Skip to content

පටුනට යන්න

යෙහෝවා ප්‍රමාද වන්නේ නැත

යෙහෝවා ප්‍රමාද වන්නේ නැත

යෙහෝවා ප්‍රමාද වන්නේ නැත

“[දර්ශනය] බොරු නොවී සැබෑවක් වන බැවින්, එය ප්‍රමාද වූවත්, එය දිගටම බලා සිටින්න. එය ප්‍රමාද නොවනු ඇත.”—හබක්කුක් 2:3NW.

1. යෙහෝවාගේ සෙනඟ පෙන්වා තිබෙන අධිෂ්ඨානය කුමක්ද? මෙය ඔවුන්ව පොලඹවා තිබෙන්නේ කුමක් කරන්නද?

 ‘මම මාගේ මුරපළ උඩ සිට බලා සිටින්නෙමි.’ දෙවිගේ අනාගතවක්තෘ හබක්කුක් ගත් අධිෂ්ඨානය එයයි. (හබක්කුක් 2:1) විසිවන සියවසේ සිටින යෙහෝවාගේ සෙනඟද එම අධිෂ්ඨානය පෙන්වා තිබෙනවා. වර්ෂ 1922 සැප්තැම්බර් මාසයේ පැවැත්වූ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළ සමුළුවකදී ඔවුන් උද්‍යෝගයෙන් මෙම ඇරයුමට ප්‍රතිචාරය දැක්වූයේ ඒ නිසයි. “සියලුම දවස්වල උදාරතම දවස මෙයයි. බලන්න, රජ පාලනය කරනවා! ඔබ සැම ඔහුගේ ප්‍රචාරක නියෝජිතයන්. එනිසා රජ සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න.”

2. පළවන ලෝක මහා යුද්ධයෙන් පසු නැවතත් ජ්වලිතව ක්‍රියා කිරීම සඳහා පණගන්වනු ලැබූ විට, ආලේප ලත් ක්‍රිස්තියානීන්ට ප්‍රකාශ කිරීමට හැකි වූයේ කුමක්ද?

2 පළමුවන ලෝක යුද්ධයෙන් පසු, යෙහෝවා ආලේප ලත් ඉතිරි අයව මහත් ජ්වලිතයකින් සිදු කරන වැඩකට නැවත පණගැන්වූවා. හබක්කුක් හා සමානව ඒ කාලයේ විසූ ඔවුන් සෑමකෙනෙකුටම මෙසේ පැවසීමට හැකි වුණා: “බලකොටුව උඩ සිටගන, [ඔහු] මට කියන්නේ මොකද කියා . . . දැනගන්ට බලාසිටින්නෙමි.” ‘බලා සිටීම’ සහ ‘මුර කිරීම’ සඳහා යොදාගෙන තිබෙන හෙබ්‍රෙව් වචන බොහෝ අනාවැකිවල නැවත නැවත සඳහන් වෙනවා.

“එය ප්‍රමාද නොවනු ඇත”

3. අපි අවදිව සිටිය යුත්තේ මන්ද?

3 අද යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙවිගේ අනතුරු ඇඟවීම ප්‍රකාශ කරද්දී, යේසුස්ගේ මහත් අනාවැකියේ අවසන් වචනවලට සවන් දීමට වෙන කවරදාටත් වඩා සාවධානව සිටිය යුතුයි. එහි මෙසේ පවසනවා. “ගෙදර ස්වාමියා හදිසියෙන් ඇවිත් නුඹලා නිදාඉන්නවා නොදක්නා පිණිස අවදිව සිටින්න. මක්නිසාද ඔහු එන්නේ කොයි වේලේද එනම් සවසද මධ්‍යම රාත්‍රියේද කුකුළා හඬලන වේලේද අලුයමදැයි නුඹලා නොදන්නහුය. මම නුඹලාට කියන දේ සියල්ලන්ටම කියමි—[දිගටම, NW] අවදිව සිටින්න.” (මාර්ක් 13:35-37) හබක්කුක් හා සමානව අපි යේසුස් පැවසූ වදන්වලට එකඟව දිගටම අවදියෙන් සිටිය යුතුයි!

4. අපේ තත්වය පො.යු.පෙ. 628දී පමණ හබක්කුක්ගේ කාලයේ පැවති තත්වයට සමාන වන්නේ කෙසේද?

