Skip to content

පටුනට යන්න

ඉතාලියේදී සැනසිලිදායක පණිවිඩයක් දෙමින්

ඉතාලියේදී සැනසිලිදායක පණිවිඩයක් දෙමින්

අපි ඇදහිල්ල ඇත්තෝ වන්නෙමු

ඉතාලියේදී සැනසිලිදායක පණිවිඩයක් දෙමින්

“සෑම සැනසිල්ලේ දෙවි” යෙහෝවායි. ඔහුව අනුකරණය කිරීමට ඉගෙනගැනීමෙන්, ඔහුගේ සේවකයන්ට ‘කොයි පීඩාවක් නුමුත් විඳින්නන් සනසන්ට හැකියි.’ (2 කොරින්ති 1:3, 4; එපීස 5:1) මෙය, යෙහෝවාගේ සාක්ෂිකරුවන් සිදු කරන දේශනා වැඩයෙහි මූලික පරමාර්ථයකි.

අවශ්‍යතාව ඇති ස්ත්‍රියකට උපකාර කිරීම

විශේෂයෙන්ම මෑත කාලයේදී, දිළිඳුකම, යුද්ධ හා වඩාත් සැපපහසු ජීවිතයකට ඇති ආශාව හේතුවෙන් බොහෝදෙනෙකු වඩා ධනවත් රටවලට සංක්‍රමණය වීමට පෙලඹී ඇත. නමුත් නව පරිසරයකට හුරුවීම පහසු දෙයක් නොවේ. මාන්යෝලාගේ අද්දැකීම සලකා බලමු. ඇය ජීවත් වෙමින් සිටියේ බොගොමානේරෝහි සෙසු ඇල්බේනියානුවන් සමඟයි. ඇය ඉතාලියට නීති විරෝධීව පැමිණ තිබුණු බැවින්, යෙහෝවාගේ සාක්ෂිකාරියක වූ වාන්ඩා සමඟ කතා කිරීමට ඇය අදිමදි කළාය. භාෂාව ප්‍රශ්නයක් වුවත්, කෙසේ හෝ මාන්යෝලාව හමුවීමට වාන්ඩා වේලාවක් නියම කරගත් අතර මාන්යෝලා විගස දේවවචනය පාඩම් කිරීමට මහත් උනන්දුවක් දැක්වුවාය. සති කීපයකට පසුව, එම නිවසේ කිසිවෙකු නැති බව වාන්ඩාට දැනගැනීමට ලැබිණ. කුමක්ද සිදු වී තිබුණේ? එම නිවසේ විසූ සියල්ලන්ම පලා ගොස් තිබිණ. එයට හේතුව? මිනීමැරුමක් සම්බන්ධයෙන් සැක පිට ඔවුන්ගෙන් කෙනෙකු වූ මාන්යෝලාගේ පෙම්වතාව සොයමින් සිටි බව වාන්ඩාට සැල විය!

වාන්ඩාට යළිත් මාන්යෝලාව මුණගැසුණේ මාස හතරකට පසුවය. “ඇය සුදුමැළි වෙලා, ඇදිලා ගිහින් තිබුණා. ඇත්තෙන්ම ඇය හුඟක් කරදරවලට මූණපාලා තිබුණ බව ඇගේ පෙනුමෙන්ම මට තේරුණා” යයි වාන්ඩා පවසයි. තමාගේ පෙම්වතා හිරේ සිටි බවත්, උපකාරය පතා මිතුරන් වෙත ගියත් ඔවුන් ඇගේ පිහිටට පැමිණියේ නැති බවත් මාන්යෝලා පැහැදිලි කළාය. කලකිරීමට පත් වූ ඇය කළේ උපකාරය පතා දෙවිට යාච්ඤා කිරීමයි. එවිට ඇයට බයිබලය ගැන කතා කළ වාන්ඩාව මතක් විය. මාන්යෝලාව යළිත් දැකීමට ලැබීම ඇයට මොනතරම් සතුටක් වීද!

නැවතත් බයිබල් පාඩම පටන්ගත් අතර වැඩි කල් නොගොස් මාන්යෝලා ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමට පටන්ගත්තාය. ඉතාලියේම වාසය කිරීමට නීත්‍යනුකූල අවසරයක් ලබාගැනීමට ඇයට හැකි විය. වසරකට පසුව, මාන්යෝලා බව්තීස්ම ලත් සාක්ෂිකාරියක බවට පත් විය. දිව්‍ය පොරොන්දුවලින් සැනසීමක් ලැබූ ඇය, තම රටවැසියන් සමඟ සැනසිලිදායක බයිබල් පණිවිඩය බෙදාගැනීමට යළිත් ඇල්බේනියාවට ගොස් ඇත.

සංක්‍රමික කඳවුරු භූමියක සාක්ෂිදැරීම

මාන්යෝලා මෙන් වෙනත් රටවලින් පැමිණ සිටින්නන්ට සාක්ෂිදැරීමට ඉතාලියානු සභා විධිවිධාන යොදා තිබේ. උදාහරණයක් වශයෙන්, ෆ්ලොරන්ස්හි පිහිටි සභාවක් මගින් නිතිපතා සංක්‍රමික කඳවුරු භූමියකට යෑමට විධිවිධාන යොදන ලදි. කඳවුරුවල වෙසෙන පදිංචිකරුවන් විවිධ දුෂ්කරතා අද්දකිමින් සිටි අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් නැඟෙනහිර යුරෝපයෙන්, මැසිඩෝනියාවෙන් හා කොසොවෝවලින් පැමිණි අයයි. සමහරෙකු මත්ද්‍රව්‍ය හෝ මත්පැනට ඇබ්බැහි වී තිබිණ. බොහෝදෙනෙක් සුළු සුළු හොරකම් කරමින් එදා වේල සොයාගත්හ.

