී අපි සලකා බලන්ට යන ප්‍රශ්න මොනවාද?

2 ඔබ ගැන කුමක් කිව හැකිද? ඔබ කුමන වයසක පසු වුණත් යේසුස්ගේ වචන සලකා බලන්න. “එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ [එන්නේදැයි] නුඹලා දන්නේ නැත.” (මතෙව් 24:42) ඒ සරල කියමන තුළ ගැඹුරු සත්‍යයක් ගැබ් වී තිබෙනවා. මේ දුෂ්ට පිළිවෙළ විනිශ්චය කිරීමට ස්වාමියා පැමිණෙන්නේ කවදාද කියා අපි දන්නේ නැහැ. එමෙන්ම අපිට එය දැන්ගන්ට අවශ්‍යතාවක්ද නැහැ. එහෙත් ඔහු පැමිණෙන විට අපිට පසුතැවීමට සිදු නොවන ආකාරයෙන් ජීවත් වීමට අප වගබලා ගත යුතුයි. මේ සම්බන්ධයෙන් අපිට අවදිව සිටින්ට උපකාර කරන බයිබල් ආදර්ශ මොනවාද? යේසුස් මේ අවශ්‍යතාව නිදර්ශනය කළේ කොහොමද? අපි ජීවත් වන්නේ අභක්තික ලෝකයේ අන්තිම දවස්වල බව ඔප්පු කිරීමට අපිට තිබෙන සාක්ෂි මොනවාද?

අනතුරු ඇඟවීමේ ආදර්ශයක්

3. අදදින සිටින බොහෝදෙනෙක් නෝවාගේ දවසේ සිටි අයට සමාන වෙන්නේ කොහොමද?

3 බොහෝ ආකාරවලින් අද සිටින මිනිසුන් නෝවාගේ දවස්වල සිටි ගැහැනු පිරිමි හා සමානයි. ඒ කාලයේදී පොළොව සැහැසියාවෙන් පිරී තිබුණා. එමෙන්ම මිනිසාගේ හෘදය “සෑමවිටම නපුරට” නැඹුරුව තිබුණා. (උත්පත්ති 6:5NW) බොහෝදෙනෙක් ජීවිතයේ දෛනික කටයුතුවලින් යට වී සිටියා. කෙසේවෙතත්, යෙහෝවා මහා ජලගැල්ම ගෙනෙන්ට පළමුවෙන් සෙනඟට පසුතැවිලි වීමට අවස්ථාවක් ලබා දුන්නා. යෙහෝවා දේශනා කිරීමේ පැවරුමක් නෝවාට දුන්නා. නෝවා “ධර්මිෂ්ඨකමේ දේශනාකාරයෙක්” ලෙස සමහරවිට අවුරුදු 40ක් හෝ 50ක් හෝ ඊට වැඩි කාලයක් පුරා සේවය කරමින් එම පැවරුම කීකරු ලෙස ඉටු කළා. (2 පේතෘස් 2:5) කෙසේවෙතත්, සෙනඟ නෝවාගේ අනතුරු ඇඟවීම සැලකුවේ නැහැ. ඔවුන් අවදියෙන් සිටියේ නැහැ. එමනිසා, අන්තිමේදී යෙහෝවාගේ විනිශ්චයේදී ගැළවුණේ නෝවාගේ පවුලේ අය විතරයි.—මතෙව් 24:37-39.

4. නෝවාගේ දේවසේවය සාර්ථකයි කියා කිව හැක්කේ මොන ආකාරයෙන්ද? එමෙන්ම ඔබේ දේශනා වැඩය ගැනත් ඒ ආකාරයෙන්ම කිව හැක්කේ මන්ද?

4 නෝවාගේ දේවසේවය සාර්ථකත්වයක් ලැබුවාද? ප්‍රතිචාරය දැක්වූ කුඩා සංඛ්‍යාවෙන් සාර්ථකත්වය මනින්ට එපා. ප්‍රතිචාරය කෙසේවෙතත් නෝවාගේ දේශනා කිරීමේ වැඩයේ අරමුණ නම් ඉෂ්ට වුණා. ඒ මන්ද? යෙහෝවාට සේවය කරනවාද නැද්ද යන්න තෝරාගැනීමට මිනිසුන්ට ඇති තරම් ඉඩ ප්‍රස්තා ලබා දුන් නිසයි. ඔබ දේශනා කරන ප්‍රදේශය ගැන කුමක් කිව හැකිද? හොඳ ප්‍රතිචාරයක් දක්වන්නේ ඉතා සුළු පිරිසක් වුණත්, ඔබ මහත් සාර්ථකත්වයක් අත් කරගනිමින් සිටිනවා. ඒ මන්ද? දේශනා කිරීමෙන් ඔබ දෙවිගේ අනතුරු ඇඟවීම පතළ කරන අතර, එමගින් යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට දුන් මෙහෙය ඔබ ඉටු කරමින් සිටින නිසයි.—මතෙව් 24:14; 28:19, 20.