4 සමහරවිට හබක්කුක් ඔහුගේ අනාවැකිය ලිව්වේ පො.යු.පෙ. 628දී පමණ විය හැකියි. එනම් බබිලෝනිය ප්‍රධාන ලෝක බලය බවට පත් වෙන්නත් කලිනුයි. ඇදහිල්ල අත්හැරිය යෙරුසලමට එරෙහිව ක්‍රියාත්මක වෙන්න තිබූ යෙහෝවාගේ විනිශ්චය අවුරුදු ගණනාවක් තිස්සේ ප්‍රකාශයට පත් කර තිබුණා. නමුත්, එම විනිශ්චය ක්‍රියාත්මක වෙන්නේ කවදාද කියන දෙය සම්බන්ධයෙන් පැහැදිලි ඇඟවීමක් තිබුණේ නැහැ. ඒ සඳහා තිබුණේ තව අවුරුදු 21ක පමණ කාලයක් බවත් යෙහෝවාගේ වධකයා බබිලෝනිය වන බවත් විශ්වාස කරන්න යන්නේ කවුද? ඒ හා සමානව, මේ පිළිවෙළේ අවසානය සඳහා නියම කර තිබෙන “දවස හා පැය” අද සිටින අපිත් දන්නෙ නැහැ. නමුත් යේසුස් අපිට කල්තියාම මෙසේ අනතුරු අඟවා තිබෙනවා: “සෑදී සිටින්න. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා [එන්නේය].”—මතෙව් 24:36, 44.

5. හබක්කුක් 2:2, 3හි සඳහන් දෙවිගේ වදන් විශේෂයෙන්ම දිරිගන්වනසුලු වන්නේ මන්ද?

5 යෙහෝවා හොඳ හේතු ඇතුව මෙම පොලඹවනසුලු පැවරුම හබක්කුක්ට දුන්නා. “දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න. මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාද වේ. එහෙත් එය බොරු නොවී [සැබෑවක් වන බැවින්, එය ප්‍රමාද වූවත්, එය දිගටම බලා සිටින්න. එය ප්‍රමාද නොවනු ඇත, NW].” (හබක්කුක් 2:2, 3) අද ලොව පුරාම දුෂ්ටකම සහ සාහසිකකම උග්‍ර වී තිබෙනවා. එයින් ඇඟවෙන්නේ අපි “[යෙහෝවාගේ] මහත්වූ භයානකවූ දවස” ආසන්නයටම ඇවිත් සිටින බවයි. (යෝවෙල් 2:31) “එය ප්‍රමාද නොවනු ඇත”! යන යෙහෝවාගේ සහතිකයක් සපයන වදන් ඇත්තෙන්ම දිරිගන්වනසුලුයි.

6. පැමිණෙන විනිශ්චය දවසින් අපිට ගැළවිය හැක්කේ කෙසේද?

6 එසේනම්, එම විනිශ්චය දවසෙන් අපිට ගැළවිය හැක්කේ කෙසේද? ධර්මිෂ්ඨයා සහ අධර්මිෂ්ඨයා අතර වෙනස දක්වමින් යෙහෝවා එයට මෙසේ උත්තර දෙනවා: “බලව, ඔහුගේ සිත උඩඟුය, එය ඔහු තුළ අවංක නැත. ධර්මිෂ්ඨයා තමාගේ විශ්වාසකමෙන් ජීවත්වන්නේය.” (හබක්කුක් 2:4) උඩඟු හා බලලෝභී පාලකයන් සහ මිනිසුන් නවීන දින ඉතිහාසයේ පිටුවල අහිංසකයන් දශලක්ෂ ගණනකගේ ලේ තවරා තිබෙනවා. විශේෂයෙන්ම මෙය සිදු කර තිබෙන්නේ, ලෝක යුද්ධ දෙකේදී හා වාර්ගික ලේ වැගිරවීම්වලදීයි. මෙයට සම්පූර්ණයෙන්ම වෙනස්ව, සාමයට ලැදි දෙවිගේ සෙනඟ විශ්වාසකමෙන් විඳදරාගෙන තිබෙනවා. ‘විශ්වාසකමෙන් හැසිරෙන ධර්මිෂ්ඨ ජාතිය’ ඔවුනුයි. මේ ජාතිය ‘වෙනත් බැටළුවන්ගෙන්’ යුත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සමඟ මෙම උපදේශය අනුගමනය කරනවා: “ජනයෙනි, යාඃ යෙහෝවා සදාකාලයෙන් සදාකාලයටම පර්වතයව සිටින බැවින් ඔහු කෙරෙහි දැඩි විශ්වාසය තබන්න.”—යෙසායා 26:2-4NW; යොහන් 10:16.

