Skip to content

පටුනට යන්න

දෙවිගේ අනාවැකිමය වදන් අනාගතයට බලාපොරොත්තුවක්

දෙවිගේ අනාවැකිමය වදන් අනාගතයට බලාපොරොත්තුවක්

දෙවිගේ අනාවැකිමය වදන් අනාගතයට බලාපොරොත්තුවක්

සැබෑ ක්‍රිස්තියානීන්ට පූර්ණ නිසැකකමකින් හා ඇදහිල්ලකින් අනාගතය දෙස බැලිය හැක්කේ දෙවිගේ වචනය වන බයිබලයෙහි අඩංගු බලාපොරොත්තුව නිසයි. යෙහෝවා සමඟ භුක්ති විඳින සබඳතාව ඔවුන් තුළ නිසැකභාවයක් ඇති කරන අතර, ඔවුන් අනාගතය දෙස මහත් ඕනෑකමින් බලා සිටී. “දෙවිගේ අනාවැකිමය වදන්” නමැති දිස්ත්‍රික් සමුළුවේදී පැවැත්වූ පළමු කතාවේ පැහැදිලි කළ පරිදි, යෙහෝවාගේ සාක්ෂිකරුවන් දැන් වසර ගණනාවක්ම බයිබල් අනාවැකි උනන්දුමත් ලෙස අධ්‍යයනය කරමින් සිටිනවා. එසේ නම්, මෙම සමුළුව තුළින් යෙහෝවා තම සෙනඟ උදෙසා පිළියෙළ කර තිබුණේ කුමක්ද? මෙය දැනගැනීමේ අදහසින්, පැමිණි සියලුදෙනාම බයිබලය පෙරලීමට සූදානම් වී ඉතා උනන්දුවෙන් සවන් දුන්නා. සමුළුවේ එක් එක් දිනවලට අදාළ වූ තේමාව අනුමාතෘකා වශයෙන් මෙහි වෙන වෙනම සඳහන් කර ඇත.

පළමුවන දිනය: දෙවිගේ වචනයේ ආලෝකයෙන් ගමන් කිරීම

“දෙවිගේ වචනය අපට මඟ පෙන්වා තිබේ” යන මාතෘකාව යටතේ තිබූ කතාව, යෙහෝවාගේ සෙනඟ අඳුරු රාත්‍රියකදී ගමනක් ඇරඹූ මිනිසෙක් හා සමාන බව පැහැදිලි කර දුන්නා. අලුයම හිරු රැස් නැඟ එද්දී දකින්න ලැබෙන්නේ අඳුරු ඡායාවන් පමණයි. නමුත් ඉර මුදුන් වන වේලාවේදී ඔහු සෑම දෙයක්ම ඉතාමත් පැහැදිලිව දකිනවා. හිතෝපදේශ 4:18හි පවසා ඇති පරිදි, යෙහෝවාගේ සෙනඟ තම ගමන් මඟ පැහැදිලිව දැකගැනීමට සමත් වී තිබෙනවා. ඔවුන් එසේ කර තිබෙන්නේ දෙවිගේ වචනයෙන් නිකුත් වන සත්‍යය නමැති දිදුලන හිරු රැස් මගින්. ඔවුන්ව නිකම්ම අන්ධකාරයේ අත පත ගාමින් යෑමට අත්හැර නැහැ.

“දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න.” ඒ මූලික ඇමතුමේ තේමාවයි. ව්‍යාජ මෙසියස්වරුන් හා අනාගතවක්තෘවරුන්ව අනුගමනය කරන ජනයාගේ බලාපොරොත්තු සුන් වී තිබුණත්, යෙහෝවා කෙරෙහි බලාපොරොත්තු තබන අයට එසේ නොවන බව සබයට මතක් කර දුන්නා. එම ව්‍යාජ මෙසියස්වරුන්ට වඩා හාත්පසින් වෙනස්ව, සැබෑ මෙසියස් වන යේසුස් ක්‍රිස්තුස්ගේ විශ්වසනීයත්වය සනාථ කිරීම සඳහා සාක්ෂි රැසක් තිබේ. නිදසුනකට, ප්‍රාතිහාර්යමය ලෙස සිදු වූ යේසුස්ගේ අන්‍යරූප විලාස වීම, දෙවිගේ රාජ්‍යයේ රජු හැටියට ඔහුගේ සිංහාසනාරූඪ වීමේ පූර්වාදර්ශනයක් වූවා. වර්ෂ 1914දී රාජ්‍ය බලය අත් කරගැනීමෙන් පසුව, යේසුස් 2 පේතෘස් 1:20හි සඳහන් “පහන් තාරකාව” බවට පත් වුණා. “මෙසියානු පහන් තාරකාව හැටියට, මුළු කීකරු මනුෂ්‍යවර්ගයාට උදා වන අලුත් දවසක් නොහොත් අලුත් යුගයක් ඔහු දැනුම් දෙනවා” කියා කථිකයා පැහැදිලි කළා.