දෙවිගේ අනාගතවක්තෲන්ව නොසලකා හැරීම

5. (අ) හබක්කුක්ගේ දවසේදී යූදාහි පැවතියේ කුමන තත්වයක්ද? ඔහුගේ අනාවැකිමය පණිවිඩයට සෙනඟ ප්‍රතිචාරය දැක්වූයේ කොහොමද? (ආ) යූදාහි සෙනඟ යෙහෝවාගේ අනාගතවක්තෲන්ට සතුරුකම් පෑවේ කොහොමද?

5 ජලගැල්මෙන් සියවස් ගණනාවකට පසුව යූදාහි රාජ්‍යය භයංකර තත්වයකට මුහුණ දුන්නා. රූපවන්දනාව, අසාධාරණය, බලහත්කාරකම සහ ඝාතන පවා සාමාන්‍ය දෙයක් වුණා. සෙනඟ පසුතැවිලි වුණේ නැත්නම් ඔවුන් කල්දීයයන් නැතහොත් බබිලෝනිවරුන්ගේ අතට හසු වන බව යෙහෝවා හබක්කුක් මාර්ගයෙන් සෙනඟට අනතුරු ඇඟෙව්වා. (හබක්කුක් 1:5-7) එහෙත් ජනයා ඇහුම්කන් දුන්නේ නැහැ. සමහරවිට ඔවුන් මේ ආකාරයට තර්ක කරන්ට ඇති. ‘දැනට අවුරුදු සීයකට විතර ඉස්සෙල්ලාත් අනාගතවක්තෘ යෙසායා ඔය වගේම අනතුරු ඇඟෙව්වත් තාමත් කිසිම දෙයක් සිද්ධ වෙලා නැහැනේ!’ (යෙසායා 39:6, 7) යූදාහි සිටි බොහෝ නිලධාරීන් පණිවිඩය ගණනකට නොගත්තා පමණක් නොව පණිවිඩකරුවන්ට සතුරුකම් පෑවා. එක් අවස්ථාවකදී, ඔවුන් අනාගතවක්තෘ යෙරෙමියාව මරන්ට පවා උත්සාහ කළා. අහීකාම් මැදිහත් වුණේ නැත්නම් ඔවුන් ජයගන්ටත් ඉඩ තිබුණා. වෙනත් අනාවැකිමය පණිවිඩයකින් කෝපාවිෂ්ට වූ යෙහෝයාකීම් රජ අනාගතවක්තෘ වූ උරියාව ඝාතනය කළා.—යෙරෙමියා 26:21-24.

6. යෙහෝවා හබක්කුක්ව ශක්තිමත් කළේ කොහොමද?

6 දේවානුභාවයෙන් යූදාහි හැත්තෑ අවුරුදු පාළු කිරීම පුරෝකථනය කළ යෙරෙමියා මෙන් හබක්කුක්ද අභීත මෙන්ම ජනයාට ප්‍රිය නැති පණිවිඩයක් ප්‍රකාශ කළා. (යෙරෙමියා 25:8-11) එමනිසා, ‘යෙහෝවා, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ නොඅසන්නේය; බලාත්කාරය ගැන ඔබට කෑගසමි, එහෙත් ඔබ නොගළවන්නේය’ කියා හබක්කුක් අසද්දී ඔහු තුළ වූ වේදනාව අපිට තේරුම්ගත හැකියි. (හබක්කුක් 1:2) යෙහෝවා දයාවන්ත ලෙස හබක්කුක්ගේ ඇදහිල්ල ශක්තිමත් කරන්නේ මේ වචනවලින්. “දර්ශනය නියම [නියම කරන ලද, NW] කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටින්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” (හබක්කුක් 2:3) මෙසේ අසාධාරණය සහ බලහත්කාරකම නිමාවකට ගෙන ඒම සඳහා යෙහෝවාට “නියම කරන ලද” කාලයක් තිබුණා. ප්‍රමාදයක් ඇති බව පෙනෙන්ට තිබුණත් අධෛර්යයට පත් වෙන්නවත් වේගය බාල කරගන්නවත් හබක්කුක්ට හේතුවක් තිබුණේ නැහැ. ඒ වෙනුවට දිනපතාම හදිසිතාවේ හැඟීමෙන් යුතුව ඔහුට “බලාසිටින්න” සිදු වුණා. යෙහෝවාගේ දවස ප්‍රමාද වූයේ නැහැ!

