Skip to content

පටුනට යන්න

හිත ඇත්නම් පත කුඩාද!

හිත ඇත්නම් පත කුඩාද!

හිත ඇත්නම් පත කුඩාද!

ඔබගේ උස අඟල් 30ක්යයි සිතන්න. තත්වය මෙසේ තිබියදී නාඳුනන කෙනෙකුට දේවරාජ්‍යය පිළිබඳව කතා කිරීම ගැන ඔබට සිතන්නවත් පුළුවන්ද? මේ ගැන ඔබව දැනුවත් කිරීමට ලෝරාට හැකියි. මෙම 33 හැවිරිදි ස්ත්‍රියගේ උස අඟල් 30කි. අවුරුදු 24ක් වයසැති ඇගේ නංගිගේ නම මරියාය. ඇගේ උස අඟල් 34කි. මේ දෙදෙනා වාසය කරන්නේ ඉක්වදෝරයේ පිහිටි කීටෝ නම් නගරයේය. ඔවුන් දේවසේවයේ නිරත වීමට දරන ප්‍රයත්නය විස්තර කිරීමට අපි දැන් ඔවුන්ට ඉඩ දෙමු.

“ක්ෂේත්‍ර සේවය කරන තැනට යන්න අවශ්‍ය බස් එක ගන්න අපි කිලෝමීටර් භාගයක් පයින් යන්න ඕනෑ. ඒ බස් එකෙන් බැස්සාට පස්සේ තවත් බස් එකක් අල්ලන්න තියෙනවා. හැබැයි ඒකට තවත් කිලෝමීටර් භාගයක් විතර ඇවිදින්න වෙනවා. ඒ මදිවට, අවාසනාවකට වගේ මේ පාරේ සැර බල්ලන් පස්දෙනෙක් ඉන්නවා. අපිට නම් බල්ලන් නිකං ලොකු අශ්වයන් වගේ. ඒ නිසා අපි උන්ට භයේ ගැහෙනවා. උන්ගෙන් බේරෙන්න අපි පොල්ලක් අරං යනවා. බස් එකට නඟින්න කලින් අපි ඒක පාරේ කොතැනක හරි හංගලා සේවය ඉවර වෙලා ගෙදර එන කොට ආයිත් ඒක අතට ගන්නවා.

“බස් එකට නඟිනවයි කියන්නේ අපිට හරිම අමාරු දෙයක්. බස් නැවතුම්පොළ ගාව තියෙන පස් කණ්ඩියක් උඩ හිටගෙන තමයි අපි බස් එකට නඟින්නේ. සමහර බස් රියැදුරන් බස් එක පස් කණ්ඩිය ගාවම නතර කරනවා. ඒත් එහෙම නොකරන අයත් ඉන්නවා. ඒ වගේ වෙලාවලට අපි දෙන්නාගෙන් උස එක්කෙනා අනිත් එක්කෙනාට බස් එකට නඟින්න උදව් කරනවා. දෙවෙනි බස් එක නවත්තන තැනට යන්න වාහන තදබදයක් තියෙන මහ පාරකින් එහා පැත්තට පනින්න වෙනවා. අපේ කකුල් කොට නිසා පාර පනින එකත් ලේසි පහසු දෙයක් නෙවෙයි. වැඩිය පොත් තියෙන බෑග් එකක් ගෙනියන එකත් හරිම අමාරුයි. පුළුවන් තරම් බර අඩු කරගන්න අපි කුඩා ප්‍රමාණයේ බයිබලයක් අරං යනවා. ඒ විතරක් නෙවෙයි අපි ගෙනියන සඟරා පොත් පත් ගණනත් සීමා කරන්න සිද්ධ වෙනවා.

