Skip to content

පටුනට යන්න

නොපසුබස්නා උත්සාහයෙන් ජයගන්න

නොපසුබස්නා උත්සාහයෙන් ජයගන්න

නොපසුබස්නා උත්සාහයෙන් ජයගන්න

අදදින මිහිපිට නොපසුබස්නා උත්සාහයක් දරන කෙනෙකුව සොයාගත නොහැකි තරම්ය. අප සාර්ථකත්වය අත් කරගන්නේ අපේ ලැබීම අනුව මිසක් වෙහෙස මහන්සි වී දරන උත්සාහය අනුව නොවන බවයි බොහෝදෙනෙකුගේ විශ්වාසය. ජන මාධ්‍යය ඔස්සේ සූක්ෂ්ම අන්දමින් ඉදිරිපත් කරන සංකල්ප සලකා බලද්දී පොදු ජනයාගේ මනස මෙලෙස සකස් වී තිබීම පුදුමයට කාරණයක් නොවේ. සුළු මුදලක් අතේ ඇත්නම් අපට ඕනෑම දෙයක් පහසුවෙන්ම ලබාගත හැකියි යන ප්‍රබල පණිවිඩය වෙළඳ දැන්වීම් කන්දරාවක් මගින් ඉදිරිපත් වේ. එමෙන්ම, එක රැයකින් දක්ෂ ව්‍යාපාරිකයන් බවට පත් වූ හෝ පාසැලෙන් අස් වුණ ගමන්ම කෝටිපතීන් බවට පත් වූ අය ගැන පුවත්පත්වල පළ වන කතන්දරවලද නිමක් නොමැත.

තීරු ලේඛක ලෙනඩ් පිට්ස් මේ පිළිබඳව තම කනගාටුව ප්‍රකාශ කරන්නේ මෙලෙසයි. “කීර්ති නාමයක් දිනාගැනීම ගැන අධික සැලකිල්ලක් දක්වන මේ සමාජයේ, ලොකු තනතුරක් අත් කරගැනීම බැලූ බැල්මට කිරි කජු කනවා වගේ වැඩක් . . . ඒකට හරි යන මැජික් එක හොයාගන්න පුළුවන් නම්, දක්ෂතාවය තියෙනවා නම්, එහෙමත් නැත්නම් හාස්කමක් සිදු වෙනවා නම් පේන විදිහට ඒක ඕනෑම කෙනෙකුට අත් කරගන්න පුළුවන් වගෙයි.”

නොපසුබස්නා උත්සාහය යනු කුමක්ද?

නොපසුබස්නා උත්සාහය යනු, ‘බාධක හෝ අසමත් වීම් මධ්‍යයෙහි යම් ඉලක්කයකට, ස්ථාවරයකට හෝ පැවරුමකට අඛණ්ඩව ඇලී සිටීමයි.’ විපත්ති හමුවේ විඳදරාගැනීම, ස්ථිර අධිෂ්ඨානයක් ඇතුව සිටීම හා අත්නෑර සිටීමත් ඉන් ඇඟවෙයි. මෙම ගුණාංගයේ වැදගත්කම බයිබලයෙහි අවධාරණය කර තිබේ. නිදසුනක් වශයෙන්, ‘‘රාජ්‍යය පළමුකොට තබා එය දිගටම සොයන්න,” “නොකඩවා තට්ටු කරන්න. එවිට දොර අරිනු ලැබේ,” “යාච්ඤාවෙහි නොකඩව පැවතෙන්න” සහ “යහපත් දේ තදින් අල්ලාගන්න” කියා අපට දෙවිගේ වචනය දිරිගන්වයි.—මතෙව් 6:33NW; ලූක් 11:9NW; රෝම 12:12; 1 තෙසලෝනික 5:21.

නොපසුබස්නා උත්සාහයක් දැරීමට ඇතුළත් වන වැදගත් දෙයක් වන්නේ අසමත් වීම්වලට සාර්ථක ලෙස මුහුණ දීමයි. “ධර්මිෂ්ඨයා සත් වරක් වැටුණත් නැගිටින්නේය [නැඟිටිනවාමයි, NW]” කියා හිතෝපදේශ 24:16හි සඳහන් වේ. ඔව්, දුෂ්කරතාවලට මුහුණ දෙද්දී උත්සාහවන්තයා අත් අරිනවා වෙනුවට ‘නැඟිට’ තම වෑයමෙහි “දිගටම” නිරත වී සිටියි.