7. පොදු යුගයේ පළමු සියවසේදී යෙරුසලමට තවත් විනාශයක් නියම වූයේ ඇයි?

7 යෙහෝවා හබක්කුක්ට කතා කර අවුරුදු 20කට පමණ පසු යූදාහි අගනුවර වූ යෙරුසලම විනාශයට පත් වුණා. පසුව එය යළි ගොඩනඟා හබක්කුක්ව වේදනාවට පත් කළ බොහෝ වැරදි නිවැරදි කළා. කෙසේවෙතත්, පොදු යුගයේ පළමුවන සියවසේදී නුවර නැවත වරක් එහි වැසියන්ගේ අභක්තිකකම හේතුවෙන් විනාශය සඳහා නියම කළා. ධර්මිෂ්ඨයන්ට බේරීම සඳහා යෙහෝවා දයාන්විත ලෙස සැලසුම් යෙදුවා. මේ වතාවේදී පණිවිඩය ප්‍රකාශ කිරීමට ඔහු යොදාගත්තේ අතිශ්‍රේෂ්ඨ අනාගතවක්තෘ වන යේසුස් ක්‍රිස්තුස්වයි. පොදු යුගයේ 33දී යේසුස් තම අනුගාමිකයන්ට මෙසේ පැවසුවා: “යම් කලක සේනාවන් විසින් යෙරුසලම වටලා සිටිනවා නුඹලා දකින්නහුද, එකල එහි විනාශය ආසන්න බව දැනගන්න. එකල යුදයෙහි සිටින්නෝ කඳුවලට පලායත්වා.”—ලූක් 21:20, 21.

8. (අ) යේසුස්ගේ මරණයෙන් පසු සමහර ක්‍රිස්තියානීන්ට කුමක් සිදු වෙන්ට ඇද්ද? (ආ) යෙරුසලම සම්බන්ධ යේසුස්ගේ අනාවැකිමය වදන් ඉටු වූයේ කොහොමද?

8 අවුරුදු ගෙවී යද්දී, යේසුස් පැවසූ අනාවැකිය ඉටු වෙන්න යන්නේ කවදාද කියා යෙරුසලමේ සිටි සමහර ක්‍රිස්තියානීන් කල්පනා කරන්න ඇති. සමහරුන් නිසැකවම කර තිබුණාවූ පරිත්‍යාගයන් ගැන හිතද්දී එහෙම සිතීම ගැන පුදුම වෙන්ට දෙයක් නැහැ. ඔවුන් සමහරවිට අවදිව සිටීමට වූ තමන්ගේ අධිෂ්ඨානය නිසා ඉතා ලාභදායී ව්‍යාපාරික යෝජනා ප්‍රතික්ෂේප කරන්ට ඇති. කාලය ගෙවෙද්දී ඔවුන් වෙහෙසට පත් වුණාද? යේසුස්ගේ වචන අදාළ වෙන්නේ අනාගත පරම්පරාවකට මිස තමුන්ට නොවේයයි සිතමින් ඔවුන් තමන්ගේ ජීවිත අපතේ යවනවා යන නිගමනයට බැස්සාද? රෝම හමුදා පො.යු. 66දී යෙරුසලම වැටලූ විට යේසුස්ගේ අනාවැකිය ඉටුවීමට පටන්ගත්තා. අවදියෙන් සිටි අය ලකුණ හඳුනාගෙන නගරයෙන් පලාගිය නිසා යෙරුසලම පාළු කිරීමේදී බේරුණා.

