ඔවුන්ට පිළිතුරු ලැබුණා!
ඔවුන්ට පිළිතුරු ලැබුණා!
කොර්නේලියස් මුළු හදින්ම දෙවිට නිතරම යාච්ඤා කළ මනුෂ්‍යයෙක්. ඔහු දෙවිගේ අනුග්‍රහය ලබාගැනීමට කැමැත්තක් දැක්වූ බව එයින් පැහැදිලියි. හේවා කණ්ඩායමේ මුලාදෑනියෙක් වශයෙන් තමා දැරූ තනතුරෙන් ඔහු උපරිම ප්‍රයෝජන ගත් බවටද සාක්ෂි තිබේ. ඔව්, බයිබලය පවසන පරිදි, ඔහු නැති බැරි ජනයාට “බොහෝ දන් දුන්නාවූ . . . කෙනෙක්.”—ක්‍රියා 10:1, 2.
ඒ කාලයේදී ක්‍රිස්තියානි සභාවේ සිටියේ ඇදහිලිවන්ත යුදෙව්වරුන්, යුදෙව් ආගමට හැරුණු අය හා සමාරිවරුන් පමණයි. අචර්මච්ඡේදිත අන්‍යජාතිකයෙක් වීම හේතුවෙන් කොර්නේලියස් ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයෙක්ව සිටියේ නැහැ. ඔහුගේ යාච්ඤා නිෂ්ඵල වූ බව මින් අදහස් වේද? නැහැ. කොර්නේලියස්ගේ යහපත් ක්‍රියා මෙන්ම ඔහු ඉදිරිපත් කළ යාච්ඤා දෙවි සැලකිල්ලට ගත් බවට සාක්ෂි තිබේ.—ක්‍රියා 10:4.
දේවදූත මඟ පෙන්වීම යටතේ කොර්නේලියස්ට ක්‍රිස්තියානි සභාව හඳුනාගැනීමට හැකියාව ලැබුණා. (ක්‍රියා 10:30-33) මෙහි අවසාන ප්‍රතිඵලය වූයේ, කොර්නේලියස් හා ඔහුගේ ගෙවැසියන්ට ක්‍රිස්තියානි සභාවේ සාමාජිකයන් වීමේ වරප්‍රසාදය හිමිවීමයි. ක්‍රිස්තියානි සභාවට ඇතුළත් වූ මුල්ම අන්‍යජාතිකයන් වූයේ ඔවුනුයි. කොර්නේලියස්ගේ මෙම පෞද්ගලික අද්දැකීම ඇත්තෙන්ම වටිනා එකක් වශයෙන් සැලකූ නිසා, යෙහෝවා දෙවි එය බයිබල් වාර්තාවට ඇතුළත් කරනු ලැබුවා. දෙවිගේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වීම සඳහා කොර්නේලියස්ට සෑහෙන වෙනස්කම් කිරීමට සිදු වන්න ඇති. (යෙසායා 2:2-4; යොහන් 17:16) සියලු ජාතීන්ට අයත් ජනයා අතුරින් අදදින දෙවිගේ අනුග්‍රහය පතන සියලුදෙනාටම කොර්නේලියස්ගේ අද්දැකීම මහත් දිරිගැන්වීමක්. අපි දැන් එවැනි අද්දැකීම් කිහිපයක් සලකා බලමු.
නවීන දින උදාහරණ
ඉන්දියාවේ තරුණ කාන්තාවකට ඉතා අසරණ තත්වයකට මුහුණ දීමට සිදු වුණා. වයස අවුරුදු 21දී විවාහ වූ ඇයට දරුවන් දෙදෙනෙක් සිටියා. ඇගේ බාලම දරුවා උපත ලබා ටික කලකට පසුව, බලාපොරොත්තු නොවූ මොහොතක ඇගේ පුරුෂයා මිය ගියා. මෙය ඇය තුළ ලොකු කම්පනයක් ඇති කළා. ඒ වන විට ඇයට වයස අවුරුදු 24යි. ඇය සිටියේ කිසිම හව් හරණයක් නොමැතිවයි. ඇය මාස දෙකක් වයසැති ඇගේ දුව හා අවුරුද්දයි මාස 10ක් වයසැති ඇගේ පුතා සමඟ තනි වුණා. ඇයට පිහිට වෙන්නේ කවුද? එක් දවසක් රෑ ඇය, “අනේ දෙවියනි, ඔබේ වචනය තුළින් මාව සනසන්න” කියා දෙවිට කඳුළු සලමින් යාච්ඤා කළා.
