Skip to content

පටුනට යන්න

‘ආශා වෙන දේවලින්’ යෙහෝවාගේ ගෘහය පිරීයයි

‘ආශා වෙන දේවලින්’ යෙහෝවාගේ ගෘහය පිරීයයි

‘ආශා වෙන දේවලින්’ යෙහෝවාගේ ගෘහය පිරීයයි

‘මම [යෙහෝවා] සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් [ජාතීන්ගෙන්, NW] ආශා වෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමි.’—හග්ගයි 2:7.

1. හදිසි අවස්ථාවකදී අපි මුලින්ම අපේ ප්‍රේමනීයයන් ගැන සිතන්නේ ඇයි?

 ඔබේ ගෙය පිරී තිබෙන්නේ කුමන ආශා වන දේවලින්ද? සුඛෝපබෝගී ඇඳ පුටු, අධිතාක්ෂණික පරිගණකයක්, නවීන පන්නයේ මෝටර් රථයක් ඔබ සතුද? ඔබට මේ හැම දෙයක්ම තිබුණත්, ඔබේ ගෙදර තිබෙන වටිනාම දේ එහි සිටින මිනිසුන්, එනම් ඔබේ පවුලේ අය කිව්වොත් ඔබ ඊට එකඟ වන්නේ නැද්ද? දවසක්දා රෑ දුම් ගඳ නිසා ඔබ නින්දෙන් ඇහැරුණායයි සිතන්න. ඔබේ ගේ ගිනි ගන්නවා! බේරෙන්ට තියෙන්නේ තව විනාඩි කිහිපයයි! මොනවා ගැනද ඔබ මුලින්ම කල්පනා කරන්නේ? ඔබේ ඇඳ පුටු? පරිගණකය? එහෙම නැත්නම් මෝටර් රථය ගැනද? ඔබ මුලින්ම ඔබ ආදරය කරන අය ගැන හිතන්නේ නැද්ද? ඉතින් අප්‍රාණික දේවලට වඩා මිනිසුන් බොහෝ වටින නිසා ඔබ එසේ සිතන බවට කිසිම සැකයක් නැහැ.

2. යෙහෝවාගේ මැවිල්ල කොතරම් විවිධාකාරද? ඉන් යේසුස් වඩාත්ම ප්‍රිය කළේ කිනම් අංගයටද?

2 දැන් මොහොතකට යෙහෝවා ගැනත් ඔහුගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් ගැනත් කල්පනා කරන්න. “අහසත් පොළොවත් මුහුදත් එහි ඇති සියල්ලත් [මැව්වේ]” යෙහෝවායි. (ක්‍රියා 4:24) යෙහෝවා “ප්‍රධාන කර්මාන්තකාරයා” වන තම පුත්‍රයා කරණකොටගෙනයි අනිකුත් සෑම දෙයක්ම මැව්වේ. (හිතෝපදේශ 8:30, 31; යොහන් 1:3; කොලොස්සි 1:15-17) යෙහෝවා සහ යේසුස් තමන් මැවූ සෑම දෙයක්ම අගේ කොට සලකන බව නිසැකයි. (උත්පත්ති 1:31 සසඳන්න.) එහෙත් ඔවුන්ට වැඩියෙන්ම වටින්නේ මැවිල්ලේ කුමන අංගය කියාද ඔබ හිතන්නේ? අප්‍රාණික දේවල්ද? නැත්නම් මිනිසුන්ද? ප්‍රඥාවේ පුද්ගලාරෝපණය වන යේසුස් මෙසේ පවසනවා: “මම ඇලුම් කළේ මනුෂ්‍ය පුත්‍රයන්ටයි [NW].” මෙය විලියම් එෆ්. බෙක්ගේ පරිවර්තනයේ සඳහන් වන්නේ යේසුස් “මනුෂ්‍ය පුත්‍රයන්ට අතිශයින් ප්‍රිය කළා” කියායි.

3. යෙහෝවා හග්ගයි තුළින් පැවසූ අනාවැකිය මොකක්ද?

3 යෙහෝවා මිනිසුන්ව ඉතා අගේ කොට සලකන බවට කිසිම සැකයක් නැහැ. පොදු යුගයට පෙර 520දී අනාගතවක්තෘ හග්ගයි තුළින් පැවසූ අනාවැකිමය වදන්වලින් මේ බව අඟවන එක් අවස්ථාවක් දැකගත හැකියි. යෙහෝවා මෙසේ ප්‍රකාශ කළා: ‘මම සියලු ජාතීන් සොලවන්නෙමි, සියලු ජාතීන් [ජාතීන්ගෙන්, NW] ආශා වෙන දේද පැමිණෙන්නේය, මේ ගෘහය තේජසින් පුරවන්නෙමි. මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත් වන්නේය.’—හග්ගයි 2:7, 9.

