Skip to content

පටුනට යන්න

යෙහෝවා මගේ සරණ හා ශක්තියයි

යෙහෝවා මගේ සරණ හා ශක්තියයි

ජීවිත කතාව

යෙහෝවා මගේ සරණ හා ශක්තියයි

මාසෙල් ෆිල්ටෝ පැවසූ පරිදි

“එයාව බැන්දොත් ඔයාට හිරේ යන්න වෙනවා.” මම විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් හිටිය තැනැත්තියට මිනිස්සු කිව්වේ එහෙමයි. ඇයි ඔවුන් එවැනි දෙයක් කිව්වේ කියලා පැහැදිලි කරන්න මට අවසර.

මම ඉපදුණේ 1927දීයි. ඒ කාලයේදී කැනඩාවේ පළාතක් වූ ක්විබෙක් කතෝලික ධර්මයේ බලකොටුවක් වෙලා තිබුණා. ඊට අවුරුදු හතරකට විතර පස්සේ, යෙහෝවාගේ සාක්ෂිකාරියක් වූ සේසිල් ඩ්වේෆූර්, මොන්ට්‍රියෙල් නගරයේ පදිංචිව සිටි අපිව නිතර නිතර බැහැදකින්න ආවා. මේ නිසා අපේ අසල්වැසියන් නිතරම පාහේ ඇයට තර්ජනය කළා. ඇත්තම කියනවා නම්, බයිබල් පණිවිඩය දේශනා කිරීම නිසා හුඟක් අවස්ථාවල ඇයව අත්අඩංගුවට ගෙන වධ හිංසා කළා. ඉතින් “නුඹලා මාගේ නාමය නිසා සියලු ජාතීන් විසින් වෛරකරනු ලබන්නහුය” කියා යේසුස් කියපු දේ ඇත්ත බව අපි වැඩි කල් යන්න මත්තෙන් තේරුම්ගත්තා.—මතෙව් 24:9.

ඒ කාලෙදී, කැනඩාවේ සිටි ප්‍රංශ පවුලකට කතෝලික ආගම අත්අරිනවා කියන එක හිතාගන්නවත් බැරි දෙයක් කියලයි හුඟදෙනෙක් සැලකුවේ. මගේ දෙමාපියන් බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් බවට පත් වුණේ නැතත්, කතෝලික පල්ලියේ ඉගැන්වීම් බයිබලයට පටහැනි බව ඔවුන් ඉක්මනින්ම නිගමනය කළා. එනිසා සාක්ෂිකරුවන් පළ කළ පොත් පත් කියවන්න කියලා දරුවන් අටදෙනාට ඔවුන් උනන්දු කළා විතරක් නෙවෙයි බයිබල් සත්‍ය වෙනුවෙන් අපි අතරෙන් ස්ථාවරයක් ගත්ත අයට සහයෝගය දුන්නා.

අසීරු කාලවලදී ස්ථාවරයක් ගැනීම

වර්ෂ 1942 වන විට මම පාසැල් යමිනුයි හිටියේ. ඒ කාලයේදීම බයිබලය පාඩම් කරන්න මා තුළ ලොකු උනන්දුවක් ඇති වෙන්න පටන්ගත්තා. මුල් ක්‍රිස්තියානීන්ගේ ආදර්ශය අනුගමනය කරමින් ජාතීන්ගේ යුද්ධවලට හවුල් නොවුණ නිසා එවකට කැනඩාවේ සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු තහනම් කරලා තිබුණා. (යෙසායා 2:4; මතෙව් 26:52) ඒ කාලයේදී නරක අතට හැරෙමින් තිබූ ලෝක යුද්ධයට බැඳෙන්න මගේ ලොකුම අයියා වූ රෝලාන් ප්‍රතික්ෂේප කළ නිසා ඔහුව ශ්‍රම කඳවුරකට දැම්මා.