අවදිව සිටීමේ අවශ්‍යතාව නිදර්ශනය කිරීම

9, 10. (අ) තම ස්වාමියා විවාහ වී නැවත එන තුරු බලා සිටින දාසයන් පිළිබඳ යේසුස්ගේ නිදර්ශනය සාරාංශ කරන්න. (ආ) තමන්ගේ ස්වාමියාගේ පැමිණීම බලා සිටීම දාසයන්ට දුෂ්කර දෙයක් වන්ට ඇත්තේ මන්ද? (ඇ) ඉවසිලිවන්තව සිටීම දාසයන්ට ප්‍රයෝජනවත් වූයේ ඇයි?

9 අවදිව සිටීමේ අවශ්‍යතාව යේසුස් කාවැද්දුවා. තමන්ගේ ස්වාමියා විවාහ වී නැවත එන තුරු බලා සිටින දාසයන්ට තම ගෝලයන්ව ඔහු සමාන කළා. යම් රාත්‍රියක ඔහු නැවත එන බව ඔවුන් දැන සිටියා. එහෙත් ඔහු එන්නේ කොයි යාමයේද? රාත්‍රියේ මුල් යාමයේද? දෙවැනි යාමයේද? නැත්නම් තුන්වන යාමයේදීද? ඔවුන් දැන සිටියේ නැහැ. “[ස්වාමියා] දෙවෙනි යාමයේදීවත් තුන්වෙනි යාමයේදීවත් ඇවිත් එසේම [අවදිව සිටින බව] දකින්නේ නම්, ඒ දාසයෝ වාසනාවන්තයෝය [සන්තෝෂවත්ය NW].” (ලූක් 12:35-38) එම දාසයන් මොනතරම් උනන්දුවකින් බලා සිටින්ට ඇද්දැයි සිතා බලන්න. සෑම පුංචි හඬක්ම, හීන් ඡායාවක්ම ‘ඒ අපේ ස්වාමියාද?’ කියා නිසැකවම ඔවුන්ගේ බලාපොරොත්තුව උත්සන්න කරවන්ට ඇති.

10 රාත්‍රි නවයේ සිට මධ්‍යම රාත්‍රිය පමණ දක්වා විහිදෙන රාත්‍රියේ දෙවන යාමයේදී ස්වාමියා පැමිණියා නම් තත්වය කුමක් වන්ට තිබුණාද? පාන්දර සිටම මහන්සි වී වැඩ කළ අය ඇතුළු සියලුම දාසයන් ඔහුට සුභ පතන්ට සූදානමින් සිටීවිද? නැත්නම් සමහරුන් නිදාගෙන ඉඳීවිද? රාත්‍රියේ තුන්වන යාමයේදී ඒ කියන්නේ මධ්‍යම රාත්‍රියේ සිට අලුයම තුන පමණ දක්වා විහිදෙන කාලයේදී ස්වාමියා පැමිණියා නම් තත්වය කුමක් වන්ට තිබුණාද? ස්වාමියා ප්‍රමාදයයි යන හැඟීම නිසා සමහර දාසයන් අධෛර්යයට පත් වේවිද? එහෙමත් නැතිනම් මැසිවිලි කියන්ට පවා පටන්ගනියිද? a සන්තෝෂවත් කියා හඳුන්වන්නේ ස්වාමියා පැමිණෙන විට අවදියෙන් සිටි අය පමණයි. හිතෝපදේශ 13:12 තිබෙන වදන් ඔවුන්ට හොඳින්ම අදාළ වෙනවා. එහි කියන්නේ “පැතූ දේ ප්‍රමාදවීමෙන් සිත කලකිරෙන්නේය; එහෙත් ආශාව ඉෂ්ටවීම ජීවන වෘක්ෂයක්” බවයි.

11. අවදිව සිටීම සඳහා යාච්ඤාව අපිට උපකාර වෙන්නේ කොහොමද?