4, 5. (අ) “ආශාවෙන දේ” ලෙස යොමු දක්වන්නේ ද්‍රව්‍යමය තේජසට කියා නිගමනය කිරීම සාධාරණ නොවන්නේ ඇයි? (ආ) “ආශාවෙන දේ” යන්න ඔබ නිර්වචනය කරන්නේ කොහොමද? ඒ ඇයි?

4 පෙර නොවූ විරූ ආකාරයේ තේජසක් ගෙන දෙන කුමන ආශා වෙන දේවලින්ද යෙහෝවාගේ ගෘහය පිරෙන්ට යන්නේ? එය මිල අධික ගෘහ භාණ්ඩ සහ අලංකෘත සැරසිලිවලින්ද? රන් රිදී සහ අනර්ඝ මුතු මැණික්වලින්ද? එසේ වූවා නම් එය එතරම් සාධාරණ දෙයක් නොවෙයි. සියවස් පහකට පමණ පෙර කැප කළ පළමු දේවමාළිගාව රුපියල් සියකෝටි ගණනක් වටිනා මහා මන්දිරයක් බව මතක තියාගන්න! a යළි පැමිණි මේ කුඩා යුදෙව් කණ්ඩායම ද්‍රව්‍යමය තේජසෙන් උසස් සාලමොන් තැනූ දේවමාළිගාව පරදවන ආකාරයේ එකක් තනයි කියා යෙහෝවා බලාපොරොත්තු නොවන බව නිසැකයි!

5 එසේ නම් යෙහෝවාගේ ගෘහය පුරවන්ට යන “ආශාවෙන දේ” මොනවාද? ඒ, මිනිසුන් බව පැහැදිලියි. ඇරත් යෙහෝවාගේ හෘදය සතුටු කරන්නේ රන් රිදී නොව ඔහුට ප්‍රේමයෙන් සේවය කරන මිනිසුනුයි. (හිතෝපදේශ 27:11; 1 කොරින්ති 10:25ආ) ඇත්තෙන්ම යෙහෝවා තමන්ට පිළිගත හැකි ආකාරයට සේවය කරන සියලුම ස්ත්‍රීන්, පුරුෂයන් සහ දරුවන්ව ඉතා අගේ කොට සලකනවා. (යොහන් 4:23, 24) “ආශාවෙන දේ” වන්නේ මොවුනුයි. සාලමොන්ගේ දේවමාළිගාව සැරසූ කිසිම දෙයකට වඩා යෙහෝවාට ඔවුන්ව අතිශයින් වටිනවා.

6. යෙහෝවාගේ පුරාණ දේවමාළිගාවේ අරමුණ වූයේ කුමක්ද?

6 දේවමාළිගාව දරුණු විරෝධතා මධ්‍යයෙහි වුණත් පො.යු.පෙ. 515දී සාදා නිම කළා. යේසුස්ගේ ජීවිත පූජාව සිදු වන කාලය දක්වා පවිත්‍ර නමස්කාරයේ කේන්ද්‍රය ලෙස පැවතුණේ යෙරුසලමේ තිබූ මේ දේවමාළිගාවයි. ඊට ස්වභාවික යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණාවූ අන්‍යජාතීන්ගෙන් සමන්විත “ආශාවෙන දේ” වන බොහෝදෙනෙක් නමස්කාරය උදෙසා පැමිණියා. එහෙත් අපි සලකා බලන්ට යන ආකාරයට වඩා වැදගත් යමක් දේවමාළිගාවෙන් නියෝජනය කළා.

මුල් සියවසේ ඉටුවීම

7. (අ) යෙරුසලමේ පිහිටි දෙවිගේ පුරාණ දේවමාළිගාව කුමක පෙරඡායාවක් වුණාද? (ආ) සමගි කිරීමේ දවසේදී උත්තම පූජකයා සතු වැඩ කොටස විස්තර කරන්න.

