Skip to content

පටුනට යන්න

යාච්ඤාවේ බලය—ඔබට විශ්වාස කළ හැකියි!

යාච්ඤාවේ බලය—ඔබට විශ්වාස කළ හැකියි!

යාච්ඤාවේ බලය—ඔබට විශ්වාස කළ හැකියි!

නාහොර් නම් මැද පෙරදිග නගරයට දැන් අඳුර වැටීගෙන එයි. විඩාවට පත් වූ අමුත්තෙක් ඔටුවන් දසදෙනෙකුත් රැගෙන නගරය වෙත ළඟා වෙයි. ඔහු නගරයට පිටින් ඇති ළිඳක් ළඟ පහසුගනියි. මෙම මනුෂ්‍යයාගේ නම එලියේසර්. ඔහු සිරියානු ජාතිකයෙක්. දැඩි පිපාසයකින් පෙළෙන එලියේසර් බර කල්පනාවක යෙදී සිටින බවක් පෙනෙන්න තිබේ. නමුත් ඔහු කල්පනා කරමින් සිටින්නේ තම අවශ්‍යතා ගැන නොව, අන්‍යයන්ගේ අවශ්‍යතා ගැනයි. ඔහු මෙතරම් දීර්ඝ ගමනක යෙදී ඇත්තේ තම ස්වාමියාගේ විශේෂ ඉල්ලීමක් පිටයි. එනම් තම නෑදෑයන්ගේ දේශයෙන්ම තම පුත්‍රයාට භාර්යාවක් සොයන්නයි. මෙම දුෂ්කර කාර්යය ඔහු ඉටු කරන්න යන්නේ කෙසේද?

එලියේසර්ට යාච්ඤාවෙහි බලය කෙරෙහි පූර්ණ විශ්වාසයක් තිබේ. ඔහු කැපීපෙනෙන ඇදහිල්ලකින් ඉතා බැගෑපත් ලෙස දෙවිට මෙසේ යාච්ඤා කරයි. ‘මාගේ ස්වාමියා වූ ආබ්‍රහම්ගේ දෙවි වූ යෙහෝවා, මේ දවසෙහි මාගේ ගමන සඵල කරමින් මාගේ ස්වාමි වූ ආබ්‍රහම්ට කරුණාව දක්වන්න. මෙන්න, මම දිය උල්පත ළඟ සිටිමි; නුවර මනුෂ්‍යයන්ගේ දූවරු වතුර අදින පිණිස නික්ම එති. මට බොන පිණිස නුඹේ කළය පහත් කරන්නැයි මම යම් තරුණියකට කීවාම: බොන්න, නුඹේ ඔටුවන්ටත් බොන්ට දෙමියි කියන්නාවූ තරුණිය ඔබගේ මෙහෙකරු වූ ඊසාක්ට ඔබ නියම කළ තැනැත්තී වේවා; මාගේ ස්වාමියා කෙරෙහි ඔබ කරුණාව පෙන්වූ බව එයින් දැනගන්නෙමි.’—උත්පත්ති 24:12-14.

යාච්ඤාවේ බලය කෙරෙහි එලියේසර්ට තිබූ විශ්වාසය නිෂ්ඵල එකක්ද? කොහෙත්ම නැහැ! ළිඳ වෙතට පැමිණෙන පළමු ස්ත්‍රිය ආබ්‍රහම්ගේ සහෝදරයාගේ මිනිපිරියයි. ඇගේ නම රෙබෙකා. මෙම රූමත් තරුණිය අවිවාහක මෙන්ම සදාචාරාත්මක වශයෙන්ද නිර්මල කෙනෙක්. පුදුමයකට මෙන් ඇය විඩාවට පත් වූ එලියේසර්ගේ පමණක් නොව ඔහුගේ ඔටුවන්ගේද පිපාසය සන්සිඳවන්න ඉදිරිපත් වේ. පසුව, රෙබෙකා ඇගේ පවුලේ අයගේ අනුමැතිය ඇතුව, එලියේසර් සමඟ ගොස් ආබ්‍රහම්ගේ පුත්‍රයා වන ඊසාක්ගේ භාර්යාව වීමට එකඟ වෙයි. මෙය, එලියේසර්ගේ යාච්ඤාවට මොනතරම් ක්ෂණික මෙන්ම පැහැදිලි පිළිතුරක්ද! යෙහෝවා එදා විටින් විට ආශ්චර්යවත් ලෙස කාරණාවලදී මැදිහත් වූ බවට මෙය කදිම සාක්ෂියක්.