පසුවදා උදේ ගෙදරට අමුත්තෙක් පැමිණියා. ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක්. එදා ඔහු ගෙයින් ගෙට දේශනා සේවයේ යද්දී කිසිම කෙනෙක් ඔහුට සවන් දුන්නේ නැහැ. වෙහෙසට පත් වූ ඔහු සෑහෙන අධෛර්යයට පත් වී සිටියා. ඔහු සේවය නතර කර ගෙදර යෑමට කල්පනා කළත් තවත් නිවසක් බැහැදැකීමට ඔහු තුළ පෙලඹීමක් ඇති වුණා. වැන්දඹු කාන්තාව ඔහුට මුණගැසුණේ එවිටයි. ඇය නිවසට පැමිණෙන්න කියා ඔහුට ආරාධනා කළ අතර, බයිබලයේ පණිවිඩය පැහැදිලි කළ ප්රකාශනයක් ලබාගත්තා. එම ප්‍රකාශන කියවීමෙන් හා සාක්ෂිකරු සමඟ සාකච්ඡා කිරීමෙන් ඇය ලොකු සැනසිල්ලක් ලැබුවා. මිය ගිය අයව දෙවි නැවත නැඟිටුවීමට යන බවත්,
ඔහුගේ රාජ්‍යය මුළු පොළොවම පාරාදීසයක් බවට පත් කිරීමට යන බවත් ඇය ඉගෙනගත්තා. ඒ විතරක් නොවේ, ඇගේ යාච්ඤාවට පිළිතුරු සැපයූ සැබෑ දෙවි වන යෙහෝවාව දැනහඳුනාගෙන ඔහු සමඟ කිට්ටු සබඳතාවක් වර්ධනය කිරීමේ වරප්‍රසාදයත් ඇයට හිමි වුණා.දකුණු අප්‍රිකාවේ නගරයක් වන ජෝර්ජ්හි වැසියෙක් වන නෝරා පූර්ණ කාලීන එවැන්ජලිස්ත සේවයේ නිරත වීමට මාසයක් වෙන් කරගත්තා. ඒත්, බයිබලය පාඩම් කිරීමට අවංක උනන්දුවක් දක්වන කෙනෙක්ව සොයාගැනීමට ඇයට උපකාර කරන්න කියා ඇය මුලින්ම යෙහෝවාට ඉතා ඕනෑකමින් යාච්ඤා කළා. නෝරාට වැඩ කිරීමට සිදු වුණේ ඇය කලින් වැඩ කළ ප්‍රදේශයකයි. ඒ අවස්ථාවේදී එම ප්‍රදේශයේ කෙනෙක් ඇයට ඉතා පරුෂ වචනවලින් බැණ තිබුණා. ඒත් ඇය නිර්භීතව එම නිවසටම නැවත වතාවක් ගියා. නමුත් පුදුමයකට වගේ එම පුද්ගලයා වෙනුවට ඇයට හමු වුණේ නෝලීන්වයි. එම නිවසට අලුතින් පැමිණි නෝලීන් හා ඇගේ මව, බයිබලය තේරුම්ගැනීමට ඔවුන්ට උපකාර කරන්න කියා දෙවිට යාච්ඤා කර තිබුණා. “බයිබල් පාඩමක් කරන්න කැමතිද කියලා මම ඒගොල්ලන්ගෙන් ඇහුවාම ඒගොල්ලන් එක පාරටම ඒක පිළිගත්තා” කියා නෝරා පැහැදිලි කළා. නෝලීන් හා ඇගේ මව ඉගෙනගත් දේවල් ක්‍රියාවට නැංවීමට පසුබට වුණේ නැහැ. ටික කලකට පසුව, ඔවුන් දෙදෙනාද ආත්මික සුව කිරීමේ වැඩයට නෝරා සමඟ හවුල් වුණා.
