Skip to content

පටුනට යන්න

“ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගැනීම

“ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගැනීම

“ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගැනීම

“යෙහෝවාට උගන්වන පිණිස ඔහුගේ මනස තේරුම්ගත්තේ කවුද? එනමුත් අපට ක්‍රිස්තුස්ගේ මනස ඇත.”—1 කොරින්ති 2:16NW.

1, 2. යෙහෝවා තම වචනය තුළින් යේසුස් සම්බන්ධයෙන් එළිදරව් කළේ කුමක්ද?

 යේසුස්ට කෙබඳු පෙනුමක්ද තිබුණේ? ඔහුගේ කෙස්වල පැහැය, සමේ හා ඇස්වල පැහැය අප දන්නවාද? ඒ විතරක්ද ඔහුගේ උස, බර? ඈත අතීතයේ සිට චිත්‍ර ශිල්පීන් යේසුස්ව චිත්‍රයට නඟන්න උත්සාහයක් දරා ඇත. සමහරෙකුගේ උත්සාහයන් පැසසිය යුතු ඒවාය. තවත් සමහරෙකුගේ කෘතීන් ඇත්තෙන්ම අස්වාභාවිකය. ඇතැම් චිත්‍රවල ඔහු හොඳ පෞරුෂත්වයකින් යුත් ප්‍රබල පුද්ගලයෙකු සේ දක්වා ඇත. එනමුත් තවත් චිත්‍රවල යේසුස් ඈලි මෑලි දුබල කෙනෙකු සේ දක්වා තිබේ.

2 බයිබල් වාර්තාව යේසුස්ගේ ශාරීරික පෙනුමට අවධානය යොමු කරන්නේ නැත. ඒ වෙනුවට, යෙහෝවා ඊටත් වඩා වැදගත් දෙයක්, එනම් යේසුස් කෙබඳු පුද්ගලයෙක් වූවාද යන කරුණ අපගේ අවධානයට යොමු කරවයි. සුවිශේෂ වාර්තා කියවද්දී, ඒවා යේසුස් කළ කී දේවල් ගැන වාර්තා කිරීමට පමණක්ම සීමා වී නැති බව පැහැදිලිව පෙනේ. යේසුස් තුළින් දිස් වූ හද පත්ලෙන්ම නැඟෙන හැඟීම්ද, ඔහු කළ කී දේවලට මුල් වූ චින්තන රටාවද ඒවායින් හෙළි වේ. එසේ නම්, සුවිශේෂ වාර්තා සතර සලකා බැලීම ප්‍රේරිත පාවුල් සඳහන් කළ “ක්‍රිස්තුස්ගේ මනස” හොඳින් තේරුම්ගැනීමට මහෝපකාරි වේ. (1 කොරින්ති 2:16) යේසුස්ගේ සිතුවිලි, හැඟීම් සහ පෞද්ගලිකත්වය තේරුම්ගැනීම වැදගත්ද? ඔව්. ඒ මන්ද? අඩුම තරමින් හේතු දෙකක් නිසාය.

3. ක්‍රිස්තුස්ගේ මනස තේරුම්ගැනීමෙන් අපට කුමක් සම්බන්ධයෙන් අවබෝධයක් ලබාගත හැකිද?

3 ක්‍රිස්තුස්ගේ මනස තේරුම්ගැනීම, යෙහෝවා දෙවිගේ මනස යන්තමින් හෝ තේරුම්ගැනීමට උපකාරවත් වීම මුල්ම හේතුවයි. යේසුස් තම පියාව කොතරම් හොඳින් තේරුම්ගත්තාද කිවහොත් ‘පියා මිස අන් කිසිවෙක් පුත්‍රයා කවුද කියා නොදනියි. පුත්‍රයාත් පුත්‍රයා විසින් යමෙකුට පියා එළිදරව් කරන්ට කැමතිද ඔහුත් හැර අන් කිසිවෙක් පියා කවුද කියා දන්නේ නැත’ කියා පැවසීමට ඔහුට හැකි විය. (ලූක් 10:22) එය හරියට ‘යෙහෝවා කවුද කියලා දැනගන්න ඕනෑ නම්, මං දිහා බලන්න’ කියා යේසුස් පැවසුවාක් මෙන්ය. (යොහන් 14:9) එමනිසා, සුවිශේෂ වාර්තා අධ්‍යයනය කිරීමෙන් යේසුස්ගේ හැඟීම් සහ සිතුවිලි අවබෝධ වෙත්ම, යෙහෝවාගේ සිතුවිලි හා හැඟීම් මොනවාද යන්න ගැන අපට අවබෝධයක් ලැබෙනවා කියා පැවසිය හැක. මෙවැනි දැනුමකින් අපගේ දෙවිට වඩාත් සමීප වන්න අපට හැකියාව ලැබේ.—යාකොබ් 4:8.

4. ක්‍රිස්තුස් මෙන් සැබවින්ම ක්‍රියා කිරීමට නම්, මුලින්ම අප ඉගෙනගත යුත්තේ කුමක්ද? ඒ මන්ද?