මේ කාලයේදී, තාත්තා මට ප්‍රංශ භාෂාවෙන් ලියවුණු පොතක් දුන්නා; ඒකෙ ඇඩොල්ෆ් හිට්ලර්ගේ හමුදාවලට සහයෝගය දීමට ප්‍රතික්ෂේප කළ නිසා ජර්මානු සාක්ෂිකරුවන් විඳපු දුක්ගැහැට ගැන විස්තර කරලා තිබුණා. a නොසැලී හිටිය එවැනි නිර්භීත අයගෙන් කෙනෙකු වගේ වෙන්න මට පෙලඹීමක් ඇති වුණා; රහසිගතව නිවසක පැවැත්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්නත් මම පටන්ගත්තා. ඉතා ඉක්මනින්ම දේශනා සේවයේ හවුල් වෙන්න කියලා මට ආරාධනා කළා. මම ඒ ආරාධනාව පිළිගත්තේ මාව අත්අඩංගුවට අරං හිරේ දායි කියන කාරණය හොඳහැටි අවබෝධ කරගෙනයි.

ශක්තිය ඉල්ලා යෙහෝවාට යාච්ඤා කළාට පස්සේ, මම මුල්ම ගෙදරට ගිහිල්ලා දොරට තට්ටු කළා. කාරුණික කාන්තාවක් එළියට ආවා; මම මාව හඳුන්නලා දීලා, 2 තිමෝති 3:16 තියෙන “දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල . . . ප්‍රයෝජනවත්ව තිබේ” කියන ඒ වචන ටික ඇයට ඇහෙන්න කියෙව්වා.

“බයිබලය ගැන තව ඉගෙනගන්න ඔයා ආසද?” කියලා මම ඇහැව්වා.

“ඔව්” කියලා කාන්තාව උත්තර දුන්නා.

එනිසා බයිබලය ගැන මට වඩා හොඳට දන්න මිතුරියක්ව මම එක්කගෙන එන්නම් කියලා ඊළඟ සතියේදී මම එහෙම කළා. ඒ මුල් අද්දැකීමෙන් පස්සේ මගේ බය ඇරුණා; අපි දේවසේවය කරගෙන යන්නෙ අපේම ශක්තියෙන් නොවන බව මම දැනගත්තා. ප්‍රේරිත පාවුල් කිවූ විදිහට අපි ඒක කරන්නේ යෙහෝවාගේ උපකාරයෙන්. ඇත්තෙන්ම, ‘බලයේ ඉතා උතුම්කම [සාමාන්‍ය ඉක්මවූ බලය, NW] අපට නොව දෙවිට [අයිති]’ බව වටහාගැනීම ඉතා වැදගත්.—2 කොරින්ති 4:7.

ඉන්පසු, දේශනා සේවය මගේ ජීවිතයේ කොටසක් බවට පත් වූ අතර, අත්අඩංගුවට හා හිරභාරයට ගැනීමත් ඒ වගේම වුණා. “එයාව බැන්දොත් ඔයාට හිරේ යන්න වෙනවා” කියලා මම විවාහ වෙන්න හිටිය මනමාලියට ඔවුන් පැවසීම පුදුමයක් නෙවෙයි. එහෙත්, එවැනි අද්දැකීම් එච්චර අමාරු ඒවා වුණේ නැහැ. මොකද, හිරේ රැයක් ගත කළාට පස්සේ, සාමාන්‍යයෙන් වෙන සාක්ෂිකරුවෙක් ඇවිල්ලා අපිව ඇප දීලා බේරගත්තා.

වැදගත් තීරණ

මම යෙහෝවාට මාව කැප කරලා, 1943 අප්‍රියෙල් මාසයේදී වතුර බව්තීස්මයෙන් ඒ බව සංකේතවත් කළා. ඊට පස්සේ, 1944 අගෝස්තුවලදී, කැනඩාවේ සීමාව ළඟම තියෙන අ.එ.ජ., නියූ යෝක්හි බෆලෝවල පැවැත්වූ සමුළුවට ගියා. මම ඉස් ඉස්සෙල්ලාම ගිය විශාලම සමුළුව ඒකයි. ඒකට 25,000ක් විතර ඇවිත් හිටියා. ඒ වැඩසටහන නිසා පුරෝගාමියෙක් වෙන්න තිබුණු මගේ ආශාව අලුත් වුණා; පුරෝගාමියෙක් කියන්නේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පූර්ණ-කාලීන දේවසේවකයන්ටයි. කැනඩාවේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වැඩයට තිබුණු තහංචිය 1945 මැයිවලදී ඉවත් කළ අතර, ඊළඟ මාසයේදී මම පුරෝගාමී සේවය පටන්ගත්තා.

