Skip to content

පටුනට යන්න

දුෂ්ටයන් සඳහා තව කොපමණ කල්ද?

දුෂ්ටයන් සඳහා තව කොපමණ කල්ද?

දුෂ්ටයන් සඳහා තව කොපමණ කල්ද?

‘දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්ති කරන කල [යෙහෝවා] ඔබ නිශ්ශබ්දව සිටින්නේ ඇයි?’—හබක්කුක් 1:13.

1. යෙහෝවාගේ තේජස දැනගැන්මෙන් පොළොව සම්පූර්ණයෙන් පිරී යන්නේ කවදාද?

 දෙවි කවදා හෝ දවසක දුෂ්ටයන්ව විනාශ කර දමයිද? එසේ කරයි නම්, අපි තව කොපමණ කාලයක් බලා සිටිය යුතුද? පොළොව පුරා සිටින මිනිසුන් එවන් ප්‍රශ්න අසනවා. එම ප්‍රශ්නවලට අපිට උත්තර සොයාගත හැක්කේ කොතැනින්ද? දෙවිගේ නියම කරන ලද කාලය සම්බන්ධයෙන් දේවානුභාවයෙන් ලියා තිබෙන අනාවැකිමය වදන් ඇසුරෙන් ඒ ප්‍රශ්නවලට උත්තර අපිට සොයාගත හැකියි. වැඩි කල් නොගොස් යෙහෝවා සියලුම දුෂ්ටයන්ට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කරන්න යන බවට එම වදන් අපට සහතික කරනවා. “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන් [යෙහෝවාගේ] තේජස දැනගැන්මෙන් පොළොව [සම්පූර්ණයෙන්] පිරීයන්නේ” ඒ කාලයේදී පමණයි. දෙවිගේ පරිශුද්ධ වචනයෙහි අඩංගු හබක්කුක් 2:14හි සඳහන් අනාවැකිමය පොරොන්දුව එයයි.

2. හබක්කුක් පොතේ අඩංගු දෙවි ක්‍රියාත්මක කරන විනිශ්චයන් තුන නම් කරන්න.

2 පොදු යුගයට පෙර 628දී පමණ ලියවී තිබෙන හබක්කුක් පොතේ යෙහෝවා දෙවි විසින් ක්‍රියාත්මක කරනු ලබන විනිශ්චයන් තුනක් ඇතුළත් වෙනවා. මෙම විනිශ්චයන්ගෙන් දෙකක් දැනටමත් ක්‍රියාත්මක කර හමාරයි. මින් පළමු එක වූයේ ඈත අතීතයේ ජීවත් වූ හිතුවක්කාර යූදා ජාතියට එරෙහිව ක්‍රියාත්මක වූ යෙහෝවාගේ විනිශ්චයයි. දෙවන එක ගැන කුමක් කිව හැකිද? එය හිංසාකාරි බබිලෝනියට එරෙහිව ක්‍රියාත්මක කළ දෙවිගේ විනිශ්චයයි. එසේනම්, මේ දිව්‍ය විනිශ්චයන්ගේ තුන්වන එකත් නිසැකවම ක්‍රියාත්මක වන බව විශ්වාස කරන්න අපිට සෑම හේතුවක්ම තිබෙනවා. ඇත්තෙන්ම, මෙහි ඉටුවීම ඉතාමත් ඉක්මනින් සිදු වෙනවා කියා අපිට බලාපොරොත්තු විය හැකියි. මේ අන්තිම දවස්වල ජීවත් වෙන නිර්දෝෂ අයගේ ශුභසිද්ධිය උදෙසා දෙවි සියලුම දුෂ්ටයන්ව විනාශ කර දමන්න යනවා. ඉතාමත් වේගයෙන් ළඟා වෙන “සර්ව පරාක්‍රමවූ [දෙවිගේ] මහත් දවසේ [යුද්ධයේදී],” මෙම දුෂ්ටයන්ගේ අවසාන තැනැත්තා ඔහුගේ අවසන් හුස්ම හෙළන්න යනවා.—එළිදරව් 16:14, 16.

3. අපේ කාලයේ සිටින දුෂ්ටයන්ට නිසැකවම සිදු වන්නේ කුමක්ද?

3 දෙවිගේ මහත් දවසේ යුද්ධය දිනෙන් දින වඩ වඩා ළං වෙමින් තිබෙනවා. යූදා දේශයට සහ බබිලෝනියට එරෙහිව යෙහෝවා සිය විනිශ්චය ක්‍රියාත්මක කළාක් මෙන් අපේ කාලයේ සිටින දුෂ්ටයන්ට එරෙහිවද විනිශ්චය ක්‍රියාත්මක කරන බව නොඅනුමානයි. කෙසේවෙතත්, අපි මේ මොහොතේදී සිටින්නේ හබක්කුක් ජීවත් වූ කාලයේ කියා සිතින් මවාගනිමු. ඒ දේශයේ සිදු වෙමින් තිබෙන්නේ මොනවාද?