4 ක්‍රිස්තුස්ගේ මනස තේරුම්ගැනීමෙන් ‘ඔහුගේ අඩි පාර කිට්ටුවෙන් අනුගමනය කිරීමට’ අපට උපකාර ලැබීම දෙවන හේතුවයි. (1 පේතෘස් 2:21NW) යේසුස්ව අනුගමනය කිරීම යනු ඔහු පැවසූ වදන් ගිරවෙකු මෙන් දෙඩීම හෝ ඔහුගේ ක්‍රියා රඟ දැක්වීම නොවේ. කෙනෙකුගේ මුඛයෙන් පිට වන දේවලට සහ ඔහුගේ ක්‍රියාකලාපයට මුල් වන්නේ ඔහුගේ හැඟීම් හා සිතුවිලි වන බැවින්, ක්‍රිස්තුස්ව අනුගමනය කිරීමට නම් අප ඔහුට තිබුණු “මානසික ආකල්පය” වර්ධනය කරගත යුතුය. (පිලිප්පි 2:5NW) වෙනත් වචනවලින් කිවහොත්, ක්‍රිස්තුස් මෙන් ක්‍රියා කිරීමට නම්, අප ඔහු මෙන් කල්පනා කිරීමටත්, ඔහුට සමාන හැඟීම් වර්ධනය කරගැනීමටත් ඉගෙනගත යුතුයි. අප අසම්පූර්ණ මිනිසුන් වුවත්, මේ සම්බන්ධයෙන් අප උපරිම උත්සාහයක් දැරිය යුතුය. එසේ නම්, සුවිශේෂ වාර්තාකරුවන්ගේ උපකාරය ඇතුව, ක්‍රිස්තුස්ගේ මනස පරීක්ෂා කිරීමට කාලය ගනිමු. යේසුස් සිතූ හා ඔහුට හැඟුණු ආකාරයට බලපෑ සාධක කිහිපයක් මුලින්ම සාකච්ඡා කරමු.

මනුෂ්‍යයෙක් වීමට පෙර

5, 6. (අ) අන්‍යයන්ගේ ආශ්‍රය අපට කෙලෙස බලපෑ හැකිද? (ආ) මිහිපිට දිවි ගෙවීමට කලින්, දෙවිගේ කුලුඳුල් පුත්‍රයා ස්වර්ගයෙහි ආශ්‍රය කළේ කා සමඟද? මෙම ආශ්‍රය ඔහුට බලපෑවේ කෙසේද?

5 අප කෙනෙකු සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කරනවා නම්, අපගේ හොඳට හෝ නරකට ඔහුගේ ඇසුර අපට බලපායි. මෙය විශේෂයෙන්ම අපගේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් කෙරෙහි බලපෑ හැක. a (හිතෝපදේශ 13:20) එමනිසා, මිහිපිටට පය තැබීමට මත්තෙන්, යේසුස් ස්වර්ගයේදී ආශ්‍රය කළේ කවරෙකු සමඟද යන්න සලකා බලමු. මනුෂ්‍යයෙකු වීමට පෙර යේසුස් ගත කළ ජීවිතය යොහන්ගේ සුවිශේෂයෙහි සඳහන් වේ. එහිදී යේසුස්ව ‘වාක්‍යය’ නැතහොත් දෙවිගේ නියෝජිතයා ලෙස හඳුන්වා ඇත. යොහන් මෙසේ පවසයි. ‘පටන්ගැන්මෙහිදී වාක්‍යය සිටියේය. වාක්‍යය දෙවි හා සමඟ සිටියේය. වාක්‍යය දෙවිකෙනෙක්ව සිටියේය. ඔහු පටන්ගැන්මෙහිදී දෙවි සමඟ සිටියේය.’ (යොහන් 1:1, 2) යෙහෝවාට පටන්ගැන්මක් නැත. එමනිසා, වාක්‍යය දෙවි සමඟ “පටන්ගැන්මෙහිදී” සිටි බව කීමෙන් අදහස් වන්නේ ඔහු දෙවිගේ මුල්ම මැවිල්ල වූ බවය. (ගීතාවලිය 90:2) යේසුස්ව “මුළු මැවිල්ලේ කුළුඳුලා” හැටියටද හඳුන්වා ඇත. එමනිසා, අදෘශ්‍යමාන වූ අන් සෑම මැවිල්ලකටම පෙරාතුව සහ භෞතික විශ්වයේ මැවීමට පෙරාතුව ඔහු සිටියේය.—කොලොස්සි 1:15; එළිදරව් 3:14.

