යෙහෝවාව සෙවීමට ඔබේ හදවත සූදානම්ද?
යෙහෝවාව සෙවීමට ඔබේ හදවත සූදානම්ද?
එස්රා, විවිධාකාර ක්ෂේත්රයන්වලින් කැපීපෙනුණු පුද්ගලයෙකි. ඔහු පර්යේෂකයෙක් ලෙසත් විශාරදයෙක් ලෙසත් පිටපත් කරන්නෙක් ලෙසත් ව්‍යවස්ථාව උගන්වන්නෙක් ලෙසත් දස්කම් පෑවේය. එහෙත් මේ සියල්ලම අභිභවා ඔහුගේ ජීවිතයෙන් වඩාත්ම කැපීපෙනෙන දෙය වන්නේ ඔහුගේ ප්‍රාණ-පූර්ණ සේවයයි. ඔහු මෙම එඩිතර දේවභක්තිය විදහාපෑවේ බොරු නමස්කාරයෙන් හා භූතවාදයෙන් පිරි ආත්මික ලෙස කළු වලාවකින් වැසුණු පරිසරයක් තිබූ බබිලෝනියෙහිය. එසේ නම්, මෙම උත්කෘෂ්ට ආදර්ශය වත්මන් ක්‍රිස්තියානීන්ට අදාළ වන ආකාරය සලකා බැලීම යෝග්‍යය.
එස්රාගේ දේවභක්තිය අහම්බෙන් පහළ වූවක් නොවෙයි. එය ඔහු ඉතා පරෙස්සමින් ගොඩනැංවූ එකකි. ඒ සම්බන්ධව බයිබලය මෙසේ පවසා තිබේ. “යෙහෝවාගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත් ඉශ්රායෙල්හි පනත්ද විනිශ්චයන්ද උගන්වන්ටත් තමාගේ හදවත සූදානම් කරගෙන තිබුණේය.”—එස්රා 7:10, NW.
සැබෑ නමස්කාරයට දැඩි විරෝධයක් පාන වකවානුවක ජීවත් වුවත් එදා එස්රා කළාක් මෙන් අදදින ක්‍රිස්තියානීහු යෙහෝවා ඉල්ලා සිටින සියල්ලක්ම අකුරටම ඉටු කිරීමට අතිශයින් ආශා වෙත්. එසේ නම් “යෙහෝවාගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත්” අපේ හදවත නැත්නම් අභ්‍යන්තර පුද්ගලයාව සූදානම් කළ හැකි ආකාරය දැන් සොයමු. මෙය, ඇතුළාන්ත සිතුවිලි, ආකල්ප, ආශාවන් හා පෙලඹවීම් පිරික්සීමට අප අපගේම අභ්‍යන්තරයට යන ගමනක් ලෙස හැඳින්වූවොත් නිවැරදියි.
හදවත සූදානම් කිරීම
‘සූදානම’ යන්නෙන් අදහස් කරන්නේ “යම් දෙයක් ඉටු කරගැනීම සඳහා කල්තියාම ස්ථිරසාර සැලැස්මක් ඇති කරගැනීමය. එනම් යම්කිසි පරමාර්ථයක් ඉටු කරගැනීමට අවශ්‍ය මූලික පියවර ගැනීම හා ඒ සඳහා අවශ්‍ය සකස් කිරීම් කරගෙන ඒ සම්බන්ධයෙන් නිසි මානසිකත්වයක් ඇති කරගැනීමය.” ඔව්, ඔබ දෙවිගේ වචනයෙන් නිවැරදි දැනුම ලබාගෙන ඔබගේ ජීවිතය යෙහෝවාට කැප කර ඇත්නම්, ඔබගේ හදවත සූදානම් තත්වයක ඇති බව පැවසිය හැකි අතර, එය වපුරන්නාගේ උපමාවේදී යේසුස් සඳහන් කළ ‘සාරවත් පසට’ [NW] සමාන කළ හැක.—මතෙව් 13:18-23.
