“ක්‍රිස්තුස්ගේ මනස” ඔබ සතුද?
“ක්‍රිස්තුස්ගේ මනස” ඔබ සතුද?
“විඳදරාගැනීම සහ සැනසීම ලබා දෙන දෙවි ඔබට . . . ක්‍රිස්තුස් යේසුස්ට සමාන මානසික ආකල්පයක් ලබා දෙත්වා!”—රෝම 15:6, NW.
1. ක්‍රිස්තියානි ලෝකයේ චිත්‍ර බොහොමයක යේසුස්ව චිත්‍රයට නඟා ඇත්තේ කෙලෙසද? මෙය යේසුස්ව නිවැරදි අයුරින් චිත්‍රයට නැඟීමක් නොවන්නේ මන්ද?
ඉපැරණි රෝමයේ විසූ නිලධාරියෙකු ලියූ බවට ව්‍යාජ ලෙස පවසන ලිපියක යේසුස් ගැන විස්තරයක් දී තිබේ. “ඔහු සිනාසෙනවා කිසිවෙක් දැක නැත” කියා එහි පැවසේ. එකොළොස්වන සියවසේ පටන් ප්‍රචලිත වී තිබෙන මෙම ලියවිල්ල චිත්‍ර ශිල්පීන් බොහෝදෙනෙකුට බලපෑම් කර ඇති බවට විශ්වාස කෙරේ. a චිත්‍ර බොහොමයක, යේසුස් ඉතා ගාම්භීර පෙනුමක් ඇති කොහෙත්ම සිනා නොවන කෙනෙක් ලෙස දක්වා තිබේ. එනමුත් සුවිශේෂ වාර්තාවල යේසුස්ව එලෙස දක්වා ඇද්ද? නැත. ඒ වෙනුවට ඔහුව උණුසුම්, කාරුණික, හද පත්ලෙන්ම නැඟෙන හැඟීම් ඇති මනුෂ්‍යයෙක් හැටියට ඒවායෙහි දක්වා ඇත. එමනිසා, චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණයන් නිවැරදිය කියා පැවසීම අසීරුය.
2. අපට “ක්‍රිස්තුස් යේසුස්ට සමාන මානසික ආකල්පයක්” වර්ධනය කරගත හැක්කේ කෙසේද? මෙමගින් අපට උපකාර ලැබෙන්නේ කුමක් කිරීමටද?
2 එසේ නම්, යේසුස්ව සැබවින්ම දැනහඳුනා ගැනීමට නම්, යේසුස් මිහිපිට සිටියදී කෙබඳු පුද්ගලයෙක් වීද යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයකින් අපගේ මනස් සහ හදවත් පිරවිය යුතුය. එමනිසා, “ක්‍රිස්තුස්ගේ මනස” එනම්, ඔහුගේ හැඟීම්, අදහස්, සිතුවිලි සහ තර්කයන් සම්බන්ධයෙන් අපට මනා අවබෝධයක් ලබා දෙන සුවිශේෂ වාර්තා කිහිපයක් සෝදිසි කර බලමු. (1 කොරින්ති 2:16, NW) එසේ සාකච්ඡා කරද්දී, “ක්‍රිස්තුස් යේසුස්ට සමාන මානසික ආකල්පයක්” අපට වර්ධනය කරගත හැකි ආකාරය සලකා බලමු. (රෝම 15:5, NW) එතුළින්, අන්‍යයන් සමඟ අප කටයුතු කරද්දී ඔහු අප වෙනුවෙන් තබා ගිය ආදර්ශය අනුගමනය කිරීමෙහි අප වඩාත් සමර්ථ වනවාට සැකයක් නැත.—යොහන් 13:15.
එළඹීමට පහසු කෙනෙක්
3, 4. (අ) මාර්ක් 10:13-16හි සඳහන්ව ඇති වාර්තාවෙහි පසුබිම කුමක්ද? (ආ) තමා වෙතට එන්න උත්සාහ කළ දරු දැරියන්ව වැළැක්වීමට යේසුස්ගේ ගෝලයන් උත්සාහ කළ විට, ඔහු ප්‍රතික්‍රියා කළේ කෙසේද?
3 ජනයා යේසුස් වෙත ඇදී ගියහ. නොයෙක් අවස්ථාවලදී, විවිධ වයස් මට්ටම් සහ පසුබිම්වල අය අදිමදි කිරීමකින් තොරව ඔහු වෙතට ළඟා වූහ. උදාහරණයකට මාර්ක් 10:13-16හි වාර්තා වී ඇති සිද්ධිය සලකා බලන්න. මෙය සිදු වූයේ යේසුස්ගේ දේවසේවයේ අවසාන දවස් කිහිපයේදීය. එනම් ඉතා කෲර මරණයක් බලාපොරොත්තුවෙන් යෙරුසලම බලා අවසාන වතාවට ගිය ගමන අතරතුරේදීය.—මාර්ක් 10:32-34.