කැලඹිලි සහිත දේශයක්

4. හබක්කුක්ට අසන්න ලැබෙන තැතිගන්වනසුලු ආරංචිය කුමක්ද?

4 යෙහෝවාගේ අනාගතවක්තෘ වන හබක්කුක් තමාගේ ගෙයි පැතිලි වහලය මත වාඩි වී, සැන්දෑවේ හමන සීතල මඳ පවනේ සිසිලස ලබමින් සිටිනවා. ඔහු අසල සංගීත භාණ්ඩයක් තිබෙනවා. (හබක්කුක් 1:1; 3:19, පසු සටහන) එනමුත් තැතිගන්වනසුලු ආරංචියක් හබක්කුක්ට අසන්න ලැබෙයි. යූදාහි රජ වූ යෙහෝයාකීම් අනාගතවක්තෘ උරියාව මරා, ඔහුගේ මළ සිරුර සාමාන්‍ය ජනයාගේ සොහොනක දමා තිබෙනවා. (යෙරෙමියා 26:23) උරියා යෙහෝවා කෙරෙහි විශ්වාසය නොතබමින් බියෙන් මිසරයට පලා ගිය බව ඇත්තයි. එහෙත්, යෙහෝයාකීම් එම අපරාධය සිදු කළේ යෙහෝවාව ගෞරවයට පත් කිරීමේ අභිලාෂයෙන් නොවන බව හබක්කුක් දන්නවා. දිව්‍ය නීතිය සම්පූර්ණයෙන්ම සුළු කිරීමෙන් හා අනාගතවක්තෘ යෙරෙමියා සහ යෙහෝවාට සේවය කරන වෙනත් අයට වෛර කිරීමෙන් ඔහුගේ මෙම ස්වභාවය පැහැදිලි වෙනවා.

5. යූදාහි පවතින ආත්මික තත්වය කෙබඳුද? හබක්කුක් එයට ප්‍රතිචාරය දක්වන්නේ කෙසේද?

5 ළඟපාත ගෙවල්වලින් නඟින සුවඳ දුම් හබක්කුක් දකිනවා. මිනිස්සු මේ සුවඳ දුම් ඔප්පු කරන්නේ යෙහෝවාගේ නමස්කාරකයන් හැටියට නම් නොවෙයි. ඔවුන් හවුල් වෙමින් සිටින්නේ, යූදාහි දුෂ්ට යෙහෝයාකීම් රජුගේ අනුග්‍රහය යටතේ සිදු කෙරෙන බොරු ආගමික කටයුතුවලයි. මොනතරම් නින්දිත දෙයක්ද! දෙනෙතෙහි කඳුළු පුරවාගෙන හබක්කුක් මෙසේ ආයාචනා කරනවා. ‘යෙහෝවා, මම කොපමණ කල් මොරගසම්ද? එහෙත් ඔබ අසන්නේ නැත. බලහත්කාරය ගැන ඔබට කෑගසමි. එහෙත් ඔබ ගළවන්නේ නැත. ඔබ අධර්මිෂ්ඨකම දකින්ට මට ඉඩහැර, හිතුවක්කාර හිංසාව බලා සිටින්නේ මක්නිසාද? නාස්ති කිරීමද බලාත්කාරයද මා ඉදිරිපිට තිබේ. භේද තිබේ, තරඟයද හටගනියි. එබැවින් ව්‍යවස්ථාව බෙලහීනය, [යුක්තිය කවදාවත් ඉටු නොවෙයි, NW]. මක්නිසාද දුෂ්ටයෝ ධර්මිෂ්ඨයා වට කරති; ඒ නිසා විපරීත විනිශ්චයක් සැලසේ [යුක්තිය නොපිට පෙරළෙයි, NW].’—හබක්කුක් 1:2-4.

6. යූදාහි ව්‍යවස්ථාවට හා යුක්තියට සිදු වී තිබෙන්නේ කුමක්ද?

6 ඔව්, නාස්ති කිරීමද බලාත්කාරයද සෑම තැනකම පැතිරී තිබෙනවා. හබක්කුක් බලන බලන අත ඔහුට දකින්න තිබෙන්නේ ගැටලු, අඬදබර හා ආරවුල්. ‘ව්‍යවස්ථාව බෙලහීනයි.’ එය අක්‍රියයි. යුක්තියට සිදු වී තිබෙන්නේ කුමක්ද? එය, ‘කවදාවත් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවෙයි.’ එය කවදාවත් ජය නොගනියි. ඒ වෙනුවට, අහිංසකයන්ව ආරක්ෂා කිරීමේ අරමුණින් පිළියෙළ කර තිබෙන නීතිවලින් පැන යන ‘දුෂ්ටයන් ධර්මිෂ්ඨයන්ව වට කරයි.’ ඇත්තෙන්ම, “යුක්තිය නොපිට පෙරළෙයි.” එය විකෘති කොට දක්වයි. මොනතරම් කනගාටුදායක තත්වයක්ද!