කෙසේවෙතත්, අපේ හදවතට නිතර නිතරම අවධානය දීම මෙන්ම එය හොඳ මට්ටමක තබාගැනීමද අවශ්‍යය. එසේ පවසන්නේ මන්ද? ඊට හේතු දෙකක් තිබේ. පළමුවැන්න මෙයයි. උද්‍යානයක අලංකාරයට කැළලක් ඇති කරන කටු පඳුරු හටගත හැකි බව අපි කවුරුත් දනිමු. මෙම “අන්තිම දවස්වලදී” පෙර නොවූ විරූ ආකාරයකට සාතන්ගේ පිළිවෙළේ කැලඹුණු ‘අවකාශය’ අපේ හදවතට එවැනිම බලපෑම් ඇති කළ හැක. මන්දයත් එය තුළින් අප වෙත ගසාගෙන එන්නේ මාංසික ආකල්ප නමැති අහිතකර බීජයි. (2 තිමෝති 3:1-5; එපීස 2:2, NW) දෙවන කාරණය පස හා සම්බන්ධයි. නොසැලකිල්ල නිසා පස විගසින්ම වියළී, නිසරු විය හැක. තවද සිදු විය හැකි හානිය ගැන කල්පනා නොකර බොහෝදෙනෙකු පස පෑඟීමෙන් එය දැඩි වෙන්නත් පුළුවන්. අපේ හදවතේ සංකේතාත්මක පස ගැන කිව හැක්කෙත් ඒ ටිකමයි. අපගේ ආත්මික සුභ සාධනය ගැන කිසිම තැකීමක් නැති අය එය පාගා දැමීම නිසාත් අපගේම නොසැලකිල්ල නිසාත් එය නිසරු විය හැක.
එසේ නම් බයිබලයේ තිබෙන මෙම මාර්ගෝපදේශය සිතට ගැනීම මොනතරම් වැදගත්ද! “සියල්ලටම වඩා නුඹේ සිත [හදවත, NW] ආරක්ෂාකරගන්න; මක්නිසාද එයින් ජීවනය නික්මෙන්නේය.”—හිතෝපදේශ 4:23.
හදවතෙහි ‘පසට’ පොහොර
අපේ හදවතේ ‘පසෙන්’ හිතකර අස්වැන්නක් නෙළාගැනීමට අවශ්‍ය අංග කිහිපයක් අපි දැන් සලකා බලමු. යහපත් හදවතකට දායක වන සාධක බොහෝය. නමුත් මෙම ලිපියේ අවධානය යොමු කරන්නේ ඉන් හයකටයි. එනම් අපේ ආත්මික අවශ්‍යතාව අවබෝධ කරගැනීම, යටහත් පහත්කම, අවංකකම, දේවභය, ඇදහිල්ල හා ප්‍රේමය යන ඒවාය.
මතෙව් 5:3, NW) උදරයෙහි ඇති වන දැවිල්ලකින් අපට ආහාර අවශ්‍යයි කියා දැනේ. එලෙසම අපට ආත්මික දේ අවශ්‍ය බව අපට දැනිය යුතුයි. මෙවැනි ආහාරවලටත් මිනිසාට සහජයෙන්ම මහත් රුචියක් ඇති වී තිබෙන්නේ ඒ තුළින් ඔහුගේ ජීවිතයට අරමුණක් හා අර්ථයක් ලබා දී තිබෙන නිසාය. සාතන්ගේ පිළිවෙළින් එල්ල වන ප්‍රහාර නිසා හෝ දේවල් ගැඹුරට අධ්‍යයනය කිරීමට ඇති අලසකම නිසා හෝ මෙම රුචිය අඩු වී යා හැක. කෙසේවෙතත් “මනුෂ්‍යයා [දෙවිගේ] මුඛයෙන් නික්මෙන සියලු වචනවලින් ජීවත්වෙනවා මිස, රොටි පමණකින් ජීවත් නොවන්නේය” කියා යේසුස් කී බව සිහියේ තබාගත යුතුය.—මතෙව් 4:4.