එලියේසර් කළ යාච්ඤාවෙන් අපිට බොහෝ දෑ උගත හැකියි. ඔහුගේ කැපීපෙනෙන ඇදහිල්ල, නිහතමානීකම හා ඔහු අන්‍යයන්ගේ අවශ්‍යතා ගැන විදහාපෙන්වූ පරාර්ථකාමී සැලකිල්ල එයින් මනාව පිළිබිඹු වේ. යෙහෝවා මනුෂ්‍යවර්ගයා සමඟ කටයුතු කළ ආකාරය පිළිගනිමින් ඔහුගේ මඟ පෙන්වීමට යටත් වූ බවත් එලියේසර්ගේ යාච්ඤාවෙන් පැහැදිලි වේ. යෙහෝවා හා ආබ්‍රහම් අතර තිබූ විශේෂ සබඳතාව ගැනත්, අනාගතයේදී මුළු මනුෂ්‍යවර්ගයාම ආශීර්වාද අත් කරගන්න යන්නේ ආබ්‍රහම් තුළින් බවට යෙහෝවා දුන් පොරොන්දුව ගැනත් ඔහුට හොඳ අවබෝධයක් තිබුණු බවට කිසිම සැකයක් නැහැ. (උත්පත්ති 12:3) එමනිසා, එලියේසර් “මාගේ ස්වාමියාවූ ආබ්‍රහම්ගේ දෙවිවූ [යෙහෝවා]” කියා තම යාච්ඤාව ආරම්භ කළේ ඇයි කියා අපට පැහැදිලියි.

යේසුස් ක්‍රිස්තුස් ආබ්‍රහම්ගෙන් පැවතෙන්නෙක්. කීකරු මනුෂ්‍යවර්ගයාට ආශීර්වාද ගෙන දීමට යන්නේ ඔහු මාර්ගයෙනුයි. (උත්පත්ති 22:18) අදදින අපේ යාච්ඤාවලට පිළිතුරු ලබාගැනීමට අපට වුවමනා නම්, යෙහෝවා දෙවි යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් මනුෂ්‍යවර්ගයා සමඟ කටයුතු කරන බව අප නිහතමානීව පිළිගත යුතුයි. යේසුස් ක්‍රිස්තුස් මෙසේ පැවසුවා. “නුඹලා මා තුළෙහි පවතින්නෝ නම්, මාගේ වචනය නුඹලා තුළෙහි පවතී නම්, නුඹලා කැමති දෙයක් ඉල්ලන්න, එවිට නුඹලාට ලැබේ.”—යොහන් 15:7.

ක්‍රිස්තුස්ගේ අනුගාමිකයෙක් වූ ප්‍රේරිත පාවුල් මෙම වදන්වල සත්‍යතාව අද්දැකීමෙන්ම දන්නා කෙනෙක්. යාච්ඤාවෙහි බලය කෙරෙහි ඔහුට තිබූ විශ්වාසය නිෂ්ඵල එකක් වූයේ නැහැ. ඔහු තම සෙසු ක්‍රිස්තියානීන්ට දිරිගැන්වූයේ යාච්ඤාව මාර්ගයෙන් තමන්ගේ සියලුම බර යෙහෝවා මත තබන්නයි. එය ඔහු මෙසේ තහවුරු කළා. “මා බලවත්කරන්නාවූ [තැනැත්තා] තුළ මට සියලුදේ කරන්ට පුළුවන.” (පිලිප්පි 4:6, 7, 13) පාවුල් යාච්ඤාවෙන් කළ සෑම ඉල්ලීමක්ම ඉටු වූ බව මෙයින් අදහස් වෙනවාද? අපි බලමු.

