Skip to content

පටුනට යන්න

පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි

පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි

පීඩාකරන්නා මහත් ආලෝකයක් දකියි

සාවුල් යේසුස්ගේ අනුගාමිකයන් කෙරෙහි දැඩි කෝපයකින් සිටියේය. ස්තේපන්ට ගල් ගැසීම ඇතුළුව, යෙරුසලමේදී ඔවුන්ට කළ පීඩාවලින් සෑහීමට පත් නොවූ ඔහු මේ අවස්ථාවේදී ඔවුන්ව මැඩපවත්වන්න තවත් ක්‍රම සොයමින් සිටියේය. බයිබල් වාර්තාවට අනුව, “සාවුල් තව දුරටත් [ස්වාමීන්ගේ] ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්, ඒ ලබ්ධි මාර්ගයට අයිති අයවලුන්ගෙන් පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ සම්බවුණොත් ඔවුන් බැඳ යෙරුසලමට ගෙන එන පිණිස දමස්කයේ සිනගෝගවලට ඔහුගෙන් ලියුම් ඉල්ලාගත්තේය.”—ක්‍රියා 9:1, 2.

සාවුල් දමස්කය කරා ගමන් කරන විට තමාගේ පැවරුම වඩාත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක කළ හැක්කේ කෙසේද කියා කල්පනා කරමින් ගියා විය හැක. උත්තම පූජකයා මාර්ගයෙන් ඔහුට සෑහෙන බලයක් දී තිබුණු නිසා, එම නගරයේ සිටි විශාල යුදෙව් පිරිසකගේ නායකයන්ගෙන් නොමසුරු සහයෝගය ලැබෙන බවට සහතිකයක් විය. සාවුල්ට ඔවුන්ගේ උපකාරය අවශ්‍ය විය.

යෙරුසලමේ සිට දමස්කය දක්වා දවස් හතක් හෝ අටක් පුරා කිලෝමීටර් 220ක පමණ දුරක් ගමන් කිරීම ලෙහෙසි පහසු එකක් වූයේ නැත. එමනිසා, තම ගමනාන්තය කරා ළඟා වූ සාවුල්ගේ උද්‍යෝගය තවත් වැඩි වන්ට ඇත. හදිසියේම ඉරමුදුන් වේලාවේදී සූර්යයාට වඩා දීප්තිමත් ආලෝකයක් සාවුල් වටා බැබළීමට පටන්ගත්තේය. සාවුල් බිම වැටුණේය. හෙබ්‍රෙව් බසින් කතා කළ හඬක් ඔහුට ඇසිණ. එම හඬ පැවසුවේ, “සාවුල්, සාවුල්, නුඹ මට පීඩාකරන්නේ මක්නිසාද? කෙවිටට පයින් ගැසීම නුඹට අන්තරාදායකය” කියාය. “ස්වාමීනි, ඔබ කවුද” කියා සාවුල් ඇසීය. පිළිතුර වූයේ “මම නම් නුඹ පීඩාකරන යේසුස්ය” යනුවෙනි. “නුමුත් නැගිට කෙලින් සිටින්න. මක්නිසාද යම් යම් දේ සඳහා නුඹ මා දුටුයෙහිද, නුඹට ප්‍රකාශවන්නෙම්ද, ඒ දේවල් ගැන නුඹ සේවකයෙක්ද සාක්ෂිකාරයෙක්ද කොට නියමකරන පිණිස මම නුඹට පෙනුණෙමි. සෙනඟගෙන්ද අන්‍යජාතීන්ගෙන්ද නුඹ ගළවන්නෙමි.” “ස්වාමීනි, මම මක්කරම්දැයි” සාවුල් ඇසුවේය. “නැගිට දමස්කයට යන්න; නුඹ විසින් කරන්ට නියමකර තිබෙන සියල්ල එහිදී නුඹට කියනු ලැබේ.”—ක්‍රියා 9:3-6; 22:6-10; 26:13-17.