4 ඔහුගෙන් ආශීර්වාද ලැබීමේ අටියෙන් බිළින්දන් ඇතුළුව දරුවන් යේසුස් වෙතට ගෙනෙන දෙමාපියන්ගේ දර්ශනය සිතින් මවාගන්න උත්සාහ කරන්න. b මෙම තීරණාත්මක සති කිහිපය තුළදී දරුවන් යේසුස්ට කරදරයක් විය හැකියි කියා ගෝලයන් කල්පනා කළා විය හැක. එමනිසා, එම දරුවන්ව වළක්වන්න ගෝලයෝ තැත් කරති. එනමුත් ඔවුන් යේසුස් ගැන දරන ඒ අදහස වැරදිය. ගෝලයන් කිරීමට තැත් කරන දේ දැනගන්නා යේසුස් ඊට තම අප්‍රසාදය පළ කරයි. ඒ දරුවන්ව තමා ළඟට හඬ ගසමින් යේසුස් මෙසේ පවසයි. “ළදරුවන් මා ළඟට එන්ට හරින්න; ඔවුන් වලක්වන්ට එපා.” (මාර්ක් 10:14) ඊළඟට තමා සතු ඉතා මුදු මොළොක් ප්‍රේමනීය ස්වභාවය විදහාපෙන්වමින් ඔහු යමක් කරයි. ‘ඔහු ඔවුන් වඩාගෙන ඔවුන් පිට අත් තබා, ඔවුන්ට ආශීර්වාද කළ’ බව වාර්තාවෙහි පැවසේ. (මාර්ක් 10:16) යේසුස් ඒ දරුවන්ව ආදරයෙන් වඩාගන්නා ආකාරය දකිද්දී, ඔවුන්ට කිසිදු අපහසුවක් නොදැනෙන බව පැහැදිලිය.
5. මාර්ක් 10:13-16හි සඳහන් වාර්තාව යේසුස්ගේ පෞද්ගලිකත්වය ගැන අපට කියාපාන්නේ කුමක්ද?
5 යේසුස් කෙබඳු පුද්ගලයෙක් වීද යන්න මෙම කෙටි වාර්තාවෙන් අපට පැහැදිලි වේ. ඔහු එළඹිය හැකි පුද්ගලයෙක් බව ඔබ දුටුවාද? යේසුස්ට ස්වර්ගයෙහි ඉතා උසස් ස්ථානයක් තිබුණද, අසම්පූර්ණ මනුෂ්‍යයන් සමඟ කටයුතු කරද්දී, ඔවුන්ව බියගැන්වීමට හෝ පහත් කිරීමට කිසිවිටකත් උත්සාහ කළේ නැත. (යොහන් 17:5) එසේ නම්, ඔහු සමඟ සිටි දරුවන්ටත් කිසිදු අපහසුවක් නොදැනීම පුදුමයක් නොවේ. රළු, ප්‍රීතියෙන් තොර, පරුෂ ගති ඇති, කිසිදාක සිනහ නොවන පුද්ගලයෙකු වෙත ආකර්ෂණය වන්නේ කවුද? ඇත්තවශයෙන්ම, විවිධ වයස් මට්ටම්වලට අයත් මනුෂ්‍යයන් යේසුස් වෙත එළඹුණේ ඔහුගේ මුදු මොළොක් ගතිය සහ සැලකිල්ල ඔවුන්ට හොඳින් තේරුණු නිසාය. තමන්ව ප්‍රතික්ෂේප නොකරයි කියා ඔවුන් තුළ නිසැකකමක්ද තිබිණ.
6. වැඩිමහල්ලන්ට වඩාත් එළඹිය හැකි අය විය හැක්කේ කෙසේද?
6 ‘මට ක්‍රිස්තුස්ගේ මනස තිබෙනවාද? මම එළඹිය හැකි පුද්ගලයෙක්ද?’ මෙම වාර්තාව ගැන මෙනෙහි කරද්දී, අපගෙන්ම මෙවැනි ප්‍රශ්න ඇසීම සුදුසුය. මෙම අන්තරා සහිත කාලවලදී දෙවිගේ බැටළුවන්ට “සුළඟෙන් මුවාවෙන ඉඩමක්” හා සමාන එළඹිය හැකි එඬේරුන් අවශ්‍යයි. (යෙසායා 32:1, 2; 2 තිමෝති 3:1) වැඩිමහල්ලෙනි, ඔබේ සහෝදරයන් කෙරෙහි අවංක, හද පත්ලෙන්ම නැඟෙන උනන්දුවක් ඔබ වර්ධනය කරගෙන තිබෙනවාද? ඔවුන් වෙනුවෙන් ඔබේ කාලය, ශ්‍රමය සහ අවධානය දීමට ඔබ කැමතිද? මෙය ඔබ සම්බන්ධයෙන් සැබෑවක් නම්, ඒ සහෝදරයන්ට ඔබේ අව්‍යාජ සැලකිල්ල දැනෙනවා නිසැකය. ඔබේ මුහුණේ ඉරියව්වෙන්, කටහඬෙන්, ඔබේ කාරුණික එළඹීමෙන් එය දැකගැනීමට ඔවුන්ට හැකි වේ. මෙවැනි අව්‍යාජ උණුසුමක් සහ සැලකිල්ලක් තිබෙද්දී, විශ්වාසයෙන් යුත් වාතාවරණයක් ඇති විය හැක. ප්‍රතිඵලයක් වශයෙන්, දරුවන් ඇතුළුව අනික් හැමෝටම ඔබ වෙත එළඹීම ගැටලුවක් වන්නේ නැත. තමාට තිබුණු සියලුම ගැටලු එක්තරා වැඩිමහල්ලෙකුට කියන්න තමා පෙලඹුණේ ඇයි කියා ක්‍රිස්තියානි ස්ත්‍රියක් පැහැදිලි කළාය. “එයා මට කතා කළේ හරිම මෘදු විදිහටයි. එයා සෑහෙන අනුකම්පාවක් දැක්වුවා. එහෙම කතා කළේ නැත්නම් මම එයාට වචනයක්වත් කියයි කියලා මම හිතන්නේ නැහැ. එහෙම කතා කරද්දී මට බයක් දැනුණේ නැහැ.”