6 ඇතැම් විද්‍යාත්මක ගණන් බැලීම්වලට අනුව, භෞතික විශ්වය අඩුම තරමින් වසර බිලියන 12කටවත් පැවතී ඇත. මෙම ගණන් බැලීම් යම් හෙයකින් හෝ නිවැරදි නම්, ආදම්ගේ මැවීමෙන් අනාදිමත් කාලයකට පෙර සිට දෙවිගේ කුලුඳුල් පුත්‍රයා තම පියා සමඟ කිට්ටු ආශ්‍රයක් භුක්ති විඳ ඇති බව කිව හැක. (මීකා 5:2 සසඳන්න.) එමනිසා ඔවුන් දෙදෙනා අතර ඉතා හිතවත් මෙන්ම කිට්ටු බැඳීමක් ඇති විය. මනුෂ්‍යයෙක් වීමට පෙර මෙම කුලුඳුල් පුත්‍රයාව ප්‍රඥාවට සමාන කරමින්, ඔහු මෙසේ පැවසූ බව වාර්තා වී ඇත. “මම . . . සෑමකල්හිම [යෙහෝවා] ඉදිරියෙහි නිතරම සන්තෝෂවෙමින්, දවසින් දවස [ඔහුගේ] ප්‍රීතිය වීමි.” (හිතෝපදේශ 8:30) ප්‍රේමයේ උල්පත වන යෙහෝවා සමඟ මෙපමණ යුග ගණනාවක් පුරා කිට්ටු ආශ්‍රයක් පැවැත්වීම, දෙවිගේ පුත්‍රයාට ගැඹුරු ලෙසින් බලපෑ බවට කිසිදු සැකයක් නැත. (1 යොහන් 4:8) මෙම පුත්‍රයා තම පියාගේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාමාර්ගයන් දැනගෙන තම පෞද්ගලිකත්වය තුළින් ඒවා පිළිබිඹු කිරීමට පටන්ගත්තේය.—මතෙව් 11:27.

ඔහුගේ භූමික ජීවිතය සහ ඊට බලපෑ සාධක

7. දෙවිගේ කුලුඳුල් පුත්‍රයා මිහිපිට දිවි ගෙවීමට පැමිණීමට අවශ්‍ය වූ එක් හේතුවක් නම් කරන්න.

7 යෙහෝවාගේ අරමුණ වූයේ ‘අපගේ දුර්වලකම්වලදී අපගේ දුක් දැනෙන’ දයානුකම්පිත උත්තම පූජකයෙකු බිහි කරවීමයි. (හෙබ්‍රෙව් 4:15) එමනිසා දෙවිගේ පුත්‍රයාට ඉගෙනගන්න තව බොහෝ දේ තිබිණ. දෙවිගේ පුත්‍රයා මනුෂ්‍යයෙකු වශයෙන් පොළොවට පැමිණි එක් හේතුවක් වන්නේ, උත්තම පූජකයෙකුගේ කාර්යභාරය ඉසිලීම සඳහා අවශ්‍ය සුදුසුකම් ලබාගැනීමටයි. මනුෂ්‍යයෙක් වශයෙන් මිහිපිට වාසය කරද්දී, යේසුස් කලින් ස්වර්ගයේ සිට නිරීක්ෂණය කළ තත්වයන් සහ බලපෑම්වලට කෙළින්ම මුහුණ දුන්නේය. මෙලෙස, මනුෂ්‍යයන්ගේ හැඟීම් සහ චිත්තවේගයන් පෞද්ගලිකව අද්දැකීමට ඔහුට ප්‍රස්තාව උදා විය. ඇතැම් අවස්ථාවලදී, වෙහෙස, පිපාසය සහ කුසගින්න ඔහු අද්දිටීය. (මතෙව් 4:2; යොහන් 4:6, 7) පීඩා දුෂ්කරතා පවා ඔහු දරාගත්තේය. ප්‍රතිඵලයක් වශයෙන් “කීකරුකම ඉගෙනගත්” ඔහු, උත්තම පූජකයාගේ කාර්යභාරය දැරීමට මනා සුදුසුකම් ලැබීය.—හෙබ්‍රෙව් 5:8-10.

8. මිහිපිට යේසුස්ගේ ජීවිතයේ මුල් අවදිය ගැන අප දන්නේ කුමක්ද?

8 යේසුස් මිහිපිට ගත කළ දිවියේ මුල් අවදියෙන් ලත් අද්දැකීම් ගැන කුමක් පැවසිය හැකිද? යේසුස්ගේ ළමාවිය ගැන සඳහන්ව ඇත්තේ තොරතුරු අතළොස්සක් පමණි. ඔහුගේ උපත හා සම්බන්ධ සිදුවීම් මතෙව් සහ ලූක්ගේ සුවිශේෂවල පමණක් විස්තර කර ඇත. මිහිපිට පය තැබීමට කලින් යේසුස් ස්වර්ගයෙහි සිටි බව සුවිශේෂ ලේඛකයෝ දැන සිටියහ. යේසුස් ස්වර්ගයෙහි කලින් ගත කළ මෙම ජීවිතය ඔහුගේ චරිත වර්ධනයට විශේෂයෙන්ම රුකුලක් වූ බව පැවසිය හැක. කෙසේවෙතත්, යේසුස් මිහිපිට සිටිද්දී ඔහු ඇට මස් නහර ඇති සම්පූර්ණ මනුෂ්‍යයෙක් විය. පරිපූර්ණ පුද්ගලයෙකු වුවද, ළදරු වියේ සිට ළමා විය දක්වාද, නව යොවුන් වියේ සිට වැඩිහිටිභාවය දක්වාද වැඩීමට ඔහුට සිදු විය. ඒ අතරවාරයේදී ඔහු බොහෝ දේ ඉගෙනගත්තේය. (ලූක් 2:51, 52) යේසුස්ගේ දිවියේ මුල් අවදියේදී ඔහුට නිසැකවම බලපෑ ඇතැම් දේවල් බයිබලයෙහි හෙළි කර ඇත.