සාවුල් සමඟ ගමන් කරමින් සිටි අයට හඬක් ඇසුණ මුත් කතා කළ තැනැත්තාව ඔවුන් දුටුවේවත් ඔහු පැවසූ දේ තේරුම්ගත්තේවත් නැත. සාවුල් නැඟිටුණ විට ආලෝකයේ දීප්තිය නිසා ඔහුට කිසි දෙයක් පෙනුණේ නැත. ඔහුගේ අතින් අල්ලාගෙන යෑමට සිදු විය. “ඔහු තුන් දවසක් ඇස් නොපෙනී, නොකා නොබී සිටියේය.”—ක්‍රියා 9:7-9; 22:11.

දින තුනක මෙනෙහි කිරීම

ඍජු නම් වීථියේ විසූ යූදස් නමැත්තෙකුගෙන් සාවුල්ට ආගන්තුක සත්කාරය ලැබිණ. a (ක්‍රියා 9:11) අරාබි බසින් ඩාබ් අල්-මුස්ටකිම් යනුවෙන් හැඳින්වෙන මෙම වීථිය තවමත් දමස්කයේ ප්‍රධාන මාර්ගයකි. යූදස්ගේ නිවසේ සිටියදී සාවුල්ට කුමනාකාරයේ සිතුවිලි පහළ වන්ට ඇද්දැයි සිතා බලන්න. මෙම අද්දැකීමෙන් සාවුල් අන්ධව හා කම්පනයට පත්ව සිටියේය. මේ අවස්ථාවේදී ඔහු අද්දුටු දේවල තේරුම ගැන මෙනෙහි කරන්න කාලය තිබිණ.

සාවුල් මුහුණ දුන්නේ තමා විහිළුවක් සේ සැලකූ තැනැත්තාටය. උසස්ම යුදෙව් අධිකාරිය මගින් හෙළා දුටු, ‘මනුෂ්‍යයන් විසින් සුළු කොට එපා කරනු ලැබූ’ වධ කණුවේ ඇණ ගැසූ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් ඒ අවස්ථාවේදී ජීවමානව සිටියේය. ඇත්තෙන්ම, ඔහු දෙවිගේ දකුණු පැත්තේ “ළඟාවෙන්ට බැරි ආලෝකයෙහි” පවා අනුමැතිය ලත් තත්වයක සිටියේය. යේසුස් මෙසියස් බවට සැකයක් නොවීය. ස්තේපන් හා වෙනත් අය පැවසූ දේ නිවැරදි විය. (යෙසායා 53:3; ක්‍රියා 7:56; 1 තිමෝති 6:16) යේසුස් තමාව හඳුන්වා දුන්නේ සාවුල් පීඩා කළ අයගෙන් කෙනෙකු හැටියටය. ඇත්තෙන්ම සාවුල්ගේ නිගමනය වැරදි විය. සාක්ෂි තිබියදීත්, ‘කෙවිටට පයින් ගසමින් සිටින්න’ සාවුල්ට හැක්කේ කෙසේද? මුරණ්ඩු හරකෙක් පවා අන්තිමේදී උගේ ස්වාමියාට වුවමනා පැත්තට ඇදී යයි. එබැවින්, යේසුස්ගේ ඉල්ලීම්වලට එකඟ නොවේ නම්, සාවුල්ට සිදු වන්නේ තමාවම රිද්දවාගැනීමටය.