11 ප්‍රමාදයි යන හැඟීම පවතින කාලය තුළදී අවදියෙන් සිටීම සඳහා යේසුස්ගේ අනුගාමිකයන්ට කුමක් උපකාරවත් විය හැකිද? යේසුස්ව ගෙත්සමන උයනේදී අත් අඩංගුවට ගැනීමට මොහොතකට කලින් තම ප්‍රේරිතයන් තිදෙනෙකුට කීවේ මෙසේයි: “නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාච්ඤාකරන්න.” (මතෙව් 26:41) එතැන සිටි අයගෙන් කෙනෙක් වූ පේතෘස්, අවුරුදු ගණනාවකට පසු සෙසු ක්‍රිස්තියානීන්ට මීට සමාන උපදෙසක් දුන්නා. ඔහු ලීවේ, “සියලු දේවල අන්තිමය ළංවී තිබේ. එබැවින් නුඹලා සිහියෙන් යුක්තව සිට, යාච්ඤාකිරීම පිණිස පිබිද [සිටින්න]” කියායි. (1 පේතෘස් 4:7) පැහැදිලිවම ජ්වලිතවත් යාච්ඤාව අපේ ක්‍රිස්තියානි දින චර්යාවේ කොටසක් විය යුතුයි. ඇත්තෙන්ම දිගටම අවදිව සිටීමට උපකාර කරන්න කියා යෙහෝවාට නොකඩවාම අපි යාච්ඤා කිරීම අවශ්‍යයි.—රෝම 12:12; 1 තෙසලෝනික 5:17.

12. උපකල්පනය කිරීම සහ අවදිව සිටීම අතර වෙනස මොකක්ද?

12 පේතෘස් මෙසේද කිවූ බව මතක තබාගන්න. “සියලු දේවල අන්තිමය ළංවී තිබේ.” එය කොතරම් ළංව තිබෙනවාද? දිනය සහ වේලාව හරියටම දැනගන්ට මිනිසුන්ට කිසිම හැකියාවක් නැහැ. (මතෙව් 24:36) එහෙත්, බයිබලය දිරි නොගන්වන උපකල්පනයන් කිරීම සහ අවසානය ගැන බලා සිටීමට බයිබලය දෙන දිරිගැන්වීම අතර වෙනසක් තිබෙනවා. (2 තිමෝති 4:3, 4; තීතස් 3:9 සසඳන්න.) අවසානය දෙස අපිට බලා සිටිය හැකි එක් ක්‍රමයක් වන්නේ එය ළඟ බවට තිබෙන සාක්ෂි කෙරෙහි කිට්ටු අවධානයක් දීමයි. අපි ජීවත් වෙන්නේ මේ අභක්තික ලෝකයේ අවසාන දවස්වල බව ඔප්පු කිරීමට තිබෙන සාක්ෂි හයක් දැන් පුනරීක්ෂණය කරමු.

නිසැක සාක්ෂි හයක්

13. දෙවන තිමෝති 3වන පරිච්ඡේදයේ ඇති පාවුල්ගේ අනාවැකිය අපි ජීවත් වෙන්නේ “අන්තිම දවස්වල” බව ඔබට ඒත්තුගන්වන්නේ කොහොමද?

13 මුලින්ම, “අන්තිම දවස්” පිළිබඳ ප්‍රේරිත පාවුල්ගේ අනාවැකියේ ඉටුවීම අපට පැහැදිලිව පෙනෙනවා. පාවුල් මෙසේ ලිව්වා. “අන්තිම දවස්වලදී අන්තරා සහිත [කටයුතු කිරීමට අසීරු, NW] කාලවල් පැමිණෙන බව දැනගන්න. මක්නිසාද මනුෂ්‍යයෝ තමුන්ටම ප්‍රේමකරන්නෝව, මුදලට ප්‍රේමකරන්නෝව, පාරට්ටුකරගන්නෝව, උදාරම්කාරයෝව, අපහාසකරන්නෝව, මවුපියන්ට අකීකරුවන්නෝව, ස්තුතිවන්ත නොවන්නෝව, අභක්තිකයෝව, ජන්ම ස්නේහය නැත්තෝව, සමාදාන නොවන්නෝව, කේලාම්කියන්නෝව, තෘෂ්ණාව මැඩපවත්වා නොගන්නෝව, කෲරයෝව, යහපතට ප්‍රේමනොකරන්නෝව, ද්‍රෝහියෝව, හිතුවක්කාරයෝව, අහංකාරයෝව, [දෙවිට] වඩා සැපසෙල්ලමට ප්‍රේමකරන්නෝව, දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න. නුමුත් නපුරු මනුෂ්‍යයොත් රැවටිලිකාරයොත් රවටමින්ද රැවටෙමින්ද වඩ වඩා නරක්වන්නෝය.” (2 තිමෝති 3:1-5, 13) අපේ දවසේදී මේ අනාවැකියේ ඉටුවීම අපි දකින්නේ නැද්ද? එය පිළි නොගන්නේ සැබෑව නොසලකා හරින අය පමණයි! b

14. යක්ෂයා සම්බන්ධයෙන් එළිදරව් 12:9හි වදන් අදදින ඉටු වෙමින් තිබෙන්නේ කොහොමද? ඔහුට ඉක්මනින්ම සිදු වන්ට යන්නේ මොකක්ද?

