Skip to content

පටුනට යන්න

ඔබ කෙබඳු පුද්ගලයෙක්ද?

ඔබ කෙබඳු පුද්ගලයෙක්ද?

ඔබ කෙබඳු පුද්ගලයෙක්ද?

එක්තරා අහංකාර පුද්ගලයෙක් විය. ආණ්ඩුව තුළ උසස් තනතුරක් හෙබවීමේ ප්‍රස්තාව ලැබූ ඔහු, තමාට පිරිනැමූ ගෞරවයෙන් සහ ප්‍රණාමයෙන් ඉමහත් සතුටක් ලැබීය. කෙසේවෙතත්, අපේක්ෂිත ප්‍රණාමය එක් නිලධාරියෙකුගෙන් නොලැබිණ. මෙය ඔහුගේ ඉමහත් කෝපයට හේතුවක් විය. පළිගැනීමේ චේතනාවෙන් මෙම අහංකාර නිලධාරියා එම පුද්ගලයාගේ ජනතාව අධිරාජ්‍යයෙන් අතුගා දැමීමට කුමන්ත්‍රණය කළේය. අහංකාරය හේතුවෙන් එම පුද්ගලයා තුළ තිබුණේ මොනතරම් අසමබර ආකල්පයක්ද?

කුමන්ත්‍රණකාරයාගේ නම හාමන්ය. ඔහු පර්සියාවේ අහෂ්වේරොෂ් රජුගේ රජවාසලේ ඉහළ පෙළේ නිලධාරියෙකි. හාමන්ගේ උදහසට හේතු වූ තැනැත්තා, මොර්දෙකයි නමැති යුදෙව් ජාතිකයාය. සම්පූර්ණ ජනතාවක්ම වනසා දැමීමට තරම් දුරදිග යමින් හාමන් ගත් ක්‍රියාමාර්ගය අන්තවාදී ප්‍රතික්‍රියාවක් වුවද, උඩඟුකමෙන් කොතරම් බරපතළ ප්‍රතිවිපාක ඇති වේද යන්නත්, එය මොනතරම් අන්තරාවක්ද යන්නත් මෙයින් මනාව පැහැදිලි වේ. හාමන්ගේ අහංකාර ස්වභාවය ඉශ්‍රායෙල් ජනතාව ඉමහත් අන්තරාවකට පත් කළා පමණක් නොව, හාමන්ව ප්‍රසිද්ධියේම අවමන් කිරීමටත්, අන්තිමේදී ඔහුගේ මරණයටත් මඟ පෑදීය.—එස්තර් 3:1-9; 5:8-14; 6:4-10; 7:1-10.

උඩඟුකම—සැබෑ නමස්කාරකයන්ට පවා තිබෙන දුර්වලකමක්

අප දෙවි සමඟ “පමණ දැන ගමන් කිරීම” යෙහෝවා අපගෙන් බලාපොරොත්තු වේ. (මීකා 6:8NW) තමාගේ පමණ දැන කටයුතු කිරීමට අපොහොසත් වූ අයගේ ආදර්ශවලින් බයිබල් වාර්තාව පිරී පවතී. ඒවා කියවීමෙන් මොවුන්ට ඒ හේතුවෙන් නොයෙකුත් ගැටලු සහ විපත්තිවලට මුහුණ දීමට සිදු වූ බව පෙනී යයි. එමනිසා අසමබර ලෙස කල්පනා කිරීම මොනතරම් අඥානකමක්ද, මොනතරම් අන්තරාවක්ද කියා දැකගැනීමට එම වාර්තාවෙන් ආදර්ශ කිහිපයක් සලකා බැලීම අපට මහෝපකාරි විය හැක.

