Skip to content

පටුනට යන්න

යෙහෝවා වෙනුවෙන් මා ගත කළ සරල ජීවිතය

යෙහෝවා වෙනුවෙන් මා ගත කළ සරල ජීවිතය

ජීවිත කතාව

යෙහෝවා වෙනුවෙන් මා ගත කළ සරල ජීවිතය

ක්ලාරා ගර්බර් මෝයර්ගේ අද්දැකීම

මගේ වයස දැන් අවුරුදු 92යි. ඇවිදින්නෙත් හරිම අමාරුවෙන්. කොහොම වුණත්, මට තවමත් හොඳ කල්පනා ශක්තියක් තියෙනවා. මගේ මතක ශක්තියත් හොඳයි. පොඩි කාලේ ඉඳන් යෙහෝවාට සේවය කරන්න මට පුළුවන් වෙලා තිබෙනවා. ඒක ගැන මම කොච්චර සන්තෝස වෙනවාද! ඒ වගේ සේවයක් කරන්න පුළුවන් වුණේ මම සරල ජීවිතයක් ගත කළ නිසයි.

මම ඉපදුණේ 1907 අගෝස්තු 18වනදා, අමෙරිකා එක්සත් ජනපදයේ ඔහයෝහි අලයන්ස්වලයි. අපේ පවුලේ දරුවන් පස්දෙනාගෙන් වැඩිමලා මමයි. මගේ අම්මාගේ නම ලෝරා ගර්බර්. ඒ කාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හැඳින්වූයේ බයිබල් ශිෂ්‍යයන් කියලයි. ඔවුන්ගෙන් කෙනෙක් බයිසිකලයකින් අපේ ගොවිපොළට ආ දවස මට තවමත් මතකයි. එතකොට මගේ වයස අවුරුදු අටයි. ඔහු මගේ අම්මාටයි කතා කළේ. දුෂ්ටකම පවතින්නේ ඇයි කියලා දන්නවාද කියා ඔහු අම්මාගෙන් ඇහුවා. අම්මාගේ උනන්දුව ඇවිස්සුණා. ඒක එයා හැම තිස්සේම වගේ කල්පනා කළ ප්‍රශ්නයක්.

තාත්තා හිටියේ ධාන්‍ය ගබඩාවේ. ඉතින් අම්මා තාත්තා ගාවට ගිහිල්ලා, තාත්තාගේ අවසරයෙන් ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් (ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය) කියන වෙළුම් හය ගත්තා. අම්මා ඒවා කියවන්න ගත්තේ පුදුම උනන්දුවකින්. ඒවායින් ඇය ඉගෙනගත් බයිබල් සත්‍යයන් ඇගේ හෘදයටම කාවැදුණා. ද නියූ ක්‍රියේෂන් (අලුත් මැවිල්ල) කියන 6වන වෙළුම පාඩම් කළායින් පසු, ක්‍රිස්තියානියෙකු වතුරේ ගිලී බව්තීස්ම වෙන්න ඕනෑ කියලා එයා හොඳින් තේරුම්ගත්තා. බයිබල් ශිෂ්‍යයන්ව හම්බ වෙන්න විදිහක් නොතිබුණ නිසා, අපේ ගොවිපොළේ ගලා ගිය කුඩා ඇළේ ඇයව බව්තීස්ම කරන්න කියලා තාත්තාගෙන් ඉල්ලා සිටියා. ඉතින් 1916 ශීත මාර්තු මාසයේ ඇය බව්තීස්ම වුණා.

ඉන් වැඩි කාලයක් නොගොස්, අලයන්ස්වල ශාලාවක කතාවක් දෙන බවට නිවේදනයක් පුවත්පතක තිබෙනවා අම්මා දැක්කා. කතාවේ තේමාව, “ද ඩිවයින් ප්ලෑන් ඔෆ් දි ඒජස් (දෙවිගේ චිරාගත සැලැස්ම).” ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් පොත් කට්ටලයේ පළවෙනි වෙළුමේ මාතෘකාවත් ඒකමයි. ඒ නිසා ඇය විගස ක්‍රියාත්මක වුණා. අපි අශ්ව කරත්තය සූදානම් කරලා පවුල පිටින්ම අපගේ මුල්ම රැස්වීමට ගියා. ඊට පස්සේ අපි සහෝදරයන්ගේ නිවෙස්වල පැවැත්වූ රැස්වීම්වලට ඉරිදා සහ බදාදා හැන්දෑවල ගියා. ටික කාලයකට පස්සේ, අම්මාව ආයෙත් බව්තීස්ම කළා. මේ වතාවේ එයාව බව්තීස්ම කළේ ක්‍රිස්තියානි සභාවේ නියෝජිතයෙක්. තාත්තාට ඉතින් හැම තිස්සේම ගොවිපොළේ වැඩ තිබුණා. කොහොම වුණත්, එයා පසුව බයිබලය පාඩම් කරන්න උනන්දුවක් දැක්වූ නිසා, අවුරුදු කිහිපයකට විතර පස්සේ බව්තීස්ම වුණා.