7 යෙරුසලමේ දේවමාළිගාව, නමස්කාරය පිළිබඳ වඩා උතුම් සැලැස්මක් පෙර ඡායාවක් කොට දැක්වුවා. ඒ උත්තම පූජකයා හැටියට යේසුස් සමඟ පො.යු. 29දී යෙහෝවා පිහිටුවාගත් දෙවිගේ ආත්මික දේවමාළිගාවයි. (හෙබ්‍රෙව් 5:4-10; 9:11, 12) ඉශ්‍රායෙල්හි උත්තම පූජකයාගේ වැඩ කටයුතු සහ යේසුස්ගේ ක්‍රියාකාරකම් අතර තිබෙන සමානකම් සලකා බලන්න. උත්තම පූජකයා සෑම අවුරුද්දකම සමගි කිරීමේ දවසේදී දේවමාළිගා මණ්ඩප මළුවේ පිහිටා තිබූ පූජාසනය වෙත ගොස් පූජකයන්ගේ පාප වෙනුවෙන් ගොනෙකුව පූජා කළා. පසුව ඔහු ගොනාගේ ලේ සමඟ දේවමාළිගාවට ඇතුල් වී මණ්ඩපයේ මළුව ශුද්ධස්ථානයෙන් වෙන් කළ දොරටුව පසු කර, ශුද්ධස්ථානය අතිශුද්ධස්ථානයෙන් වෙන් කරන තිරය තුළින් ගමන් කළා. අතිශුද්ධස්ථානයට ඇතුළු වන උත්තම පූජකයා එම ලේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ ඉසිනු ලැබුවා. පසුව ඔහු එම පිළිවෙතම රකිමින් ඉශ්‍රායෙල්හි පූජකයන් නොවන ගෝත්‍ර 12 සමගි කිරීම සඳහා එළුවෙකුවද පූජා කළා. (ලෙවී කථාව 16:5-15) මේ සැමරීම දෙවිගේ ආත්මික දේවමාළිගාව හා සම්බන්ධ වෙන්නේ කොහොමද?

8. (අ) පොදු යුගයේ 29දී යේසුස්ව ඔප්පු කිරීම ඇරඹුණේ කුමන අර්ථයෙන්ද? (ආ) තම භූමික සේවා කාලය තුළදී යේසුස් යෙහෝවා සමඟ භුක්ති විඳි විශේෂ සම්බන්ධය මොකක්ද?

8 පොදු යුගයේ 29දී යේසුස් බව්තීස්ම වී දෙවිගේ ශුද්ධාත්මයෙන් ආලේප කළ විට දෙවිගේ කැමැත්ත නමැති පූජාසනය මත ඔහුව ඔප්පු කරනු ලැබුවා කියා පැවසුවොත් නිවැරදියි. (ලූක් 3:21, 22) ඇත්තෙන්ම, යේසුස්ගේ අවුරුදු තුනහමාරක ආත්ම පරිත්‍යාගික ජීවිතයේ ආරම්භය එම සිද්ධිය මගින් සනිටුහන් කළා. (හෙබ්‍රෙව් 10:5-10) එම කාලපරිච්ඡේදය තුළ යේසුස් යෙහෝවා සමඟ ආත්මයෙන් උත්පාදනය කරන ලද සම්බන්ධතාවක් භුක්ති වින්දා. යේසුස්ට තම ස්වර්ගික පියා සමඟ තිබූ මේ අද්විතීය ස්ථාවරය වෙන කිසිම මිනිසෙකුට සම්පූර්ණයෙන්ම වටහාගැනීමට හැකි වුණේ නැහැ. එය කොයි ආකාරද කියනවා නම්, කූඩාරම් මණ්ඩප මළුවේ සිටින අයට නොපෙනෙන සේ ශුද්ධස්ථානය කඩතුරාවකින් වැසී තිබුණාක් මෙන් මිනිසුන්ගේ විචාර බුද්ධිය නමැති දෑස්ද කඩතුරාවකින් වැසී තිබුණා.—නික්මයාම 40:28.

9. යේසුස්ට මිනිසෙක් හැටියට ස්වර්ගයට ඇතුල් වෙන්ට නොහැකි වුණේ ඇයි? එහෙත් එම තත්වය විසඳුණේ කොහොමද?

9 ආත්මයෙන් උත්පාදනය වූ දෙවිගේ පුත්‍රයෙක් වුණත්, මනුෂ්‍යයෙක්ව සිටි යේසුස්ට ස්වර්ගයේ ජීවිතය ලබාගැනීමට හැකි වුණේ නැහැ. ඒ ඇයි? මාංසයට සහ රුධිරයට දෙවිගේ ස්වර්ගීය රාජ්‍යය උරුම කරගන්ට බැරි නිසයි. (1 කොරින්ති 15:44, 50) යේසුස්ගේ මාංසය බාධාවක් වූ නිසා එය පුරාණ දේවමාළිගාවේ ශුද්ධස්ථානය අතිශුද්ධස්ථානයෙන් වෙන් කළ තිරයෙන් මනාව සංකේතවත් කළා. (හෙබ්‍රෙව් 10:20) එහෙත් ඔහුගේ මරණයෙන් දින තුනකට පසු දෙවි ඔහුව ආත්මයක් ලෙස නැවත නැඟිටෙව්වා. (1 පේතෘස් 3:18) එවිට ඔහුට දෙවිගේ ආත්මික දේවමාළිගාවේ අතිශුද්ධස්ථානය වන ස්වර්ගයට ඇතුල් වීමට හැකි වුණා. ඒ බව සනාථ කරමින් පාවුල් මෙසේ ලියනවා. “[ක්‍රිස්තුස්] සැබෑ ශුද්ධස්ථානයේ ආදෘශවන, අතින් සෑදූ ශුද්ධස්ථානයකට නොව අප උදෙසා [දෙවිගේ] අභිමුඛයෙහි දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයටම [ඇතුල් වූයේය.]”—හෙබ්‍රෙව් 9:24.