7. හබක්කුක් අදිටන් කරගන්නේ කුමක් කරන්නද?

7 හබක්කුක් මොහොතකට නතර වී උද්ගත වී තිබෙන මේ තත්වය ගැන කල්පනා කරයි. හබක්කුක් බලාපොරොත්තු අත්හරියිද? නැහැ, ඔහු අත්හරින්නේ නැහැ! දෙවිගේ ඇදහිලිවන්ත සේවකයන් අද්දකින සෑම හිංසා පීඩාවක් ගැනම සලකා බැලීමෙන් පසු, මෙම පක්ෂපාත මිනිසා යෙහෝවාගේ අනාගතවක්තෘවරයෙකු හැටියට දිගටම නොසැලී ස්ථිරව සිටීමට ගත් තමාගේ අධිෂ්ඨානය යළි ශක්තිමත් කරගනියි. හබක්කුක් ඔහුගේ ජීවිතය පවා පරදුවට තබමින් දිගටම දෙවිගේ පණිවිඩය ප්‍රකාශ කරන්න අදිටන් කරගනියි.

යෙහෝවා ඇදහිය නොහැකි තරමේ “ක්‍රියාවක්” සිදු කරයි

8, 9. යෙහෝවා සිදු කරන විශ්වාස කළ නොහැකි “ක්‍රියාව” කුමක්ද?

8 දෙවිට අගෞරව කරන බොරු ධාර්මිකයන් පිරිසක්ව හබක්කුක් දර්ශනයකින් දකියි. යෙහෝවා ඔවුන්ට පවසන දෙයට සවන් දෙන්න. “ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න.” යෙහෝවා මෙම දුෂ්ට මිනිසුන්ට මෙසේ අමතන්නේ ඇයි කියා හබක්කුක් කල්පනා කරන්න ඇති. අනතුරුව, යෙහෝවා ඔවුන්ට පවසන මේ වචන ඔහුට ඇසෙයි. “[පුදුම වන්න]; මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.” (හබක්කුක් 1:5) ඇත්තෙන්ම, ඔවුන්ට ඇදහිය නොහැකි මෙම ක්‍රියාව සිදු කරන්නේ යෙහෝවා විසින්මයි. කුමක්ද ඒ ක්‍රියාව?

9 හබක්කුක් 1:6-11 දක්වා සඳහන් වී තිබෙන, දෙවි තවදුරටත් පවසන වචනවලට හබක්කුක් මහත් ඕනෑකමින් සවන් දෙයි. මෙය යෙහෝවාගේ පණිවිඩයක්. එමනිසා, එහි පවසන දෙයෙහි ඉටුවීම වළක්වන්න කිසිම බොරු දෙවියෙකුට හෝ පණ නැති පිළිමයකට නොහැකියි. පණිවිඩය මෙයයි. “[මම] රෞද්‍රවූ කඩිසරවූ ජාතියක් වන කල්දිවරුන් නැගුටුවමි; ඔව්හු තමුන්ට අයිති නැති වාසස්ථාන හිමිකරගන්ට පොළොවේ දුරස්තර තැන් දක්වාම යති. ඔව්හු භයානකව භයංකරව සිටිති. ඔවුන්ගේ විනිශ්චයද උසස්කමද ඔවුන්ගෙන්ම පැමිණේ. ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රය, සැන්දෑ වෘකයන්ට වඩා සැරය; ඔවුන්ගේ අසරුවෝ විසිරයති [අශ්වයන් උන්ගේ පාද බිම ගසති, NW]. එසේය, ඔවුන්ගේ අසරුවෝ දුර සිට එති; ගොදුරු කරා වේගයෙන් යන රාජාලියෙකු මෙන් පියාඹති. ඔවුන් සියල්ලෝම බලාත්කාරය පිණිස එති; ඔවුන්ගේ මුහුණු නැගෙනහිර දෙසට යොමුකර තිබේ; ඔව්හු වැලි මෙන් වහලුන් රැස්කරගනිති. එසේය, ඔව්හු රජුන්ට නින්දා කරති, අධිපතීහුද ඔවුන්ට කවටකමක්ය. ඔව්හු සියලු බලකොටුවලට සිනාසී, පස් ගොඩකර, ඒවා අල්ලාගනිති. එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.”

10. යෙහෝවා විසින් නැඟිටුවනු ලබන්නේ කවුරුන්වද?

