Skip to content

පටුනට යන්න

‘යෙහෝවා හා ඔහුගේ ශක්තිය සොයව්’

‘යෙහෝවා හා ඔහුගේ ශක්තිය සොයව්’

‘යෙහෝවා හා ඔහුගේ ශක්තිය සොයව්’

‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ සිත් [හෘද, NW] ඇත්තන්ට පිහිට වෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය.’—2 ලේකම් 16:9.

1. බලය යනු කුමක්ද? මනුෂ්‍යයන් බලය පා ඇත්තේ කෙසේද?

 බලය යන වචනයෙන් අදහස් කිහිපයක්ම මනසට නැඟේ. ඉන් අන්‍යයන් කෙරෙහි යම් පාලනයක් කිරීමේ, අධිකාරයක් හෙබවීමේ හෝ බලපෑමක් කිරීමේ හැකියාව අදහස් විය හැක. ක්‍රියා කිරීමට හෝ යම් ප්‍රතිඵල නෙළාගැනීමට තිබෙන හැකියාව එහි තවත් පැත්තකි. තවද කායික, මානසික නැතහොත් සදාචාරමය ශක්තියද ඉන් අදහස් වේ. කෙසේවෙතත්, නිසි ලෙස බලය පෑමට මිනිස් සංහතිය සමත් වී නැති බව ඉතිහාස වාර්තාවෙන් මනාව පැහැදිලි වේ. දේශපාලනඥයන් බලයට පත් වූ විට සිදු වන දේ විස්තර කරමින්, ඉතිහාසඥ ඇක්ටන් සාමිවරයා මෙසේ පැවසීය. “බලයට දූෂ්‍ය කරවන බලපෑමක් ඇත. පූර්ණ බලයක් අතට ලැබුණොත්, පූර්ණ දූෂණයක් නියතය.” ඇක්ටන් සාමිවරයාගේ වදන්වල සත්‍යතාව දැකීමට නූතන ඉතිහාස වාර්තාව පරීක්ෂා කිරීම ප්‍රමාණවත්ය. මේ 20වන සියවසේදී, පෙර නොවූ විරූ ආකාරයකින් “මනුෂ්‍යයන්ට අනතුරු වෙන හැටියට මනුෂ්‍යයෙකු විසින් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරන” යුගයක් උදා වී තිබේ. (දේශනාකාරයා 8:9) තම බලය ඉතා අනිසි ලෙස යොදාගෙන ඇති දූෂිත ඒකාධිපතීන් විසින්, දශලක්ෂ ගණනාවකගේ දිවි කෙළවර කර ඇත. ඔව්, ප්‍රේමය, ප්‍රඥාව සහ යුක්තිය මගින් පාලනය නොවූ බලය ඉතා භයානක ප්‍රතිඵල අත් කර දෙයි.

2. යෙහෝවා තම බලය පාන ආකාරයට අනික් දිව්‍යමය ගුණාංග බලපාන අන්දම පැහැදිලි කරන්න.

2 මනුෂ්‍යයන්ට වඩා වෙනස්ව, දෙවි කවදත් තම බලය පාන්නේ කාගෙත් යහපත උදෙසාය. දෙවිගේ වචනයට අනුව, ‘යෙහෝවා කෙරෙහි සම්පූර්ණ හෘද ඇත්තන්ට පිහිට වෙන පිණිස ඔහුගේ බලය පාමින්, ඔහුගේ ඇස් පොළොව මුළුල්ලෙහි ඔබමොබ දුවන්නේය.’ (2 ලේකම් 16:9) යෙහෝවා තම බලය පාන්නේ ඉමහත් සංයමයකින් යුතුවය. දෙවි දුෂ්ටයන්ව විනාශ කිරීමෙන් වැළකී සිටින්නේ ඔහුගේ ඉවසීම හේතුවෙනි. මෙය පසුතැවිලි වීමේ ප්‍රස්තාව ඔවුන්ට විවෘත කර දෙයි. ඔහුගේ ප්‍රේමය නිසා, ධර්මිෂ්ඨ අධර්මිෂ්ඨ කියා භේදයකින් තොරව සියලු ජනයාට හිරු උදා වේ. යෙහෝවාගේ යුක්තිය නිසා, මරණයට හේතුකාරකයා වන සාතන් නමැති යක්ෂයාව විනාශ කර දැමීමට යෙහෝවා තම අසීමිත බලය නියමිත කාලයේදී භාවිත කරයි.—මතෙව් 5:44, 45; හෙබ්‍රෙව් 2:14; 2 පේතෘස් 3:9.

3. දෙවි කෙරෙහි විශ්වාස කිරීමට ඔහුගේ මහඟු බලය හේතුවක් වන්නේ මන්ද?