කොහොමනමුත්, මම වැඩි වැඩියෙන් දේවසේවයේ හවුල් වෙන්න පටන්ගත්තහම හිරේට යෑමත් වැඩි වුණා. දිගු කලක් පුරා යෙහෝවාට විශ්වාසවන්තව සේවය කළ කෙනෙක් වූ මයික් මිලර්, එක්ක එකම කුටියකට වරක් මාව දැම්මා. අපි දෙන්න සිමෙන්ති පොළොවේ ඉඳගෙන කතා කළා. අපේ ගොඩනංවනසුලු ආත්මික සංවාදයෙන් මාව හුඟක් ශක්තිමත් වුණා. ඒත්, ‘අපි අතරේ වරදවා තේරුම්ගැනීමක් ඇති වෙලා දෙන්නට දෙන්නා කතා කරන්නේ නැතුව ගියා නම් මොනව වෙයිද?’ කියන ප්‍රශ්නය ඒත් එක්කම මගේ මනසට නැඟුණා. හිරේ හිටිය මේ ප්‍රිය සහෝදරයා එක්ක එකට ගත කළ කාලයේදී මගේ ජීවිතයට වටිනාම පාඩමක් ඉගෙනගත්තා. ඒ තමයි අපිට අපේ සහෝදරයන් අවශ්‍යයි; ඒ නිසා සමාව දෙන්නත්, එකිනෙකාට කරුණාව දක්වන්නත් ඕනෙයි කියන එක. එහෙම නොකරනවා නම් ප්‍රේරිත පාවුල් ලිව්ව මේ දේ තමයි සිද්ධ වෙන්නේ. “නුඹලා එකිනෙකා විකාකන්නහු නම්, නුඹලා එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට බලාගන්න.”—ගලාති 5:15.

වර්ෂ 1945 සැප්තැම්බර්වලදී, කැනඩාවේ ටොරොන්ටෝවල වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ, ඒ කියන්නේ බෙතෙල් ගෘහයේ සේවය කරන්න එන්න කියලා මට ආරාධනයක් ලැබුණා. එහෙ තිබුණ ආත්මික වැඩසටහන ඇත්තෙන්ම ගොඩනංවනසුලු, ඇදහිල්ල ශක්තිමත් කරවන එකක්. ඊළඟ අවුරුද්දේදී, ශාඛා කාර්යාලයෙන් කිලෝමීටර් 40ක් විතර උතුරෙන් පිහිටි බෙතෙල් ගොවිපොළේ වැඩ කරන්න මට පැවරුමක් ලැබුණා. තරුණ ඈන් වෝලිනෙක් එක්ක මම ස්ට්‍රෝබෙරි කඩ කඩ ඉන්නකොට, එයාගේ සුන්දර පෙනුම විතරක් නෙවෙයි, එයා යෙහෝවා කෙරෙහි දැක්වූ ප්‍රේමය හා ජ්වලිතයත් මම දැක්කා. ප්‍රේම සම්බන්ධය ටිකෙන් ටික වැඩිලා අපි 1947 ජනවාරියේදී විවාහ වුණා.

ඊළඟ අවුරුදු දෙකහමාරේදී, අපි ඔන්ටේරියෝහි ලන්ඩන්වලත්, ඊට පස්සේ කේප් බ්‍රිට්න්වලත් පුරෝගාමී සේවයේ යෙදුණා. අපි එහෙදී සභාවක් පිහිටුවන්න උපකාර කළා. පසුව, 1949දී අපිට ගිලියද්හි වොච්ටවර් බයිබල් පාසැලේ 14වෙනි පංතියට ආරාධනා කළ අතර, එහිදී අපව මිෂනාරිවරුන් වීමට පුහුණු කළා.