“තම ආත්මික අවශ්‍යතා ගැන සාවධානව සිටින්නෝ සන්තෝෂවත්ය.” (කලට වේලාවට අනුභව කරන සමබර, පෝෂ්‍යදායි ආහාර වේලක් අපගේ නිරෝගීභාවයට වැදගත්. අපි කෑම කෑ විට ඊළඟ ආහාර වේල ලබන තෙක් ආශාවෙන් බලා සිටින්නෙමු. ආත්මික පැත්තෙන් බැලුවද තත්වය එයමයි. යමක් පාඩම් කිරීම ගැන කල්පනා කළ පමණින්ම ඔබ තුළ එතරම් රුචියක් වර්ධනය වීමට ඉඩක් නොතිබිය හැක. එය ඔබගේ අද්දැකීම නම් ඔබ දිනපතා බයිබලය හා බයිබලය මත පදනම් වූ ප්‍රකාශන කියවීමට වගබලා ගන්න. එවිට එම ආත්මික ආහාරවලටද රුචියක් ඔබ තුළ හටගනීවි. එවිට පෞද්ගලික බයිබල් පාඩම කරන අවස්ථාව එන තෙක් ඔබ බලා සිටින්නේ නොඉවසිල්ලකිනි. විගස අධෛර්යයට පත් නොවී, මහන්සියද නොතකා ආත්මික ආහාරවලට හිතකර ආශාවක් ඇති කරගන්න.
යටහත් පහත්කම හදවතෙහි ‘පස’ බුරුල් කරයි
හදවත සූදානම් කරගැනීමට නම් යටහත් පහත්කම අනිවාර්යයෙන් අවශ්‍යයි. එයින් පෝෂණය වන හදවතක් හික්මවීම්වලට සහ උපදෙස්වලට ඇහුම්කන් දෙන අතර ඉගෙනගැනීමටත් කැමැත්තක් දක්වයි. යොෂියා රජුගේ කදිම ආදර්ශය සිතට ගන්න. ඔහුගේ පාලන සමයේදී මෝසෙස්ගේ ව්‍යවස්ථාවේ පිටපතක් හමු විය. එහි වදන් ඇසූ යොෂියාට, තම මුතුන්මිත්තන් ශුද්ධ නමස්කාරයෙන් කොතරම් ඈත් වී තිබුණාද යන්න වැටහිණ. මහත් කම්පාවට පත් වූ ඔහු තම වස්ත්‍ර ඉරාගෙන හඬා වැලපුණේය. දරාගත නොහැකි වන තරමටම රජුගේ හදවතට මෙය වේදනාවක් වූයේ මන්ද? ශුද්ධ ලියවිල්ල කියන ආකාරයට ඔහුට තිබුණේ “මෘදු” හදවතකි. ඒ නිසා යෙහෝවාගේ වචනයට කන් දුන් විට ඔහු යටහත් ලෙස ක්‍රියා කළේය. ඔහුගේ හදවතේ ඇති යටහත් පහත්, පිළිගන්නා ස්වභාවය දුටු යෙහෝවා ඊට සරිලන ආශීර්වාදයක්ද පිරිනැමීය.—2 රාජාවලිය 22:11, 18-20.
‘මාංශික ලෙස ප්‍රඥාවන්ත’ අයගෙන් ගිලිහී ගිය ආත්මික සත්‍යයන් රැසක් යේසුස්ගේ “අපණ්ඩිතවූ නූගත්” ගෝලයෝ වටහාගෙන ක්රියාවේ යෙදූහ. එයට මං පෑදුවේ ඔවුන්ට තිබූ යටහත් පහත්කමයි. (ක්‍රියා 4:13; ලූක් 10:21; 1 කොරින්ති 1:26) ලෝකයේ බුද්ධිමතුන්ගේ හදවත් උඩඟුකමින් දැඩි වූ නිසා ඔවුහු යෙහෝවාගේ වචනය පිළිගැනීමට සූදානම්ව නොසිටියහ. එසේ නම්, යෙහෝවා උඩඟුකමට ද්වේෂ කිරීම පුදුමයක්ද?—හිතෝපදේශ 8:13; දානියෙල් 5:20.