7. පාවුල් හබක්කුක් 2:4හි සඳහන් දෙය යොදාගනිමින් කළ පැහැදිලි කිරීමට අනුව අපි කුමක් කළ යුතුද?

7 ප්‍රේරිත පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියන විට, හබක්කුක් 2:4හි යෙහෝවාගේ සෙනඟට පැවසූ මෙම වදන් මෙසේ උපුටා දැක්වූවා: ‘දෙවිගේ කැමැත්ත කළ පසු පොරොන්දුව ලබන පිණිස නුඹලාට [විඳදරාගැනීම, NW] ඕනෑය. මක්නිසාද එන්නාවූ තැනැත්තා ප්‍රමාද නොවී, තව ඉතා ස්වල්ප කාලයකින් එන්නේය. ඉඳින් මාගේ ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ජීවත් වේ. නුමුත් ඔහු පසුබට වන්නේ නම්, මාගේ ප්‍රාණය ඔහු කෙරෙහි ප්‍රසන්න නැත.’ (හෙබ්‍රෙව් 10:36-38) උදාසීන වීමට හෝ සාතන්ගේ ලෝකයේ ද්‍රව්‍යවාදී මෙන්ම විනෝදකාමී මාර්ගවලින් යුත් මලපත්වලට හසුවීමට කාලය මෙය නොවෙයි. “ස්වල්ප කාලය” ගෙවී යන තෙක් අපි කුමක් කළ යුතුද? යෙහෝවාගේ ශුද්ධ ජාතියට අයත් අපි, පාවුල් මෙන් සදාකාල ජීවනය නමැති ‘ඉලක්කය කරා ලුහුබඳිමින් ඉදිරියේ තිබෙන දේවල් දෙස බලමින් උත්සාහයෙන් ගමන් කළ’ [NW] යුතුයි. (පිලිප්පි 3:13, 14) තවද යේසුස් කළාක් මෙන් අපිත්, ‘අප ඉදිරියෙහි තිබෙන ප්‍රීතිය නිසා විඳදරාගත’ යුතුයි.—හෙබ්‍රෙව් 12:2.

8. හබක්කුක් 2:5හි සඳහන් ‘මනුෂ්‍යයා’ කවුද? ඔහු කිසිම සාර්ථකත්වයක් නොලබනු ඇත්තේ මන්ද?

8 යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට හාත්පසින්ම වෙනස්ව, ‘තමාගේ ආශාව පාතාලය මෙන් විශාල කරගත්තත්’, තමාගේ ඉලක්කය කරා ළඟාවීමට අසමත් වන ‘මනුෂ්‍යයෙකු’ ගැන හබක්කුක් 2:5හි විස්තර කරනවා. ‘තෘප්තියට නොපැමිණෙන’ මේ මනුෂ්‍යයා කවුද? හබක්කුක්ගේ කාලයේ පැවති බලලෝභී බබිලෝනිය මෙන් අංග කිහිපයකින් සමන්විත මෙම ‘මනුෂ්‍යයා,’ තම දේශ පුළුල් කරගැනීම සඳහා සටන් වදින දේශපාලනික බලයන්ගෙන් සමන්විතයි. ෆැසිස්ට්, නාට්සි, කොමියුනිස්ට් හා ප්‍රජාතන්ත්‍රවාදී කියන රටවල් පවා එම බලයන්ට අයත් වෙනවා. මොහු අහිංසක මිනිස් ජීවිතවලින් පාතාලය නොහොත් මිනීවළ පුරවනවා. එහෙත්, සාතන්ගේ ලෝකය හා සම්බන්ධ අංග කිහිපයකින් සමන්විත, ද්‍රෝහී මෙන්ම ආත්ම-විශ්වාසයෙන් මත්ව සිටින මේ ‘මනුෂ්‍යයා,’ ‘සියලු ජාතීන් රැස් කරගැනීමට හා සියලු ජනයන් එකතු කරගැනීමට’ දරන වෑයම අසාර්ථක වීමට යනවා. මුළු මනුෂ්‍යවර්ගයාවම එක්සත් කළ හැක්කේ යෙහෝවා දෙවිට පමණයි. ඔහු මෙය කරන්න යන්නේ මෙසියානු රාජ්‍යය මගිනුයි.—මතෙව් 6:9, 10.