ක්විබෙක්හි මිෂනාරි සේවය

කලින් ගිලියද් පංතිවල සිටි කැනඩාවේ උපාධිධාරීන්ට ක්විබෙක්හි දේශනා සේවය ඇරඹීමට පවරා තිබුණා. වර්ෂ 1950දී, අපේ 14වෙනි පංතියෙන් 25දෙනෙකුත් සමඟ අපි ඔවුන්ට හවුල් වුණා. මිෂනාරි ක්‍රියාකාරකම් වැඩි වෙනවත් එක්කම රෝමානු කතෝලික පල්ලියේ නායකයන්ගේ උසිගැන්වීම පිට පීඩා සහ මැරවර ක්‍රියා වැඩි වුණා.

අපේ මුල් මිෂනාරි පැවරුම භාරගෙන රොයින් නගරයට ඇවිත් දවස් දෙකකට පස්සේ ඈන්ව අත්අඩංගුවට අරං පොලිස් රථයක පිටුපසට නග්ගවාගෙන තිබුණා. ඉඳලා හිටලා පොලිස් භටයෙක් දකින්න ලැබුණ කැනඩාවේ මැනිටෝබා ප්‍රදේශයේ කුඩා ගම්මානයකින් පැමිණි ඇයට මේක අලුත් අද්දැකීමක් වුණා. ඉතින් ඇයට භය හිතීමත්, “එයාව බැන්දොත් ඔයාට හිරේ යන්න වෙනවා” කියන වචන ටික ඇයට මතක් වීමත් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. කොහොමනමුත්, වාහනය පිටත් වෙන්න කලින් පොලිසිය මාවත් අල්ලගෙන ඈන් හිටිය රථයටම දාගත්තා. “ඇති යන්තං!” කියා ඈ සැනසුම් සුසුමක් හෙළුවා. ඒත්, “යේසුස් ගැන දේශනා කළ නිසා ප්‍රේරිතයන්ටත් මේ දේම සිද්ධ වුණානෙ” කියලා ඈ කිසිම කලබලයක් නැතුව කිව්වා. (ක්‍රියා 4:1-3; 5:17, 18) ඒ දවසෙම අපිව ඇප පිට නිදහස් කරගත්තා.

ඒ සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සේ, මොන්ට්‍රියෙල්හි අපේ අලුත් පැවරුම ලැබුණට පස්සේ ගෙයින් ගෙට සේවයේ යෙදෙද්දී, පාරෙ ලොකු ගාල ගෝට්ටියකුත් කල්ලියක් උමතු විදිහට ගල් ගහනවාත් මම දැක්කා. මම ඈන්ටත් ඇගේ යෙහෙළියටත් උදව් කරන්න ගිය වෙලාවෙම පොලිසියත් එතනට ආවා. මැරවර කල්ලියේ සාමාජිකයන්ව අත්අඩංගුවට ගන්නවා වෙනුවට පොලිසිය අත් අඩංගුවට ගත්තේ ඈන්වයි, ඇගේ යෙහෙළියවයි! “නුඹලා මාගේ නාමය නිසා සියල්ලන් විසින් වෛරකරනු ලබන්නහුය” යන යේසුස්ගේ වචනවල සත්‍යතාව ඔවුන් අද්දකිමින් හිටිය බව හිරේ ඉන්නකොට ඈන් අලුත් සාක්ෂිකාරියට සිහිගැන්නුවා.—මතෙව් 10:22.

