Skip to content

පටුනට යන්න

අනතුරු ඇඟවීමට පිටු නොපාන්න!

අනතුරු ඇඟවීමට පිටු නොපාන්න!

අනතුරු ඇඟවීමට පිටු නොපාන්න!

දිනය 1991 ජූනි 3වනදාය. හදිස්සියේම මහා ගිගුරුම් හඬක් ඇසුණා. ඒ ජපානයේ ෆියුජෙන් කන්දෙන් යමහල් වායු හා අළු ගංගාවක් පිටාර ගලද්දී නිකුත් වූ හඬයි. අධික ලෙස රත් වූ මිශ්‍රණය බෑවුම දිගේ ඇද හැළෙද්දී හතළිස්තුන්දෙනෙක් මරුට බිලි වුණා. යන්තම් පණ නල රැකුණ අයවත් දරුණු ලෙස පිලිස්සී තිබුණා. “වතුර, වතුර, අනේ වතුර ටිකක්” කියා සමහරු කෑගැසුවා. ගිනි නිවන්නන් හා පොලිස්භටයන් ලහි ලහියේ පැමිණියේ ඔවුන්ගේ උපකාරයටයි.

ෆියුජෙන් කඳු මුදුනෙහි කේතුවක හැඩයේ ලාවා ස්තරයක් තිබෙනවා දක්නට ලැබුණේ සති දෙකකට පමණ කලිනුයි. අධිකාරීන් හා ජනාවාසීන් මේ සම්බන්ධයෙන් සාවධානව සිටියා. ව්‍යසනයට සතියකට පෙර සිටම එම ප්‍රදේශයෙන් ඉවත් වන්න කියා උපදෙස් දී තිබුණා. පිපිරී යෑමට හරියටම දිනකට කලින් පොලිසිය විසින් මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ තහනම් ප්‍රදේශයට නොයන ලෙසටයි. නමුත් එම තීරණාත්මක දවාලේ ඊට ගොදුරු වූ 43දෙනා සිටියේ අනතුරුදායක කලාපයෙයි.

බොහෝදෙනෙක් එම අවදානම් ප්‍රදේශයට ඇතුල් වූයේ හෝ එහි නැවතී සිටියේ මන්ද? තම නිවෙස් අතැර ගිය සමහර ගොවීන් නැවතත් එහි ගියේ තමන්ගේ දේපොළ හා කුඹුරු සෝදිසි කිරීමටයි. ගිනි කඳු පිළිබඳව හදාරන විද්‍යාඥයන් තුන්දෙනෙක් ගිනි කන්දට පුළුවන් තරම් කිට්ටු වෙන්න වෑයම් කළේ තම ශාස්ත්‍රීය දැනුම වැඩි කරගැනීමටයි. එමෙන්ම ගිනි කන්දේ ක්‍රියාකාරිත්වය පිළිබඳව තොරතුරක් ලබාගැනීමට අවශ්‍ය වූ නිසා වාර්තාකරුවන් හා ඡායාරූප ශිල්පීන් තහනම් සීමාව තුළට යෑමට තරම් නිර්භීත වුණා. ප්‍රවෘත්ති කාර්යාලය මගින් කුලියට ගත් වාහන තුනක රියැදුරන්ද එහි සිටියා. පොලිස් නිලධාරීන් මෙන්ම ස්වේච්ඡා ගිනි නිවන්නන්ද රාජකාරියෙහි නිරතව සිටියා. අනතුරුදායක කලාපය තුළට යෑම සඳහා මේ හැම කෙනාටම මොනයම් හෝ හේතුවක් තිබුණා. ප්‍රතිඵලය වුණේ මේ සෑම කෙනෙකුම මරණයට පත්වීමයි.

ඔබ ඉන්නේ අනතුරුදායක කලාපයකද?

අප සැවොම පිපිරී යන ගිනි කන්දක් අසල ජීවත් නොවෙන්න පුළුවන්. එහෙත්, අපි හැමෝම එක්තරා සමස්ත ලෝක විපත්තියක් අභියසයි සිටින්නේ. එමනිසා, කොහේ සිටියත් අපි අනතුරු සහිත තත්වයක සිටින බව පැවසිය හැකියි. අනාවැකිමය තොරතුරු සපයන විශ්වාසවන්ත මූලාශ්‍රයක් හැටියට ඔප්පු වී තිබෙන පොතක, පැමිණෙන්න යන්නාවූ ලෝක ව්‍යාප්ත ව්‍යසනයක් ගැන අපට අනතුරු අඟවමින් මෙසේ විස්තර කරනවා. “ඉර අඳුරුවන්නේය, සඳ එහි එළිය නොදෙන්නේය, තාරකාවෝ අහසෙන් වැටෙන්නෝය, අහසේ බලපරාක්‍රමද සෙලවෙන්නෝය. . . . එවිට පොළොවේ සියලු ගෝත්‍රයෝ වැලපෙන්නෝය.” (මතෙව් 24:29, 30) අතිවිශාල විශ්වයේ ආකාශ වස්තූන්ගේ ආශ්චර්යයන් ‘පොළොවේ සියලු ගෝත්‍රයන්ට’ බලපාන බව මෙහි විස්තර කෙරෙයි. වෙනත් අයුරකින් පවසනවා නම්, මෙම අනාවැකිය අප සැමට බලපානු ඇති විපත්තියකට සම්බන්ධයි.

විශ්වසනීය අනාවැකි තිබෙන මෙම පොත බයිබලයයි. ඉහත සඳහන් ශුද්ධ ලියවිලි පාඨවල පද සම්බන්ධයෙහි සමස්ත ලෝක විපත්තියකට මඟ පාදන දේවල් පිළිබඳ පැහැදිලි විස්තරයක් දීම උනන්දුව දනවන්නකි. ලාවා ශිඛරය මගින් මෙන්ම යමහල් ක්‍රියාකාරිත්වයක් ඇති බවට දුටු ලකුණු මගින් ෂිමාබාරා නගරයේ නිලධාරීන්ට අනතුරුදායක කලාපයක් නියම කිරීම සඳහා හේතු සපයා දුන්නාක් මෙන්ම, ජීවිත ගළවාගැනීම සඳහා අපව සූදානම් කිරීමට හා අපව අවදි කර තැබීමට බයිබලයේ හේතු සපයනවා. ෆියුජෙන් කන්දේ ඛේදවාචකයෙන් පාඩමක් ඉගෙනගැනීමටත්, ඉදිරියේදී තිබෙන මලපත කුමක්ද කියා තේරුම්ගැනීමටත් අපට හැකියි.

[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

COVER: Yomiuri/​Orion Press/​Sipa Press

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Yomiuri/​Orion Press/​Sipa Press