Skip to content

පටුනට යන්න

මවකගෙන් ඔවදන්

මවකගෙන් ඔවදන්

මවකගෙන් ඔවදන්

“මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.”—හිතෝපදේශ 1:8.

අපේ දෙමාපියන්—අපේ මව් අපේ පියා—දිරියේ, අනුබලයේ හා අවවාදයේ අගනා උල්පතක් විය හැකියි. තමාව “නිවැරදි කිරීම” සඳහා මවගෙන් “බැරෑරුම් පණිවිඩයක්” ලද ලෙමුවෙල් නමැති තරුණ රජෙකු ගැන බයිබලයේ හිතෝපදේශ පොතේ කියවෙයි. මෙවදන් වාර්තා කර තිබෙන්නේ හිතෝපදේශ 31වන පරිච්ඡේදයේයි. මේ මවගේ ප්‍රඥාගෝචර ඔවදනින් ප්‍රයෝජන ගන්ට අපිටත් හැකියි.—හිතෝපදේශ 31:1NW.

රජෙකුටම කියාපු උපදෙස්

අපේ කුතුහලය අවුස්සන ප්‍රශ්න කිහිපයකින් ලෙමුවෙල්ගේ මව ඇගේ හඬ පණගන්වයි. “මාගේ පුත්‍රය, මොකද? අනේ මාගේ කුස ඔත් පුත්‍රය, මොකද? මාගේ බාරවල පුත්‍රය, මොකද?” යළි යළිත් තුන්වතාවක්ම කරන ඇගේ ආයාචනයෙන් පෙනෙන්නේ තම පුත්‍ර රත්නය ඇගේ හඬට කෙසේ හෝ අවධානය දිය යුතුයි යන ඇගේ බලවත් චිත්ත සන්තාපයයි. (හිතෝපදේශ 31:2) ඇගේ පැවතෙන්නන්ගේ අධ්‍යාත්මික ශුභසිද්ධිය කෙරෙහි ඇය දැක්වූ සැලකිල්ල අදදින සිටින ක්‍රිස්තියානි දෙමාපියන්ට මහඟු ආදර්ශයක් සපයයි.

සුරාපැන්, ගැහැනු සහ සිංදු යනු පොදු ඉංග්‍රීසි කියමනකි. ඒ හේතුවෙන් පවත්වන ඝෝෂාකාරි මංගල්‍යයන් සහ සීමා රහිතව කම්සැපෙහි මෙන්ම සුරාපානයේ ගිලී සිටීම හැර තම පුත්‍රයාගේ යහපත ගැන කතා කරද්දී මවකගේ හද ගිනි ගන්නේ වෙන මොන තැවුලකින්ද? ලෙමුවෙල්ගේ මව කෙළින්ම කරුණට බසින්නීය. “නුඹේ ශක්තිය ස්ත්‍රීන්ට [නොදෙන්න.]” ඉවක් බවක් නැති නොසණ්ඩාල හැසිරීම ‘රජුන්ගේ නාස්තියට මඟක්’ ලෙස ඇය හඳුන්වයි.—හිතෝපදේශ 31:3.

පමණ ඉක්මවා සුරාපැන් උගුරට හළාගැනීමද නොසලකා හැරීමට පුළුවන්කමක් නැත. “ලෙමුවෙල්, මුද්‍රිකපානය බීම රජුන්ට [සුදුසු නැත]” ඇය අනතුරු අඟවයි. රජෙක් නිතර නිතර වෙරි වන තුරු බොනවා නම් ඔහු නිවැරදි සහ පැහැදිලි මනසකින් විනිශ්චයක් දෙන්නේ කොහොමද? ‘නීතිය සිහි නැති නොකර අසරණයන්ගේ නඩුව නොපෙරළා’ තබාගන්නේ කොහොමද?—හිතෝපදේශ 31:4-7.

අනිත් අතට “ධර්මිෂ්ඨලෙස නිශ්චයකර, අසරණයාටත් දිළින්දාටත් යුක්තිය [ඉටු] කරන්න” එවැනි දුෂ්චරිතයෙන් වැළකී සිටින රජට හැකි වෙයි.—හිතෝපදේශ 31:8, 9.

අද සිටින ක්‍රිස්තියානි තරුණයන් “රජවරුන්” නොවුණත් ලෙමුවෙල්ගේ මව දුන් ඔවදන් එදා මෙන්ම අදත් සමහරවිට ඊටත් වැඩියෙන් කාලෝචිතයි. මත්පැන් අනිසි ලෙස පාවිච්චිය, දුම්කොළ පාවිච්චිය සහ ලිංගික දුරාචාරය අද තරුණයාව බිලිගෙන තිබේ. ඒ නිසා තම දෙමාපියන් දෙන “බැරෑරුම් පණිවිඩ” කෙරෙහි ක්‍රිස්තියානි තරුණයන් අවධානය යොමු කළ යුතුයි.