චමත්කාරජනක දුක් පහෙන් පළමු එක

9, 10. (අ) යෙහෝවා හබක්කුක් මගින් නිවේදනය කරන්නේ කුමක්ද? (ආ) අධර්මිෂ්ඨකමින් උපයාගත් වස්තුව සම්බන්ධයෙන් ගත් කල අද තත්වය කුමක්ද?

9 යෙහෝවා තම අනාගතවක්තෘ හබක්කුක්ව යොදාගනිමින් විනිශ්චයන් ඇතුළත් කොටස් පහකින් යුත් දුක් පෙළක් ප්‍රචාරය කරන්න පටන්ගන්නවා. දෙවිගේ ඇදහිලිවන්ත නමස්කාරකයන්ට ජීවත් වීම සඳහා මේ පොළොව පිළියෙළ කිරීමට එම විනිශ්චයන් ක්‍රියාත්මක කළ යුතුයි. අවංක හදවත් ඇති ඒ අය, යෙහෝවා සපයන ‘උපමාව කියයි.’ හබක්කුක් 2:6හි අපිට මෙසේ කියවීමට තිබෙනවා: “තමාට අයිති නැතිදේ වැඩිකරගන්නාවූ, උකස් බඩු තමා පිට පටවාගන්නාවූ අයට දුක්වේ! කොපමණ කල්ද?”

10 මෙහි අවධාරණය කරන්නේ අධර්මිෂ්ඨකමින් අත් පත් කරගත් වස්තුවයි. අද ලෝකයේ සිටින පොහොසත් අය තව තවත් පොහොසත් වෙනවා. දුප්පත් අය තව තවත් දුප්පත් වෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා වංචාකාරයන් විශාල ධන සම්භාරයක් එක්රැස් කරගනිද්දී, සාමාන්‍ය මිනිසුන් බොහෝදෙනෙක් හාමතේ පෙළෙනවා. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් ජීවත් වෙන්නේ දරිද්‍රතා මට්ටමෙන් පහළ කියා වාර්තා වෙනවා. රටවල් ගණනාවක ජීවන තත්වය තැතිගන්වනසුලුයි. පොළොව මත ධර්මිෂ්ඨ කාලයක් උදා වන තෙක් මහත් ආශාවෙන් බලා සිටින අය හඬ ගා මෙසේ අසනවා: මේ දුෂ්ටකම් වැඩි වෙන්නේ තව ‘කොපමණ කාලයකටද?’ ඒ කෙසේවෙතත්, අවසානය නම් අත ළඟයි! ඇත්තෙන්ම, දර්ශනය “ප්‍රමාද නොවනු ඇත.”

11. මිනිස් ලේ වැගිරවීම ගැන හබක්කුක් පවසන්නේ කුමක්ද? අද පොළොවේ මහත් ලේ වරදක් තිබෙන බව අපිට පැවසිය හැක්කේ මන්ද?

11 අනාගතවක්තෘ හබක්කුක් දුෂ්ටයන්ට මෙසේ පවසනවා. “නුඹ බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ බැවින්, මනුෂ්‍යයන්ගේ ලේ නිසාද දේශයටත් නගරයටත් එහි සියලු වැසියන්ටත් කළ බලාත්කාරය නිසාද ඉතිරිවූ සියලුම ජනයන් නුඹෙන් කොල්ලකනවා ඇත.” (හබක්කුක් 2:8) අද අපිට පොළොව මත සොයාගත හැකි ලේ වරද මොනතරම් මහත්ද! යේසුස්ගේ මෙම පැහැදිලි අවවාදය සැලකිල්ලට ගන්න. “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.” (මතෙව් 26:52) මේ 20වන සියවසේදී පමණක් දශලක්ෂ සිය ගණනකට වැඩි පිරිසක් මරා දැමීම සම්බන්ධයෙන් ලේ වරදට හවුල් වී සිටින ජාතීන් හා වාර්ගික කණ්ඩායම් වගකිව යුතුයි. මේ ලේ ගංගාව ගලා යෑමට සැලැස්සූ අයට දුක අත් වේවා!

දෙවන දුක

12. හබක්කුක් වාර්තා කළ දෙවන දුක කුමක්ද? වංකකමින් උපයාගත් වස්තුව නිෂ්ඵලයි කියා අපිට නිසැකව පැවසිය හැක්කේ මන්ද?