10. ස්වර්ගයට නැවත යෑමත් සමඟ යේසුස් මොනවාද කළේ?

10 ස්වර්ගයේදී යේසුස් තම ජීවිත පූජාවේ ‘ලේ ඉසිනු ලැබුවේ’ යෙහෝවාට තම ජීව රුධිරයේ මිදීමේ වටිනාකම පිදීමත් සමඟයි. යේසුස් ඊටත් වඩා විශාල දෙයක් කළා. මැරෙන්ට මොහොතකට පෙර තම අනුගාමිකයන්ට මෙසේ කිව්වා. “නුඹලාට ස්ථානයක් පිළියෙළකරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙළකරම් නම්, මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි.” (යොහන් 14:2, 3) මෙසේ අතිශුද්ධස්ථානයට නැතහොත් ස්වර්ගයට ඇතුල් වීමට හැකියාව ලැබීමත් සමඟ යේසුස් ඒ සඳහා වෙනත් අයටද මාර්ගය විවෘත කළා. (හෙබ්‍රෙව් 6:19, 20) ගණනින් 1,44,000ක් වූ මේ අය දෙවිගේ ආත්මික දේවමාළිගා විධිවිධානයෙහි උපපූජකයන් ලෙස සේවය කරන්ට යනවා. (එළිදරව් 7:4; 14:1; 20:6) ඉශ්‍රයෙල්හි උත්තම පූජකයා ගොනාගේ ලේ අතිශුද්ධස්ථානයට මුලින්ම ගෙන ගියේ පූජකයන්ගේ පාපවලට සමගි කිරීමක් හැටියටයි. ඒ හා සමානව යේසුස් වැගිරවූ රුධිරයේ වටිනාකම මුලින්ම වලංගු වුණේ මේ උපපූජකයන් 1,44,000දෙනාටයි. b

නවීන දින “ආශාවෙන දේ”

11. ඉශ්‍රායෙල්හි උත්තම පූජකයා එළුවෙකුව ඔප්පු කළේ කා වෙනුවෙන්ද? එමෙන්ම, එය පූර්වාදර්ශනය කළේ මොකක්ද?

11 වර්ෂ 1935 වන විට ආලේප ලත් අයව එකතු කිරීම සම්පූර්ණ වූ බවක් පෙනෙන්ට තිබුණා. c එහෙත් යෙහෝවා තම ගෘහය තේජසට පැමිණවීම අවසන් කර තිබුණේ නැහැ. තව තවත් “ආශාවෙන දේ” පැමිණීමට නියමිතව තිබුණා. ඉශ්‍රායෙල්හි උත්තම පූජකයා සතුන් දෙවර්ගයක් පූජා කළ බව ඔබට මතකද? එනම් පූජකයන්ගේ පාප සඳහා ගොනෙක්ව සහ පූජක නොවන ගෝත්‍රවල පාප සඳහා එළුවෙක්ව. පූජකයන්ගෙන් සංකේතවත් කළේ ස්වර්ග රාජ්‍යයේ යේසුස් සමඟ සිටින ආලේප ලත් අයව නම්, පූජක නොවන ගෝත්‍රවලින් නියෝජනය කළේ කාවද? පිළිතුර යොහන් 10:16හි යේසුස්ගේ වදන්වලින් දැකගන්ට පුළුවන්. “මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය, ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.” එමනිසා, යේසුස් වැගිරවූ රුධිරයෙන් කණ්ඩායම් දෙකක් ප්‍රයෝජන ලබන්ට යනවා. පළමුව, යේසුස් සමඟ ස්වර්ගයේ සිට පාලනය කිරීමට අපේක්ෂාවෙන් සිටින ක්‍රිස්තියානීන් සහ දෙවනුව, භූමික පාරාදීසයක සදාකාල ජීවනය බලාපොරොත්තුවෙන් සිටින අය. පැහැදිලිවම හග්ගයිගේ අනාවැකියේ සඳහන් “ආශාවෙන දේ” මගින් නියෝජනය කරන්නේ මේ දෙවන කණ්ඩායමයි.—මීකා 4:1, 2; 1 යොහන් 2:1, 2.

12. අදදින දෙවිගේ ගෘහයට බොහෝ “ආශාවෙන දේ” ඇදගනිමින් සිටින්නේ කොහොමද?