පෙරමුණ ගත් කිහිපදෙනෙකු හමුවීම

එක්දහස් නවසිය දාහතේ ජූනි 10වනදා ඒ කාලයේ වොච් ටවර් සමිතියේ සභාපති වශයෙන් කටයුතු කළ ජේ. එෆ්. රදෆඩ් අපේ අලයන්ස් නගරයට ආවා. ඔහු “ජාතීන් යුද්ධ කරන්නේ මක්නිසාද?” යන විෂය ඔස්සේ කතා කළා. එතකොට මට අවුරුදු නවයයි. මමයි මගේ අම්මයි තාත්තයි, විලි සහ චාල්ස් යන මගේ මල්ලිලා එක්ක ඒ කතාව අහන්න ගියා. සීයයකටත් වැඩිය පැමිණ සිටියා. සහෝදර රදෆඩ්ගේ කතාවෙන් පස්සේ, පැමිණ සිටි අයගෙන් වැඩිදෙනෙක්, කතාව දුන්න කොලොම්බියා නාට්‍ය ශාලාවෙන් පිටත ඡායාරූපයකට පෙනී සිටියා. ඊළඟ සතියේ, එම ශාලාවේම ඒ. එච්. මක්මිලන් කතාවක් දුන්නා. ඔහුගේ තේමාව වූයේ “පැමිණෙන දේවරාජ්‍යය” යන්නයි. අපේ කුඩා ටවුමට මෙවැනි සහෝදරයන් පැමිණෙන එක අපි ලොකු භාග්‍යයක් හැටියට සැලකුවා.

අමතක නොවන සමුළු

මම ගිය පළවෙනි සමුළුව පැවැත්වූයේ අලයන්ස් නගරයෙන් සැතපුම් කිහිපයක් දුර පිහිටි ඔහයෝහි ඇට්වෝටර්වලයි. ඒ 1918දියි. බව්තීස්ම වෙන්න මගේ වයස ඇතිද කියලා අම්මා එහෙට පැමිණි සමිතියේ නියෝජිතයාගෙන් ඇහුවා. දෙවිගේ කැමැත්ත කරන්න මම හොඳ අවබෝධයකින් කැපවීමක් කර තිබුණා කියලා මට සැකයක් තිබුණේ නැහැ. එමනිසා ඇපල් ගස් තිබුණු වත්තක් ළඟින් ගලාගිය කුඩා ඇළක බව්තීස්ම වෙන්න මට අවසර ලැබුණා. සහෝදරයන් ඇඳුම් මාරු කිරීම සඳහා කුඩා කූඩාරමක් සාදා තිබුණා. ඉතින්, මගේ ඇඳුම් මාරු කරල ඝන රෙද්දකින් සාදා තිබුණු පරණ ඇඳුමක් ඇන්දා. එතකොට මාව බව්තීස්ම කළා.

එක්දහස් නවසිය දහනවයේ සැප්තැම්බර් මාසයේ, අම්මයි තාත්තයි මමයි දුම්රියකින්, ඊරි විල ළඟ පිහිටි ඔහයෝහි සැන්ඩස්කි බලා ගමන් කළා. එතැනින් අපි තොටුපොළේ බෝට්ටුවකට නැඟ, සීඩා පොයින්ට්වලට ගොඩබැස්සා. එතන අමතක නොවන සමුළුවක් පැවැත්වූවා. බෝට්ටුවෙන් බහින කොට, තොටුපොළේ කෑම ගන්න කුඩා කවුන්ටරයක් තිබුණා. මං හැම්බර්ගර් එකක් සල්ලිවලට ගත්තා. ඒ කාලේ නම් ඒ වගේ දෙයක් කන්න හම්බ වෙන්නෙ හරිම කලාතුරකින්. ඒක නම් හරිම රසයි! දවස් අටක් පුරා පැවැත්වූ මේ සමුළුවට 7,000දෙනෙක් පැමිණියා. ශබ්ද විකාශන යන්ත්‍ර තිබුණේ නැති නිසා, ඉතා පරෙස්සමින් සවන් දෙන්න වුණා.