12 හබක්කුක් 2:9-11 දක්වා වාර්තා වී තිබෙන දෙවන දුක පැමිණෙන්නේ, “තමාගේ කූඩුව ඉහළින් සාදන පිණිසද, විපත්තියේ බලයෙන් මිදෙන පිණිසද අධර්මයෙන් ගත් දෙයක් තමාගේ ගෙට [ගෙනෙන අය මතයි].” වංකකමින් උපයාගත් දේවලින් කිසිම ඵල ප්‍රයෝජනයක් අත් වෙන්නේ නැහැ. ඒ ගැන ගීතිකාකරු මෙසේ පැහැදිලි කරනවා. “යමෙක් ධනවත් වන කල්හිද ඔහුගේ ගෙයි ඓශ්වර්යය වැඩිවන කල්හිද භය නොවව. මක්නිසාද ඔහු මැරෙන කල කිසිවක් ගෙන නොයන්නේය; ඔහුගේ ඉසුර ඔහු අනුව නොයන්නේය.” (ගීතාවලිය 49:16, 17) එසේනම් ප්‍රේරිත පාවුල්ගේ මෙම නැණවත් උපදේශය සැලකිල්ලට ගැනීම වටිනවා. “මේ ලෝකයේ ධනවතුන් උඩඟු සිත් ඇත්තන් නොවී, වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, සියල්ල භුක්තිවිඳින පිණිස අපට බහුලලෙස දෙන්නාවූ [දෙවි] කෙරෙහි බලාපොරොත්තුවී සිටින්ට [අණ කරන්න].”—1 තිමෝති 6:17.

13. අපි දිගටම දෙවිගේ අනතුරු ඇඟවීම් ප්‍රකාශ කළ යුත්තේ මන්ද?

13 මේ කාලයේ දෙවිගේ විනිශ්චය පණිවිඩය ප්‍රකාශ කිරීම මොනතරම් වැදගත් දෙයක්ද! “යෙහෝවාගේ නාමයෙන් එන රජ” [NW] හැටියට සෙනඟ යේසුස්ට ප්‍රශංසා කරද්දී, ඵරිසිවරු එයට විරෝධය පළ කළ අවස්ථාවේදී යේසුස් මෙසේ පැවසුවා: “ඔවුන් නිශ්ශබ්දවුණොත්, ගල් මොරගසන්නේයයි නුඹලාට කියමි.” (ලූක් 19:38, 40) ඒ හා සමානව, අද ලෝකයේ පවතින දුෂ්ටකම හෙළි කරන්න දෙවිගේ සෙනඟ අසමත් වූවා නම්, “භිත්තිය කෙරෙන් ගල මොරගසන්නේය.” (හබක්කුක් 2:11) එනිසා අපි දිගටම ධෛර්යය සම්පන්නව අනතුරු ඇඟවීම ප්‍රකාශ කරමු!

තුන්වන දුක හා ලේ වරද පිළිබඳ විෂය

14. ලෝකයේ ආගම් වගකිව යුත්තේ කිනම් ලේ වරදකටද?

14 හබක්කුක් මාර්ගයෙන් නිවේදනය කරන තුන්වන දුකෙන් ගෙනහැර දක්වන්නේ ලේ වරද හා සම්බන්ධ කාරණයයි. හබක්කුක් 2:12හි මෙසේ පැවසෙනවා: “ලේවලින් නුවරක් ගොඩනගන්නාවූ, අධර්මිෂ්ඨකමෙන් නගරයක් පිහිටුවන්නාවූ අයට දුක්වේ!” මේ දේවල පිළිවෙළ තුළ අධර්මිෂ්ඨකම හා ලේ වැගිරවීම නිතරම එකිනෙක හා බැඳී පවතිනවා. විශේෂයෙන්ම, ඉතිහාසය තුළ සිදු වී තිබෙන ඉතාමත් දරුණු ලේ වැගිරවීම්වලට ලෝකයේ ආගම් වගකිව යුතුයි. අපි මෙහිදී මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් වැදුණු ක්‍රිස්තියානීන් සම්බන්ධ වූ කුරුස යුද්ධ, ස්පාඤ්ඤයේ සහ ලතින් අමෙරිකාවේ කතෝලික අධර්ම මර්දනාධිකරණය, යුරෝපයේ රෙපරමාදුවන් සහ කතෝලිකයන් අතර පැවති තිස් අවුරුදු යුද්ධය වැනි සිද්ධීන්ට යොමු දක්වමු. මේ සියල්ලටම වඩා වැඩියෙන් ලේ වැගුරූ අපේ සියවසේ සිදු වූ ලෝක යුද්ධ දෙකද ඒවා අතර සඳහන් කළ හැකියි. එම යුද්ධ දෙකම ආරම්භ වූයෙත් ක්‍රිස්තියානි ලෝකයේ රටවල් අතරයි.