කාර්යක්ෂම බිරිඳක්

වැඩිහිටිභාවයට පියනඟන තම පුතුන්ගේ අනාගත සහකාරියන් ගැන මව්වරුන් සැලකිලිමත් වීම ගැන කිසිවෙකුට දොස් කිව නොහැකියි. වඩාත් සුදුසුම බිරිඳක් සතු ගුණාංග කෙරෙහි ලෙමුවෙල්ගේ මව මීළඟට තම අවධානය යොමු කරන්නීය. මේ අතිවැදගත් කාරණය සම්බන්ධව ස්ත්‍රියකගේ දෘෂ්ටිකෝණය සලකා බැලීම, තරුණයෙකුට බොහෝ ප්‍රයෝජන නෙළාගැනීමට හේතු වන බව නිසැකයි.

දහවන පදය හිතෝ 31:10 කියවද්දී “කාර්යක්ෂම බිරිඳක් [NW]” දුර්ලභ ගණයේ අනර්ඝ කොරල්වලට සමාන කරයි. බයිබල් කාලවලදී මේවා අත් කරගත්තේ සෑහෙන වෑයමක් දැරීමෙන් පමණයි. ඒ හා සමානව කාර්යක්ෂම බිරිඳක් සොයාගැනීමටත් වෑයමක් අවශ්‍යයි. කලබල වී විවාහ වීමට ඉක්මන් වෙනවා වෙනුවට කාලයට ඉඩහරින්න. තෝරාගැනීමක් කිරීම සඳහා හොඳ හැටි කල් දෙන්න. එවිට තමන්ගේ අනර්ඝ අත් කරගැනීම ගැන ඉතා ඉහළින් අගය කරන්ට ඔහු සතු හැකියාව ඉතා වැඩියි.

කාර්යක්ෂම බිරිඳක් තෝරාගැනීම ගැන ලෙමුවෙල්ගේ මව මෙසේ පවසයි. “ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි.” (හිතෝ 31:11වන පදය) වෙනත් විදිහකින් කියනවා නම්, සෑම කාරණයකදීම තම අනුමැතිය ලබාගත යුතුයි කියා ස්වාමිපුරුෂයා තම භාර්යාවට බල නොකළ යුතුයි. මිල අධික දේවල් ගැනීම හෝ දරුවන්ව පුරුදු පුහුණු කිරීම වැනි බැරෑරුම් තීරණ ගැනීමේදී විවාහක කලත්‍රයන් එකිනෙකා සමඟ කතා බහ කර තීරණ ගත යුතු බව නොකිවමනායි. මෙවන් කාරණාවලදී දෙදෙනා අතර කිට්ටු බැඳීමකට අත දෙන්ට අදහස් හුවමාරුවට හැකියි.

කාර්යක්ෂම බිරිඳකට කරන්ට බොහෝ දේවල් තිබේ. ඕනෑම වයසක සිටින බිරිඳකට තම පවුලේ අයගේ සුභසිද්ධිය තකා යොදාගත හැකි උපදෙස් සහ ප්‍රතිපත්ති හිතෝ 31:13වන පදයේ සිට 27 දක්වා ලැයිස්තුගත කර ඇත. උදාහරණයක් හැටියට, ඇඳුම් ආයිත්තම් සහ ගේ දොර බඩුවල මිල ඉහළ යෑමත් සමඟ පවුලේ අයට ප්‍රමාණවත් සහ ගැළපෙන ඇඳුම් සකස් කිරීම සඳහා කාර්යක්ෂම බිරිඳක් අත්කම් වැඩ සහ අරපරෙස්සමින් කටයුතු කිරීමට ඉගෙනගනියි. (හිතෝ 31:13, 19, 21, 22වන පදය) පවුලේ ආහාරවලට යන වියදම අඩු කරගැනීම සඳහා ඈ පුළු පුළුවන් විදිහට ගෙවතු වගා කරන අතර පරෙස්සමින් බඩු මිල දී ගන්නීය.—හිතෝ 31:14, 16වන පදය.