3 අපගේ ස්වර්ගික පියාට මෙතරම් පුදුම දනවන බලයක් ඇති නිසා, ඔහුගේ පොරොන්දු මෙන්ම ඔහු සපයන රැකවරණය සැකයකින් තොරව විශ්වාස කිරීමට අපට හොඳ පදනමක් ඇත. කුඩා දරුවෙකු නාඳුනන පුද්ගලයන්ගෙන් වට වී සිටින අවස්ථාවක තම පියාට තුරුලු වෙද්දී ඔහුට කිසිදු භයක් දැනෙන්නේ නැත. තමාට කිසිදු හානියක් සිදු වන්න තම පියා ඉඩ නොදෙන බව ඔහුට සහතිකය. ඒ හා සමානව, “ගළවන්ට බලවත්වූ” අපගේ ස්වර්ගික පියා සමඟ අප ගමන් කරනවා නම්, කල්පවතින හානියක් සිදුවීමට ඉඩ නොදෙන බව අපට නිසැකයි. (යෙසායා 63:1; මීකා 6:8) යහපත් පියෙකු වශයෙන්, යෙහෝවා තම පොරොන්දු ඉටු නොකර සිටින්නේ නැත. ඔහුට අසීමිත බලයක් ඇති නිසා, තම ‘වචනය තමා නියම කළ කාරණය සඵල කරන’ බවට සහතික විය හැකියි.—යෙසායා 55:11; තීතස් 1:1.

4, 5. (අ) ආසා රජු යෙහෝවා කෙරෙහි මුළුමනින්ම විශ්වාසය තැබීමේ ප්‍රතිඵලය වූයේ කුමක්ද? (ආ) අපගේ ගැටලුවලට මනුෂ්‍යයන්ගෙන් විසඳුම් සොයන විට කුමක් සිදු විය හැකිද?

4 අපගේ ස්වර්ගික පියාගෙන් ලැබෙන මෙම ආරක්ෂාව නිතරම සිහියේ තබාගැනීමට අදිටන් කරගැනීම මෙතරම් වැදගත් වන්නේ මන්ද? අපට මුහුණ දෙන්න සිදු වන තත්වයන් නිසා අප අධෛර්යයට පත් වී, සැබෑ සුරක්ෂිතභාවය සඳහා අපගේ උල්පත අමතක කර දැමීමට ඉඩ ඇති නිසාය. සාමාන්‍යයෙන් යෙහෝවා කෙරෙහි විශ්වාසයක් තැබූ ආසා රජුගේ ආදර්ශයෙන් අපට මෙය දැකගත හැකිය. ආසා පාලනය කළ කාලයේදී, සෙබළුන් දශලක්ෂයකින් යුත් එතියෝපීය හමුදාවක් යූදාවට එරෙහිව සටනට පැමිණියේය. සතුරු සේනාව තමන්ට වඩා බලවත් බව තේරුම්ගත් ආසා රජ යාච්ඤාවෙහි නිරත වූයේය. ‘යෙහෝවා, බලසම්පන්න අයත් බෙලහීන අයත් අතරේ පිහිට වෙන්ට ඔබ හැර කිසිවෙක් නැත්තේය. අපේ දෙවි වූ යෙහෝවා, අපට පිහිට වුව මැනව; මක්නිසාද අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබගේ නාමයෙන් මේ සමූහයාට විරුද්ධව ඇවිත් සිටිමු. යෙහෝවා, ඔබ අපේ දෙවිය; ඔබට විරුද්ධව මනුෂ්‍යයා ජය නොගනීවා.’ (2 ලේකම් 14:11) ආසාගේ ඉල්ලීමට සවන් දුන් යෙහෝවා, ඔහුට විශිෂ්ට ජයක් අත් කර දුන්නේය.

5 කෙසේවෙතත්, මෙලෙස වසර ගණනාවක් පුරා විශ්වාසවන්තව සේවය කිරීමෙන් පසු, යෙහෝවාට ගැළවීම ලබා දිය හැකි බවට වූ ආසාගේ විශ්වාසය හීන වී ගියේය. උතුරු ඉශ්‍රායෙල් රාජ්‍යය ඔවුන්ට විරුද්ධව පැමිණි අවස්ථාවේදී ආසා සිරියාවේ පිහිට පැතීය. (2 ලේකම් 16:1-3) ආසා සිරියාවේ බෙන්හදද් රජුට අල්ලසක් දුන් හෙයින්, ඉශ්‍රායෙල්ට එල්ල වූ තර්ජනය ඉවත් විය. කෙසේවෙතත්, සිරියාව සමඟ කළ ගිවිසුමෙන් පැහැදිලි වූයේ ඔහුට යෙහෝවා කෙරෙහි විශ්වාසයේ ඌනතාවක් තිබුණු බවයි. එහෙයින් හනානි නම් අනාගතවක්තෘ ඔහුගෙන් ඍජුව මෙසේ ඇසීය. ‘කූෂ්වරුන්ද [එතියෝපීයවරුන්] ලූබ්වරුන්ද රථ සහ අසරුවන් මහත් රාශියක් ඇති මහත් සේනාවක්ව සිටියා නොවේද? එහෙත් නුඹ යෙහෝවා කෙරෙහි විශ්වාසය තැබූ නිසා ඔහු ඔවුන් නුඹ අතට පාවා දුන්නේය.’ (2 ලේකම් 16:7, 8) ලැබූ තරවටුව ආසා ප්‍රතික්ෂේප කළේය. (2 ලේකම් 16:9-12) ගැටලුවලට මුහුණ දෙද්දී, අපි දෙවි කෙරෙහි විශ්වාසය තබනවා වෙනුවට මනුෂ්‍යයන්ගෙන් විසඳුම් නොසොයමු. මන්ද මනුෂ්‍යයන්ගේ බලය කෙරෙහි විශ්වාසය තැබීම නිෂ්ඵලය.—ගීතාවලිය 146:3-5.

