Skip to content

පටුනට යන්න

අපගේ ගැළවීමේ දෙවි කෙරෙහි ප්‍රීතිවීම

අපගේ ගැළවීමේ දෙවි කෙරෙහි ප්‍රීතිවීම

අපගේ ගැළවීමේ දෙවි කෙරෙහි ප්‍රීතිවීම

“මම වනාහි [යෙහෝවා] කෙරෙහි සන්තෝෂවන්නෙමි. මාගේ ගැළවීමේ [දෙවි] කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි.”—හබක්කුක් 3:18.

1. පොදු යුගයට පෙර 539දී සිදු වූ බබිලෝනියේ වැටීමට කලින් දානියෙල් දර්ශනයක් මගින් දුටුවේ කුමක්ද?

 පොදු යුගයට පෙර 539දී බබිලෝනියේ වැටීමට දශකයකට වඩා වැඩි කාලයකට කලින් මහලු වියේ පසු වූ අනාගතවක්තෘ දානියෙල් හැඟීම් දනවනසුලු දර්ශනයක් දැක්කා. යෙහෝවාගේ සතුරන් සහ ඔහු පත් කර සිටින රජු වන යේසුස් ක්‍රිස්තුස් අතර පවතින තීරණාත්මක යුද්ධයට මඟ පාදන ලෝක සිද්ධීන් එම දර්ශනය මගින් පුරෝකථනය කළා. දානියෙල්ගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද? ඔහු මෙසේ පැවසුවා: “මම ක්ලාන්තවී, . . . දර්ශනය ගැන විස්මපත්ව සිටියෙමි.”—දානියෙල් 8:27.

2. දානියෙල් දර්ශනය මගින් දුටු සටන කුමක්ද? එහි ආසන්නකම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?

2 අපි ගැන කුමක් කිව හැකිද? අපි ජීවත් වෙන්නේ, එදා සිට දිගු කාලයක් ගත වී තිබෙන අවදියකයි! දානියෙල් දර්ශනයෙන් දුටු සටන, එනම් අර්මගෙදොන් නමැති දෙවිගේ යුද්ධය ඉතාමත් ආසන්නව තිබෙන බව අපිට වැටහෙන විට, අපි එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? හබක්කුක්ගේ අනාවැකිය මගින් හෙළි කර තිබෙන දුෂ්ටකම මොනතරම් දුරකට ව්‍යාප්ත වී තිබෙනවාද කියනවා නම්, දෙවිගේ සතුරන් පිටට ගෙනෙන්න යන විනාශය වැළැක්විය හැකි දෙයක් නොවන බව තේරුම්ගනිද්දී, අපි එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? අනාවැකි ඇතුළත් හබක්කුක්ගේ පොතේ 3වන පරිච්ඡේදයේ විස්තර කරන පරිදි, බොහෝදුරට අපේ හැඟීම් ඔහුගේ හැඟීම්වලට සමානයි.

හබක්කුක් දෙවිගේ දයාව ඉල්ලා යාච්ඤා කරයි

3. හබක්කුක් යාච්ඤා කළේ කා වෙනුවෙන්ද? ඔහුගේ වදන් අපිට බලපෑ හැක්කේ කෙසේද?

3 හබක්කුක් 3වන පරිච්ඡේදය යාච්ඤාවක්. පළමුවන වගන්තියේ හබ 3:1 එය හඳුන්වා තිබෙන්නේ ශෝක ගීයක් හැටියටයි. මේ අනාගතවක්තෘ ඉදිරිපත් කරන යාච්ඤාවෙන් පෙනෙන්නේ ඔහු හරියටම තමා වෙනුවෙන්ම කතා කරනවා වගෙයි. නමුත් ඇත්තටම හබක්කුක් කතා කරන්නේ දෙවිගේ තෝරාගත් ජාතිය වෙනුවෙනුයි. අදදින, ඔහුගේ යාච්ඤාව රාජ්‍ය දේශනා කිරීමේ වැඩයෙහි හවුල් වන දෙවිගේ සෙනඟට මහත් අර්ථවත් බවකින් යුක්තයි. අපි මෙය මනසේ තබාගෙන හබක්කුක් තුන්වන පරිච්ඡේදය කියවන විට, එහි සඳහන් වදන් මගින් අප තුළ තැතිගැන්මක් මෙන්ම ප්‍රීතියක්ද ඇති කරනවා. අපේ ගැළවීමේ දෙවි වන යෙහෝවා කෙරෙහි ප්‍රීති වෙන්න හබක්කුක්ගේ යාච්ඤාව නැතහොත් ශෝක ගීතය අපට ප්‍රබල හේතු සපයනවා.

4. හබක්කුක් බියට පත් වූයේ ඇයි? දෙවි තම බලය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් අපිට නිසැක විය හැක්කේ කුමක්ද?