9. (අ) යේසුස් දුප්පත් පවුලක ඉපදුණු බවට තිබෙන සාක්ෂි කවරේද? (ආ) යේසුස් ඇතැම්විට වැඩෙන්න ඇත්තේ මොන වගේ තත්වයන්ට මුහුණ දෙමින්ද?

9 යේසුස් ඉපදුණේ දුප්පත් පවුලකය. යේසුස්ගේ උපතින් දින 40කට පසු යෝසෙප් සහ මරියා දේවමාළිගාවෙහිදී ඉදිරිපත් කළ පූජාවෙන් මෙය පැහැදිලි වේ. දවන පූජාවක් ලෙස බැටළුවස්සෙකු සහ පාප පූජාවක් ලෙස පරවියෙකු හෝ කොබෙයියෙකු ගෙනෙනවා වෙනුවට ඔවුහු “කොබෙයියන් දෙදෙනෙකු හෝ පරෙවි පැටවුන් දෙදෙනෙකු” ගෙනාවෝය. (ලූක් 2:24) මෝසෙස්ගේ ව්‍යවස්ථාවට අනුව මෙවැනි ක්‍රියාමාර්ගයක් ගත හැකි වූයේ දුප්පතුන්ටය. (ලෙවී කථාව 12:6-8) කල් යත්ම, මෙම පවුල ගණනින් වැඩි විය. යේසුස්ගේ ආශ්චර්යවත් උපතින් පසු, මරියා යෝසෙප්ට දාව අඩුම තරමින් තවත් දරුදැරියන් හයදෙනෙකුවත් බිහි කළාය. (මතෙව් 13:55, 56) එමනිසා, යේසුස් හැදී වැඩුණේ එතරම් සැප පහසුකම් නොතිබුණු විශාල පවුලකය.

10. මරියා සහ යෝසෙප් දේවභයැති පුද්ගලයන් වූ බව පැහැදිලි වන්නේ කුමකින්ද?

10 යේසුස්ව ඇති දැඩි කළේ ඔහු කෙරෙහි ඉමහත් සැලකිල්ලක් දැක්වූ දේවභයින් කටයුතු කළ දෙමාපියන් විසිනි. ඔහුගේ මව මරියා ඉතා ආදර්ශවත් ස්ත්‍රියක් විය. ගාබ්‍රියෙල් දේවදූතයා ඇයට ආමන්ත්‍රණය කළ අවස්ථාවේදී පැවසූ දේ සිහියට ගන්න. ‘බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධ වේවා! යෙහෝවා නුඹ සමඟ සිටින්නේය’ කියා ඔහු පැවසීය. (ලූක් 1:28) යෝසෙප්ද සෑහෙන භක්තියකින් කටයුතු කළ කෙනෙකි. වසරක් වසරක් පාසා, පාස්කුව සඳහා කිලෝමීටර් 150ක් දුර ගෙවමින් යෙරුසලම බලා ගමන් කිරීමට ඔහු කිසිදාක අදිමදි කළේ නැත. පාස්කුවට සහභාගි වීම අනිවාර්ය කර තිබුණේ පුරුෂයන්ට පමණි. කෙසේවෙතත්, මරියාද ඊට සහභාගි වූවාය. (නික්මයාම 23:17; ලූක් 2:41) එවැනි එක් අවස්ථාවකදී, තම 12 හැවිරිදි පුතා වන යේසුස්ව සෙවීමට යෝසෙප් සහ මරියා සෑහෙන මහන්සියක් දැරූහ. අන්තිමේදී, ඔහුව සම්බ වෙද්දී, ඔහු සිටියේ දේවමාළිගයෙහි ගුරුවරුන් සමඟ සාකච්ඡා කරමිනි. කනස්සල්ලට පත් තම දෙමාපියන්ට යේසුස් පැවසුවේ, ‘මාගේ පියාගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්ද’ කියාය. (ලූක් 2:49) තරුණ යේසුස් “පියා” යන වචනය භාවිත කළ විට, ඔහුගේ හදවත මොනතරම් ආදරයකින් සහ සතුටකින් පිරෙන්න ඇද්ද! යෙහෝවා තම සැබෑ පියා යන කාරණය ඔහුට පවසා තිබුණු බව මෙයින් පැහැදිලි වේ. ඇරත්, යෝසෙප් සුරැකි පියෙකු වශයෙන්ද ඉතා හොඳ වැඩ කොටසක් ඉටු කරන්න ඇති. ඇත්තවශයෙන්ම, යෙහෝවා තම ප්‍රිය පුත්‍ර යේසුස්ව ඇති දැඩි කිරීමට කර්කශ, කෲර මනුෂ්‍යයෙකු තෝරාගනී කියා සිතීම අසීරුය.

11. යේසුස් ඉගෙනගත්තේ කුමන කර්මාන්තයද? බයිබල් කාලවලදී මෙවැනි කර්මාන්තයක යෙදී සිටීමට ඇතුළත් වූ දේවල් මොනවාද?