කෙසේවෙතත්, ඉදිරියේදී තමන්ට අද්දැකීමට සිදු වන දුෂ්කරතා හා අසමත් වීම්වලට මුහුණ දීමට බොහෝදෙනෙක් සූදානම් නැත. අඛණ්ඩ උත්සාහයක් දැරීමට අවශ්‍ය ඇතුළාන්ත ශක්තිය ඔවුන් තුළ නැති නිසා ඔවුහු තම වෑයම අත් අරිති. ලේඛක මෝර්ලි කැලහන් එය විස්තර කරන්නේ මෙසේය. “වෑයමක් අසාර්ථක වූ විට බොහෝදෙනෙකු ක්‍රියා කරන්නේ තමන්ටම හානියක් ගෙන දෙන ආකාරයකටයි. ඔවුන් තමන් ගැනම දුක් වෙමින් අනුන් මත වරද පටවන අතර, කෝපයෙන් යුතුව . . . තමන්ගේ වෑයම අත් අරිනවා.”

මෙය ඇත්තෙන්ම කනගාටුදායක ආකල්පයකි. “අපි යම් පීඩාකාරි තත්වයක් අද්දකින්නේ යම් හේතුවක් ඇතුවයි කියා අපි අමතක කර දමනවා. දුෂ්කරතාවලට මුහුණ දීමෙත් යම් වටිනාකමක් තියෙනවා” කියා පිට්ස් පැහැදිලි කර දෙයි. එසේ පැවසීමට හේතුව කුමක්ද? “අසමත් වීමකින් සියල්ල අවසන් නොවන බවත්, පරාජයෙන් ගොඩ එන්න පුළුවන් බවත් [අපි] එයින් ඉගෙනගන්නවා. අප එයින් අද්දැකීම් ලබනවා. අප ඉදිරියේ තිබෙන වෙනත් අභියෝගවලට අපි සූදානම් වෙනවා” කියා ඔහු පිළිතුරු සපයයි. බයිබලය එය සරල වචනයෙන් විස්තර කරයි: “වෙහෙසට පත් වී කරන සියලුම වැඩවලින් ලාභ උපදියි.”—හිතෝපදේශ 14:23NW.

කොහොම වුණත්, අසමත් වීමකින් පසු යථා තත්වයට පැමිණීම පහසු දෙයක් නොවේ. ඇතැම් අවස්ථාවලදී අපේ සියලුම වෑයම් අසාර්ථක කරවනවායයි පෙනෙන අභියෝගවලට අපට මුහුණ දීමට සිදු වේ. අපේ ඉලක්කවලට ක්‍රමක්‍රමයෙන් ළඟා වෙනවාට වඩා අපි ඒවායෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වන බව අපට හැඟෙනවා විය හැකියි. මෙම අභියෝග අපව යටපත් කළ හැකි අතර, අපිට කිසිම දෙයක් ඉටු කරගන්න බැරි බව හැඟෙන නිසා අපි අධෛර්යයට පත්වීමටත්, විෂාදයට ලක්වීමටත් ඉඩ තිබේ. (හිතෝපදේශ 24:10) නමුත් බයිබලය අපට මෙසේ දිරිගන්වයි. “යහපත්කම්කිරීමට මැළිනොවෙමු; මක්නිසාද අපි ක්ලාන්ත [වෙහෙසට පත්, NW] නොවෙමු නම්, නියම කාලයේදී කපාගන්නෙමු.”—ගලාති 6:9, ඇල අකුරු අපගේය.

උපකාරවත් වන ප්‍රතිපත්ති

යම් තෝරාගත් ඉලක්කයක් වෙනුවෙන් නොසැලෙන උත්සාහයක් දැරීමට නම් අප ප්‍රථමයෙන් වටිනා මෙන්ම යථාර්ථවාදී ඉලක්ක තබාගත යුතුයි. මෙහි වටිනාකම ප්‍රේරිත පාවුල් හොඳින් වටහාගෙන තිබිණ. ඔහු කොරින්තිවරුන්ට පැවසුවේ, “මා දුවන්නේ සැකයෙන් මෙන් නොවේය; පහරදෙන්නේ හුළඟට පහරදෙන්නාක්මෙන් නොවේය” කියායි. ධාවන පථයේ තරඟකරුවෙක් මුළු වැර යොදාගෙන දිනුම් කණුව වෙතට දිවීම හා සමානව තම වෑයම සාර්ථක කරගැනීමට නම් නිශ්චිත ඉලක්කයක් තබාගත යුතු බව පාවුල් දැනගෙන සිටියේය. “දුවන ස්ථානයෙහි සියල්ලන්ම දුවන නුමුත් තෑග්ග ලබන්නේ එක්කෙනෙක්ම බව නොදනිවුද? එසේම නුඹලාත් ලබාගන්නා [අත් කරගන්නා, NW] පිණිස දුවන්න” කියා ඔහු උපදෙස් දුන්නේය. (1 කොරින්ති 9:24, 26) අපට මෙය කළ හැක්කේ කෙසේද?