දෙවිගේ අනාගතවක්තෘ යෝනා තුළ කොතරම් අසමබර ආකල්පයක් වර්ධනය වූවාද කිවහොත්, නිනිවයට ගොස් එහි විසූ දුෂ්ට ජනතාවට යෙහෝවා ගෙනෙන විනිශ්චය ගැන අනතුරු ඇඟවීමට ලැබූ දිව්‍යමය පැවරුම පසෙකලා පැන යෑමට ඔහු උත්සාහ කළේය. (යෝනා 1:1-3) ඉන්පසුව, ඔහු කළ අනතුරු ඇඟවීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිනිවයේ වැසියන් පසුතැවිලි වූ විට, යෝනා ඉමහත් කෝපයෙන් මුහුණ බුම්මාගෙන සිටියේය. අනාගතවක්තෘ කෙනෙක් වශයෙන් තමාට හිමි නම්බුව යෝනාට කොතරම් වැදගත් වූවාද කිවහොත්, නිනිවයේ වැසියන් දහස් ගණනකගේ ජීවිත ඔහු තුට්ටුවකටවත් මායිම් නොකළේය. (යෝනා 4:1-3) එබැවින් අපි ඕනෑවට වැඩිය අපගේම තත්වය ගැන තැකීමට නැඹුරු වන්නෙමු නම්, අවට සිටින පුද්ගලයන් සහ අවට සිදු වන දේවල් දෙස නිවැරදි දෘෂ්ටියක් තබාගැනීම අසීරු කාර්යයක් විය හැක.

උස්සියාගේ අවාදර්ශයද සලකා බලමු. යුදාහි යහපත් රජෙක් ලෙස ඔහු කාලයක් කටයුතු කළේය. කෙසේවෙතත්, ඔහු තුළ අසමබර ආකල්පයක් වර්ධනය වී, පූජකයන්ට හිමි ඇතැම් රාජකාරීන් තම අතට ගන්න අහංකාරව වෙර දැරීය. තමාගේ පමණ නොදැන, ඉතා හිතුවක්කාර ලෙස ක්‍රියා කළ නිසා, දිව්‍ය අනුමැතිය පමණක් නොව, යහපත් සෞඛ්‍ය තත්වය පවා ඔහුට අහිමි විය.—2 ලේකම් 26:3, 16-21.

යේසුස්ගේ ප්‍රේරිතයන් තුළ පවා අසමබර ආකල්ප වර්ධනය විය. ඔවුහු කීර්තිය හා බලය පසුපස හඹාගියෝය. එමනිසා ඔවුහු ලොකු අවදානමකට මුහුණ දුන්හ. යේසුස්ගේ අවසාන රාත්‍රියේ ඉමහත් පරීක්ෂාවක් හමුවේ, ඔවුහු යේසුස්ව අත්හැර පලාගියහ. (මතෙව් 18:1; 20:20-28; 26:56; මාර්ක් 9:33, 34; ලූක් 22:24) පමණ දැන කටයුතු නොකළ නිසාත්, උඩඟු ආකල්පයක් වර්ධනය වූ නිසාත්, යෙහෝවාගේ අරමුණ සහ ඔහුගේ කැමැත්ත සම්බන්ධයෙන් ඔවුන්ට හිමිව තිබූ කාර්යභාරය ඔවුන්ගේ දෘෂ්ටියෙන් ඉවත්ව යෑමේ තර්ජනයට ඔවුහු මුහුණ දුන්හ.

අහංකාරයේ අහිතකර ප්‍රතිඵල

ඕනෑවට වඩා අප ගැන සිතනවා නම්, එය වේදනාවට හේතුවක් විය හැකි අතර, අන්‍යයන් සමඟ අපගේ සබඳතාවලටද එමගින් හානියක් සිදු විය හැක. නිදසුනකට, ඔබ කාමරයක අසුන්ගෙන සිටිනවායයි සිතන්න. එම කාමරයෙහිම සිටින යුවළක් මොනවාදෝ යමක් එකිනෙකාට කොඳුරමින් සිනාසෙන ආකාරය ඔබේ අවධානයට ලක් විය හැක. ඔබ ඕනෑවට වඩා ඔබ ගැන සිතන කෙනෙක් නම්, ඒ යුවළ කොඳුරමින් සිටින නිසා, හාස්‍යයට ලක් කරවන්නේ ඔබවයි යන වැරදි නිගමනයට එළඹිය හැක. මනස ඊට කොතරම් සකස් වී ඇද්ද කිවහොත්, ඔවුන්ගේ හැසිරීමට විකල්ප හේතුවක් තිබිය හැකියි යන්න නිගමනය කිරීමට අපට නුපුළුවන. කාමරයේ වෙනත් කෙනෙක් නැති නිසා, වෙන කවුරු ගැන කතා කරන්නද කියා සිතීමට පෙලඹේ. සමහරවිට ඔබ කැළඹී ඒ යුවළට නැවත මොනම හේතුවකටවත් කතා කරන්නේ නැතැයි කියා තීරණය කළ හැක. එමනිසා, අපට එවැනි අසමබර ආකල්පයක් තිබේ නම්, වරදවා වටහාගැනීම් ඇතිවීමට, හිතමිතුරන්, පවුලේ සාමාජිකයන් සහ වෙනත් අය සමඟ සම්බන්ධතා පලුදු කරගැනීමට එය මඟ පෑදිය හැක.