දහවල් සැසිවාරය ඇරඹුණේ “ප්‍රදීපකයන් මෙන් බැබළීම” යන කතාවෙන්. එහිදී එපීස 5:8හි “ආලෝකයේ දරුවන් මෙන් ගමන් කරමින් සිටින්න [NW]” කියා ප්‍රේරිත පාවුල් දුන් උපදේශය පිළිබඳ පුළුල් ලෙස විස්තරයක් කෙරුණා. ක්‍රිස්තියානීන් ප්‍රදීපකයන් වන්නේ දෙවිගේ වචනය පිළිබඳ අනික් අයට කියා දීමෙන් පමණක් නොවෙයි, නමුත් යේසුස්ව ආදර්ශයට ගනිමින් තම ජීවිත තුළ බයිබල් ප්‍රතිපත්ති අදාළ කිරීමෙනුයි.

මෙවැනි ප්‍රදීපකයක් වීමට නම් අපි “දෙවිගේ වචනය කියවීමෙන් ආස්වාදයක් ලබන්න” අවශ්‍යයි. මෙම කරුණු කොටස් තුනකින් යුත් කතා මාලාවකින් සාකච්ඡා වුණා. “දෙවි මෙතෙක් මිනිසාට දී තිබෙන වටිනාම ත්‍යාගය” බයිබලය යනුවෙන් ඒබ්‍රහැම් ලින්කන් කළ ප්‍රකාශය උපුටා දක්වමින් කථිකයා සබයෙන් ප්‍රශ්නයක් ඇසුවා. එනම්, තම කියවීමේ පුරුදු මගින් යෙහෝවාගේ වචනය ඔවුන් අගය කරන ප්‍රමාණය ගැන හෙළි වන්නේ මොනවාද යන්නයි. බයිබල් වාර්තාවල සඳහන් වන දේවල් ජීවමානව සිතෙහි මවාගනිමින් පරීක්ෂාකාරිව කියවන්නත්, අලුත් කරුණු දැන සිටින දේවල් සමඟ සම්බන්ධ කර දක්වන්නත් සබයට උනන්දු කළා.

කතා මාලාවේ ඊළඟ කොටසෙහි “දැඩි ආහාර” දිරවීම සඳහා නිකම්ම උඩින් පල්ලෙන් කියවනවාට වඩා අධ්‍යයනය කිරීමේ වැදගත්කම අවධාරණය කළා. (හෙබ්‍රෙව් 5:13, 14) එස්රා කළාක් මෙන් අපිත් කලින් ‘අපේ හෘදයන් සූදානම් කරගන්නවා නම්’ අධ්‍යයනය කිරීම විශේෂයෙන්ම ගොඩනංවනසුලු වෙන්න යන බව කථිකයා පැහැදිලි කළා. (එස්රා 7:10NW) නමුත් අධ්‍යයනය කිරීම මෙතරම් වැදගත් වන්නේ ඇයි? එය යෙහෝවා සමඟ අපට තිබෙන සබඳතාවට කෙළින්ම සම්බන්ධ වන නිසයි. එමනිසා අපි බයිබල් අධ්‍යයනය අනර්ඝ දෙයක් හැටියට සැලකිය යුතුයි. ඒ සඳහා මනස හික්මවාගැනීම හා වෑයම අවශ්‍ය වුණත්, එය ප්‍රීතිය හා නැවුම්බව ගෙන දෙන දෙයක් වශයෙන් අප සැලකිය යුතුයි. නමුත් අර්ථවත් අධ්‍යයනය සඳහා අපි කාලය සොයාගන්නේ කෙසේද? ඒ තරම්ම වැදගත් නැති ක්‍රියාකාරකම් පරිත්‍යාග කරමින් ‘ප්‍රස්තාව තිබෙන කාලය මිල දී ගැනීමෙන්’ කියා අපට අන්තිම කථිකයා පිළිතුරු සැපයුවා. (එපීස 5:16NW) ඔව්, අධ්‍යයනය කිරීම සඳහා කාලය සොයාගැනීම සඳහා යතුර වන්නේ, අපිට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමයි.