11 යේසුස් නාසරෙත්හි දිවි ගෙවූ කාලයේදී, තම සුරැකි පියාගෙන් වඩු කර්මාන්තයද ඉගෙනගන්න ඇති. යේසුස්ව “වඩුවා” ලෙසද හඳුන්වනු ලැබූ නිසා ඔහු දක්ෂ වඩු කාර්මිකයෙකු වූ බව පැවසිය හැක. (මාර්ක් 6:3) බයිබල් කාලවලදී, නිවාස තැනීමට, ගෘහ භාණ්ඩ (මේස, පුටු සහ බංකු) නිර්මාණය කිරීමට සහ ගොවි උපකරණ සෑදීමට වඩු කාර්මිකයන්ව යොදාගන්නා ලදි. පොදු යුගයේ දෙවන සියවසේ විසූ ජස්ටින් මාටර් ට්‍රයිෆෝ සමඟ දෙබස යන තම කෘතියේ යේසුස් ගැන මෙම අදහස් දැක්වීය. “මිහිපිට දිවි ගෙවද්දී, යේසුස් වඩු කාර්මිකයෙකු සේ වැඩ කිරීමට පුරුදු විය. ඔහු නඟුල් සහ වියගස් සෑදීය.” එවැනි කාර්යයන් ලෙහෙසි පහසු ඒවා කියා පැවසිය නොහැක. ඉපැරණි වඩු කාර්මිකයෙකුට දැව මිල දී ගත නොහැකි විය. බොහෝදුරට, වනයට ගොස්, ගසක් තෝරා, පොරවකින් එය කපා බිම හෙළා, අවශ්‍ය දැව ප්‍රමාණය තම නිවසට ගෙන ඒමට ඔහුට සිදු විය. එමනිසා, ජීවිතය ගැටගසා ගැනීම, ගනුදෙනුකරුවන් සමඟ ගනුදෙනු කිරීම සහ මූල්‍යමය අවශ්‍යතා සපුරාලීම මොනතරම් අභියෝගයක්ද කියා යේසුස් දැනගත් බව පැහැදිලිය.

12. යෝසෙප් යේසුස්ට කලින් මියගිය බවට තිබෙන සාක්ෂි මොනවාද? එමනිසා යේසුස්ට එය බලපාන්න ඇත්තේ කෙසේද?

12 යේසුස්ගේ මරණයට කලින් යෝසෙප් මියගිය බවට සාක්ෂි ඇත. එමනිසා, වැඩිමල් පුත්‍රයා වශයෙන් පවුල බලාකියා ගැනීමේ වගකීම යේසුස් තම කර පිටට ගත් බව නිගමනය කළ හැක. b වර්ෂ 1900 ජනවාරි 1 සයන්ස් වොච් ටවර් සඟරාවෙහි මෙම අදහස පළ විය. “යෝසෙප් මියගියේ යේසුස් තරුණ වියේ පසු වෙද්දී බවත්, යේසුස් පවුල බලාගැනීමේ වගකීම තම කරට ගැනීමේ අදහසින් වඩු කාර්මිකයෙකු වශයෙන් වැඩ කළ බවත්, සම්ප්‍රදායානුකූලව විශ්වාස කෙරේ. මෙයට සාක්ෂියක් වශයෙන්, යේසුස්ව වඩුවා ලෙස හඳුන්වා ඇත. ඔහුගේ මව සහ සහෝදරයන් ගැන සඳහන් වී ඇති අවස්ථාවලදී, යෝසෙප් ගැන කිසිදු සඳහනක් කර නොමැත. (මාර්ක් 6:3) . . . එසේ නම්, [ලූක් 2:41-49හි සඳහන්] සිදුවීමේ පටන් තම බව්තීස්මය දක්වා වූ වසර 18ක කාලපරිච්ඡේදය පුරා යේසුස් තම දිවි ගෙව්වේ දෛනික ජීවිතයේ වැඩ කටයුතු ඉටු කරමිනි.” මරියා සහ යේසුස් ඇතුළුව අනික් දරුවන්ද, ප්‍රේමවන්ත ස්වාමිපුරුෂයෙකු සහ පියෙකු මියයද්දී ඇති වන ශෝකයත් අද්දුටු බව පැහැදිලිය.

13. යේසුස් තම දේවසේවය ආරම්භ කළ අවස්ථාවේදී, වෙනත් කිසිදු මනුෂ්‍යයෙකුට නොතිබුණු දැනුමකින්, තීක්ෂ්ණ බුද්ධියකින් සහ හද පත්ලෙන්ම එන හැඟීම්වලින් පිරී සිටි බව අප පවසන්නේ මන්ද?