හිස උදුම්මාගත් ආකල්පයක් ඇති අය නිතරම තමන් සතු ‘විශිෂ්ට’ කුසලතා, සමර්ථකම් හෝ සැප සම්පත් ආදිය ගැන පුරසාරම් දොඩමින් පුරාජේරුකාරයෝ බවට පත් වෙත්. එසේ නැතහොත්, සංවාදයකදී අන්‍යයන්ට කතා කරන්න නොදී, තමා ගැන මොනයම් දෙයක් හෝ කීමට පෙලඹෙති. මෙවැනි කතා විලාසයකින් පැහැදිලි වන්නේ සැබෑ ප්‍රේමයේ බරපතළ ඌනතාවක් ඇති බවයි. තවද එය අන්‍යයන්ගේ ඉමහත් කෝපයටද හේතුවක් විය හැක. මේ අනුව, උඩඟු පුද්ගලයාගෙන් අන්‍යයන් ඈත් වන බැවින්, අන්තිමේදී ඔහු තනි වේ.—1 කොරින්ති 13:4.

යෙහෝවාගේ සාක්ෂිකරුවන් වශයෙන් අපගේ ප්‍රසිද්ධ සේවයෙහි යෙදෙද්දී, අපව සරදමට හෝ සමච්චලයට හෝ ප්‍රතික්ෂේප කිරීම්වලට ලක් වන අවස්ථා බොහෝය. මෙහිදී එවන් විරුද්ධවාදීකම් ඇත්තටම එල්ල වන්නේ පෞද්ගලිකව අපට විරුද්ධව නොව, නමුත් අපගේ පණිවිඩයේ උල්පත වන යෙහෝවාට විරුද්ධව යන්න අප සිහියේ තබාගත යුතුය. කෙසේවෙතත්, අපගේ තත්වය ගැන අප ඕනෑවට වඩා සිතනවා නම්, බරපතළ ප්‍රතිඵල විඳීමට සිදු විය හැක. අවුරුදු ගණනාවකට කලින්, නිවැසියෙකු වචනවලින් කළ ප්‍රහාරයක් දරාගත නොහැකි වූ සහෝදරයෙක්, කෝපයෙන් ප්‍රතිචාරය දැක්වීය. (එපීස 4:29) ඉන්පසුව, ඒ සහෝදරයා නැවතත් ගෙයින් ගෙට සේවයට සහභාගි වූයේ නැත. ඔව්, උඩඟුකම නිසා, දේශනා කරද්දී අප ප්‍රකෝප විය හැක. එසේ නම් එවන් දෙයක් සිදු නොවීමට වගබලා ගනිමු. ක්‍රිස්තියානි සේවයෙහි යෙදී සිටීමේ වරප්‍රසාදය ගැන නිසි අගයක් පවත්වාගැනීමට නිහතමානීව යෙහෝවාගේ පිහිට පතමු.—2 කොරින්ති 4:1, 7; 10:4, 5.

අහංකාර ස්වභාවය, අපට බෙහෙවින් ප්‍රයෝජනවත් වන උපදෙස් පිළිගැනීමටද බාධාවක් විය හැක. වසර කිහිපයකට පෙර, මධ්‍යම අමෙරිකානු රටක නහඹරයෙක් ක්‍රිස්තියානි සභාවේ දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කතාවක් ඉදිරිපත් කළේය. පාසැල් අවේක්ෂක එතරම් උපායශීලීභාවයක් නොමැතිව ඔහුට ඍජු උපදෙස් කිහිපයක් දුන්නේය. ඒ උපදෙස් දරාගත නොහැකිව, ප්‍රකෝප වූ නහඹරයා තම බයිබලය බිමට ගසා, නැවත රාජ්‍ය ශාලාවට පය නොතබන අදිටනින් වේගයෙන් පිටතට දිව ගියේය. කෙසේ නමුත්, දින කිහිපයකට පසු, ඔහු තම උඩඟුකම යටපත් කරමින්, පාසැල් අවේක්ෂක හා සමාදාන වී, ලැබූ උපදෙස් නිහතමානීව භාරගත්තේය. කාලයාගේ ඇවෑමෙන්, මේ තරුණයා මේරූ ක්‍රිස්තියානියෙක් බවට පත් විය.