මේ ස්ත්‍රිය “අලසකමේ කෑම” නොකන බව නම් ප්‍රත්‍යක්ෂයි. ඇය වෙහෙසී වැඩ කරන අතර ඇගේ ගේ දොර කාරණාද ඉතා කාර්යශූර ලෙස බලාකියා ගනියි. (හිතෝ 31:27වන පදය) ඈ “සවිලෙස ඉඟටිය” බැඳගන්නීය. ඉන් අදහස් කරන්නේ ශාරීරිකව දැඩි වෙහෙසෙන් යුත් වැඩවලට ඇය සැරසෙනවා යන්නයි. (හිතෝ 31:17වන පදය) හිරුට කලින් පිබිදී දවසේ වැඩ අරඹන ඈ හිරු නිදන තුරුම කඩිසරව වැඩ කරන්නීය. එපමණක්ද නොව ඇය කොතරම් කාර්ය බහුලද කිවහොත් රාත්‍රියේද ඇගේ පහන නිවෙන්නේ නැත.—හිතෝ 31:15, 18වන පදය.

මේ සියල්ලටම වඩා කාර්යක්ෂම බිරිඳක් ආත්මික පුද්ගලයෙකි. ඇය දේවභයැති, ගැඹුරු ගෞරවයකින් සහ ගෞරවාන්විත භයකින් දෙවිට නමස්කාර කරන කෙනෙකි. (හිතෝ 31:30වන පදය) ඒ දේවල්ම කිරීමට තම දරුවන්ව පුහුණු කිරීම සඳහා ඇගේ ස්වාමිපුරුෂයාට සහය වෙයි. “නුවණින්” තම දරුවන්ට අවවාද කරන “ඇගේ දිවෙහි කරුණාවන්ත දැනමුතුකම්” තිබෙන බව හිතෝ 31:26වන පවසයි.

කාර්යක්ෂම පුරුෂයෙක්

කාර්යක්ෂම බිරිඳකගේ සිත ගැනීමට නම් ලෙමුවෙල්ට කාර්යක්ෂම ස්වාමිපුරුෂයෙකුගේ වගකීම් ඉටු කිරීමට සිදු වනු ඇත. මින් කිහිපයක් ලෙමුවෙල්ගේ මව මතක් කර දෙයි.

කාර්යක්ෂම ස්වාමිපුරුෂයෙක් ‘දේශයේ වැඩිමහල්ලන්ගෙන්’ යහපත් වාර්තාවක් ලබන්නෙකි. (හිතෝපදේශ 31:23) ඉන් අදහස් කරන්නේ ඔහු කාර්යක්ෂම, අවංක, රඳාපැවතිය හැකි සහ දේවභයැති කෙනෙක් වන බවයි. (නික්මයාම 18:21; ද්විතීය කථාව 16:18-20) නුවර කටයුතු හසුරුවන්ට ප්‍රධානීන් රැස් වන “[දොරටුවලදී ඔහුව] සලකනු” ලැබේ. දේවභයැති පුරුෂයෙක් හැටියට “සලකනු” ලබන්ට නම් ඔහු “දේශයේ” එනම් දිස්ත්‍රික්කයක හෝ ප්‍රදේශයක වැඩිමහල්ලන් සමඟ සාධාරණ මෙන්ම සමගියෙන් එකට වැඩ කරන කෙනෙක් විය යුතුයි.

තම අනාගත බිරිඳව අගය කිරීම සහ එය ප්‍රකාශ කිරීමේ වැදගත්කම ගැන තම පුත්‍රයාට මතක් කරද්දී ලෙමුවෙල්ගේ මව කතා කරන්නේ ඇගේම පෞද්ගලික අද්දැකීමෙන් බව ස්ථිරයි. තම බිරිඳ තරම් වටිනා වස්තුවක් මේ ලෝකයේ සිටිය නොහැකිය. එවැනි පුරුෂයෙක් සියල්ලන් ඉදිරියේ ඒ කාරණය පිළිගන්නේ මෙසේයි. ඔහුගේ හඬේ ගැඹුරු හැඟීම් තේරුම්ගන්න: “බොහෝ දූවරු කාර්යක්ෂම ලෙස හැසුරුණෝය. එහෙත් ඔබ ඔවුන් සියල්ලන්ටම වඩා උසස්ය.”—හිතෝපදේශ 31:29NW.

ලෙමුවෙල් තම මවගේ ඔවදන් පිළිගත් බව පෙනෙනවා. පළමුවන පදයේ හිතෝ 31:1 මවගේ වචන ලෙමුවෙල්ගේම වචන හැටියට හඳුන්වා දීමෙන් අපිට ඒ බව දකින්ට ලැබෙනවා. එතැන් සිට ඔහු ඇගේ “නිවැරදි කිරීම” ඔහුගේ හෘදයටම ගෙන ඇගේ උපදෙස්වලින් ප්‍රයෝජන ගත්තා. අපේ ජීවිතවලට මේ “බැරෑරුම් පණිවිඩය” අදාළ කරගෙන අපිත් ඉන් ඵල නෙළාගනිමු.

[31වන පිටුවේ පින්තූර]

කාර්යක්ෂම බිරිඳක් “අලසකමේ කෑම” නොකයි