මෙසියස්ව සිටි යේසුස්ව හෙළා දැකීමට දෙවිට නොහැක. එනමුත්, ව්‍යවස්ථාවට අනුව ‘එල්ලනු ලබන තැනැත්තේ දෙවිගෙන් ශාප ලද්දෙකි.’ මේ අනුව, ඔහුට ඉතාමත් නීච මරණයක් විඳීමට යෙහෝවා ඉඩහැරීය. (ද්විතීය කථාව 21:23) යේසුස් මියගියේ වධ කණුවේ එල්ලා සිටියදීය. ඔහු කිසි පාපයක් නොකළ බැවින් ඔහු ශාප ලැබුවේ ඔහුගේම පාපවලට නොව නමුත් මනුෂ්‍යවර්ගයාගේ පාප උදෙසාය. සාවුල් පසුව මෙසේ පැහැදිලි කළේය: “යම් පමණ දෙනෙක් ව්‍යවස්ථාවේ ක්‍රියාවල පිහිටෙන්නෝද, එපමණ දෙනා ශාපයකට යටත්ව සිටිති. මක්නිසාද: ව්‍යවස්ථාපොතෙහි ලියා තිබෙන සියලු දේවල් කරන පිණිස එහි නොපවතින සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබේ. ඉඳින් ව්‍යවස්ථාව කරණකොටගෙන කිසිවෙක් [දෙවි] ඉදිරිපිට ධර්මිෂ්ඨකරනු නොලබන බව පැහැදිලිය. . . . ගසක එල්ලෙන සියල්ලෝ ශාපලද්දෝයයි ලියා තිබෙන ලෙස, [ක්‍රිස්තුස්] අප උදෙසා ශාපයක්වී, ව්‍යවස්ථාවේ ශාපයෙන් අප [මුදාගත්තේය.]”—ගලාති 3:10-13.

යේසුස්ගේ පූජාවට මිදීමේ මිලයක් සේ ක්‍රියා කිරීමට හැකියාව තිබිණ. එම පූජාව පිළිගැනීමෙන්, යෙහෝවා සංකේතමය වශයෙන් ව්‍යවස්ථාව හා එහි ශාපය වධ කණුවක ඇණ ගැසීය. එම කාරණය වටහාගනිමින්, ‘යුදෙව්වරුන්ට පැකිලීමක්’ වූ වධ කණුව ‘දෙවිගේ ප්‍රඥාව’ වශයෙන් සැලකීමට සාවුල්ට හැකි විය. (1 කොරින්ති 1:18-25; කොලොස්සි 2:14) එසේ නම්, සාවුල් වැනි පව්කාරයන්ට ගැළවීම ලැබුණේ ව්‍යවස්ථාවේ ක්‍රියා මගින් නොව නමුත් දෙවිගේ ලබන්න නොවටිනා කරුණාව මගින් නම්, ව්‍යවස්ථාවෙන් පිටත සිටින්නන්ටත් එය ලබාගැනීමේ හැකියාවක් තිබිණ. එමෙන්ම යේසුස් සාවුල්ව යවමින් සිටියේ අන්‍යජාතීන් වෙතටය.—එපීස 3:3-7.

සාවුල් ක්‍රිස්තු ධර්මයට හැරුණ අවස්ථාවේදී ඔහු මෙය කෙතරම් දුරකට තේරුම්ගත්තාද කියා අපට කිව නොහැක. අන්‍යජාතීන් වෙතට වූ ඔහුගේ මෙහෙය සම්බන්ධයෙන් යේසුස් නැවතත් කතා කළේය. සමහරවිට කිහිප වතාවක්ම ඔහුට කතා කරන්න ඇති. කෙසේවෙතත් මේ සිද්ධීන් දිව්‍ය ආනුභාවයෙන් ලියනු ලැබුවේ වසර ගණනාවක් ගත වූවායින් පසුවය. (ක්‍රියා 22:17-21; ගලාති 1:15-18; 2:1, 2) කෙසේනමුත්, සාවුල්ට තම නව ස්වාමියාගෙන් වැඩි දුර උපදෙස් ලැබීමට පෙර දවස් ගණනක් ගත විය.

අනනියස්ගේ බැහැදැකීම

සාවුල්ට පෙනුණායින් පසුව යේසුස් අනනියස්ටත් පෙනී මෙසේ පැවසීය: “නැගිට ඍජු නම්වූ වීථියට ගොස්, තාර්සස්හි මනුෂ්‍යයෙක්වූ සාවුල් නම් කෙනෙකු ගැන යූදස්ගේ ගෙයි විභාගකරන්න. මක්නිසාද ඔහු යාච්ඤාකරමින් සිටිනුයේ, තමාට පෙනීම ලැබෙන පිණිස අනනියස් නම් මනුෂ්‍යයෙක් පැමිණ තමා පිට අත් තබනවා දුටුවේය.”—ක්‍රියා 9:11, 12.