අප පමණ දැන කටයුතු නොකරමින්, අප ගැන හිස උදුම්මාගත් ආකල්පයක් වර්ධනය කරගන්නවා නම්, දෙවි සමඟ ඇති අපගේ සබඳතාව පලුදු විය හැක. හිතෝපදේශ 16:5හි මෙම අවවාදය අන්තර්ගතය: ‘උඩඟු සිත් ඇති කවුරු නුමුත් යෙහෝවාට පිළිකුලක්ය.’

සමබර ආකල්පයක්

එසේ නම්, අප ගැන ඕනෑවට වඩා සිතීමෙන් වැළකී සිටිය යුතු බව පැහැදිලිය. කෙසේවෙතත්, අප කරන කියන දේ සම්බන්ධයෙන් කල්පනාකාරි නොවිය යුතු බව මින් අදහස් නොකෙරේ. අවේක්ෂකයන්, උපස්ථායක සේවකයන්, ඇත්තෙන්ම සභාවේ සිටින සියලුදෙනාම, සන්සුන්ව නොහොත් කල්පනාකාරිව කටයුතු කළ යුතු බව බයිබලයෙහි ගෙනහැර දක්වා තිබේ. (1 තිමෝති 3:4, 8, 11; තීතස් 2:2) එසේ නම්, ක්‍රිස්තියානියෙක්ට පමණ දැන, සමබර මෙන්ම සන්සුන් ආකල්පයක් වර්ධනය කරගෙන දිගටම පවත්වාගත හැක්කේ කෙසේද?

සමබර ආකල්පයක් පවත්වාගෙන යෑමට සමත් වූ පුද්ගලයන් පිළිබඳ දිරිගන්වනසුලු ආදර්ශ රැසක් බයිබලයෙහි දක්නට තිබේ. මෙහිදී යේසුස් ක්‍රිස්තුස්ගේ නිහතමානී ආදර්ශය කැපීපෙනෙන්නකි. තම පියාගේ කැමැත්ත කිරීමටත්, මනුෂ්‍යවර්ගයාට ගැළවීම ලබා දීමටත්, දෙවිගේ පුත්‍රයා කැමැත්තෙන්ම තම තේජාන්විත ස්වර්ගික තත්වය අත්හැර, මනුෂ්‍යයෙක් බවට පත් විය. තමාට විරුද්ධව එල්ල කළ පීඩා, නින්දාපහාස හමුවෙත්, ඉතා නින්දාසහගත මරණයක් හමුවෙත්, යේසුස් ආත්ම-දමනයෙන් සහ ආත්ම ගරුත්වයකින් ක්‍රියා කළේය. (මතෙව් 20:28; පිලිප්පි 2:5-8; 1 පේතෘස් 2:23, 24) මෙලෙස ක්‍රියා කිරීමට යේසුස්ට හැකි වූයේ කෙසේද? යෙහෝවා මත සම්පූර්ණයෙන්ම රඳා සිටි නිසාත්, දිව්‍ය කැමැත්ත ඉටු කිරීමට අදිටන් කරගත් නිසාත්ය. යේසුස් දෙවිගේ වචනය හොඳින් අධ්‍යයනය කළේය. උනන්දුවෙන් යාච්ඤා කළේය. දේවසේවය වෙනුවෙන් නොමඳ උත්සාහයක් දැරීය. (මතෙව් 4:1-10; 26:36-44; ලූක් 8:1; යොහන් 4:34; 8:28; හෙබ්‍රෙව් 5:7) එමනිසා, සමබර ආකල්පයක් වර්ධනය කරගෙන පවත්වාගැනීමට නම්, අප යේසුස්ගේ ආදර්ශය අනුගමනය කළ යුතුය.—1 පේතෘස් 2:21.