13 යේසුස් සැප පහසු ජීවිතයක් ගත කළේ නැති බව පැහැදිලිය. ඊට වෙනස්ව, ඔහු සාමාන්‍ය ජනතාව ගත කළ ජීවිතය හොඳින් අද්දිටීය. අනතුරුව, පො.යු. 29දී, තමාට නියම වී තිබූ දිව්‍යමය පැවරුම ඉටු කිරීම සඳහා අවස්ථාව එළඹිණ. ඒ අවුරුද්දේ සරත් සමයේදී, ජලයෙන් බව්තීස්ම වූ යේසුස්, දෙවිගේ ආත්මික පුත්‍රයෙකු ලෙස ජනිත විය. ඒ අවස්ථාවේදී, ‘අහස විවර විය.’ මින් අඟවන්නේ කලින් ස්වර්ගයෙහි ගත කළ ජීවිතය සහ ඒ හා බැඳි සිතුවිලි සහ හැඟීම් නැවත සිහියට නංවන්න ඔහුට හැකි වූ බවය. (ලූක් 3:21, 22) ඒ හේතුවෙන්, යේසුස් සිය දේවසේවය ආරම්භ කළ විට, වෙනත් කිසිදු මනුෂ්‍යයෙකුට නොතිබුණු දැනුමකින්, තීක්ෂ්ණ බුද්ධියකින් සහ හද පත්ලෙන්ම නැඟුණු හැඟීම්වලින් ඔහු පිරී සිටියේය. එමනිසා, සුවිශේෂ ලේඛකයන් යේසුස්ගේ දේවසේවා කාලයට වැඩි අවධානයක් දී ඇත්තේ හොඳ හේතු ඇතුවයි කියා කිව හැකිය. කෙසේවෙතත්, යේසුස් කළ කී සියල්ලම වාර්තා කිරීමට ඔවුන්ට පවා නොහැකි විය. (යොහන් 21:25) එනමුත්, දේවානුභාවයෙන් ඔවුන් වාර්තා කළ දෙයින්, මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයාගේ මනස තේරුම්ගැනීමට අපට අවස්ථාව සැලසේ.

යේසුස් කෙබඳු පුද්ගලයෙක්ද?

14. යේසුස් මුදු මොළොක් සෙනෙහසින් හා හද පත්ලෙන්ම නැඟෙන හැඟීම්වලින් යුත් මනුෂ්‍යයෙකු බව සුවිශේෂවල පෙන්වා දෙන්නේ කෙසේද?

14 සුවිශේෂ වාර්තා කියවද්දී මුදු මොළොක් සෙනෙහසින් සහ හද පත්ලෙන්ම නැඟෙන හැඟීම්වලින් යුත් යේසුස්ගේ පෞද්ගලිකත්වය අපට මැවී පෙනේ. යේසුස්ගේ හැඟීම්වලට පුළුල් පරාසයක් තිබිණ. ඔහු කුෂ්ඨ රෝගියෙකු කෙරෙහි අනුකම්පාව දැක්වීය (මාර්ක් 1:40, 41). දැඩි සිත් ඇති මනුෂ්‍යයන් කෙරෙහි තම ශෝකය පළ කළේය (ලූක් 19:41, 42). ගිජු ලාභ ලැබීමට සෙවූ මිල මාරුකරන්නන්ට එරෙහිව ධර්මිෂ්ඨ කෝපය ප්‍රකාශ කළේය (යොහන් 2:13-17). යේසුස් සංවේදනය විදහා පෑ මනුෂ්‍යයෙකි. ඔහු කඳුළු සැලූ අතර, තම හැඟීම් යටපත් කළේ නැත. ඉතා හිතවත් මිතුරෙකු වූ ලාසරුස් මියගිය අවස්ථාවේදී, ලාසරුස්ගේ සොහොයුරිය වූ මරියා වැලපෙනවා දුටු යේසුස්, කැලඹී සියල්ලන් ඉදිරියෙහි ඇඬීය.—යොහන් 11:32-36.

15. යේසුස් අන්‍යයන්ව සැලකූ ආකාරයෙන් සහ ඔවුන් සමඟ කටයුතු කළ ආකාරයෙන් ඔහුගේ මුදු මොළොක් ස්වභාවය පැහැදිලි වූයේ කෙසේද?

15 යේසුස්ට තිබූ මුදු මොළොක් ගතිය විශේෂයෙන් පැහැදිලි වූයේ ඔහු අන්‍යයන්ට සැලකූ සහ ඔවුන් සමඟ කටයුතු කළ ආකාරයෙනි. දුප්පත් මෙන්ම පීඩිත අයට සමීප වෙමින් යේසුස් ‘ඔවුන්ගේ ආත්මවලට සහනය ලබාගැනීමට’ උපකාර කළේය. (මතෙව් 11:4, 5, 28-30) ලේ ගැලීමේ රෝගයකින් පෙළුණු ස්ත්‍රියක් කාටත් නොපෙනී ඔහුගේ වස්ත්‍රය ඇල්ලූ විටත්, අන්ධ සිඟන්නෙකු මොරගසමින් ඔහු ඉදිරියට පැමිණි විටත් ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔහු පසුබට වූයේ නැත. පීඩිත වූ එවැනි අය වෙනුවෙන් යේසුස් කෙසේ හෝ කාලය වෙන් කළේය. (මතෙව් 9:20-22; මාර්ක් 10:46-52) යේසුස් අන්‍යයන් තුළ තිබුණ යහපත දැකීමට යත්න දරමින් ඔවුන්ව පැසසුමට ලක් කළේය. කෙසේවෙතත්, අවශ්‍ය අවස්ථාවලදී තරවටුවක් ඉදිරිපත් කිරීමටද ඔහු පසුබට නොවීය. (මතෙව් 16:23; යොහන් 1:47; 8:44) ඒ කාලයේදී ස්ත්‍රීන්ට අයිතිවාසිකම් නොතිබුණු තරම්ය. එනමුත් යේසුස් ඉතා සමබර ආකාරයකින් ඔවුන්ට ගෞරවාන්විතව සැලකීය. (යොහන් 4:9, 27) එසේ නම්, ස්ත්‍රීන් කණ්ඩායමක් තම වස්තුවෙන් යේසුස්ට උපස්ථාන කළේ මන්දැයි අපට තේරුම්ගත හැක.—ලූක් 8:3.