4 කලින් ලිපි දෙකෙහි අපගේ අවධානයට යොමු වූවාක් මෙන් හබක්කුක්ගේ කාලයේ යූදාහි පැවතියේ ඉතාමත් නරක තත්වයක්. එහෙත් මේ තත්වය දිගටම පවතින්න දෙවි ඉඩහැරියේ නැහැ. අතීතයේදී කළාක් මෙන් යෙහෝවා ඒ ගැන පියවරක් ගත්තා. අනාගතවක්තෘවරයා මෙසේ මොරගැසීම පුදුමයක් නොවෙයි: “අහෝ! යෙහෝවා, මම ඔබගේ ප්‍රවෘත්තිය ඇසුවෙමි. අහෝ! යෙහෝවා, ඔබගේ ක්‍රියා ගැන භය වුණෙමි.” ඔහු මෙයින් අදහස් කළේ කුමක්ද? ‘යෙහෝවාගේ ප්‍රවෘත්තිය’ වූයේ රතු මුහුද අසලදී හා පාළුකරයේදී මෙන්ම යෙරිකෝවේදී සිදු කළ දේවල් වැනි යෙහෝවාගේ බලවත් ක්‍රියා ඇතුළත් ඓතිහාසික වාර්තාවයි. මේ ක්‍රියාවන් හබක්කුක් හොඳින් දැනගෙන සිටියා. දෙවි නැවත වතාවක් තමන්ගේ සතුරන්ට එරෙහිව ඔහුගේ මහත් බලය පාවිච්චි කරන්න යන බව හබක්කුක් දැනගෙන සිටිය නිසා, දෙවි සිදු කළ ඒ ක්‍රියාවල් ඔහු තුළ බියක් ඇති කළා. අද මනුෂ්‍යයන්ගේ දුෂ්ටකම් දකින විට අපිත් දන්නවා, යෙහෝවා පුරාණයේ ක්‍රියා කළ ආකාරයට අනාගතයේදී කටයුතු කරන්න යන බව. මෙය අප තුළ බියක් ඇති කරනවාද? ඔව්, ඇත්තෙන්ම! කෙසේවෙතත්, හබක්කුක් මෙන් අපිත් මෙසේ යාච්ඤා කරමු: ‘අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියා ප්‍රාණවත් කරන්න. අවුරුදු අතරතුරේ ඒවා දන්වන්න; කැළඹිලි සහිත කාලවලදී අනුකම්පාව පෙන්වන්න සිහි කරන්න.’ (හබක්කුක් 3:2NW) දෙවිගේ නියමිත කාලයේදී, එනම් ‘අවුරුදු අතරතුරේදී’ තම ආශ්චර්යවත් ක්‍රියා නැවත සිදු කරත්වා! ඒ කාලයේදී, ඔහුට ප්‍රේම කරන අයට දයාව පෙන්වීම පිණිස ඔවුන්ව ඔහු සිහිපත් කරත්වා!

යෙහෝවා ක්‍රියාත්මක වෙයි!

5. ‘දෙවි තේමාන්හි සිට පැමිණියේ’ කෙසේද? අර්මගෙදොන් සම්බන්ධයෙන් ගත් කල එයින් ඇඟවෙන්නේ කුමක්ද?

5 දයාව දක්වන්න කියා අපි කරන යාච්ඤාවලට යෙහෝවා සවන් දෙන විට සිදු වන්නේ කුමක්ද? හබක්කුක් 3:3, 4හි සඳහන් දෙයින් එම ප්‍රශ්නයට අපිට උත්තරයක් සොයාගත හැකියි. මුලින්ම, අනාගතවක්තෘවරයා මෙසේ පවසනවා: ‘දෙවි තේමාන් සිටද ශුද්ධ තැනැත්තා පාරාන් කන්දේ සිටද එන්නේය.’ තේමාන් සහ පාරාන් නමැති ප්‍රදේශ මෝසෙස්ගේ කාලයේදී ඉශ්‍රායෙල් පාළුකරයේ සිට කානාන් දේශයට ගමන් කළ මාර්ගයේ පිහිටා තිබුණා. අතිවිශාල සෙනඟකින් යුත් ඉශ්‍රායෙල් ජාතිය දුෂ්කර ගමනක යෙදී සිටියදී, හරියට යෙහෝවාත් ඔවුන් සමඟ ගමන් කරනවා වගේ පෙනුණා. ඔහුව නතර කරන්න කිසිම දෙයකට හැකි වූයේ නැහැ. මැරෙන්න ටික කාලෙකට කලින් මෝසෙස් මෙසේ පැවසුවා: ‘යෙහෝවා සීනයිහි සිට ආවේය. සේයිර්හි සිට ඔවුන් කෙරෙහි උදා වූයේය. ඔහු පාරාන් කන්දෙන් බැබළුණේය. දසදහසක් ශුද්ධවන්තයන් [දේවදූතයන්] අතරේ සිට ආවේය.’ (ද්විතීය කථාව 33:2) යෙහෝවා අර්මගෙදොන්හිදී ඔහුගේ සතුරන්ට එරෙහිව ගමන් කරද්දී, කිසිම දෙයකට මැඩපැවැත්විය නොහැකි ඔහුගේ බලය එදා මෙන් අනාගතයේදීත් පෙන්වන්න යනවා.