අවංකකමත් දේවභයත් අවශ්‍යයි
අනාගතවක්තෘ යෙරෙමියාට අනුව, “සියල්ලට වඩා සිත [හදවත, NW] රැවටිලිකාරව තිබේ, ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්ට පුළුවන්ද?” (යෙරෙමියා 17:9) මෙම රැවටීම සාර්ථකව කිරීමට හදවත විවිධාකාර වෙස් වලාගනී. අප අතින් වරදක් වූ විට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම එක් ක්රමයකි. පෞද්ගලිකත්වයේ අඩුපාඩුකම්වල බරපතළකම සැහැල්ලු කිරීම තවත් එකක්. අපේ නියම තත්වය අපට හෙළි කරමින් අපේ අඩු තැන් හදාගැනීමට අපට උපකාර කරන අවංකකම, රැවටිලිකාර හදවතට එරෙහිව කරන සටනින් ජය ලබා දෙයි. “[යෙහෝවා,] මා සෝදිසිකොට පරීක්ෂාකළ මැනව; මාගේ හෘදයත් සිතත් විමසා බැලුව මැනව” යන යාච්ඤාවෙන් ගීතිකාකරුට මෙවන් අවංකකමක් තිබූ බව පැහැදිලිය. දෙවිගේ පිරිසිදු කිරීමෙන් හා සෝදිසියෙන් ප්‍රයෝජන ලබන්න ඔහුගේ හදවත සූදානම්ව තිබිණ. තමාගේ හදවතෙහි රොඩු, බොර වැනි අපවිත්‍ර දේ ඇති බව පිළිගැනීමට පවා ඔහු සූදානමින් සිටියේය.—ගීතාවලිය 17:3; 26:2.
දේවභයද අපව පරිශෝධනය කිරීමට අත්‍යවශ්‍ය උපකාරයකි. “නපුරට ද්වේෂකිරීම” ඊට ඇතුළත්ය. (හිතෝපදේශ 8:13) ආත්මිකත්වය ඉහළ නැංවීමට දේවභය බලවත් මෙවලමකි. දේවභයැති කෙනෙක් දෙවිගේ දයාව හා ගුණවන්තකම අගය කරන අතර, යෙහෝවා ඔහුට අකීකරු වන කෙනෙකුට දැඩි හික්මවීමක් හෝ මරණය පවා නියම කළ හැකි බව තමාගේ සිතේ නොමැකෙන සේ තදින් සටහන් කරගනී. යෙහෝවාගේ අණ පනත්වලට කීකරු වන්නේ ඔහුට භය ඇත්තන්ය යන්න ඉශ්රායෙල් ජාතිය සම්බන්ධයෙන් පැවසූ දෙයින් පැහැදිලි වේ. “අහෝ ඔවුන්ටද ඔවුන් සමඟ ඔවුන්ගේ දරුවන්ටද සදාකාලේටම ශුභ සිද්ධවන පිණිස නිතරම මට භයවීමටත් මාගේ සියලු ආඥා රක්ෂාකිරීමටත් මෙයාකාර සිතක් තිබුණොත් යහපත!”—ද්විතීය කථාව 5:29.
කිසිවක් කර කියාගත නොහැකි තරමටම කෙනෙක්ව භය කර ඔහුගෙන් කීකරුකම ඉල්ලා සිටීම දේවභයෙහි අරමුණ නොවන බව පැහැදිලියි. ඊට වෙනස්ව, එය අපේ යහපත ගැන අතිශයෙන් සැලකිල්ලක් දක්වන අපේ ප්‍රේමනීය පියාට කීකරු වීමට පෙලඹීමක් ඇති කරයි. ඇත්තෙන්ම, යේසුස් ක්‍රිස්තුස් දැක්වූ ආකාරයට මෙම දේවභය සතුට ගෙන දෙන හා ගොඩනංවනසුලුය.—යෙසායා 11:3; ලූක් 12:5.