යෙහෝවා දෙන බලය මත රඳා සිටින්න

6. අප ‘යෙහෝවා හා ඔහුගේ ශක්තිය සෙවිය’ යුත්තේ මන්ද?

6 යෙහෝවා තම සේවකයන්ට බලය දෙනවා පමණක් නොව, ඔවුන්ට ආරක්ෂාවද සපයයි. මේ අනුව, බයිබලය අපගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ ‘යෙහෝවා හා ඔහුගේ ශක්තිය සොයන්න’ කියාය. (ගීතාවලිය 105:4) ඒ මන්ද? අප දෙවිගේ ශක්තියෙන් දේවල් කරන විට, අපගේ බලය අන්‍යයන්ගේ හානියට නොව ඔවුන්ගේ ප්‍රයෝජනය තකා යොදාගනු ලබන නිසාය. මේ සම්බන්ධයෙන් අපට තිබෙන හොඳම ආදර්ශය ‘යෙහෝවාගේ බලයෙන්’ ප්‍රාතිහාර්යයන් රැසක් සිදු කළ යේසුස් ක්‍රිස්තුස්ය. (ලූක් 5:17NW) යේසුස්ට ඒ බලයෙන් ධනය හා ප්‍රසිද්ධිය ලබාගැනීමට හෝ බලසම්පන්න රජෙකු වීමට ප්‍රස්තාව තිබිණ. (ලූක් 4:5-7) එනමුත් දෙවි ලබා දුන් බලය, අන්‍යයන්ට ඉගැන්වීමට, පුහුණුවක් ලබා දීමට, උපකාර කිරීමට හා සුවයක් ලබා දීමට ඔහු පාවිච්චි කළේය. (මාර්ක් 7:37; යොහන් 7:46) ඇත්තෙන්ම අප උදෙසා කදිම ආදර්ශයකි!

7. අපගේ ශක්තියෙන් නොව නමුත් දෙවිගේ ශක්තියෙන් දේවල් කරන විට, අප වර්ධනය කරගන්නා අතිවැදගත් ගුණාංගය කුමක්ද?

7 ‘දෙවි සපයා දෙන ශක්තියෙන්’ දේවල් කරන විට, එය අපගේ නිහතමානීකම රැකගැනීමටද ඉවහල් වේ. (1 පේතෘස් 4:11) තම වාසිය තකා බලය පසුපස හඹා යන මනුෂ්‍යයෝ හිතුවක්කාර ලෙස කටයුතු කරති. මේ පිළිබඳ හොඳ උදාහරණයක් වන්නේ “බලවන්තයා මමය. මමයි සර්වබලධාරියා. මම විරුවෙකි, යෝධයෙකි, අතිශ්‍රේෂ්ඨයෙකි” කියමින් අහංකාර ලෙස පුරසාරම් දෙඩූ අෂූරිය රජ වූ ඒසර්-හද්දොන්ය. එනමුත් යෙහෝවා ‘ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්තේය.’ එමනිසා, සැබෑ ක්‍රිස්තියානියෙකු පාරට්ටු කරගනියි නම්, ඒ යෙහෝවා සම්බන්ධයෙනි. මන්ද තමා කර ඇති දේ තමාගේම ශක්තියෙන් සිදු නොවූ බව ඔහු තේරුම්ගන්නා බැවිනි. එසේ නම්, ‘දෙවිගේ බලවත් හස්තයට යටත් වීම’ උසස් වීමට නියම මඟ වේ.—1 කොරින්ති 1:26-31; 1 පේතෘස් 5:6.

8. යෙහෝවාගේ බලය ලබාගැනීමට අප මුලින්ම කළ යුත්තේ කුමක්ද?