6. දෙවිගේ තේජසට අමතරව, වටහාගැනීමේ ශක්තිය ඇති ක්‍රිස්තියානීන් තව කුමක් තේරුම්ගනීද?

6 හබක්කුක් මෙසේද පවසනවා: “[යෙහෝවාගේ] මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද [ඔහුගේ] ප්‍රශංසාවෙන් පිරුණේය. [ඔහුගේ] දීප්තිය එළිය මෙන් විය.” මොනතරම් තේජාන්විත දසුනක්ද! මිනිසුන්ට යෙහෝවා දෙවිව දැක ජීවත් විය නොහැකි බව ඇත්තයි. (නික්මයාම 33:20) කෙසේවෙතත්, දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් සම්බන්ධයෙන් සලකා බලද්දී, ඔවුන් යෙහෝවාගේ තේජාන්විත ශ්‍රේෂ්ඨත්වය ගැන ගැඹුරින් කල්පනා කරන විට, ඔවුන්ගේ හදවත් නමැති ඇස් දීප්තියෙන් බබළනවා. (එපීස 1:18) වටහාගැනීමේ ශක්තිය තිබෙන ක්‍රිස්තියානීන් යෙහෝවාගේ තේජසට අමතරව තවත් දෙයක් දකිනවා. හබක්කුක් 3:4 මෙසේ අවසන් වෙනවා: “[ඔහුගේ] හස්තයෙන් රශ්මි නික්මුණේය. [ඔහුගේ] පරාක්‍රමයද [ශක්තියද, NW] එහි සැඟවී තිබුණේය.” ඔව්, යෙහෝවා ශක්තිය හා බලය නමැති ඔහුගේ දකුණත යොදාගනිමින් ක්‍රියාත්මක වෙන්න සූදානම් බව අපි දකිනවා.

7. දෙවිට එරෙහිව කැරලිගසන්නන්ට ඔහුගේ විජයග්‍රාහි ගමනෙන් අදහස් කරන්නේ කුමක්ද?

7 දෙවිගේ විජයග්‍රාහි ගමනෙන් අදහස් කරන්නේ, ඔහුට එරෙහිව කැරලිගසන අයට විනාශය අත් වන බවයි. හබක්කුක් 3:5හි මෙසේ පැවසෙනවා: “[ඔහුට] පෙරටුවෙන් වසංගතය ගියේය. [ඔහුගේ] පාදවලින් ගිනි අකුණු නික්මුණේය.” පොදු යුගයට පෙර 1473දී, ඉශ්‍රායෙල්වරුන් පොරොන්දු දේශයේ මායිම් අද්දරටම ළඟා වෙමින් සිටි කාලයේදී, ඔවුන්ගෙන් බොහෝදෙනෙක් දුරාචාරයේ සහ රූප නමස්කාරයේ හවුල් වෙමින් කැරලිකාර ක්‍රියාමාර්ගයක් තෝරාගත්තා. එහි ප්‍රතිඵලයක් හැටියට, දෙවි එවූ වසංගතයකින් 20,000ක් මිය ගියා. (ගණන් කථාව 25:1-9) යෙහෝවා නුදුරු අනාගතයේදී, “සර්වපරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ යුද්ධයට” සැරසී ගමන් කරන විට, අතීතයේ සිදු වූවාක් මෙන් ඔහුට විරුද්ධව කැරලිගසන අය, ඔවුන්ගේ පාප නිසා වේදනා විඳින්න යනවා. සමහර අය සැබෑ වසංගතයෙන් පවා මරණයට පත් විය හැකියි.—එළිදරව් 16:14, 16.

8. හබක්කුක් 3:6හි පැවසෙන පරිදි, දෙවිගේ සතුරන්ට සිදු වන්නේ කුමක්ද?