අන්‍යයන් ගැන සිතූ කෙනෙක්
7. (අ) යේසුස් අන්‍යයන් ගැන සිතූ කෙනෙක් බව පෙන්නුම් කළේ කෙසේද? (ආ) යේසුස් අන්ධයාගේ පෙනීම ටිකෙන් ටික ලබා දෙන්න ඇත්තේ මන්ද?
7 යේසුස් අන්‍යයන් ගැන සිතූ කෙනෙකි. ඔවුන්ගේ හැඟීම්වලට ඔහු සංවේදී විය. යම් පීඩාවකින් පෙළුණු කෙනෙකු දුටු පමණින්ම, අනුකම්පාවෙන් පිරුණු ඔහු ඒ පීඩාව ඉවත් කිරීමට පියවර ගත්තේය. (මතෙව් 14:14) යේසුස් අන්‍යයන්ගේ සීමාවන් හා අවශ්‍යතා ගැන සැලකිලිමත් වූ කෙනෙකි. (යොහන් 16:12) එක් අවස්ථාවකදී, කිහිපදෙනෙක් යේසුස් ළඟට අන්ධයෙකු ගෙනැවිත්, ඔහුව සුව කරන්න කියා කන්නලව් කළහ. යේසුස් එම මනුෂ්‍යයාට ආපසු පෙනුම ලබා දුන්නේ ටිකෙන් ටිකය. මුලින්ම ඒ මනුෂ්‍යයාට ටිකයි පෙනුණේ. “ගස් වාගේ (ඔවුන්) ඇවිදිනවා මට පෙනේ” යයි ඔහු කීවේය. ඊළඟට යේසුස් ඔහුගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම ලබා දුන්නේය. යේසුස් ඒ මනුෂ්‍යයාට ටිකෙන් ටික පෙනීම ලබා දුන්නේ මන්ද? පෙනීම ලැබීමට කලින් ඔහුගේ ලෝකය අන්ධකාරයෙන් වැසී තිබිණ. එසේ නම් සූර්යාලෝකයෙන් නැහැවුණු වර්ණවත් ලොවක් එකවිටම දැකීම සෑහෙන කම්පිත කරවන අද්දැකීමක් විය හැක. එමනිසා, මේ වෙනසට ක්‍රමානුකූලව හැඩගැසීම වඩාත් පහසු වනවාට සැකයක් නැත.—මාර්ක් 8:22-26.
8, 9. (අ) යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ දෙකපොලිස ප්‍රදේශයට ඇතුල් වූවායින් පසු සිදු වූයේ කුමක්ද? (ආ) යේසුස් බිහිරෙකුව සුව කළ ආකාරය විස්තර කරන්න.
8 පොදු යුගයේ 32 පාස්කු මංගල්‍යයෙන් පසු සිදු වූ දෙයක්ද සලකා බලමු. යේසුස් ඔහුගේ ගෝලයන් සමඟ ගලීල මුහුදේ නැඟෙනහිර දෙසින් පිහිටි දෙකපොලිස ප්‍රදේශයට ඇතුල් වී තිබිණ. ඔවුන් වෙතට එක්රොක් වූ විශාල සමූහය, යේසුස් වෙතට රෝගාතුර වූ, අංග විකල වූ කිහිපදෙනෙකුවම ගෙනාහ. යේසුස් ඒ සියල්ලන්වම සුව කළේය. (මතෙව් 15:29, 30) මේ අවස්ථාවේදී, යේසුස් එක් මනුෂ්‍යයෙකුට විශේෂ අවධානයක් දුන්නේය. මේ සිද්ධිය වාර්තා කළ එකම තැනැත්තා සුවිශේෂ ලේඛක මාර්ක්ය. සිදු වූ දෙය ඔහු විස්තර කරයි.—මාර්ක් 7:31-35.