මෙම කඳවුර තුළ දේශනා කිරීම අභියෝගයක් විය. කෙසේනමුත්, පාඔලා නම් පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙකුට අවසානයේදී මැසිඩෝනියානු කාන්තාවක වූ ජාක්ලෙනාව මුණගැසිණ. සංවාදයන් කීපයක් පැවැත්වූ පසුව, ජාක්ලෙනා ඇගේ මිතුරියක් වූ සූසානාට බයිබලය සෝදිසි කර බැලීමට දිරිගැන්වුවාය. ප්‍රතිඵලය වූයේ, සූසානා වෙනත් නෑදෑයන් සමඟ කතා කිරීමයි. වැඩි කලක් යෑමට පෙර, පවුලේ පස්දෙනෙක් නිතිපතා බයිබලය පාඩම් කරමින් සිටි අතර ක්‍රිස්තියානි රැස්වීම්වලට යෑමටත්, උගනිමින් සිටි දේ ක්‍රියාවට නැංවීමටත් පටන්ගෙන තිබිණ. ඔවුන්ට කම්කටොලුවලට මූණපෑමට සිදු වුවත්, යෙහෝවාගෙන් හා ඔහුගේ වචනයෙන් ඔවුහු සැනසීමක් ලබති.

කන්‍යා සොහොයුරියක් යෙහෝවාගෙන් ලැබෙන සැනසීම භාරගනී

ෆෝමියා නගරයෙහි ආසුන්ටා නම් පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරියක්, අමාරුවෙන් ඇවිදිමින් සිටි කාන්තාවකට කතා කළාය. මෙම ස්ත්‍රිය රෝහල්වල හා පෞද්ගලික නිවාසවල සිටින රෝගීන්ට හා අබල දුබල අයට උපකාර කරන ආගමික නිකායකට අයත් කන්‍යා සොහොයුරියකි.

ආසුන්ටා කන්‍යා සොහොයුරියට මෙසේ පැවසුවාය: “ඔබත් වේදනාවෙන් පෙළෙනවා නේද? මොනව කරන්නද අපි හැමෝටම ගැටලු තියෙනවනෙ.” මේ අවස්ථාවේදී කන්‍යා සොහොයුරිය ඉකි බිඳිමින් හැඬීමට පටන්ගත් අතර, ඇයට බරපතළ සෞඛ්‍ය ගැටලු තිබෙන බව පැහැදිලි කළාය. බයිබලයේ දෙවිට ඇයව සැනසිය හැකි බව පවසමින් ආසුන්ටා ඇයව දිරිගැන්නුවාය. එම කන්‍යා සොහොයුරිය ආසුන්ටා ඉදිරිපත් කළ බයිබලය මත පදනම් සඟරා ලබාගත්තාය.

ඔවුන්ගේ ඊළඟ සංවාදයේදී, පාල්මිරා නම් එම කන්‍යා සොහොයුරිය තමා සෑහෙන වේදනාවක් විඳිමින් සිටි බව පිළිගත්තාය. ඇය කන්‍යා සොහොයුරියන් විසින් පවත්වාගෙන ගිය ආයතනයක බොහෝ කලක් ජීවත්ව තිබිණ. සෞඛ්‍ය හේතු මත ඇයට තාවකාලිකව එයින් පිටවීමට සිදු විය. නමුත් නැවත ඇයව භාරගනු නොලැබීය. කෙසේනමුත්, පාල්මිරාට හැඟුණේ තමා කන්‍යා සොහොයුරියක් හැටියට සිදු කළ පොරොන්දු මගින් දෙවිට දිගටම භාර වී ඇති බවය. “ප්‍රතිකාර” ලබාගැනීමට ඇය සුවකරන්නන් ළඟට ගියත්, ලැබූ අද්දැකීමෙන් මානසිකව වේදනා වින්දාය. පසුව, පාල්මිරා බයිබලය පාඩම් කිරීමට එකඟ වූ අතර, වසරක් පුරා ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියාය. ඉන්පසු ඇය වෙනත් ප්‍රදේශයකට ගිය අතර සාක්ෂිකරුවන් සමඟ සම්බන්ධයක් නැති විය. අසුන්ටා ඇයව ආපසු දැක්කේ වසර දෙකක් ගත වූවාට පසුවයි. පාල්මිරා ඇගේ පවුලෙන් හා පූජක පංතියෙන් බොහෝ විරුද්ධවාදිකම් අද්දුටුවාය. කෙසේනමුත්, ඇය යළිත් බයිබලය පාඩම් කිරීමට පටන්ගෙන ආත්මික ප්‍රගතියක් ලබා, යෙහෝවාගේ සාක්ෂිකාරියක් හැටියට බව්තීස්ම වූවාය.

එසේය, ‘සැනසිල්ල දෙන දෙවිගේ’ පණිවිඩයෙන් බොහෝදෙනා දිරිගැන්වීම ලබන බව පැහැදිලිය. (රෝම 15:4-6) මේ හේතුවෙන්, ඉතාලියේ වෙසෙන යෙහෝවාගේ සාක්ෂිකරුවෝ දෙවිගේ මවිතාකාර සැනසිලිදායක පණිවිඩය අන්‍යයන්ට ඉදිරිපත් කිරීම මගින් දිගටම දෙවිව අනුකරණය කිරීමට අදිටන් කරගෙන සිටිති.