8 හයවන වගන්තියේ පවසන ආකාරයට, ක්‍රියාත්මක වෙමින් සිටින සේනාවල යෙහෝවා ගැන පවසන මේ විචිත්‍රවත් විස්තරයට දැන් සවන් දෙන්න. හබක්කුක් 3:6හි අපිට මෙසේ කියවීමට තිබෙනවා: ‘ඔහු [යෙහෝවා දෙවි] [නිසොල්මන් වී, NW] සිට, පොළොව සෙලවුවේය. ඔහු බලා, ජාතීන් වෙවුලෙව්වේය. සදාකාල කඳු විසුරුණේය. පුරාණ හෙල්ද නැමුණේය. ඔහුගේ ගමන් පුරාණෙහි මෙන් විය.’ යෙහෝවා මුලින්ම ‘මඳකට නතර වන්නේ’, හරියට යුධ සෙන්පතියෙක් සටන් බිමේ තත්වය පරීක්ෂා කර බලනවා වගෙයි. ඔහුගේ සතුරන් භයෙන් වෙවුලයි. තමන්ට විරුද්ධව නැඟී සිටින තැනැත්තා කවුද කියා තේරුම්ගෙන ඔවුන් කම්පාවට පත් වෙයි. “පොළොවේ සියලු ගෝත්‍රයෝ [වැලපෙන]” කාලයක් පැමිණෙන බව යේසුස් පුරෝකථනය කළා. (මතෙව් 24:30) යෙහෝවාට එරෙහිව නැඟී සිටින්න කිසිවෙකුට නොහැකි බව ඔවුන් තේරුම්ගන්න විට ප්‍රමාද වැඩියි. “සදාකාල කඳු” සහ “පුරාණ හෙල්” හා සමාන සෙලවිය නොහැකි ලෙස පිහිටුවා තිබෙන්නාක් මෙන් පෙනෙන මිනිස් සංවිධාන සුනු විසුනු වී යනු ඇත. ඒ කාලයේදී, දෙවිගේ “ගමන් පුරාණෙහි මෙන්” වෙන්න යනවා. එනම් ඈත අතීතයේදී ක්‍රියා කළාක් මෙන් ක්‍රියා කරන්න යනවා.

9, 10. හබක්කුක් 3:7-11හි සඳහන් වදන් මගින් අපිට සිහිගන්වන්නේ කුමක්ද?

9 සිය සතුරන්ට එරෙහිව යෙහෝවාගේ ‘උදහස ඇවිළී’ තිබෙනවා. නමුත් ඔහුගේ මහත් යුද්ධයේදී ඔහු පාවිච්චි කරන්න යන අවි මොනවාද? අනාගතවක්තෘවරයා මේ අවි ගැන කරන මෙම විස්තරයට සවන් දෙන්න: “ගෝත්‍රවලට දුන් දිවුරුම් වචනය ප්‍රකාරයට, ඔබගේ දුන්නේ වැස්ම ඇරලාම තිබුණේය. ගංගා සෑදෙන ලෙස ඔබ පොළොව [පැළුවේය]. කඳු ඔබ දැක [භය විය]. ජලධාරාව වැගුරුණේය. ගැඹුර සිය හඬ පවත්වා, සිය අත් ඉහළ එසවිය. විහිදුණාවූ ඔබගේ ඊගස්වල එළියටත් ඔබගේ දිලිහෙන [හෙල්ලයේ] දීප්තිමත්කමටත් ඉර සඳ ඒවායේ විමානවල නැවතී සිටියෝය.”—හබක්කුක් 3:7-11.

10 යෝෂුවාගේ දවස්වලදී යෙහෝවා විශිෂ්ට ආකාරයකින් තම බලය පෙන්වමින්, ඉර හා සඳ එක තැන තිබීමට සැලැස්සුවා. (යෝෂුවා 10:12-14) යෙහෝවා විසින් අර්මගෙදොන්හිදී මේ බලයම යොදවනු ලබන බව හබක්කුක්ගේ වචන අපට සිහිගන්වනවා. පොදු යුගයට පෙර 1513දී ඵාරාවෝගේ හමුදා විනාශ කර දැමීම සඳහා යෙහෝවා රතු මුහුද යොදාගත් අවස්ථාවේදී, පොළොවේ ගැඹුරු ජලය පාලනය කරන්න තමා සතු බලය පෙන්නුවා. ඉන් අවුරුදු 40කට පසු, ඉශ්‍රායෙල් විජයග්‍රාහි ලෙස පොරොන්දු දේශයට යන ගමනේදී, පිටාර ගලන මට්ටමට තිබුණත් යොර්දාන් ගඟ බාධාවක් වූයේ නැහැ. (යෝෂුවා 3:15-17) අනාගතවක්තෘවරියක් වූ දෙබොරාගේ දවස්වලදී, ඉශ්‍රායෙල්ගේ සතුරෙක් වූ සිසෙරාගේ අශ්ව රථ ධාරානිපාත වර්ෂාව නිසා ගසාගෙන ගියා. (විනිශ්චයකාරයන් 5:21) අර්මගෙදොන්හිදී යෙහෝවා තම බලය පාවිච්චි කරද්දී, ඒ බලවේගයන්ම, එනම් ජලගැලීම්, ධාරානිපාත වර්ෂා සහ ගැඹුරු ජලය යොදාගත හැකි වෙයි. ඊතල පිරී තිබෙන ඊතල කොපුවක් වගේ, අකුණු හා විදුලි කෙටීම් ඔහුගේ අතේ තිබෙනවා.