“දෙවි වෙහෙසවූවන්ව බලවත් කරයි” යන කතාවෙන් බොහෝදෙනෙක් අද වෙහෙසට පත් වී ඇති බව සනාථ වුණා. ක්‍රිස්තියානි දේවසේවය සඳහා “සාමාන්‍ය ඉක්මවූ බලයක්” අත් කරගැනීමට, යෙහෝවා මත රඳා සිටින්න අවශ්‍යයි. ඔහු ‘වෙහෙසවූවන්ට ශක්තිය සපයනවා.’ (2 කොරින්ති 4:7NW; යෙසායා 40:29) අපිව යළි ප්‍රාණවත් කරන දේවල් කිහිපයක් වන්නේ, දෙවිගේ වචනය, යාච්ඤාව, ක්‍රිස්තියානි සභාව, නිතිපතා දේවසේවයේ හවුල් වීම, ක්‍රිස්තියානි අවේක්ෂකයන් සහ අනිත් අයගේ විශ්වාසවන්ත ආදර්ශයි. “කාලයේ ප්‍රකාරයට ගුරුවරුන් වන්න” යන කතාව, දේශනාකරන්නන් වීමට අමතරව ක්‍රිස්තියානීන්ට ගුරුවරුන් වීමේ වැදගත්කම අවධාරණය කළා. “ඉගැන්වීමේ කලාව” දියුණු කරගැනීමට අප වීර්යය කළ යුතු බවත් එයින් පැහැදිලි කළා.—2 තිමෝති 4:2NW.

පළමුවන දිනයේ අවසාන කතාවෙහි තේමාව වූයේ, “දෙවිට එරෙහිව සටන් වදින්නන් ජය නොගනියි” යන්නයි. ඇතැම් රටවල කිසිම පදනමක් නැතුව යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව භයානක නිකායක් හැටියට හංවඩු ගැසීමට මෑතකදී දරා ඇති වෑයම් එම කතාවෙහි විස්තර කළා. නමුත් බියපත් වීමට අපට හේතුවක් නැත. මන්දයත් යෙසායා 54:17හි කියන පරිදි, “නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත. [යෙහෝවාගේ] මෙහෙකරුවන්ගේ උරුමයත් මාගෙන් ඔවුන්ට ලැබෙන ධර්මිෂ්ඨකමත් එයාකාරයයි [යෙහෝවා කියන්නේය].”

දෙවන දිනය: අනාවැකිමය ශුද්ධ ලියවිලි ඇසුරෙන් දන්වා ඇති දේවල්

දිනපදය සාකච්ඡා කිරීමෙන් පසුව, “ආලෝක දරන්නන් ලෙස යෙහෝවාව මහිමයට පත් කිරීම” යන මාතෘකාව යටතේ සමුළුවේදී පැවැත්වූ දෙවන කතා මාලාවෙන් සබය ආස්වාදයක් ලැබුවා. සෑම තැනකදීම දේශනා කිරීමෙන් යෙහෝවාව මහිමයට පත් කිරීම ක්‍රිස්තියානියෙකුගේ ඉලක්කය විය යුතු බව කතා මාලාවේ පළවන කතාවෙන් අවධාරණය කළා. ඊළඟ කතාව අපේ අවධානයට යොමු කළේ, ප්‍රතිචාරය දක්වන අයව දෙවිගේ සංවිධානය වෙතට යොමු කිරීමේ අවශ්‍යතාවයි. එසේ කරන්නේ කොහොමද? සංවිධානය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කර දීම සඳහා සෑම සතියකම බයිබල් පාඩමට කලින් හෝ පසුව විනාඩි පහක් හෝ දහයක් මිඩංගු කිරීමෙනුයි. මෙම කතා මාලාවෙහි තුන්වන කතාව, යහපත් ක්‍රියාවලින් දෙවිව මහිමයට පත් කිරීමේ වැදගත්කම කාවැද්දුවා.

“යෙහෝවාගේ සිහිගැන්වීම්වලට අතිශයින් ඇලුම් වන්න” යන කතාවෙන්, ගීතා 119වන ගීතිකාවේ තෝරාගත් පද කිහිපයක් සාකච්ඡා කෙරුණා. අපි කාටත් අමතක කර දැමීමේ නැඹුරුවාවක් තිබෙන බැවින් සිහිගැන්වීම් අවශ්‍යයි. එසේ නම්, ගීතිකාකරු කළාක් මෙන් යෙහෝවාගේ සිහිගැන්වීම්වලට ඇල්මක් වර්ධනය කරගැනීම කොතරම් වැදගත්ද!