අනනියස් සාවුල් ගැන දැන සිටි නිසා යේසුස්ගේ වචන ඇසූ ඔහු පුදුමයට පත්වීම අරුමයක් නොවේ. ඔහු “ස්වාමීනි, මේ මනුෂ්‍යයා යෙරුසලමේදී ඔබගේ ශුද්ධවන්තයන්ට කොපමණ නපුරුකම් කළේදැයි බොහෝ දෙනෙකුගෙන් ඇසීමි. මෙහිදීත්, ඔබගේ නාමයට යාච්ඤාකරන සියල්ලන් බඳින්ට නායක පූජකයන්ගෙන් බලය ලැබ සිටීයයි” කීවේය. කෙසේවුවත්, යේසුස් අනනියස්ට මෙසේ පැවසීය: “යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.”—ක්‍රියා 9:13-15.

බිය සැක දුරු කරගත් අනනියස් යේසුස් දුන් ලිපිනය සොයා ගියේය. සාවුල්ව සම්බ වී ආචාර කළාට පසුව අනනියස් ඔහු පිට අත් තැබීය. “එකෙණෙහිම [සාවුල්ගේ] ඇස්වලින් කොරපොතු වැන්නක් වැටී, ඔහු පෙනීම ලැබුවේය” කියා වාර්තාවෙහි පැවසේ. මේ අවස්ථාවේදී සාවුල් සවන් දීමට සූදානම්ව සිටියේය. යේසුස්ගේ වචනවලින් සමහරවිට සාවුල් තේරුම්ගන්න ඇති දේ අනනියස්ගේ මෙම වචනවලින් තවත් ස්ථිර විය: ‘අපේ පියවරුන්ගේ දෙවි, තමන්ගේ කැමැත්ත දැනගන්ටත් ධර්මිෂ්ඨ තැනැත්තාව දකින්ටත් ඔහුගේ මුඛයෙන් හඬක් අසන්ටත් නුඹව නියම කළේය. මක්නිසාද නුඹ ඇසූ දුටු දේ ගැන සියලු මනුෂ්‍යයන්ට නුඹ ඔහු උදෙසා සාක්ෂිකාරයෙක් වන්නෙහිය. ඉඳින් ප්‍රමාද වන්නේ මක්නිසාද? නැඟිට ඔහුගේ නාමයට යාච්ඤා කරමින්, බව්තීස්මය වී, නුඹේ පව් සෝදා දමන්න.’ ප්‍රතිඵලය කුමක්ද? සාවුල් ‘නැඟිට බව්තීස්ම වී, කෑම කා ශක්තිමත් විය.’—ක්‍රියා 9:17-19; 22:12-16.

ඇදහිලිවන්ත අනනියස් තම මෙහෙය ඉටු කිරීමෙන් අනතුරුව, තවදුරටත් ඔහු ගැන කිසිවක් අපට පවසා නැත. නමුත් සාවුල්, තමා ගැන අසා තිබූ සියලුදෙනාවම විස්මයට පත් කළා! යේසුස්ගේ ගෝලයන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි පීඩාකරන්නා මෙවිට සිනගෝගවල දේශනා කිරීමටත්, ක්‍රිස්තුස් යේසුස් බව ඔප්පු කිරීමටත් පටන්ගත්තේය.—ක්‍රියා 9:20-22.

“අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්”

දමස්කයට යමින් සිටියදී සාවුල්ට මුණගැසුණු තැනැත්තා ඔහුගේ පීඩාකාරි ක්‍රියා නැවැත්වීමට හේතුවක් විය. මෙසියස්ගේ අනන්‍යතාව වටහාගත් සාවුල්, හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල දක්වා ඇති සංකල්ප හා අනාවැකි බොහොමයක් යේසුස්ට අදාළ වන ආකාරය තේරුම්ගත්තේය. තමාට පෙනුණේත්, ‘තමාව අල්ලාගත්තේත්,’ “අන්‍යජාතීන්ට ප්‍රේරිතයෙක්” වශයෙන් තමාව පත් කළේත් යේසුස් බව දැනගැනීමෙන් සාවුල්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. (පිලිප්පි 3:12; රෝම 11:13) එතැන් පටන් ප්‍රේරිත පාවුල් හැටියට පෙනී සිටි ඔහුට මිහිපිට තම ජීවිතයේ ඉතිරි කාලය පමණක් නොව නමුත් ක්‍රිස්තියානි ඉතිහාසයේ ගමන් මඟද වෙනස් කිරීමට වරප්‍රසාදයක් මෙන්ම අධිකාරයක් තිබිණ.