යාච්ඤාවේ බලයට සාක්ෂි සපයන තවත් උදාහරණයක් වන්නේ දකුණු අප්‍රිකානු නගරයක් වන යොහනස්බර්ග්හි ජීවත් වන විවාහක යුවළකගේ අද්දැකීමයි. වර්ෂ 1996දී එක් සෙනසුරාදා දිනයක රාත්රියේදී ඩෙනිස් හා කැරල්ගේ විවාහය දෙකඩ වන තත්වයකට පත් වුණා. අන්තිම පියවර වශයෙන් ඔවුන් දෙදෙනා දෙවිට යාච්ඤා කිරීමට තීරණය කළ අතර ඔවුන් හුඟක් රෑ වන තෙක්ම එසේ කළා. පහුවදා උදේ 11ට පමණ ඔවුන්ගේ නිවසට යෙහෝවාගේ සාක්ෂිකරුවන් දෙදෙනෙක් පැමිණියා. ඩෙනිස් දොර ළඟට ගොස් ඔහුගේ භාර්යාව එනකම් ඔවුන්ට ටිකක් ඉන්න කියා පැවසුවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව ගෙදරට ගෙන්න ගත්තොත් ඔවුන්ව යවාගන්න බැරි වෙයි කියා ඔහු ගේ ඇතුලේ සිටි කැරල්ට අනතුරු ඇඟෙව්වා. නමුත් කලින් දවසේ රෑ ඔවුන් දෙදෙනා දෙවිට යාච්ඤා කළ බව කැරල් ඩෙනිස්ට මතක් කර දුන්නා. සමහරවිට, මෙය ඔවුන්ගේ යාච්ඤාවලට පිළිතුර විය හැකියි කියා ඇය පැවසුවා. ඒ නිසා ඔවුන් සාක්ෂිකරුවන්ට ඇතුළට එන්න කියා ආරාධනා කළා. මෙම යුවළ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම නමැති පොත ලබාගත් අතර, ඔවුන් දෙදෙනා සමඟ එවෙලේම බයිබල් පාඩමක් ආරම්භ කළා. ඉගෙනගත් දේවලින් ඩෙනිස් හා කැරල් සෑහෙන ප්‍රීතියක් ලැබුවා. එම සන්ධ්යාවේදීම ඔවුන් යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍ය ශාලාවට ගොස් පළමු වරට රැස්වීමකට සහභාගි වුණා. ඔවුන් සතු බයිබල් දැනුම ක්‍රියාවට නැංවීමෙන් ඩෙනිස් හා කැරල්ට තම ගැටලු විසඳීමට හැකි වුණා. ඔවුන් දෙදෙනාම දැන් යෙහෝවාගේ බව්තීස්ම ලත් සේවකයන් වන අතර, තම බයිබලය මත පදනම් දැනුම නිතිපතා අන්‍යයන් සමඟ බෙදාගන්නවා. ඔවුන් ඇත්තෙන්ම සිටින්නේ සන්තෝෂයෙන්.
නොවටිනාකමේ හැඟීම් ඇති විට
ඇතැම් පුද්ගලයන් තුළ නොවටිනාකමේ හැඟීම් තිබේ. තමන් කලින් ගත කර තිබෙන නරක ජීවිතය ගැන අවංකව පසුතැවිලි වුණත් තමන් යාච්ඤා කිරීමට නුසුදුසුයි කියා ඔවුන් සිතයි. යේසුස් ක්‍රිස්තුස් එවැනි පුද්ගලයෙක් පිළිබඳ කතන්දරයක් කීවා. ඔහු සමාජයෙන් කොන් කර තිබූ සුංගම් අයකරන්නෙක්. දේවමාළිගා මළුවට පැමිණි ඔහු, සාමාන්‍යයෙන් යාච්ඤා කරන පෙදෙසට ඇතුල් වීමටවත් කැමති වුණේ නැහැ. “දුරින් සිට . . . තමාගේ ළැපැත්තට ගසාගනිමින්: [දෙවියනි], පව්කාරයෙක්වූ මට කරුණාකළ මැනව” කියා ඔහු කන්නලව් කළා. (ලූක් 18:13) මෙම මනුෂ්‍යයාගේ යාච්ඤාව දෙවි පිළිගත් බව යේසුස් පැහැදිලි කළා. යෙහෝවා දෙවි ඇත්තෙන්ම කරුණාවන්ත බවත් අවංකවම පසුතැවිලි වන පව්කාරයන්ට ඔහු උපකාර කිරීමට කැමති බවත් මෙයින් පැහැදිලියි.