12 මේ ‘ආශා වන දෙයින්’ යෙහෝවාගේ ගෘහය තවමත් පිරෙමින් තිබෙනවා. මෑත අවුරුදුවලදී, නැඟෙනහිර යුරෝපයේ සහ අප්‍රිකාවේ සමහර රටවල මෙන්ම වෙනත් රටවල ආණ්ඩු මගින් පනවා තිබූ තහංචි ඉවත් කර තිබෙන නිසා දෙවිගේ පිහිටුවන ලද රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය මේ වන විට පය නොගැසූ දේශයන්හි පවා සශ්‍රීකව වැඩී තිබෙනවා. ආශා වන දේවල් දෙවිගේ දේවමාළිගා විධිවිධානය වෙත පැමිණීමත් සමඟ යේසුස්ගේ ආඥාවට අවනත වෙමින් තව තවත් ගෝලයන් සෑදීමට ඔවුන් වෑයම් කරමින් සිටිනවා. (මතෙව් 28:19, 20) ඔවුන් එසේ කරද්දී, “ආශාවෙන දේ” බවට පත්වීමට ඉඩ කඩ ඇති බාල මහලු බොහෝදෙනෙකුව ඔවුන්ට මුණ ගැසෙන අතර, එමගින් යෙහෝවාගේ ගෘහයට තේජස ගෙනෙමින් තිබෙනවා. මෙය සිදු වන්නේ කොහොමද යන්න දැනගැනීම සඳහා ආදර්ශ කිහිපයක් සලකා බලන්න.

13. රාජ්‍යය පණිවිඩය ව්‍යාප්ත කිරීම සඳහා බොලීවියාවේ සිටින ළදැරිය ඇගේ ජ්වලිතය පෙන්වා තිබෙන්නේ කොහොමද?

13 බොලීවියාවේ සාක්ෂිකාර දෙමාපිය රැකවරණය යටතේ සිටින පස් හැවිරිදි ගැහැනු ළමයෙක් තම පාසැල් ගුරුවරියගෙන් චාරිකා සතියේදී පාසැල් නෑවිත් සිටීමට අවසර ඉල්ලා සිටියා. ඒ මොකටද? මේ විශේෂ සතිය පුරාම දේවසේවයේ හවුල් වීමට ඇයට උවමනා කළ නිසයි. මෙය ඇගේ දෙමාපියන්ව පුදුමයට පත් කළත් ඇගේ යහපත් ආකල්පය ගැන ඔවුන් සතුටු වුණා. මේ ළදැරිය දැන් නිවාස බයිබල් පාඩම් පහක් පවත්වන අතර ඇගේ සමහර ශිෂ්‍යයන් ක්‍රිස්තියානි රැස්වීම්වලට පවා පැමිණෙනවා. ඇය ඇගේ පංතියේ ගුරුවරියව පවා රාජ්‍යශාලාවට කැඳවාගෙන ආවා. කාලයාගේ ඇවෑමෙන් සමහරවිට ඇගේ බයිබල් ශිෂ්‍යයන් “ආශාවෙන දේවල්” බවට පත් වෙමින් යෙහෝවාගේ ගෘහයට තේජස ගෙනේවි.

14. බැලූ බැල්මට උනන්දුවක් නැහැයි කියා සිතූ කෙනෙකු සමඟ ඉවසීමෙන් කටයුතු කිරීමෙන් කොරියාවේ සිටින සහෝදරියක් විපාක ලැබුවේ කොහොමද?

14 කොරියාවේ වෙසෙන එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් දුම්රිය නැවතුම්පොළේ සිටිද්දී කන් යොමුවක් පැළඳ සිංදු අසමින් සිටි පාසැල් ශිෂ්‍යයෙකුට කතා කළා. “ඔයාට ආගමක් තියෙනවාද?” ඇය ඇසුවා. “මට කිසිම ආගමක් ගැන උනන්දුවක් නැහැ” ඔහු කිව්වා. මේ සහෝදරිය අධෛර්යයට පත් වුණේ නැහැ. “ඕනෑම කෙනෙකුට කවදාහරි දවසක ආගමක් තෝරාගන්න අවශ්‍යතාවක් ඇති වෙන්න පුළුවන්. ඒත් ආගම් ගැන කිසිම දැනුමක් නැත්නම් ඔයා වැරදි එක තෝරන්න ඉඩ තියෙනවා” කියා ඇය පැහැදිලි කළා. එම ශිෂ්‍යයාගේ ඉරියව් වෙනස් වුණා. ඔහු වැඩි උනන්දුවකින් අපේ සහෝදරියට කන් දුන්නා. ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොත ඔහුට පිළිගන්වමින් ආගමක් තෝරාගන්ට කාලය ආ විට එම පොත මහත් උපකාරයක් වේවියයි ඇය කිව්වා. ඔහු කැමැත්තෙන්ම පොත පිළිගත්තා. ඊළඟ සතියේ සිට ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කිරීම ඇරඹූ අතර දැන් සියලුම රැස්වීම්වලට සහභාගි වෙනවා.

15. ජපානයේ සිටින එක්තරා ගැහැනු ළමයෙක් බයිබල් පාඩම් අරඹන්නේ කොහොමද? ඇගේ වෑයම් මල් ඵල ගැන්වී තිබෙන්නේ කොහොමද?