14 දෙවනුව, එළිදරව් 12:9 ඉටුවීමක් හැටියට සාතන් සහ ඔහුගේ භූතයන්ව ස්වර්ගයෙන් පිටුවහල් කිරීමේ බලපෑම අපිට දැනෙනවා. එහි අපිට කියවීමට තිබෙන්නේ මෙසේයි. “මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය, සාතන්යයි කියනලද මහා සර්පයා නමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබුවේය; ඔහු පොළොවට හෙළනු ලැබුවේය, ඔහුගේ දූතයෝද ඔහු සමඟ හෙළනු ලැබුවෝය.” මෙහි ප්‍රතිඵලයක් හැටියට පොළොව තුළ මහත් දුකක් අද්දකිනවා. මනුෂ්‍යවර්ගයාට විශේෂයෙන්ම 1914 සිට දුක වැඩි වී තිබෙනවා. එහෙත් යක්ෂයාව පොළොවට හෙළූ විට “තමාට ඇත්තේ ස්වල්ප කාලයක්” බව ඔහු දැනගන්නා බව එළිදරව් අනාවැකිය තවදුරටත් විස්තර කරනවා. (එළිදරව් 12:12) මේ කාලපරිච්ඡේදයේදී සාතන් ක්‍රිස්තුස්ගේ ආලේප ලත් අනුගාමිකයන් සමඟ යුද්ධ කරනවා. (එළිදරව් 12:17) අපේ කාලයේදී ඔහු එල්ල කරන ප්‍රහාරවල බලපෑම අප නිසැකවම අද්දැක තිබෙනවා. c කෙසේවෙතත්, “ජාතීන් තවත් නොරවටන පිණිස” වැඩිකල් යන්ට මත්තෙන් සාතන්ව පාතාලයට හෙළනවා.—එළිදරව් 20:1-3.

15. එළිදරව් 17:9-11 අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ බවට සාක්ෂි දෙන්නේ කොහොමද?

15 තුන්වනුව, අපි ජීවත් වෙන්නේ එළිදරව් 17:9-11 දක්වා වාර්තා කර ඇති අනාවැකියේ සඳහන් අටවන මෙන්ම අවසාන ‘රජුගේ’ කාලයේයි. මෙහි ලෝක බලයන් හත නියෝජනය කරන රජවරු හත්දෙනෙක් ගැන ප්‍රේරිත යොහන් සඳහන් කරනවා. ඒවා නම් මිසරය, අෂූරිය, බබිලෝනිය, මේද-පර්සියාව, ග්‍රීසිය, රෝමය සහ එංගලන්ත-අමෙරිකානු ද්විත්ව ලෝක බලයයි. “අටවන රජ හත්වෙනියාගෙන් පැනනඟින, [NW]” බව ඔහු දකිනවා. යොහන් දර්ශනයෙන් අවසානයට දකින මේ අටවන රජ එක්සත් ජාතීන්ව නියෝජනය කරනවා. මේ අටවන රජ ‘විනාශයට යන’ අතර ඉන්පසු තවත් භූමික රජවරුන් ගැන සඳහනක් කර නැහැ. d

16. නෙබුකද්නෙශර් ස්වප්නයෙන් දුටු රූපයේ ඉටුවීම පිළිබඳ කරුණු අපි ජීවත් වෙන්නේ අන්තිම කාලයේ බව අඟවන්නේ කොහොමද?