8 අප දෙවිගේ ශක්තිය ලබාගන්නේ කෙසේද? ඒ සඳහා යාච්ඤා කිරීම මුල්ම පියවර වේ. තම පියාගෙන් ශුද්ධාත්මය ඉල්ලන අයට එය ලැබෙන බව යේසුස් තම ගෝලයන්ට පොරොන්දු විය. (ලූක් 11:10-13) ක්‍රිස්තුස්ගේ ගෝලයන්ට මෙය බලපෑ ආකාරය සලකා බලන්න. යේසුස් ගැන සාක්ෂි දැරීම නතර කිරීමට ආගමික නායකයන් ඔවුන්ට අණ කළ විට, එම නායකයන්ට වඩා දෙවිට කීකරු වීම ඔවුන් තෝරාගත්තේ ශුද්ධාත්මයෙන් ඔවුන් ශක්තිමත් වූ නිසාය. යෙහෝවාගේ උපකාරය ඉල්ලා යාච්ඤා කළ විට, ඒ අවංක යාච්ඤාවට පිළිතුරු වශයෙන්, ඔවුන්ට ශුද්ධාත්මය ලැබිණ. ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුහු නිර්භීතව ශුභාරංචිය නොනැවතී දේශනා කළෝය.—ක්‍රියා 4:19, 20, 29-31, 33.

9. ආත්මික ශක්තිය ලබාගත හැකි දෙවන මාර්ගය සඳහන් කරන්න. ඉන් අත් වන ප්‍රතිඵල පැහැදිලි කිරීමට ශුද්ධ ලියවිලිමය ආදර්ශයක් නම් කරන්න.

9 දෙවනුව, අපට ආත්මික ශක්තිය බයිබලයෙන් ලබාගත හැකිය. (හෙබ්‍රෙව් 4:12) යොෂියා රජුගේ කාලයේදී දෙවිගේ වදන්වලට බලයක් ඇති බව පැහැදිලි විය. යෙහෝවාගේ ව්‍යවස්ථා පොත දේවමාළිගාවෙහිදී අනපේක්ෂිත ලෙස සොයාගත් අවස්ථාවට කලින් යොෂියා රජ දේශයෙන් මිථ්‍යා දෘෂ්ටික රූප ඉවත දමා තිබිණ. එනමුත් ඉන් අනතුරුව මෙම ශුද්ධ කිරීමේ වැඩසටහන තවත් තියුණු ආකාරයෙන් කිරීමට ඔහු පෙලඹීය. a ඊළඟට යොෂියා ව්‍යවස්ථාව ජනයා ඉදිරියෙහිම කියෙව්වේය. අනතුරුව, මුළු ජාතියම යෙහෝවා ඉදිරියෙහි ගිවිසුමක් කළේය. ඉන්පසුව, රූප නමස්කාරයට එරෙහිව දෙවන, වඩාත් ප්‍රබල ව්‍යාපාරයක් දියත් කරනු ලැබීය. යොෂියා සැබෑ නමස්කාරය මෙලෙස යළි පිහිටුවීමට ගත් කදිම ප්‍රයත්නය හේතුවෙන්, ‘ඔහුගේ සියලු දවස්වල ඔව්හු . . . දෙවි වූ යෙහෝවා වෙතින් පහව නොගියෝය.’—2 ලේකම් 34:33.

10. යෙහෝවාගෙන් ශක්තිය ලබාගත හැකි තුන්වන මාර්ගය කුමක්ද? මෙය වැදගත් වන්නේ මන්ද?

10 තුන්වෙනුව, ක්‍රිස්තියානි ඇසුරෙන් අපට යෙහෝවාගේ ශක්තිය ලබාගත හැක. එකිනෙකාව “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස” සහ එකිනෙකාව දිරිගැන්වීමට නිතිපතා රැස්වීම්වලට පැමිණෙන්න කියා පාවුල් ක්‍රිස්තියානීන්ට දිරිගැන්වීය. (හෙබ්‍රෙව් 10:24, 25) ප්‍රාතිහාර්යයකින් සිරගෙයින් මුදනු ලැබූ පේතෘස්, තම සහෝදරයන්ගේ ආශ්‍රය පැතීය. ඒ සඳහා, ඔහු වහාම මාර්ක් නම් ලත් යොහන්ගේ මවගේ නිවසට ගියේය. එහි “බොහෝ දෙනෙක් රැස්ව යාච්ඤාකරමින් සිටියෝය.” (ක්‍රියා 12:12) ඇත්තෙන්ම, සියලුමදෙනාට තම නිවෙස්වල සිට යාච්ඤා කිරීමෙන් සෑහීමට පත් වන්න තිබිණ. එනමුත් ඔවුන්ගේ තීරණය වූයේ එම අසීරු අවස්ථාවේදී එකට රැස් වී යාච්ඤා කිරීමටත්, එකිනෙකාව දිරිගැන්වීමටත්ය. තවත් අවස්ථාවක පාවුල් රෝමය බලා ඉතා දිගු අවදානම් සහිත ගමනක නිරත විය. එම ගමනෙහි අවසන් අදියරට පැමිණි අවස්ථාවේදී, පොතියොලෙහි සහෝදරයන් ඔහුට සම්බ විය. පසු අවස්ථාවකදී, ඔහුව හමුවීමට පැමිණි තවත් සහෝදරයන්ව ඔහුට මුණගැසිණ. පාවුල් ඊට ප්‍රතික්‍රියා කළේ කෙසේද? ‘පාවුල් ඔවුන් දැක දෙවිට ස්තුති කොට ධෛර්යය ලැබූ’ බව වාර්තාව අපට දැනුම් දෙයි. (ක්‍රියා 28:13-15) සෙසු ක්‍රිස්තියානීන් සමඟ නැවතත් එකට සිටීමට හැකිවීම ඔහුට ශක්තියක් විය. අපටත් සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඇසුරු කිරීමෙන් ශක්තිය ලබාගත හැක. එසේ නම්, එකිනෙකා සමඟ ඇසුරු කිරීමේ නිදහස භුක්ති විඳින තාක් කල්, ජීවනයට යන පටු පාර දිගේ ගමන් කරද්දී, තනිව ගමන් නොකිරීමට වෙර දරමු.—හිතෝපදේශ 18:1; මතෙව් 7:14.