11. යෙහෝවා ඔහුගේ මහත් බලය මුදාහරින විට සිදු වන්නේ කුමක්ද?

11 යෙහෝවා ඔහුගේ මහත් බලය මුදාහරින විට එය ඇත්තෙන්ම ගරු බිය දනවනසුලු අවස්ථාවක් වේවි. හබක්කුක්ගේ වචනවලින් ඇඟවෙන්නේ, රාත්‍රිය දවාල මෙන් වන බව හා කවදාවත් ඉර මගින් සිදු විය නොහැකි ආකාරයට දවාල දීප්තිමත් වෙන්න යන බවයි. අර්මගෙදොන් ගැන දේවානුභාවයෙන් ලියවී තිබෙන මේ අනාවැකිමය විස්තරය, වචනයේ අර්ථයෙන්ම ඉටු වෙන එකක් වුවත්, සංකේතාත්මක එකක් වුවත්, එක දෙයක් නම් ස්ථිරයි. එනම් එක සතුරෙකුටවත් පලා යන්න ඉඩ නොදෙමින් යෙහෝවා ජයග්‍රහණය කරනවාමයි.

දෙවිගේ සෙනඟට ගැළවීම සහතිකයි!

12. දෙවි ඔහුගේ සතුරන්ට කරන්න යන්නේ කුමක්ද? නමුත් ගැළවෙන්න යන්නේ කවුද?

12 යෙහෝවා තමාගේ සතුරන්ව විනාශ කරන අන්දම හබක්කුක් දිගටම විස්තර කරනවා. හබක්කුක් 3:12හි අපිට මෙසේ කියවීමට තිබෙනවා: ‘ඔබ කෝපයෙන් දේශයෙහි ගමන් කළේය. උදහසින් ජාතීන් මැඩලුවේය.’ ඒ කෙසේවෙතත්, යෙහෝවා ආවට ගියාට විනාශ කරන්න යන්නේ නැහැ. සමහර අය බේරෙන්න යනවා. “ඔබගේ සෙනගගේ ගැළවීම පිණිසත් ඔබගේ අභිෂේකලත් තැනැත්තා ගැළවීමටත් ඔබ පිටත්ව [ගියේය]” කියා හබක්කුක් 3:13හි සඳහන් වෙනවා. ඔව්, යෙහෝවා ඔහුගේ අභිෂේක ලත් ඇදහිලිවන්ත සේවකයන්ව ගළවන්න යනවා. ඒ කාලය වන විට, බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය නියෝජනය කරන මහා බබිලෝනියේ විනාශය සම්පූර්ණ වී තිබෙන්න යනවා. කෙසේවෙතත්, අද ජාතීන් උත්සාහ කරමින් සිටින්නේ නිර්මල නමස්කාරය තුරන් කර දමන්නයි. වැඩි කල් නොගොස් මාගොග්හි ගොග්ගේ හමුදා යෙහෝවාගේ සේවකයන්ට විරුද්ධව ප්‍රහාරයක් දියත් කරන්න යනවා. (එසකියෙල් 38:1–39:13; එළිදරව් 17:1-5, 16-18) සාතන්ගේ මෙහෙයවීමෙන් දියත් කරන එම ප්‍රහාරය සාර්ථක වෙයිද? නැහැ! කමතක වී පාගන්නාක් මෙන් යෙහෝවා මහත් කෝපයෙන් තම සතුරන්ව පාගා පොඩි කර දමන්න යනවා. නමුත්, තමාට ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාර කරන අයව ඔහු ගළවන්න යනවා.—යොහන් 4:24.

13. හබක්කුක් 3:13 ඉටු වන්නේ කෙසේද?

13 දුෂ්ටයන්ව සමූලඝාතනය කර දැමීම ගැන මෙම වදන් මගින් පුරෝකථනය කරනු ලබනවා: ‘ඔබ [යෙහෝවා] දුෂ්ටයාගේ වංශයේ ප්‍රධානියා පොඩි කර, බෙල්ල දක්වාම අත්තිවාරම ඇරියේය.’ (හබක්කුක් 3:13) මෙහි සඳහන් ‘වංශය’ වන්නේ, සාතන් නමැති යක්ෂයාගේ බලය යටතේ වැඩි දියුණු වූ දුෂ්ට පිළිවෙළයි. එය සහමුලින්ම විනාශ කර දමන්න යනවා. “ප්‍රධානියා” නැතහොත් දෙවිට විරුද්ධ වන නායකයන්ව පොඩි කර දමන්න යනවා. අත්තිවාරම දක්වා මෙම පිළිවෙළේ සම්පූර්ණ සැකැස්මම විනාශ කර දැමීමට නියමිතයි. එය ආයේ කවදාවත් පවතින්න යන්නේ නැහැ. මෙය මොනතරම් සහනයක් වේවිද!