ඒ සමුළුවේ තමා මුරටැඹ සඟරාවේ සහායක සඟරාව වන පිබිදෙව්! (කලින් නම, රන්වන් යුගය) මුදාහැරියේ. සමුළුවට සහභාගි වෙන්න මම සතියක් ඉස්කෝලෙන් නිවාඩු ගත්තා. කොහොම වුණත් පාඩුවක් වුණා කියලා කොහොමටවත් කියන්න බැහැ. සීඩා පොයින්ට් නිවාඩු ගත කරන ස්ථානයක් වූ නිසා, එතන පිහිටි භෝජනාගාරයේ කෝකියන් පැමිණි අයට ආහාර වේල් සූදානම් කළා. එනමුත්, මොනව හරි හේතුවක් නිසා, කෝකියන් සහ සේවිකාවන් වැඩ වර්ජනය කළා. ඒ හින්දා ආහාර පිළියෙළ කිරීමට දැනගෙන සිටි ක්‍රිස්තියානි සහෝදරයන්, පැමිණි සෑමදෙනාම සඳහා ආහාර පිළියෙළ කිරීමට ඉදිරිපත් වුණා. ඉන්පසුව සෑහෙන කාලයකට යෙහෝවාගේ සාක්ෂිකරුවන් එක්රැස්වීම් සහ සමුළුවලදී ආහාර පිළියෙළ කිරීමේ අංශ පවත්වාගෙන ගියා.

ආපහු 1922 සැප්තැම්බර් මාසයේදී සීඩා පොයින්ට්හි දවස් නවයක් පුරා පැවැත්වූ සමුළුවකට සහභාගි වෙන්නත් අපිට අවස්ථාව ලැබුණා. එතකොට 18,000කට වැඩිය පැමිණියා. “රජ සහ ඔහුගේ රාජ්‍යය ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න, ප්‍රචාරය කරන්න” කියමින් සහෝදර රදෆඩ් අපට දිරිගැන්වූයේ ඒ සමුළුවේදියි. හැබැයි, මගේ දේවසේවය ඊට අවුරුදු කිහිපයකට කලින් පටන්ගෙනයි තිබුණේ. එතකොට මම පත්‍රිකා සහ රන්වන් යුගය බෙදාහැරියා.

දේවසේවය—අගය කළ යුතු වැඩක්

එක්දහස් නවසිය දහඅටේ මුල, ළඟපාත පිහිටා තිබුණු ගොවිපොළවල්වලට ගිහිල්ලා අපි බබිලෝනියේ වැටීම (ඉංග්‍රීසියෙන්) යන පත්‍රිකා බෙදාහැරියා. ඒ කාලේ හරිම සීතලයි. ඒ හින්දා අශ්ව කරත්තේ යන්න කලින් අපි දර ලිපේ පැණිගලක් උණු කරල අශ්ව කරත්තේ දානවා. එයින් අපේ පාද උණුසුම් කරගත්තා. අශ්ව කරත්තෙට වහලක් සහ වටේට තිර තිබුණත්, හීටර් එකක් නොතිබුණ නිසා, අපි ඝන කබා සහ තොප්පි ඇඳගෙනයි ගියේ. හැබැයි, අපි කරපු සේවයෙන් නම් නියම ප්‍රීතියක් ලැබුවා.

එක්දහස් නවසිය විස්සේදී ද ෆිනිෂ්ට් මිස්ට්‍රි (අභිරහසේ නිමාව) කියන පොත සඟරාවක් ආකාරයෙන් මුදාහැරියා. මෙම විශේෂ සංස්කරණයට ZG යන නම දීලා තිබුණා. a මමයි අම්මයි තාත්තයි මෙම ප්‍රකාශනය අරගෙන අලයන්ස් වටේම ගියා. ඒ කාලයේ නම් අපි ගෙයින් ගෙට ගියේ තනියෙන්මයි. ඉතින්, එක් ගෙයකට ළඟා වෙද්දී ඉස්තෝප්පුවේ කිහිපදෙනෙක් ඉඳගෙන ඉන්නවා මම දැක්කා. මම ඉස්තෝප්පුවට නැග්ගේ ටිකක් භයෙන්. මගේ ඉදිරිපත් කිරීම කළායින් පස්සේ, එක ස්ත්‍රියක් මෙහෙම කිව්වා. “එයා හරි ලස්සනට කතා කළා නේද?” ඉන්පසුව ඇය එම සඟරාව ලබාගත්තා. එදා මම ZG 13ක් තබා ගියා. ඒ තමයි මම ගෙයින් ගෙට ගිහිල්ලා ටිකක් දිග ඉදිරිපත් කිරීමක් කළ පළවෙනි දවස.

මම නමවෙනි ශ්‍රේණියේ ඉන්නකොට අම්මාට නියුමෝනියාව හැදිලා මාසයක් විතර ඇඳේ ඉන්න වුණා. එතකොට මගේ බාලම නංගි අත දරුවෙක්. ඒ හින්දා ගොවිපොළේ වැඩ කරන්නත්, පොඩි අයව බලාගන්නත් ඕනේ නිසා මම ඉස්කෝලෙන් අස් වුණා. ඒ කොහොම වුණත්, අපි සත්‍යය නොසලකා හැරියේ නැහැ. අපි නිතිපතා ඔක්කොම සභා රැස්වීම්වලට ගියා.