ඊළඟට අප විශේෂ මොහොතකට පැමිණියා. එනම් “අනාවැකිමය වදන්වලට සවන් දීම බව්තීස්මයට මඟ පාදයි” යන බව්තීස්ම කතාවයි. ඔවුන් ක්‍රිස්තුස්ව අනුකරණය කරන්නේ නිකම්ම බව්තීස්ම වීමෙන් පමණක් නොව, නමුත් ඔහුගේ අඩි පාරේ ගමන් කිරීමෙන් කියා බව්තීස්ම අපේක්ෂකයන්ට මතක් කරනු ලැබුවා. (1 පේතෘස් 2:21) යොහන් 10:16හි සඳහන් අනාවැකියේ ඉටුවීම සම්බන්ධයෙන් මෙම නවකයන්ටත් කොටසක් තිබීම මොනතරම් වරප්‍රසාදයක්ද! ඔහුගේ ආලේප ලත් ගෝලයන් සමඟ සේවය කිරීමට ඔහු “වෙනත් බැටළුවන්ව” රැස් කරන්න යන බව යේසුස් එහි පුරෝකථනය කළා.

යෙහෝවාගේ ආත්මය බයිබලය, විශ්වාසවූ නුවණ ඇති දාස පන්තිය හා බයිබලය මත පුහුණු කරන ලද අපේ හෘදයසාක්ෂිය මගින් කතා කරන බව “ආත්මය පවසන දෙයට සවන් දෙන්න” යන දහවල් සැසිවාරයේ පළවන කතාවෙන් පැහැදිලි කර දුන්නා. (මතෙව් 24:45) එමනිසා දෙවිව සතුටු කරන්නේ කොහොමද කියා දැනගැනීමට ක්‍රිස්තියානීන්ට ස්වර්ගයෙන් කටහඬක් ඇසෙන්න අවශ්‍ය නැහැ. ඉන්පසුව “දේවභක්තියට එකඟ වන ඉගැන්වීම් සඳහා ස්ථිරව සිටීම” යන මාතෘකාව යටතේ, මේ ලෝකයේ දූෂ්‍ය කරවන අදහස්වලට අවධානය නොදෙන මෙන් ක්‍රිස්තියානීන්ට අනතුරු ඇඟෙව්වා. පාලනයකින් තොර වූ කුතුහලයක් නිසා අපි ඇදහිල්ල අත්හැර ගිය අයගේ හා සාතන්ගේ වෙනත් නියෝජිතයන්ගේ හානිකර තොරතුරුවලට හසු විය හැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වෙනුවට බයිබලය මෙන්ම මුරටැඹ හා පිබිදෙව්! කලාපවල සෑම ලිපියක්ම කියවීම ඊට වඩා කොයිතරම් හිතකරද!

ඊළඟ කතාවේ තේමාව වූයේ, “සුවදායී වචනවල රටාවට ඇලී සිටින්න” යන්නයි. එය ශුද්ධ ලියවිලිවල “රටාව,” නැත්නම් සත්‍යය අඩංගු සමස්ත සැලැස්ම ගැන හොඳ අවබෝධයක් ලබාගැනීමේ වැදගත්කම අවධාරණය කළා. (2 තිමෝති 1:13) මෙම රටාව වටහාගැනීම දේවභක්තිය වර්ධනය කරගැනීමට පමණක් නොව නමුත් සත්‍යයට පටහැනි දේ හඳුනාගැනීමටත් යතුර වේ.