9 මෙම මනුෂ්‍යයා බිහිරෙකි. ඔහුට කතා කළ නොහැකි තරම්ය. ඔහුට තිබුණු බිය හෝ ලජ්ජාව යේසුස්ට දැනෙන්න ඇති. එමනිසා යේසුස් අමුතු දෙයක් කළේය. ඔහු ඒ මනුෂ්‍යයා සමඟ සමූහයාගෙන් බැහැර වූ හුදෙකලා ස්ථානයකට ගියේය. ඊළඟට තමා කරන්න යන දේ යේසුස් ඒ මනුෂ්‍යයාට සංඥාවලින් පැහැදිලි කළේය. යේසුස් “ඔහුගේ කන්වල තමන්ගේ ඇඟිලි බහා, කෙළගසා, ඔහුගේ දිව ස්පර්ශ” කළේය. (මාර්ක් 7:33) ඊළඟට, ස්වර්ගය දෙසට ඇස් ඔසවා, යාච්ඤාපූර්වකව සුසුමක් හෙළුවේය. මෙවැනි අංගචලනයන් උපයෝගි කරගත් නිසා, යේසුස් කිරීමට යන්නේ කුමක්ද කියා ඔහුට වැටහෙන්න ඇති. ඒක හරියට, ‘මම ඔබට කරන්න යන දේ දේවබලයෙනුයි කරන්නේ’ කියා පවසන්නාක් මෙනි. අවසාන පියවර වශයෙන් යේසුස් “ඇරේවයි” කියා පැවසීය. (මාර්ක් 7:34) එකෙණෙහිම, ඒ මනුෂ්‍යයාට ඇසීමේ හැකියාව ලැබී, පැහැදිලි ලෙස කතා කිරීමට පටන්ගත්තේය.
10, 11. සභාවෙහි සහ පවුලේ අයගේ හැඟීම් අප සැලකිල්ලට ගන්න බව අපට පෙන්නුම් කළ හැක්කේ කෙසේද?
10 යේසුස් අන්‍යයන් සඳහා කොතරම් සැලකිල්ලක් දැක්වූවාද යන්න මෙයින් මනාව පැහැදිලි වේ. ඔහු අන්‍යයන්ගේ හැඟීම් සුළු කොට තැකුවේ නැත. අන්‍යයන් කෙරෙහි මෙවැනි අනුකම්පාවකින් කටයුතු කළ නිසා, ඔවුන්ට වේදනාවක් ගෙන දෙන කිසිම දෙයක් ඔහු කළේ නැත. ක්‍රිස්තියානීන් වශයෙන් අප මේ සම්බන්ධයෙන් ක්‍රිස්තුස්ගේ මනස වර්ධනය කරගෙන විදහාපෙන්වීම වැදගත්ය. “නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටින්න” කියා බයිබලය අපට අනුශාසනා කරන්නේ එමනිසාය. (1 පේතෘස් 3:8) ඔව්, අප කතා කරද්දී, ක්‍රියා කරද්දී, අන්‍යයන්ගේ හැඟීම් සැලකිල්ලට ගෙන එසේ කළ යුතු බව ඉතා පැහැදිලිය.
11 සභාව තුළ අන්‍යයන්ගේ හැඟීම්වලට සැලකිල්ලක් දැක්විය හැක්කේ කෙසේද? එය කළ හැක්කේ, අන්‍යයන්ට ගෞරවය පෙන්වීමෙන් සහ අපට සලකනවාට අප කැමති ආකාරයටම ඔවුන්ට සැලකීමෙනි. (මතෙව් 7:12) එමනිසා, අප කියන දේ ගැන පමණක් නොව, එය කියන ආකාරය ගැනත් සැලකිලිමත් විය යුතුය. (කොලොස්සි 4:6) ‘නොසැලකිලිමත්ව කතාකරන්නාගේ වචන කඩුවක් මෙන් ඇනෙන’ බව මතක තබාගත යුතුය. (හිතෝපදේශ 12:18, NW) මෙය පවුල් කවයටද බලපායි. එකිනෙකාට සැබවින්ම ප්‍රේම කරන පුරුෂයෙකු සහ භාර්යාවක් එකිනෙකාගේ හැඟීම් ගැන මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය. (එපීස 5:33) ඔවුන් කර්කශව කතා කරන්නේ නැත. එකිනෙකාව දැඩි ලෙස විවේචනයට ලක් කරන්නේවත්, හද පාරන ඇනුම් පද එල්ල කරන්නේවත් නැත. මෙවැනි දේවලින් ඉක්මනින් අමතක කර දැමීමට අපහසු වේදනාවක් හටගන්නා නිසා, ඔවුහු ඒවායින් වැළකී සිටිති. දරුවන්ටත් හැඟීම් ඇති බව ප්‍රේමනීය දෙමාපියන් අමතක නොකළ යුතුය. දරුවන්ට හික්මවීමක් අවශ්‍ය වන විට, තම දරුවන්ගේ ආත්ම-ගරුත්වයට හානියක් නොකරමින්, එසේ කළ යුතුය. එසේ කළොත් ඔවුන් අනවශ්‍ය ලෙස ලජ්ජාවට පත් වන්නේ නැත. c (කොලොස්සි 3:21) අන්‍යයන් කෙරෙහි අප මෙලෙස සැලකිල්ලක් දක්වන විට, අපට ක්‍රිස්තුස්ගේ මනස ඇති බව පැහැදිලි වේ.