16 හතරවනුව, අපි ජීවත් වෙන්නේ නෙබුකද්නෙශර් ස්වප්නයෙන් දුටු රූපයේ පාද මගින් සංකේතවත් කළ කාලපරිච්ඡේදය තුළයි. මිනිස් ස්වරූපයක් ගත් මේ දැවැන්ත රූපයේ අභිරහස් ස්වප්නය අනාගතවක්තෘ දානියෙල් තේරුම් කර දුන්නා. (දානියෙල් 2:36-43) එම රූපයේ හිසේ (බබිලෝනීය ලෝක අධිරාජ්‍යය) සිට පාද සහ ඇඟිලි (අදදින පාලනය කරන ආණ්ඩු) දක්වා විහිදෙන ලෝහ කොටස් විවිධාකාර ලෝක බලයන් නියෝජනය කරනවා. එම රූපය නියෝජනය කළ සියලු ලෝක බලයන් දැනටමත් පාලනයට අවතීර්ණ වී තිබෙනවා. අපි ජීවත් වන්නේ රූපයේ පාදවලින් සංකේතවත් කරන කාලය තුළයි. වෙනත් රාජ්‍යයන් පැමිණෙන බවට කිසිම සඳහනක් නැහැ. e

17. අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේ බවට රාජ්‍ය දේශනා වැඩය තවදුරටත් සාක්ෂි සපයන්නේ කොහොමද?

17 පස්වනුව, හරියටම මේ පිළිවෙළේ අවසානයට පෙර සිදු වන බවට යේසුස් කී සමස්ථ ලෝක දේශනා කිරීමේ වැඩයක ඉටුවීම අපිට පෙනෙනවා. යේසුස් කීවේ මෙසේයි. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) අදදින එම අනාවැකිය පෙර නොවූ විරූ ආකාරයකට ඉටු වෙමින් තිබෙනවා. තවමත් ශුභාරංචිය ගෙන නොගිය ප්‍රදේශ තිබෙන බව ඇත්තයි. සමහරවිට යෙහෝවාගේ නියමිත කාලයේදී වැඩිමනත් ක්‍රියාකාරකම් සඳහා විශාල දොරක් විවෘත විය හැකියි. (1 කොරින්ති 16:9) ඒ කෙසේවෙතත්, පොළොව මත සිටින සෑම පුද්ගලයෙකුටම සාක්ෂියක් ලැබෙන තුරු යෙහෝවා බලා සිටින බව බයිබලයේ කොතැනකවත් සඳහන් කර නැහැ. ඒ වෙනුවට, ශුභාරංචිය යෙහෝවාට සෑහීමක් ගෙන දෙන තරමට දේශනා කළ යුතුයි. අන්තිමය පැමිණෙන්නේ එවිටයි.—මතෙව් 10:23 සසඳන්න.

18. මහත් පීඩාව ආරම්භ වන විට, පෙනෙන විදිහට ආලේප ලත් අය සම්බන්ධයෙන් සැබෑ වන්නේ මොකක්ද? මෙය නිගමනය කරන්නේ කොහොමද?

18 හයවනුව, මහත් පීඩාව ආරම්භ වන විට පෙනෙන විදිහට පොළොව මත ක්‍රිස්තුස්ගේ සෑබෑ ආලේප ලත් ගෝලයන් සිටින්ට නියමිත වුණත්, ඔවුන්ගේ සංඛ්‍යාව අඩු වෙමින් තිබෙනවා. ඉතිරි කොටසේ බොහෝදෙනෙක් සෑහෙන මහලුයි. අවුරුදු ගණනාවක් පුරා අව්‍යාජ ආලේප ලත් අයගේ සංඛ්‍යාව ක්‍රමානුකූලව කුඩා වෙමින් තිබෙනවා. එහෙත් මහත් පීඩාවට යොමු දක්වමින් යේසුස් කියන්නේ මෙසේයි. “ඒ දවස් ලුහුඬු නොකරනලද්දේවීනම් කිසි කෙනෙක් නොගැළවෙන්නේය. නුමුත් තෝරාගනු ලැබූවන් උදෙසා ඒ දවස් ලුහුඬුකරනු ලබන්නේය.” (මතෙව් 24:21, 22) එසේනම් පැහැදිලිවම, මහත් පීඩාව ආරම්භ වන විට ක්‍රිස්තුස්ගේ “තෝරාගනු ලැබූ” සමහරුන් පොළොව මත සිටින්ට යනවා. f

අනාගතයේදී?

19, 20. අවදිව බලා සිටීම සම්බන්ධයෙන් වෙන කවරදාකටත් වඩා අද අපිට හදිසිතාවක් තිබෙන්නේ ඇයි?