එක කාලයක් ක්විබෙක්හි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ට විරුද්ධව නඩු 1,700ක් විතර දාලා තිබුණා. අපිට සාමාන්‍යයෙන් චෝදනා කෙරුවේ අපි ආණ්ඩු විරෝධී පොත් පත් බෙදාහරිනවා කියලයි, එහෙමත් නැත්නම් බලපත්‍ර නැතුව පොත් පත් බෙදාහරිනවා කියලයි. ප්‍රතිඵලයක් හැටියට ක්විබෙක් රජයට විරුද්ධව වොච් ටවර් සමිතියේ නීතික අංශය පියවර ගත්තා. අවුරුදු ගණනාවක් පුරා කළ නීතික සටනකින් පස්සේ, කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ යෙහෝවා අපට මහත් ජයග්‍රහණ දෙකක් ලබා දුන්නා. වර්ෂ 1950 දෙසැම්බර්වලදී අපේ පොත් පත් ආණ්ඩු විරෝධී යන චෝදනාවෙන් අපව නිදහස් කළා. වර්ෂ 1953 ඔක්තෝබර්වලදී බලපත්‍රයක් නොමැතිව බයිබල් පොත් පත් බෙදාහැරීමට අපට තිබුණු අයිතිය ස්ථාපිත කළා. මෙලෙස යෙහෝවා ඇත්තෙන්ම ‘සරණ හා ශක්තියක්, දුකේදී ඉතා ළංවූ පිහිටක්’ වන ආකාරය අපි අපේ පියවි ඇසින්ම දැක්කා.—ගීතාවලිය 46:1.

ක්විබෙක්හි සාක්ෂිකරුවන්ගේ සංඛ්‍යාව විශිෂ්ට ලෙස වැඩි වෙලා තියෙනවා. වර්ෂ 1945දී මම පුරෝගාමී සේවය පටන්ගත්ත කාලයේ හිටිය 356දෙනා අද 24,000කට වඩා වැඩි වෙලා! එය හරියට බයිබල් අනාවැකියේ පුරෝකථනය කරලා තියන විදිහටමයි සිද්ධ වෙලා තියෙන්නේ: “නුඹට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සඵල නොවන්නේය; විනිශ්චයකිරීමට නුඹට විරුද්ධව නැගිටින සියලුම දිව් නුඹ විසින් වරදට පත්කරනවා ඇත.”—යෙසායා 54:17.

ප්‍රංශයේ අපේ සේවය

වර්ෂ 1959 සැප්තැම්බර්වලදී, ඈන්ටයි, මටයි ප්‍රංශයේ පැරිස්වල බෙතෙල් ගෘහයේ සේවය කරන්න ආරාධනා කළා; එහෙදී මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් මූලිකත්වය ගන්න මට පැවරුවා. වර්ෂ 1960 ජනවාරිවලදී අපි එහෙට යන තුරුම මුද්‍රණ කටයුතු කරලා තිබුණේ පිට වෙළඳ ආයතනයක් මගින්. ප්‍රංශයේ මුරටැඹ තහනම් කළ දවසේ පටන්, පිටු 64ක පොත් පිංචයක් විදිහටයි හැම මාසයකම අපි සඟරාව මුද්‍රණය කළේ. පොත් පිංචයට යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ පුවත්පත යනුවෙන් නම් තැබූ අතර, හැම මාසයකම සභාවලදී පාඩම් කිරීමට නියමිත ලිපි එහි අඩංගුව තිබුණා. වර්ෂ 1960 සිට 1967 දක්වා, ප්‍රංශයේ දේශනා සේවයෙහි හවුල් වුණ අයගේ සංඛ්‍යාව 15,439 ඉඳලා 26,250 දක්වා වැඩි වුණා.

අන්තිමේදී, මිෂනාරිවරුන්ගෙන් වැඩිදෙනෙකුට වෙනත් ප්‍රදේශවල සේවය කිරීමට යළිත් පැවරුම් ලැබුණා; සමහරුන්ට ප්‍රංශ භාෂාව කතා කරන අප්‍රිකානු රටවලටත්, තවත් අයට ආපහු ක්විබෙක්වලටත් පැවරුම් ලැබුණා. ඈන්ට අසනීප වී ශල්‍යකර්මයක් කරන්න අවශ්‍යව තිබුණු නිසා අපි ක්විබෙක්වලට ආපහු ගියා. අවුරුදු තුනක් වෛද්‍ය ප්‍රතිකාර ගත්තට පස්සේ, ඈන්ගේ සෞඛ්‍ය තත්වය හොඳ අතට හැරුණා. ඉන්පසුව ආත්මික දිරිගැන්වීම සැපයීමට සෑම සතියකම විවිධ සභා බැහැදකින චාරිකා සේවය සඳහා පැවරුමක් මට ලැබුණා.