“සියුම් නුවණ ඇති තැනැත්තා තමාගේ පියවර හොඳින් සලකා බලයි [NW]” කියා හිතෝපදේශ 14:15හි සඳහන් වේ. අපේ ජීවිතය අප සැලසුම් කර තිබෙන ආකාරය විටින් විට පරීක්ෂා කර බැලීම ඥානවන්ත දෙයක්. අපි ගමන් කරන්නේ කොයි දෙසටද කියාත්, සකස් කිරීම් කරන්න අවශ්‍යයිද කියාත් අප අපෙන්ම ප්‍රශ්න කර බැලීම යෝග්‍යයි. ඉටු කරගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද කියාත් එසේ කරන්නේ මන්ද කියාත් අපි නිශ්චය කරගත යුතුයි. අපේ අවසාන ඉලක්කය පිළිබඳව මනසේ පැහැදිලි දෘෂ්ටියක් තිබෙනවා නම් එය අත්නෑර ලුහුබැඳීමට තිබෙන ඉඩ කඩත් වැඩියි. දේවානුභාවයෙන් ලියූ හිතෝපදේශයක මෙම අවවාදය අන්තර්ගත විය. “නුඹේ ඇස් ඉස්සරහම බලත්වා, නුඹේ ඇසිපියද නුඹ ඉදිරියෙහි කෙළින්ම බලත්වා. නුඹේ පාදවල මාවත සමතලාකරන්න, [එවිට] නුඹේ සියලු මාර්ග [ස්ථිර වේ].”—හිතෝපදේශ 4:25, 26.

ඔබේ ඉලක්කය හඳුනාගත් පසුව ගන්නා ඊළඟ පියවර වන්නේ එය අත් කරගන්නේ කෙසේද කියා හොඳින් විග්‍රහ කර බැලීමයි. “කොතක් ගොඩනගන්ට කැමතිවූ නුඹලාගෙන් යමෙක් ඒක නිමකරන්ට තමාට පුළුවන්දැයි පළමුකොට හිඳ වියදම ගණන් බලන්නේ නැද්ද?” කියා යේසුස් ඇසීය. (ලූක් 14:28) මෙම ප්‍රතිපත්තියට එකඟව මානසික සෞඛ්‍යය පිළිබඳ ප්‍රවීණයෙක් මෙසේ පැවසීය. “සාර්ථක ජීවිතයක් ගත කරන පුද්ගලයන් ගැන මම අවබෝධ කරගෙන තියෙන දෙයක් තමයි, ඔවුන් තම ජීවිත තුළ හේතුව හා ඵලය අතර තිබෙන සබඳතාව වටහාගෙන තියෙනවා කියන එක. ඔවුන්ට යම් දෙයක් අවශ්‍යයි නම් ඒ සඳහා දරන්න පුළුවන් හැම වෑයමක්ම දරන්න ඕනේ කියා ඔවුන් වටහාගෙන තියෙනවා.” අපේ ඉලක්කය අත් කරගැනීම වෙනුවෙන් අප කළ යුත්තේ මොකක්ද කියා හොඳින් වටහාගැනීම, එම ඉලක්කය කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරයක් වේ. අප අසමත් වුණොත් අපේ වෑයම අත් නොහැර සිටීමටත් එය උපකාරයක්. ඕවිල් හා විල්බර් රයිට්ගේ සාර්ථකත්වයට රහස වූයේ මෙවන් තර්ක කිරීමකි.