16. යේසුස්ට ජීවිතය සහ ද්‍රව්‍යමය දේවල් සම්බන්ධයෙන් සමබර ආකල්පයක් තිබුණු බව පැහැදිලි වන්නේ කුමකින්ද?

16 ජීවිතය ගැන යේසුස්ට තිබුණේ ඉතා සමබර ආකල්පයකි. ඔහු ද්‍රව්‍යමය දේවල් වටා තම ජීවිතය කේන්ද්‍රගත කළේ නැත. ඇත්තෙන්ම, ද්‍රව්‍යමය වශයෙන් ඔහු ඉතා සරල ජීවිතයක් ගත කළේය. තමාට “හිස තබන්ට තැනක් නැතැයි” ඔහු පැවසුවේ එනිසා විය හැක. (මතෙව් 8:20) කෙසේවෙතත්, යේසුස් අන්‍යයන්ගේ ප්‍රීතියට පවා දායක විය. වරක් ඔහු විවාහ මංගල්‍යයකට සහභාගි විය. සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක සංගීතය, ගී ගැයීම සහ ප්‍රීති ඝෝෂා දක්නට ලැබේ. ඔහු එම අවස්ථාවේ ප්‍රීතිය සොරාගැනීමට තැත් නොකළ බව පැහැදිලිය. ඇත්තෙන්ම යේසුස් තම මුල්ම ප්‍රාතිහාර්යය සිදු කළේ එම අවස්ථාවේදීය. මුද්‍රිකපානය හිඟ වූ විට, ඔහු වතුර “මනුෂ්‍යයාගේ සිත සතුටුකරන” බීමක් වන හොඳ මුද්‍රිකපානය බවට පරිවර්තනය කළේය. (ගීතාවලිය 104:15; යොහන් 2:1-11) යේසුස් මෙසේ මැදිහත් වූ නිසා, උත්සවය බාධාවකින් තොරව පැවැත්වීමට හැකි වූ අතර, මණමාලයා සහ මණාලියටත් එය ඉමහත් සහනයක් වූ බවට සැකයක් නැත. කෙසේවෙතත්, යේසුස් තම දේවසේවය වෙනුවෙන් බොහෝ කාලයක් ගත කරමින් වෙහෙසක් දැරූ බව සඳහන් අවස්ථා එමටය. එමනිසා විනෝදය සම්බන්ධයෙන් ඔහු සමබර ආකල්පයක් දැරූ බව පැහැදිලි වේ.—යොහන් 4:34.

17. යේසුස් අතිදක්ෂ ගුරුවරයෙකු වීම පුදුමයට හේතුවක් නොවිය යුත්තේ මන්ද? ඔහුගේ ඉගැන්වීම් තුළින් පිළිබිඹු වූයේ කුමක්ද?

17 යේසුස් අතිදක්ෂ ගුරුවරයෙක්ද විය. යේසුස්ට දෛනික ජීවිතයේ යථාර්ථයන් ගැන හසළ දැනුමක් තිබිණ. මෙම අවබෝධය ඔහුගේ ඉගැන්වීම් තුළින් මනා ලෙස පිළිබිඹු විය. (මතෙව් 13:33; ලූක් 15:8) ඔහුගේ ඉගැන්වීමේ කලාව අසමසම එකක් විය. ඔහු යොදාගත්තේ ඉතා පැහැදිලි, සරල සහ ප්‍රායෝගික එළඹීමකි. වඩා වැදගත් වූයේ ඔහුගේ ඉගැන්වීම්වල අන්තර්ගත දේවල්ය. ඔහුගේ අරමුණ වූයේ යෙහෝවාගේ සිතුවිලි, හැඟීම් සහ මාර්ගයන් සම්බන්ධයෙන් තම ශ්‍රාවකයන්ව දැනුවත් කිරීමයි. ඔහුගේ ඉගැන්වීම් තුළින් මෙම හෘදයාංගම ආශාව මනාව පැහැදිලි විය.—යොහන් 17:6-8.

18, 19. (අ) යේසුස් තම පියාව විස්තර කිරීමට යොදාගත්තේ කුමන විචිත්‍රවත් උපහැරණයන්ද? (ආ) ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ඇත්තේ කුමක්ද?