එක්දහස් නවසිය විසිඅටේ ක්‍රිස්තුස්ගේ මරණය සිහි කිරීමේ රැස්වීමේදී පැමිණ සිටි සියලුදෙනාටම පත්‍රිකාවක් බෙදාහරිනු ලැබුවා. ඒකෙ තේමාව “නවදෙනා කොහේද?” (ඉංග්‍රීසියෙන්) යන්නයි. ඒක පදනම් වෙලා තිබුණේ ලූක් 17:11-19 මතයි. යේසුස් ආශ්චර්යවත් ලෙස ලාදුරු රෝගීන් දහදෙනෙකුව සුව කළත්, ඔහුට යටහත් පහත් ලෙස ස්තුති කළේ එක්කෙනෙක් බව බයිබලයෙහි කියනවා. ඒ පත්‍රිකාවේ තර්කය මගේ හෘදයට ගැඹුරින් කාවැදුණා. ‘ඇත්තටම මට අගයක් තියෙනවාද’ කියලා මම මගෙන්ම ඇසුවා.

මේ කාලය වන විට, ගෙදර මොකුත් ප්‍රශ්න තිබුණේ නැහැ. ඒ වගේම මට වගකීම් තිබුණෙත් නැහැ. හොඳ සෞඛ්‍ය තත්වයකුත් තිබුණා. ඉතින් ගෙදරින් පිටත් වී පුරෝගාමී සේවය (පූර්ණ-කාලීන සේවය) කරන්න මම තීරණය කළා. ඒ සඳහා මගේ දෙමාපියන්ගේ ආශීර්වාදයත් ලැබුණා. මගේ සහකාරිය වුණේ ඇග්නස් අලෙටා. අපිට අපගේ පැවරුම ලැබුණේ 1928 අගෝස්තු 28වනදායි. ඉතින් ප.ව. 9:00ට අපි කෝච්චියකට නැග්ගා ඒ පැවරුම භාරගන්න යන්න. අපි දෙන්නාට සූට්කේසයක් බැගින්ද, අපේ පොත් පත් ගෙනයෑමට පොත් බෑගයක් බැගින්ද තිබුණා. අපි යද්දී දුම්රියපොළේදී මගේ නංගිලයි අම්මයි තාත්තයි හොඳටම ඇඬුවා. අපි දෙන්නත් අඬ අඬයි ගියේ. අපි හිතුවේ අර්මගෙදොන් හරිම ළඟයි කියල. ඒ හින්දා ඒගොල්ලන්ව ආයෙ හම්බ වෙන එකක් නැහැයි කියලා හිතුවා. ඊළඟ දවසේ උදෙන්ම වගේ අපි අපේ පැවරුම තිබුණු නගරයට ආවා. ඒ තමයි කෙන්ටකිහි බෘක්ස්විල් නගරය.

අපි බෝඩිමකට ගිහිල්ලා කුඩා කාමරයක් කුලියට ගත්තා. කෑමවලට අපි ස්පගෙටි ටින් සල්ලිවලට ගත්තා. සැන්විචසුත් හැදුවා. හැම දවසකම අපි වෙන දිහාවකට යනවා. වැඩ කළේ තනියෙන්. ගේ හිමියන්ට ඩොලර් 1.98ක සම්මාදමකට පොත් පහක් ඉදිරිපත් කළා. ක්‍රමානුකූලව අපි ඒ ටවුම ඉවර කළා. බයිබලය ගැන සෑහෙන උනන්දුවක් දැක්වූ කිහිපදෙනෙක්වම අපිට හම්බ වුණා.

මාස තුනකින්, බෘක්ස්විල් සහ ඒ අවට මෙන්ම ඕගස්ටාහි හැමකෙනෙකුවම වාගේ හම්බ වෙන්න අපිට පුළුවන් වුණා. ඊට පස්සේ අපි මේස්විල්, පැරිස් සහ රිච්මන්ඩ් යන නගරවලට ගියා. අවුරුදු තුනක් තුළදී, කෙන්ටකිවල සභාවන් තිබුණේ නැති ප්‍රාන්ත කිහිපයකම අපි වැඩ කළා. විටින් විට අපේ සහායට ඔහයෝ ඉඳන් පැමිණි යාළුවන් සහ පවුල් සාමාජිකයන්ද හිටියා. ඒගොල්ලන් සාමාන්‍යයෙන් සතියකට වැඩි කාලයක් අපිත් එක්ක සේවයෙහි යෙදිලා යනවා.