10 මහෝත්තමයාගෙන් පැමිණෙන මෙය මොනතරම් ප්‍රබල අනාවැකිමය අනතුරු ඇඟවීමක්ද! යෙහෝවා කල්දිවරුන් කියාද හඳුන්වන ම්ලේච්ඡ බබිලෝනිවරුන්ව නැඟිටුවයි. ඔවුන් ‘පොළොවේ දුරස්තර තැන් දක්වා’ යුද්ධ කරන්න යන ගමනේදී, ජනාවාස ප්‍රදේශ අතිවිශාල ප්‍රමාණයක් අල්ලාගනියි. මොනතරම් තැතිගන්වනසුලු දෙයක්ද! කල්දිවරුන්ගේ විශාල සේනාව “භයානකව භයංකරව සිටිති,” ඉතාමත් දරුණුයි. භීතිය ඇති කරවයි. ඔවුන් තමන්ට කැමති විදිහට දැඩි නීති පනවයි. ‘ඔවුන්ගේ විනිශ්චය පැමිණෙන්නේ ඔවුන්ගෙන්මයි.’

11. යූදාට එරෙහිව බබිලෝනීය හමුදා පැමිණීම ඔබ විස්තර කරන්නේ කෙසේද?

11 බබිලෝනිවරුන්ගේ අශ්වයන් වේගවත්ම දිවියන්ට වඩා වේගයෙන් දුවයි. ඔවුන්ගේ අසරු සේනාව රාත්‍රි කාලයේ ගොදුරු සොයමින් යන කුසගින්නේ පසු වන වෘකයන්ට වඩා රෞද්‍රයි. ‘ඔවුන්ගේ යුද්ධ අශ්වයන් උන්ගේ පාද බිම ගසන තෙක්’ නොඉවසිලිවන්තව බලා සිටියි. දුර ඈත පිහිටි බබිලෝනියේ සිට ඔවුන් යූදා බලා ගමන් කරයි. රසවත් ගොදුරක් කරා වේගයෙන් පියඹා යන රාජාලියෙක් මෙන්, කල්දිවරුන් ඔවුන්ගේ ගොදුර ඩැහැගන්න වේගයෙන් කඩා පාත් වෙන දවස වැඩි ඈතක නොවෙයි. මෙය සොල්දාදුවන් කිහිපදෙනෙකු විසින් සිදු කරන හදිසි ප්‍රහාරයක් පමණක් වේවිද? නැහැ, කොහෙත්ම නැහැ! මහා විනාශයක් කරන්න වේගයෙන් කඩා වදින අතිවිශාල හමුදාවක් වගේ “ඔවුන් සියල්ලෝම බලාත්කාරය පිණිස [එයි].” ඔවුන්ගේ මුහුණුවලින් නොඉවසුම්ගතියක් දිස් වෙයි. නැඟෙනහිර සුළඟ වේගයෙන් හමා එන්නාක් මෙන් ඔවුන් යූදා සහ යෙරුසලම බලා බටහිර දෙසට වේගයෙන් ගමන් කරයි. බබිලෝනීය හමුදා විසින් අල්ලාගන්න වහලුන් ගණන කොපමණද කිව්වොත් ඔවුන්ගේ ගණන “වැලි” මෙන්ය.

12. බබිලෝනිවරුන්ගේ ආකල්පය කුමක්ද? මෙම භයානක සතුරා ‘වරදකරුවෙක් වන්නේ’ කුමක් නිසාද?

12 කල්දිවරුන්ගේ හමුදාව රජුන්ට නින්දා කරමින් අධිපතීන්ට කවටකම් කරයි. මේ කලහකාරි මෙහෙයුම නතර කර දමන්න ඔවුන්ගෙන් කිසිවෙකුට බලයක් නැත. බබිලෝනිවරුන් බලකොටු බිඳහෙළීම සඳහා “පස් ගොඩකර” කන්දක් සාදන විට, ‘ඒ බලකොටු දෙස බලා සිනාසෙයි.’ යෙහෝවාගේ නියමිත කාලයේදී මේ භයානක සතුරා “හුළඟක් මෙන් ගහගන [යන්නේය].” යූදාවට හා යෙරුසලමට පහර දීමේදී, ඔවුන් දෙවිගේ සෙනඟට හිංසා කිරීම ගැන ‘වරදකරුවන් වෙයි.’ දරුණු විනාශයක් සිදු කොට අත් කරගත් ජයග්‍රහණයෙන් පසු කල්දිවරුන්ගේ අණ දෙන නිලධාරියා මෙසේ පුරසාරම් දොඩයි. ‘මේ බලය අපිට ලැබුණේ අපේ දෙවියන්ගෙනුයි.’ එහෙත් ඔහුගේ මෙම නිගමනය සහමුලින්ම වැරදියි!

බලාපොරොත්තුව සඳහා ස්ථිර පදනමක්

13. හබක්කුක් මහත් බලාපොරොත්තු ඇතුව නිසැකකමකින් සිටින්නේ මන්ද?