අන්‍යයන් කෙරෙහි විශ්වාසය තැබීමට කැමැත්ත
12. යේසුස්ට තම ගෝලයන් ගැන තිබුණේ කවර සමබර මෙන්ම යථාර්ථවාදී දෘෂ්ටියද?
12 යේසුස් තම ගෝලයන් දෙස බැලුවේ ඉතා සමබර යථාර්ථවාදී ආකාරයකිනි. ඔවුන් පරිපූර්ණ අය නොවන බව ඔහු හොඳින් තේරුම්ගෙන සිටියේය. මනුෂ්‍යයන්ගේ හදවත්වල තිබූ දේ දැනගැනීමටද ඔහුට පුළුවන් විය. (යොහන් 2:24, 25) කෙසේවෙතත්, යේසුස් ඔවුන් දෙස බැලූ විට ඔහු ඔවුන්ව තක්සේරු කළේ ඔවුන්ගේ අසම්පූර්ණකම් අනුව නොව, නමුත් ඔවුන් තුළ දක්නට ලැබූ යහපත් ගුණාංග අනුවය. යෙහෝවා තමා වෙතට ඇදගත් මේ මනුෂ්‍යයන් තුළ යහපත කිරීම සඳහා තිබූ නැඹුරුවාව ඔහු දුටුවේය. (යොහන් 6:44) යේසුස් තම ගෝලයන් සමඟ කටයුතු කළ ආකාරයෙන්ද, ඔවුන්ට සැලකූ ආකාරයෙන්ද තම ගෝලයන් කෙරෙහි තිබූ ඒකාන්ත දෘෂ්ටිය පැහැදිලි විය. යේසුස් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමට කැමැත්තක් දැක්වීය.
13. යේසුස් තම ගෝලයන්ව විශ්වාස කළ බව පෙන්නුම් කළේ කෙසේද?
13 යේසුස් එම විශ්වාසය පෙන්නුම් කළේ කෙසේද? ආපසු ස්වර්ගයට යන්න කලින්, යේසුස් තම ආලේප ලත් අනුගාමිකයන්ට ඉතා බැරෑරුම් වගකීමක් පැවරීය. තම රාජ්‍යය හා බැඳි ලෝක ව්‍යාප්ත කටයුතු බලාකියා ගැනීමේ වගකීම ඔහු ඔවුන්ට භාර දුන්නේය. (මතෙව් 25:14, 15; ලූක් 12:42-44) තම දේවසේවා කාලයේදීත්, සුළු, වක්‍ර ආකාරවලින් පවා ඔවුන් කෙරෙහි විශ්වාසයක් තිබුණු බව ඔහු පෙන්වීය. සමූහයන්ට ආහාර දීම සඳහා ආශ්චර්යයක් මගින් බහුල ආහාර සැපයුමක් ලබා දුන් අවස්ථාවේදී, ආහාර බෙදා දීමේ වගකීම ඔහු තම ගෝලයන්ට පවරා දුන්නේය.—මතෙව් 14:15-21; 15:32-37.
14. මාර්ක් 4:35-41හි සඳහන් වාර්තාවේ සාරංශයක් ඉදිරිපත් කරන්න.
14 මාර්ක් 4:35-41හි සඳහන් වාර්තාවද සලකා බලමු. එම වාර්තාවට අනුව, යේසුස් තම ගෝලයන් සමඟ ඔරුවකට නැඟ, ගලීල මුහුද හරහා නැඟෙනහිර දෙසට යාත්‍රා කළහ. යාත්‍රා කරන්න පටන්ගෙන වැඩි වේලාවක් යන්න මත්තෙන්, යේසුස් ඔරුවේ අවරේ නිදාගත්තේය. කෙසේවෙතත්, ‘සැඩ සුළඟක් හැමීමට’ පටන්ගත්තේය. සාමාන්‍යයෙන් ගලීල මුහුදේ මෙවැනි කුණාටු විටින් විට ඇති විය. ගලීල මුහුද ඉතා පහත් උන්නතාංශයක (මුහුදු මට්ටමින් මීටර් 200කට පහතින්) පිහිටා ඇති නිසා, අවට ප්‍රදේශයට වඩා මුහුද මතුපිට වාතාශ්‍රය ඉතා උණුසුම්ය. එමනිසා නිතරම පාහේ වායුගෝලයේ යම් කැලඹීමක් ඇති වේ. ඊට අමතරව, උතුරු දෙසින් පිහිටි හෙර්මොන් කන්දේ සිට යොර්දාන් මිටියාවත දිගේ ප්‍රබල සුළං හැමීමට පටන්ගනී. එමගින්, නිස්කලංක වූ මොහොතක් ඉතා දැඩි කුණාටුවක් දක්වා පරිවර්තනය විය හැක. දැන් ටිකක් සිතා බලන්න. යේසුස් ගලීලයේ ඇති දැඩි වූ කෙනෙක් නිසා, නිතරම පාහේ ඇති වන කුණාටු ගැන ඔහුට අවබෝධයක් තිබෙන්න ඇති. කෙසේවෙතත්, ධීවරයන් වූ තම ගෝලයන් සමහරෙකුගේ නාවික කුසලතා ගැන සැකයක් ඇති කර නොගත් ඔහු, සන්සුන්ව නිදාගත්තේය.—මතෙව් 4:18, 19.