14-16. හබක්කුක් 3:14, 15හි සඳහන් පරිදි යෙහෝවාගේ ජනයාට හා ඔවුන්ගේ සතුරන්ට සිදු වන්නේ කුමක්ද?

14 යෙහෝවාගේ ‘අභිෂේක ලත් තැනැත්තාව’ විනාශ කරන්න උත්සාහ කරන අයව, අර්මගෙදොන් සටන් බිමේදී ව්‍යාකූලත්වයකට පත් කරන්න යනවා. හබක්කුක් 3:14, 15හි සඳහන් පරිදි අනාගතවක්තෘවරයා යෙහෝවාට මෙසේ පවසනවා: “ඔබ ඔහුගේ අධිපතීන්ගේ ප්‍රධානියාට ඔහුගේම හෙල්ලවලින් [ඇන්නේය]. ඔවුහු [රණ විරුවෝ, NW] මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්තිකිරීමටය. මුහුද එනම් මහත් ජලස්කන්ධ පිට ඔබගේ අසුන් ඇතුව ඔබ [පාගා දැමුවේය].”

15 “[රණ විරුවෝ, NW] මා විසුරුවාදමන්ට සුළි හුළඟක් මෙන් ආවෝය” කියා හබක්කුක් පවසද්දී, “මා” කියා අනාගතවක්තෘවරයා කතා කරන්නේ, යෙහෝවාගේ අභිෂේක ලත් සේවකයන් වෙනුවෙනුයි. මඟ රැක සිට මංකොල්ල කන සොරුන් වගේ, ජාතීන් දෙවිගේ සේවකයන්ව විනාශ කර දමන්න එකපාරටම කඩා වදින්න යනවා. තමන් කරන්න හදන මේ වැඩය සාර්ථක වෙයි කියන විශ්වාසය ඇතුව දෙවිගේ මෙම සතුරන් ‘ප්‍රීතියෙන්’ උද්දාමයට පත් වෙනවා. ඇදහිලිවන්ත ක්‍රිස්තියානීන් “අසරණයන්” මෙන් කාගෙවත් සරණක් නැතුව සිටිනවා වගේ පෙනෙනවා. මෙවන් තත්වයක් පැවතියත්, දෙවිට විරුද්ධ බලවේගයන් ඔවුන්ගේ ප්‍රහාර දියත් කරද්දී, යෙහෝවා ඔවුන්ගේ අවි ඔවුන්ටම විරුද්ධව එල්ල වෙන්න සලස්වනවා. ඔවුන් තමන්ගේ අවි ආයුධවලින් නැතහොත් “හෙල්ලවලින්” තමන්ගේම පැත්තේ සිටින අයට පහර දෙන්න යනවා.

16 තවත් දේවල් සිද්ධ වෙන්නයි යන්නේ. යෙහෝවා විනාශය සම්පූර්ණ කිරීම සඳහා අධිමානුෂික අදෘශ්‍යමාන බල ඇණි යොදාගන්නවා. යේසුස් ක්‍රිස්තුස්ගේ නායකත්වය යටතේ තිබෙන තමාගේ ස්වර්ගික සේනාවලට අයත් “අසුන්” යොදාගෙන, යෙහෝවා විජයග්‍රාහි ලෙස දරුණු රළ හා සමාන අතිවිශාල ජන සමූහයක් වගේ තිබෙන “මුහුද” හා “මහත් ජලස්කන්ධ” අතරින් ජය ලබමින් ඉදිරියටම ගමන් කරන්න යනවා. (එළිදරව් 19:11-21) ඒ කාලයේදී දුෂ්ටකම පොළොවෙන් අතුගා දමන්න යනවා. දෙවිගේ බලය හා යුක්තිය මොනතරම් ප්‍රබල ලෙස විදහාපෑමක්ද!

යෙහෝවාගේ දවස පැමිණෙයි!

17. (අ) හබක්කුගේ වදන්වල ඉටුවීම ගැන අපිට නිසැකකමක් තබාගත හැක්කේ මන්ද? (ආ) යෙහෝවාගේ මහත් දවස බලා සිටින අතරේදී අපිට හබක්කුක් මෙන් කටයුතු කළ හැක්කේ කෙසේද?