අප්‍රිකාවේ මිෂනාරි සේවය

වර්ෂ කීපයකට පස්සේ, එනම් 1981දී, දැන් කොංගෝ සමූහාණ්ඩුව වන ෂයරේහි මිෂනාරිවරුන් හැටියට අලුත් පැවරුමක් ලැබීම ගැන අපි ගොඩාක් සතුටු වුණා. ජනයා දිළිඳුව, හුඟක් දුක් විඳිමින් හිටියා. අපි එනකොට එහෙ හිටියේ සාක්ෂිකරුවන් 25,753දෙනෙකු වුණත්, අද ඒ සංඛ්‍යාව 1,13,000කට වඩා වැඩි වෙලා තියෙනවා. වර්ෂ 1999 ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමට 4,46,362ක් ආවා!

අලුත් ශාඛා කාර්යාලයක් ගොඩනඟන්න අපි 1984දී රජයෙන් හෙක්ටෙයාර් 200ක විතර ඉඩමක් ලබාගත්තා. ඊටපස්සේ, 1985 දෙසැම්බර්වලදී, අගනුවර වන කින්ෂාසාවල ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වූවා. ඒකට ලෝකයේ බොහෝ රටවලින් නියෝජිතයන් 32,000ක් ඇවිත් හිටියා. පසුව, පූජක පංතිය ෂයරේහි අපේ සේවය කඩාකප්පල් කිරීමට විරෝධතා දියත් කළා. ෂයරේහි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංගමය නීති විරෝධි බවට ප්‍රකාශ කළ ලිපියක් 1986 මාර්තු 12වෙනිදා වගකීම් දරන සහෝදරයන්ගේ අතට පත් වුණා. අපේ වැඩ සියල්ල මත තහංචි පැනවීම සඳහා අත්සන් තබා තිබුණේ එවකට ජනාධිපතිව සිටි මෑතකදී මියගිය මොබූටූ සෙසෙ සෙකෝයි.

මෙවැනි හදිසි සිදුවීම් නිසා, බයිබලයේ මෙම උපදෙස අදාළ කරගන්න අපිට සිද්ධ වුණා: “නුවණ ඇත්තා විපත්තිය දැක සැඟවෙයි.” (හිතෝපදේශ 22:3) කින්ෂාසාවලදී අපේ ප්‍රකාශන මුද්‍රණය කිරීමට විදේශ රටවලින් කොල, තීන්ත, සේයා පටල, මුද්‍රණ තහඩු හා රසායනික ද්‍රව්‍යය ගෙන්වාගැනීමට අපි මාර්ග සොයාගත්තා. අපි අපේම බෙදාහැරීමේ ක්‍රමයකුත් ක්‍රියාත්මක කෙරුවා. සියල්ල සංවිධානාත්මක වුණාට පස්සේ, අපේ ක්‍රමය රජයේ තැපැල් සේවයට වඩා හොඳින් ක්‍රියාත්මක වුණා!

සාක්ෂිකරුවන් දහස් ගණනක් අත්අඩංගුවට ගත් අතර බොහෝදෙනෙකුව කෲර ලෙස වධහිංසාවලට ලක් කළා. ඒත්, කීපදෙනෙක් හැරෙන්න අනිත් අය එවැනි පීඩා හමුවේ නොසැලී ඉඳලා, තමන්ගේ ඇදහිලිවන්තභාවය පවත්වගත්තා. මාවත් අත්අඩංගුවට ගත්තා. හිරේදී සහෝදරයන් විඳින දරුණු තත්වයන් මම අද්දැක්කා. රහස් පොලිසිය හා අධිකාරීන් හුඟක් අවස්ථාවලදී අපිව හැම අතින්ම මඩිනු ලැබුවත් යෙහෝවා හැමවිටම අපිට ගැළවෙන්න මාර්ගයක් සපයලා දුන්නා.—2 කොරින්ති 4:8.