11. “සාමාන්‍ය ඉක්මවූ බලය” විශේෂයෙන් අවශ්‍ය වන තත්වයන් කිහිපයක් සඳහන් කරන්න.

11 ඔව්, නිතිපතා යාච්ඤාවෙන්, දෙවිගේ වචනය අධ්‍යයනයෙන් සහ සෙසු ඇදහිලිවන්තයන් සමඟ ඇසුරෙන් අපි ‘ස්වාමීන් තුළද, ඔහුගේ ශක්තියේ බලවත්කමෙහිද බලවත්’ වන්නෙමු. (එපීස 6:10) ‘ස්වාමීන් තුළ ශක්තිය’ අප සැමට අවශ්‍ය බවට සැකයක් නැත. ඇතැම්හු තදබල රෝග, තවත් සමහරු මහලු වයසේ පීඩා හෝ තම කලත්‍රයාගේ වියෝවීමෙන් පීඩා විඳිති. (ගීතාවලිය 41:3) සමහරු නොඇදහිලිකාර කලත්‍රයෙකුගෙන් එල්ල වන විරුද්ධවාදිකම්වලට මුහුණ දෙති. පූර්ණ-කාලීන රැකියාවක් කරන අතරවාරයේදී පවුලක් බලාකියා ගැනීමට දෙමාපියන්ට, විශේෂයෙන්ම තනි මාපියන්ට අසීරු විය හැක. යෞවන ක්‍රිස්තියානීන්ට තුල්‍ය පීඩනය හමුවේ ස්ථිරව සිටීමටත්, මත්ද්‍රව්‍ය සහ දුරාචාරය ප්‍රතික්ෂේප කිරීමටත් ශක්තිය අවශ්‍යය. එවැනි අභියෝගයන් සමඟ කටයුතු කිරීමට අවශ්‍ය “සාමාන්‍ය ඉක්මවූ බලය” යෙහෝවාගෙන් ඉල්ලීමට කිසිවෙකු පසුබට නොවිය යුතුය.—2 කොරින්ති 4:7NW.

“ක්ලාන්තවූ අයට ශක්තිය”

12. ක්‍රිස්තියානි දේවසේවයේදී යෙහෝවා අපව උසුලන්නේ කෙසේද?

12 යෙහෝවාගේ සේවකයන් තම දේවසේවය ඉටු කරද්දී, ඔහු ඔවුන්ට බලය දෙයි. යෙසායාගේ අනාවැකියෙහි එය මෙසේ විස්තර කර ඇත. ‘ඔහු ක්ලාන්ත වූ අයට ශක්තිය දෙන්නේය; බලය නැත්තාට සවිය වැඩි කරන්නේය. . . . යෙහෝවා ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත් කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නඟින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.’ (යෙසායා 40:29-31) ප්‍රේරිත පාවුල් තම සේවය ඉටු කිරීමට අවශ්‍ය බලය ලැබීය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, බලපෑමෙන් යුත් සේවයක් කිරීමට හැකි විය. මේ සම්බන්ධව ඔහු තෙසලෝනිකයෙහි ක්‍රිස්තියානීන්ට මෙසේ ලීවේය. “අපේ ශුභාරංචිය නුඹලා වෙතට පැමුණුණේ වචනයෙන් පමණක් නොව බලයත් ශුද්ධාත්මයත් . . . ඇතුවය.” (1 තෙසලෝනික 1:5) ඔහුගේ දේශනා කිරීමේ සහ ඉගැන්වීමේ වැඩයෙහි, ඔහුට සවන් දුන් අයගේ ජීවිත තුළ පුදුමසහගත වෙනස්කම් කිරීමට බලය තිබිණ.

13. විරුද්ධවාදිකම් මැද අත්නෑර සේවය කිරීමට යෙරෙමියාව ශක්තිමත් කළේ කුමක්ද?