17 වැඩි කල් නොගොස් හබක්කුක්ගේ වචන ඉටු වෙන බවට අපිට නිසැක විය හැකියි. එහි ඉටුවීම ප්‍රමාද වෙන්නේ නැහැ. අනාගතයේ වෙන්න යන දේවල් ගැන මේ පූර්ව දැනුමට ඔබ ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද? හබක්කුක් මේ වචන ලිව්වේ, දේවානුභාවයෙන් බව මතක තබාගන්න. යෙහෝවා ක්‍රියාත්මක වෙන්න යනවාමයි. ඔහු ක්‍රියාත්මක වෙද්දී මේ පොළොවේ මහා විනාශයක් සිද්ධ වෙනවා. අනාගතවක්තෘවරයා මෙසේ ලිවීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ: “මා ඇසු විට මාගේ බඩ කැලඹුණේය, ඒ හඬට මාගේ තොල් වෙවුලුවේය; මාගේ ඇටවලට දිරීම පැමිණ, මාගේ දණඉස් වැනුණේය. එහෙත් අපට විරුද්ධව යුද්ධකරන සෙනග නැගීඑන විපත්ති දවසේදී මට නිශ්චලය ලැබෙයි.” (හබක්කුක් 3:16) හබක්කුක් සෑහෙන්න කැලඹුණ බව තේරුම්ගැනීම ඒ තරම් අමාරු දෙයක් නොවෙයි. නමුත් ඔහුගේ ඇදහිල්ල සෙලවුණාද? කොහෙත්ම නැහැ! යෙහෝවාගේ දවස පැමිණෙන තෙක් නිශ්චලව බලා සිටින්න ඔහු කැමැත්තෙන් සිටියා. (2 පේතෘස් 3:11, 12) අපේ ආකල්පයත් විය යුත්තේ එයම නොවේද? ඔව්, නිසැකවම එයයි අපේ ආකල්පය විය යුත්තේ! හබක්කුක්ගේ අනාවැකිය ඉටු වෙන බව අපිට හොඳටම විශ්වාසයි. කෙසේවෙතත්, එය සිදු වෙන තෙක් අපි ඉවසිලිවන්තව බලා සිටිමු.

18. හබක්කුක් දුෂ්කරතා අපේක්ෂා කළත්, ඔහුගේ ආකල්පය වූයේ කුමක්ද?

18 යුද්ධයේ ප්‍රතිඵල නිතරම කටුකයි. අවසානයේදී ජයග්‍රහණය කරන අයට පවා දුෂ්කරතා විඳින්න සිදු වෙනවා. කෑම බීම හිඟ විය හැකියි. දේපොළ අහිමි විය හැකියි. ජීවන තත්වය පහත වැටෙන්න ඉඩ තිබෙනවා. අපිට මෙවැනි දේවලට මුහුණ දෙන්න සිදු වුවහොත්, අපි ප්‍රතික්‍රියා කරන්න යන්නේ කෙසේද? ආදර්ශයක් ලෙස ගත හැකි ආකල්පයක් හබක්කුක් විදහාපෙන්නුවා. ඔහු මෙසේ පැවසුවා: “අත්කික්කා ගස දළු නොලෑවත්, මුද්‍රිකවැල්වල පලදාවක් නොතිබුණත්; ඔලීව ගසේ ඵල හට නොගත්තත්, කෙත්වලින් භෝජන නොලැබුණත්; ගාලෙන් එළු බැටළු රැළ සිඳදමනු ලැබුවත්, පට්ටිවල ගවයන් නැතුව ගියත්; මම වනාහි [යෙහෝවා] කෙරෙහි සන්තෝෂවන්නෙමි, මාගේ ගැළවීමේ [දෙවි] කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි.” (හබක්කුක් 3:17, 18) හබක්කුක් සැබෑ තත්වය තේරුම්ගෙන, දුෂ්කරතා කල්තියාම අපේක්ෂාවෙන් සිටියා. සමහරවිට ඔහු සාගතයක් බලාපොරොත්තු වෙන්න ඇති. එහෙත්, තමාට ගැළවීම ලබා දෙන යෙහෝවා කෙරෙහි ප්‍රීතිවීම ඔහු කවදාවත් අත්හැරියේ නැහැ.

19. බොහෝ ක්‍රිස්තියානීන් කිනම් දුෂ්කරතා අද්දකිමින් සිටිනවාද? අපි අපේ ජීවිතවල මුල්තැන යෙහෝවාට දෙනවා නම් අපිට කුමක් ගැන නිසැක විය හැකිද?