එමනිසා යම් බාධකයකට මුහුණ දීමට සිද්ධ වුණොත්, අධෛර්යයට පත් නොවී, එය යම් පාඩමක් උගන්වන ප්‍රයෝජනවත් අද්දැකීමක් වශයෙන් සලකන්න. ඒකාන්ත ආකල්පයක් තබාගන්න. අපට වැරදුණේ ඇයි කියා හොඳින් විග්‍රහ කර බලා වැරැද්ද හෝ දුර්වලකම හරිගස්සගන්න වෑයම් කරන්න. “සියලු අදහස් මන්ත්‍රණයෙන් ස්ථිර” වන නිසා, අනිත් අය සමඟ කතා කිරීමත් හොඳ දෙයකි. (හිතෝපදේශ 20:18) වෑයම වැඩි කරන්න කරන්න සාර්ථකත්වය අත් කරගැනීමට මඟ පාදන නිපුණත්වය හා දක්ෂතාව ඔබ අත් කරගන්න බවට කිසිම සැකයක් නැත.

නොපසුබස්නා උත්සාහයක නිරත වීම සඳහා තවත් අත්‍යවශ්‍ය දෙයක් වන්නේ වෙනස් නොවන රටාවක් අනුව කටයුතු කිරීමයි. ප්‍රේරිත පාවුල් අපෙන් ඉල්ලා සිටින්නේ, “අප යම් ප්‍රගතියක් අත් කරගෙන ඇත්නම් එම රටාවම දිගටම පවත්වාගනිමු” කියායි. (පිලිප්පි 3:16NW) එක් ශික්ෂකයෙක් එය මෙසේ පැහැදිලි කර දුන්නේය. “අපේ සීමාවන් හඳුනාගෙන යම් ස්ථිරසාර පිළිවෙතක් අනුගමනය කරනවා නම් කල්යත්ම අපිට හොඳ ප්‍රතිඵල නෙළාගන්න පුළුවන්.” ඉබ්බාගෙයි හාවාගෙයි ජනප්‍රිය කතන්දරයෙන් මෙය හොඳින් නිදර්ශන වේ. ඉබ්බා හාවාට වඩා හුඟක් සෙමෙන් ගමන් කළත් ඌ තරඟය දින්නා. ඇයි? ඉබ්බා තමාවම හික්මවාගෙන අඛණ්ඩ වෑයමක නිරත වූ නිසයි. තරඟයෙන් ඉවත් නොවී ඌට ඇත්තෙන්ම යන්න පුළුවන් වේගයකින් ඌ ගියා. දිනුම් කණුව වෙතට ළඟා වෙන තෙක්ම ඌ එම වේගය දිගටම පවත්වාගත්තා. සංවිධානාත්මක පුද්ගලයා නොසැලී වැඩ කරන අතර ඔහු අඛණ්ඩ ප්‍රගතියක් ලබාගනී. ඒ වගේම ඔහු එයින් දිරිගැන්වීමක් ලබන නිසා අත්නෑර කටයුතු කිරීමට ඔහු තුළ පෙලඹීමක්ද ඇති වේ. ඔහු තරඟයෙන් ඉවත් වන්නේ නැත. එමනිසා, ඔබේ ඉලක්කය “අත් කරගන්නා පිණිස දුවන්න.”

අර්ථවත් ඉලක්ක තබාගැනීම

කොහොම වුණත්, අපේ උත්සාහයෙන් යම් ප්‍රයෝජනයක් ලබාගන්න නම් අපි අර්ථවත් ඉලක්ක තබාගත යුතුයි. බොහෝදෙනෙක් සතුට අත් කර දෙන්නේ නැති දේවල් ලුහුබඳී. නමුත් බයිබලය මෙසේ පවසයි. “නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, . . . එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය [සන්තෝෂවත්ය, NW].” (යාකොබ් 1:25) ඔව්, දෙවිගේ ව්‍යවස්ථාව වටහාගැනීම සඳහා බයිබලය අධ්‍යයනය කිරීම සැබවින්ම අර්ථවත් ඉලක්කයකි. ඇයි? එයට ප්‍රධාන හේතුව වන්නේ, දෙවිගේ ව්‍යවස්ථාව කිසිම දෝෂයක් නැති ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිති මත පදනම් වන නිසයි. මැවුම්කරු හැටියට අපට යහපත්ම දේ වන්නේ කුමක්ද කියා ඔහු දනී. එමනිසා අපි දෙවි දෙන උපදෙස් ඉගෙනගෙන, ඒවා අපේ ජීවිතවලට අදාළ කරගැනීම සඳහා නොසැලෙන උත්සාහයක යෙදෙනවා නම්, අප එයින් නිසැකවම සන්තෝෂය අත් කරගන්න යනවා. හිතෝපදේශ 3:5, 6 [NW] අපට මෙසේ පොරොන්දු කරනවා. “මුළු හදින්ම යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න . . . ඔබේ සියලු මාර්ගවලදී ඔහුව සැලකිල්ලට ගන්න, එවිට ඔහු ඔබේ මාර්ග සමතලා කරන්නේය.”