13 යෙහෝවාගේ අරමුණ ගැන වැඩි අවබෝධයකින් යුක්තව හබක්කුක්ගේ හෘදයේ බලාපොරොත්තු ඉහළ නැංවෙයි. පූර්ණ නිසැකකමක් ඇතුව සිටින ඔහු යෙහෝවාට ගෞරවය දෙමින් කතා කරයි. හබක්කුක් 1:12හි සඳහන් වී තිබෙන ආකාරයට ඔහු මෙසේ පවසයි. “අහෝ, යෙහෝවා ඔබ පුරාණයේ පටන් සිටිනවා නොවේද? අහෝ, මාගේ දෙවියනි, මාගේ ශුද්ධ තැනැත්තාණෙනි, ඔබ මිය යන්නේ නැත [NW].” සැබවින්ම යෙහෝවා “සදාකාලයෙන් සදාකාලයටම” පවතින දෙවිය.—ගීතාවලිය 90:1, 2.

14. යූදාහි සිටින ඇදහිල්ල අත්හැර ගිය අය කිනම් ක්‍රියාමාර්ගයක් ලුහුබැඳ තිබෙනවාද?

14 දෙවි තමාට පෙන්වූ දර්ශනය ගැන ගැඹුරින් සිතමින්, එයින් සැපයෙන තීක්ෂ්ණ බුද්ධිය ගැන ප්‍රීති වෙමින් අනාගතවක්තෘවරයා තවදුරටත් මෙසේ පවසයි. ‘අහෝ යෙහෝවා ඔබ ඔවුන්ව විනිශ්චය පිණිස නියම කර තිබේ; අහෝ පර්වතයාණෙනි, ඔබ ඔවුන්ව දඬුවම පිණිස පිහිටුවා තිබේ.’ යූදාහි සිටින ඇදහිල්ල අත්හැර ගිය අයව දෙවි දැඩි විනිශ්චයකට පමුණුවා තිබෙන අතර, ඔවුන් යෙහෝවාගේ හික්මවීම හා දැඩි දඬුවම් ලැබීමට සුදුසු තත්වයක සිටියි. තමන්ගේ පර්වතය, එකම සැබෑ බලකොටුව, රක්ෂාස්ථානය හා ගැළවීමේ උල්පත හැටියට ඔවුන් යෙහෝවා දෙස බැලිය යුතුව තිබුණා. (ගීතාවලිය 62:7; 94:22; 95:1) එහෙත්, යුදයේ ඇදහිල්ල අත්හැර යන නායකයන් දෙවිට ළං නොවෙමින් දිගටම දෙවිගේ අහිංසක නමස්කාරකයන්ට හිංසා පීඩා කරයි.

15. යෙහෝවාගේ ඇස් ‘නපුර බලන්න බැරි තරමට පවිත්‍ර’ වන්නේ කිනම් අර්ථයෙන්ද?

15 මේ තත්වය නිසා යෙහෝවාගේ අනාගතවක්තෘවරයා සෑහෙන්න කලකිරීමට පත් වී සිටියි. එනිසා ඔහු මෙසේ පවසයි. ‘නපුර බලන්න බැරි තරම් වූ පවිත්‍ර ඇස් ඔබට තිබේ. ඔබට හිංසාව බලා සිටිය නොහැක.’ (හබක්කුක් 1:13) ඔව්, ‘නපුර බලන්න බැරි තරමට’ යෙහෝවාගේ ඇස් ‘පවිත්‍රයි.’ එයින් අදහස් වන්නේ, ඔහුට වැරදි දේවල් රුස්සන්නේ නැති බවයි.

16. හබක්කුක් 1:13-17හි සඳහන් වාර්තාව ඔබ ලුහුඬින් දක්වන්නේ කෙසේද?

16 මේ නිසා හබක්කුක්ගේ මනසෙහි සිතුවිලි පුබුදුවාලන ප්‍රශ්න කිහිපයක් ඇති වී තිබෙනවා. ඔහු මෙසේ අසයි. “[ඔබ] ද්‍රෝහීන් දෙස බලාසිටින්නෙත්, දුෂ්ටයා තමාට වඩා ධර්මිෂ්ඨ තැනැත්තා නාස්තිකරන කල ඔබ නිශ්ශබ්දව සිටින්නෙත්, මුහුදේ මත්ස්‍යයන් මෙන්ද තමුන් කෙරෙහි ආණ්ඩුකාරයෙකු නැති බඩගායන සතුන් මෙන්ද වෙන්ට මනුෂ්‍යයන්ට සලස්වන්නෙත් මක්නිසාද? ඔහු බිළිකටුවෙන් සියල්ලන් අල්ලාගන්නේය, තමාගේ දැලෙන් ඔවුන් ඇදගන, තමාගේ අතංගුවෙන් ඔවුන් එකතුකරගන්නේය. [එනිසා] ඔහු ප්‍රීතිව සන්තෝෂවන්නේය. එබැවින් ඔහු තමාගේ දැලට පූජා ඔප්පුකොට, තමාගේ අතංගුවට සුවඳ දුම් දමන්නේය; මක්නිසාද ඒවායින්ම ඔහුගේ කොටස තරවී, ඔහුගේ ආහාර පුෂ්ටිමත්ව තිබේ. ඒ පිණිස ඔහු තමාගේ දැල හිස්කොට [අනුකම්පාවක් නොදක්වමින්, NW] ජාතීන් නිතරම මරා දැමීමෙන් නොවැලකෙන්නේද?”—හබක්කුක් 1:13-17.