දකුණු අප්‍රිකාවේ වෙසෙන පෝල්ගේ සිද්ධිය සලකා බලන්න. පෝල් කුඩා කාලයේ සිටම තම දෙමව්පියන් සමඟ ක්‍රිස්තියානි රැස්වීම්වලට ගියා. නමුත් උසස් පාසැල් යන කාලයේදී, දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වුණේ නැති අය සමඟ ඔහු ආශ්‍රය කරන්න පටන්ගත්තා. පාසැලෙන් ඉවත්
වුණ විගස ඔහු හමුදාවට බැඳුණා. ඒ කාලයේදී දකුණු අප්‍රිකාවේ තිබුණේ වර්ණ භේදයට දිරි දුන් පාලන ක්‍රමයක්. ටික කාලයකට පසුව, පෝල් කවදාවත් නොසිතූ දෙයක් සිද්ධ වුණා. ඔහුගේ පෙම්වතිය ඔවුන්ගේ සම්බන්ධය එක පාරටම නතර කළා. පෝල් ඔහුගේ ජීවිතය ගැන සෑහෙන කලකිරීමකට පත් වුණා. “එක දවසක් මම යෙහෝවාට යාච්ඤා කරලා මට උදව් කරන්න කියලා කිව්වා. මං ඇත්තෙන්ම සෑහෙන කාලෙකට යෙහෝවාට යාච්ඤා කරලා තිබුණේ නෑ” කියා ඔහු පවසනවා.වැඩි කල් යන්න කලින්, ඔහුගේ මව ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ දිනයට සහභාගි වෙන්න කියා ඔහුට ආරාධනා කළා. (ලූක් 22:19) ඔහු ගෙදර සිටිද්දී බයිබලය ගැන කිසිම උනන්දුවක් නොදැක්වූ නිසාත් කැරලිකාර ස්වභාවයක් විදහාපෙන්වූ නිසාත්, ඔහුගේ මව මෙවැනි ආරාධනයක් ඉදිරිපත් කිරීම ගැන පෝල් පුදුමයට පත් වුණා. “මේ ආරාධනාව මගේ යාච්ඤාවට යෙහෝවාගෙන් ලැබුණු පිළිතුරක් හැටියට මම සැලකුව නිසා ඒක මම ප්‍රතික්ෂේප කළේ නෑ.” එදා පටන් පෝල් ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමට පටන්ගත්තා. ඔහු බයිබලය පාඩම් කර මාස සතරක් ගත වුණාට පස්සේ, බව්තීස්මය සඳහා සුදුසුකම් ලබාගත්තා. තමා අධ්‍යයනය කරමින් සිටි කාර්මික විද්‍යා පාඨමාලාව අත්හැර පූර්ණ කාලීන එවැන්ජලිස්ත සේවයේ නිරත වීමට ඔහු තීරණය කළා. දැන් පෝල් තම කාලය ගත කරන්නේ ඉතාමත් සතුටින්. ඔහු දකුණු අප්‍රිකාවේ පිහිටි වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ දැන් අවුරුදු 11ක් පුරා සේවය කරමින් සිටිනවා.
යෙහෝවා ඇත්තෙන්ම යාච්ඤාවලට පිළිතුරු සපයන කරුණාවන්ත දෙවිකෙනෙක්. ඔහු ‘තමාව අවංකව සොයන්නන්ට විපාක දෙනවා.’ (හෙබ්‍රෙව් 11:6, NW) යෙහෝවාගේ මහත් දවස පැමිණෙන විට දුෂ්ටකම සහමුලින්ම නැති කර දමන්න යනවා. ඒ අතරතුරේදී, තම සෙනඟ ජ්වලිතව කරන දේශනා වැඩය සඳහා ඔවුන්ට අවශ්‍ය ශක්තියත් මඟ පෙන්වීමත් සපයමින් යෙහෝවා ඔවුන්ගේ යාච්ඤාවලට සවන් දෙනවා. මෙසේ, සියලු ජාතීන්ට අයත් මිලියන ගණන් ජනයාට ක්‍රිස්තියානි සභාවේ කොටසක් වීමට ප්‍රස්තාව උදා වෙනවා. බයිබලය මත පදනම් වූ දැනුම ලබාගෙන තිබෙන නිසා සදාකාල ජීවනයේ අපේක්ෂාව ඔවුන් සතුයි.—යොහන් 17:3.
[5වන පිටුවේ පින්තූරය]
කොර්නේලියස් මුළු හදින්ම කළ යාච්ඤාවේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රේරිත පේතෘස් ඔහුව බැහැදකියි
[6වන පිටුවේ පින්තූරය]
දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන බොහෝදෙනෙකුට යාච්ඤාවෙන් සැනසීම ලැබී ඇත
[7වන පිටුවේ පින්තූර]
බයිබලය තේරුම්ගැනීමට උපකාර පතා යාච්ඤා කිරීම සුදුසුයි
යුවළකට තම විවාහ බැම්ම ශක්තිමත් කරගැනීමට උපකාර පතා යාච්ඤා කළ හැකියි