“පොඩි කාලේ ඉඳන්ම අපි අනිත් අය එක්ක ඉන්නවාට වඩා තනියම ඉන්න තමයි කැමති වුණේ. අපිව අඳුරන අය දන්නවා, අඳුරන්නේ නැති කෙනෙක් එක්ක කතා කරන්න අපි හුඟාක් ලැජ්ජයි කියලා. ඒ නිසා අපි ඒගොල්ලන්ගේ ගෙදරකට ගිහිල්ලා දොරට තට්ටු කෙරුවහම ඒ අය පුදුමයෙන් වගේ බලං ඉන්නවා. හුඟාක් අය, අපේ දකින මේ වෙනස අගය කරන නිසා අපිට ඇහුම්කන් දෙනවා. ඒත් අපිට ටිකක් නුහුරු පළාත්වල ඉන්න මිනිසුන් අපි කුරුමිට්ටන් කියලා දැක්කහම අපි කියන දේ වැඩිය ගණන් ගන්නේ නෑ. කොහොම වුණත් යෙහෝවාගේ ප්‍රේමය අපිට හොඳින් දැනිලා තියෙනවා. ඒක අපිට ලොකු ධෛර්යයක්. හිතෝපදේශ 3:5, 6 තියෙන වචන නිතරම මතක් කරගන්න එකෙන් අපි ශක්තිය ලබනවා.”

ලෝරා සහ මරියා ශාරීරික දුබලතා මධ්‍යයෙහි යෙහෝවාට සේවය කිරීමට පසුබට නොවූ අය පිළිබඳ කදිම ආදර්ශයන් වේ. තමාට බාධා පැමිණෙවූ ‘මාංසයේ උල’ ඉවත් කරන මෙන් පාවුල් දෙවිට කන්නලව් කළේය. පෙනෙන ප්‍රකාරයට මෙය ශාරීරික ආබාධයක් වන්ට ඇත. නමුත් “මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේයයි” දෙවි ඔහුට පැවසුවේය. ඔව්, දෙවිට සේවය කිරීම සඳහා ශාරීරික දුබලතා බාධාවක් නොවේ. ගැටලුසහගත තත්වයන් තිබියදී දෙවි මත පූර්ණ ලෙස රඳා සිටීමෙන් උපරිම ඵල නෙළාගත හැකියි. තමාට තිබූ ‘මාංසයේ උල’ පිළිබඳව පාවුල්ගේ ආකල්පය වූයේ එයයි. ඒ නිසා ඔහු “මම දුර්වලව සිටින කලම ශක්තිමත්ව සිටිමි” කියා පැවසීය. (2 කොරින්ති 12:7, 9, 10) ඊට වසර ගණනාවකට පසු “මා බලවත්කරන්නාවූ [තැනැත්තා] තුළ මට සියලුදේ කරන්ට පුළුවන” කියාද ඔහු පැවසුවේය.—පිලිප්පි 4:13.

තමාට ඇප කැප වූ ස්ත්‍රීන්, පුරුෂයන් හා දරුවන්ව යොදාගෙන අද පවා දෙවි ඉමහත් දේවල් ඉටු කරයි. ඔවුන් අතුරින් බොහෝදෙනෙක් මොනයම් ආකාරයක හෝ ආබාධයකින් පෙළෙති. අනාගතයේදී තමන්ට දේවරාජ්‍යය යටතේ සුවය ලැබෙන බවට නිසැකකමක් තිබුණත් ඔවුන් දෙවිට සේවය කිරීම සඳහා ඒ වන තෙක් බලා සිටින්නේ නැත. දැන් පවා හැකි පමණින් දෙවිට සේවය කිරීමට ඔවුහු මැළි නොවෙති.

ඔබට ශාරීරික දුබලතාවක් තිබේද? අධෛර්යයට පත් වන්න එපා! ඔබගේ ඇදහිල්ල මාර්ගයෙන් ඔබට පාවුල්, ලෝරා හා මරියා මෙන් විය හැක. අතීතයේ විසූ ඇදහිලිවන්තයන් ගැනත් මොවුන් ගැනත් කිව හැක්කේ, ‘දුර්වලව සිට [ඔවුන්ව] ශක්තිමත් කරනු ලැබූ’ බවයි.—හෙබ්‍රෙව් 11:34.

[8වන පිටුවේ පින්තූරය]

මරියා

ලෝරා

[9වන පිටුවේ පින්තූරය]

මරියා, ලෝරාට උපකාර කරයි

[9වන පිටුවේ පින්තූර]

“අපිට නම් බල්ලන් නිකං ලොකු අශ්වයන් වගේ. ඒ නිසා අපි උන්ට භයේ ගැහෙනවා”

පහළ පින්තූරය: ලෝරා හා මරියා සමඟ ඔවුන්ගේ බයිබල් ශිෂ්‍යයන්