15. (අ) පල්ලියේ සහයෝගය හා අනුදැනුම ඇතුව ජාතීන් දිගටම කරගෙන යන්නේ කුමක්ද? (ආ) මේ ලෝකයේ අවි ආයුධ නිෂ්පාදනයට නිමාවක් ගෙන ඒමට එක්සත් ජාතීන්ට හැකිද?

15 දෙවන ලෝක මහා යුද්ධයේදී සිදු වූ කෲරතම සිද්ධිය වූයේ, යුරෝපයේ සිටිය යුදෙව්වන් සහ තවත් අහිංසකයන් දශලක්ෂ ගණනකගේ ජීවිත බිලිගත් නාට්සි සමූලඝාතනයි. නාට්සි පෝරකවලට සියදහස් ගණනක්ව යවනකොට තමන් එයට විරෝධය පළ නොකිරීමෙන් සිදු කළ වරද ප්‍රංශයේ කතෝලික සභාවේ නායකයන් පිළිගත්තේ මෑතකදීයි. කෙසේවෙතත්, පල්ලියේ සහය හා අනුදැනුම ඇතුව ලේ වැගිරවීම දිගටම කරගෙන යෑමට ජාතීන් සූදානම්ව සිටිනවා. රුසියානු ඕතඩොක්ස් පල්ලිය ගැන කතා කරමින් මෑතක ටයිම් සඟරාවේ (ජාත්‍යන්තර කලාපයේ) මෙසේ සඳහන් වී තිබුණා: “නැවතත් ක්‍රියාකාරි වී සිටින පල්ලිය, කලක් සිතාගන්නවත් බැරි දෙයක් ලෙස සැලකූ දෙයක් කෙරෙහි තමන්ගේ බලය ඉතා සූක්ෂ්ම ලෙස යොදවනවා. එය රුසියාවේ යුද්ධ ව්‍යාපාරය සම්බන්ධවයි. . . . ප්‍රහාරක ජෙට් යානාවලට හා හමුදා බැරැක්කවලට ආශීර්වාද කිරීම චාරිත්‍රයක් බවට පත් වී තිබෙනවා. නොවැම්බර් මාසයේදී රුසියාවේ පූජක සභාවේ ආසනය වන මොස්කව්හි ඩැනිලොස්කි පූජකාරාමයේ පූජකයන් රුසියාවේ න්‍යෂ්ටික අවි ගබඩාවක් කැප කිරීමට තරම් දුර දිග ගොස් තිබෙනවා.” මේ ලෝකය භූතමය යුධ අවිවලින් පිරවීම නතර කරන්න එක්සත් ජාතීන්ට හැකිද? කොහොමටවත් බැහැ! නොබෙල් ත්‍යාගලාභියෙක් ලන්ඩනයේ ද ගාඩියන් පුවත්පතේ මෙසේ පවසා තිබුණා: “ඇත්තටම පවතින අවුල්සහගත තත්වය වන්නේ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් පස්දෙනා ලෝකයේ සිටින ප්‍රධානතම අවි ආයුධ සපයන්නන් වීමයි.”

16. යුද්ධය වෙළඳාමක් කරගෙන සිටින ජාතීන්ට යෙහෝවා කරන්න යන්නේ කුමක්ද?

16 යෙහෝවා යුද්ධය වෙළඳාමක් කරගෙන සිටින ජාතීන්ට එරෙහිව විනිශ්චය ක්‍රියාත්මක කරාවිද? හබක්කුක් 2:13හි මෙසේ සඳහන් වෙනවා: “බලව, ජනයන් ගින්න පිණිස වැඩකිරීමත් ජාතීන් හිස්කමට වෙහෙසීමත් සේනාවල [යෙහෝවාගෙන්] නොවේද?” “සේනාවල යෙහෝවා” යන්නෙන් අදහස් කරන්නේ, යෙහෝවාට ස්වර්ගීය දේවදූත සේනාවක් සිටින බවයි. යුද්ධයට කැමති ජනයන්ව හා ජාතීන්ව නැති කර දමන්න යෙහෝවා එම සේනාව යොදාගන්න යනවා.

17. දරුණු ජාතීන්ට එරෙහිව සිය විනිශ්චය ක්‍රියාත්මක කිරීමෙන් පසුව, යෙහෝවා පිළිබඳ දැනුමෙන් පොළොව පිරී යනු ඇත්තේ කොතරම් දුරකටද?