පිළිතුරු නොලැබෙන විට

පරාර්ථකාමී ලෙස තම සේවයේ නිරත වුණත් පාවුල්ට ‘මාංසයේ උලක්’ වැනි පීඩාවක් අද්දැකීමට සිද්ධ වුණා. (2 කොරින්ති 12:7) මෙය විරුද්ධවාදිකම් පෑ අය හා “බොරු සහෝදරයන්” නිසා මානසික හා චිත්තවේගීය වශයෙන් ඇති වූ පීඩාවක් විය හැකියි. (2 කොරින්ති 11:26; ගලාති 2:3ආ, 4) එසේත් නැත්නම් එය ඔහුගේ ඇස්වල තිබූ සුව කළ නොහැකි අසනීපයක් නිසා ඇති වූ ශාරීරිකව පීඩාවක් විය හැකියි. (ගලාති 4:15) ඒ කොහොම වුණත්, ‘මාංසයේ උලක්’ වැනි වූ මෙම පීඩාව පාවුල්ව අසරණ තත්වයකට පත් කළ බව නම් නිසැකයි. ඔහු මෙසේ ලිව්වා. “ඒක මා කෙරෙන් පහවන පිණිස ඒ ගැන තුන්වරක් [ස්වාමීන්ගෙන්] ඉල්ලුවෙමි.” නමුත් පාවුල් ඉල්ලූ දේ ඔහුට ලැබුණේ නැහැ. පීඩා විඳදරාගැනීමට අවශ්‍ය ශක්තිය වැනි දෙවිගෙන් ඔහු ලද ආත්මික දීමනා සෑහෙන බව පාවුල්ට පැහැදිලි කර තිබුණා. දෙවි තවදුරටත් මෙසේ පැවසුවා. “දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණවෙන්නේය.”—2 කොරින්ති 12:8, 9.

එලියේසර්ගේ හා පාවුල්ගේ ආදර්ශවලින් අප ඉගෙනගන්නේ කුමක්ද? නිහතමානී ලෙස ඔහුට සේවය කිරීමට වෑයම් කරන අයගේ යාච්ඤාවලට යෙහෝවා දෙවි ඇත්තෙන්ම සවන් දෙන බවයි. නමුත් ඔවුන් ඉල්ලා සිටින සෑම දෙයක්ම දෙවි ලබා දෙන බව මින් අදහස් වන්නේ නැහැ. දෙවි දේවල් දෙස දූර්දර්ශීව බලයි. අපේ යහපත උදෙසා අපට අවශ්‍ය වන්නේ කුමක්ද කියා ඔහු අපටත් වඩා හොඳින් දන්නවා. එමෙන්ම වඩා වැදගත් ලෙස, ඔහු සෑම අවස්ථාවකදීම ක්‍රියා කරන්නේ බයිබලයෙහි වාර්තා කර ඇති තම අරමුණට එකඟවයි.

ආත්මික සුවය සඳහා කරන යාච්ඤා

ශාරීරික, මානසික හා චිත්තවේගීය වශයෙන් පීඩා විඳින සියලුදෙනාටම සුවයක් ලබා දෙන බවට දෙවි පොරොන්දු වී තිබෙනවා. එය පොළොව කෙරෙහි බලය පාන තම පුත්‍රයාගේ දහස් අවුරුදු පාලනයේදී දෙවි ඉටු කරනු ලබනවා. (එළිදරව් 20:1-3; 21:3-5) පොරොන්දු ඉටු කිරීමට දෙවිට ඇති බලය කෙරෙහි පූර්ණ ඇදහිල්ලක් තබමින් අවංක ක්‍රිස්තියානීන් මෙම අනාගතය දෙස ඉතා උනන්දුවෙන් බලා සිටියි. අදදින දෙවි එවැනි ආශ්චර්යවත් සුව කිරීම් සිදු කරයි කියා බලාපොරොත්තු නොවන ඔවුන්, එවැනි දුෂ්කරතා විඳදරාගැනීමට අවශ්‍ය සැනසිල්ල හා ශක්තිය ඉල්ලමින් දෙවිට යාච්ඤා කරයි. (ගීතාවලිය 55:22) ඔවුන් අසනීප වූ විට, තමන්ගේ ආර්ථිකයට ගැළපෙන හොඳම ප්‍රතිකාර ක්‍රමය තෝරාගැනීමට ඔවුන් දෙවිගෙන් මඟ පෙන්වීමද ඉල්ලා සිටියි.