15 දේශනා කරන්නත් උගන්වන්නත් පාසැල ඵලදායක තැනක් බවයි ජපානයේ වෙසෙන 12 වියැති මෙගූමිගේ අදහස. පාසැලේදී බොහෝ බයිබල් පාඩම් ආරම්භ කරන්ට පවා ඇයට හැකි වී තිබෙනවා. මෙගූමි මෙය කරන්නේ කොහොමද? ඇය ඇගේ බයිබල් කියවීම සහ රැස්වීම්වලට සූදානම් වීම කරන්නේ පාසැලේ විවේක කාලයේදීයි. ඒ නිසා ඇගේ යෙහෙළියෝ බොහෝ අවස්ථාවල ඇය මොනවාද කරන්නේ කියා අසනවා. මෙගූමි පාසැලේ සමහර ක්‍රියාකාරකම්වලට සහභාගි නොවන්නේ ඇයි කියාත් සමහරු අසනවා. මෙගූමි ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙනවා. දෙවිට නමක් ඇති බවද පවසනවා. මෙය බොහෝවිට ඇගේ අසන්නන්ගේ කුතුහලය වඩවනවා. ඉන්පසු ඇය ඔවුන්ට බයිබල් පාඩමක් ඉදිරිපත් කරනවා. මෙගූමි දැන් පාඩම් 20ක් පවත්වන අතර, ඉන් 18දෙනෙක්ම ඇගේ පංතියේ ළමුන්.

16. සමච්චල් කරන්නන් අතර සිටි සමහරෙකු සමඟ බයිබල් පාඩම් ආරම්භ කිරීමට කැමරූන්හි සහෝදරයෙකුට හැකි වුණේ කොහොමද?

16 කැමරූන්හි එක්තරා වැඩපොළක වැඩ කරමින් සිටි මිනිසුන් අටදෙනෙක්, අවට ගමන් කරන්නන්ට බයිබල් ප්‍රකාශන ඉදිරිපත් කළ සහෝදරයෙකුට අඬගැසුවා. ඒ සහෝදරයාට සමච්චල් කිරීමේ අටියෙන් ඔවුන් ත්‍රිත්වය, නිරාගින්න හෝ ආත්මයේ අමරණීයභාවය වැනි දේ ඔහු විශ්වාස නොකරන්නේ ඇයිදැයි ඇසුවා. බයිබලය යොදාගනිමින් අපේ සහෝදරයා ඔවුන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නා. ප්‍රතිඵලයක් හැටියට තුන්දෙනෙක් බයිබල් පාඩම් ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් කෙනෙක් වූ ඩැනියෙල් රැස්වීම්වලට පැමිණීමට පටන්ගත් අතර, ඔහු සතුව තිබූ භූතවාදයට අයත් සියලුම දේවල් විනාශ කර දැමුවා. (එළිදරව් 21:8) අවුරුද්දකටත් අඩු කාලයකදී ඔහු බව්තීස්ම වුණා.

17. රාජ්‍යය පණිවිඩයට ඇහුම්කන් දීමට මුලින්ම කැමැත්තක් නොදැක්වූ මිනිසෙකුට දේශනා කිරීම සඳහා එල් සැල්වදෝරයේ සිටින සමහර සහෝදරයන් පාවිච්චි කළ උපක්‍රමය මොකක්ද?

17 එල් සැල්වදෝරයේ සිටින මිනිසෙක් යෙහෝවාගේ සාක්ෂිකරුවන් ළඟ ළඟම පැමිණෙන බව ආරංචි වූ විගස ඔහුගේ සැර බල්ලාව ඉදිරිපස දොර ළඟ ගැට ගැසුවා. සාක්ෂිකරුවන් තම නිවස පසු වන තුරු සිට බල්ලාව නැවත ගෙතුළට ගෙන ගියා. මේ නිසා මොහුට කතා කරන්ට කිසිම සහෝදරයෙකුට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් දවසක් වෙනත් ආකාරයේ එළඹීමක් කරන්ට ඔවුන් සිතුවා. ඔවුන් කියන දේ එම පුද්ගලයාට ඇසෙන බව දැනගත් ඔවුන්, බල්ලාට දේශනා කරන්ට තීරණය කළා. ඔවුන් බල්ලාට කිට්ටු වී ආයුබෝවන් කියා, ඌට කතා කරන්ට ලැබීම මොනතරම් සතුටක්ද කියා කිව්වා. මේ පොළොව පාරාදීසයක් වන කාලයක් ගැනත් කිසිම කෙනෙක් කෝප වන්නේ නැති බවත් ඇත්තෙන්ම සතුන් පවා සමාදානයෙන් සිටින්ට යන බවත් ඔවුන් කිව්වා! ඉන්පසු ඉතා ආචාරශීලීව බල්ලාට ශුභපතා බල්ලාගෙන් සමුගත්තා. එහෙත් ඔවුන්ව පුදුමයට පත් කරමින් ගෙයින් බට මිනිසා තමන්ට කතා කරන්ට කිසිම අවස්ථාවක සාක්ෂිකරුවන්ට ඉඩ නොදීම ගැන සමාව ඉල්ලා සිටියා. ඔහු සඟරා පිළිගත්තා. බයිබල් පාඩමක් ඇරඹුවා. මේ මිනිසා දැන් අපේ සහෝදරයෙක්. ‘ආශා වන දෙයක්!’