අපි පොත් පෙට්ටි 3,000ක් ව්‍යාපාරිකයෙකුගේ බඩු ගබඩාවේ සඟවලා තිබ්බා. කොහොමවුණත්, ඔහුගේ සේවකයෙක් මේ බව රහස් පොලිසියට දැනුම් දුන්න නිසා ඔවුන් ව්‍යාපාරිකයාව අත්අඩංගුවට ගත්තා. ඔවුන් හිරේට යන අතරේදී අහම්බෙන් වගේ මගේ කාර් එක ඔවුන්ගේ අතටම අහු වුණා. පොත් ගබඩා කරලා තියන්න කතා කරගත්තේ මා බව ව්‍යාපාරිකයා ඔවුන්ට කිව්වා. පොලිසිය මාව නවත්වලා, මේ තැනැත්තාගේ බඩු ගබඩාවේ නීති විරෝධි පොත් දැමීම ගැන මට චෝදනා කර ඒ ගැන මගෙන් ප්‍රශ්න කළා.

මම මෙහෙම ඇහැව්වා: “ඕගොල්ලන් ගාව ඒකෙන් පොතක් තියෙනවද?”

“ඔව්, තියෙනවා” ඔවුන් පිළිතුරු දුන්නා.

“මට ඒක බලන්න පුළුවන්ද?” මම ඇහැව්වා.

ඔවුන් මට පොතක් දුන්නා; ඊට පස්සේ මම ඇතුල් පිටුවේ සඳහන් වූ “අමෙරිකා එක්සත් ජනපදයේ වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතිය මගින් මුද්‍රිතය” යන ප්‍රකාශය ඔවුන්ට පෙන්නුවා.

“ඔබේ අතේ තිබෙන්නේ අමෙරිකාව සතු දෙයක්; ඒක ෂයරේවලට අයිති නැහැ” කියලා මම ඔවුන්ට මතක් කරලා දුන්නා. “රජය තහනමක් පනවා තිබෙන්නේ, ෂයරේවල යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමාගමේ නීතික සංස්ථාව මත මිසක් එක්සත් ජනපදයේ වොච් ටවර් බයිබල් සහ පත්‍රිකා සමිතිය මත නොවෙයි. ඒ නිසා ඕගොල්ලන් මේ ප්‍රකාශනවලට කරන්න යන දේ ගැන හුඟක් පරෙස්සම් වෙන එක හොඳයි.”

මාව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් පනවා නොතිබුණ නිසා මට යන්න අවසර ලැබුණා. ඒ රාත්‍රියේදී අපි ට්‍රක් රථ දෙකක් ගෙනිහින් බඩු ගබඩාවේ තිබූ පොත් පෙට්ටි ඔක්කොම එතනින් අහක් කළා. ඊළඟ දවසේදී අධිකාරීන් පැමිණි විට, ඒ ස්ථානය හිස්ව තිබෙනවා දැකීමෙන් ඔවුන් හොඳටම කැලඹුණා. ඒ වෙනකොට මාව අත්අඩංගුවට ගන්න නියෝගයක් පනවා තිබුණ නිසා ඔවුන් මාව සොයමින් හිටියා. ඔවුන් මාව අල්ලාගත් අතර ඔවුන් ළඟ මෝටර් රථයක් නොතිබුණ නිසා මම මගේම කාර් එක පදවගෙන සිරගෙදරට ගියා! ඔවුන් මගේ රථය රාජසන්තක කරගන්න කලින් ඒක ආපහු ගෙනියන්න මම තවත් සාක්ෂිකරුවෙකුවත් එක්කගෙන ගියා.

පැය අටක් තිස්සේ ප්‍රශ්න කළාට පස්සේ, මාව පිටුවහල් කරන්න ඔවුන් තීරණය කළා. නමුත් ෂයරේහි ඒ වන විටත් තහනම් කරලා තිබුණ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සංගමය සන්තක දේපොළ විකුණන්න මට අවසර දී ඇති බවට රජයෙන් සහතික කළ ලිපියක ඡායාපිටපතක් මම ඔවුන්ට පෙන්නුවා. මෙලෙස බෙතෙල්හි මගේ වැඩකටයුතු දිගටම කරගෙන යන්න මට අවසර ලැබුණා.

