Skip to content

පටුනට යන්න

දානියෙල්ගේ පොත දැන් කොතරම් පැහැදිලිද!

දානියෙල්ගේ පොත දැන් කොතරම් පැහැදිලිද!

දානියෙල්ගේ පොත දැන් කොතරම් පැහැදිලිද!

දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන පිටු 320කින් යුත් අලුත් ප්‍රකාශනයේ පෞද්ගලික පිටපතක් ලබාගැනීමට පැමිණ සිටි සියලුදෙනාම මහත් උනන්දුවකින් සිටියා. මේ පොත ගැන ඔවුන්ට හැඟුණේ කොහොමද? කිහිපදෙනෙකුගේ අදහස් සලකා බලන්න.

“මගේ වයසේ අනිත් තරුණ තරුණියන් වගේ, මමත් පැරණි ඉතිහාසය ගැන වැඩිය අධ්‍යයනය කරන්න කැමති නෑ. ඒ හින්දා, දානියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! කියන අලුත් පොත දැක්කහම මට එච්චර ආස හිතුණේ නෑ. ඒත් ඒක කියවලා බලන්න මං තීරණය කළා. මම හිතුව දේ කොච්චර වැරදිද! මගේ ජීවිතේටම මෙච්චර හොඳ පොතක් නම් කියවලා නෑ. මට ඒක පැත්තකට දාන්න හිතුණේ නෑ. අවුරුදු දහස් ගණනකට ඉස්සෙල්ලා වෙච්ච දේවල් ගැන කියවනවා කියලා මට දැනුනෙවත් නෑ. මට දැන් ඇත්තටම දානියෙල්ගේ තත්වයට බහින්න පුළුවන්. මාව මගේ පවුලේ අයගෙන් වෙන් කරලා ඈත රටකට ගෙනිච්චොත් තත්වය කොහොම වෙයිද කියලා මට හිතාගන්න පුළුවන්. දානියෙල්ට වගේ මටත් අඛණ්ඩතාව බිඳහෙළන ප්‍රශ්න වැළකට මුහුණ දෙන්න සිද්ධ වුණොත් කොහොම හැඟෙයිද කියලා මට දැන් හොඳටම තේරෙනවා. මම මේ පොතට මගේ මුළු හෘදයෙන්ම ස්තූති කියන්න කැමතියි.”—ඇන්යා.

“මට විශේෂයෙන්ම උපකාරවත් වුණේ, යෙහෝවාගේ අධීක්ෂණය නැතුව කිසිම දෙයක් සිදු වන්නේ නැහැයි කියන කාරණයයි. යෙහෝවාගේ සෙනඟ මුහුණ දෙන සෑම තත්වයක්ම සිදු වන්නේ මෙහෙමයි කියා මට පැහැදිලි වුණා. දෙවි ඔහුගේ අරමුණෙන් පිට කිසිම දෙයකට කවදාවත් ඉඩ දෙන්නේ නැහැයි කියා දානියෙල් දැක්ක හා ඔහු පැහැදිලි කර දුන් වෙනත් අයගේ දර්ශන හා සිහින මගින් හොඳින් පැහැදිලි වෙනවා. මෙයින්, දෙවිගේ නව ලොව ගැන බයිබලයේ තිබෙන අනාවැකිමය දර්ශන පිළිබඳ අපිට තිබෙන බලාපොරොත්තුව තව තවත් ශක්තිමත් කරනවා.—චෙස්ටර්.

“දානියෙල්ගේ චරිතයට පණ දීලා තිබුණු විදිහ මගේ හිතට හුඟක් ඇල්ලුවා. දානියෙල්ට හිතුණු, හැඟුණු විදිහ වගේම ඔහු මුහුණ දුන්න ප්‍රශ්න ගැන කියවද්දී, හරියට මමත් එයත් එක්කම එතන හිටියා වගෙයි මට හැඟුණේ. යෙහෝවා ඔහුව ඉතා ප්‍රියමනාප මනුෂ්‍යයෙක් හැටියට සැලකුවේ ඇයි කියලා මම හොඳින් තේරුම්ගත්තා. දානියෙල් මුහුණ දුන්න හැම පීඩාවකදීම ඔහුගේ මූලික සැලකිල්ල වුණේ යෙහෝවා දෙවි හා ඔහුගේ තේජවත් නාමයයි. ඔහු තමා ගැන සිතුවේ නැහැ. මේ කරුණු හොඳින් පැහැදිලි කරලා දුන්නාට ස්තූතියි.”—ජොයි.

“මම කාලයක් තිස්සේ බලං හිටියේ මේ වගේ පොතක් එනකං! දානියෙල්ගේ පොත අපි හැමෝටම පෞද්ගලිකව බලපාන විදිහ ගැන අපිට කවදාවත් මෙච්චර හොඳ විස්තරයක් ලැබිලා නෑ. පොත හම්බ වුණ දවසෙම මම ඒක කියවගෙන කියවගෙන ගියා. හැබැයි ඒක කියවන ගමන් මට ටිකක් නතර වෙලා යෙහෝවාට යාච්ඤාවෙන් ස්තූති කරන්න සිද්ධ වුණා.”—මාක්.

“එය අපේ දරුවන්ට බලපෑවේ අපි කවදාවත් හිතුවෙ නැති විදිහකටයි. එක්කෙනෙකුට අවුරුදු පහයි අනිත් එක්කෙනාට අවුරුදු තුනයි. . . . මගේ බයිබල් කතන්දර පොතේ තියෙන කතාවලින් ඒගොල්ලන් දානියෙල්, හනනියා, මිෂායෙල් හා අසරියාගේ කතාවලට විශේෂ කැමැත්තක් දක්වනවා. හැබැයි දානියෙල්ගේ අනාවැකි කියන පොතේ එය විස්තර කරලා තියෙන විදිහට ඒගොල්ලන් දක්වපු ප්‍රතිචාරය හරිම පුදුමයි. මෙම ධර්මිෂ්ඨ මනුෂ්‍යයන් හා ඒගොල්ලන් අතර තියෙන සමානකම් මොනවාද කියලා ඒ පොඩි වයසේදී වුණත් ඒගොල්ලන්ට තේරෙනවා. අපේ දරුවන්ට කොච්චර හොඳ ආදර්ශද! ඔබ අපට දීලා තියෙන්නේ මොනතරම් කදිම මෙවලමක්ද! අපේ හෘදයාංගම ස්තූතිය පිළිගන්න!”—බෙතල්.

“ඒ හෙබ්‍රෙව් යෞවනයන් ඇදහිල්ලේ එක එක පරීක්ෂාවලට මුහුණ දෙද්දී මමත් ඒගොල්ලන් එක්කම හිටියා වගෙයි මට හැඟුණේ. මගේ ඇදහිල්ල පරීක්ෂා කරලා බලන්නත් මාව පෙලඹුණා. ‘ඔබ වටහාගත්තේ කුමක්ද?’ යන තේමාව යටතේ තියෙන පුනරීක්ෂණ කොටුව පරිච්ඡේදයේ අදහස හොඳින් හිතට කාවද්දනවා. තවත් අනර්ඝ කෘතියක් අපට ලබා දුන්නාට ස්තූතියි.”—ලිඩියා.