“භය නොවෙන්න”

18. බොහෝ ක්‍රිස්තියානීන් මුහුණ දෙන අභියෝග මොනවාද? එහෙත් යෙහෝවා තම නමස්කාරකයන්ව සලකන්නේ කොහොමද?

18 ඔබ මේ රාජ්‍යය දේශනා කිරීමේ සහ ගෝලයන් සෑදීමේ අනර්ඝ වැඩයෙහි හවුල් වෙමින් සිටිනවාද? එසේ කරමින් සිටිනවා නම් ඔබ සැබෑවටම සිටින්නේ වරප්‍රසාද ලත් තත්වයකයි. ඇත්තෙන්ම “ආශාවෙන දේ” යෙහෝවාගේ ගෘහයට ඇදගන්නේ මේ වැඩය තුළිනුයි. (යොහන් 6:44) විටින් විට ඔබ ටිකක් වෙහෙසට හෝ අධෛර්යයට පත් විය හැකි බව ඇත්තයි. ඇතැම්විට යෙහෝවාගේ ඇදහිලිවන්ත සේවකයන් පවා නොවටිනාභාවයේ හැඟීම් සමඟ පොරබදිනවා. එහෙත් අත්හරින්ට එපා! යෙහෝවා තමන්ගේ සෑම නමස්කාරකයෙකුවම සලකන්නේ ‘ආශා වන දෙයක්’ හැටියටයි. ඔබේ ගැළවීම වෙනුවෙන් ඔහු මහත් උනන්දුවකින් ක්‍රියා කරනවා.—2 පේතෘස් 3:9.

19. යෙහෝවා හග්ගයි තුළින් සපයන දිරිගැන්වීම මොකක්ද? එම වචන අපිට ශක්තියේ උල්පතක් වන්නේ කොහොමද?

19 විරුද්ධවාදීකම් හෝ වෙනත් අහිතකර තත්වයක් නිසා අපි අධෛර්යයට පත් වූ විට, නැවත පැමිණි යුදෙව්වන් කණ්ඩායමට යෙහෝවා කී දෙය, අපට ශක්තියේ උල්පතක් විය හැකියි. හග්ගයි 2:4-6 කියන්නේ මෙසේයි: ‘එහෙත්, සෙරුබ්බාබෙල්, දැන් බලවත්ව සිටින්නැයි යෙහෝවා කියන්නේය; යෙහෝශාදාක්ගේ පුත්‍ර වූ උත්තම පූජකයා වූ යෝෂුවා, නුඹත් බලවත්ව සිටින්න; දේශයේ සෙනඟ සියල්ලෙනි, නුඹලාත් බලවත්ව සිට වැඩ කරන්නැයි යෙහෝවා කියන්නේය. මක්නිසාද මම නුඹලා සමඟ සිටිමියි සේනාවල යෙහෝවා කියන්නේය. නුඹලා මිසරයෙන් පිටත්ව ආ කල මා විසින් නුඹලා සමඟ ගිවිසගත් වචනයත් මාගේ ආත්මයත් නුඹලා අතරෙහි පවතින්නේය. භය නොවෙන්න. මක්නිසාද සේනාවල යෙහෝවා මෙසේ කියන්නේය: මම ටික කලකින් තව වරක් අහස සහ පොළොවත් මුහුද සහ ගොඩත් සොලවන්නෙමි.’ යෙහෝවා අපිට ශක්තිමත් වෙන්ට කියා කියනවා පමණක් නොව, ශක්තිය ලබාගැනීමට ක්‍රමයකුත් සපයන බව සැලකිල්ලට ගන්න. ඒ කොහොමද? මේ බිය සැක දුරලන වචන පෙළ දෙස බලන්න: “මම නුඹලා සමග සිටිමි.” අපි කුමන ආකාරයක බාධකවලට මුහුණ දුන්නත් යෙහෝවා අප සමඟ සිටින බව දැනගැනීමට ලැබීම අපේ ඇදහිල්ල මොනතරම් ශක්තිමත් කරනවාද!—රෝම 8:31.

20. පෙර නොවූ විරූ ආකාරයකින් අද යෙහෝවාගේ ගෘහය තේජසෙන් පිරෙන්නේ කොහොමද?

