Skip to content

පටුනට යන්න

මිනිසා—නිකම්ම උසස් සත්වයෙක්ද?

මිනිසා—නිකම්ම උසස් සත්වයෙක්ද?

මිනිසා—නිකම්ම උසස් සත්වයෙක්ද?

“ජීවිතයේ ආරම්භය ගැන අපි කොහොම හිතුවත් කමක් නැද්ද?”

මේ ප්‍රශ්නය අසමින් 16 හැවිරිදි බ්‍රසීල ජාතික යෞවනියක් “මිනිසා නිකම්ම උසස් සත්වයෙක්ද?” යන මාතෘකාව යටතේ ඇගේ කතාව ආරම්භ කළාය. ඇගේ ගුරුවරියට මෙම විෂය ගැන තොරතුරු අඩංගු 1998 ජූලි 8 පිබිදෙව්! කලාපය ලැබීමෙන් අනතුරුව, තම පංතියේ සෙස්සන්ට මෙම කතාව ඉදිරිපත් කිරීමේ ප්‍රස්තාව ඇයට උදා විය.

මෙම යෞවනිය ස්වාභාවික වරණය පදනම් කරගත් පරිණාමවාදය තුළින් ඇති වී තිබෙන ඇතැම් විනාශකාරි බලපෑම් පැහැදිලි කළාය. ප්‍රචලිත වූ මේ සිද්ධාන්තය හේතුවෙන් යුද්ධය මිනිසාගේ අඛණ්ඩ පැවැත්මේ අනිවාර්ය අංගයක් බවට පිළිගැනීමක් ඇති වූවායයි බොහෝදෙනෙක් විශ්වාස කරති. ෆැසිස්ට්වාදය හා නාට්සිවාදය මෙම මතයෙන් බිහි වුණු රකුසන්ය. මෙය පරිණාමවාදයේ අවදානම දක්වන කදිම නිදසුනකි.

මිනිසා සහ සත්වයා අතර ඇති මැනිය නොහැකි ඉමහත් පරතරය ගැන ඇය ඊළඟට කතා කළාය. “ආත්මිකත්වය කියන්නේ මිනිසාට පමණක් හිමි දෙයක්. ජීවිතයේ අර්ථය හා අරමුණ ගැන කල්පනා කරන්නෙත් මිනිසා විතරයි. මරණය මිනිසාගේ සිතට පමණක් වද දෙන දෙයක් වන අතර ඔහු කොහොමහරි එයට හේතුව සොයාගන්න උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි ඒ හැම දේකටම වඩා ඔහු ආශා කරන්නේ හැමදාම ජීවත් වෙන්නයි. මේ වගේ පසුතලයක් තිබෙද්දී ජීවිතය ඇති වුණේ කොහොමද කියලා සොයන්න අපි කාලය ටිකක් වැය කෙරුවොත් හොඳයි නේද!”

මේ කතාවෙන් පසුව ඇගේ ගුරුවරිය ඇයට නොමසුරුව ප්‍රශංසා කළාය. මේ සාක්ෂිකාර යෞවනිය පොත පත කියවන්න ඇල්මක් දක්වන නිසා මෙලෙස දක්ෂ ලෙස කතා කරන්න සමත් වූ බව ගුරුවරිය පැවසුවාය. විශේෂයෙන්ම පිබිදෙව්! හා මුරටැඹ වැනි බයිබලය මත පදනම් වූ ප්‍රකාශන කියවීමට රුචියක් දක්වන කෙනෙකු ලෙස මේ යෞවනිය පාසැලේ ප්‍රසිද්ධියක් උසුලයි.

පරිණාමවාදය හේතුවෙන් යෞවනයන් නොමඟ යෑම පිළිබඳව යෙහෝවාගේ සාක්ෂිකරුවෝ අවංක අවධානයක් යොමු කරති. මෙම යෞවනිය ඇසුරු කරන සභාව මගින්, තමන්ගේ ගුරුවරුන්ට 1998 ජූලි 8 පිබිදෙව්! කලාපයේ පිටපතක් ලබා දෙන මෙන් සාක්ෂිකාර යෞවන යෞවනියන්ට උනන්දු කළේ මේ නිසයි. නගරයේ පාසැල් කිහිපයකම මොවුහු සඟරා 230ක් පමණ බෙදා දුන්හ. එක් පාසැලක විද්‍යා පීඨයේ අධ්‍යක්ෂකවරයෙක් පිබිදෙව්! සඟරාව සඳහා දායකයක් ලබාගත්තේය.

ඔව්, ජීවිතයේ ආරම්භය පිළිබඳ අපේ විශ්වාසයන් අපේ ජීවිතයට ප්‍රබල බලපෑමක් ඇති කරයි! ඉහත සඳහන් යෞවනිය හා ඇගේ මිතුරු මිතුරියන් අප සැමටම විශේෂ යමක් ඔප්පු කර ඇත. එනම් මැවුම්කරුවෙකු ගැන විශ්වාස කිරීම ඔවුන්ගේ ජීවිතවල සැබෑ වෙනසක් නිසැකවම ඇති කර තිබෙන බවයි.