15. යේසුස් තම ගෝලයන්ව විශ්වාස කිරීමට දැක්වූ කැමැත්ත අපට අනුකරණය කළ හැක්කේ කෙසේද?
15 තම ගෝලයන් කෙරෙහි විශ්වාසය තැබීමට යේසුස් දැක්වූ කැමැත්ත අපට අනුකරණය කළ හැකිද? අන්‍යයන්ට වගකීම් පැවරීම සමහරුන්ට අසීරු දෙයකි. හැමවිටම කටයුතු තමන් අතින්ම මෙහෙයවිය යුතු බවක් ඔවුන්ට හැඟේ. ඔවුන්ගේ තර්කය වන්නේ, ‘හරියට දෙයක් කරන්න නම්, මටම කරන්න වෙයි’ කියායි. එනමුත්, සෑම දෙයක්ම අපටම කිරීමට සිදු වේ නම්, අප වෙහෙසට පත් විය හැක. එසේ නැත්නම්, අපගේ පවුල සමඟ ගත කළ හැකි වටිනා කාලය පරිත්‍යාග කිරීමට සිදු විය හැක. අනික් අතට, අප යෝග්‍ය වැඩකටයුතු සහ වගකීම් අන්‍යයන්ට පවරන්නේ නැත්නම්, ඔවුන්ට ලැබිය යුතු අද්දැකීම් සහ පුහුණුව අප ඔවුන්ගෙන් සොරාගන්නවා විය හැක. එමනිසා, අන්‍යයන්ට වැඩ කටයුතු පැවරීමේ අදහසින් ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමට ඉගෙනගැනීම නුවණට හුරුය. අපගෙන්ම මෙලෙස ඇසීම යෝග්‍යය. ‘මේ කාරණය සම්බන්ධයෙන් මට ක්‍රිස්තුස්ගේ මනස තිබෙනවාද? මම වෙනත් අයට කැමැත්තෙන්ම යම් කාර්යයන් පවරනවාද? ඔවුන් තමන්ගේ උපරිමය කරයි කියා මම ඔවුන් කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබනවාද?’
ඔහු තම ගෝලයන්ව විශ්වාස කළා
16, 17. යේසුස් මිහිපිට ගත කළ අන්තිම රාත්රියේදී, තම ගෝලයන් තමාව අත්හරින බව දැන සිටියත්, ඔවුන්ගේ බිය සැක දුරු කළේ කෙලෙසද?
16 යේසුස් තම ගෝලයන් දෙස ඒකාන්ත ආකාරයකින් බැලූ බව තවත් ආකාරයකින් විදහාපෙන්වීය. ඔවුන් ගැන තමාට පූර්ණ විශ්වාසයක් ඇති බව ඔහු ඔවුන්ට දැනගන්න සැලැස්වීය. තම භූමික ජීවිතයේ අවසන් රාත්රියේදී තම ප්‍රේරිතයන්ගේ බිය සැක දුරු කරමින් ඔවුන්ට පැවසූ වදන්වලින් මෙය මනාව පැහැදිලි වේ. සිදු වූ දේ සලකා බලමු.
17 ඒ සන්ධ්‍යාව යේසුස්ට සෑහෙන කාර්ය බහුල එකක් විය. තම ප්‍රේරිතයන්ගේ පාද සේදීමෙන් ඔහු නිහතමානීකම සම්බන්ධ ආදර්ශ පාඩමක් ඔවුන්ට දී තිබිණ. අනතුරුව, තම මරණය සිහි කිරීම සඳහා රාත්‍රි භෝජනයක් පැවැත්වීම පිහිටුවීය. ඊළඟට සිදු වූයේ කුමක්ද? ප්‍රේරිතයෝ තමුන් අතුරින් උතුම්ම තැනැත්තා කවුදැයි යන්න ගැන නැවතත් ඉතා දැඩි ලෙස වාද කිරීමට පටන්ගත්තෝය. මහත් ඉවසිල්ලකින් කටයුතු කළ යේසුස්, ඔවුන්ව හෙළා දුටුවේ නැත. එනමුත් කාරුණිකව ඔවුන්ට කරුණු පහදා දුන්නේය. ඉන්පසුව, ඉදිරියෙහිදී සිදු වන දේ ඔවුන්ට මෙසේ පැහැදිලි කළේය. “නුඹලා සියල්ලෝම අද රාත්‍රියේ මා ගැන බාධාවන්නහුය. මක්නිසාද මම එඬේරාට පහරදෙන්නෙමි, එකල රැළේ බැටළුවෝ විසිරවනු ලබන්නෝයයි ලියා තිබේ.” (මතෙව් 26:31; සෙකරියා 13:7) ඉතා තීරණාත්මක මොහොතක තමාගේ කිට්ටුම මිත්‍රයන් ඔහුව අත්හරී කියා ඔහු දැන සිටියේය. ඒ වුණත්, ඔහු ඔවුන්ව හෙළා දකින්නේ නැත. ඒ වෙනුවට ඔහු ඔවුන්ට මෙසේ පවසයි. “නුමුත් මා නැගුටුවනු ලැබූ පසු නුඹලාට පළමුවෙන් ගලීලයට යන්නෙමි.” (මතෙව් 26:32) ඔව්, ඔවුන් තමන්ව අත්හැර ගියද, තමන් කවදාවත් ඔවුන්ව අත්හරින්නේ නැති බව ඔහු ඔවුන්ට නිසැක ලෙස පොරොන්දු විය. ඉදිරියේ තිබෙන ඉතා දරුණු පරීක්ෂාවෙන් පසු, ඔහු නැවතත් ඔවුන් සමඟ සිටිනු ඇත.