සාවුල් රජගේ පුත් යොනාතාන් තවත් කදිම ආදර්ශයකි. තම පියාගේ අකීකරුකම හේතුවෙන් අනාගත රජවීමේ ප්‍රස්තාව යොනාතාන්ට අහිමි විය. (1 සාමුවෙල් 15:10-29) යොනාතාන්ට එය දරාගත නොහැකි වූ දෙයක් බවට පත් වූවාද? තමා වෙනුවට පාලනය ලබාගැනීමට සිටි තරුණ දාවිත් ගැන ඔහුට ඊර්ෂ්‍යාවක් ඇති වූවාද? යොනාතාන් දාවිත්ට වඩා වයසින් සහ බොහෝවිට අද්දැකීමෙන් වැඩි කෙනෙක් විය. කෙසේවෙතත්, ඔහු යෙහෝවාගේ විධිවිධානයට යටහත්ව සහ නිහතමානීව අවනත වී දාවිත්ට පක්ෂපාතව අතහිත දුන්නේය. (1 සාමුවෙල් 23:16-18) එසේ නම්, දෙවිගේ කැමැත්ත ගැන පැහැදිලි අදහසක්ද, ඊට යටත් වීම සඳහා කැමැත්තක්ද අපට ඇත්නම්, ‘සුදුසු තරමට වඩා අප ගැන නොසිතීමට’ එය ඉවහල් වේ.—රෝම 12:3.

පමණ දැන ක්‍රියා කිරීමේ සහ නිහතමානීකම විදහාපෙන්වීමේ වටිනාකම යේසුස් ඉගැන්වීය. සරණ මංගල්‍යයකට කැඳවනු ලැබුවොත්, “ප්‍රධානාසනයෙහි” ඉඳ නොගත යුතු බව තම ගෝලයන්ට පැවසීමෙන් ඔහු එම කාරණය නිදර්ශනය කළේය. මන්ද, වඩා උතුම් කෙනෙක් පැමිණියේ නම්, පහත්ම ස්ථානයට යෑමේ අවමානය විඳීමට සිදු විය හැකි බැවිනි. ඉගෙනගත හැකි පාඩම පැහැදිලි කරමින් යේසුස් පැවසුවේ මෙසේය: “තමුන්ම උසස්කරගන්න හැමදෙනාම පහත්කරනු ලබන්නෝය; තමාම යටත්කරගන්නා උසස්කරනු ලබන්නේය.” (ලූක් 14:7-11) යේසුස්ගේ උපදේශයට කන් දී, ‘යටහත්කම පැළඳ සිටීම’ ඥානවන්ත ක්‍රියාමාර්ගය වේ.—කොලොස්සි 3:12; 1 කොරින්ති 1:31.

සමබර ආකල්පයක ආශීර්වාද

යෙහෝවාගේ සේවකයන්ට තම සේවයෙන් නියම ප්‍රීතියක් අත් කරගැනීමට ඉවහල් වන්නේ පමණ දැන ක්‍රියා කරන, නිහතමානී ස්වභාවයක් තිබීමය. වැඩිමහල්ලන් නිහතමානීව “රැළට අනුකම්පා” කිරීමෙන් එළඹීමට වඩාත් පහසු පුද්ගලයන් විය යුතුය. (ක්‍රියා 20:28, 29) එමනිසා, ඔවුන් සමඟ කතාබහ කරන විටත්, ඔවුන්ගෙන් යම් උපකාරයක් ඉල්ලීමට සිදු වන විටත් සභාවේ කිසිවෙකුට අපහසුවක් නොදැනේ. ප්‍රතිඵලයක් වශයෙන් සභාව ප්‍රේමනීය, උණුසුම් මෙන්ම විශ්වාසවන්ත ස්වභාවයකින් කිට්ටු වී ඇති ආකාරයක් දිස් විය හැක.