19 අද, යෙහෝවා දුෂ්ටයන්ට එරෙහිව සටන ආරම්භ කරන්න කලින් පවා, හුඟදෙනෙක් දරුණු විපත්වලින් දුක් පීඩා විඳිනවා. රාජකීය බලයෙන් යුක්තව තමාගේ පැමිණසිටීම හා සම්බන්ධ ලකුණේ කොටසක් හැටියට යුද්ධ, සාගත, භූමිකම්පා සහ ලෙඩ රෝග සිද්ධ වෙන බව යේසුස් පුරෝකථනය කළා. (මතෙව් 24:3-14; ලූක් 21:10, 11) යේසුස්ගේ වචනවල ඉටුවීමේ ප්‍රතිඵලයක් හැටියට, දරුණු විදිහට දුක් කරදර අද්දකින රටවල්වල අපේ සහෝදරයන් හුඟදෙනෙක් ජීවත් වෙනවා. තවත් අය අනාගතයේ යම් දවසක ඒ හා සමාන තත්වයන්ට මුහුණ දිය හැකියි. අවසානය එන්න කලින්, අපගෙන් බොහෝදෙනෙක් සම්බන්ධයෙන් ‘අත්තික්කා ගසේ දළු හට නොගැනීම’ සැබෑවක් වෙන්න බොහෝදුරට ඉඩ තියෙනවා. කෙසේවෙතත්, මේ වගේ දේවල් සිදු වන්නේ ඇයි කියා අපි දන්නවා. එය අපිට ශක්තියක් සපයනවා. ඒ විතරක් නොවෙයි, අපිට සහයෝගය ලැබෙනවා. යේසුස් මෙසේ පොරොන්දු වුණා. “පළමුකොට රාජ්‍යයද ඔහුගේ [දෙවිගේ] ධර්මිෂ්ඨකමද දිගටම සොයමින් සිටින්න. අනිකුත් සෑම දෙයක්ම ඔබට ලැබෙනවා ඇත.” (මතෙව් 6:33NW) මේ පොරොන්දුව මගින් සැපපහසු ජීවිතයක් සහතික කරන්නේ නැහැ. නමුත් මෙයින් අපිට සහතික කරන්නේ අපි යෙහෝවාට පළමු තැන දෙනවා නම්, ඔහු අපිව බලාගන්න යන බවයි.—ගීතාවලිය 37:25.

20. තාවකාලික දුෂ්කරතා අද්දැක්කත්, අපි අදිටන් කරගත යුත්තේ කුමක් කිරීමටද?

20 එනිසා, අපිට මුහුණ දෙන්න සිදු විය හැකි තාවකාලික දුෂ්කරතා මොනව වුණත්, අපි අධෛර්යයට පත් වන්නේවත් යෙහෝවාගේ ගැළවීමේ බලය කෙරෙහි තිබෙන ඇදහිල්ල නැති කරගන්න යන්නේවත් නැහැ. අප්‍රිකාවේ, නැඟෙනහිර යුරෝපයේ හා වෙනත් තැන්වල ජීවත් වෙන අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන්නත්, ඔවුන් දිගටම ‘යෙහෝවා කෙරෙහි සන්තෝෂ වෙමින්’ සිටිනවා. ඔවුන් වගේම අපිටත්, අත් නොහැර ඒ දෙයම කරන්න හැකි වේවා! පරමාධිපති ස්වාමි වූ යෙහෝවා අපේ ‘බලයේ’ උල්පත බව මතක තබාගන්න. (හබක්කුක් 3:19) ඔහු කවදාවත් අපිව අතරමං කරන්න යන්නේ නැහැ. අර්මගෙදොන් එනවාමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒත් සමඟම අලුත් ලෝකය පැමිණෙන බව ස්ථිරයි. (2 පේතෘස් 3:13) ඒ කාලයේදී, “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් [යෙහෝවාගේ] තේජස දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” (හබක්කුක් 2:14) ඒ අපූර්ව කාලය එන තෙක් අපි හබක්කුක්ගේ යහපත් ආදර්ශය අනුගමනය කරමු. අපි නොකඩවාම ‘අපේ ගැළවීමේ දෙවි කෙරෙහි ප්‍රීති වෙමු.’

ඔබට මතකද?

• හබක්කුක්ගේ යාච්ඤාව අපිට බලපෑ හැක්කේ කෙසේද?

• යෙහෝවා සටනට යන්නේ ඇයි?

• ගැළවීම ගැන හබක්කුක්ගේ අනාවැකියෙහි පවසන්නේ කුමක්ද?

• අපි යෙහෝවාගේ මහත් දවස බලාසිටිය යුත්තේ කිනම් ආකල්පය ඇතුවද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[23වන පිටුවේ පින්තූරය]

දෙවි අර්මගෙදොන්හිදී දුෂ්ටයන්ට එරෙහිව යොදාගන්න යන බලවේගයන් මොනවාද කියා ඔබ දන්නවාද?