19 අනාගතය අප වෙනුවෙන් පිළියෙළ කර තිබෙන්නේ කුමක්ද? හද දනවන කාලයක් අත ළඟයි! ‘රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් යෙහෝවාගේ දවස පැමිණෙනවා’ කියා පාවුල් අනතුරු ඇඟෙව්වා. ලෝකයේ ප්‍රඥාවන්තයන් ගැන යොමු දක්වමින් ඔහු කියන්නේ ‘සමාදානයය, අනතුරක් නැත කියා කියන විට හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණෙන’ බවයි. මේ නිසා පාවුල් ඔහුගේ පාඨකයන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ‘වෙන තැනැත්තන් මෙන් අපි නිදා නොගෙන, අවදිව මත් නොවී [සිහි ඇතුව, NW] සිටිමු’ කියායි. (1 තෙසලෝනික 5:2, 3, 6) සාමය හා සුරක්ෂිතභාවය සඳහා මිනිස් ආයතන දෙස බලන අය සිටින්නේ සෑබෑව ඉදිරියේ නෙත් වසාගෙනයි. එවැනි අයට හොඳටම නින්ද ගිහින්!

20 මේ දේවල පිළිවෙළේ විනාශය ඉතා හදිස්සියෙන් පැමිණෙන්ට යනවා. ඒ නිසා යෙහෝවාගේ දවස ගැන උනන්දුවෙන් බලා සිටින්න. යෙහෝවාම හබක්කුක්ට කීවා සේ ‘එය ප්‍රමාද නොවේ! [NW]’ ඇත්ත වශයෙන්ම අවදිව සිටීම ගැන මෙතරම් හදිසිතාවක් වෙන කිසිදාක තිබී නැහැ.

[පාදසටහන්වල]

a තමාගේ පැමිණීම ගැන ස්වාමියා දාසයන් සමඟ නිශ්චිත වේලාවක් නියම කරගෙන තිබුණේ නැහැ. එබැවින් ඔහු යන එන තැන් පිළිබඳ උත්තර දෙන්ටවත්, දාසයන්ට ප්‍රමාදයයි හැඟුණට ඒ පිළිබඳ වාර්තාවක් සපයන්ටවත් ඔහු බැඳී සිටියේ නැහැ.

b මේ අනාවැකිය පිළිබඳව වැඩිමනත් සාකච්ඡාවක් සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 11වන පරිච්ඡේදය බලන්න.

c වැඩිමනත් තොරතුරු සඳහා Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! පොතේ 180-6 දක්වා පිටු බලන්න.

d එළිදරව්ව එහි උදාර උච්චාවස්ථාව අත ළඟ ය! පොතේ 251-4 දක්වා පිටු බලන්න.

e Watchtower Bible and Tract Society of New York, Inc., මගින් ප්‍රකාශිත දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! පොතේ හතරවන පරිච්ඡේදය බලන්න.

f එළුවන් සහ බැටළුවන් පිළිබඳ උපමාවේ මනුෂ්‍ය පුත්‍රයා මහත් පීඩාව කාලය තුළදී තේජසෙන් පැමිණ, විනිශ්චය කිරීම සඳහා හිඳගන්ට යනවා. ඔහු සෙනඟ විනිශ්චය කරන්ට යන්නේ ඔවුන් ක්‍රිස්තුස්ගේ ආලේප ලත් සහෝදරයන්ට සහයෝගය දුන්නාද නැද්ද යන්න මත පදනම්වයි. විනිශ්චය කරන කාලයේදී ක්‍රිස්තුස්ගේ සහෝදරයන් භූමික ජීවිතය අත්හැර ගොස් බොහෝ කල් ගතව තිබුණා නම් විනිශ්චය කිරීම පිළිබඳ මෙම ප්‍රමිතියෙන් ඵලක් නැති වෙන්ට යනවා.—මතෙව් 25:31-46.

ඔබට මතකද?

• අවදිව සිටීමට අපට උපකාර කරන්නේ කුමන බයිබල් ආදර්ශයන්ද?

• අවදිව සිටීමේ අවශ්‍යතාව යේසුස් නිදර්ශනය කළේ කොහොමද?

• අපි ජීවත් වන්නේ අන්තිම කාලයේ බව ඔප්පු කරන සාක්ෂි හය මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූර]

ඒ. එච්. මැක්මිලන් දශක හයක පමණ කාලයක් පුරා යෙහෝවාට ඇදහිලිවන්තව සේවය කළා

[10වන පිටුවේ පින්තූරය]

යේසුස් තම ගෝලයන්ව දිගටම අවදිව සිටින දාසයන්ට සමාන කළා