අමතක නොවන තවත් සමුළු

ඔහයෝහි කොලම්බස්වල 1931 ජූලි 24-30 දක්වා පැවැත්වූ සමුළුව කවදාකවත් අමතක වෙන්නේ නැහැ. යෙහෝවාගේ සාක්ෂිකරුවන් යන බයිබලය මත පදනම් නමින් අපිව හඳුන්වන්න යන බව නිවේදනය කළේ ඒ සමුළුවේදියි. (යෙසායා 43:12) කලින්, මිනිස්සු අපි කවුද කියලා අහන කොට අපි “ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්” කියලා කියනවා. හැබැයි ඒ නම කැපීපෙනෙන නමක් නම් නෙවෙයි. වෙනත් ආගමික කණ්ඩායම්වල අයටත් බයිබල් ශිෂ්‍යයන් කියලා කිව්වා.

මගේ සහයට හිටි ඇග්නස් විවාහ වූ නිසා මාව තනි වුණා. ඒ නිසා හවුලේ වැඩ කරන්න කෙනෙකුව හොයාගන්න ඕනෑ අයට අහවල් ස්ථානයට ගිහිල්ලා වාර්තා කරන්න කියලා නිවේදනය කළහම මම ගොඩක් සතුටු වුණා. එම ස්ථානයෙහිදී බර්තා, එල්සි ගාටි සහ බෙසි එන්ස්මිංගර්ව හම්බ වුණා. ඒගොල්ලන්ට කාර් දෙකක් තිබුණා. ඒ හින්දා ඒගොල්ලන් එක්ක වැඩ කරන්න තවත් පුරෝගාමී සහෝදරියක්ව ඒ අය හොය හොය හිටියා. මීට කලින් අපි එකිනෙකාව අඳුරගෙන නොහිටියාට අපි සමුළුවෙන් පිටත් වුණේ එකට.

ගිම්හානයේදී අපි මුළු පෙන්සිල්වේනියා ප්‍රාන්තය පුරාම වැඩ කළා. ශීත ඍතුව ළං වෙන කොට, එතරම් ශීත නැති උතුරු කැරොලිනා, වර්ජිනියා සහ මේරිලන්ඩ් යන ප්‍රාන්තවල වැඩ කරන්න අපි ඉල්ලා සිටිය නිසා, අප එහෙට මාරු වුණා. වසන්තයේදී අපි නැවතත් උතුරුකරයට ගමන් කළා. ඒ කාලයේ පුරෝගාමීන් ඔවුන්ගේ සේවය කළේ එහෙමයි. එක්දහස් නවසිය තිස්හතරේදී, මේ සිරිත අනුගමනය කළ ජොන් බූත් සහ රූඩොල්ෆ් අබ්බුල්, රැල්ෆ් මෝයර් සහ ඔහුගේ මල්ලි විලඩ් කැටුව කෙන්ටකිහි හැසර්ඩ්වලට ආවා.

මට රැල්ෆ්ව නිතරම වාගේ මුණගැසුණා. එක්දහස් නවසිය තිස්පහේ මැයි 30 සිට ජූනි 3 දක්වා වොෂිංටන් ඩී.සී.වල පැවැත්වූ විශාල සමුළුවකදී අපි තවත් හොඳින් එකිනෙකාව දැනහඳුනා ගත්තා. “මහත් සමූහය” ගැන කතාව ඉදිරිපත් කළ අවස්ථාවේදී, මම රැල්ෆ් එක්ක බැල්කනියේ ඉඳගෙනයි හිටියේ. (එළිදරව් 7:9-14) අපි විශ්වාස කළේ මහත් සමූහය, 1,44,000දෙනාට වඩා අඩු විශ්වාසවන්තකමක් දැක්වූ ස්වර්ගික පංතියක් කියලයි. (එළිදරව් 14:1-3) ඒ හින්දා මට ඕනෑකමක් තිබුණේ නැහැ මහත් සමූහයට අයත් වන්න!

මහත් සමූහය කියන්නේ, අර්මගෙදොනින් බේරී ජීවත් වන විශ්වාසවන්ත භූමික පංතියක් කියලා සහෝදර රදෆඩ් පැහැදිලි කළහම, බොහෝදෙනෙක් සෑහෙන පුදුම වුණා. ඊළඟට මහත් සමූහයට අයත් අය නැඟිටින්න කියලා ඔහු ආරාධනා කළා. රැල්ෆ් හිටගත්තා. හැබැයි, මම හිටගත්තේ නැහැ. පස්සේ මට කාරණය පැහැදිලිව වැටහුණා. ඒ හින්දා, 1935න් පස්සේ ක්‍රිස්තුස්ගේ මරණයේ සිහි කිරීමේ රැස්වීමේදී රොටි සහ මුද්‍රිකපානයට මා පංගුකාරයෙක් වුණේ නැහැ. හැබැයි, අම්මා 1957 නොවැම්බර්හි ඇගේ මරණය දක්වා පංගුකාරියක්ව සිටියා.