ක්ෂණික සුවයක් ලබාගැනීම සඳහා අසනීප වූ අයට යාච්ඤා කරන්න කියා ඇතැම් ආගමික සංවිධාන දිරිගන්වයි. මේ සඳහා පදනමක් වශයෙන් ඔවුන් යේසුස් සහ ඔහුගේ ප්‍රේරිතයන් විසින් සිදු කළ ආශ්චර්යවත් සුව කිරීම් වෙත අවධානය යොමු කරවයි. නමුත් එවැනි ආශ්චර්යයන් සිදු කළේ විශේෂ අරමුණක් ඉටු කිරීමට බව අප අමතක නොකළ යුතුයි. යේසුස් ක්‍රිස්තුස් සැබෑ මෙසියස් බවත්, දෙවිගේ අනුග්‍රහය යුදෙව් ජාතියේ සිට ළදරු වියේ පසු වන ක්‍රිස්තියානි සභාවට මාරු කර තිබූ බවත් එයින් ඔප්පු වූවා. අලුතින් පිහිටුවන ලද ක්‍රිස්තියානි සභාව කෙරෙහි ඇදහිල්ල වර්ධනය කිරීම සඳහා ආශ්චර්යවත් දීමනා අවශ්‍ය වූ අතර, ක්‍රිස්තියානි සභාව හොඳින් ස්ථාපිත වී මේරූභාවයට පත් වුණායින් පසුව, ආශ්චර්යවත් දීමනා ‘නැති විය.’—1 කොරින්ති 13:8, 11.

මෙම තීරණාත්මක කාලය තුළදී, ආත්මික සුවයක් ගෙන දෙන වඩා වැදගත් වැඩක් කිරීමට යෙහෝවා තම නමස්කාරකයන්ට මඟ පෙන්වයි. කාලය තවමත් තිබෙන නිසා හදිසිතාවේ හැඟීමකින් යුක්තව කරන මෙම ඉල්ලීමට ජනයා ප්‍රතිචාරයක් දැක්විය යුතුයි. ‘යෙහෝවා සම්බ වෙන්ට සිටිද්දී ඔහු සොයා, ඔහු ළංව සිටිද්දී ඔහුට යාච්ඤා කරන්න. දුෂ්ටයා තමාගේ මාර්ගයද අධර්මිෂ්ඨ මනුෂ්‍යයා තමාගේ යෝජනාද අත්හැර, යෙහෝවා වෙතට හැරී ඒවා. ඔහු අනුකම්පා කරනවා ඇත; අපේ දෙවි වෙතට ඔහු හැරී ඒවා, මක්නිසාද ඔහු අතිශයින් කමා වෙනවා ඇත [දයාව දක්වනු ඇත, NW].’—යෙසායා 55:6, 7.

පසුතැවිලි වන පව්කාරයන්ට මෙම ආත්මික සුවය ලැබෙන්නේ දෙවිගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම මාර්ගයෙනුයි. (මතෙව් 24:14) මෙම ජීවිත ගළවන වැඩය ඉටු කිරීම සඳහා යෙහෝවා තම සේවකයන්ව බලවත් කරවයි. එසේ කිරීමෙන්, මෙම දුෂ්ට පිළිවෙළේ අවසානය පැමිණීමට කලින් සියලුම ජාතීන්ට අයත් මිලියන ගණන් ජනයාට පසුතැවිලි වීමටත් යෙහෝවා සමඟ අනුග්‍රහය ලත් සබඳතාවක් ඇති කරගැනීමටත් ඔහු මං සලසා දෙයි. ආත්මික සුවය ලබාගැනීම සඳහා යාච්ඤා කරන හා සුව කිරීමේ වැඩය ඉටු කිරීමට උපකාර පතන සියලුදෙනාගේම යාච්ඤාවලට පිළිතුරු ලැබේ.

[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

එලියේසර් සහ රෙබෙකා/​The Doré Bible Illustrations/​Dover Publications