සූදානම් හදවතක් ඇදහිල්ලෙන් පිරී යයි
ඇදහිල්ලෙන් සවිමත් වූ හදවතක් විශේෂ දෙයක් දන්නේය. එනම් තමාගේ වචනය තුළින් යෙහෝවා ඉල්ලා සිටින, නියම කරන ඕනෑම දෙයක් යුක්තිසහගත වන අතර එය පිළිපැදීමෙන් කෙනෙකුට යහපතක් මිස අයහපතක් නොවන බවය. (යෙසායා 48:17, 18) එවන් හදවතක් ඇති කෙනෙකු හිතෝපදේශ 3:5, 6හි වදන් සිතට ගත් විට ඔහුගේ ජීවිතයට තෘප්තියක් හා සෑහීමක් ලැබේ. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් [යෙහෝවා] කෙරෙහි විශ්වාසකරන්න. නුඹේ සියලු මාර්ගවලදී [ඔහු] සලකන්න, එවිට [ඔහු] නුඹේ මාවත් සමතලාකරනවා ඇත.” ඇදහිල්ලෙන් ඌන වූ හදවතක් යෙහෝවාව විශ්වාස කිරීමට මැළි වේ. රාජ්‍යයේ කටයුතුවලට මුල් තැන දීම සඳහා තම ජීවිත රටාව සරල කරගැනීමට තරම් වුවමනාවක් එයට නැත. (මතෙව් 6:33) එසේ නම් ඇදහිල්ල නොමැති හදවතක් “නපුරු” යයි සැලකීමට යෙහෝවාට හොඳ හේතු ඇත.—හෙබ්‍රෙව් 3:12.
අප ජීවිතයේ ගන්නා විවිධාකාර තීරණවලදී අපට යෙහෝවා කෙරෙහි ඇදහිල්ලක් තිබෙනවාද නැද්ද යන්න පිළිබිඹු වේ. අප තනිව සිටින අවස්ථාවලදීද මෙය හොඳින් දිස් වන්නේය. දැන් ගලාති 6:7හි ප්‍රතිපත්තිය සලකන්න. “නොරැවටෙන්න; [දෙවිට] සරදම්කරන්ට කාටවත් බැරිය. මක්නිසාද මනුෂ්‍යයෙක් තමා වපුරන දේම කපා ගන්නේය.” අප නරඹන චිත්‍රපට, කියවන පොත පත, බයිබල් අධ්‍යයනය සඳහා යොදන කාලය හා කරන යාච්ඤාවලින්ද මෙම ප්‍රතිපත්තිය කෙරෙහි ඇදහිල්ල තිබෙන බව අපි ඔප්පු කරන්නෙමු. ඔව්, නිසැකවම ‘ආත්මය සඳහා වපුරන්න’ පොලඹවන ශක්තිමත් ඇදහිල්ල, යෙහෝවාගේ වචනය පිළිගන්ටත් එයට කීකරු වීමටත් හදවත සූදානම් කිරීම සඳහා අත්‍යවශ්‍යයි.—ගලාති 6:8.
උතුම්ම ගුණාංගය ප්‍රේමයයි
දෙවිගේ වචනය නමැති බීජය අපේ හදවතෙහි මුල් ඇදීමට අවශ්‍ය වන අනිවාර්ය, අසමසම ගුණාංගය වන්නේ ප්‍රේමයයි. ඇදහිල්ල හා බලාපොරොත්තුව සමඟ මෙය සසඳා පාවුල් එළඹුණු නිගමනය කුමක් වීද? “මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.” (1 කොරින්ති 13:13) ප්‍රේමයෙන් පිරුණු හදවතක් දෙවිට කීකරු වීම නිසා අද්දකින්නේ කියා නිම කළ නොහැකි සුවදායි ප්‍රීතියකි. කිසිදාක එය දෙවි ඉල්ලා සිටින දේ සුළු කොට නොතකයි. ප්‍රේරිත යොහන් කීවේ, “[දෙවිට] ප්‍රේමවීම නම් අප විසින් [ඔහුගේ] ආඥා පැවැත්වීමය. [ඔහුගේ] ආඥා බර නැත” කියායි. (1 යොහන් 5:3) ඊට සමානවම යේසුස් මෙසේ පැවසුවා: “යමෙක් මට ප්‍රේමකරන්නේ නම්, ඔහු මාගේ වචනය රක්ෂාකරන්නේය. මාගේ [පියාද] ඔහුට [ප්‍රේම කරන්නේය].” (යොහන් 14:23) ප්‍රේමය දැක්වීම එක් පාර්ශ්වයකට පමණක් සීමා නොවන බව අවධානයට ගන්න. එනම් යෙහෝවා වෙතට ප්‍රේමයෙන් ඇදී යන අයට ඔහුත් නොමසුරුව ප්‍රේම කරයි.