17 සාහසික ජාතීන්ට එරෙහිව යෙහෝවාගේ විනිශ්චය ක්‍රියාත්මත කිරීමෙන් පසු සිදු වන්නේ කුමක්ද? හබක්කුක් 2:14 එම ප්‍රශ්නයට මෙසේ උත්තර දෙනවා: “ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් [යෙහෝවාගේ] තේජස දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.” මොනතරම් උදාර අපේක්ෂාවක්ද! ආර්මගෙදොන්හිදී යෙහෝවාගේ පරමාධිපත්‍යය සදාකාලයටම නිදොස් කරන්න යනවා. (එළිදරව් 16:16) යෙහෝවා ඔහුගේ “පාදස්ථානය” වන අප ජීවත් වන පොළොව ‘තේජවත් කරන්න’ යන බව අපිට සහතික කරනවා. (යෙසායා 60:13) ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක් මෙන් යෙහෝවාගේ තේජස දැනගැන්මෙන් පොළොව පිරී යෑමට හැකි වන ලෙස මුළු මනුෂ්‍යවර්ගයාටම ජීවිතය සඳහා දෙවිගේ මඟ පිළිබඳව දැනුවත් කරන්න යනවා.

හතරවන හා පස්වන දුක

18. හබක්කුක් මගින් නිවේදනය කළ හතරවන දුක කුමක්ද? අද ලෝකයේ පවතින සදාචාරාත්මක තත්වයෙන් එය පිළිබිඹු වන්නේ කෙසේද?

18 හතරවන දුක හබක්කුක් 2:15හි මෙම වදන්වලින් විස්තර කර තිබෙනවා: “අසල්වාසීන්ගේ නග්නභාවය පෙනෙන ලෙස, නුඹේ කෝප විෂය යොදා, ඔවුන්ට බොන්ට දී මත්කරවන්නාවූ අයට දුක්වේ!” මෙයින් ඇඟවෙන්නේ අද ලෝකයේ පවතින සල්ලාල හා නොහික්මුණු තත්වයයි. ලෝකයේ දුරාචාරය තැතිගන්වනසුලු ආකාරයෙන් පහත් අඩියටම වැටී තිබෙනවා. ඕනෑම දෙයකට ඉඩ දෙන ආගමික කණ්ඩායම්වල පවා අනුබලය එයට ලැබී තිබෙනවා. ඒඩ්ස් හා ලිංගිකව බෝ වෙන වෙනත් රෝග වැනි වසංගත වේගයෙන් ලෝකයේ අස්සක් මුල්ලක් නෑර පැතිරී යනවා. ‘යෙහෝවාගේ තේජස’ පිළිබිඹු කරනවා වෙනුවට, සෑම දෙයකදීම තමාව මුලින්ම තබමින් අද ජීවත් වෙන පරම්පරාව තව තවත් අගාධයට ඇද වැටෙමින් දෙවිගේ විනිශ්චය කරා ගමන් කරනවා. “ගෞරවය වෙනුවට ලජ්ජාවෙන් පිරී [සිටින]” සදාචාරාත්මකව පිරිහුණු මේ ලෝකය, යෙහෝවාගේ උදහස නමැති පාත්‍රයෙන් බොන්න ආසන්නයි. ඒ පාත්‍රයෙන් මේ ලෝකය සඳහා ඔහුගේ කැමැත්ත නියෝජනය වෙයි. ‘මෙලොවෙහි මහිමය නින්දාවට පැමිණෙනවා ඇත.’—හබක්කුක් 2:16.

19. හබක්කුක් නිවේදනය කරන පස්වන දුක සම්බන්ධයෙන් කරන හැඳින්වීමේ ප්‍රකාශය කුමක් හා සම්බන්ධද? අද ලෝකය තුළ එහි සඳහන් වචනවලට සුවිශේෂි වැදගත්කමක් තිබෙන්නේ මන්ද?