18. ගලීලයෙහිදී යේසුස් තම ගෝලයන්ට භාර දුන්නේ කුමන වගකිව යුතු පැවරුමද? ප්‍රේරිතයන් මේ පැවරුම ඉටු කළේ කෙසේද?
18 යේසුස් තම පොරොන්දුවට එකඟව ක්‍රියා කළේය. ටික කලකට පසු, නැවත-නැඟිටුවනු ලැබූ යේසුස්, ගලීලයේදී වෙනත් බොහෝදෙනෙකු සමඟ එක්රැස්ව සිටි තම විශ්වාසවන්ත ප්‍රේරිතයන් 11දෙනා ඉදිරියෙහි දර්ශනය වූයේය. (මතෙව් 28:16, 17; 1 කොරින්ති 15:6) ඒ අවස්ථාවේදී, යේසුස් ඔවුන්ට ඉතා වගකිව යුතු පැවරුමක් දුන්නේය. ‘එබැවින් නුඹලා ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයට ඔවුන් බව්තීස්ම කරන්න. මා විසින් නුඹලාට අණ කළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න.’ (මතෙව් 28:19, 20) ප්‍රේරිතයන් මෙම පැවරුම විශ්වාසවන්තව ඉටු කළ බවට ක්‍රියා පොතෙන් පැහැදිලි සාක්ෂි ලැබේ. මුල් සියවසේ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට ඔවුහු විශ්වාසවන්තව තම අතහිත දුන්නෝය.—ක්‍රියා 2:41, 42; 4:33; 5:27-32.
19. යේසුස් තම නැවත-නැඟිටීමෙන් පසු ක්‍රියා කළ ආකාරයෙන්, ක්‍රිස්තුස්ගේ මනස ගැන අපට උගත හැක්කේ කුමක්ද?
19 මෙම රසවත් වාර්තාවෙන් අපට ක්‍රිස්තුස්ගේ මනස ගැන උගත හැක්කේ කුමක්ද? යේසුස්ට තම ප්‍රේරිතයන්ගේ දුර්වලකම් සියල්ල ගැන මනා අවබෝධයක් තිබිණ. ඒ කෙසේවෙතත්, ඔහු ‘අන්තිමය දක්වා ඔවුන්ට ප්‍රේම කළේය.’ (යොහන් 13:1) ඒ දුර්වලකම් මධ්‍යයෙහි වුවත්, ඔවුන් කෙරෙහි තමාට විශ්වාසයක් තිබූ බව ඔහු ප්‍රකාශ කළේය. ඔවුන් කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය පදනම් රහිත එකක් නොවූ බවත් සැලකිල්ලට ගන්න. ඔහු ආඥා කළ වැඩය ඉටු කිරීමට හෘදයෙන්ම අදිටන් කරගැනීමට, යේසුස් ඔවුන් කෙරෙහි දැක්වූ විශ්වාසය ඔවුන්ට පිටුවහලක් වූ බවට සැකයක් නැත.
20, 21. අපගේ සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ඒකාන්ත දෘෂ්ටියක් පෙන්නුම් කළ හැක්කේ කෙසේද?
20 මේ සම්බන්ධයෙන් අප ක්‍රිස්තුස්ගේ මනස විදහාපෙන්වන්න යන්නේ කෙසේද? සෙසු ඇදහිලිවන්තයන් දෙස වපර ඇසින් බලන්න එපා. ඔබ වපර ඇසින් බලනවා නම්, ඔබ කියන කරන දෙයින් එය ඔවුන්ට බොහෝදුරට පැහැදිලි වෙයි. (ලූක් 6:45) බයිබලය අපට කියන්නේ ප්‍රේමය ‘සියල්ල විශ්වාස කරන’ බවයි. (1 කොරින්ති 13:7) ප්‍රේමය නිෂේධාත්මක ගුණාංගයක් නොව ඒකාන්ත ගුණාංගයකි. එය වර්ධනයට මිස, අධෛර්යයට හේතු වන ගුණාංගයක් නොවේ. මිනිසුන්ව භයගන්වනවාට වඩා, ඔවුන්ට ප්‍රේමය දැක්වීමෙන් සහ දිරිගැන්වීමෙන් වඩාත් හොඳ ප්‍රතිචාරයක් අපේක්ෂා කළ හැක. අන්‍යයන් කෙරෙහි අපගේ විශ්වාසය ප්‍රකාශ කිරීමෙන් අප ඔවුන්ගේ වර්ධනයට හේතු වන අතරම, එමගින් ඔවුන්ට දිරිගැන්වීමක්ද ලැබේ. (1 තෙසලෝනික 5:11) ක්‍රිස්තුස් මෙන්, අපත් අපගේ සහෝදරයන් දෙස ඒකාන්ත ආකාරයකින් බැලිය යුතුය. එසේ කිරීම ඔවුන්ගේ වර්ධනයට හේතු වන අතර, ඔවුන්ගේ උපරිමය කිරීමට ඔවුන් පෙලඹෙනවාට සැකයක් නැත.