13 අපගේ බලප්‍රදේශයෙහි උදාසීන ප්‍රතිචාරයක් ලැබෙද්දී අප අධෛර්යයට පත් විය හැක. ඇතැම්විට එම ප්‍රදේශයේ එතරම් ප්‍රතිඵල නොලබමින් වසර ගණනාවක් පුරා වැඩ කර තිබෙනවා විය හැකියි. යෙරෙමියාගේ ආදර්ශය සලකා බලමු. ඔහුට මුහුණ දෙන්න සිදු වූ විරුද්ධවාදිකම්, සරදම් සහ උදාසීනත්වය නිසා ඔහුට අධෛර්යය දැනිණ. ඔහු තමාට මෙසේ කියාගත්තේය. ‘දෙවි ගැන සඳහන් නොකරන්නෙමි. ඔහුගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි.’ එනමුත් නිශ්ශබ්දව සිටින්න ඔහුට බැරි විය. ඔහුගේ පණිවිඩය “[තමාගේ] ඇට තුළේ වැසී ඇවිළෙන ගින්නක් මෙන්” විය. (යෙරෙමියා 20:9) මෙතරම් විරුද්ධවාදිකම් හමුවේ ඔහුව යළි ප්‍රාණවත් කිරීමට හේතු වූයේ කුමක්ද? ‘යෙහෝවා භයානක වූ බලවන්තයෙකු මෙන් මා සමඟ සිටියේය’ යන්න ඔහුගේ පිළිතුර විය. (යෙරෙමියා 20:11) තමාගේ පණිවිඩය ඉතා වැදගත් බවත්, තමාට ලැබී ඇත්තේ දෙවිගේ පැවරුමක් බවත් යෙරෙමියා අගය කළ නිසා, යෙහෝවා දුන් දිරිගැන්වීමට ඔහු ප්‍රතිචාරය දැක්වීය.

වේදනාවකුත්, සුවයකුත් ගෙන දීමට බලය ඇති යමක්

14. (අ) දිව කොතරම් බලවත් අවයවයක්ද? (ආ) දිවෙන් සිදු විය හැකි හානිය පෙන්නුම් කිරීමට උදාහරණ කිහිපයක් දෙන්න.

14 සමහරක් දේවල් කිරීමට අප සතු බලය කෙළින්ම දෙවිගෙන් නොවේ. උදාහරණයකට දිව ගනිමු. එය කුඩා අවයවයකි. එනමුත් වේදනාවක් සහ සුවයක් යන දෙකම ගෙන දීමේ බලය එය සතුය. එමනිසා සාලමොන්ගේ අවවාදය සැලකිල්ලට ගැනීම වටී. “මරණයත් ජීවනයත් දිවේ වසඟයෙහි ඇත්තාහ.” (හිතෝපදේශ 18:21) ඒව සමඟ සාතන් කළ කෙටි සංවාදයෙන් පැහැදිලි වන්නේ වචන ස්වල්පයකින් කොතරම් හානියක් සිදු විය හැකිද යන්නයි. (උත්පත්ති 3:1-5; යාකොබ් 3:5) අපගේ දිවෙනුත් සෑහෙන හානියක් සිදු විය හැකිය. යෞවනියකට ඇගේ බර ගැන ඇනුම් පද කිහිපයක් කීම නිසා, කෑම නොගැනීමෙන් ඇය ඇගේ ශරීර සෞඛ්‍යයට සෑහෙන හානියක් සිදු කරගත හැකිය. යම් අපහාසාත්මක දෙයක් කල්පනා නොකර සඳහන් කිරීම ඉතා කිට්ටු මිත්‍රත්වයක් පවා විනාශ කර දැමිය හැක. මෙයින් දිව පාලනය කළ යුතු බව පැහැදිලි වේ.

15. ගොඩනැංවීමටත්, සුවය ගෙන දීමටත් අපගේ දිව භාවිත කළ හැක්කේ කෙසේද?

15 කෙසේවෙතත්, හානියක් සිදු කරනවාට අමතරව දිවෙන් කෙනෙකුව ගොඩනැංවිය හැක. පුරාණ හිතෝපදේශයක මෙසේ පැවසේ. “කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.” (හිතෝපදේශ 12:18) අසහනයෙන් හෝ වියෝ දුකින් පෙළෙන්නන්ට සැනසීම ගෙන දීම සඳහා නැණවත් ක්‍රිස්තියානීහු දිවට ඇති බලය පාවිච්චි කරති. තුල්‍ය පීඩනයේ අන්තරාවන් සමඟ කටයුතු කරන නහඹරයන්ට කාරුණික වචන කිහිපයක් පැවසීම ඔවුන්ට මොනතරම් දිරිගැන්වීමක් වේද! කාරුණිකව කතා කරන්නෙකුට වයෝවෘද්ධ සහෝදර සහෝදරියන්ගේ බිය සැක පවා දුරු කළ හැක. අසනීප වූවන්ව සතුටු කිරීමටත් කාරුණික වදන් කිහිපයක් මහෝපකාරි වේ. වඩා වැදගත් ලෙස, සවන් දීමට කැමති සියල්ලන්ට බලසම්පන්න රාජ්‍ය පණිවිඩය ලබා දීමට අපගේ දිව පාවිච්චි කිරීමේ ප්‍රස්තාව අමතක නොකළ යුතුය. දෙවිගේ වදන් අපගේ හදවත් තුළ නිදන් කරගෙන ඇත්නම්, දෙවිගේ වචනය දේශනා කිරීම අපගේ හැකියාවෙන් ඔබ්බට යන දෙයක් වන්නේ නැත. බයිබලය මෙසේ අදහස් දක්වයි. “කරුණාව [යහපත, NW] පෙන්වන්ට නුඹේ අතෙහි බලය තිබියදී, ඕනෑකරන අයගෙන් එය වලක්වානොගන්න.”—හිතෝපදේශ 3:27.