20 යෙහෝවා තමන්ගේ සෙනඟ සමඟ සිටින බව නිසැකවම ඔප්පු කර තිබෙනවා. එය හරියට හග්ගයි තුළින් යෙහෝවා කීවා හා සමානවයි: “මේ ගෘහයේ අන්තිම තේජස පළමු එකේ තේජසට වඩා මහත්වන්නේය . . . මේ ස්ථානයෙහිදී මම සමාදානය දෙන්නෙමි.” (හග්ගයි 2:9) ඇත්තෙන්ම අදදින මහත්ම තේජස පැමිණෙන්නේ යෙහෝවාගේ ආත්මික දේවමාළිගාවෙන්. සියදහස් ගණන්දෙනා සෑම අවුරුද්දකදීම නිර්මල නමස්කාරය වෙතට එක් රොක් වෙනවා. ඔවුන්ට ඇති තරම් ආත්මික ආහාර සපයා දී තිබෙනවා. මේ කැලඹිලිකාර ලෝකයේ පවා දෙවිගේ නව ලෝකයේදී පමණක් තිබෙන්ට යන සමාදානය ඔවුන් දැන් අද්දකිනවා.—යෙසායා 9:6, 7; ලූක් 12:42.

21. අපේ අධිෂ්ඨානය විය යුත්තේ මොකක්ද?

21 ආර්මගෙදොන්හිදී යෙහෝවා විසින් ජාතීන්ව සෙලවීම අත ළඟයි. (එළිදරව් 16:14, 16) එබැවින් තව ජීවිත බොහෝමයක් ගළවාගැනීම සඳහා ඉතිරිව තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමු. යෙහෝවාගේ මහත් ආත්මික දේවමාළිගාවෙහි දිගටම නමස්කාර කරමින් තව තවත් ‘ආශා වන දෙයින්’ එය පුරවමු. මෙසේ අපේ වැඩය අවසානයි කියා යෙහෝවා කියන තුරු අපි ශක්තිමත්ව ඔහු කෙරෙහි පූර්ණ විශ්වාසයෙන් සිටීමට අධිෂ්ඨාන කරගනිමු!

[පාදසටහන්වල]

a සාලමොන්ගේ දේවමාළිගාව තැනීමට පරිත්‍යාග කළ දේවල වර්තමාන වටිනාකම ඩොලර් සියකෝටි 40ක් (රුපියල් සියකෝටි 2840ක්) පමණ වෙයි. ඉදි කිරීමේ වැඩයට පාවිච්චි නොකළ යමක් තිබුණා නම් ඒවා දේවමාළිගා භාණ්ඩාගාරයේ තැන්පත් කළා.—1 රාජාවලිය 7:51.

b ඉශ්‍රායෙල්හි උත්තම පූජකයා මෙන් නොව යේසුස් තුළ කිසිම පාපයක් තිබුණේ නැති නිසා ඔහු සඳහා සමගි කිරීමක් අවශ්‍ය වුණේ නැහැ. කෙසේවෙතත්, ඔහුගේ හවුල් පූජකයන්ව පව්කාර මනුෂ්‍යවර්ගයා අතුරින් මිලේට ගත් නිසා ඔවුන් තුළ පාපය තිබුණා.—එළිදරව් 5:9, 10.

c 1998 පෙබරවාරි 15 මුරටැඹ කලාපයේ 17-22 දක්වා පිටු බලන්න.

ඔබට මතකද?

• ද්‍රව්‍යමය දේවලට වඩා යෙහෝවාට වැඩියෙන්ම වටින්නේ මොනවාද?

• යේසුස් වැගිරවූ රුධිරයෙන් ප්‍රයෝජන ලබන කණ්ඩායම් දෙක මොකක්ද?

• යෙහෝවාගේ ගෘහය තේජසින් පුරවන “ආශාවෙන දේ” කවුද?

• හග්ගයිගේ අනාවැකිය අද ඉටු වෙමින් පවතින බවට තිබෙන සාක්ෂි මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[16වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

යෙහෝවාගේ පුරාණ දේවමාළිගාවෙන් නියෝජනය කරන්නේ කුමක්ද කියා ඔබ දන්නවාද?

අතිශුද්ධස්ථානය

තිරය

ශුද්ධස්ථානය

පූජාසනය

ශාලාව

මණ්ඩප මළුව

[17වන පිටුවේ පින්තූරය]

උත්තම පූජකයා පූජකයන්ගේ පාප සඳහා ගොනෙක්වද, ඉශ්‍රායෙල්හි පූජක නොවන ගෝත්‍ර සඳහා එළුවෙක්වද පූජා කළා

[18වන පිටුවේ පින්තූරය]

ලෝක ව්‍යාප්ත රාජ්‍ය දේශනා කිරීමේ වැඩය මගින් යෙහෝවාගේ ගෘහයට බොහෝදෙනෙකුව අදිනු ලබනවා