18 යේසුස් උපහැරණ භාවිත කිරීමටද මනාපයක් දැක්වීය. එතුළින් තම පියා සම්බන්ධයෙන් විචිත්‍රවත් පින්තූරු සදා නොමැකෙන අයුරින් මනසෙහි ඇඳ තැබීමට ඔහු සමත් විය. ඕනෑම කෙනෙකුට දෙවිගේ දයාව ගැන නිකම් කතා කළ හැකිය. එනමුත් යේසුස් යෙහෝවාව සමාව දෙන පියෙකුට සමාන කරමින් එය ප්‍රබල උපහැරණයකින් පැහැදිලි කළේය. ඒ දයාවන්ත පියා තමා වෙතට ආපසු හැරී එන පුතා දකින විට කොතරම් අනුකම්පාවකින් පෙලඹෙනවාද කිවහොත්, ඔහු ‘දුවගෙන ගොස්, පුතාගේ බෙල්ල වැලඳගෙන සිඹගන්නේය.’ කොතරම් කාවදිනසුලු විස්තරයක්ද! (ලූක් 15:11-24) යේසුස් සාමාන්‍ය ජනතාව හෙළා දුටු ආගමික නායකයන්ගේ දැඩි ප්‍රතිපත්ති එකහෙළා ප්‍රතික්ෂේප කළේය. තම පියා දයාන්විත දෙවි කෙනෙකු බවත්, පුරසාරම් දොඩන ඵරිසිවරයෙකුගේ ආඩම්බර යාච්ඤාවට වඩා නිහතමානී සුංගම් අයකරන්නෙකුගේ කන්නලව්වලට කැමැත්තක් දක්වන කෙනෙකු බවත් පැහැදිලි කළේය. (ලූක් 18:9-14) යෙහෝවා, කුඩා ගේ කුරුල්ලෙකු බිමට වැටෙන අවස්ථාවේදී ඒ ගැන පවා සැලකිලිමත් වන සානුකම්පිත දෙවිකෙනෙක් බවත් යේසුස් පැහැදිලි කළේය. තම ගෝලයන්ගේ බිය සැක දුරු කරමින් යේසුස් මෙසේ පැවසීය: “භය නොවෙන්න; නුඹලා බොහෝ ගේකුරුල්ලන්ට වඩා වටින්නහුය.” (මතෙව් 10:29, 31) එසේ නම්, යේසුස්ගේ “ඉගැන්වීම” ගැන ජනයා මවිත වූයේත්, ඔවුන් ඔහු වෙතට සමීප වූයේත් ඇයි කියා තේරුම්ගත හැකිය. (මතෙව් 7:28, 29) ඇත්තෙන්ම, එක් අවස්ථාවකදී “ඉතා මහත් සමූහයක්” ඔහු ළඟ දවස් තුනක් රැඳී සිටියේ ආහාර ගැන පවා නොතකමිනි.—මාර්ක් 8:1, 2.

19 යෙහෝවා තම වචනයෙන් ක්‍රිස්තුස්ගේ මනස අප උදෙසා හෙළි කිරීම ගැන අපට ස්තුතිවන්ත විය හැක. එනමුත් අන්‍යයන් සමඟ කටයුතු කරද්දී, අපට ක්‍රිස්තුස්ගේ මනස වර්ධනය කරගෙන විදහාපෙන්විය හැක්කේ කෙසේද? මෙම විෂය අපගේ මීළඟ ලිපියෙහි සාකච්ඡා කෙරේ.

[පාදසටහන්වල]

a අදෘශ්‍යමාන මැවිලිවලට ආශ්‍රය බලපාන බව පැහැදිලි වන්නේ එළිදරව් 12:3, 4හි සඳහන්ව ඇති දෙයිනි. ‘මහත් සර්පයෙක්’ ලෙස දක්වා ඇති සාතන්, තමා සමඟ කැරලිකාර ක්‍රියාමාර්ගයක යෙදීමට වෙනත් “තාරකා” නොහොත් අදෘශ්‍යමාන පුත්‍රයන්ට බලපෑම් කළ බව එහි සඳහන් වේ.—යෝබ් 38:6ආ, 7අ සසඳන්න.

b යෝසෙප් ගැන කෙළින්ම සඳහන් වන අවසාන වතාව, 12 හැවිරිදි යේසුස්ව දේවමාළිගාවෙහි සොයාගත් අවස්ථාවය. යේසුස්ගේ දේවසේවය ආරම්භ වූ අවස්ථාවේදී, කානාහි විවාහ මංගල්‍යයට යෝසෙප් පැමිණි බවට කිසිදු සඳහනක් නොමැත. (යොහන් 2:1-3) පොදු යුගයේ 33දී වධ කණුවෙහි එල්ලී සිටි යේසුස් තම මව වූ මරියාව බලාගැනීමේ වගකීම තමාට විශේෂයෙන්ම ප්‍රිය වූ ප්‍රේරිත යොහන්ට භාර දුන්නේය. යෝසෙප් ජීවතුන් අතර සිටියා නම්, යේසුස්ට මෙවන් දෙයක් කිරීමට අවශ්‍ය වේද?—යොහන් 19:26, 27.

ඔබට මතකද?

• “ක්‍රිස්තුස්ගේ මනස” තේරුම්ගැනීම වැදගත් වන්නේ මන්ද?

• ස්වර්ගයෙහි සිටිද්දී, යේසුස් ආශ්‍රය කළේ කා සමඟද?

• පොළොව මත සිටිද්දී, යේසුස්ට කෙළින්ම මුහුණ දීමට සිදු වූ තත්වයන් සහ ඇති වූ බලපෑම් මොනවාද?

• යේසුස්ගේ පෞද්ගලිකත්වය ගැන සුවිශේෂ වාර්තාවලින් හෙළි වන්නේ මොනවාද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[10වන පිටුවේ පින්තූරය]

යේසුස් එතරම් සැප පහසුකම් නොතිබුණු විශාල පවුලක හැදී වැඩුණේය

[12වන පිටුවේ පින්තූර]

දොළොස් හැවිරිදි යේසුස්ගේ දැනුම සහ ඔහු දුන් පිළිතුරු ගුරුවරුන්ගේ විමතියට හේතුවක් විය