යෙහෝවා අපව ආශා වන දේවල් හැටියට සැලකීම කොතරම් ගෞරවයක්ද කියා සිතා බලන්න. හග්ගයිගේ අනාවැකිය මත ගොඩනැංවූ “ආශා වන දේවලින්’ යෙහෝවාගේ ගෘහය පිරෙමින් තිබේ” යන කතාව, “මහත් සමූහයේ” සෑම සාමාජිකයෙක්වම ආශා වන දෙයක් හැටියට යෙහෝවා පිළිගන්නා බව සහතික කළා. එය අපට මහත් දිරිගැන්වීමක් විය. (එළිදරව් 7:9) එමනිසා ‘මහත් පීඩාව’ පැමිණෙන විට, එනම් යෙහෝවා ජාතීන් අතර සිදු කරන අවසාන ‘සෙලවීමේදී යෙහෝවා මහත් සමූහය බේරාගන්නා බව අපට ස්ථිරයි. (හග්ගයි 2:7, 21, 22; මතෙව් 24:21) කොහොම වුණත් ඒ අතරතුර, යෙහෝවාගේ සෙනඟ ආත්මිකව අවදිව සිටිය යුතුයි. “අනාවැකිමය වදන් සුපරීක්ෂාකාරිව සිටීමට අපව අවදි කරවයි” යන ඊළඟ කොටසෙහි මෙය පැහැදිලි කළා. කථිකයා යේසුස්ගේ මෙම වදන් උපුටා දැක්වුවා. ‘එබැවින් අවදිව සිටින්න. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි දවසේ ඒවිදැයි නුඹලා දන්නේ නැත.’ (මතෙව් 24:42) අපි ආත්මිකව අවදිව සිටින්නේ කොහොමද? යෙහෝවාගේ සේවයේ කාර්ය බහුලව සිටීම, නිතරම යාච්ඤා කිරීම හා යෙහෝවාගේ මහත් දවස පිළිබඳ අපේක්ෂාසහගතව සිටීමෙනුයි.

එදින අවසන් කතාව වූයේ “අන්තිම කාලයේ අනාවැකිමය වදන්” යන්නයි. එය කිසිදා අමතක නොවන කතාවක්. ඒ ඇයි? නියෙල්ගේ අනාවැකියට අවධානය දෙන්න! යන අලුත් ප්‍රකාශනය මුදාහැරිය නිසයි. “පිටු 320කින් යුත් අලංකාර චිත්‍රවලින් සමන්විත මේ ප්‍රකාශනය මගින් දානියෙල් පොතේ හැම කොටසක්ම ආවරණය කරනවා” කියා කථිකයා පැවසුවා. යෙහෝවා තම අනාවැකිමය වදන් මත ආලෝකය හෙළන බවට මොනතරම් ඇදහිල්ල ගොඩනංවනසුලු සාක්ෂිද!

තුන්වන දිනය: දෙවිගේ අනාවැකිමය වදන් කිසිදා වරදින්නේ නැත

සමුළුවේ අවසාන දිනය ඇරඹුණේ “නියම කරන ලද කාලය සඳහා අනාවැකිමය වදන්” යන කොටස් තුනෙන් යුත් කතා මාලාවෙනි. එය, යෙහෝවා දෙවි විසින් ක්‍රියාත්මක කරන ලද විනිශ්චයන් ගැන හබක්කුක් පොතේ ඇති අනතුරු ඇඟවීම් තුන පිළිබඳ විග්‍රහයකි. පළමු ප්‍රකාශය කැරලිකාර යුදාවරුන්ට විරුද්ධව වූ අතර, දෙවන එක පීඩාකාරි බබිලෝනීය අධිරාජ්‍යයට විරුද්ධවයි. අවසාන එක තවමත් ඉටු වී නැත. එය සියලුම දුෂ්ට ජනයා මත පැමිණෙන්න තිබෙන විනාශයයි. කතා මාලාවේ අවසාන කථිකයා අර්මගෙදොන් ගැන කතා කරද්දී මෙසේ පැවසුවා. ‘යෙහෝවා ඔහුගේ මහත් බලය මුළුමනින්ම මුදාහරින විට එය ඇත්තෙන්ම ගරු බිය දනවනසුලු වෙයි.’ මෙමගින් ඔහු සබය තුළ හිතකර දේවභයක් ජනිත කළා.

සමුළුවේ හද උණුසුම් කරවන නාට්‍යයේ තේමාව වූයේ, “අපේ ආත්මික උරුමය අගය කිරීම” යන්නයි. හෘදය විමසා බැලීමට පොලඹවමින් මෙම නාට්‍යය අපට යාකොබ් හා ඒසව් ආත්මික කාරණා පිළිබඳව දැරූ එකිනෙකට වෙනස් ආකල්ප පැහැදිලි කර දුන්නා. තම ආත්මික උරුමය සුළු කොට තැකූ ඒසව්ට එය අහිමි වූ අතර, එය වස්තුවක් මෙන් සැලකූ යාකොබ්ට හිමි විය. ‘යෙහෝවා අපට ලබා දී තිබෙන්නේ මොන වගේ ආත්මික උරුමයක්ද?’ කියා සමුළුවට පැමිණි සියල්ලන්ගෙන්ම ප්‍රශ්න කළා. පිළිතුරු සපයමින් කථිකයා මෙසේ පැවසුවා. ‘බයිබලයෙහි අඩංගු ඔහුගේ සත්‍යය වූ වචනය; සදාකාල ජීවනයේ බලාපොරොත්තුව වගේම ශුභාරංචියේ ප්‍රකාශකයන් හැටියට ඔහුව නියෝජන කිරීමට ඇති ගෞරවනීය වරප්‍රසාදයයි.’