අපගේ අසම්පූර්ණකම පිළිබඳවත් අප අතින් ඔහුට විරුද්ධව නොයෙක් පව් කෙරෙන බවත් යෙහෝවා හොඳින් දනියි. එහෙත් ඔහු අපෙන් ඈත් වී අපට තනිවීමට ඉඩ නොදෙයි. ඇත්තෙන්ම යෙහෝවා තම නමස්කාරකයන්ගෙන් ඉල්ලන්නේ මෙයයි: එනම් ‘සම්පූර්ණ හදවතක්.’ කැමැත්තෙන්ම දෙවිට සේවය කිරීමට පොලඹවන ‘ප්‍රසන්න ආකල්පයක්’ මෙම හදවත නිසා ඇති වෙයි. (1 ලේකම් 28:9) හොඳ ගුණාංග හදවතෙහි රෝපණය කර ඉන් ආත්මයේ ඵල නෙළාගැනීමට අප කාලයක් තිස්සේ වෙහෙස මහන්සි විය යුතු බව යෙහෝවා දන්නේය. (ගලාති 5:22, 23) ‘ඔහු අපේ ස්වභාවය දන්නේය; අප ධූලි බව ඔහු සිහි කරන්නේය.’ එහෙයින් අප සම්බන්ධයෙන් ඔහු ඉවසයි. (ගීතාවලිය 103:14) තම ගෝලයන්ගේ අඩුපාඩුකම්වලදී කවදාවත් දැඩි විවේචනයකින් යුතුව බැණ නොවැදුණු යේසුස් දැක්වූයේ එවැනිම ආකල්පයකි. ඔහු ඔවුන්ට ඉවසිලිවන්තව උපකාර කර, දිරිගැන්වීය. යෙහෝවා හා යේසුස් පෙන්වන මෙවන් ප්‍රේමය, දයාව හා ඉවසීම ගැන සලකා බලද්දී, ඔවුන් කෙරෙහි ඔබට තිබෙන ප්‍රේමය තව තවත් වැඩි වන්නේ නැද්ද?—ලූක් 7:47; 2 පේතෘස් 3:9.
ඇතැම්විට ගැඹුරට මුල් බැස ඇති කලාඳුරු අල, කටු පඳුරු වැනි නරක පුරුදු උගුල්ලා දැමීම අසීරු කාර්යයක් විය හැක. නුසුදුසු නැඹුරුවාවන් නිසා ඔබේ හදවතෙහි පස කොටා බුරුල් කළ නොහැකි තරම් දැඩි විය හැක. එහෙත් අධෛර්යය නොවන්න. වඩාත් යෝග්‍ය ක්‍රියා මාර්ගය වන්නේ ‘යාච්ඤාවේ නොකඩවා පැවත’ සටනින් ජයගැනීමට උත්සාහ කිරීමයි. ඒ තුළින් නිතරම යෙහෝවාගේ ආත්මය අයැදීමත් ඉතා ඵලදායී ක්‍රියාවකි. (රෝම 12:12) යෙහෝවාගේ උපකාරය ඇතුව ඔබට ලැබෙන්නේ ‘යෙහෝවාගේ ව්‍යවස්ථාව සොයන්ටත් පවත්වන්ටත්’ සූදානම් වූ එස්රාට සමාන හදවතකි.
[31වන පිටුවේ පින්තූරය]
එස්රා බබිලෝනියෙහිදී පවා තම දේවභක්තිය රැකගත්තේය
[29වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Garo Nalbandian