බලය නිසි ලෙස පාවිච්චි කිරීම

16, 17. දෙවිගෙන් ලද අධිකාරය හොබවද්දී, වැඩිමහල්ලන්ට, දෙමාපියන්ට, පුරුෂයන්ට සහ භාර්යාවන්ට යෙහෝවාව අනුකරණය කළ හැක්කේ කෙසේද?

16 යෙහෝවා සර්වබලධාරි කෙනෙක් වුවත්, ඔහු සභාව පාලනය කරන්නේ ප්‍රේමයෙනි. (1 යොහන් 4:8) ක්‍රිස්තියානි අවේක්ෂකයන් ඔහුගේ ආදර්ශය අනුකරණය කළ යුතුය. එමනිසා, ඔවුන් තමා සතු අධිකාරය අනිසි ලෙස යොදා නොගෙන, දෙවිගේ රැළ ප්‍රේමනීයව රැකබලා ගත යුතුය. ඇතැම් අවස්ථාවලදී ‘තරවටු, අවවාද සහ අනුශාසනා’ ඉදිරිපත් කරන්න අවේක්ෂකයන්ට සිදු වේ. එනමුත් එසේ කරන්නේ “බොහෝ ඉවසිලිවන්තකම සහ ඉගැන්වීමේ කලාව” යොදාගෙනය. (2 තිමෝති 4:2NW) එමනිසා, ප්‍රේරිත පේතෘස් සභාවෙහි අධිකාරයක් හොබවන අය සඳහා ලියූ වදන් වැඩිමහල්ලන් විසින් නිතරම මෙනෙහි කළ යුතුය. ‘නුඹලා අතරෙහි සිටින දෙවිගේ රැළ බලාගනිමින්, බලාත්කාරය නිසා නොව දේවකැමැත්ත ලෙස සතුටු සිතින්ද, නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද, නුඹලාගේ භාරයට දෙන ලද්දවුන් කෙරෙහි අධිපතිකම් කරන්නාක් මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින්ද එය රැකබලා ගන්න.’—1 පේතෘස් 5:2, 3; 1 තෙසලෝනික 2:7, 8.

17 දෙමාපියන්ට සහ පුරුෂයන්ටත් යෙහෝවා යම් අධිකාරයක් දී තිබේ. මෙම බලතල යොදාගත යුත්තේ උපකාර හා පෝෂණය සැපයීමටත්, ප්‍රේමයෙන් රැකවරණය ලබා දීමටත්ය. (එපීස 5:22, 28-30; 6:4) අපට තිබෙන අධිකාරයක් ප්‍රේමනීය ආකාරයකින් සාර්ථක ලෙස හෙබවිය හැකි බව යේසුස්ගේ ආදර්ශයෙන් මනාව පැහැදිලි වේ. දරුවන්ට සමබර, නොවෙනස් වන ප්‍රතිපත්ති මත පදනම් හික්මවීමක් ලබා දිය යුතුය. එවිට, ඔවුන් කලකිරෙන්නේ නැත. (කොලොස්සි 3:21) ක්‍රිස්තියානි පුරුෂයන් තම මූලිකත්වය ප්‍රේමනීය ලෙස හෙබවිය යුතුයි. භාර්යාවන් පුරුෂයන්ට ගැඹුරු ගෞරවයක් දක්වමින්, පුරුෂයාට අනවශ්‍ය බලපෑම් නොකළ යුතුය. තවද ඔවුන්ගේ ආශාවන් ඉටු කරගැනීමට කූට ලෙස කටයුතු නොකළ යුතුය. එවිට විවාහ බන්ධනය ශක්තිමත් වේ.—එපීස 5:28, 33; 1 පේතෘස් 3:7.

18. (අ) අපගේ කෝපය පාලනය කිරීම සම්බන්ධයෙන්, යෙහෝවාගේ ආදර්ශය අනුකරණය කළ යුත්තේ කෙසේද? (ආ) අධිකාරයක් හොබවන අය තම රැකවරණය යටතේ සිටින අය තුළ කුමනාකාරයේ හැඟීමක් ජනිත කරවීමට වෙර දැරිය යුතුද?