19 පස්වන දුක හඳුන්වා දෙන ප්‍රකාශය මගින් කැටයම් කළ පිළිමවලට නමස්කාර කිරීමට එරෙහිව ප්‍රබල අනතුරු ඇඟවීමක් කරනවා. යෙහෝවා අනාගතවක්තෘව යොදාගනිමින් මෙම ප්‍රබල වචන ප්‍රකාශ කරයි: “ලීයට: පිබිදියන්න කියාත් ගොළු ගලට: නැගිටින්න කියාත් කියන්නාට දුක්වේ! ඒක උගන්වනවා ඇද්ද? අන්න, ඒක රනිනුත් රිදීයෙනුත් වසා තිබේ. කිසි හුස්මක් ඒක තුළ ඇත්තෙම නැත.” (හබක්කුක් 2:19) අද දක්වා ක්‍රිස්තියානි ලෝකයේ සිටින අය මෙන්ම දෙවිකෙනෙකුව විශ්වාස නොකරන අය පවා කුරුස, මරියාගේ පින්තූර සහ පිළිම මෙන්ම මිනිසුන්ගේ හා සතුන්ගේ සමානත්වයට සාදා තිබෙන වෙනත් දේවල් ඉදිරියෙහි දණ නමනවා. යෙහෝවා ඔහුගේ විනිශ්චය ක්‍රියාත්මක කරන විට, මේ කිසිම රූපයකට පිබිදී තමන්ට නමස්කාර කළ අයව ගළවාගත නොහැකියි. ඒවා රන් රිදී ආලේප කළද, සදාකාල දෙවි වන යෙහෝවා හා ඔහුගේ ජීවමාන මැවිලිවල තිබෙන තේජවත්භාවය සමඟ බලද්දී, ඒවා කිසිම වටිනාකමක් නැති දේවල් බව පෙනී යනවා. එසේ නම්, කිසිම දෙයකට සමාන කළ නොහැකි යෙහෝවාගේ නාමය අපි සදහටම වර්ණනා කරමු!

20. ප්‍රීතියෙන් සේවය කිරීමට අපි වරප්‍රසාද ලබා තිබෙන්නේ කුමන දේවමාළිගා විධිවිධානයකද?

20 ඔව්, අපේ දෙවි යෙහෝවා හැම ප්‍රශංසාවක්ම ලබන්න වටිනවා. ඔහු කෙරෙහි ගැඹුරු ගෞරවයකින් යුතුව අපි රූප වන්දනාවට එරෙහිව කරන මේ ප්‍රබල අනතුරු ඇඟවීමට අවනත වෙමු. සවන් දෙන්න! යෙහෝවා තවමත් කතා කරමිනුයි සිටින්නේ: ‘යෙහෝවා තමන්ගේ ශුද්ධ මාළිගාවෙහි සිටින්නේය. මුළු පොළොව ඔහු ඉදිරියෙහි නිශ්ශබ්ද වේවා!’ (හබක්කුක් 2:20) යෙරුසලමේ දේවමාළිගාව අනාගතවක්තෘවරයාගේ මනසේ තිබූ බවට කිසිම සැකයක් නැහැ. කෙසේවෙතත්, ඊටත් වඩා ශ්‍රේෂ්ඨ ආත්මික දේවමාළිගා විධිවිධානයක් යටතේ නමස්කාර කරන්න අද අපි වරප්‍රසාද ලබා තිබෙනවා. මේ දේවමාළිගාවේ උත්තම පූජකයා හැටියට පත් කර තිබෙන්නේ යේසුස්වයි. මේ දේවමාළිගාවේ භූමික මළුවේ අපි එකට එක්රැස් වෙනවා. සේවය කරනවා. යාච්ඤා කරනවා. යෙහෝවාගේ තේජවත් නාමයට හිමි ගෞරවය පිරිනමමින් සිටිනවා. අපේ ප්‍රේමනීය ස්වර්ගික දෙවි පියාට හද පත්ලෙන්ම නමස්කාර කිරීමෙන් අප ලබන ප්‍රීතිය මොනතරම්ද!

ඔබට මතකද?

• “එය ප්‍රමාද නොවනු ඇත” යනුවෙන් යෙහෝවා පවසන වදන් ඔබ සලකන්නේ කෙසේද?

• හබක්කුක් මගින් නිවේදනය කරන ලද දුක්වල අද තිබෙන වැදගත්කම කුමක්ද?

• අපි යෙහෝවාගේ අනතුරු ඇඟවීම් දිගටම ප්‍රකාශ කළ යුත්තේ මන්ද?

• අපි සේවය කිරීමට වරප්‍රසාද ලබා තිබෙන්නේ කුමන දේවමාළිගා මළුවේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූර]

හබක්කුක් හා සමානව, අද සිටින දෙවිගේ සේවකයන් දන්නවා යෙහෝවා ප්‍රමාද නොවන බව

[18වන පිටුවේ පින්තූර]

යෙහෝවාගේ ආත්මික දේවමාළිගා මළුවේ සිට ඔහුට නමස්කාර කරන්න ලැබී තිබෙන වරප්‍රසාදය ඔබ අගය කරනවාද?

[16වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. Army photo