එපමණක් නොවෙයි, දෙවි සහ යේසුස් පිළිබඳ දැනුම ලබාගැනීමෙන් “සදාකාල ජීවනය” අත් වන බව යේසුස් පැවසීය. (යොහන් 17:3) බයිබල් අනාවැකිවලට අනුව අපි ජීවත් වන්නේ මේ පිළිවෙළේ ‘අන්තිම දවස්වලයි.’ (2 තිමෝති 3:1-5; මතෙව් 24:3-13) ළඟදීම, දෙවිගේ ධර්මිෂ්ඨ පාලනය නියෝජනය කරන ඔහුගේ රාජ්‍යය ලෝවැසියන් කෙරෙහි පාලනය කරයි. (දානියෙල් 2:44, 45ආ; මතෙව් 6:10) මෙම ආණ්ඩුව පෙර නොවූ විරූ ආකාරයකට කීකරු මනුෂ්‍යවර්ගයාගේ ශුභසිද්ධිය වෙනුවෙන් පාලනය කරමින් සාමය හා සමෘද්ධිය ගෙන දෙනු ඇත. (ගීතාවලිය 37:10, 11; එළිදරව් 21:4) ක්‍රියා 10:34, 35 අපට පවසන්නේ, ‘දෙවි මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය’ කියායි. ඔව්, ප්‍රයෝජන ලබාගැනීම සඳහා සියලුදෙනාටම ආරාධනා කර තිබේ.

බයිබලය අර්ථවත් මෙන්ම ප්‍රඥාවෙන් පූර්ණ වූ පැරණි ලියවිල්ලක්. එය තේරුම්ගන්න අප කාලය ගත යුතු අතර වෑයමක්ද දැරිය යුතුයි. දෙවිගේ උපකාර ඇතුව අපි එහි අන්තර්ගත දැනුම සොයාගැනීමෙහි දිගටම නිරත වී සිටියොත් අපට එය ලබාගත හැකියි. (හිතෝපදේශ 2:4, 5; යාකොබ් 1:5) අපි ඉගෙනගන්න දේවල් අදාළ කරගැනීම අභියෝගයක් විය හැකි බව ඇත්තයි. සමහරවිට අපි සිතන හැසිරෙන ආකාරයේ යම් සකස් කිරීම් කරන්නත් සිදු වේවි. හොඳ චේතනා ඇතුව අපේ හිත මිතුරන් හෝ නෑදෑයන් අප බයිබලය පාඩම් කරන එකට විරුද්ධ වෙන්නත් ඉඩ තිබෙනවා. එමනිසා අපි නොසැලී වෑයම් කරන්න අත්‍යවශ්‍යයි. ‘නොපසුබස්නා වීර්යයෙන් යහපත්කම් කරන්නන්ට’ දෙවි සදාකාල ජීවනය ලබා දෙන බව ප්‍රේරිත පාවුල් අපට සිහිගන්වනවා. (රෝම 2:7, නව අනුවාදය) මෙම ඉලක්කය අත් කරගන්න ඔබට උපකාර කිරීමට යෙහෝවාගේ සාක්ෂිකරුවන් සතුටින් සිටිනවා.

දෙවි පිළිබඳව ඉගෙනගැනීම සඳහා ඔබ නොපසුබස්නා උත්සාහයක් දරනවා නම්, ඒ වගේම ඔබ ඉගෙනගන්නා දේවල් අදාළ කරගැනීම සඳහා ඔබ නිරන්තර වෑයමක නිරත වෙනවා නම් ඔබට සාර්ථකත්වය අත් වෙයි.—ගීතාවලිය 1:1-3.

[6වන පිටුවේ පින්තූරය]

දෙවි සහ ඔහුගේ කැමැත්ත පිළිබඳව ඉගෙනගැනීමට නොපසුබස්නා උත්සාහයක් දැරීමෙන් ඔබට සාර්ථකත්වය අත් වේ

[4වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Culver Pictures