මටම කියාපු සහකරුවෙක්

රැල්ෆුයි මමයි දිගටම ලිපි හුවමාරු කරගත්තා. එතකොට මම සේවය කළේ නියූ යෝර්ක්හි ලේක් ප්ලැසිඩ්වලයි. එයා හිටියේ පෙන්සිල්වේනියාවෙයි. එක්දහස් නවසිය තිස්හයේදී, එයාගේ කාර් එකෙන් ඇදගෙන යා හැකි පොඩි ට්‍රේලර් එකක් එයා හැදුවා. ඔක්තෝබර් 16-18 දක්වා නියූ ජර්සිහි නුවාර්ක්වල පැවැත්වූ සමුළුවට පෙන්සිල්වේනියාහි පොට්ස්ටවුන් ඉඳන් එයා ඒක ඇදගෙන ආවා. වැඩසටහන ඉවර වෙච්ච එක සැන්දෑවකදී, අපි කිහිපදෙනෙක්ම රැල්ෆ්ගේ අලුත් ට්‍රේලරය බලන්න ගියා. එහෙම බලන කොට, අපි දෙන්නා ට්‍රේලරය ඇතුළේ තිබුණු පොඩි සින්ක් එක ළඟ හිටගෙන ඉන්දැද්දී, “ඔයාට ට්‍රේලර් එක ආසයිද” කියලා එයා මගෙන් ඇහුවා.

මම ඔව් කියලා කිව්වා. ඊට පස්සේ “මේ ට්‍රේලර් එකේ ජීවත් වෙන්න ආසයිද” කියලා ඇහැව්වා.

මම “ඔව්” කියලා කිව්වහම, එයා මට කවදාකවත් අමතක කරන්න බැරි සෙනෙහසින් පිරුණු හාද්දක් දුන්නා. දවස් කිහිපයකට පස්සේ විවාහ වීමට අපි බලපත්‍රයක් ලබාගත්තා. සමුළුවෙන් පස්සේ දිනය, එනම් ඔක්තෝබර් 19වනදා, අපි බෘක්ලින්වලට ගිහිල්ලා වොච් ටවර් සමිතියේ මුද්‍රණාලය බලන්න ගියා. ඊට පස්සේ අපිට පැවරුමක් ලබා දෙන මෙන් අපි ඉල්ලා සිටියා. එතකොට ක්ෂේත්‍රයේ පැවරුම් භාරව සිටියේ ග්‍රාන්ට් සියුටර්. ඉතින්, ඒ පැවරුමේ වැඩ කරන්න යන්නේ කවුද කියල එයා ඇහැව්වා. “අපිට විවාහ වෙන්න පුළුවන් නම්, අපි දෙන්නා ඒක කරන්න ආසයි” කියලා රැල්ෆ් පැවසුවා.

“හවස පහට විතර එන්න. එතකොට අපි ඒක බලාගන්නං” කියලා සහෝදර සියුටර් පිළිතුරු දුන්නා. ඉතින්, ඒ හැන්දෑවේ, බෘක්ලින් හයිට්ස්වල සාක්ෂිකරුවෙකුගේ නිවසේදී අපගේ විවාහය සිදු කළා. අපි යාළුවන් කිහිපදෙනෙක් සමඟ ළඟපාත පිහිටි භෝජනාගාරයකට ගිහිල්ලා කෑමක් කාලා, නියූ ජර්සිහි නුවාර්ක්වල තිබුණු රැල්ෆ්ගේ ට්‍රේලරය බලා බස් එකෙන් පිටත් වුණා.

ඉන් ටික කලකට පස්සේ, එකට අපි කළ පළවෙනි පුරෝගාමී පැවරුම සඳහා අපි වර්ජිනියාහි හීත්ස්විල් බලා ගමන් කළා. මුලින්ම අපි නෝතම්බර්ලන්ඩ් ප්‍රාන්තයේ වැඩ කළා. පසුව පෙන්සිල්වේනියාවේ ෆුල්ටන් සහ ෆ්‍රැන්ක්ලින් ප්‍රාන්තවලට ගියා. එක්දහස් නවසිය තිස්නවයේදී රැල්ෆ්ට කලාපීය වැඩ කිරීමට ආරාධනාවක් ලැබුණා. ඒ කියන්නේ සභා කිහිපයක්ම යම්කිසි කාලසටහනක් අනුව බැහැදැකීමට යෑමයි. අපි ටෙනසි ජනපදයෙහි සභාවන්වල සේවය කළා. ඊළඟ අවුරුද්දේ අපේ පුතා ඇලන් ඉපදුණා. පසුව 1941දී ඒ කලාපීය වැඩ අහෝසි කළා. ඊළඟට අපිව වර්ජිනියාහි මැරියන්වලට එව්වා විශේෂ පුරෝගාමීන් හැටියට. ඒ කාලයේ විශේෂ පුරෝගාමියෙක් හැටියට මාසයකට සේවයෙහි පැය 200ක් දැමීම අපෙන් බලාපොරොත්තු වුණා.