වසර ගණනකට පසු, පාවුල්ගේ ප්‍රේරිතකම වාදයට ලක් වූ අවස්ථාවේදී, දමස්කයට යන අතරතුර ඔහු ලැබූ අද්දැකීම සඳහන් කරමින් තමාගේ අධිකාරිත්වය වෙනුවෙන් ඔහු කතා කළේය. ‘මම ප්‍රේරිතයෙක් නොවෙම්ද? මම අපගේ ස්වාමීවූ යේසුස් නුදුටිම්ද?’ කියා ඔහු ඇසුවේය. එමෙන්ම නැවත නැඟිටුණු යේසුස්ව අන්‍යයන් දුටු බව සඳහන් කළ පසු සාවුල් (පාවුල්) මෙසේ පැවසීය: “සියල්ලට පසු, අකලට උපන් තැනැත්තෙක් වැනිවූ මටත් [ඔහු පෙනුණේය].” (1 කොරින්ති 9:1; 15:8) යේසුස් තම ස්වර්ගික තේජසින් දර්ශනය වූ අවස්ථාවේදී, සාවුල් නියමිත කාලයට පෙර ආත්ම ජීවිතයකට ඉපදීමේ හෝ නැවත නැඟිටීමේ භාග්‍යය ලැබුවා වැනිය.

තම වරප්‍රසාදය පිළිගත් සාවුල් වෙර දැරුවේ ඒ අනුව ජීවත් වීමටය. “මම ප්‍රේරිතයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාය. මම [දෙවිගේ] සභාවට පීඩාකළ බැවින් ප්‍රේරිතයෙකැයි කියනු ලබන්ට නොවටිමි” කියා ඔහු ලිව්වේය. “නුමුත් . . . [දෙවි] මට දුන් අනුග්‍රහය [ලබන්න නොවටිනා කරුණාව, NW] නිශ්ඵල නොවීය; මම [අනික් සියලු ප්‍රේරිතයන්ට] වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි.”—1 කොරින්ති 15:9, 10.

සමහරවිට සාවුල්ගේ අද්දැකීමට සමාන එකක් ඔබටත් තිබිය හැක. දෙවිගේ අනුග්‍රහය ලැබීමට නම් දිගු කලක් පුරා තිබූ ආගමික විශ්වාසයන් වෙනස් කිරීමට අවශ්‍ය වන බව ඔබත් වටහාගත් අවස්ථාව ඔබට මතක ඇති. සත්‍යය වටහාගැනීමට යෙහෝවා ඔබට කළ උපකාරය සම්බන්ධයෙන් ඔබ බෙහෙවින් කෘතඥ වූ බව නිසැකයි. ආලෝකය දුටු සාවුල් තමාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා වටහාගත් විට, එසේ කිරීමට ඔහු පසුබට නොවීය. එමෙන්ම ඔහු මිහිපිට ගත කළ ඉතිරි කාලයේදී ජ්වලිතයෙන් හා අධිෂ්ඨානපූර්වකව එසේ කරමින් සිටියේය. අදදින යෙහෝවාගේ අනුග්‍රහය ලැබීමට ආශා වන සියලුදෙනාට මොනතරම් කදිම ආදර්ශයක්ද!

[පාදසටහන]

a එක ප්‍රවීණයෙක් සිතන්නේ, යූදස් ඒ ප්‍රදේශයේ විසූ යුදෙව් ජනතාවගේ නායකයෙකු එසේ නැතහොත් යුදෙව්වන් සඳහා වූ තානායමක අයිතිකරුවෙකු කියාය.

[27වන පිටුවේ පින්තූරය]

ඍජු නම් වීදිය අදදින දමස්කයේ

[හිමිකම් විස්තර]

ඡායාරූපය, ROLOC Color Slides