අපගේ තත්වය ගැන ඕනෑවට වඩා නොසිතීම හොඳ මිත්‍රයන් ඇති කරගැනීමටද උපකාරවත් වේ. සමහරවිට, තරඟකාරි ස්වභාවයකින් කටයුතු කිරීමට සහ තමන් කරන දෙයින් හෝ ද්‍රව්‍යමය සම්පතින් හෝ අන්‍යයන්ට වඩා කැපීපෙනෙන්න සමහරු උත්සාහ කරති. පමණ දැන ක්‍රියා කිරීම සහ නිහතමානීකම එවන් තරඟකාරි ස්වභාවයක් අප තුළ ඇතිවීම වළක්වයි. දිව්‍යමය වූ මෙම ගුණාංග විදහාපෙන්වීමෙන් අන්‍යයන් ගැන වඩාත් සැලකිලිමත්ව කටයුතු කිරීමට හැකි වේ. ප්‍රතිඵලයක් වශයෙන් අවශ්‍ය අයට සැනසීම සහ උපකාර ලබා දීමටද මඟ පෑදේ. (පිලිප්පි 2:3, 4) සාමාන්‍යයෙන් පුද්ගලයන්ට ප්‍රේමය සහ කරුණාව දැනෙන විට, ඔවුන්ගේ ප්‍රතිචාරය හොඳය. කිට්ටු මිත්‍රත්වයන් ගොඩනැඟීමටත් රුකුලක් වන්නේ එවැනි පරාර්ථකාමී සම්බන්ධතාවකි. ඇත්තෙන්ම අහංකාර ලෙස අපගේ තත්වය ගැන ඕනෑවට වඩා නොසිතීම මගින් මොනතරම් ආශීර්වාද භුක්ති විඳිය හැකිද!—රෝම 12:10.

අපට සමබර ආකල්පයක් තිබේ නම්, වෙනත් කෙනෙකුගේ සිත රිදවා ඇති විටක අපගේ වරද පිළිගැනීම පහසු වේ. (මතෙව් 5:23, 24) සමඟි වීමද ගැටලුවක් නොවේ. එකිනෙකා අතර ගෞරවයද වැඩිය. ඔව්, හොඳ සම්බන්ධතා පැවැත්වීමට මෙය ඉවහල් වේ. ක්‍රිස්තියානි වැඩිමහල්ලන් වැනි යම් වගකීම් දරන සහෝදරයන් පමණ දැන, නිහතමානී ආකාරයකින් ක්‍රියා කරනවා නම්, අන්‍යයන්ගේ යහපත උදෙසා කටයුතු කිරීමේ ප්‍රස්තාව ඔවුන්ට උදා වේ. (හිතෝපදේශ 3:27; මතෙව් 11:29) තමාට විරුද්ධව වැරදි කර ඇති කෙනෙකුට සමාව දීමත් නිහතමානී පුද්ගලයෙකුට වඩාත් පහසුය. (මතෙව් 6:12-15) යම් මදිපුංචිකමක් සිදු වී ඇති බව දැනුණත්, ඔහු අනවශ්‍ය ලෙස ඇවිස්සෙන්නේ නැති අතර, විසඳිය නොහැකි ප්‍රශ්න නිරාකරණය කිරීමට යෙහෝවා කෙරෙහි සම්පූර්ණ විශ්වාසයක් තබයි.—ගීතාවලිය 37:5; හිතෝපදේශ 3:5, 6.

තමා ගැන පමණ දැන මෙන්ම නිහතමානී ආකල්පයක් තබාගැනීමෙන් ලැබිය හැකි උතුම්ම ආශීර්වාදය නම් යෙහෝවාගේ අනුග්‍රහය සහ අනුමැතිය භුක්ති විඳීමයි. ‘දෙවි උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙන’ බව බයිබලයෙහි සඳහන් වේ. (1 පේතෘස් 5:5) එමනිසා, කිසිදාක අප ගැන අධිතක්සේරුවක් කිරීමේ උගුලට අසු නොවෙමු. ඒ වෙනුවට, යෙහෝවා පිහිටුවා ඇති සැලැස්ම තුළ අපට හිමි තැන නිහතමානීව පිළිගනිමු. ඇත්තෙන්ම, ‘දෙවි සමඟ පමණ දැන ගමන් කිරීමේ’ දිව්‍යමය අවශ්‍යතාවට එකඟව ක්‍රියා කරන සැමට මොනතරම් මහඟු ආශීර්වාද ගලා ඒවිද!

[22වන පිටුවේ පින්තූරය]

දාවිත්ට නිහතමානීව අතහිත දුන් යොනාතාන්