“අපේ අනගි උරුමයෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද?” මේ ඊළඟ කතාවේ තේමාවයි. අපේ ආත්මික උරුමය කෙරෙහි අපි නිවැරදි ආකල්පයක් විදහාපෙන්වන්නේ, පෞද්ගලික හා ද්‍රව්‍යමය කාරණා පසෙක දමමින් යෙහෝවාගේ සේවයට මුල් තැන දීමෙනුයි. අප මෙලෙස දෙවි සමඟ තිබෙන අපේ සබඳතාව වටා අපේ ජීවිතය ගොඩනඟන විට, ආදම්, ඒසව් හා විශ්වාසවන්ත නොවූ ඉශ්‍රායෙලිතයන්ට වඩා හාත්පසින්ම වෙනස් වන බව අප ඔප්පු කරනවා.

“පුරෝකථනය කළ පරිදි සියල්ල අලුත් කිරීම” මූලික ඇමතුමේ තේමාවයි. “අලුත් අහස” හා “අලුත් පොළොව” පිළිබඳ ප්‍රධාන අනාවැකි හතරක් විස්තර කරමින් එය ඒවා එකිනෙකට සම්බන්ධ කළා. (යෙසායා 65:17-25; 66:22-24; 2 පේතෘස් 3:13; එළිදරව් 21:1, 3-5) මෙම අනාවැකි පො.යු.පෙ. 537දී යෙහෝවාගේ නැවත පිහිටුවන ලද සෙනඟ සම්බන්ධයෙන් ඉටුවීමක් අද්දැක්කත්, මීට වඩා විශාල ඉටුවීමක් සිදු කිරීමට යෙහෝවා අදහස් කළ බව පැහැදිලියි. එනම්, භූමික යටත්වැසියන් (“අලුත් පොළොව”) සිටින ඔහුගේ රාජ්‍ය පාලනයයි (“අලුත් අහස”). මෙම භූමික යටත්වැසියන් ලොව පුරාම ව්‍යාප්ත වන මවිතාකාර පාරාදීසයක උරුමක්කරුවන් වේ.

සමුළුව අවසන් වූයේ, “දෙවිගේ වචනය අපිට මඟ පෙන්වද්දී අපට ඇති අපේක්ෂා” යන හැඟීම් දනවනසුලු මෙන්ම පොලඹවනසුලු කතාවකින්. රාජ්‍ය ප්‍රචාරක වැඩය අවසන් කිරීමට “කාලය ලුහුඬු” කර තිබෙන බව සියලුදෙනාටම එය මතක් කර දුන්නා. (1 කොරින්ති 7:29) ඔව්, අප දැන් ජීවත්ව සිටින්නේ සාතන් සහ ඔහුගේ දුෂ්ට පිළිවෙළ මත යෙහෝවා තම විනිශ්චයන් පමුණුවන්න, ඉතා ආසන්න කාලයකයි. අපත් ගීතිකාකරුගේ මෙම හැඟීමට එකඟව කටයුතු කරමු. ‘අපේ ආත්මය යෙහෝවා කෙරෙහි බලා සිටින්නේය. අපේ උපකාරයත් පලිහත් ඔහුය.’ (ගීතාවලිය 33:20) දෙවිගේ අනාවැකිමය වදන් මත තම අපේක්ෂාවන් ගොඩනංවන අයට තිබෙන්නේ මොනතරම් මවිතකර බලාපොරොත්තුවක්ද!

[7වන පිටුවේ පින්තූරය]

හැඟීම් දනවනසුලු නාට්‍යයක් දෙවිගේ සේවකයන් සතු ආත්මික උරුමය සඳහා අගය වර්ධනය කළා

[7වන පිටුවේ පින්තූරය]

දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දුන් බොහෝදෙනෙක් බව්තීස්ම වුණා