ෂයරේහි සේවය තහනම් කිරීම නිසා ඇති වූ පීඩා යටතේ අවුරුදු හතරක් සේවය කළාට පස්සේ, මගේ ජීවිතයට තර්ජනයක් වූ රුධිරය ගලන තුවාල උදරයේ හටගත්තා. දකුණු අප්‍රිකාවට ගොස් මම ප්‍රතිකාර ලැබිය යුතු බව තීරණය කළ අතර, එහෙ ශාඛා කාර්යාලයේ අය මාව හොඳට බලාගත්තා. මම සුවය ලැබුවා. ඇත්තටම අමතක නොවන හා සතුට ගෙන දුන් අද්දැකීමක් වූ ෂයරේහි වසර අටක් සේවය කළාට පස්සේ, 1989දී අපි දකුණු අප්‍රිකාවේ ශාඛාව වෙත ගියා. වර්ෂ 1998දී අපි ආපහු අපේ මව්බිම බලා ගිය අතර, එදා පටන් කැනඩාවේ බෙතෙල් ගෘහයේ නැවතත් සේවය කරමින් ඉන්නවා.

සේවය සඳහා කෘතඥ වෙමින්

පූර්ණ කාලීන දේවසේවයේ යෙදුණු වසර 54 ගැන මම ආපහු හැරිල බලද්දී, යෙහෝවාගේ අනර්ඝ සේවය සඳහා මගේ යෞවන ශක්තිය යොදවන්න ලැබීම ගැන මම ඇත්තෙන්ම කෘතඥපූර්වක වෙනවා. ඈන්ට පීඩාකාරි තත්වයන් බොහෝමයක් දරාගන්න සිද්ධ වුණත්, ඇය කිසිදාක චෝදනා කළේ නැහැ. අපේ සෑම වැඩකදීම හුඟක් සහයෝගය දීලා තියෙනවා. බොහෝදෙනෙකුට යෙහෝවාව දැනගන්න උපකාර කරන්න අපි දෙන්නටම වරප්‍රසාද ලැබිලා තියෙනවා; ඔවුන්ගෙන් කීපදෙනෙක්ම දැන් පූර්ණ කාලීන දේවසේවයේ යෙදෙමින් ඉන්නවා. ඔවුන්ගේ සමහර දරුවන් මෙන්ම ඔවුන්ගේ මුණුබුරන් පවා අපේ උතුම් දෙවි වූ යෙහෝවාට සේවය කරනවා දැකීම පුදුමාකාර ප්‍රීතියක්!

යෙහෝවා අපිට දීලා තියෙන වරප්‍රසාද හා ආශීර්වාද සමඟ සැසඳිය හැකි කිසිම දෙයක් මේ ලෝකයේ නැති බව මට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙනවා. අපි හුඟක් පීඩා විඳදරාගෙන තියෙන බව ඇත්තයි; නමුත් ඒ හැම එකක්ම දායක වෙලා තියෙන්නේ යෙහෝවා කෙරෙහි අපේ ඇදහිල්ල හා විශ්වාසය ගොඩනඟන්නයි. ඔහු ඇත්තෙන්ම ශක්තියේ ටැඹක්, රක්ෂස්ථානයක් හා පීඩාකාරි කාලවලදී ඉතා කිට්ටුවෙන් සිටින උපකාරකයෙක් බව ඔප්පු කර තිබෙනවා.

[පාදසටහන]

a ක්‍රෝයිට්ස්ට්සූග් ගේගන් ඩාස් ක්‍රිස්ටන්ටූම් (ක්‍රිස්තු ධර්මයට එරෙහිව කුරුස යුද්ධයක්) යන පොත මුලින්ම පළ කළේ ජර්මානු භාෂාවෙන්. එය ප්‍රංශ හා පෝලන්ත භාෂාවලට මිස ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර නැහැ.

[26වන පිටුවේ පින්තූර]

1947දී එකට පුරෝගාමී සේවයේ යෙදෙමින්; ඈන් එක්ක අද

[29වන පිටුවේ පින්තූර]

ෂයරේහි අපට හමු වූ ජනයා බයිබල් සත්‍යයට ඇලුම් කළා