සකස් වීම්

එක්දහස් නවසිය හතළිස් තුනේදී, මට විශේෂ පුරෝගාමී සේවයෙන් අයින් වෙන්න සිද්ධ වුණා. පොඩි ට්‍රේලරයකයි අපි ජීවත් වුණේ. ඒ අතර, පොඩි දරුවෙක්ව බලාගෙන, කෑම පිළියෙළ කිරීම, ඇඳුම් සේදීම වගේ ගොඩක් වැඩකටයුතු කරන්න තිබුණා. ඒ නිසා, මට දාන්න පුළුවන් වුණේ මාසෙකට පැය 60යි. ඒ වුණාට රැල්ෆ් දිගටම විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කළා.

එක්දහස් නවසිය හතළිස් පහේදී, අපි ඔහයෝහි අලයන්ස්වලට ආපහු ගියා. අවුරුදු නමයක් තිස්සේ අපේ නිවහන වශයෙන් පාවිච්චි කළ ට්‍රේලරය විකුණලා, මගේ අම්මයි තාත්තයි එක්ක ගොවිපොළේ ජීවත් වෙන්න අපි ගියා. අපේ දුව රෙබෙකා ඉපදුණේ ඒ ගොවිපොළේ ඉස්තෝප්පුවේ. රැල්ෆ් ටවුමේ අර්ධ-කාලීන රැකියාවක් කරමින් ස්ථාවර පුරෝගාමියෙක් හැටියට සේවය කළා. මම ගොවිපොළේ වැඩ කළාට, එයාට පුරෝගාමී සේවයෙහි දිගටම රැඳී සිටීම සඳහා කරන්න පුළුවන් උපකාර කළා. අපිට ඉඩමකුයි ගෙයකුයි නිකම් දෙන්න මගේ ගෙදර කට්ටිය කැමති වුණාට, රැල්ෆ් කැමති වුණේ නැහැ. එයාට ඕනෑ වුණේ රාජ්‍ය කටයුතුවලට මුල් තැන දෙන්නයි. ඒ නිසා පුළුවන් තරම් බරවලින් නිදහස් වෙන්නයි එයා උත්සාහ කළේ.

එක්දහස් නවසිය පනහේදී, අපි පෙන්සිල්වේනියාහි පොට්ස්ටවුන්වලට ගියා. එහි මාසයට ඩොලර් 25ක් ගෙවිය යුතු නිවසක් කුලියට ගත්තා. ඊළඟ අවුරුදු 30 පුරාම ඒ කුලිය වැඩි වුණේ ඩොලර් 75ක් දක්වා පමණයි. අපේ ජීවිතය සරලව තබාගන්න යෙහෝවා අපිට එයාකාරයෙන් උපකාර කළා කියලා අපිට හැඟුණා. (මතෙව් 6:31-33) රැල්ෆ් සතියේ දවස් තුනක් බාබර් කෙනෙක් හැටියට වැඩ කළා. අපි හැම සතියකම අපේ දරුවන් දෙන්න එක්ක බයිබලය පාඩම් කරනවා, රැස්වීම්වලට යනවා සහ පවුලක් වශයෙන් රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කරනවා. රැල්ෆ් සභාවේ මුලසුන භාර අවේක්ෂක හැටියටත් සේවය කළා. ඉතින්, අපේ ජීවිතය සංකීර්ණ කරගන්නේ නැතුව සරලව තබාගැනීමෙන්, යෙහෝවාගේ සේවයෙහි දේවල් බොහොමයක් කරන්න අපිට පුළුවන් වුණා.

මගේ දයාබර සැමියාගේ වියෝව

එක්දහස් නවසිය අසූඑකේ මැයි 17වනදා අපි රාජ්‍ය ශාලාවේ ඉඳගෙන ප්‍රසිද්ධ කථාවකට සවන් දෙමිනුයි සිටියේ. රැල්ෆ්ට අසනීප ගතියක් දැනුණ නිසා, එයා ශාලාවේ පිටිපස්සට ගියා. ඊට පස්සේ සහෝදරයෙකුගේ අතේ ඔහු මට පණිවිඩයක් එව්වා ගෙදර යනවා කියලා. මට ටිකක් සැක හිතුණ නිසා, මාව වහාම ගෙදර ඇරලවන්න කියලා කෙනෙකුගෙන් ඉල්ලා සිටියා. පැයක් ඇතුළත රැල්ෆ් ස්ට්‍රෝක් එකක් නිසා මියගියා. ඒ උදෑසන මුරටැඹ පාඩම අවසන් වුණායින් පස්සේ, රැල්ෆ් මියගිය බව සභාවට නිවේදනය කළා.