17. (අ) යූදාට හා යෙරුසලමට පහර දීමේදී බබිලෝනිවරුන් දෙවිගේ අරමුණ ඉටු කරන්නේ කෙසේද? (ආ) යෙහෝවා හබක්කුක්ට හෙළි කරන්න යන්නේ කුමක්ද?

17 යූදාට සහ එහි අගනුවර වන යෙරුසලමට පහර දෙන විට බබිලෝනිවරුන් තමන්ට කැමති විදිහට හිතුමතේ කටයුතු කරාවි. නොඇදහිලිකාර සෙනඟකට විරුද්ධව දෙවිගේ ධර්මිෂ්ඨ විනිශ්චය ක්‍රියාත්මක කරවන්න දෙවි යොදාගන්න මාධ්‍යය හැටියට තමන් කටයුතු කරමින් සිටින බව ඔවුන් දන්නේ නැහැ. දෙවි තමාගේ විනිශ්චය ක්‍රියාත්මක කරන්න දුෂ්ට බබිලෝනිවරුන්ව යොදාගැනීම හබක්කුක්ට තේරුම්ගන්න අමාරු දෙයක් වීමට හේතුව පැහැදිලියි. මේ කෲර කල්දිවරුන් යෙහෝවාට නමස්කාර කරන අය නොවෙයි. ඔවුන් මිනිසුන්ව සලකන්නේ අල්ලා නැති කර දැමීමට සුදුසු ‘මත්ස්‍යයන් හා බඩගා යන සතුන්’ හැටියටයි. නමුත් මේ කාරණා සම්බන්ධයෙන් හබක්කුක්ගේ සිතේ ඇති වන ව්‍යාකූලත්වය වැඩි කල් නොපවතියි. ගිජු ලෙස සිදු කළ කොල්ලකෑම් හා දරුණු ලේ වැගිරීම් සම්බන්ධයෙන් බබිලෝනිවරුන්ට දඬුවම් නොකර නාරින බව යෙහෝවා ඔහුගේ අනාගතවක්තෘවරයාට ඉක්මනින්ම හෙළි කරන්න යයි.—හබක්කුක් 2:8.

තවදුරටත් යෙහෝවා පවසන වදන්වලට සූදානමින්

18. හබක්කුක් 2:1හි පැහැදිලි වන පරිදි හබක්කුක්ගේ ආකල්පයෙන් අපිට කුමක් ඉගෙනගත හැකිද?

18 කෙසේවෙතත්, මේ අවස්ථාවේදී හබක්කුක් බලා සිටින්නේ, තවදුරටත් යෙහෝවා තමාට පවසන වචනවලට සවන් දීමටයි. අනාගතවක්තෘවරයා මෙසේ අධිෂ්ඨානපූර්වකව පවසයි. “මම මාගේ මුරපළ උඩට පැමිණ, බලකොටුව උඩ සිටගන, [ඔහු] මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලාසිටින්නෙමි.” (හබක්කුක් 2:1) අනාගතවක්තෘවරයෙකු හැටියට තමා මාර්ගයෙන් දෙවි තවදුරටත් පවසන්නේ මොනවාද කියා දැනගන්න හබක්කුක් දැඩි උනන්දුවකින් පසු වෙයි. නපුරු දේවල් නොරුස්සන දෙවි කෙනෙකු හැටියට ඔහු යෙහෝවා කෙරෙහි ඇදහිල්ල තබා තිබෙන නිසා, දුෂ්ටයන් පවතින්නේ ඇයි කියා ඔහු කල්පනා කළත්, තමාගේ සිතුවිලි සකස් කරගන්න ඔහු කැමැත්තෙන් සිටියි. ඔව්, අපි ගැන කුමක් කිව හැකිද? සමහර දුෂ්ට දේවලට ඉඩහැර තිබෙන්නේ ඇයි කියන ප්‍රශ්නය අපේ සිත්වල ඇති වන විට, අපේ සමබරතාව දිගටම පවත්වාගනිමින් දෙවි කෙරෙහි බලා සිටින්න අපිට උපකාර කරන්නේ, යෙහෝවා දෙවිගේ ධර්මිෂ්ඨකම කෙරෙහි අප තුළ තිබෙන නිසැකකමයි.—ගීතාවලිය 42:5, 11.