18 කෝපය ප්‍රකාශ කිරීමෙන් ප්‍රේමය නොව භය හටගනී. එමනිසා විශේෂයෙන් පවුලේ හෝ සභාව තුළ අධිකාරයක් හොබවන අය තම කෝපය පාලනය කිරීමට වගබලා ගත යුතුය. යෙහෝවා සම්බන්ධව අනාගතවක්තෘ නාහූම් පැවසූ දේ මෙහිදී අදාළ වේ. ‘ඔහු ඉවසිලිවන්තව [කෝපවීමට ප්‍රමාදව, NW] බලයෙන් මහත්ව සිටින’ බව නාහූම් පැවසීය. (නාහුම් 1:3; කොලොස්සි 3:19) අපගේ කෝපය පාලනය කිරීම අප ශක්තිමත් බවට සාක්ෂියක් වේ. ඇත්තෙන්ම අප නිකම්ම කෝපය පිට කරනවා නම්, අප දුර්වල අය බව ඉන් පැහැදිලි වේ. (හිතෝපදේශ 16:32) සභාව මෙන්ම පවුල තුළ ඇත්තේ එකම ඉලක්කයයි. එනම් ප්‍රේමය ජනිත කරවීමයි. ඒ යෙහෝවා සඳහා, එකිනෙකා සඳහා සහ නිවැරදි ප්‍රතිපත්ති සඳහා ප්‍රේමයකි. එක්සත්කමට ප්‍රබලතම බැම්මද, හරි දේ කිරීමට ප්‍රබලතම පෙලඹවීමද ප්‍රේමය වේ.—1 කොරින්ති 13:8, 13; කොලොස්සි 3:14.

19. යෙහෝවා අපට දෙන සැනසිලිදායක පොරොන්දුව කුමක්ද? අප ඊට ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද?

19 යෙහෝවාව දැනහඳුනා ගැනීමට නම් අප ඔහුගේ බලය ඒත්තුගත යුතුය. යෙසායා තුළින් යෙහෝවා මෙසේ පැවසීය. ‘පොළොවේ සීමාවල මැවුම්කාර වූ යෙහෝවා වන සදාකාල දෙවි ක්ලාන්ත නොවන බවත් වෙහෙස නොවන බවත් නුඹ දන්නේ නැද්ද? නුඹ අසා නැද්ද?’ (යෙසායා 40:28) යෙහෝවාගේ බලයට සීමාවක් නොමැත. අප ඔහු මත පමණක් රඳා සිටිනවා නම්, ඔහු අපව අත්හරින්නේ නැත. යෙහෝවා අපට දී ඇති පොරොන්දුව මෙයයි. “භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ [දෙවිය]. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නමැති දකුණතින් නුඹ උසුලන්නෙමි.” (යෙසායා 41:10) දෙවිගේ මෙම ප්‍රේමනීය රැකවරණයට අප ප්‍රතිචාරය දැක්විය යුත්තේ කෙසේද? යේසුස් කළාක් මෙන්, යෙහෝවාගෙන් ලද ඕනෑම බලයක් උපකාර පිරිනැමීමට සහ වර්ධනයක් ගෙන දීමට යොදාගනිමු. අපගේ දිවෙන් හානියක් නොව සුවයක් සිදු කිරීමේ අටියෙන්, එය පාලනය කිරීමට උත්සාහ කරමු. එසේ නම්, අපි අවදිව සිටිමු. ඇදහිල්ලේ ස්ථිරව සිටිමු. අපගේ උදාර මැවුම්කරු වන යෙහෝවා දෙවිගේ බලය තුළ ශක්තිමත් වෙමු.—1 කොරින්ති 16:13.

[පාදසටහන]

a පෙනෙන ප්‍රකාරයට, සියවස් ගණනාවකට පෙර දේවමාළිගාවෙහි තැන්පත් කර තිබූ මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙහි මුල් පිටපත යුදෙව්වන් විසින් සොයාගන්නා ලදි.

ඔබට පැහැදිලි කළ හැකිද?

• යෙහෝවා තම බලය පාන්නේ කෙසේද?

• අපට යෙහෝවාගේ බලය ලබාගත හැකි මාර්ග මොනවාද?

• දිවට ඇති බලය යොදාගත යුත්තේ කෙසේද?

• දෙවිගෙන් ලද අධිකාරයක් හෙබවීම ආශීර්වාදයක් විය හැක්කේ කෙසේද?

[පාඩම් ලිපියේ ප්‍රශ්න]

[15වන පිටුවේ පින්තූරය]

යේසුස් යෙහෝවාගේ ශක්තිය යොදාගත්තේ අන්‍යයන්ට උපකාර කිරීමටයි

[17වන පිටුවේ පින්තූර]

දෙවිගේ වදන් අපගේ හදවත් තුළ ඇත්නම්, දෙවිගේ වචනය ප්‍රකාශ කිරීමට අපට හැකිය