Skip to content

පටුනට යන්න

සාර්ථක දිවියකට රහස කුමක්ද?

සාර්ථක දිවියකට රහස කුමක්ද?

සාර්ථක දිවියකට රහස කුමක්ද?

දක්ෂ තරුණයන් දෙදෙනෙක් නොපසුබස්නා උත්සාහයකින් යුතුව යන්ත්‍රයක් සකස් කරයි. මෙම අපූරු යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂාවට ලක් කරන තීරණාත්මක මොහොත දැන් එළඹී ඇත. එකපාරටම සැඩ සුළඟක් හමයි. යන්ත්‍රය උඩට වීසි වී නැවතත් බිමට කඩා වැටේ. තරුණයන් දෙදෙනා තම සුනු විසුනු වූ යන්ත්‍රය දෙස බලන්නේ මහත් කනගාටුවකින්. දිවා රෑ නොබලා ඔවුන් දැරූ වෙහෙස ක්ෂණයකින් නිෂ්ඵල වී ඇත. ඉතිරිව ඇත්තේ කුඩු පට්ටම් වූ ලෝහ සහ ලී පතුරු ගොඩක් පමණි.

මෙය සිදු වූයේ 1900 ඔක්තෝබර් මාසයේදීයි. තරුණයන් දෙදෙනා ඕවිල් හා විල්බර් රයිට්ය. ගුවනේ පියාසර කරන යානයක් තැනීමට වෙර දැරූ ඔවුන් දෙදෙනාට එම බලාපොරොත්තු සුන් කරවන අද්දැකීම අලුත් යමක් නොවීය. තම යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය අත්හදා බැලීම සඳහා ඔවුන් ඒ වන විටත් වසර ගණනාවක් පුරා සෑහෙන මුදලක් වැය කර තිබිණ.

කෙසේවෙතත්, අන්තිමේදී නිරන්තර උත්සාහය හේතුවෙන් ඔවුන් දෙදෙනා ජයගත්හ. වර්ෂ 1903 දෙසැම්බර් 17වනදා අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනාහි කිටි හෝක්වලදී, රයිට් සහෝදරයෝ තම ඉලක්කය අත් කරගැනීමට සමත් වූහ. ලෝකයේ ප්‍රථම වරට තත්පර 12කට ගුවනේ යානයක් පියාසර කළේය. අදදින සමඟ සැසඳූ විට මෙය එතරම් ලොකු හපන්කමක් නොවන බව පෙනිය හැකි නමුත් එය ලොව සදහටම වෙනස් කළ සිද්ධියකි.

ඇත්තෙන්ම, ඕනෑම ඉලක්කයක් සාර්ථක ලෙස අත් කරගැනීමට නම් නොපසුබස්නා උත්සාහයක් අවශ්‍යයි. ඔබේ ඉලක්කය අලුත් භාෂාවක් ඉගෙනගැනීම, වෘත්තියක් පුහුණු වීම හෝ මිත්‍රත්වයක් ගොඩනැඟීම විය හැකියි. එය කුමක් හෝ වේවා අඛණ්ඩ උත්සාහයකින් තොරව එය ඉටු කරගත නොහැකි බව මතක තබාගත යුතුයි. මන්ද වටිනාකමක් ඇති ඕනෑම දෙයක් අත් කරගැනීමට අඛණ්ඩ උත්සාහය අත්‍යවශ්‍යයි. ලේඛක චාල්ස් ටෙම්පල්ටන් එය පැහැදිලි කළේ මෙසේය. “සාර්ථකත්වය අත් කරගත හැකි එකම ක්‍රමය වන්නේ වෙහෙස මහන්සිය නොබලා වැඩ කිරීමයි. මෙය අවස්ථා දහයකින් නවයක් සම්බන්ධයෙන්ම ගත් කල සැබෑවකි.” තීරු ලේඛක කනිෂ්ඨ ලෙනඩ් පිට්ස් පවසන්නේ මෙසේයි. “කෙනෙකු සාර්ථකත්වය අත් කරගන්නේ ඔහු දක්ෂයෙක් නිසා හෝ ඔහුගේ හොඳ වේලාව නිසා කියා අපි නිතරම පවසනවා. නමුත් එයට ඇත්තෙන්ම දායක වූයේ කුමක්ද කියා වටහාගන්න අපි අසමත් වෙනවා. ඔව්, සාර්ථකත්වය අත් කරගන්න නම් අපිට නිදි මරාගෙන හරි වැඩ කිරීමට සිදු වෙනවා. අසාර්ථක උත්සාහයන් ගණනාවකට මුහුණ දීමට සිදු වෙනවා.”

මෙම ප්‍රකාශය සියවස් ගණනාවකට පෙර බයිබලයේ කියූ යමක් සනාථ කරයි. එහි පවසන්නේ, “කඩිසර අයගේ අත ආණ්ඩුකරන්නේය” කියායි. (හිතෝපදේශ 12:24) කඩිසර යන වචනයෙහි තේරුම වන්නේ නොපසුබස්නා උත්සාහයක් ඇතුව කාර්යයක නිරත වීමයි. අපි ඉලක්ක කරන දේ ඉටු කරගැනීමට නම් මෙය අත්‍යවශ්‍යයි. නොපසුබස්නා උත්සාහය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අපේ ඉලක්කයන් අත් කරගැනීම උදෙසා අප නොපසුබස්නා උත්සාහයක නිරත වන්නේ කොහොමද? අප කුමක් සඳහාද උත්සාහ කළ යුත්තේ? මෙම ප්‍රශ්න අපේ ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරේ.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

U.S. National Archives photo