19. දෙවි හබක්කුක්ට පැවසූ වචන සැබෑ කරවමින් හිතුවක්කාර යුදෙව්වන්ට සිදු වූයේ කුමක්ද?

19 යෙහෝවා හබක්කුක්ට පැවසූ වචනවලට එකඟව කටයුතු කරමින් යූදාව ආක්‍රමණය කරන්න බබිලෝනිවරුන්ට ඉඩහැරීමෙන් හිතුවක්කාර යුදෙව් ජාතියට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කළා. පොදු යුගයට පෙර 607දී ඔවුන් යෙරුසලම සහ එහි දේවමාළිගාව විනාශ කර, වෙනසක් නොමැතිව තරුණ මහලු දෙපිරිසම ඝාතනය කර, බොහෝදෙනෙකුව වහලුන් හැටියට ගෙන ගියා. (2 ලේකම් 36:17-20) වහලුන් හැටියට බබිලෝනියේ දිගු කාලයක් ගත කිරීමෙන් පසු, ඉතිරි වී සිටි ඇදහිලිවන්ත යුදෙව්වන් ආපසු තම මව් බිමට පැමිණ, දේවමාළිගාව නැවත ගොඩනැඟුවා. කෙසේවෙතත්, පසු කලෙක යුදෙව්වරු නැවතත් යෙහෝවා කෙරෙහි තිබෙන ඇදහිල්ල නැති කරගත්තා. විශේෂයෙන්ම මෙය සිදු වූයේ මෙසියස් හැටියට යේසුස්ව ඔවුන් ප්‍රතික්ෂේප කළ කාලයේදීයි.

20. යේසුස්ව ප්‍රතික්ෂේප කිරීම ගැන පැහැදිලි කිරීමට පාවුල් හබක්කුක් 1:5 යොදාගත්තේ කෙසේද?

20 ක්‍රියා 13:38-41 දක්වා සඳහන් වන පරිදි, යේසුස්ව ප්‍රතික්ෂේප කර, ඔහුගේ මිදීමේ පූජාව පිළි නොගැනීමෙන් අත් වන දෙය ගැන ප්‍රේරිත පාවුල් අන්තියෝකියෙහි සිටි යුදෙව්වන්ට පැහැදිලි කළා. ග්‍රීක් සෙප්ටූඅජින්ට් අනුවාදයෙන් හබක්කුක් 1:5 උපුටා දක්වමින් පාවුල් මෙසේ අනතුරු ඇඟෙව්වා. “හෙළාදකින්නෙනි, බලව්, පුදුමවව්, විනාශවව්; මක්නිසාද නුඹලාගේ දවස්වලදී ක්‍රියාවක් කරමි, ඒ ක්‍රියාව ගැන යමෙක් නුඹලාට ප්‍රකාශකළත් නුඹලා කිසිසේත් එය විශ්වාස නොකරන්නහුයයි අනාගතවක්තෘවරුන්ගේ පොත්වල කියා තිබෙන කාරණා නුඹලා පිටට නොපැමිණෙන ලෙස බලාගන්න.” පාවුල්ගේ උපුටා දැක්වීම සැබෑවක් කරවමින්, පො.යු. 70දී රෝම හමුදාව යෙරුසලම සහ එහි දේවමාළිගාව විනාශ කළ අවස්ථාවේදී, හබක්කුක් 1:5හි දෙවන ඉටුවීම සිදු වූවා.

21. දෙවි බබිලෝනිවරුන්ව යොදාගනිමින් යෙරුසලම විනාශ කිරීමෙන් සිදු කළ “ක්‍රියාව” හබක්කුක්ගේ කාලයේ විසූ යුදෙව්වන් සැලකුවේ කෙසේද?

21 යෙරුසලම් නගරය, යෙහෝවාගේ නමස්කාරයේ මධ්‍යස්ථානය මෙන්ම ඔහු ආලේප කළ රජු සිංහාසනාරූඪ වූ ස්ථානය නිසා, බබිලෝනිවරුන්ව යොදාගෙන ඒ නගරය විනාශ කිරීමෙන් දෙවි සිදු කළ “ක්‍රියාව,” හබක්කුක්ගේ දවසේ ජීවත් වූ යුදෙව්වන්ට විශ්වාස කළ නොහැකි දෙයක් වූවා. (ගීතාවලිය 132:11-18) යෙරුසලම කවදාවත් එවන් විනාශයකට ගොදුරු වී තිබුණේ නැහැ. එහි තිබූ දේවමාළිගාවට කවදාවත් ගිනි තබා තිබුණේ නැහැ. දාවිත්ගේ රාජකීය වංශය කවදාවත් කාටවත් යටත් වුණේ නැහැ. මේ වගේ දෙයක් සිදු වෙන්න යෙහෝවා ඉඩහැරීම සිතාගත නොහැකි දෙයක් වූවා. නමුත්, දෙවි හබක්කුක් මාර්ගයෙන්, කම්පා කරවන මේ සිද්ධීන් ගැන පැහැදිලි අනතුරු ඇඟවීම් දුන්නා. එමෙන්ම කලින් පවසා තිබූ විදිහටම ඒ දේවල් සිදු වූ බවට ඉතිහාසය සාක්ෂි දරනවා.