රැල්ෆ් මියගිය මාසයේදී එයා පැය 50කට වැඩිය සේවයෙහි නිරත වෙලා තිබුණා. පුරෝගාමියෙක් හැටියට එයා අවුරුදු 46කට වැඩිය සේවය කළා. ඔහු පැවැත්වූ බයිබල් පාඩම්වල ප්‍රතිඵලයක් වශයෙන් සියදෙනෙකුටත් වැඩිය යෙහෝවාගේ සාක්ෂිකරුවන් බවට පත් වුණා. අපි සෑහෙන පරිත්‍යාගයන් කරල තිබුණත්, ලැබුණු ඒ ආත්මික ආශීර්වාදවල වටිනාකම කියා නිම කරන්න බැහැ.

මගේ සතුට

දැන් අවුරුදු 18ක් පුරා මම තනිව ජීවත් වෙනවා. මට පුළුවන් විදිහට අන්‍යයන්ට දේශනා කරනවා. රැස්වීම්වලට යමින්, දෙවිගේ වචනය පාඩම් කරනවා. දැන් මම මහලු නිවාසයක ජීවත් වෙනවා. මට එච්චර ගෘහ භාණ්ඩ නැහැ. රූපවාහිනියක් නොගන්නත් තීරණය කළා. එනමුත් මම ජීවිතයෙන් ලොකු තෘප්තියක් ලබනවා. ආත්මික වශයෙන් මම හරි පොහොසත්. මගේ අම්මා තාත්තා සහ මල්ලිලා දෙන්නා ඔවුන්ගේ මරණය දක්වා විශ්වාසවන්තව සිටියා. මගේ නංගිලා දෙන්නා තවමත් සත්‍යය තුළ විශ්වාසවන්තව ගමන් කරමින් සිටිනවා.

මගේ පුතා ඇලන් ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් ලෙස සේවය කරනවා දැකීම තවත් සතුටක්. අවුරුදු ගණනාවක් පුරා රාජ්‍ය ශාලා සහ එක්රැස්වීම් ශාලාවල ශබ්ද විකාශන යන්ත්‍ර සවි කිරීමට සහ ගිම්හානයේ පවත්වන සමුළුවල ශබ්ද විකාශන යන්ත්‍ර සවි කිරීමට එයා සහයෝගය දක්වලා තිබෙනවා. ඔහුගේ භාර්යාවත් යෙහෝවාට පක්ෂව සේවය කරනවා. ඒගොල්ලන්ගේ පුතාලා දෙන්නා වැඩිමහල්ලන්. මගේ දුව රෙබෙකා පූර්ණ-කාලීන සේවයෙහි අවුරුදු 35කට වැඩිය ගත කරල තිබෙනවා. යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ බෘක්ලින් මූලස්ථානයේ අවුරුදු හතරක් සේවය කරන්නත් එයාට අවස්ථාව ලැබුණා. පසුගිය අවුරුදු 25 පුරා ඇයයි ඇගේ පුරුෂයායි එක්සත් ජනපදයේ විවිධ ප්‍රදේශවල සංචාරක අවේක්ෂකයන් හැටියට සේවය කරලා තිබෙනවා.

රාජ්‍යය, සොයාගන්න පුළුවන් සැඟවුණු නිධානයක් වගේ කියලා යේසුස් පැවසුවා. (මතෙව් 13:44) මගේ පවුලට ඒ නිධානය සම්බ වීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම දෙවිට කැප වී අවුරුදු 80ක් පුරා සේවය කර තිබෙනවා. ඒ ගැන මම කවදාකවත් පසුතැවෙන්නේ නැහැ. මට මගේ ජීවිතය ආයෙත් මුල ඉඳන් ගත කරන්න අවස්ථාවක් ලැබුණොත්, මම ඒ සේවයමයි කරන්නේ. ඔව් ‘දෙවිගේ කරුණාගුණය ජීවිතයට වඩා යහපත්’ බව මට විශ්වාසයි.—ගීතාවලිය 63:3.

[පාදසටහන]

a ස්ටඩීස් ඉන් ද ස්ක්‍රිප්චර්ස් යන මැයින් යුත් වෙළුම් මාලාවේ සත්වන වෙළුම ද ෆිනිෂ්ට් මිස්ට්‍රි නමින් හඳුන්වන ලදි. මුල් වෙළුම් හය චාල්ස් ටේස් රසල් විසින් ලියන ලදි. ද ෆිනිෂ්ට් මිස්ට්‍රි යන පොත රසල්ගේ මරණයෙන් පසුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

[23වන පිටුවේ පින්තූරය]

1917දී ඔහයෝ අලයන්ස්හිදී සහෝදර රදෆඩ්ගේ කතාව අපිට අහන්න ලැබුණා

[23වන පිටුවේ පින්තූරය]

රැල්ෆ් එක්ක. ඔහු හදපු ට්‍රේලරය ඉදිරිපිට

[24වන පිටුවේ පින්තූරය]

අද මගේ දරුවන් දෙන්නා එක්ක