21 එසේ නම්, ක්‍රිස්තුස්ගේ මනස වර්ධනය කරගෙන එය විදහාපෙන්වීම, යේසුස් කළ ඇතැම් දේවල් රූකඩ මෙන් අනුකරණය කිරීමකට වඩා ගැඹුරට දිව යයි. යේසුස් මෙන් ක්‍රියා කිරීමට ඕනෑ නම්, යේසුස් දේවල් දෙස බැලූ ආකාරයටම අපත් දේවල් දෙස බැලීමට ඉගෙනගත යුතු බව අපි කලින් ලිපියෙන් දැනගත්තෙමු. සුවිශේෂ වාර්තා ඔහුගේ පෞද්ගලිකත්වයේ තවත් පැත්තක් දැකීමටද අපට උපකාර කරයි. එනම්, තමාට පැවරූ වැඩය ගැන දැරූ ආකල්පය සහ හැඟුණු ආකාරයය. මේ කාරණය ඊළඟ ලිපියෙහි සාකච්ඡා කෙරේ.
[පාදසටහන්වල]
a එම ලියවිල්ලෙහි මෙම ව්‍යාජ අදහස පැතිරූ තැනැත්තා යේසුස්ගේ පෙනුම විස්තර කළේය. යේසුස්ගේ කෙස්වල, රැවුලේ සහ ඇස්වල පැහැය එහි සඳහන් කර ඇත. මෙම ව්‍යාජ අදහස් අඩංගු ලියවිල්ල රචනා කළේ “යේසුස්ගේ පෞද්ගලික පෙනුම ගැන චිත්‍ර ශිල්පීන්ගේ අත්පොත්වල තිබුණු විස්තරයන් වලංගු කිරීමේ අදහසින්” බව බයිබල් පරිවර්තක එඩ්ගර් ජේ. ගුඩ්ස්පීඩ් පැහැදිලි කරයි.
b යේසුස් වෙතට පැමිණි දරුවන් විවිධ වයස් මට්ටම්වල සිටි බව පෙනේ. “ළදරුවන්” ලෙස පරිවර්තනය කර ඇති වචනයම යායිරස්ගේ 12 හැවිරිදි දියණිය විස්තර කරද්දී දරුවා වශයෙන් පරිවර්තනය කර ඇත. (මාර්ක් 5:39, 42; 10:13) ලූක්ගේ වාර්තාවේ, මුල් වචනය සඳහා දරුවා සහ ළදරුවන් යන වචන දෙකම භාවිත කර ඇත.—ලූක් 1:41; 2:12; 18:15.
c 1998 අප්‍රියෙල් 1 මුරටැඹ කලාපයේ “ඔබ ඔවුන්ගේ ගරුත්වයට ගරු කරනවාද?” යන ලිපිය බලන්න.
ඔබට පැහැදිලි කළ හැකිද?
• යේසුස් වෙතට දරුවන් පැමිණෙන්න තැත් කළ අවස්ථාවේදී, ඔවුන්ව වැළැක්වීමට ගෝලයන් ගත් උත්සාහයට යේසුස් ප්‍රතික්‍රියා කළේ කෙසේද?
• යේසුස් අන්‍යයන්ගේ තත්වය සැලකිල්ලට ගෙන කටයුතු කළ ආකාරය විස්තර කරන්න.
• තම ගෝලයන් කෙරෙහි විශ්වාසය තැබීමට යේසුස් පෙන්වූ කැමැත්ත අනුකරණය කිරීමට අපට හැක්කේ කෙසේද?
• යේසුස් තම ප්‍රේරිතයන් කෙරෙහි දැක්වූ විශ්වාසය අපට අනුකරණය කළ හැක්කේ කෙසේද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[16වන පිටුවේ පින්තූරය]
යේසුස් සමඟ සිටිද්දී දරුවන්ට අපහසුවක් දැනුණේ නැත
[17වන පිටුවේ පින්තූරය]
යේසුස් අන්‍යයන්ට සැලකුවේ දයානුකම්පිතවයි
[18වන පිටුවේ පින්තූරය]
එළඹිය හැකි වැඩිමහල්ලන් සිටීම ආශීර්වාදයකි