අපගේ දවසේදී දෙවි සිදු කරන විශ්වාස කළ නොහැකි “ක්‍රියාව”

22. අපේ කාලයේදී යෙහෝවාගේ විශ්වාස කළ නොහැකි “ක්‍රියාව” වනු ඇත්තේ කුමක්ද?

22 අපේ කාලයේදීත් දෙවි විශ්වාස කළ නොහැකි “ක්‍රියාවක්” කරන්න යනවාද? විශ්වාස කළ නොහැකි දෙයක් හැටියට සැක කරන්නන්ට පෙනුණත්, ඔහු ඒ හා සමාන දෙයක් කරන්න යන බවට කිසිම සැකයක් තබාගන්න එපා. මේ වතාවේදී, යෙහෝවාගේ ‘විශ්වාස කළ නොහැකි ක්‍රියාව’ වන්නේ ක්‍රිස්තියානි ලෝකයේ විනාශයයි. තමන් දෙවිට නමස්කාර කරනවා කියා පුරාණ යූදා දේශය මෙන් කියා සිටියත්, එය හොඳටම දූෂ්‍ය වෙලා. වැඩි කල් නොගොස් යෙහෝවා ක්‍රිස්තියානි ලෝකයේ ආගමික පිළිවෙළට අයත් සෑම අංශුමාත්‍රයක්ම අතුගා දමන්න යනවා. බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය වන ‘මහ බබිලෝනියේ’ සිටින සියලුදෙනාටම සිදු වන්නෙත් ඒ දෙයමයි.—එළිදරව් 18:1-24.

23. දෙවිගේ ආත්මය හබක්කුක්ව ඊළඟට පෙලඹුවේ කුමක් කිරීමටද?

23 පොදු යුගයට පෙර 607දී සිදු වූ යෙරුසලමේ විනාශයට කලින් හබක්කුක් ලවා කරන්න තවත් බොහෝ දේවල් යෙහෝවාට තිබුණා. තමාගේ අනාගතවක්තෘවරයාට තවත් කියන්න යමක් දෙවිට තිබෙනවාද? ඔව්, හබක්කුක් සවන් දෙන්න යන දේවල් ඔහු තුළ මොනතරම් පෙලඹීමක් ඇති කරන්න යනවාද කිවහොත්, තමාගේ සංගීත භාණ්ඩය රැගෙන යාච්ඤාවක් ලෙස, ශෝක ගීතයක් යෙහෝවාට ගායනා කරන්න ඔහු පෙලඹෙයි. කෙසේවෙතත් මුලින්ම යෙහෝවාගේ ආත්මය ඔහුව පොලඹවන්නේ, විස්මය දනවනසුලු දුක් හා සම්බන්ධ පණිවිඩ ප්‍රකාශ කරන්නයි. දෙවිගේ නියම කරන ලද කාලය සඳහා එවැනි අනාවැකිමය වදන්වල තිබෙන ගැඹුරු අර්ථය සම්බන්ධයෙන් තීක්ෂ්ණ බුද්ධියක් ලබාගන්න ලැබීම අපි අගය කරන බවට කිසිම සැකයක් නැහැ. එනිසා, අපි හබක්කුක්ගේ අනාවැකියට දිගටම අවධානය දෙමු.

ඔබට මතකද?

• හබක්කුක්ගේ කාලයේදී යූදාහි පැවතියේ කිනම් තත්වයන්ද?

• යෙහෝවා හබක්කුක්ගේ කාලයේදී සිදු කළ විශ්වාස කළ නොහැකි “ක්‍රියාව” කුමක්ද?

• බලාපොරොත්තු ඇතුව සිටීම සඳහා හබක්කුක්ට තිබුණේ කිනම් පදනමක්ද?

• දෙවි අපගේ දවසේදී සිදු කරන්න යන විශ්වාස කළ නොහැකි “ක්‍රියාව” කුමක්ද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[9වන පිටුවේ පින්තූරය]

දෙවි දුෂ්ටයන්ට ජීවත් වෙන්න ඉඩහැර තිබෙන්නේ ඇයි කියා හබක්කුක් කල්පනා කළා. ඔබත් එසේ කරනවාද?

[10වන පිටුවේ පින්තූරය]

බබිලෝනිවරුන්ගේ අතින් යූදා දේශය විනාශ වීම හබක්කුක් පුරෝකථනය කළා

[10වන පිටුවේ පින්තූරය]

පුරාවිද්‍යාත්මක කැණීම් මගින් සොයාගත් පො.යු.පෙ. 607දී විනාශ කළ යෙරුසලමේ නටබුන්